ඔබාමා ඊජිප්තුවේ ලේ වැගිරීමට අනුබල දෙයි

Obama backs bloodbath in Egypt

3 February 2011

කයිරෝ හි ටාරීර් (නිදහස්) චතුරස‍්‍රයේ දී හා ඊජිප්තුවේ අනෙක් පෙදෙස් වල පුද්ගලයන් ගනනාවකට ම‍රු කැදවා තවත් දහස් ගනනකට තුවාල සිදු කර ඇති රාජ්‍ය ත්‍රස්තය හා ලේ වැකි ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් ඔබාමා පාලනාධිකාරය සම්පූර්න දේශපාලන හා සදාචාරාත්මක වගකීම දරයි.

සිවිල් ඇදුමින් සැරසුනු රහස් පොලීස් භටයන් හා හොස්නි මුබාරක්ගේ පාලක ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මැරයන් එක්ව මෙහෙයවූ සන්නද්ධ සැහැසි නඩ විසින් මුදාහැරි ප්‍රහාර ඇරඹුනේ, වොෂින්ටනයේ නිලධාරින් “අවංක” සහ දිගු සාකච්ඡාවක් යයි විස්තර කල, ඔබාමා හා මුබාරක් අතර දුරකථන සංවාදයේ නිමාවත් සමගම ය. මෙම දුරකථන ඇමතුම ලැබුනේ ඊලග ඔක්තෝබරය දක්වා නිලයේ රැදී සිටීමේ ඔහුගේ අභිප්‍රාය ප්‍රකාශයට පත් කල මුබාරක්ගේ රූපවාහිනී කථාව අවසන් වීමත් සමගමය.

ඉන් අනතුරුව එක්සත් ජනපද ජනාධිපති, ඊජිප්තු මිලිටරියට ප්‍රශංසා කරමින්, “වෙනසක් විය යුතුය ” යන්න මුබාරක් වටහාගත් බව සහතික වෙමින් සහ ඒ සමගම ඊජිප්තුව තුල “ක්‍රමානුකූල සංක්‍රමනයක්” ඉල්ලා සිටිමින් ස්වකීය රූපවාහිනී කතාව පැවැත්වීය. අලංකාරයෙන් අනූන හා කුහක පූච්චානම්වලින් ආඥාදායකත්වයට එරෙහිව නැගී සිටි මහජනයා වර්නනා කරන අතරේ, ඔබාමා මෙසේ ප්‍රකාශ කලේය: “ඊජිප්තු ජනයා මෙම විරෝධතාවන්ගෙන් අනතුරුව ඇති වන තත්වය කලමනාකරනය කරගන්නා විට ඔවුනට උපකාර පිනිස අවශ්‍ය අනුග්‍රහය සපයා දීමට අපි සූදානම් ව සිටිමු.”

වෙනත් වචන වලින් කිය‍තොත්, විරෝධතාවන් අවසන්ව ඇත. වීදිවලින් ඉවත්ව ඊජිප්තුවේ අනාගතය තීන්දු කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට හා ඊජිප්තු හමුදාවට ඉඩ හරිනු!

ඔබාමා මුබාරක්ට කීදේ පිලිබද ධවල මන්දිරය කුමක් කීවත් ඊජිප්තු ජනාධිපතිට පැහැදිලි පනිවිඩයක් ලැබුනි: ඔහුගේ යෝජනාව පිලිගෙන කැරලිකාරි ලෙස අභියෝග කිරීම නැවැත්වීම ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ නම් මිලිටරිය මගින් පාලනය වන සිය ආඥාදායකත්වයේ බලය ප්‍රතිෂ්ඨාපනය කර කයිරෝ, ඇලෙක්සැන්ඩ්‍රියා, සූවස් සහ ඊජිප්තුව පුරා ‍සෙසු ලොකු කුඩා නගරවල වීදිවලින් ඔවුන්ව එලවා දැමීම පිනිස නග්න ප්‍රචන්ඩත්වය යොදා ගැනීමට ඔහුට වොෂිංටනයෙන් අවසරය ලැබුනි.

එය එක්සත් ජනපදය එකටෙක කිරීමට පොළඹවනු ඇතැයි ඔහු සිතුවේ නම්, පිහි, මුගුරු, හෙලි, පෙට්‍රල් බෝම්බ ද අශ්වයින් හා ඔටුවන් ද සහිතව ප්‍රහාර එල්ල කිරීමට පොලිස් භටයින් හා අපරාධකාරයින් දහස් ගනනින් ‍බලමුලු ගැන්විමක් මුබාරක් කොහෙත්ම නොකරනු ඇත.

එසේම දවසේ සිදුවීම් ඔහුට බිය වීමට දෙයක් නැති බව පෙන්වා දී තිබේ. ධවල මන්දිරය හා රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රචන්ඩත්වය ආකාරගතව හෙලා දකිමින් - කොහොම නමුත් වගකිවයුත්තන් කවුරුන්ද යන බව නොපැහැදිලි යයි අඟවන අතරතුර - ප්‍රකාශ නිකුත් කලද, ඔබාමාගේ මාධ්‍ය ලේකම්, රොබට් ගිබ්ස්, මුබාරක් ආඥාදායකයෙක් ද නැද්ද යන්නට පිලිතුරු දීම කෙලින්ම ප්‍රතික්ෂේප කල අතර රටේ මිලිටරියට සහ මර්දනකාරී හමුදාවන්ට අතිවිශාල කොටසක් වෙන්වන වසරකට ඩොලර් බිලියන දෙකක් වසයෙන් ඊජිප්තු තන්ත්‍රයට ලබා දෙන එක්සත් ජනපද ආධාර අත්හිටුවීමේ කිසිදු අභිප්‍රායක් නැති බව පැහැදිලි කලේය.

මුබාරක් ඉල්ලා අස්විය විය යුතු යයි වොෂිංටනය කිසිසේත්ම ඉල්ලා ‍නැත. ඒ එක්සත් ජනපද ප්‍රකාශකයා ඔබාමා පාලනාධිකාරයට ඔහු ඉවත් කිරීම අවශ්‍ය ද යන ප්‍රශ්නය වටේ යමින් එය මගහැරි බැවිනි. ‍ජෝර්ජියාව හා යුක්රේනය වැනි රටවල එක්සත් ජනපද ගැති තන්ත්‍ර පිහිටුවාලීම අරමුනු කර සූදානම් කෙරුනු නොයෙක් “වර්න විප්ලව” කරා පැමිනි කල වොෂිංටනය මෙවන් නිශ්ශබ්දතාවයකින් පීඩා නොවිදි බව සිහියට නගා ගත යුතුය.

ඊජිප්තුවේදී, කෙසේ වෙතත්, එය සම්පූර්නයෙන්ම වෙනත්ම ප්‍රශ්නයකි. දශක ගනනක දූෂනය හා මර්දනය සමාජ අසමානතාව, ගැඹුරු වන විරැකියාව හා දිගු කාලීන අන්ත දරිද්‍රතාව සමග බැදී, මැදපෙරදිග එහි ආධිපත්‍යය පවත්වාගැනීමේ "කඩ ඇනය" ලෙස පොදුවේ ප්‍රකාශ කෙරෙන, අරාබි ලෝකය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන සගයාට එරෙහි විප්ලවකාරි මහජන කැරැල්ලක් නිර්මානය කිරීමට දායක වී ඇත.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සති අන්තයේදී දක්වා සිටි ආකාරයට “දශක තුනකට වැඩි කාලයක් එක්සත් ජනපද සහකරු” ලෙස ද “අභියෝග ගනනාවකට විෂය වී ඇති කලාපයක් ස්ථායී කිරීමේ උත්සාහයේ දී” අතිශය අගනා වූ වාසියක් ලෙස ද ඊජිප්තු තන්ත්‍රය සේවය කොට ඇත. එම තන්ත්‍රය සිය විරුද්ධවාදීන් වධබන්ධනයට පත් කිරීම හා මරාදැමීම මගින් උත්සාහ කලේ, මෙම ස්ථායීබව බලාත්කාරයෙන් පැටවීමට හා මෙම "අභියෝග" මැඩපැවැත්වීමට ය යන්න වොෂිංටනය වටහාගත් අතර ඒ ගැන කිසිදු මනස්තාපයක්ද වොෂිංටනය තුල නොවීය.

එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය තුල මුබාරක් ට පවතින සහයෝගය පිලිබද විශේෂයෙන්ම අප්‍රසන්න ප්‍රකාශයක් නම්, එක්සත් ජනපද පන්දමා “සාඩම්බර ජාතිකවාදියෙකු” ලෙස විස්තර කරමින් බදාදා නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ පල වූ කතුවැකියකි.

ඊජිප්තුව සම්බන්ධයෙන් වොෂිංටනයේ සැලකිල්ල යොමුව ඇත්තේ “අනතුරුව ඉරානයේ දී අප දුටු දේවල් කරා යොමු කරවන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය” නොව “සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය” ගෙන ඒමට යයි සිය ප්‍රකාශයේ දී ක්ලින්ටන් කියාපෑවාය. වෙනත් වචන වලින් කිය‍තොත්, ප්‍රජාතන්ත්‍රවාදය සදහා එකම නිර්නායකය එක්සත් ජනපද අවශ්‍යතාවන්ට යටත්වීම මිස ජනතාවගේ අභිලාෂයන් නොවේ.

ඔබාමා පාලනාධිකාරය එවන් “සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක්” ප්‍රවර්ධනය කරන්නේ කෙසේද? පළමුව එය ඊජිප්තුවේ හිටපු තානාපති ෆ්රෑන්ක් විස්නර් එරට සම්බන්ධ සිය නියෝජිතයා ලෙස තෝරා ගත්තේය. විස්නර්ගේ ප්‍රජාතාන්ත්‍රික අක්ත පත්‍රවලට ඇතුලත් දෙයක් නම් එන් රොන් හා ඒඅයිජී යන සමාගම් දෙ‍කෙහිම අධ්‍යක්ෂ මන්ඩල වල සේවය කිරීමේ පළපුරුද්ද සහ, වඩාත් තීරණාත්මක කාරනය වන, ඊජිප්තුවේ එක්සත් ජනපද තානාපති කමින් ගිය පසු මුබාරක් හා ඔහුගේ තන්ත්‍රය වෙනුවෙන් වොෂිංටනයේ ලොබිකරුවා වීමයි.

විස්නර් ඔබාමා වෙතින් ගෙන ගිය පනිවිඩය වූයේ, මෙම වසරේ අවසානය ආසන්න වන විට පැවැත්වෙන මැතිවරනය හමාර වන තෙක් මුබාරක් ජනාධිපතිකමේ එල්බී සිටිය යුතු බවයි, එනම්, හරියටම ඊජිප්තු ආඥාදායකයා ඔහුගේ රූපවාහිනී කතාවේදී පොරොන්දු වූ දෙයයි. ඊජිප්තු ජනතාව මුබාරක්ගේ යෝජනාව පිලිගැනීමට අසමත් නම් අවශ්‍ය ඕනෑම විධික්‍රමයක් මගින් ඔහුගේ අධිකාරය බලාත්කා‍රයෙන් පැටවීම පිනිස වොෂිංටනයේ පිටුබලය ඔහුට ලැබෙනු ඇත යන පනිවිඩය ද විස්නර් ලබා දුන් බව මුලුමනින්ම පාහේ නිසැකය.

ඒ අතරවාරයේම, ඔබාමා පාලනාධිකාරය එක්සත් ජනපද මිලිටරිය හා ඊජිප්තු මිලිටරි සේනාපතියන් සමග එයට පවතින සම්බන්ධතා මත දැඩි ලෙස විශ්වාසය තබා ඇත. එක්සත් ජනපද ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ මන්ඩලයේ සභාපති, අද්මිරාල් මයික් මුලන්, සතියක් තුල දෙවන වතාවටත්, බදාදා ඔහුගේ ඊජිප්තු ප්‍රත්‍යශකයාට කතා කලේය. “සාමකාමී තත්වය යලි ඇති කිරීමක්” සහතික කල යුතු යයි ජ්‍යෙෂ්ඨ ඊජිප්තු නිලධාරියාගෙන් තමා ඉල්ලා සිටි බව ඔහු පැවසීය. මුලන්, “ඔවුන්ගේ රටේ ආරක්ෂාව, අභ්‍යන්තරවත් හා සූවස් ඇල ප්‍රදේශය මුළුල්ලෙහිත් යන ද්විත්වයේම ආරක්ෂාව, සැලසීමට ඊජිප්තු මිලිටරියට පවත්නා හැකියාව පිලිබද ඔහුගේ විශ්වාසය ප්‍රකාශ කලේ" යයි පෙන්ටගනය පැවසීය.

මුලන්ගේ ඇමතුමට පසුව, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් ඊජිප්තු ආරක්ෂක ඇමති මොහොමඩ් හුසේන් තන්තාවිට දුරකතනයෙන් කතා කල අතර -- එයද සතියක් තුල දෙවන වතාවට ය -- එමෙන් ම එම ඇමතුම පසුගිය සතියේ ඔහුගේ උප ජනාධිපති කමට පත් කර ගත් මුබාරක්ගේ දිගුකාලීන මිලිටරි බුද්ධි අංශ ප්‍රධානියා හා වධහිංසා අංශයේ නායක ඔමාර් සුලෙයිමාන් ‍ට දුන් හිලරි ක්ලින්ටන්ගේ දුරකථන පනිවිඩයක් සමග සමපාත වීය.

මෙම සියලු සාකච්ඡා කුමක් සම්බන්ධයෙන් වූයේද? පෙන්ටගනය 700කට ආසන්න පිරිසක් ඊජිප්තුව තුල සේවයේ යොදා ඇති අතර එරටේ මිලිටරිය ගන්නා සෑම පියවරක් පිලිබදවම එය සම්පූර්නයෙන් දැනුවත්ය. හමුදාව කයිරෝ හි බදාදා ඉටු කල භූමිකාව, එනම්, රහස් පොලිස් භටයන්ගෙන් හා තන්ත්‍රයේ මැරයන්ගෙන් සමන්විත දැවැන්ත කල්ලිවලට සිය මෘග ප්‍රහාරය එල්ල කිරීමට ටාරීර් චතුරස‍්‍රය විවෘත කර දීම, කල් ඇතුවම ගේට්ස්, මුලන් සහ අවශේශ ඉහල පෙලේ එක්සත් ජනපද මිලිටරි නායකයින් සමග සාකච්ඡා කොට සූදානම් කර තිබුනි.

ඊජිප්තුව තුල “ක්‍රමානුකූල සංක්‍රමනයක්” පිලිබද මොන ආකාරයේ අදහස් වොෂිංටනයේ තිබුනත් ඒ සියල්ල, ඊජිප්තු මිලිටරිය මගින් පාලනය වන හා කැරලිකාරී ව්‍යාපාරය කුඩු කර දැමීමේ හැකියාව සහිත, එක්සත් ජනපද‍යේ පිටුබලය ලබන තන්ත්‍රයක් පවත්වා ගෙන යාමට මුලුමනින්ම ය‍ටත්ය. ධවල මන්දිරයේ පැවති ජාතික ආරක්ෂක මන්ඩලයේ හදිසි සාකච්ඡාවලට සහභාගී වූවෙක් රොයි‍ටර් පුවත් ඒජන්සියට පැවසූ පරිදි, “එක්සත් ජනපදය ප්‍රසිද්ධියේ නොකියන දෙයනම් එය එහි බලය (ඊජිප්තු) ජෙනරාල් වරුන්ට සහාය පිනිස යොදන බවයි. එහි එල්ලය නම්, පවත්නා තත්වයට වාසි සහගත වන පරිදි සියල්ල සැකසීමයි -- එනම්, මුබාරක් ඉවත් කරන තත්වයක් ඉදිරියේ දී ඇති වුවත් එය වෙනසකට වඩා අඛන්ඩතාව පවත්වා ගැනීමක් වනු ඇත."

ක්ලින්ටන් කතා කරන “සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය” නම් මෙයයි. එය සාක්ෂාත් කර ගත හැක්කේ ඊජිප්තු ජනතාවගේ නැගිටීම මර්දනය කිරීමෙන් පමනි. ඡන්ද පවත්වනුයේ නම් ඒවා පවත්වනු ඇත්තේ, ඊජිප්තු මිලිටරිය මගින් පාලනය ‍වන, එක්සත් ජනපදයේ පිටුබලය ලබන, රූකඩ තන්ත්‍රයක ජයග්‍රහනය සහතික වන පරිදි මැතිවරන ප්‍රතිඵලය වංචා සහගත ලෙස සැකසීමේ හැකියාව වොෂිංටනයට ලැබුනු පසුව පමනි.

ඊජිප්තු ජනතාවට මැතිවරනයේ දී ඔවුන්ගේ අව්‍යාජ අභිලාශයන් ප්‍රකාශ කිරීමට ඉඩ දුන්නේ නම් එය වොෂිංටනයේ හා ඊස්‍රායලයේ යටත්පහත් අනුගාමිකයකු ලෙස රටේ භූමිකාව අවසන් කිරීමක් ප්‍රකාශයට පත් කරනු ඇත. පසුගිය වසරේ පිවු ග්ලෝබල් ඇටිටියුඩ්ස් ප්‍රොජෙක්ට් මෙහෙයවූ ජනමත විමසීමකට අනුව, ජනගහනයෙන් යන්තම් සියය‍ට 17ක් පමනක් එක්සත් ජනපද පිලිවෙත කෙරෙහි පක්ෂව අදහස් දක්වා තිබුනි -- එනම්, වොෂිංටනය කෙරෙහි දැවැන්තම වෛරය වාර්තා කිරීමෙහි ලා එරට පාකිස්තානය සමග සම මට්ටමේ සිටින බවයි. එක්සත් ජනපදයේ පිටුබලය ලබන ආඥාදායකත්වයක ද ජීවන කොන්දේසි වනසා දමා ඇති එක්සත් ජනපදය අනුග්‍රහය දැක්වූ “නිදහස් වෙළඳපළ” ප්‍රතිපත්ති වල ද දශක තුනකට වැඩි කාලයක අත්දැකීම්වලට පසුව මෙය පුදුමයට කාරනයක් නොවේ.

ප්‍රඩන්ඩත්වය හෙලා දකින එහි නිල ප්‍රකාශ කෙසේවෙතත්, ඔබාමා පාලනාධිකාරයට ඊජිප්තුව ගමන් කරවීමට අවශ්‍ය “ක්‍රමානුකූල සංක්‍රමනයක” මාර්ගය අනුගමනය කිරීම, දැනටමත් ඇරඹී ඇති ආකාරයේ ලේ වැගිරීමකින් තොරව කල නොහැක.

මුබාරක් තන්ත්‍රයට එරෙහිව ඊජිප්තු කම්කරුවන් හා පීඩිත ජනයා අරබා ඇති විප්ලවකාරී අරගලය, නොවැලැක්විය හැකි ලෙස ම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, එනම්, ආඥාදායකත්වයේ ප්‍රධාන ආධාරක පදනම, සමග ඝට්ටනයකට මුහුන දෙනු ඇත. මෙම අරගලයේ ජයග්‍රහනය ලබා ගත හැකි වනු ඇත්තේ පවතින දේපල සබඳතා වල සමාජවාදී පරිවර්තනය හා දේශපාලන බලය කම්කරු පංතිය‍ට මාරු කිරීම සදහා වූ ස‍ටන මත පදනම් වීම මගින් පමනකි.

ඊජිප්තු කම්කරුවන් එවන් ස‍ටනකට ආධාරය සොයාගනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස තමන්ම කියාගන්නා ජාතික ධනේශ්වරයේ කොටස් අතරින් නොව, ජාත්‍යන්තර කම්කරු පන්තිය තුලින් හා එක්සත් ජනපදයේමත් කම්කරු පන්තිය අතරනි. වඩාත්ම දැවෙන කර්තව්‍යය ලෙස ඇත්තේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනක් ආරක්ෂා කරන ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරි දර්ශනය මත පදනම් වූ නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමය.

බිල් වෑන් ඕකන්