යාපන අර්ධද්වීපයේ දී දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙක් අතුරුදහන්

By C.S.Ahilan, 21 December 2011

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) විසංමතික කන්ඩායමක් වන ජන අරගල ව්‍යාපාරයේ තරුන දෙමල සාමාජිකයන් දෙදෙනෙක් දෙසැම්බර් නව වෙනිදා සවස්වරුවේ සිට ආගිය අතක් නැත. එදින සවස ඔවුන් දෙදෙනා යතුරු පැදියකින් අවරංගල් ගමේ සිට යාපනය නගරය වෙත ගමන් කරමින් සිට ඇත. ඔවුහු දෙසැම්බර් 10 දා යෙදෙන මානව හිමිකම් දිනය වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවක් සූදානම් කිරීමේ නිරතව සිටියෝය. අතුරුදහන්ව ඇති ලලිත් කුමාර් කොලඹින් කිලෝමීටර් 40ක් ඈත අවිස්සාවේල්ලේ සිනිස් වත්තේ කම්කරුවෙකුගේ පුතෙකු වන අතර කුගන් මුරුගානන්දන් අවරංගල් ගමේ අයෙකි.

ලලිත් කුමාර්ගේ පියා වන ආරුගම් වීරරාජාට අනුව, උතුරේ දේශපාලනික ක්‍රියාකාරකම්වලින් ඉවත් වන්නේ නැතිනම් අතුරුදහන් කරවන බවට තර්ජනය කරමින් දින කීපයකට ඉහත දී ඔහුට දුරකථන ඇමතුමක් ලැබී තිබේ. පසුගිය මාර්තුවේ දී ආරක්ෂක හමුදා විසින් ලලිත් කුමාර් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කල අතර නොවැම්බර් මාසයේ දී නන්නාඳුන පුද්ගලයින් පිරිසක් විසින් ඔහුට පහර දී තිබින.

ලලිත් කුමාර් හා කුගන් නිදහස් කරන ලෙස ඉල්ලා ජන අරගල ව්‍යාපාරයත් එයට අනුබද්ධිත අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානයත් යාපනය බස් නැවතුම් පල අසල සංවිධානය කල පිකට් උද්ඝෝෂනයකට සිය දෙනෙක් පමන සහභාගි වූහ. පොලිසිය මෙයට මැදිහත් වී එම ස්ථානයෙන් ඉවත් වන්නැයි විරෝධතාකරුවන්ට නියෝග කලේ ය. එහි සියයක පමන පොලිස් භටයින් පිරිසක් යොදවා තිබින. බුද්ධි අංශ නිලධාරීන් ගනනාවක් ම මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂනය කරමින් එහි රැදී සිටියහ.

පිකට් උද්ඝෝෂනයට සහභාගි වනු පිනිස යාපනයට පැමින සිටි ලලිත් කුමාර්ගේ පියා වන 60 වියැති වීරරාජා ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කලේ තම පුතා ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ සේවය කරමින් සිටි බවත් එහිදී පක්ෂයට සම්බන්ධ වූ බවත්ය. ''ඔහු අතුරුදහන් වූ පුද්ගලයින් නිදහස් කරගැනීම වෙනුවෙන් සටන් කරමින් සිටි නිසා ඔහුගේ යහපත් ක්‍රියාව ගැන මම සතුටු වුනා. මගේ පුතා ම අතුරුදහන් වී ඇති නිසා දැන් මට දුක හිතෙනවා. මං විශ්වාස කරන්නෙ ආන්ඩුව මගේ පුතා හිර කරං ඉන්නවා කියල. ඒ වගේම ඔහු පනපිටින් ඉන්න බවත් මං විශ්වාස කරනවා. මම ඉල්ලා සිටින්නේ ඔහු නිදහස් කරන්න කියලා. ඒ ‍වගේම සියලුම දේශපාලන ‍ සිරකරුවන් නිදහස් කරන්න කියලත් මම ඉල්ලා සිටිනවා," ඔහු කීවේ ය.

අතුරුදහන් කිරීම පිටුපස ආන්ඩුව සිටින බව පිකට් උද්ඝෝෂනයට සහභාගි වූ ජන අරගල ව්‍යාපාරයේ නායකයෙකු වන පාර්ලි‍මේන්තු මන්ත්‍රී අජිත් කුමාර චෝදනා කලේය. ''මෙම ක්‍රියාව අපව බිය ගැන්වී‍ෙම්ත් අපගේ ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් නතර කිරීමේත් අරමුනින් යුක්තව සිදු කල එකක්"යැයි ඔහු කීවේ ය.

ලලිත් කුමාර් හා කුගන් අතුරුදහන් කිරීම මෑතම සිදුවීමක් වන අතර ම, තවත් එවන් සිදුවීම් ගනනාවක් මගින් අනාවරනය වී ඇත්තේ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය අවසාන වී වසර දෙක හමාරක් ගත වී ඇති මේ අවස්ථාවේ අතුරුදහන් කිරීම්, පැහැර ගැනීම් හා ඝාතන සහිත සීඝ්‍රයෙන් ඉහල යන ත්‍රස්ත මෙහෙයුමක් පවතින බවයි.

රාජපක්ෂ ආන්ඩුව තමන්ට එරෙහි දේශපාලන විරුද්ධත්වය මර්දනය කිරීමේ දිගටම යෙදී සිටින බව ලලිත් කුමාර් හා කුගන් අතුරුදහන් කිරීම මඟින් පෙන්නුම් කෙරෙයි. පසුගිය සති කීපය පුරාම පැහැර ගැනීම් හා අතුරුදහන් කිරීම් වැඩෙමින් තිබේ.

* එල්ටීටීඊ මහා විරු දින වන නොවැම්බර් 27 දා යාපනය විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙකු වූ 25 හැවිරිදි වේදර්නියම් ලතීස් සුදු වෑන් රථයකින් පැමිනි කල්ලියක් විසින් පැහැර ගෙන යන ලදි. දින කීපයකින් පසුව තර්ජනය කිරීමෙන් අනතුරුව ඔහු මුදා හැර තිබින. එල්ටීටීඊ කන්ඩායම් මහාවිරු දිනය සැමරීමට සූදානම් වෙමින් සිටීයේ යැයි ප්‍රචාරය කරමින් මිලිටරිය ත්‍රස්ත කිරීමේ මෙහෙයුමක් ගෙන ගොස් තිබුනි.

* එම දිනයේ ම පුනලායි කට්ටුවාන් ප්‍රදේශ වාසියෙකු වූ 28 හැවිරිදි සිවඥානම් සුමනන්ගේ මල සිරුර මිලිටරිය වාඩිලා ගෙන සිටින කිලිනොච්චි ප්‍රදේශයේ ඇලක තිබී හමුවිය. සොරකමක් සම්බන්ධයෙන් සැක පිට යැයි කියමින් යාපනය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබින. පසුව පොලිසිය කීවේ, ඔහු සොරා ගත් දේවල් පෙන්වීමට යැයි කියා රැගෙන යන විට ඇලට වැටී මිය ගිය බවයි. තම අත්අඩංගුවේ සිටි ''සැකකරුවන්" මරා දැමීමෙන් අනතුරුව උතුරේ පමනක් රටේ අනෙකුත් පලාත්වල ද පොලිසිය සාමාන්‍යයෙන් කරන මෙවැනි ප්‍රකාශ පැහැදිලිව ම පච ය.

* දෙසැම්බර් 6 දා වන්නියේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හිදී අතුරුදහන් වූ 51 හැවිරිදි සිවපාදම් උදයකුමාර්ගේ මල සිරුර වැවක තිබී සොයා ගැනින. ඔක්තෝබර් මාසයේ දී වන්නියේ ම පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ සෙල්වරත්නම් සැන්ඩිමලර් මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි ඇගේ නිවස බැලීමට ගමන් කරමින් සිටියදී අතුරුදහන් වී තිබේ.

එල්ටීටීඊයට එරෙහි යුද්ධය පැවති කාලයේ දී සමස්ත රටපුරාම නිරන්තරයෙන් සිදුකරනු ලැබූ පැහැර ගැනීම් හා අතුරුදහන් කිරීමේ ත්‍රස්ත මෙහෙයුම දැන් නැවත ආරම්භ කර තිබේ. මෙය සිදුවන්නේ, ආන්ඩුව කෙරෙහි සහ උතුරු-නැගෙනහිර නිත්‍ය මිලිටරි වාඩිලා ගැනීම මෙන්ම යුද්ධය මඟින් ඇතිකල විනාශය හා දහස් ගනනක් දේශපාලන සිරකරුවන් පිරිසක් හිරබාරයේ තබා ගැනීම කෙරෙහි වැඩෙමින් පවත්නා මහජන විරෝධය මධ්‍යයේ ය.

2006 වසරේ මැදභාගයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව යුද්ධය යලි ආරම්භ කල තැන් පටන් විශේෂයෙන් යුද්ධය පිපිරී ගිය උතුරේ හා නැගෙනහිර මෙන්ම කොලඹ ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් ද ඇතුලු මිනිසුන් සිය ගනනක් අත්අඩංගුවට, අතුරුදහන් වීමට, පැහැර ගෙන යාමට හා ඝාතනයන්ට ලක්ව තිබේ.

සුදු වෑන්වලින් පැහැරගත් බොහෝ දෙනෙක් පොලිස් ස්ථානවල රඳවා තබා හෝ එල්ටීටීඊ සැකකරුවන් ලෙස සිරගත කොට හෝ ඇතැම්විට ඝාතනය කර දමා තිබිය දී හෝ හමු වී ඇත. ආන්ඩුවේ කොටස්කරුවන් වන ඊලම් ජනතා ප‍්‍රජාතාන්ත්‍රික පක්ෂයේ (ඊපීඩීපී) හා තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් වැනි එල්ටීටීඊයෙන් කැඩී වෙන්වුන කන්ඩායම්වල පැරා මිලිටරි හමුදා මෙම ලේවැකි මෙහෙයුම්වලට කුප්‍රට ය.

යුද්ධය අවසානයේ පටන් සමස්ත උතුරු හා නැගෙනහිර පලාත් ආන්ඩුවේ ආරක්ෂක හමුදා විසින් වාඩිලාගෙන සිටී. මිලිටරි කඳවුරු, පරීක්ෂක මධ්‍යස්ථාන හා මුර කඳවුරු තවමත් පවත්වා ගෙන යන අතර බුද්ධි අංශ එම ප්‍රදේශවල එදිනෙදා සිදුවීම් හෙමින් සී‍රුවේ නිරීක්ෂනය කරමින් සිටී. ලලිත් කුමාර් හා කූගන් පාවිච්චි කල යතුරු පැදිය දින කීපයකට පසු පලාලි අධි ආරක්ෂත කලාපයට නුදුරු අච්චුවේලි ප්‍රදේශයේදී තිබී හමු විය.අනෙකුත් සිදුවීම්වලදී මෙන් ලලිත් කුමාර්ගේ හා කුගන්ගේ අතුරුදහන් කිරීම් ආරක්ෂක හමුදාවන්ගේ අනුදැනුමකින් තොරව සිදු වීමට හැකියාවක් නැත.

සමාජවාදි සමානතා පක්ෂය (සසප) ලලිත් කුමාර් හා කුගන් පැහැරගැනීම හෙලා දකින අතර ඔවුන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටියි. කෙසේවෙතත් සසප මෙම ආස්ථානය ගන්නේ ජවිපෙ, ජන අරගල ව්‍යාපාරය හා අපි ශ්‍රී ලාකිකයෝ යන පක්ෂ හා කන්ඩායම්වල දේශපාලනයට විරුද්ධ වන අතර ය. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට, යුද්ධයට එරෙහි වීමේ සහ උතුරින් හා නැගෙනහිරින් ශ්‍රී ලංකා‍ හමුදාවන් ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සටන් වැදීමේ නොකැලැල් වාර්තාවක් සසප සතු ය. වාර්ගික වෙනස්කම් කිරීම්වලට එරෙහිව දෙමල ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් සටන් කිරීමේ කොටසක් ලෙස සසප මෙම ඉල්ලීම් ඉදිරිපත් කරන අතර මෙම අයිතීන් දිනා ගත හැකි වන්නේ ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව සමාජවාදය උදෙසා සටන් වැදීමේ කොටසක් ලෙස පමනක් බව අවධාරනය කරයි.

ජන අරගල ව්‍යාපාරය, පසුදැක්මක් ලෙස දෙමල ජනයා කෙරෙහි අනුකම්පාවක් මවා පෙන්වීමට වෑයම් කලත් ඔවුහු ජවිපෙ සාමාජිකයන්ව සිටිද්දී යුද්ධයට සහාය දුන් අතර දේශපාලන සිරකරුවන් රැඳවුම්භාරයට ගැනීම හා අනෙකුත් මානව හිමිකම් කඩකිරීම් යුද්ධයේ අනිවාර්ය අංග යැයි කියා පෑ‍වෝය. උතුරු-නැගෙනහිර පලාත්වල මිලිටරි වාඩිලා ගැනීමට මෙම කන්ඩායම තවමත් පිටුබලය දෙනවාක් මෙන්ම එම ප්‍රදේශවලින් ආරක්ෂක හමුදා ඉවත් කරගන්නා ලෙස කෙරෙන ඉල්ලීම්වලට ද සතුරුය.

Share this article: