මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ යුරෝ අර්බුදයට ජර්මනියේ ක්‍රියාත්මක සහභාගිත්වය ඉල්ලා එක්සත් වෙති

UK’s major parties unite to demand action from Germany over euro crisis

By Julie Hyland, 16 November 2011

බ්‍රිතාන්‍යයේ සියලු ප්‍රධාන පක්ෂවල දේශපාලන නායකයෝ යුරෝ කලාප‍ය බිඳ දැමීමට තර්ජනය කරන “ආර්ථික කලිකලහය” පිලිබඳව එකාවන්ව අනතුරු ඇඟවූහ.

ව්‍යාපාරික ලේකම් හා ලිබරල් ප්‍රජාතන්ත්‍ර මන්ත්‍රී වින්ස් කේබල් සති අන්ත සම්මුඛ සාකච්ඡාවක දී, තවත් බරපතල කප්පාදු පියවර පැටවීමේ අරමුන ඇතිව, ග්‍රීක හා ඉතාලි මහජනතාවගේ ඔලුගෙඩිය මත “තාක්ෂනවේදී” ආන්ඩු ඇටවීම පිලිබඳව දැඩි අනාවැකියක් පලකර තිබුනි.

පූර්වයෙන් කොන්සර්වේටිව් චාන්සලර් ජෝර්ජ් ඔස්බෝන් තත්වය “අනතුරුදායක” යයි කියා සිටියේ ය. ඒ අතර හිටපු ලේබර් අගමැති ටෝනි බ්ලෙයාර්, යුරෝ කලාපය බිඳවැටීම “විනාශකාරී” වනු ඇතැයි පැවසී ය.

ඔවුන්ගේ අනතුරු ඇඟවීම් පලවූයේ, මහා බ්‍රිතාන්‍යයේ තරුන විරැකියාව වාර්තා පලකිරීම ඇරඹීමෙන් පසුව ප්‍රථම වතාවට දශ ලක්ෂය ඉක්මවා යන පරිදි වැඩිවනු ඇති බවට විශ්වාස කරන අද ප්‍රකාශයට පත්කිරීමට නියමිත සංඛ්‍යා ලේඛනවලට පෙරාතුව ය. යුරෝපීය සංගමයේ (යුස) වාර්තාවකට අනුව මබ්‍රි, එකකට පසුව එකක් වශයෙන් පැමිනෙන පසුබෑමක බරපතල අන්තරායට මුහුනපා සිටියි. මේ අතර එංගලන්ත බැංකුව 2012 වසර සඳහා සිය වර්ධන අනුපාතය අඩකින් පහත හෙලන ලදී.

මහා බ්‍රිතාන්‍යයේ නිර්යාතවලින් සියයට 40ක් ම යුරෝ කලාපයට යන තතු හමුවේ, අගමැති ඩේවිඩ් කැමරොන් “සියලු අවසන් කටයුතු” සඳහා භාන්ඩාගාරය අවශ්‍ය සැලසුම් සූදානම් කර ඇතැයි පැවසී ය.

ඔවුන්ගේ ප්‍රකාශ, වැඩකරන ජනතාව මුහුනපා සිටින, එන්ට එන්ටම වැඩිවන දුෂ්කරතා පිලිබඳ උත්සුකයක් සමග ගෑවිලාවත් නැත. බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව්-ලිබරල් ප්‍රජාතන්ත්‍ර සභාග ආන්ඩුව, රාජ්‍ය හා පුද්ගලික අංශ පුරා ලක්ෂ ගනන් රැකියා අහෝසි වීමට තුඩුදුන්, යුරෝපයේ වඩාත්ම දරුනු කප්පාදු වැඩසටහන් ක්‍රියාවට නඟා ඇත. පලමු වටයේදී ආන්ඩුව, තම වියදම් කප්පාදුව යුක්ති සහගත කිරීම සඳහා යුරෝ කලාපයේ අර්බුදය යොදා ගත්තේය. ඔස්බෝන් පැවසුවේ යුරෝපයේ අර්බුදය, “බ්‍රිතාන්‍යයේ අපට මෙම කුනාටුව මගින් දුෂ්කර තීරන ගැනීමට බලකෙරෙන්නේ නම් අප ඒවා ගන්නේ වෙලඳපොලවල් විසින් එසේ කරන ලෙස අපට බල කරන පරිදි නොව, අපගේම කොන්දේසිවලට අනුකූලව ය.” යනුවෙනි.

“අවසාන නය දෙන්නා” වශයෙන් යුරෝපීය මහ බැංකුව (ඊසීබී) කටයුතු කිරීම කෙරෙහි ජර්මනිය දක්වන විරුද්ධත්වය අතහැර දැමීමට බල කිරීම, සියලු පක්ෂ වල අරමුන වී තිබීම වැදගත්ය. කේබල් මෙසේ පැවසී ය. “ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය වන්නේ, ජර්මනියයි. යුරෝ කලාපය බිඳ නොවැටීම පිනිස එයට ගැනීමට සිදුව තිබෙන පියවර ගැනීමට ජර්මනිය දක්වන කැමැත්තයි.”

යුරෝපීය ආර්ථිකයන්ට ඇපදීමට, යුරෝපීය මූල්‍ය ස්ථාවරකරන පහසුකම් සඳහා අතිරේක අරමුදල් සැපයිය යුතු බවට වොෂින්ටනයෙන් හා ලන්ඩනයෙන් කෙරෙන ඉල්ලීම් කෙරෙහි චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා බුන්ඩස්බෑන්ක් (ජර්මන් මහ බැංකුව) එක දිගට විරුද්ධ වී තිබේ. “මූල්‍ය අරමුදල් සම්පාදනය මත නීතිමය තහනමක්” පැනවෙන මෙම පියවර යුරෝපීය සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බව බුන්ඩස්බෑන්ක් ප්‍රධානී ජෙන්ස් වෙයිඩ්මාන් අවධාරනය කලේය.

ප්‍රන්ස ජනාධිපති නිකොලායි සර්කෝසි ද යුරෝපීය මහ බැංකුව වැඩි ක්‍රියාකලාපයක් ඉටුකල යුතුය යන්න පිලිබඳව කැමැත්තක් දක්වයි. කෙසේ වුවත්, සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් ඔක්තෝබර් සමුලුව ආසන්න වෙද්දී, යුරෝපීය සංගමයේ, ජමුඅ හා යුමබැ වෙතින් ග්‍රීසියට ලැබෙන නය කොන්දේසි ඉටුකිරීමට එරට අසමත් වන බව පෙනී ගිය තතු හමුවේ, ජර්මනියට අනුගත වීමට ඔහුට බල කෙරුනි. ඒ වෙනුවට යුරෝ කලාපීය සමුලුව නිවේදනය කලේ, පහසුකම් සැපයීමේ වැඩ සටහන, යුරෝ බිලියන 440ක සිට ට්‍රිලියනය දක්වා “පිම්බීමට” ජාමූඅ, චීනයෙන් හා රුසියාවෙන් අතිරේක අරමුදල් ලබාගැනීමේ අනුමාන සැලසුම් හා ග්‍රීක බැඳුම්කර හිමියන් ස්ව කැමැත්තෙන්ම සියයට 50ක් දක්වා වූ “කප්පාදුවක්” පිලිගන්නා බව පමනි.

මෙය කිසිසේත්ම ග්‍රීක නය පැහැර හැරීමකට සම්බන්ධ උත්සුකයක් නො වේ. ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ වුල්ෆ්ගෑන්ග් මුන්චාවු ලියා ඇත්තේ එම තීරනය විශේෂයෙන්ම වෙලඳපොලවල් වෙහෙසට පත්ව ඇති බැවින්, “ග්‍රීක රජයට නය දී තිබෙන පුද්ගලික අංශ‍ෙය් සහභාගිත්වය යලි සලකා බැලීමක්” බවය. “දැනට මගේ අදහස නම්, ආයෝජකයෝ එය පූර්වාදර්ශයක් ලෙස අර්ථගන්වනු ඇති බවයි. ඉන් පසුව ඔවුන් තමන් සතු පෘතුගීසි, ස්පාඤ්ඤ, ඉතාලි හා ප්‍රන්ස රජයේ බැඳුම්කර පවා ඉවත දමනු ඇත.”

අර්බුදය උත්සන්න වෙද්දී කෑන්ස්හි පැවති ජී 20 සමුලුවේ දී ලන්ඩනය හා වොෂින්ටනය, යුරෝ කලාපයට සහාය වශයෙන් ජාමූඅ මුදල් වෙනුවෙන් කිසිදු විශේෂ පොරොන්දුවකට එකඟ නොවූහ. චීනය ද එයට එකඟ නො වී ය. කැමරොන් ප්‍රකාශ කලේ ලෝකය “යුරෝ කලාපයට විශේෂ පනිවිඩයක් නිකුත්කර තිබේ. ඔබලා ලක ලෑස්ති වන්න, ඉන් පසුව අපි උදව් කරන්නෙමු. එහි අනෙක් පැත්ත නො වේ.”

යුරෝපා මහ බැංකුවේ මැදිහත්වීම වෙනුවෙන් කෙරෙන කථා අරමුනු කර තිබෙන්නේ, තවදුරටත් පොදු අරමුදල් දැවැන්ත පරිමානයකින් බැංකු වෙත හරවා යැවීමට ය. ඊනියා “පිග්ස්” යනුවෙන් හඳුන්වන පෘතුගාලය, ඉතාලිය, අයර්ලන්තය, ග්‍රීසිය හා ස්පාඤ්ඤය යන රටවල නය රක්ෂනය කිරීමේ කටයුතුවලට සම්බන්ධ හා අනෙකුත් යුරෝපීය රටවල බොහෝ සෙයින් ආයෝජනය කර ඇති වොෂින්ටනයට හා ලන්ඩනයට මෙය විශේෂිත ය.

එක්සත් ජනපද මූල්‍ය වෙලඳපොල එහි සමස්ත වත්කම්වලින් අඩකට පමන සමාන ඩොලර් ට්‍රිලියන 1.2ක් යුරෝපීය බැංකු ක්‍රමයට සෘජුව ම නිරාවරනය කර තිබෙන බව නය වර්ගීකරන ආයතනයක් වන ෆිච් සඳහන් කලේ ය. ජාත්‍යන්තර සමත බැංකුව ප්‍රකාශ කලේ, එක්සත් ජනපද බැංකු ව්‍යුත්පන්න කොන්ත්‍රාත් හරහා යුරෝපා සංගමයේ පරියන්ත රටවලට ඩොලර් බිලියන 500ක් නිරාවරනය කර ඇති බවත් ජර්මානු හා ප්‍රන්ස බැංකුවලට ට්‍රිලියන 1.2කටත් වඩා නිරාවරනය වී තිබෙන බවයි.

සිය සම්මුඛ සාකච්ඡාවේදී කේබල් පැවසුවේ, යුරෝපීය මහ බැංකුවට “මැදිහත් වීම සඳහා අසීමිත බලයක්” පැවරිය යුතු බවයි. “2008 දී අප, අපගේ ම රට තුල අත් දුටුවේ මෙම කටයුතු සඳහා ශක්තිමත් මහ බැංකුවක අවශ්‍යතාව යි.”

මේ සඳහන් කරන්නේ, ලේබර් ආන්ඩුව විසින් බ්‍රිතාන්‍ය බැංකුවලට දුන් පවුම් බිලියන සිය ගනන් වන “ප්‍රමානාත්මක ලිහිල් කිරීම්” පැකේජ ගැන යි. පසුගිය මාසයේ එංගලන්තය තවත් පවුම් බිලියන 75ක් මුද්‍රනය කරන ලද අතර එය බැංකු ක්‍රමය තුලට මුදාහරින ලදී. මෙම අරමුදල් යලි පියවා ගන්නේ රැකියා, වැටුප් හා වැඩකරන ජනතාවට වැදගත්සේවා කප්පාදුවෙනි. එම පන්ති න්‍යාය පත්‍රය ම වඩාත් රුදුරු ලෙස ග්‍රීසියේ හා වෙනත් තැන්වල ක්‍රියාවට නැ‍ඟෙයි.

යුරෝ කලාපයේ ඉරනම පිලිබඳව අනතුරු ඇඟවීමේ සීනු හඬ නැංවෙද්දී, යුරෝපයේ ප්‍රධාන බලවතුන් අතර ජාතික ආතතීන් වේගයෙන් වැඩෙමින් තිබේ. සිහිවටන ඉරිදා ඔබ්සවර්පත්‍රයට ලියමින් යුරෝපීය කොමිසමේ සභාපති ජොසි මැනුවෙල් බරෝසෝ පවසුවේ, “මෙවන් නොවූ විරූ කාල වකවානු දෙස ඉතිහාසඥයින් ආපසු හැරී බලන විට, අප කුඩු පට්ටම් වී යාමේ අද්දර සිට අඩිය පස්සට ගත් බවක් වටහාගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. යුරෝ කලාපය යුරෝපා සංගමයේ පහලවූ දෙයක් ලෙස සලකා කටයුතු නොකල යුතුය. අභියෝගය වන්නේ, තවමත් යුරෝවට සම්බන්ධ නොවී ඇති සාමාජික රටවල් සමඟ භේද ඇතිකර නොගෙන යුරෝ කලාපය තවත් පුලුල් කරන්නේ ‍ෙකසේ ද” යන්නයි.

මෙය ග්‍රීසිය හා අනෙකුත් දුබල රටවල් නොමැතිව වඩාත් කුඩා යුරෝ කලාපයක් නිර්මානය කිරීමේ සැලසුම් අඳිමින් සිටින බව වාර්තාවී ඇති ජර්මනිය හා ප්‍රන්සයට චෝදනාවක් ලෙස සලකනු ලබයි. එසේම එය මුලුමනින්ම හෝ පාර්ශවීයව යුරෝපා සංගම‍යෙන් ඉවත්වීමට කතා කරන බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ සැලකිය යුතු තරම් වන යුරෝ සංශයවාදීන් ට එරෙහිව ද එල්ල කල චෝදනාවකි. යුරෝපා සංගමය බ්‍රිතාන්‍ය සාමාජිකත්වය පිලිබඳ ජනමත විචාරනයක් පැවැත්වීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීමට එ‍රෙහිව පසුගිය මාසයේදී කොන්සවේටිව් මන්ත්‍රීන්ගේ පෙර නොවූ විරූ කැරැල්ලක් දැකගත හැකි විය.

ෆ්‍රෑන්ක්ෆර්ට් “කන්ඩායමේ” මූල්‍ය විනය මුල් කරගෙන ග්‍රීසිය හා ඉතාලිය සඳහා යුරෝ කලාපීය සමුලුව දන්ඩන කප්පාදු පියවර පැනවී ය. ගාඩියන් පත්‍රයේ ව්‍යාපාර කතුවර ලැරී එලියට් මෙම කාරනය විස්තර කලේ, “ජමූඅ ක්‍රිස්ටීන් ලැගාර්ඩි, මර්කෙල්, සාකෝසි, යුමබැ සභාපති මාරියෝ ඩ්‍රැගි, බරාසෝ ඇතුලු තෝරා පත්කර නොගත් පුද්ගලයින් අට දෙනෙකුගේ කල්ලියක්” ලෙස ය. මෙය අවසන් වූයේ තෝරා පත්කර නොගත් ආන්ඩු පත්කිරීමෙනි. “තාක්ෂනවේදීන්” නායකත්වය දරන ඒවා කෙලින්ම වගකියන්නේ ෆ්‍රෑන්ක්ෆර්ට් “කල්ලියට ය.” මෙය ආරක්ෂා කරමින් කතාකල බ්ලෙයාර්, “ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය සහේතුක මිනිස්සු මෙවන් නායකයින් තෝරා ගනිති.”

බ්‍රිතාන්‍ය ධනේශ්වරය මුහුන දෙන අර්බුදය නම්, යුමබැ මැදිහත්වීම වෙනුවෙන් එය පෙනී සිටීමත් යුරෝපයේ තවත් පුලුල් කප්පාදු සඳහා එය දක්වන සහයෝගයත් යුරෝ කලාපයේ වඩාත් දැඩි දේශපාලන හා මූල්‍ය ඒකාග්‍රකරනයක් දෙසට තබන පියවර තවත් ශක්තිමත් කිරීම යි. ප්‍රන්සය දැන් වෙලඳපොල නිරීක්ෂනයට හසුවී සිටීමත්, යුරෝපයේ පහසුකම් සැලසීමේ අරමුදලට මුදල් සොයා ගන්නෙ‍් කෙසේ ද යන්න පිලිබඳව තවමත් එකඟත්වයකට පැමින නොතිබීමත් හමුවේ ජර්මනිය, යුරෝව “ගලවා ගැනීමේ” සෑම කොන්දේසියක්ම අනවනු ලබයි. මෙම වර්ධනය බ්‍රිතාන්‍ය මුලුමනින්ම කොන්වීමේ අවදානම ඉස්මතු කරයි.

14දා මර්කෙල් සිය ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍ර සංඟමයේ සමුලුවට පැවසුවේ, කර්තව්‍යය නම්, “පරිපූර්න ආර්ථික හා මූල්‍ය සංගමයක් හා යුරෝපයේ දේශපාලන සාමුහිකත්වය ගොඩනැඟීම” බවයි.

නයගැති රටවල් මූල්‍ය විනය ඇතිකරන්නේ නැත්නම්, ඒවාට දැඩි සම්බාධක පැනවීමේ බලතල ද ඇතුලුව ඒකාග්‍රකරනය සඳහා යුරෝපා සංගමය සම්මුතීන්, වෙනස්කල යුතුය. ඇය මීට කලින්, බ්‍රිතාන්‍ය මෙම වෙනස්කම් වලට අත්සන් තැබිය යුතු බවත් නැතිනම් ජර්මනිය හා ප්‍රන්සය “දෙපේලියේ” යුරෝපයක් කරා පෙරට යන බවටත් කැමරන් වෙත අනතුරු ඇඟවූ බව වාර්තා විය.

ලෝර්ඩ් මේයර්ගේ උත්සවයෙහි තම කතාව තුල කැමරන් යුරෝපා සංගමය “නිරර්ථක මැදිහත්වීමත්, රෙගුලාසි හා නියාමයන්” ගැනත් සඳහන් කරමින් පෙරලා පහර දුන්නේය. “සංශයවාදීන් වන අපට වැදගත් කාරනයක් ඇත. යුරෝ කලාපීය අර්බුදය මෙම ජාතියේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි යුරෝපා සංගමය යලි හැඩගැන්වීම ආරම්භ කිරීමේ අවස්ථාවකි.”

යුරෝපා සංගමය ඉවත්වීම බ්‍රිතාන්‍යයට හානිකර බව පවසමින් කැමරන්, ප්‍රමුඛ මූල්‍ය කලමනාකරුවන්ගෙන් යුත් තම ප්‍රේක්ෂකයින්ට කියා සිටියේ, යුරෝපා සංගමයේ සම්මුතීන් වෙනස් කිරීමේ කුමන හෝ උත්සාහයක්, බලය බ්‍රසල්ස් වෙතින් ජාතික රාජ්‍ය කරා “ආපසු යාමක් වන බවයි.”

කැමරන්, ඉතාලියේ හා ග්‍රීසියේ කරගෙන යමින් තිබෙන පාලන තන්ත්‍ර වෙනස්කිරීම පිලිබඳ ප්‍රතිපත්තිය විවේචනය කලේ නැත. ඔහුට අවශ්‍ය වන්නේ, පුද්ගලික ප්‍රාග්ධනයේ වාසිය සඳහා යුරෝපීය සංගමය තුල පවතින වැඩකරන කාලය හා සේවා කොන්දේසි පිලිබඳ නීති රෙගුලාසි අහෝසි කිරීමේ හා කලාපයේ රාජ්‍ය සේවා හැකිතාක් දුරට පුද්ගලීකරනයේත් බලතල ය. එසේම එය යුරෝපීය මූල්‍ය ගනුදෙනු වලින් බදු අය කිරීමේ ජර්මානු යෝජනාවන්ට ද විරුද්ධත්වය පල කරයි. චාන්සලර් ඔස්බෝන් මෙය විස්තර කලේ “ලන්ඩනයේ හදවතට එල්ල කල මූනිස්සමක්” ලෙස ය.

කොන්සවේටිව් ප්‍රතිපත්තීන්ට ලේබර් පක්ෂය සහාය දෙයි. ඡායා කැබිනට්ටුවේ චාන්සලර් එඩ් බෝල්ස්, ජර්මනිය යුරෝ කලාප‍ෙය් ආරක්ෂාව පිලිබඳව සහතික වන තෙක් ජාමූඅට බ්‍රිතාන්‍ය අතිරේක අරමුදල් සම්පාදනය අත්හිටුවිය යුතු බවට තර්ක කලේය. ලේබර් විදේශ කටයුතු ප්‍රකාශක ඩග්ලස් ඇලෙක්සැන්ඩර් මෙසේ පැවසීය. ආන්ඩුව, “ජර්මනිය යුරෝ කලාපය තුල දැඩි විනයක් ඇතිකිරීමට සම්මුති වෙනස්කිරීමේ උත්සාහයක නිරතවීම පිලිබඳ යථාර්තයට මුහුන දිය යුතු අතර මෙම අවස්ථාව යුරෝවේ සාමාජිකයින් නොවන රටවල අයිතීන් ආරක්ෂා කිරීම පිනිස යොදාගත යුතුය.”

ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත මෙසේ පැවසීය. “පක්ෂ දෙකේ, සමහරවිට පක්ෂ තුනේම නායකයින් දශක හතරක් පුරා බ්‍රිතාන්‍ය දේශපාලනය කෑලිවලට ඉරා තිබුනු ප්‍රශ්නය මත එකිනෙකා අතර සහමුලින්ම පාහේ එකඟත්වයකට පැමින සිටියි.”

මෙම ප්‍රතිපත්ති පදනම්ව ඇත්තේ, කම්කරු පන්තියට අතිශය විනාශකාරී ප්‍රතිවිපාක පමනක් ජනනය කල හැකි, යුරෝපය ජාතික රේඛා ඔස්සේ බෙදා වෙන්කිරීම වේගවත් කිරීමේ අරමුන මතය.

Share this article: