අදහස් දැක්වීමක්: ජෝර්ජ් ඕවල්ගේ එක්දහස් නවසිය අසූහතර 2010 දී යලි විමර්ශනය කිරීම

A comment: Revisiting George Orwell’s Nineteen Eighty-Four in 2010

By Richard Mynick ,12 June 2010

"ඕවලියානු” යන පදය මහජන වාග්කෝෂය තුල ප‍්‍රථම වරට පෙනී සිටි තැන් පටන් එම යෙදුමෙන් ජනිත කෙරුනේ මූලාකෘතික "ඒකාධිපති රාජ්‍යයක්” පිලිබඳ චිත‍්‍රයකි. එනම් රහස් පොලීසියෙන් පිරී ඉතිරී ගිය, තමන්ගේ ම ජනතාව පිලිබඳව රහසේ විමර්ශනය කල, විරුද්ධ මත මර්දනය කල, පදනම් රහිත අත්අඩංගුවට ගැනීම් කල, සිරකරුවන් වධබන්ධනයන්ට ලක්කල, අනවරත යුද්ධය දියත්කල, හුදු ප‍්‍රයෝගය සඳහා ඉතිහාසය නැවත නැවත ලියූ, තමන්ගේ ම වැඩකරන ජනයා දරිද්‍රතාවට ඇදහෙලූ ඒකපාක්ෂික ආඥාදායකත්වයකි. එම ආඥාදායකත්වයේ දේශපාලන කතිකාව පාදක කෙරුනේ, "යමෙකුගේ චිත්ත සන්තානය තුල එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ විශ්වාසයන් දෙකක් එකවිට දරමින් ඒ විශ්වාසයන් දෙකම පිලිගැනීමේ” බලය ලෙස අර්ථ දක්වන චින්තන පද්ධතියක් වූ ද්විත්ව චින්තනය (ඩබල්තින්ක්) මතය.

විසිවන ශතවර්ෂයේ මැදභාගයේ දී පලවූ වඩාත් ම බලගතු ඉංගී‍්‍රසි නවකතාවලින් එකක් වන ජෝර්ජ් ඕවල්ගේ 1984 මගින් අමරනීයත්වයට පත්කරන ලද අනාගතවාදී ඩිසිටෝපියාව (‍සෛද්ධාන්තික රාජ්‍යය) වන " ඕෂනියාව” පිලිබඳ මෙම විස්තරය බොහෝ ඇමරිකානුවෝ ඉතා පහසුවෙන් හඳුනාගනු ඇත.

ඇමරිකානුවන්ගේ ම සමාජයට මෙම චිත‍්‍රනය අදාල වේ යයි ඔවුන් හඳුනාගනී ද යන්න වෙනත් කාරනයකි. එහෙත් 2000 ජනාධිපතිවරනය සොරාගත් තැන් පටන් සැප්තැම්බර් 11 ප‍්‍රහාර, ව්‍යාජ "ඩබ්ලිව්එම්ඩී” (මහජන සංහාරක අවි) මත පදනම්ව ඉරාකය ආක‍්‍රමනය කිරීම, වධබන්ධන අපචාරයන් සහ 2008 මූල්‍ය අර්බුදය ආදිය මගින් සංලක්ෂිත කරන ලද කාලපරිච්ඡේදය තුල ඇමරිකානුවන් වැඩි පිරිසක් එය ග‍්‍රහනය කරගැනීමේ ලක්ෂ්‍යයකට පැමින ඇත.

1984 පලකරන ලද්දේ නැගී එන සීතල යුද ආතතීන් මධ්‍යයේ 1949 ජුනි මාසයේ ය. බොහෝ බටහිර පාඨකයන් සම්බන්ධයෙන් ගත්කල එම ග‍්‍රන්ථය ඒ සමයේ ප‍්‍රති-කොමියුනිස්ට්වාදී පි‍්‍රස්මය මගින් අර්ථ නිරූපනය කරන ලදී.

නවකතාවේ එන පොලිස් රාජ්‍යය ස්ටැලින්ගේ සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයට පැහැදිලි සාදෘෂ්‍යයක් දරා සිටියේ ය. ස්ටැලින්වාදයට ගැඹුරින් ම සතුරු ස්වයං-ප‍්‍රකාශිත ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදියෙකු වූ ඕවල් අතින් මෙම කෘතිය බිහිවීම පුදුමයක් නො වීය. එහෙත් ස්ටැලින්වාදය සමාජවාදය සමග මුහු නොකිරීමට තරම් පැහැදිලි දෘෂ්ටියක් ඕවල් සතුවිය. ඔහුගේ පහත ප‍්‍රකාශය ඒ සඳහා එක් උදාහරනයකි. "මගේ මෑත නවකතාව -1984- සමාජවාදය මත එල්ල කරන ප‍්‍රහාරයක් ලෙස අරමුනු කරගත්තක් නො වේ...ඒ වෙනුවට එය මේ වනවිටත් කොමියුනිස්ට්වාදය සහ ෆැසිස්ට්වාදය තුල ආංශිකව නිරූපනය කරනු ලැබ ඇති විකෘතීන් හෙලිදරවු කිරීමකි...” (1) එනමුදු ඔහුගේ සීතල යුදකාලීන පාඨකය මෙම විභේදනය දැක නොගැනීමට තරම් අන්ධ විය. "ග‍්‍රන්ථයේ දර්ශන පථය බි‍්‍රතාන්‍යය මත පාදක කෙරුනේ... ඉංගී‍්‍රසි කථා කරන ජාතීන් වෙනත් කිසිවෙකුට වඩා ජන්මයෙන් යහපත් නො වන බව හා ආඥාදායකත්වය... ඕනෑ ම තැනක විජයග‍්‍රාහී විය හැකි බව අවධාරනය කිරීමට ය” යනුවෙන් ඔහු ලියූ අනතුරු ඇඟවීමේ සටහන් බහුලව නො තකා හැරුනු අතර "ඔබට අනාගතය පිලිබඳ පින්තූරයක් අවශ්‍ය නම් සපත්තු පහරක් මිනිස් මුහුන මත සදාකල් පතිත වීම උපකල්පනය කරන්න” යන නවකතාවේ බියකරු අනාවැකියමත් මහජන මනස තුලට ආසක්ත කලේ බටහිර පන්නයේ ධනේශ්වර "ප‍්‍රජාතන්ත‍්‍රයන්ගේ” (2) සතුරන් ලෙස සලකන දේශපාලන පද්ධතීන් ය.

එහෙත් 1984 බටහිර නිර්දේශ කිරීමක් නො වේ. එය උපග‍්‍රහනය කරන්නේ තමන්ගේ ම අවශ්‍යතා වෙනුවෙන් පාලනය කරන්නා වූ ද තාර්කික අන්තය දක්වා ම රාජ්‍ය‐ධාවිත මනස් පාලනයක් තුලින් තම පාලනය පවත්වාගෙන යන වගකීම් විරහිත ප‍්‍රභූවකි. ආර්ථික සංවිධානයේ නාමමාති‍්‍රක රූපාකාරය පිලිබඳව නො සලකා සූරාකෑමේ පාලනයට යටත් වීමට ජනතාවකට මෙහෙයුම්කාරීව බලපෑම් කරන්නේ කුමක් දැ යි එය විභාග කරයි. වෙනත් අයුරකින් කිවහොත් පාලනය කරන නිලධාරී තන්ත‍්‍රයකින් වේවා මූල්‍ය ප‍්‍රාග්ධනයෙන් වේවා කවරකින් ප‍්‍රභවය ලැබුවත් වගකීම් විරහිත රාජ්‍ය බලයේ මනෝ-සාමාජික යන්ත‍්‍රනය පිලිබඳව ග‍්‍රන්ථය පොදුවේ සලකා බලයි. මර්දනයේ සහ ජනගහනයේ විඥානය පාලනය කිරීමේ යම් ආකාර සංයෝජනයක් හරහා පමනක් කල හැකි වන්නා වූ අතිශයින් ම අසමාන සමාජයක සමාජ ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ සාමාන්‍ය ගැටලුව පිලිබඳව එය ගවේෂනය කරයි.

කෲර පාලන තන්ත‍්‍ර ප‍්‍රාථමිකව රැඳී ගන්නේ මර්දනය මත ය. විචක්ෂනශීලී පාලන තන්ත‍්‍ර විඥානය පාලනය කිරීමේ සූක්ෂම උපක‍්‍රම සොයා ගනී. අනෙක් අතට විඥානය සමාජයේ ප‍්‍රකට භාෂා ව්‍යවහාරය සමග එකට වෙලී තිබේ. ඕෂනියාව සහ ඇමරිකාව විඥානය හැඩ ගැන්වීමේලා විචක්ෂනශීලී තැනුම්කරුවෝ ය. සමාජයන් දෙකේම හරාත්මක ලක්ෂන වඩවඩාත් සමාන වෙමින් පවත්නේ ද, භාෂාව, විඥානය, සාම්‍යත්වය සහ බලය අතර අන්තර් සබඳතා පිලිබඳව ග‍්‍රන්ථය තූල ගැබ් වූ බලගතූ අන්තර්ඥානයන් ඒ වන විටත් පාඨකය විසින් හඳුනාගෙන තිබුනු සීතල යුද කාලපරිච්ඡේදයේ පාඨකයන්ට වඩා 2010 පාඨකයන්ට 1984 වඩ වඩා අදාල වන්නේ ද මේ නිසා ය.

1984හි ඕෂනියාවේ මනස් පාලනය

ඕවල්ගේ පරිකල්පිත ඕෂනියාවේ මනෝසමාජීය යන්ත‍්‍රනය දල වසයෙන් කි‍්‍රයාත්මක වන්නේ මෙසේ ය: සකල බලය දරා සිටින්නේ පක්ෂය යි. රාජ්‍ය පිලිවෙතේ ප‍්‍රධාන ධාවක බලය වන්නේ අනවරත යුද්ධය යි. මාධ්‍ය ගත්විට එය සරලව ම රාජ්‍ය ප‍්‍රචාරයේ නාලිකාව යි. චින්තන පොලීසිය (තෝට් පොලිස්) විසින් බලයේ යොදවනු ලබන නො නවතින විමර්ශනය සහ අපරාධකාරී චින්තනය (තෝට්ක‍්‍රයිම් හෙවත් අසාමාන්‍ය චින්තනය) මූලධර්මයක් වසයෙන් කල නොහැක්කක් බවට පත්කිරීම සඳහා - එනම් විරෝධාකල්පික චින්තනය සූත‍්‍රගත කිරීම සඳහා අවශ්‍ය නිර්මිතයන් භාෂාව තුල නොමැති වීම නිසා - චින්තන පරාසය ලඝුකිරීම ප‍්‍රකාශිත අරමුන කරගත් නිව්ස්පීක් නම් නව භාෂාවක වර්ධනය හරහා ජනගහනය නිරන්තර පරීක්ෂිත මට්ටමේ තබාගන්නා ලදී.

ගෝර ජාතිකවාදයට සහ යුදකාමී ස්වෝත්තමවාදයට උනන්දුව ජනනය කිරීම සඳහා සිරකරුවන් ප‍්‍රසිද්ධියේ එල්ලීම සහ විනාඩි දෙකේ වෛරය වැනි වතාවත් රාජ්‍යය විසින් සැලසුම් කරන ලදී. ජනගහනයෙන් සියයට 85ක් "නිර්ධනයන්’’ (ප්‍රෝල්ස්) දේශපාලන සවිඥානකත්වය අත්පත් කරගැනීමෙන් වැලැක්වීම පිනිස සිත හිරිවට්ටන මාධ්‍ය අපසරනයන් - ප‍්‍රධාන වසයෙන් කී‍්‍රඩා, අපරාධ, ලොතරැයිය සහ ලිංගික කි‍්‍රයා එල්ල කරගත් - සමගින් යටපත් කරනු ලැබීය. "ලෝකය පවත්නා තත්වයට වඩා වෙනස් දෙයක් විය හැකි ය යන්න ග‍්‍රහනය කරගැනීමේ බලයෙන් තොරව” නිර්ධනීන් යටත් කොට තබා ගන්නා ලදී

ඒ අතර ම සියයට 2ට වඩා අඩු පක්ෂ අභ්‍යන්තර (දි ඉනර් පාටි) සහ බලයෙන් අඩු කි‍්‍රයාකාරීන් වන බාහිර (දි අවුටර් පාටි) යන දෙකොට්ඨාශයේ ම අපරාධකාරී චින්තනයෙන් වැලකීම සඳහා ද්විත්ව චින්තන කලාවේ පාරප‍්‍රාප්ත විය යුතු විය. පක්ෂ සාමාජිකයෙක් "විදේශීය සතුරන්ට සහ අභ්‍යන්තර ද්‍රෝහීන්ට ඇති වෛරයේ, ජයග‍්‍රහන මත විජයග‍්‍රහනයේ සහ පක්ෂයේ බලය සහ ප‍්‍රඥාව ඉදිරියේ ස්වයං - අවමානයේ නො නවතින මානසික ව්‍යාකූලත්වයේ ගිලී ජීවත් විය යුතු” විය. තම චින්තනයන් ස්වයං-පාලනයට අදක්ෂ වූවෝ සහ ඒ නිසා ම සාම්මතයට විභව තර්ජනයක් ඇති කලෝ ජනයා අතරින් ක‍්‍රමානුකූලව ඉවත් කරනු (මරා දමනු) ලැබූහ. අකීකරු තැනැත්තන්ව ඔවුන්ගේ මනුෂ්‍යත්වය තලා දැමීම සඳහා විද්‍යාත්මකව සැලසුම් කල ක‍්‍රම මගින් වධබන්ධනයන්ට පමුනුවන ලදී.

2010 එක්සත් ජනපදයේ එය කි‍්‍රයාකාරී වන්නේ කෙසේ ද?

සමහරක් සම්පූර්නයෙන් වැඩුනු ආකාරයෙන් ද, අනෙක්වා ප‍්‍රාථමික (තවමත් පරිනාමය වෙමින්) ප‍්‍රාථමික ආකාරයෙන් ද ඉහත නම් කරන ලද ලක්ෂන සියල්ලක් ම හඳුනාගත හැකි ලෙස 2010 ඇමරිකානු සමාජයේ තිබේ. බොහෝ නවීන සමාන්තරයන් පිලිබඳ පරිපූර්න ලැයිස්තුවක් සම්පූර්න පොතක් පුරවනු ඇත. එවැනි කෘතියක් ඕෂනියාවේ උපහාසාත්මකව නම් කරන ලද "සාම අමාත්‍යාංශය” එක්සත් ජනපදයේ "ආරක්ෂක දෙපාර්තමේන්තුව” යන්නට සමාන ඕවලියානු වක්‍රෝත්තියට වැඩි දෙයක් නො වේය යන්න වැනි අල්ප සාම්‍යකරනයන් අඩංගු කරගනු ඇත.

පවත්නා දේශපාලන-ආර්ථික පද්ධතිය පිලිබඳ තාර්කික විවේචන හෙවත් "අසම්මත චින්තනයන්” වර්ධනය කරගැනීමට අවශ්‍ය සංකල්ප සහ ඉදිරිදර්ශන අයත් කරගැනීමෙන් මහජනයා ක‍්‍රමානුකූලව වැලැක්වීමට බොහෝ ආකාරයන්ගෙන් කටයුතු කරන එක්සත් ජනපද මාධ්‍ය නිව්ස්පීක් වර්ගයක් ලෙස සඳහන් කිරීම වැනි වඩා වැදගත් සාම්‍යයන් එය අඩංගු කරගනු ඇත. ගෝලීය මූල්‍ය අර්බුදයේ අපරාධකාරීන් එහි අලාබයෙන් ආරක්ෂා කරන අතර එම අර්බුදයට එහි ගොදුරු බවට පත්වූවන් විසින් ගෙවනු ලැබිය යුතු ය යන වෝල් වීදිය මුදා ගැනීම යටින් දිවෙන තර්කයත් එම පිලිවෙත ගොදුරු වූවන් විසින් "ප‍්‍රජාතන්ත‍්‍රවාදීව” තෝරාගනු ලැබූ ආන්ඩුවක් විසින් ඔවුන් මත එනම් මුලුමනින් ම පාහේ සමස්ත ජනගහනය මත පැටවිය යුතුය යන්න එහි අඩංගු වනු ඇත. (මාක්ස්: "පීඩක පන්තියේ කවර සුවිශේෂී නියෝජිතයින් තමන්ව නියෝජනය සහ පීඩාවට පත්කරන්නේ දැයි වසර කිහිපයකට වරක් පීඩිතයන්ට තීරනය කිරීමේ අවස්්ථාව ලැබේ.”)

පහත දැක්වෙන්නේ ඕවල්ගේ දෘෂ්ටිය අනාගතවාදී මනඃකල්පිතයක් ලෙස සලකනු ලැබූ සහ ඕෂනියා වර්ගයේ කෲර පාලනයන්ට එරෙහි ආරක්ෂක බැම්මක් ලෙස බටහිර පන්නයේ සීමිත ධනේශ්වර "ප‍්‍රජාතන්ත‍්‍රයන්’’ සලකනු ලැබූ තැන් පටන් අප කොතරම් දුරක් ඉදිරියට ගොස් ඇද්දැයි පෙන්නුම් කරන සමාන්තරයන් ය.

ෆැසිස්ට් ජර්මනියේ හෝ ඉතාලියේ මෙන් කම්කරු පන්තිය ඓතිහාසික පරාජයක් අත්දුටු හෝ සෝවියට් සංගමයේ මෙන් ප‍්‍රතිවිප්ලවවාදී නිලධාරී තන්ත‍්‍රයක් විසින් එයින් බලය පැහැරගනු ලැබූ කොන්දේසි ඕවල්ගේ මනසේ තිබුනු බව සඳහන් කල මනා ය. නිතර ම සිදුවන පරිදි ව්‍යාකූල ආකාරයකින් වේවා අද්‍යතන එක්සත් ජනපදය තුල දේවල් පිලිබඳ නිල දෘෂ්ටිය වඩ වඩා අභියෝගයට සහ ප‍්‍රතික්ෂේප කරනු ලැබීමට ලක් වේ. නිශ්චිතව ම ඇමරිකානු පාලකයන්ගේ ආඥාදායක ඉලක්ක සහ අභිමතාර්ථ සැලකිල්ලට ගත්කල ඕවල්ගේ සංකල්ප කිසිවක් නවීකරනය කල යුතු නො වේ.

අනවරත යුද්ධය : ඕෂනියාව මෙන් අද්‍යතන එක්සත් ජනපදය ද පවතින්නේ එම සමාජ දෙකෙහි ම "සාමාන්‍යය” ලෙස පිලිගත් කොන්දේසියක් වන අනවරත යුද්ධය යටතේ ය. හිටපු එක්සත් ජනපද උප ජනාධිපති චෙනී 2001 දී ප‍්‍රකාශ කර සිටියේ ත‍්‍රස්තවාදයට එරෙහි එක්සත් ජනපද යුද්ධය "කිසිදා එනම් අවම වසයෙන් අපගේ ජීවිත කාලය තුල අවසන් නො වනු ඇත’’ යනුවෙනි. මෙම ප‍්‍රකාශය මහ ව්‍යාපාරික පක්ෂ දෙකෙන් එකක හෝ සංගත මාධ්‍යවලින් විරුද්ධත්වයක් ජනනය කලේ නැත. මේ දක්වා එම ප‍්‍රකාශය අනභියෝගීව පවතී. චෙනී මෙම අවධාරනය සිදුකල තැන් පටන් එක්සත් ජනපදයේ පවත්වා ඇති ජාතික මැතිවරන හතරෙන් එකක දී වත් අනවරත යුද්ධය පිලිබඳව විවාද කිරීම පසෙක තැබුවත් ඒ ගැන සඳහන් කිරීම පවා කර නොමැත.

සමාජයේ පන්ති ව්‍යුහය නඩත්තු කිරීම සඳහා යුද්ධය: ට්‍රොට්ස්කිගේ ඓතිහාසික චරිතය මත ලිහිල් ලෙස පදනම් වූ "ගෝල්ඩ්ස්ටයින්’’ නමැති චරිතය හරහා කතා කරමින ඕවල් ලියූ පරිදි: "සෑම පාලක කන්ඩායමක් ම යුද්ධය තමන්ගේ ම යටත් වැසියන්ට එරෙහිව දියත් කරන අතර එහි අරමුන වන්නේ භූමිප‍්‍රදේශ අල්ලාගැනීම හෝ එයින් වැලැක්වීම නොව සමාජයේ ව්‍යුහය ආරක්ෂිතව තබාගැනීම යි.” තවදුරටත් ඔහු කියා සිටියේ: "භෞතික අර්ථයෙන් ගත් කල යුද්ධය ඉතා කුඩා මහජන කන්ඩායමක් බෙහෙවින් උසස් ලෙස පුහුනුව ලැබූ විශේෂඥයින් සහභාගි කර ගන්නා අතර තුවාල කරුවන් අල්පයක් පමනක් ඇති කරයි...ඒ අතර ම යුද්ධයක නිරත වී සිටී ය යන මනෝගතිය සහ ඒ නිසා ම අන්තරාදායකත්වය පිලිබඳ හැඟීම සමස්ත බලය කුඩා පැලැන්තියකට පැවරීම නොවැලැක්විය හැකි පැවැත්මේ කොන්දේසිය ලෙස තහවුරු කරයි.”

මෙම අදහස් එක්සත් ජනපද "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය”, ඊනියා "විශේෂ බලකායන් සහ නියමු රහිත යානා” පාවිච්චි කිරීම සහ භීතිය හා යක්ෂ උන්මාදය පැතිරවීමේ වෙහෙස නො තකන උද්ඝෝෂනවලට ඉතා අදාල වේ. නම් සඳහන් කලහොත් තෙල්වලින් පොහොසත් කලාප හෝ නලමාර්ග සහ/හෝ මිලිටරි කඳවුරු සඳහා මූලෝපායිකව වටිනාකමක් ඇති ප‍්‍රදේශවල ආධිපත්‍යය තහවුරු කරගැනීමට එක්සත් ජනපද යුද්ධය භූමි ප‍්‍රදේශ අල්ලා ගැනීම ඉලක්ක කරගනී යන වචනය පමනක් වෙනස් කිරීම ප‍්‍රමානවත් ය. එහෙත් මෙම ව්‍යතිරේකය” "යුද්ධයේ අරමුන අවම වසයෙන් වත් සමාජයේ ව්‍යුහය ආරක්ෂා කරගැනීම ය” යන්න සහ "සෑම පාලක කන්ඩායමක් ම යුද්ධය දියත් කරන්නේ තමන්ගේ ම යටත් වැසියන්ට එරෙහිව ය” යන්න අවලංගු කරන්නේ නැත.

ඒකපාක්ෂික රාජ්‍යය: ඕෂනියාව මෙන් එක්සත් ජනපදය ද ඒකපාක්ෂික රාජ්‍යයකි. එහි මහ ව්‍යාපාරික පක්ෂ දෙක ව්‍යාජ ලෙස "විරුද්ධ’’ පක්ෂ දෙකක් යයි ඉදිරිපත් කරනු ලැබේ. යථාර්ථයේ දී ඒවා ආර්ථික අර්ථභාරයේ සහ සම්පත් සංවිධානය කිරීමේ සියලු කාරනා මත අනභියෝගී අධිකාරය දරන මූල්‍ය ප‍්‍රභූතන්ත‍්‍රය වන එකම සැබෑ පක්ෂයේ සෞම්‍ය-ව්‍යාජෝක්ති සහ දෘඪ-ව්‍යාජෝක්ති අංශ දෙක ය. ඒකපාක්ෂික රාජ්‍යය පිලිබඳ එක්සත් ජනපද විචල්‍යය ඕෂනියා විචල්‍යයට වඩා සැබැවින්ම භයානක ලෙස ඕවලියානු ය. මන්ද? ඕවලියානු ඕෂනියාව මතුපිට වසයෙන් හෝ එහි සැබෑ තත්වයෙන් වෙනස්ව පෙනෙන නිසා ය. අවම වසයෙන් ඕෂනියාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කඩතුරාව පිලිබඳව විපිලිසර නො වීමේ දී "අවංක” විය.

එක්සත් ජනපදය "ප‍්‍රජාතන්ත‍්‍රයකි” ය යන්නට "සාක්ෂි” ලෙස රිපබ්ලිකානුවන් සහ ඩිමොක‍්‍රටිකයන් අතර බහුල වසයෙන් ව්‍යාජෝක්තිමය සීමිත වෙනස්කම් පිලිගැනීම ඇමරිකානුවන් හැඩගස්වා ඇත්තා හ. සිද්ධිවල ගලායාම මෙම ප‍්‍රවාදයේ බරපතල ඌනතාවයන් හෙලිදරවු කරමින් තිබුනත් (ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශේෂ ශක්තියත් ඒඑෆ්එල්-සීඅයි ඕ සහ විවිධ "වාම” බලවේගයන්ගේ භූමිකාව සැලකිල්ලට ගත්කල) වසර ගනනාවක් පුරා එය පුලුල්ව පිලිගැනීමට ලක් වී තිබීම මහජන විඥානය මත ආධිපත්‍යය දැරීමට සහ එය සැකසීමට නිල දේශපාලන සංස්කෘතියට ඇති බලය පිලිබඳව සාක්ෂි දරයි. (මාක්ස්: "සෑම යුගයක ම රජකරන අදහස් වන්නේ පාලක පන්තියේ අදහස් ය.”)

මාධ්‍ය රාජ්‍ය ප‍්‍රචාරනයේ වාහකයක් ලෙස: ඕෂනියාවේ මෙන් ම වර්තමාන එක්සත් ජනපද මාධ්‍ය සාරාත්මක වසයෙන් රාජ්‍ය ප‍්‍රචාරනයේ වාහක ය. පසුගිය දශකයේ ප‍්‍රධාන සිද්ධිවල ප‍්‍රවෘත්ති ආවරනය පිලිබඳ ලුහුඬු විමසීමක් මෙම චරිතායනය විශාල ලෙස පෙන්නුම් කරන අතර ගතවන සෑම දිනයක් ම මෙම හැසිරීම පිලිබඳ නිමක් නැති උදාහරන සම්පාදනය කරයි. "මැලබාර් පෙරමුනේ වීරයන්” විසින් දිනාගන්නා ලද ජයග‍්‍රහන ගැන විජයග‍්‍රාහී වාර්තා සමග මිශ‍්‍රිතව ඕෂනියාවේ ටෙලිතිරය නොනවත්වා අමු යකඩ නිෂ්පාදනයේ සහ චොකලට් සලාකවල ඉහල යාම පිලිබඳව පුරසාරම් දෙඩෙව්වේ ය.

මෙය සහ ඇමරිකානු ප‍්‍රවෘත්ති වැඩසටයන් අතර - ඕෂනියාවේ හිස් මිලිටරි "ප‍්‍රවෘත්ති වාර්තා” අභිබවා ඇමරිකානු ප‍්‍රවෘත්ති වැඩසටහන් අතර විකාශනය වන ප‍්‍රචාරක දැන්වීම්වලින් බලහත්කාරයෙන් පටවන ප‍්‍රමෝදයේ වඩා පී‍්‍රතිමත් තානයක් හැරුනු විට- සාරය වසයෙන් වෙනසක් නැත. 2009 දී ඉරානයේ සොරාගත්තේ යයි චෝදිත මැතිවරනයක් පිලිබඳව එක්සත් ජනපද මාධ්‍ය ඒකාකාරී "කෝපයක්” ප‍්‍රකාශ කලහ. මැතිවරනය සොරාගැනීම පිලිබඳව කිසිදු ගාම්භීර සාක්ෂියක් ඉදිරිපත් නො කරන ලද අතර 2000 දී එක්සත් ජනපදයේ සොරාගත් ජනාධිපතිවරනය පිලිබඳව කෝපවීම පසෙක තැබුවත් මෙම මාධ්‍ය එය එලෙස වී යයි පිලිගත්තේ වත් නැත. (ඇත්ත වසයෙන් ම ඔවුහු බලය ප‍්‍රචන්ඩත්වයෙන් තොරව මාරුකරනු ලැබීය යන පදනමින් 2000 මැතිවරනයේ ප‍්‍රතිඵලය "පද්ධතිය සාර්ථක වී” යයි - එනම් පුරවැසියන්ගේ විරෝධයකින් තොරව මැතිවරනය සොරාගැනීමට ප‍්‍රභූහු සමත් වී ය යන පදනමේ සිට - එකාවන්ව උදම් ඇනූහ.)

සුපරීක්ෂාකාරීත්වය: නවකතාවේ දෙවන පිටුවේ දී අපට චින්තන පොලීසිය (තෝට් පොලිස්) හඳුන්වා දෙනු ලැබේ: " ඕනෑම පුද්ගලයෙකුගේ දුරකථනයට චින්තන පොලීසිය ඇබ ගසා සිටින්නේ කොයි වේලාවේ ද කවර ක‍්‍රමයකට ද යන්න හිතලුවකි. ඔවුහු සෑමවිට ම සියලු දෙනා දෙස ම බලා සිටී ය යන්න පවා සිතාගත හැක.” 2004 වසරේ පමන පටන් ඇමරිකානු පුරවැසියන්ගේ පුද්ගලික සන්නිවේදනයන්ට විශාල ලෙස සවන් දීම හරහා මෙම සුපරීක්ෂක කි‍්‍රයාකාරකම් ජාතික ආරක්ෂක ඒජන්සිය වැනි ආයතන මගින් එක්සත් ජනපදය තුල කි‍්‍රයාත්මක කරනු ලැබ තිබේ. 2004 පටන් පවත්වා ඇති ජාතික මැතිවරන තුනෙන් එකක දී වත් මෙම කරුන ගැන සඳහන් කොට නැති අතර බුෂ් පරිපාලනයෙන් කරන ලද ඉල්ලීමකට අනුකූලව නිව් යෝක් ටයිම්ස් පුවත්පත 2004 මැතිවරනයට පෙර ජාතික ආරක්ෂක ඒජන්සියේ හොරෙන් සවන්දීමේ වැඩපිලිවෙලවල් පිලිබඳ වාර්තාවක් හිතාමතා ම වැලැක්වීය. පුවත්පත මගින් වලක්වන ලද වාර්තාවේ කතුවරයා වූ ටයිම්ස් වාර්තාකාර ජේම්ස් රයිසන් මේ පිලිබඳ කෘතියක් ප‍්‍රකාශනය කිරීමට යන්තම් පෙර එනම් වසරකටත් වැඩි කාලයකට පසු එම පුවත්පත එය "වාර්තා කලේ” ය.

මහජන දේශපාලන විඥානයේ ප‍්‍රභූ-ධාවක හානිය : මහජන සංස්කෘතිය ජනතාවගේ දේශපාලන විඥානය කොර කිරීමට භාවිතා කරන උපකරනයක් ය යන ඕවල්ගේ දෘෂ්ටිය ඇමරිකානු පාලක ප‍්‍රභූවේ ආයාසයන් හරහා යථාර්ථයක් වී ඇත. ලොතරැයිය සහ "කී‍්‍රඩාව, අපරාධ සහ ජ්‍යොතිෂය හැර වෙන කිසිවක් අඩංගු නො වන වල්පල් සහිත පුවත්පත්, හැඟීම් අවුස්සන ශත පහේ කෙටි නවකතා...ලිංගික්තවය වෑස්සෙන චිත‍්‍රපට... සහ පහත් ම වර්ගයේ ලිංගික සඟරා” ප‍්‍රධාන සිත හිරිවට්ටන අපසරනයන් ලෙස ඔහු නම් කලේ ය. ඔහු ප‍්‍රකට ඕපාදූප සහ කොටස් වෙලඳපොල ප‍්‍රලාප වැනි වැදගත් වර්ගීකරනයන් නො තකා හැරියත් මූලධර්මාත්මක වසයෙන් ඒවාට එකඟ ය. ප‍්‍රසිද්ධ සඟරා කියවන සහ විනෝදජනක රූපවාහිනී නරඹන ජනතාවක් ඔවුන්ගේ ජීවන තත්වයන් පිරිහීමට වගකිව යුතු සමාජ බලයන් අවබෝධ කරගැනීමට බොහෝ සෙයින් නුසූදානම් වන අතර ඒ නිසා තමන්ව ම ආරක්ෂා කරගැනීමට නො පොහොසත් ය.

නායකයා ඇදහීම : නවකතාව පදනම් වන්නේ "අනාගත” 1984 අපේ‍්‍රල් මාසයේ දුර්වර්න ලන්ඩන්වල ය. ඕවල්ගේ ප‍්‍රධාන චරිතය වන වින්ස්ටන් ස්මිත් "විජයග‍්‍රාහී මාලිගාව” යයි නම් කරන ලද ගරාවැටෙන නිවහනක ජීවත් වන අතර ඔහුට තැම්බූ ගෝවාවල ගන්ධය දැනේ. ගොඩනැගිල්ලේ සෑම තරප්පු තට්ටුවකම "යෝධ මුහුනක් සහිත ...ඝනට වැඩුනු කලු උඩුරැවුලකින් යුත් රලු කඩවසම් ලක්ෂනවලින් යුත් වයස අවුරුදු හතලිස් පහක පමන මිනිසෙකුගේ” විශාල වර්න පෝස්ටරයක් ප‍්‍රදර්ශනය කරනු ලැබේ. අප‍්‍රසන්න ගරාවැටුනු ලන්ඩනයේ නිතර මුනගැසෙන මහා සහෝදරයාගේ (බිග් බ‍්‍රදර්) පෝස්ටර පිලිබඳව, අද දින පිරිහෙමින් පවතින ඇමරිකානු නගර සෑම එකක ම දැකගත හැකි "බලාපොරොත්තුවේ බැරැක් ඔබාමා” පෝස්ටර ගැන නො සිතා 2010 දී යමෙක්ට කියවිය නො හැක.

මහා සහෝදරයා විස්තර කරනු ලැබෙන්නේ "පක්ෂය තමන්ව ලෝකයට ප‍්‍රදර්ශනය කිරීමට තෝරාගන්නා වේශය ලෙස යි. ඔහුගේ කාර්යය වන්නේ ආදරය, බිය සහ ගෞරවය ද සංවිධානයක් වෙනුවට තනි පුද්ගලයෙකු වෙත පහසුවෙන් දැනෙන හැඟීම්වල නාභිගත ලක්ෂ්‍යය ලෙස කි‍්‍රයා කිරීම යි.” වෝල් වීදියේ අපේක්ෂකයා වූ ඔබාමා 2008 දී ඡන්දදායකයන්ට විකිනීමට භාවිතා කරන ලද මූලික පුද්ගල චරිත මූලෝපාය මෙම උද්ධෘතය මගින් ග‍්‍රහනයට ගනී. ඇත්ත වසයෙන් ම ආදරය සහ බලාපොරොත්තුව වැනි හැඟීම් සංවිධානවලට - එනම් ඔබාමා ප‍්‍රමුඛ වසයෙන් නියෝජනය කරන අවශ්‍යතා සහිත බැංකු වැනි- වඩා පහසුවෙන් තනි පුද්ගලයෙක් දෙසට පහසුවෙන් දැනේ ය යන අදහස ගසාකෑමට ඔබාමාගේ සමස්ත මැතිවරන උද්ඝෝෂනය සැලසුම් කරන ලදී .

"වර්තමානය පාලනය කරන්නා අතීතය ද පාලනය කරයි...”: වින්ස්ටන් වැඩකරන්නේ "මර්දනයේ කි‍්‍රයාවක් මෙන් ම පාලන තන්ත‍්‍රයේ ස්ථාවර භාවය සඳහා අවශ්‍ය වන දෛනිකව අතීතය මුසාකරනය කිරීම” දූත මෙහෙවර කොටගත් සත්‍යය පිලිබඳ අමාත්‍යාංශයේ (මිනිස්ටි‍්‍ර ඔෆ් ට්රූත්) ය. ඕෂනියාවේ සත්‍යය පිලිබඳ අමාත්‍යාංශයේ කි‍්‍රයාකාරකම් කි‍්‍රයාවට දමනු ලැබ ඇත්තේ අල් කයිඩා සහ තලිබාන් වැනි කන්ඩායම් දිවා රෑ දෙකේ ම යක්ෂාරෝපනය කරමින් එම කන්ඩායම් දෙක ම මෑත දශකවල සීඅයිඒ අරමුදල් මගින් පෝෂනය කොට රැකබලා ගන්නා ලදැයි යන්න ප‍්‍රවේසම් සහගතව "අමතක කරන” එක්සත් ජනපද සංගත මාධ්‍ය විසිනි. එවැනි කරදරකාරී කරුනු මතකආවාටයේ ගැඹුර කරා ක‍්‍රමානුකූලව අමතක කරනු ලබන්නේ තවදුරටත් එවැනි දේ රාජ්‍ය පිලිවෙත සමග සුසංවාදී නො වන නිසා ය. එබැවින් වර්තමානයේ සන්දර්භය තුල "නිවැරදි” කිරීම සඳහා කරුනු නවීකරනය කල යුතු ය. ("ඩබ්ලිව්එම්ඩී” සහ සැලසුම් කරන ලද ඉරාක ආක‍්‍රමනය සම්බන්ධව 2002 දී බුෂ්ව උපුටමින් බි‍්‍රතාන්‍ය එම්අයි6 ප‍්‍රධානියා සඳහන් කල පරිදි: "රහස් තොරතුරු සහ කරුනු පිලිවෙත අනුව ස්ථාපිත කරන ලදී”). ඕෂනියාව එක් දිනක ඊස්ට්ඒෂියාව සමග මිත‍්‍රව සිට ඊ ලඟ දිනයේ එය සමග යුද්ධයේ යෙදුනාක් මෙන් එක්සත් ජනපදය එක් දිනක සදාම් හුසේන් සහ ඉස්ලාමීය මූලධර්මවාදයට එරෙහිව යුද්ධයේ නිමග්න වන අතර රීගන්ගේ කාලයේ එම දෙකොට්ඨාශයට ම කි‍්‍රයාශීලී ලෙස සහයෝගය දෙමින් සිටියේය ය. (රීගන් ඇෆ්ගනිස්ථානයේ මුජහිඩීන් ව්‍යාපාරය "නිදහස සඳහා සටන් වදින්නන් සහ එක්සත් ජනපද ආරම්භක නිදහස්කාමීන්ගේ සදාචාරාත්මක සමතුල්‍යයක්" යයි ප‍්‍රකාශ කලේ ය.)

රාජ්‍ය සතුරන් යක්ෂාරෝපනය කිරීම සඳහා වතාවත්: සදාම් හුසේන්, හමාස්, අහමදිනෙජාඩ්, කස්ත්‍රෝ සහ හියුගෝ චාවේස් වැනි නිල සතුරන් පිලිබඳව සඳහන් කිරීමේ දී ඇමරිකානු රූපවාහිනියේ සාරාත්මක වසයෙන් සිදුවන්නේ "විනාඩි දෙකේ වෛරය” යි. නිශ්චිව ම දක්ෂිනාංශික ප‍්‍රකාශන වන ෆොක්ස්නිව්ස් සහ වෝල් ස්ටී‍්‍රට් ජර්නල් පුවත්පතේ මතධාරී කතුවැකිවල මෙය වඩාත් නො හික්මුනු ලෙස සිදුවන අතර දෘෂ්ටිය එක ම වන "ලිබරල්” යයි කියාපාන නො හික්මුනු භාවයයේ තානය අඩුකර ඇති ප‍්‍රකාශනවල එය සිදුවන්නේ අඩුවෙන් නො වේ. හුසේන්ව එල්ලා මැරීම එක්සත් ජනපද මාධ්‍ය විසින් පිලිගන්නා ලද්දේ ඕෂනියාවේ ප‍්‍රසිද්ධ එල්ලා මැරීම් මෙන් ම හතිදමන රුධිර පිපාසිතයන් ලෙසිනි. අමාත්‍යාංශ ආපනශලාවේ එක් දිනක දිවා ආහාරය සඳහා වාඩි වූ මිත‍්‍රයෙක් වින්ස්ටන්ගෙන් "ඔයා ඊයේ එල්ලූ සිරකරුවන් බලන්නට ගියා ද?” යි අසයි. 2006 දෙසැම්බරයේ හුසේන් මරා දමන විට මෙම ජවනිකාවේ ඇමරිකානු පිටපත් නිසැකව ම තිබෙන්නට ඇත.

විනෝදය තකා සිවිල් "සතුරන්” මත බෝම්බ හෙලීම: 7වන පිටුවේ දී චිත‍්‍රපටයක් බැලීම සඳහා යන වින්ස්ටන් කෙටි යුද වාර්තාවක් දැක පේ‍්‍රක්ෂකයෝ ඕෂනියාවේ යුද යානා මගින් කැබලිවලට ඉරා දමන අසරන සිවිල් වැසියන් ප‍්‍රදර්ශනය කිරීම දැක "බොහෝ සෙයින් පී‍්‍රතියට” පත් වූහ යි සිය දිනපොතේ සටහන් කරයි. ඇමරිකානු රූපවාහිනී වැඩසටහන්, චිත‍්‍රපට සහ වීඩියෝ කී‍්‍රඩාවල පුලුල් තීරු එම පහත් සහජාසයන් ම පෝෂනය කිරීමට සහ දිරිගැන්වීමට උත්සාහ කරයි.

එහි ප‍්‍රතිවිරුද්ධයේ සද්ගුනයෙන් ආවරනය වූ දේශපාලන සංස්කෘතියක්: "සමාජවාදී ව්‍යාපාරය ආරම්භයේ දී පෙනී සිටි සෑම මූලධර්මයක් ම ප‍්‍රතික්ෂේප කරන සහ අපහාසයට ලක්කරන පක්ෂය සමාජවාදයේ නාමයෙන් එසේ කරති”යි "ගෝල්ඩ්ස්ටයින්” නිරීක්ෂනය කරයි. මෙය 1949 ස්ටැලින්වාදය පිලිබඳ ඕවල්ගේ මුලුමනින් ම සාධාරනීකෘත තක්සේරුවයි. එම උද්ධෘතය එහි නවීන සාදෘෂ්‍යය යෝජනා කර සිටී: "එක්සත් ජනපද ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගැඹුරු සාරයට වලකපන හෝ එය හිස් කරන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නමින් එසේ කරයි.”

පුරවැසියන් පොලිස් තර්ජනයට ලක්කිරීම: ඕෂනියාවේ වඩාත් ම බියජනක සහ භෞතිකව ප‍්‍රතාපවත් ආන්ඩුවේ අමාත්‍යාංශය වන ආදරය පිලිබඳ අමාත්‍යාංශය (මිනිස්ටි‍්‍ර ඔෆ් ලව්) "සන්ධි කරන ලද මුගුරුවලින් සන්නද්ධ කලු නිලඇඳුම්වලින් සැරසුනු ගෝරිලි මුහුනු සහිත රැකවලුන්” විසින් මුරකරනු ලැබේ. මෙම මුරභටයන්ගේ සැබෑ ජීවිත ප‍්‍රතිරූප එක්සත් ජනපද දේශපාලන සම්මේලන සහ කෙව්ලාර්හි වසන ලද ලෝක වෙලඳ සංවිධාන රැස්වීම්වලින් පිටත පෙනී සිටින්නේ සන්නද්ධ නො වූ විරෝධතාකරුවන්ට මුගුරු භාවිතා කර තර්ජනය කරමින්, තල්ලු කරමින් සහ පහර දීම පවා කරමිනි. මාධ්‍ය පුරුද්දක් ලෙස විරෝධතාකරුවන්ව "මැරවරයන්” සහ "අරාජකවාදීන්” ලෙස විස්තර කරන්නේ අහමදිනෙජාඩ්ට එරෙහි ඉරාන විරෝධතා හෝ චාවේස්ට එරෙහි වෙනිසුවේලානු විරෝධතා "යුක්තිසහගත විරෝධයන්” යනුවෙන් ප‍්‍රශංසා මුඛයෙන් උපුටා දක්වමිනි. (" ඕවලියානු” භාෂාවෙන් කතාකරතොත්: මෑත දී පැවති එක්සත් ජනපද දේශපාලන සම්මේලනවල දී විරෝධතා දැක්වීමේ අටියෙන් සිටි යුද විරෝධී විරෝධතාකරුවෝ කොන්සර්ටිනා වයරවලින් සරසන ලද කටුකම්බිවැටවලින් කොටුකර, මාධ්‍යවල දර්ශනයෙන් සහ සම්මේලන ශාලාවලට බොහෝ ඈතින් පිහිටි බාධකවලින් එපිට ස්ථානගත කරන ලදහ. මෙම කොටු පවුරු කිසිදු උපහාසයක අභිලාෂයෙන් තොරව "නිදහසේ කතා කලහැකි කලාප” ලෙස නම් කරන ලදී.)

දූෂනය සහ යාන්ති‍්‍රකකරනය රාජ්‍ය පිලිවෙත ලෙස: වධබන්ධනය නිරූපනය කිරීමේ දී නවකතාව බියජනක ලෙස පරිකල්පනීය ය. එක් අවස්ථාවක දී ප‍්‍රශ්න කරන්නා වන ඕබ‍්‍රයන් සිය නග්න හස්තයෙන් වින්ස්ටන්ගේ එක් නරක් වන දතක් උගුල්ලා දමන්නේ වින්ස්ටන්ට ඔහුගේ විරෝධය කොතරම් නිෂ්ඵල සහ දුක්ඛදායක දැයි පෙන්වීමට ය. ඉන් පසුව එලඹෙන්නේ වින්ස්ටන්ගේ ඔලුව වසා මී කූඩු මුහුනු ආවරනය යොදන කාමර අංක 101 ප‍්‍රසිද්ධ කූටප‍්‍රාප්තිමය වධබන්ධනය යි. අද්‍යතන පාඨකයෙක් ක්ෂනිකව අසරන සහ බියගන්වන ලද සිරකරුවෙකු රඳවා ඇති පෙට්ටියකට "දෂ්ට කරන කෘමීන්” මුදාහල මෑත දී හෙලිදරවු වූ එක්සත් ජනපද වධබන්ධන ලියකියවිලි එන "කෘමී” විචල්‍යය පිලිබඳව කල්පනා කරනු ඇත. එහෙත් මෙය පවා දූෂනය කිරීම, ලිංගික නින්දාව සහ මුස්ලිම් සිරකරුවන්ගේ හිස්වලට උඩින් ඔසප් රුධිරයෙන් තෙත්වූ කාන්තා යට ඇඳුම් එතීම වැනි හිතා මතා කරන ආගමික විශ්වාස පරිභවයට ලක්කිරීම් අඩංගු එක්සත් ජනපද වධබන්ධන ක‍්‍රමවල පූර්න අවකාශයට වඩා අඩු ය. දූෂනය සහ වධබන්ධනයට ලක්කිරීම් සම්බන්ධයෙන් ගත්කල "ඕවලියානු” යන නාම විශේෂනය පවා එක්සත් ජනපද මිලිටරි රහස් ඔත්තු යන්ත‍්‍රනයේ කුසලතාවට සාධාරනය ඉටු නො කරයි.

පන්ති විඥානය සහ සමාජ සමානතාව

ඕවල්ගේ කෘතිය එක්සත් ජනපදයේ දී සාදරයෙන් පිලිගැනුනි. එය ප‍්‍රකාශයට පත්කිරීමෙන් සති දෙකකට පසුව ටයිම් සඟරාව එම කෘතිය ඔහුගේ "හොඳම ප‍්‍රබන්ධය” ලෙස නම් කල නමුත් එය මූලිකව අර්ථකථනය කරන ලද්දේ (සත්ත්ව ගොවිපල - ඇනිමල් ෆාම් - නවකතාව ද සමගින්) "කොමියුනිස්ට්වාදය” මත එල්ල කල ප‍්‍රහාරයක් ලෙසිනි (3). කෙසේවෙතත් (කලින් සඳහන් කෘතිය පිලිබඳව අඟවමින්) ඕවල් පැහැදිලි කලේ නවකතා දෙකම බටහිර ප‍්‍රජාතන්ත‍්‍රයන්ගේ ධාරාවන් පිලිබඳව ද කරන අනතුරු ඇඟවීමක් ලෙසිනි. නවකතාව එක්සත් ජනපදයේ උනුසුම් පිලිගැනීමට ලක්වීම තරමක් විරුද්ධාභාසී වන්නේ එය සමාජයේ ගාමක බලයන් පිලිබඳ පැහැදිලි සහ අවධාරනාත්මක පන්තිය මත පදනම් වූ විශ්ලේෂනයක් ඉදිරිපත් කල නිසා ය. පන්ති අවබෝධය අවසර දෙන ඇමරිකානු චින්තනයෙන් ක‍්‍රමානුකූලව ඉවත් කරමින් තිබුනු තතු යටතේ මෙම පර්යාලෝකය 1949 ඉස්මතු වෙමින් තිබුනු දේශපාලන සම්මතයන්ට අභියෝග කලේ ය. 1949 එක්සත් ජනපදය තුල චින්තන අපරාධයක් ව පැවතියා වූ හා අද දක්වා ම එලෙස පවතින නවකතාවේ එන පන්ති විඥානයට එරෙහි ප‍්‍රතිකි‍්‍රයාවකින් එය ආරක්ෂා කරන ලද්දේ එහි මතුපිට "කොමියුනිස්ට් විරෝධය” වන්නට හොඳට ම ඉඩ ඇත.

වින්ස්ටන්ට "නිර්ධනීන්” කෙරෙහි නිසැකයෙන් ම අනුග‍්‍රහශීලී සහ බලාපොරොත්තු සහගත ආකල්පයක් වීය. මෙහි ඊ ලඟට එන භාෂිතයන් වැනි දේවලින් විස්තර කරමින් අවම වසයෙන් හතර වතාවක්වත් අනාගතය සඳහා එකම බලාපොරොත්තුව නිර්ධනීන් බව ඔහු කීවේ ය. එනම් "බලාපොරොත්තුවක් තිබේ නම් එය පැවතිය යුතු වන්නේ ඕෂනියාවේ ජනගහනයෙන් සියයට 85ක් වන පිරී ඉතිරී යන එහෙත් නො තකා හරින ලද ජනයා මත පමනක් වන්නේ පක්ෂය විනාශ කිරීමට ජනනය කරනු ලැබිය හැකි එකම බලවේගය ඔවුන් නිසා ය.” නිර්ධනීන්ට "තමන්ගේ ම ශක්තිය පිලිබඳව සවිඥානක භාවයට පැමිනිය හැකි වෙතොත් කලයුතු වන්නේ අශ්වයෙකු මැස්සන් පලවා හරින්නාක් මෙන් නැගී සිට තමන්ව ම සොලවාලීම පමන ය. ඔවුන් එය තෝරා ගතහොත් ඔවුන්ට හෙට උදෑසන වනවිට පක්ෂය කැබලිවලට පුපුරවාලිය හැකි” බව වින්ස්ටන් විශ්වාස කලේ ය. පක්ෂ සාමාජිකයින්ගේ අන්තර්-පුද්ගල සහයෝගිතාව බිඳලීමේ දී ඕෂනියාවේ පාලක ස්ථරය සාර්ථක වී තිබුනේ "නිර්ධනීන් මානවයන් ලෙස රඳා සිටිද්දී ම සහ ඔවුන් අනුකම්පා රහිත බවට පත් නො වී තිබෙද්දී ය." ඔවුන් සතුව "පක්ෂය බෙදා හදා නො ගත් සහ පක්ෂයට මරා දැමිය නො හැකි තීරනාතමක භාවයක් තිබේ. අනාගතය අයත් වන්නේ නිර්ධනීන් ට ය.”

අහස උසට නගින සමාජ අසමානතාව මගින් සංලක්ෂනය කෙරෙන ඇමරිකාවකට අනන්‍ය ලෙස අදාලවන කරුනක් පිලිබිඹු කරන වින්ස්ටන් "සමානතාව කොතැන ද එතැන සිහි බුද්ධිය ඇත” යයි කියා සිටී. "ධනයේ පූර්න පරිමාන වර්ධනය ධුරාවලීගත සමාජයේ විනාශය පිලිබඳව තර්ජනය කරයි. නිසැකව ම, ‘බලය’ කුඩා වරප‍්‍රසාදිත පැලන්තියක් අත තිබෙද්දී ‘ධනය’ තර්කානුකූලව බෙදා හැරිය හැකි සමාජයක් බිහිවීම විය හැක්කකි. එහෙත් එවැනි සමාජයක් ප‍්‍රායෝගිකව වැඩිකල් ස්ථාවරව නො පවතී. විවේකය සහ ආරක්ෂාව සෑම දෙනා ම සමානව අත්විඳින්නේ නම් සාමාන්‍යයෙන් දරිද්‍රතාව විසින් සිහිමුලා කරනු ලබන මානව වර්ගයාගේ අතිමහත් ජනයා දැනඋගත් බවට පැමින තමන් පිලිබඳව ම සිතීමට ඉගෙන ගනී. ඔවුහු මෙය සිදුකල විට වරප‍්‍රසාදිත සුලුතරයට කාර්යභාරයක් නොමැති බව අවබෝධ කරගනිමින් එය අතුගා දමනු ඇත” ය යන යෙදුම් මගින් සමාජ ධූරාවලිය සහ ධනය බෙදාහැරීම අතර සබඳතාව සිතුවම් කරනු ලබයි. අතිශය අසමානතාව සහිත සමාජයක පාලකයන්ගේ දෘෂ්ටි කෝනයෙන් ගත්කල මෙය වනාහි භයානක සහ සත්‍ය වසයෙන් විප්ලවකාරී චින්තනයකි.

ස්පාඤ්ඤය තුල ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමට POUM (පූමයට) ස්වේච්ඡාවෙන් එක් වූ කතුවරයෙකු සම්බන්ධයෙන් ගත්කල මේවා අව්‍යාජ රැඩිකල් අදහස් ය. විශේෂයෙන් ම එකම අව්‍යාජ විප්ලවවාදී සමාජ බලවේගය කම්කරු පන්තිය යයි අනන්‍යකරනය කිරීම මාක්ස් හා එංගල්ස්ව ඍජුව ප‍්‍රතිරාවනය කරයි. නිර්ධනීන් සවිඥානක භාවයට පැමිනීම, නැගී සිටීම සහ "මැස්සන් පලවා හරින අශ්වයෙකු මෙන්” පක්ෂය කැබලිවලට බිඳ විසිරවීම පැහැදිලිව ම නිරූපනය කරන්නේ කම්කරු පන්තිය තමන්ගේ ම අවශ්‍යතා ගැන ස්වාධීන හැඟීමකට එලඹෙමින් පන්තියක් ලෙස තමන් පිලිබඳව ම දැනුවත් භාවයට පැමින ඒ හරහා නිරවුල්ව ඉදිරිපත් කරන ඉල්ලීම්වල ප‍්‍රතිඵල වශයෙන් පහලින් එන මහජන නැගිටීමක් පිලිබඳ අදහස යි.

ජනතාව ද්විත්ව චින්තනයෙන් පුහුනු කිරීම

"පක්ෂයේ ලෝක දෘෂ්ටිය එය අවබෝධ කරගැනීමට අපොහොසත් ජනයා මත වඩාත් ම සාර්ථකව පටවනු ලැබේ. සිදුවන්නේ කුමක්දැයි අවධානයට ගැනීමට ප‍්‍රකට සිද්ධි පිලිබඳ ඔවුන් ඇතිතරම් උනන්දු නැති නිසා යථාර්ථයේ වඩාත් ම නින්දිත උල්ලංඝනය කිරීම් පිලිගැනීමට ඔවුන්ව පෙලඹවිය හැකි” යයි වින්ස්ටන් සඳහන් කරයි. "අතිශය නිහතමානී ම පක්ෂ සාමාජිකයා පවා පටු සීමා ඇතුලත නිපුන, කාර්ය ශීලී බුද්ධිමත් වීම පවා අපේක්ෂා කරතත් ඒ අතර ම ඔහු බිය, වෛරය, ඉච්චා සහගත භාවය සහ කාමභෝගී විජයග‍්‍රහනය යන ප‍්‍රමුඛ මනෝභාවයන් ඇති ඉක්මනින් රැවටෙන සහ මෝඩ අන්ධ භක්තියෙක් වීම ද අවශ්‍ය කරයි. වෙනත් වචන වලින් කියතොත් ඔහුට යුද්ධයේ නියැලී සිටීමට ගැලපෙන මනෝගතියක් තිබීම යෝග්‍ය ය’’ ඉන් මදකට පසුව වින්ස්ටන් සඳහන් කරයි. අද්‍යතන ඇමරිකානු දේශපාලන සංස්කෘතිය විසින් දිරිගන්වනු ලබන ආකල්ප පිලිබඳ මීට වඩා නිවැරදි විග‍්‍රහයක් සොයාගැනීම දුෂ්කර ය.

ද්විත්ව චින්තනයේ පූර්න අර්ථ දැක්වීම වන්නේ: "පුද්ගලයෙකුගේ සිතෙහි එකවර එකිනෙකට පරස්පර විරෝධී විශ්වාසයන් දෙකක් දරමින් දෙකම පිලිගැනීම යි. හිතාමතා ම බොරු කියමින් අව්‍යාජව විශ්වාස කිරීම, කරදරකාරී බවට පත්ව ඇති කරුනක් අමතක කිරීම සහ එය යලි අවශ්‍ය වුවහොත් එලෙස අවශ්‍ය කරන කාලයට පමනක් අමතක ගබඩාවෙන් යලි එලියට ගැනීම, වෛෂයික සත්‍යයේ පැවැත්ම ප‍්‍රතික්ෂේප කිරීම සහ යමෙක් ප‍්‍රතික්ෂේප කරන යථාර්ථය කුදුමහත් ලෙස ප‍්‍රයෝජනයට ගැනීම යන මේ සියල්ල අත්‍යවශ්‍ය ය. ද්විත්ව චින්තනය යන වචනය භාවිතා කිරීමේ දී පවා ද්විත්ව චින්තනය අභ්‍යාස කිරීම අවශ්‍ය ය. එසේ වන්නේ වචනය භාවිතා කිරීම මගින් ද යමෙක් යථාර්ථය කෙලෙසන බව ඔහු පිලිගන්නා අතර ද්විත්ව චින්තනයේ නවක කි‍්‍රයාවක් මගින් එම ඥානය මකා දමයි. ඒ අනුව අවිනිශ්චිත කාලයකට බොරුව සත්‍යයට වඩා සැමවිට ම පිම්මක් ඉදිරියෙන් සිටී.”

මෙම උද්ධෘතය 2000 මැතිවරනයේ දී ශ්‍රේෂ්ඨාධිකරනය ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ජනාධිපතිවරයා ලෙස පත් කල තැන් පටන් සිදු වූ නරක ම සිද්ධීන්ගේ නිල සංස්කරනය නිරූපනය කරයි. එතැන් පටන් සෑම ප‍්‍රධාන සිදුවීමක් ම පාහේ මහජනයාට ඉදිරිපත් කරන ලද්දේ ද්විත්ව චින්තනයේ පදනම මත ය.

උදාහරනයක් ලෙස ඉරාකය ආක‍්‍රමනය කිරීමෙන් මාස ගනනක් ඇතුලත මහජන සංහාරක අවි නො තිබුනු බව පිලිගැනීමට ඇමරිකානු මාධ්‍යවලට බලකෙරුනි. එහෙත් එම කරුන ඉදිරිපත් කරන ලද්දේ අර්ථයකින් හෝ විපාකයකින් තොර දෙයක් ලෙස ය. මාධ්‍ය වාර්තා එය "වැරදි රහස් තොරතුරක්” ලෙස ගනන් නො ගෙන නො තකා හලේ ය. (න්‍යුරම්බර්ග් හි දී අර්ථදක්වන ලද ආකාරයේ) ප‍්‍රධාන යුද අපරාධයකට එවැනි වාක්‍යාංශයක් ව්‍යවහාර කිරීම ද්විත්ව චින්තනයක් වන්නේ එක් අතකින් එය වරද පිලිගැනීම නිසා ය. එහෙත් වරද පිලිගත් වහා ම අලුත් බොරු දෙකක් හඳුන්වා දෙන ලදී: එනම්, රහස් තොරතුරුවල වරද ඉතා නො වැදගත් ය යන්න සහ කාරනය වන්නේ එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ නිරවද්‍ය භාවය පමන ය යන්න ය ("බොරුව සත්‍යයට වඩා සැමවිට ම පිම්මක් ඉදිරියෙන් සිටී”).

(එක්සත් ජනපද නිලධාරීන්ගේ සහ මාධ්‍ය කථිකයන්ගේ රස්සාව වන) යුද්ධයේ සාමාන්‍ය ස්වභාවය පිලිගන්නා අතර ම මහජන සංහාරක අවි නො පවතී ය යන්න පිලිගැනීම ද්විත්ව චින්තනයේ තවත් උදාහරනයක් වන්නේ යුද්ධයක් දියත් කිරීමට නිමිත්ත කරගත් දෙය බොරුවක් වනවිට එය සාධාරනීකරනය කරනු ලැබිය නො හැකි නිසා ය. එක් විශ්වාසයක් ක්ෂනිකව මතකයෙන් පලවා හරිමින් අනෙක සාකච්ඡා කිරීම මගින් ඒවා වරදවා පෙන්නුම් කරමින් පමනක් යමෙකුට විශ්වාසයන් දෙකම එකවර දරා සිටිය හැකි ය.

සුප‍්‍රකට නවකතාවේ එක් අවස්ථාවක දී ප‍්‍රශ්න කරන්නා වන ඕබ‍්‍රයන් ප‍්‍රසිද්ධ ලෙස ඇඟිලි හතරක් වින්ස්ටන්ට පෙන්වමින් ඇඟිලි පහක් දකින ලෙස බලකරයි. ජාතික ලේඛනාරක්ෂාගාරයේ දී 2009 මැයි 21 දා කල කතාවේ දී වධබන්ධන පිලිබඳ ඔබාමා පලකල ආස්ථානයට වඩා මෙම බලකිරීම තර්කයට හානි නො කරයි. නීතියේ පාලනය පිලිබඳව පාරප‍්‍රාප්ත වූවෙක් යයි පෙනී සිටිමින් සහ එක්සත් ජනපද ව්‍යවස්ථාවේ ආරම්භක ලේඛනය ලඟ සිටගෙන සිටිමින් "වධබන්ධන වැරදි යි. අප අපගේ ව්‍යවස්ථාමය වටිනාකම් දිරිගැන්විය යුතු යි. අප වධබන්ධන පමුනුවන්නේ නැහැ” යයි ප‍්‍රකාශ කල ඔබාමා වධබන්ධන සඳහා විධාන දුන් එක්සත් ජනපද නිලධාරීන්ව ඒ සඳහා නීතිය ඉදිරියට කැඳවන්නේ නැති බවත් එක්සත් ජනපද වධබන්ධන පෙන්නුම් කරන ඡායාරූප මහජනයාට දැකගැනීමට නො තබන බවත් එකතු කලේ ය. එම කතාවේ දී ම "අතිවිශේෂ රඳවාගැනීම්” ආරක්ෂා කිරීම හා මධ්‍යකාලීන පිලිවෙතක් වන "අවිනිශ්චිත කාලයකට රඳවාගැනීම” යෝජනා කිරීම කරා ඔහු ඉදිරියට ගියේ ය.

"යුද්ධය යනු සාමයයි”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) විසින් විනිවිද යන ලෙස විමර්ශනය කරන ලද සහ ඉක්මවිය නො හැකි ඕවලියානු ප‍්‍රදර්ශනයක් ලෙස සාධාරනව විස්තර කරන ලද සිද්ධියක දී, එනම් 2009 දෙසැම්බර් 10 වන දා නොබෙල් සාම ත්‍යාගය පිලිගැනීමේ දී ඔබාමා මෙම ප‍්‍රවනතාව දිගටම ගෙන ගියේ ය. දැනට ආක‍්‍රමනකාරී යුද්ධ දෙකක නිරත වී සිටින - ඉන් එකක් ඔහු ම තියුනු ලෙස තීව‍්‍ර කර ඇත - ඉතිහාසයේ වඩාත් ම අපරූපී ලෙස පිම්බුනු යුද යන්ත‍්‍රනයේ ප‍්‍රධාන අනදෙන්නා සහ ප‍්‍රධාන රාජ්‍ය තාන්ති‍්‍රකයා ඉරානය "සමූලඝාතනය” කරන බවට තර්ජනය කර ඇති පරිපාලනයේ ප‍්‍රධානියා වන තැනැත්තාට ලෝකයේ විශිෂ්ටතම සාමය තනන්නා යනුවෙන් ගෞරව කරනු ලැබීය. ගාන්ධි සහ කනිෂ්ට මාටින් ලූතර් කිංගේ "චරිත සහ ජීවිත” පිලිබඳව වඩාත් ම හොඳින් කරන ලද හිස සැලීම් සමගින් සිය අදහස් දැක්වීම් ආරම්භ කල ඔබාමා තමන්ගේ විදේශ පිලිවෙත ඔවුන්ගේ දර්ශනය විසින් හසුරුවනු ඇතැයි යන්න ගැන කිසියම් හෝ මිථ්‍යාවක් තිබිනි නම් එය ඊලඟ වාක්‍යයෙන් ම එය කීතුකොට දැමීය. ("එහෙත් මගේ ජාතිය ආරක්ෂා කිරීමට සහ රැකගැනීමට දිවුරුම් දී සිටින රාජ්‍ය ප‍්‍රධානියෙකු වසයෙන් මට ඔවුන්ගේ ආදර්ශයන්ගෙන් පමනක් මෙහෙය වී ගත නො හැකි ය.”)

ඉන්පසුව එක්සත් ජනපද ජනාධිපතිවරයා රාජ්‍ය ප‍්‍රචන්ඩත්වය "ඉදින්, සැබැවින් ඇත්ත වසයෙන් ම එය එක්සත් ජනපදය විසින් මෙහෙයවේ. පූර්න පරිමානව ආරක්ෂා කිරීම කරා ඍජුව ඉදිරියට ගියේ ය. බෝල්කන් හි සිදුවූවාක් මෙන් බලහත්කාරය මානුෂීය හේතු මත සාධාරනීයකරනය කල හැකිය” යයි ඔහු දෙඩවීය - එනම් යුද්ධය යනු සාමය යි. ලෝක ජනමතය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය යන දෙකම ප‍්‍රතික්ෂේප කරමින් ඉරාකය ආක‍්‍රමනය කල රාජ්‍යයේ නායකයා "යමක් කිරීමට අප ම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් අපගේ හෝ වෙනත් ජාතියකට අනෙක් අයට එලෙස කරන ලෙස බලකල නො හැකි ය” යයි කියා සිටියේ ය. සවුදි අරාබිය, ඊජිප්තුව සහ පාකිස්තානයේ ආන්ඩු සමග සමීපව සන්ධාන ගතව සිටින රාජ්‍යයේ ජනාධිපතිවරයා "අපගේ සමීපතම මිතුරන් වන්නේ සිය පුරවැසියන්ගේ අයිතිවාසකම් ආරක්ෂා කරන ආන්ඩු ය" යයි කීවේ ය. සිය මිලිටරිය සහ සීඅයිඒ සංවිධානය දෙවන ලෝක යුද්ධයේ පටන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩු බලයෙන් පහකොට ඒ වෙනුවට කෲර ආඥාදායකත්වයන් මගින් විස්ථාපනය කිරීමට කටයුතු කල රාජ්‍යයේ නායකයා "ඇමරිකාව කවර කලෙකවත් ප‍්‍රජාතන්ත‍්‍රයකට එරෙහිව යුද්ධ කොට නැත" යි කියා සිටියේ ය.

"අප සැමදෙනාගේ ම ආත්මයන් තුල තවමත් කැලතෙන දිව්‍යමය ගිනිපුපුර විය යුතු ලෝකයට අපි ලඟාවෙමු. මෙතැන සහ දැන්, එනම්, ලොව කොතැන හෝ තැනක සොල්දාදුවෙක් තමන්ව පරාජය කර ඇතැයි දකිමින් සාමය වෙනුවෙන් ඍජුව පෙනී සිටිනවා. අද මේ ලෝකයේ කොතැන හෝ තැනක තරුන විරෝධතා කාරියක් ඇයගේ ආන්ඩුවේ කෲරත්වය බලාපොරොත්තුවෙන් ම පෙලපාලි යාමට ධෛර්්‍යය සහිතව සිටිනවා. අද කොතැන හෝ තැනක අන්ත දරිද්‍රතාවට මුහුන දී සිටින නමුත් තමන්ගේ දරුවාට ඉගැන්වීමට කාලය ගන්නා මවක් මේ කෲර ලෝකය තුල තවමත් තම දරුවාට තැනක් ඇතැයි විශ්වාස කරන නිසා ඒ දරුවාව පාසලට යැවීමට කාසි කිහිපයක් අමාරුවෙන් වෙන් කරගන්නවා” යයි ඔබාමා ත‍්‍රාසය දනවන උපාසක වේශයකින් කීවේ ය.

2008 මැතිවරන උද්ඝෝෂන සමයේ එක්සත් ජනපද මාධ්‍ය විසින් "ව්‍යක්ත කතා” යයි කියාපාන ලද මේ වර්ගයේ ව්‍යාජෝක්ති "බොරුව සත්‍ය යයි හැඟෙන ලෙස සහ මිනීමැරීම ගෞරවනීය ලෙස පෙනීමටත් පිරිසිදු වාතය ඝන ලෙස පෙනීමටත් දේශපාලන භාෂාව සැලසුම් කර ඇත” ය යන ඕවල්ගේ නිරීක්ෂනය මතකයට නංවයි (4). අනුමාන කලහැකි පරිදි ඔබාමාගේ "සාම සාධක" භටයා සාමාන්‍ය ගොදුරු කරගැනීමේ හේතු වෙනුවෙන් රටක් ආක‍්‍රමනය කර ඇති එක්සත් ජනපද (හෝ මිත‍්‍ර රටකට අයත්) සොල්දාදුවෙක් විය හැක. "තරුන විරෝධතාකාරිය” වොෂින්ටනය විසින් නිල වසයෙන් සතුරු යයි සලකන ඉරානය හෝ වෙනිසුවේලාව වැනි රටක ආන්ඩුවට එරෙහිව ස්වාභාවිකව විරෝධය දක්වමින් සිටිනවා වන්නට පුලුවන.

ඔබාමා හෙලාදකින "ආන්ඩුවේ කෲරත්වය” නිසැකව ම ඍජුව එක්සත් ජනපද මිලිටරිය සහ කුලී හමුදා හෝ රූකඩ ආන්ඩු සහ අනෙකුත් සහචරයින් විසින් සිවිල් වැසියනට එරෙහිව කරන ප‍්‍රචන්ඩ කි‍්‍රයා සහ වධබන්ධන පිලිබඳ සඳහනක් නො වේ. "අන්ත දරිද්‍රතාවට මුහුන දෙන මව” වියුක්ත න්‍යායික මවක් වන අතර විදේශවලට නිෂ්පාදනය මාරුකිරීම, වෝල් වීදිය විසින් ජනනය කරන ලද මූල්‍ය අර්බුදය හෝ එම අර්බුදයේ විපාක ලෙස සමාජ සේවා කප්පාදුව - එනම් සමස්ත දේශපාලන සංස්ථාපිතයේ සහයෝගය සහිතව සංගත ඇමරිකාව විසින් එක්සත් ජනපද වැඩකරන ජනයා මත පටවන ලද කොන්දේසි - වැනි සංයුක්ත කොන්දේසිවලින් ප‍්‍රතිඵල වන දරිද්‍රතාව සහිත "මෙහි සහ දැන්” ජීවත්වන සජීවී තැනැත්තියක් නො වේ.

"විශ්වීය රැවටීමේ කාලයක...”

"ගෝල්ඩ්ස්ටයින්” විස්තර කරන ආකාරයට "අපරාධ නැවැත්වීම (ක‍්‍රයිම්ස්ටොප්) යන්නේ අදහස වන්නේ කිසිදු භයානක චින්තනයකින් තොරව සිටීම යි. සාම්‍යයන් ග‍්‍රහනය කර නො ගැනීම, තාර්කික වැරදි අවබෝධ කරගැනීමට අසමත් වීම, ඕෂනියාවේ ආඥාදායක තන්ත‍්‍රයේ නිල දෘෂ්ටිවාදය වන "ඉංගී‍්‍රසි සමාජවාදය” හෙවත් ඉන්ග්සොක් කෙරෙහි විරුද්ධ නම් සහ වෙහෙසකර නම් හෝ ලබ්ධි විරෝධී දිශාවකට ධාවනය කලහැකි ඕනෑම චින්තන ධාරාවක් විසින් විකර්ෂනය කරනු ලබන්නේ නම් අතිශය සරල ම තර්ක කිරීම් පවා වරදවා තේරුම් ගැනීමේ බලය ද එයට අඩංගු වේ. කෙටියෙන් කියතොත් අපරාධ නැවැත්වීම යනු ආරක්ෂනවාදී මුග්ධත්වය යි.”

"ඉංග්සොක්” යන්න වෙනුවට "එක්සත් ජනපදයේ නිල පිලිවෙත” යන්න ආදේශ කලහොත් ඉහත පාඨය දවසේ කාරනා "සාකච්ඡා” කරන්නේ යයි එක්සත් ජනපද මාධ්‍ය ව්‍යාජව කියාපාන කි‍්‍රයාදාමයට පරිපූර්න ලෙස ගැලපේ. උදාහරනයක් ලෙස එක්සත් ජනපදය හෝ එහි සහචරයන් ආක‍්‍රමනකාරීන් නො වේ නම් "මිලිටරි ආක‍්‍රමනයට” රවා බලන එක්සත් ජනපද මාධ්‍ය ඔවුන් ආක‍්‍රමනකාරීන් වේ නම් එම කි‍්‍රයාව ස්ථාවරත්වය, සාම-සාධනය හෝ විමුක්තිය පවා වේ. එක්සත් ජනපද මිලිටරි ආක‍්‍රමනය "ආක‍්‍රමනය" ලෙස දැකගැනීමට අසමර්ථ වීමට යමෙක් සාම්‍යයන් ග‍්‍රහනය කරගත නො හැකිවීමේ පාරප‍්‍රාප්ත විය යුතු ය. ඒ සමානව එක්සත් ජනපදය කුමන්ත‍්‍රනයට සහයෝගය නො දෙන්නේ නම් ඒවා කෙරෙහි නො මනාපයෙන් බලන අතර එය සහයෝගය දෙයි නම් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යපාරය (එනම් "වර්න" විප්ලව යනාදිය) වේ. ඒ සමානව එක්සත් ජනපද පිලිවෙත් හෝ භටයන් විසින් සිදුකරනු ලබන විට වධබන්ධන වැඩිදියුනු ප‍්‍රශ්න කිරීමේ ක‍්‍රමෝපායන් වන අතර සිවිල් වැසියන්ගේ මරන ශෝචනීය එහෙත් නො වැලැක්විය හැකි අතිරේක හානි බවට පැමිනේ. භාෂාවේ එවැනි විකෘතීන් අහිංසක "වක්‍රොත්තීන්” වනවා වෙනුවට ඒවා ඇමරිකානු දේශපාලන සංස්කෘතියේ ආධිපත්‍යධාරී චින්තන පද්ධතියේ සාරාත්මක ලක්ෂනය හෙලිදරවු කරයි.

ආදරය පිලිබඳ අමාත්‍යාංශයේ "යලි අධ්‍යාපනගත කරනු ලබන” විට වින්ස්ටන් ම "තමන්ව අපරාධ නැවැත්වීමේ අභ්‍යාස කිරීම සඳහා වැඩකිරීමට සැලැස්වීය. ‘පක්ෂය ලෝකය පැතලි බව කියයි,’ ‘පක්ෂය අයිස් වතුරවලට වඩා බර වැඩි යයි කියයි‘වැනි ප‍්‍රස්තුත තමන්ට ම ඉදිරිපත් කර ගත් ඔහු ඒවා පරස්පර භාවයට පත් කරන තර්ක දැකගැනීමෙන් හෝ අවබෝධ කරගැනීමෙන් වැලකීමේ පුරුදු පුහුනු විය. එය පහසු නො වීය. ඒ සඳහා එක් මොහොතක දී තර්කනය වඩාත් සංවේදී ලෙස භාවිතා කරමින් ඊලඟ මොහොතේ ඉතා ම සුලුපහේ තාර්කික වැරදි සම්බන්ධයෙන් පවා සවිඥානික නො වීමේ හැකියාව සහිත සහජ මනස් කුසලතාවක් අවශ්‍ය කලේ ය.”

ඔබාමා ඔහුගේ පදවිප‍්‍රාප්තියට මොහොතකට පෙර සහභාගි වූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී ඉදිරිපත් කල ප‍්‍රස්තුතයේ තර්කනය දිරවා ගැනීමට ඒ හා සමාන "සහජ මනස් කුසලතාවක්” අවශ්‍ය කෙරේ. වධබන්ධන සහ අවසර නො ලත් දුරකථන සංවාද පටිගත කිරීම ඇතුලු බුෂ් පරිපාලනයේ මහා පරිමාන අපරාධ "ස්වාධීනව විමර්ශනය කිරීමට” ඔහු විශේෂ විනිසුරුවෙකු පත් කරන්නේ දැයි විමසූ විට හාවඩ් සරසවියේ පුහුනුව ලත් හිටපු ව්‍යවස්ථා නීති මහාචාර්යවරයා පිලිතුරු දෙමින් "පිටුපස බලනවාට වඩා අප ඉදිරිය බැලිය යුතු යයි විශ්වාසයක් මට තිබෙනවා” යයි කීවේ කිසිවෙකුට කිසිවක් සඳහා චෝදනා කිරීම සදහටම ඉවත් කිරීමේ ධර්මතාවක් - එහෙත් එය ව්‍යවහාර වන්නේ එක්සත් ජනපද රාජ්‍යය හෝ එම රාජ්‍යය නියෝජනය කරන මූල්‍ය කතිපයාධිකාරයේ අපරාධ සඳහා පමනක් නො ව යමෙකුට නිශ්චිතව ම විශ්වාස ය - ඉදිරිපත් කරමිනි.

නවකතාවේ මුල් කොටසේ වින්ස්ටන් විප්ලවකාරී කි‍්‍රයාවක් සිදු කිරීම ආරම්භ කරයි: ඔහු පුද්ගලික දිනපොතක් ලිවීම අරඹයි. ඔහු එහි දී ආශාවෙන් යුතුව ආමන්ත‍්‍රනය කරන්නේ "නිදහස් චින්තනයක් සහිත අනාගතයට හෝ අතීතයට” ය. "විශ්වීය රැවටීමේ කාලපරිච්ඡේදයක දී සත්‍යය ප‍්‍රකාශ කිරීම විප්ලවීය කි‍්‍රයාවකි” යනුවෙන් තවත් තැනක ඕවල් කීර්තියට පමුනුවනු ලැබ ඇත. එක්සත් ජනපද දේශපාලන පන්තියේ නිව්ස්පීක් මගින් ප‍්‍රහාරයට ලක්ව අපි විද්‍යමාන ලෙස විශ්වීය රැවටීමේ කාලපරිච්ඡේදයක ජීවත් වෙමු. අපි සියලු දෙනා ම වින්ස්ටන් ස්මිත්වරුන් වන අතර චින්තනය නිදහස් වන කාල පරිච්ඡේදයක් සඳහා වන මාර්ගය ආලෝකමත් කිරීමට සත්‍යය ප‍්‍රකාශ කිරීමේ විප්ලවීය කි‍්‍රයාවන් කෙරෙහි අවධානය යොමු කරමු.

සටහන්

(1) The Collected Essays, Journalism and Letters of George Orwell Volume 4 ජෝර්ජ් ඕවල්ගේ සංගෘහිත රචනා, පුවත්පත් කලාවේදය සහ ලිපි 4වන වෙලුම (‘‘ඔබගේ නාසය ඉදිරිපිට‘‘), 1945-1950, 546 පිටුව (පෙන්ගුවින්),

(2) ඕවල්ගේ දේශපාලන ගමන් මාවත පිලිබඳ විශ්ලේෂනයක් සඳහා විකී ෂෝට් http://www.wsws.org/articles/2002/apr2002/orwe-a11.shtml සහ ෆ්‍රෙඩ් මාසෙලිස් http://www.wsws.org/articles/1998/sep1998/orw-s09.shtmlබලන්න

(3) Time Magazine ටයිම් සඟරාව 1949 ජුනි 20

(4) Politics and the English Language,” දේශපාලනය සහ ඉංගී‍්‍රසි භාෂාව’’