ශී‍්‍ර ලංකාව: ආන්ඩුව සිසු විරෝධතා පාගමන නතර කිරීමට පොලීසිය හා හමුදාව යොදවයි

By Ivan Weerasekera and Gamini Karunathilake, 25 December 2011

පේරාදෙනිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බදාදා කොලඹ දක්වා සූදානම් කර තිබූ පාගමනක් නතර කිරීමට සිය ගනනක් පොලීසිය හා හමුදා භටයන් යෙදවූ ආන්ඩුව එදින සවස් වන විට මර්දනය තවත් දැඩි කරමින් ශිෂ්‍ය සංගම් සියල්ල තහනම් කලේ ය. ශිෂ්‍ය විරෝධතාව මැඩලීමට පොලීසිය හා මිලිටරිය යෙදවීමට ඉඩ ලැබෙන පරිද්දෙන් ඊට පෙර දින පොලීසිය විරෝධතාව "මහජනයාට අවහිරයක්” වන බවට පැමිනිලි කරමින් එය තහනම් කිරීමේ නියෝගයක් අධිකරනය මගින් ලබා ගෙන තිබුනි.

දින හතරක විරෝධතා පාගමන සංවිධානය කර තිබුනේ යෝජිත විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමේ පනත අහෝසි කරනු!, නිදහස් අධ්‍යාපනය රකිනු!, මර්දනයට ලක් වූ සිසුන් නිදහස් කරනු! ආදී ඉල්ලීම් මත ය.

පාගමන නතර කිරීම සඳහා විශ්වවිද්‍යාල භූමියේ සිට එය මහනුවර - කොලඹ මහා මාර්ගයට ඇතුලු වන ගලහ හන්දිය යුද පිටියක් කර තිබුනි. හන්දිය අවහිර වන සේ කටු කම්බි ගසා පොලිස් භටයන් යකඩ හිස්වැසුම් දමා ගෙන බැටන් ප‍්‍රහාරයකට පෙල ගස්වා සිටි අතර නුදුරින් කැරලි මර්දන පොලීසිය රඳවා තිබුනි. ආයුධ සන්නද්ධ හමුදා භට පිරිසක් පොලීසියේ සහායට කැඳවා තිබුනි. හමුදාව එම ස්ථානයෙන් පසුව ඉවත් කර ගැනුන ද නුදුරින් පොරොත්තුවේ සිටියේ ය.

student protestසිසු පාගමන නතර කිරීමට මාර්ග බාධක හා කටු කම්බි වැටවල් දමා පොලීසිය යොදවා තිබූ අයුරු

පැය දෙකක් පමන සටන් පාඨ හඬ නගමින් සිටි ශිෂ්‍යයෝ පසුව විශ්වවිද්‍යාලය තුලට ආපසු ගියහ. එදින සවස විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එස්.වී.එස්. අබේකෝන් මහා ශිෂ්‍ය සංගමය ද පිඨ ශිෂ්‍ය සංගම් සියල්ල ද "තාවකාලිකව” තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කලේ ය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ සැලසුම් සූදානම් කරන උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක සිසු සංගම් තහනම අනුමත කලේ ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිසුන් උසි ගන්වන්නේ යැයි ඔහු ඩේලි මිරර් වෙබ් අඩවියට කියා සිටියේ ය. එම ප‍්‍රකාශය සිසුන්ට හා ආචාර්යවරුවන්ට එරෙහි මර්දනය උග‍්‍ර කරන බවට අනතුරු ඇඟවීමකි.

සිකුරාදා ප‍්‍රසිද්ධ උත්සවයකට සහභාගි වෙමින් දිසානායක ප‍්‍රකාශ කලේ ආන්ඩුවට තවමත් "පාලනය යටතට ගන්නට” බැරිව ඇත්තේ රුහුනු හා පේරාදෙනි විශ්වවිද්‍යාල බවත් අනෙක්වා අතට ගත් බවත් ය. ඔහු ඉන් අදහස් කලේ සිසු සංගම් තහනම් කරමින් හා මර්දනය දැඩි කරමින් අවශේෂ සරසවිවල විරෝධතාවන් යටපත් කිරීම පිලිබඳවයි. කෙසේ වෙතත්, පේරාදෙනිය හා රුහුනු විශ්වවිද්‍යාලවල මෙම දඩයම දැන් උග‍්‍ර කෙරෙමින් පවතී.

ආන්ඩුව සිසු මර්දනය උසි ගන්වා ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කරමින් නිදහස් අධ්‍යාපනයට ප‍්‍රහාර එල්ල කිරීමට යි. දැනටමත් අරඹා ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මූලික අධ්‍යාපන පහසුකම් නොතිබීම නොතකා ම වෛද්‍ය උපාධිය පිරිනැමීමේ අවසරය ආන්ඩුව විසින් ලබා දී තිබේ. වෛද්‍ය උපාධියට ලක්ෂ 65ක් පමන වියදම් වන එවැනි විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට ඉඩ ඇත්තේ ඉහල පන්තික කොටස්වලට හා අන්තයට ම නය විය හැකි පවුල්වලට ය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය හා සිසුන් ඊට යටත් කිරීමට ආන්ඩුව උසිගන්වා ඇති මර්දනය කෙරෙහි පේරාදෙනිය ඇතුලු සරසවිවල සිසුන්ගේ විරෝධය වර්ධනය වෙමින් පවතින තතු යටතේ ශිෂ්‍ය සංගම්වල නායකත්වය අල්ලා ගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) සිසුන් හුදෙක් ම විරෝධතා කි‍්‍රයාවල හිර කිරීමේ යෙදී සිටිති. අවිශිබම කලින් ජනතා විමුක්ති පෙරමුනේ සෘජු පාලනය යටතේ පැවති අතර එහි නායකයන් දැන් ජවිපෙ විසංමතික කන්ඩායම වන ජන අරගල ව්‍යාපාරය මගින් මෙහෙයවෙයි.

ඔවුන්ගේ වැඩ පිලිවෙල ජවිපෙ වැඩපිලිවලින් වෙනස් නැත.

බ‍්‍රහස්පතින්දා පේරාදෙනි විශ්වවිද්‍යාල සිසුන් පන්ති වර්ජනය කර පෙලපාලි දක්වා සිසු සංගම් තහනම් කිරීමට විරුද්ධත්වය පල කිරීමෙන් පසු ශිෂ්‍ය සංගම් නායකයෙක් එම සිසුන් අමතා මෙසේ ප‍්‍රකාශ කලේ ය: "අපේ අධිෂ්ඨානය හා ධෛර්ය නැති කිරීමට කිසි කෙනෙකුට හැකියාවක් නෑ. අපි ඉදිරියේ දී පරිපාලනයට විරුද්ධව තීරනාත්මක අරගලයක් කරනවා. යුද්ධ කාලයේ දී රනවිරුවන්ගේ තුවක්කු උතුරට එල්ල වුනා. අද ඒ තුවක්කු එල්ල වන්නේ අපට යි.”

අවිශිබම කැඳවුම්කරු වන සංජය බන්ඩාර සිකුරාදා පුවත්පත් සාකච්ඡාවක දී ඒ සමාන පූච්චානම් දෙඩී ය.

අධිෂ්ඨානය හා කැපවීම පිලිබඳ පුහු ප‍්‍රකාශ කරන අතර ඔවුන් යෝජනා කරන්නේ වඩ වඩාත් පලල්වන හා සටන්කාමී කි‍්‍රයා මගින් විරෝධතා දක්වා ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙල වෙනස් කිරීම යි. ජවිපෙ නායකත්වය යටතේ ගෙන ගිය එම වැඩපිලිවෙල ම, ජවිපෙ අපකීර්තියට පත්ව ඇති තතු තුල "අලුත් සංවිධානයක්” තුලින් පෙරට ගෙන යෑමට අවිශිබම තැත් කරයි. සිසුන්ගේ පලල් අත්දැකීම නම් එබඳු විරෝධතාවලින් ආන්ඩුවේ හා ධනපති පන්තියේ සැලසුම් වෙනස් කර ගත නො හැකි බවයි. පසුගිය බදාදා අධිකරනය ද පොලීසිය හා හමුදාව ද පේරාදෙනි සිසු පාගමනට එරෙහිව මුදා හැරීම මගින් ආන්ඩුව මේ බව පැහැදිලි කර ඇත.

රාජපක්ෂ ආන්ඩුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලීකරනය කරන්නේ ආන්ඩුවේ වියදම් කපා හැරීමේ හා නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමේ වැඩපිලිවෙලක කොටසක් ලෙස ය. මෙහි අරමුන අධ්‍යාපනය රට තුල මහ ව්‍යාපාරිකයන්ගේ හා විදේශ ආයෝජකයන්ගේ ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කිරීම යි. ධනපති ක‍්‍රමයේ අර්බුදය ගැඹුරු වන තතු තුල ජාත්‍යන්තර මූල්‍ය කතිපයාධිකාරීන්ගේ ලාභ ගැරීමේ සෘජු අවශ්‍යතාව අනුව මෙම වැඩපිලිවෙල කි‍්‍රයාවට දැමෙයි.

නිදහස් අධ්‍යාපනය පවත්වා ගැනීම හා වර්ධනය කිරීම සඳහා නම් බිලියන් ගනන් මුදල් වෙන් කල යුතු ය. ධනේශ්වර ක‍්‍රමය තුල එය ඉටු කල නොහැකි ය. එබඳු සම්පත් මුදා හැරීමක් කල හැක්කේ සමාජවාදී පිලිවෙත් ඔස්සේ නිෂ්පාදනය ප‍්‍රතිසංවිධානය කිරීමට - ජාත්‍යන්තරව සමාජවාද සඳහා කරන අරගලයේ කොටසක් ලෙස - කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම මගිනි. සමාජවාදී සමානතා පක්ෂයත්, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ සංවිධානයත් ඉදිරිපත් කරන්නේ මෙම වැඩපිලිවෙලයි.

මෙම දේශපාලන වැඩපිලිවෙල සිසුන් අතර සාකච්ඡාවට ගැනීමට අවිශිබම හා ඊට සම්බන්ධ සිසු සමිති නායකයෝ මාරක ලෙස විරුද්ධව සිටිති. ඔවුහු එය වලක්වන්නේ "දේශපාලනය එපා” යන කඩතුරාවකිනි. ඔවුන් විරෝධතා ව්‍යාපාරවල සිසුන් හිර කිරීමේ දේශපාලනය ගෙනයෑමේ ඒකාධිකාරය ඉල්ලා සිටිති. සිසුන් මෙම ප‍්‍රතිගාමී අභ්‍යාසය ප‍්‍රතික්ෂේප කල යුතු ය.

ආන්ඩුව දියත් කරන මර්දනයට ජවිපෙ හා ඊට සම්බන්ධ සිසු සංගම්වල නායකයන් ද ඉඳුරාම වග කිව යුතු ය. ඔවුහු සසජාශි සාමාජිකයන් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන්ට කායිකව පහර දීමේ ප‍්‍රකෝපකාරී කි‍්‍රයා සංවිධානය කලහ. සිසුන් තම දේශපාලන අත්අඩංගුවට ගැනීමට අතිශය පසුගාමී හා ප‍්‍රතිගාමී කි‍්‍රයාවක් වන නවක වධයේ ද ජවිපෙ කි‍්‍රයාකාරීන් යෙදී තිබේ. මේ මගින් අවිශිබම ධනපති ආන්ඩුවට සිසු මර්දනය මුදා හැරීමට පාර කපා දුනි.

අවිශිබම නායකයෝ දැන්, දෙමල ජනතාවට එරෙහිව යෙදූ ආයුධ අප වෙත එල්ල කරනවා යයි මැසිවිලි කියති. මෙම නායකයන් ම ජවිපෙ අනුව රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයට මුලුමනින් සහාය දුන්නේ දෙමල ජනයාට ද කම්කරු-පීඩිත සියලු මහජනතාවන්ට ද එරෙහිව මිලිටරිය, පොලීසිය හා ආන්ඩුව ශක්තිමත් කරමිනි. කොටින්ම පොලිස් රාජ්‍ය සැලසුම් ශක්තිමත් කරමිනි.

Share this article: