ඊජිප්තුව මුල්කරගෙන යුරෝපීය සංගම් සමුලුව වොෂින්ටනය සමඟ පෙලගැසෙයි

EU summit lines up with Washington on Egypt

By Ulrich Rippert, 5 February 2011

යුරෝපීය නායකයින් පසුගිය සිකුරාදා බ‍්‍රසල්ස්හිදී රැස්වූයේ, ඊජිප්තුවේ මහජන පෙලපාලි හා මුබාරක් තන්ත‍්‍රයේ රුදුරු ප‍්‍රතිප‍්‍රහාරයේ සෙවනැල්ල යට ය. යුරෝපීය සංඟමය මෙහිදී නරුම දෙබිඩි පිලිවෙතක් ක‍්‍රියාත්මක කරයි. නිල ප‍්‍රකාශ තුලදී යුරෝපීය සංගමය, ප‍්‍රචන්ඩත්වය අවසන්කර "ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා සාමකාමී පරිවර්තනයක්” සඳහා ඇවිටිලි කරන අතරතුරම, ආඥාදායක මුබාරක් තන්ත‍්‍රය හා මිලිටරියට අඛන්ඩ සහයෝගිතාව පලකරන බවත් සහාය ලබාදෙන බවත් ඇඟවුම් කරයි.

මෑත දිනවල මහජන විරෝධතාවයේ උච්ච අවස්ථාව සලකුනු කරමින් 02වන දින කයිරෝහි පැවති මිලියන ගනනකගේ පෙලපාලි, යුරෝපීය බලවතුන් බියෙන් මුසපත් කල අතර එහි ගතිකය හා විප්ලවකාරී ස්වභාවය මඟින් ඔවුන් කම්පනයට පත්කලේය. සැබවින්ම දනිස් වෙව්ලන ස්වභාවයෙන් ඔවුහු බලවත්ම අධිරාජ්‍යවාදී ආන්ඩුව වන වොෂින්ටනයේ ඔබාමා පරිපාලනය සමඟ සමීපව පෙලගැසීමේ උත්සාහයක යෙදී සිටිති.

ජර්මනියේ විදේශ ඇමති, නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ගයිඩෝ වෙස්ටවේල්, යන්තම් සති කිහිපයකට පෙර ඊජිප්තුවට යාබද රතු මුහුදේ මනරම් නාවික නිකේතනයක සිය නත්තල් නිවාඩුව ගතකල අතර, පසුගිය 03 දින ජර්මන් රූපවාහිනියේ උදෑසන වැඩසටහන අතරතුර "යුරෝපීය සංඟමය හා එක්සත් ජනපදය දැනට සමීප සාකච්ඡාවන්හි යෙදෙන” බව පිලිගත්තේය. එහි එකම අර්ථය, එක්සත් ජනපද ආන්ඩුව මුබාරක්ගේ මැර කල්ලිවල රුදුරු ක‍්‍රියාවන්ට සහයෝගය දීමට සූදානම් බව ජර්මන් ආන්ඩුවට හා යුරෝපීය ආයතනවලට කල්තියාම දැනුම්දී තිබුනු බවයි.

එම මාධ්‍ය හමුවේදීම "තත්වය පිරිහී යාම” කෙරෙහි තම කනස්සල්ල පලකරමින් ඊජිප්තුවේ ප‍්‍රචන්ඩ ක‍්‍රියා තවදුරටත් පැතිරයාම පිලිබඳව වෙස්ටවේල් අනතුරු ඇඟවීය. මෙම අඳුරු උත්සුකයන් පිටුපස ඇත්තේ කුමක් ද? වොෂින්ටනය සමඟ සාකච්ඡාකර ඇත්තේ කුමන දේ ද? එක් දෙයක් නම් පැහැදිලිය. ප‍්‍රචන්ඩ ක‍්‍රියා නතර කිරීම ද, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස පිලිබඳව කෙරෙන අනතුරු ඇඟවීම් ද, ඊජිප්තු ජනතාවට සහයෝගය දැක්වීමක් සමඟ මොනම සම්බන්ධයක්වත් ඇත්තේ නැති බවයි. ඒ මඟින් ඔවුන් වසං කිරීමට උත්සාහ කරන්නේ නයිල් නිම්නයේ මෙන්ම මැද පෙරදිග ආඥාදායක තන්ත‍්‍රයන්ට දශක ගනනාවක් තිස්සේ තමන් ලබාදී ඇති සහයෝගය පිලිබඳ කාරනයයි.

ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංඟමයේ නායිකාව ද වන ජර්මනියේ චාන්සලර් ඇන්ජිලා මර්කෙල්, 1වන හා 2වන දිනයන්හි ඊස්රායලයේ කල සංචාරය අතරතුරදී අවධාරනය කලේ ඊජිප්තුවේ "ප‍්‍රජාතන්ත‍්‍ර ව්‍යාපාරයට තමන් දැක්වූ සහයෝගය” වරදවා වටහා නොගතයුතු බවයි. ඇය මුබාරක් අතරමං කල බවට ඇයගේ ඊස්රායල් සහකරුවන් නඟන විවේචන කේන්තියෙන් බැහැර කල අතර, බර්ලිනය හා කයිරෝව අතර වසර බොහෝ ගනනක් පැවති සමීප ආර්ථික හා මිලිටරි සහයෝගිතාවය පෙන්වා දුන්නාය.

බ‍්‍රසල්ස්හිදී විදේශ කටයුතු පිලිබඳ යුරෝපා සංගම් නියෝජිතවරිය වන කැතරින් ඇෂ්ටන්, "හැකිතාක් ඉක්මනින්” ඊජිප්තු ජනතාවගේ අභිලාෂයන්ට ඇහුන්කන් දෙන ලෙස මුබාරක්ගෙන් ඉල්ලා සිටියාය. දැනට ලන්ඩනයේ සිටින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් වෙතින් ද පලවූයේ එවැනිම ප‍්‍රකාශයන්ය.

බි‍්‍රතාන්‍ය අගමැති ෙඩ්විඩ් කැමරොන් බදාදා පාර්ලිමේන්තුව හමුවේ කුහක ලෙස කියා සිටියේ "ලෝකය පුරාම ප‍්‍රජාතන්ත‍්‍රය හා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අපි, මෙම රටේදී (ඊජිප්තුවේදී) නිදහස අවශ්‍ය බව පවසන අය සමඟ සිටින්නෙමු.” යනුවෙනි. ඔහු තවදුරටත් පැවසුවේ, ප‍්‍රජාතන්ත‍්‍ර වෙනසක් ඈත අනාගතයට තල්ලුකර හැරිය නොහැකි බව හා එය "දැන්ම” ආරම්භ විය යුතු බවයි.

කැමරොන් කියා නොසිටියේ යුරෝපා සංඟමයේ සියලු ආන්ඩු සමඟ තමන් පොදුවේ එකඟ වන ඊනියා "ප‍්‍රජාතන්ත‍්‍ර වෙනස” තීරනය කල යුත්තේ, ඊජිප්තුවේ කයිරෝ හා අනෙකුත් නඟරවල පෙලපාලි දක්වන ජන සමූහයන් විසින් නොවන බවත් එය එක්සත් ජනපදයේ හා යුරෝපයේ ආන්ඩුවල දැඩි පාලනය යටතේ සිදුවිය යුතු බවත්ය.

මේ අනුව බ‍්‍රසල්ස්හි සාකච්ඡා යොමුවී ඇත්තේ ප‍්‍රධාන කොටම වයස 82ක් වන මහලු මුබාරක් වෙනුවට වඩාත්ම සුදුසු පුද්ගලයා කවරෙක් ද යන්න හා දැනට පවතින රුදුරු බල යාන්ත‍්‍රනය සුරක්ෂිත කරන්නේ හා ජනතාව මේ සඳහා තීරනාත්මක ලෙස සහභාගී වීමෙන් වලක්වන්නේ කෙසේ ද යන කරුනු කෙරෙහිය. යුරෝපීය ආන්ඩුවල ප‍්‍රධාන උත්සුකය වී ඇති මෙම තත්වය තුලින් කලාපයේ සිය ග‍්‍රහනය තවදුරටත් පවත්වාගත හැකි යයි ඔවුන් බලාපොරොත්තු වෙයි.

බ‍්‍රසල්ස්හි ගනන් බැලීම්වලට අනුව මෙම කටයුත්ත, විපක්ෂ ව්‍යාපාරයේ කථිකයා ලෙස දැනට හිස ඔසවමින් සිටින පුද්ගලයින් ගනනාවක් අතුරින් එක් අයෙකු වෙත පැවරෙනු ඇත. පෙරමුනේ සිටින එක් පුද්ගලයෙක් නම් ජාත්‍යන්තර පරමානුක බලශක්ති ආයතනයේ හිටපු ප‍්‍රධාන නියෝජිතයාවූ මොහමඞ් එල්බරාඩෙයි ය. 02දා මෙම වෘත්තීය රාජ්‍ය තාන්ත‍්‍රිකයා ජර්මානු විදේශ ඇමති වෙස්ටවෙල් සමඟ දිග දුරකථන සාකච්ඡාවක් පැවැත්වීය. ඒවන විටත් ඔහු, මුබාරක්ට විකල්පයක් ලෙස ගෙනෙන සිය යෝජනා පිලිබඳව බි‍්‍රතාන්‍ය හා එක්සත් ජනපද තානාපතිවරුන් සමඟ සාකච්ඡා පවත්වා තිබුනි.

මුබාරක් විසින් මෑතකදී උප ජනාධිපති ලෙස පත්කල ඕමාර් සුලෙයිමාන් අන්තර් වාර ජනාධිපති ලෙස කටයුතු කලයුතු යයි ඔහු යෝජනා කලේය. ඩර් ස්පීගල් ඔන්ලයින් එල්බරාඩෙයිගේ අදහස් මෙසේ ඉදිරිපත් කලේය. "ඔහුගේ ධුර කාලය තුල පාර්ලිමේන්තු සභා දෙක විසුරුවා හැරීම අවශ්‍යය. ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරන වලට ප‍්‍රථම, ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ද අවශ්‍යය.” ටෙහෙරානයේ පාලන තන්ත‍්‍රය සමඟ සමීප සබඳකම් පවත්වාගෙන යමින් යුරෝපීය දේශපාලන සංස්ථාපිතයේ හොඳහිත දිනාගෙන සිටිය ද එල් බරාඩෙයිට, ඊජිප්තුව තුල ඇත්තේ ඉතා අල්ප මහජන සහයෝගයකි.

එල්බරාඩෙයිට සපුරා වෙනස් ලෙස අරාබි ලීගයේ විධායක අධ්‍යක්ෂ අමීර් මූසා, ඊජිප්තුවේ වඩාත්ම ජනප‍්‍රිය දේශපාලඥයෙකු ලෙස හැඳින්වේ. මේ සතිය මුල එක්සත් ජනපදයේ සීඑන්එන් මාධ්‍යට දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු, ඊජිප්තු ජනාධිපතිවරනයට තරග කිරීමේ සිය අභිප‍්‍රාය නිවේදනය කලේය. කාලයක් තිස්සේ ජර්මන් ආන්ඩුව ඔහු සමඟ සම්බන්ධතා පවත්වයි. පසුගිය ඔක්තෝබරයේදී ඔහු, මැද පෙරදිග සාම ක‍්‍රියාවලිය පිලිබඳව සාකච්ඡා කිරීමට බර්ලිනයට පැමින සිටියේය. පසුව ජර්මන් ආන්ඩුවේ ප‍්‍රකාශකයෙකු, "විවෘත හා මිත‍්‍රශීලී අදහස් හුවමාරුව” පිලිබඳව ඔහුට ස්තුතිය පලකලේය.

විදේශ කටයුතු පිලිබඳ ජර්මානු කමිටුවේ මධ්‍යධරනීය ප‍්‍රශ්න ගැන විශේෂඥයෙකු වන ඇල්මුට් මොලර් කියා සිටි බවට ස්පීගල් ඔන්ලයින් කල උපුටා දැක්වීමකට අනුව, "අමීර් මූසා ජාත්‍යන්තර වශයෙන් පිලිගත් අයෙකි. ඔහු බටහිර ක‍්‍රමයේ වටිනාකම් වැලඳගෙන සිටිින්නෙකි.” අරාබි ලීගයේ විධායක ලේකම් වශයෙන් ඔහුගේ ක‍්‍රියාකලාපය මත මූසා, විශ්වාස කටයුතු සහකරුවෙක් ලෙස බටහිරදී පිලිගැනේ. "මූසා ඊජිප්තුව තුල ප‍්‍රමුඛ දේශපාලන භූමිකාවක් ඉටුකරන තතු යටතේ ජර්මානු ආන්ඩුව ඉක්මනින්ම ඔහු සමඟ සම්බන්ධතා පිහිටුවාගත යුතුය.” මොලර් පැවසීය.

ඊජිප්තුව තුල බටහිර රටවල තෙවැනි වියහැකි නියෝජිතයා ලෙස කථාබහට ලක්ව සිටින්නේ, අයිමාන් නූර්ය. ජනාධිපතිවරනය සඳහා තම පක්ෂය නිල වශයෙන් ලියාපදිංචි කර ගැනීමට ව්‍යාජ ලේඛන සකස් කිරීමට සහාය දුන්නේය යන චෝදනාව මත පස් වසරකට සිරගතකල අවස්ථාවේ, එනම් සය වසරකට පෙර, ඔහු බටහිර අවධානයට ලක් විය. දේශපාලන කටයුතුවලට සම්බන්ධවීම තහනම් කරමින් පනවා ඇති නියෝගය තවමත් ඉවත්කර නොමැති තත්වය හමුවේ ඔහුට එලෙඹන ජනාධිපතිවරනයට ඉදිපත්වීමට නොහැකිවනු ඇත.

යුරෝපා සංගම් සමුලුවේ අවසන් භාගයෙහි ඊජිප්තුවේ "ප‍්‍රජාතන්ත‍්‍ර විකල්ප” පිලිබඳව පැවැත්වෙන විවාදය පැහැදිලි කරන්නේ, යුරෝපයේ ද එක්සත් ජනපදයේ ද පාලක පන්තීන් කයිරෝහි අධිරාජ්‍ය ගැති පාලකයෙක් ස්ථාපිත කිරීමට අදිටන්කොට සිටින බවයි. එවැන්නෙක්, මුබාරක්ට නොදෙවෙනි උනන්දුවකින් අධිරාජ්‍යවාදී අවශ්‍යතා සුරක්ෂිත කරදීම සඳහා අවශ්‍ය නම්, ඊට නොදෙවෙනි රුදුරු ආකාරයකින් ක‍්‍රියාකරනු ඇත.

02දා ටියුනීසියාවේ කල සංචාරයකදී යුරෝපා විදේශ පිලවෙත් සම්බන්ධ ප‍්‍රධාන තැනැත්තිය වන කැතරින් ඇෂ්ටන්, විශේෂයෙන්ම ආර්ථික ප‍්‍රතිව්‍යුහකරනය හා අසරන ටියුනීසියානුන් යුරෝපයට සංක‍්‍රමනය වීම වැලැක්වීම ද ඇතුලු පියවර, ස්ථාපනය කරන ආන්ඩුව විසින් ගතයුතුව ඇති බව එරට නව අන්තර් වාර රාජ්‍ය නායකයාගෙන් ඉල්ලා සිටියාය.

ප‍්‍රජාතන්ත‍්‍රය, නිදහස හා මානව අයිතීන් පිලිබඳව ඉහලින්ම කෙරෙන කථාබහේ අරමුන වන්නේ, කයිරෝවේ අනාගත ආන්ඩුව තීරනය කරන්නේ ඊජිප්තු ජනතාව නොව එක්සත් ජනපදය සමඟ එකඟත්වය ඇතිව තමන් විසින්ය යන යුරෝපීය ආන්ඩුවල අභිලාෂය වසං කිරීමයි.