අධිරාජ්‍යවාදය හා ඊජිප්තුවේ "ප‍්‍රජාතන්ත‍්‍ර පරිවර්තනය”

Imperialism and Egypt’s “democratic transition”

7 February 2011

ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පාලන තන්ත‍්‍රයත්, මුස්ලිම් බ‍්‍රදර්හුඩ් හා මොහමඩ් එල්බරාඩෙයිගේ වෙනසක් සඳහාවූ ජාතික සම්මේලනයත් අතර පැවැත්වෙන සාකච්ඡා දේශපාලන දෙපිටකාට්ටුවේ ද්‍රෝහී ව්‍යායාමයකි. ඔවුන්ගේ අරමුන, මුබාරක් තන්ත‍්‍රයට එරෙහි විප්ලවවාදී ව්‍යාපාරය ව්‍යාකූල කර මැඩීමත්, ඊජිප්තුවේ ධනේශ්වර පාලනය නඟාසිටුවීමත්, උතුරු අප‍්‍රිකාව හා මැද පෙරදිග පුරාවට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් කැපවුන විශ්වාස කටයුතු මෙවලමක් බවට එරට පත්කිරීමත්ය.

"ප‍්‍රජාතන්ත‍්‍ර පරිවර්තනය” යන කුහක ලේබලය යටතේ ඊජිප්තු උප ජනාධිපති ඕමාර් සුලෙයිමාන් විසින් කපුකම් කරන මෙම සාකච්ඡා සඳහා ඔබාමා පරිපාලනය දෙන සහයෝගය, සිතාගතහැකි ආකාරයටම ප‍්‍රතිගාමී වන්නේය. ප‍්‍රජාතන්ත‍්‍රය සඳහා වොෂින්ටනයෙන් පිදෙන දෙඩවිලි සහගත උපහාර කුහක වංචාවක් බව යලි වතාවක් හෙලිදරව්වී තිබේ. මුබාරක් මුනගැසීමට කයිරෝවට යවනු ලැබූ හිටපු තානාපති ෆ‍්‍රෑන්ක් විස්නර්ගේ විවෘත ප‍්‍රකාශයකින් ඔබාමා පාලනයේ සැබෑ අරමුනු එලිමහනට ගෙනැවිත් තිබේ. එනම්, ආඥාදායකයා තීරනාත්මක භූමිකාවක් ඉටුකරන බවයි. පරිපාලනයේ සියලු උත්සාහයන් සංකේන්ද්‍රිතව තිබෙන්නේ ඊජිප්තුවේ එක්සත් ජනපද අවශ්‍යතා සුරක්ෂිත කරන්නාවූ ප්‍රෝඩාකාරී පරිවර්තනයක් හුවාදැක්වීම වෙතය.

එක්සත් ජනපදයේ මෙම සැලසුම්වල ප‍්‍රතිගාමී ස්වභාවය, "පරිවර්තනය” සඳහා නායකත්වය දීමට මුබාරක් හා වොෂින්ටනය විසින් තෝරාගෙන ඇති මිනිසා එනම්, උප ජනාධිපති ඕමාර් සුලෙයිමාන් විසින්ම හෙලිදරව්කර තිබේ. මුබාරක් තන්ත‍්‍රයේ නරකම අපරාධවලට සම්බන්ධ හා පුද්ගලිකවම සහභාගීවූ පුද්ගලයෙකි මොහු. කෙටියෙන් කිවහොත් මොහුගේ දෑත් ලෙයින් නැහැවී තිබේ.

ඊජිප්තුවට හරවා යැවෙන වධ දීමේ කටයුත්ත සඳහා මධ්‍යම බුද්ධි අංශය හෙවත් සීඅයිඒ විසින් තෝරාගත් පුද්ගලයා වූ සුලෙයිමාන්, පකිස්ථානයේ ත‍්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ බවට සාවද්‍ය ලෙස චෝදනා නඟා වධදීම සඳහා ඊජිප්තුවට පටවා යවන ලද ඔස්ටේ‍්‍රලියානු ජාතික මහමදු හබීබ්ට පුද්ගලිකවම පහර දුන්නේය. හබීබ්ට එරෙහි සියලු චෝදනා ඉවත්කොට 2005 වසරේදී ඔහු නිදහස් කරන ලදී.

2003 වසරේ ඉරාකය ආක‍්‍රමනය කල එක්සත් ජනපදයට. ඒ සඳහා සාවද්‍ය හේතු ගෙතීමට සුලෙයිමාන් උදව් කලේය. එම යුද්ධයට පෙරාතුව, ඉබන් ෂීක් අල් ලිබි එක්සත් ජනපදයෙන් ඊජිප්තුවට බාරදීමේ කටයුත්ත අධීක්ෂනය කරන ලද්දේ ඔහුය. ඉරාකය විසින් අල් කයිඩාවට රසායනික හා ජීව අවි සම්පාදනය කල බව කීමට එකඟවන තෙක් අල් ලිබිට වධදෙනු ලැබිනි. යුද්ධය නිවේදනය කිරීමට ඉල්ලූම් කරමින් 2003 වසරේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කොලින් පවෙල් එක්සත් ජාතීන් වෙත ඉදිරිපත්කල වර්තාව තුලට මෙම බොරු පාපොච්චාරනය ඇතුලත්ව තිබුනි.

මැද පෙරදිග මූඛ්‍ය ලක්ෂනය වන්නේ බටහිර ආන්ඩුවල "ප‍්‍රජාතන්ත‍්‍ර” වටිනාකම් හා මුස්ලිම් බ‍්‍රදර්හුඩ් වැනි ඉස්ලාම්වාදීන් අතර අරගලය බව කියාසිටි "ත‍්‍රස්තයට එරෙහි යුද්ධය” පිලිබඳ දේශපාලන මිත්‍යාව, මෙම සාකච්ඡා වලින් එලිදරව් වී තිබේ. සැබවින්ම නම් මූලික ගැටුම සමස්ත පාලක පන්තිය හා ප‍්‍රධාන විප්ලවවාදී බලවේගය ලෙස මතුවී තිබෙන වැඩකරන ජනතාවන් අතර අරගලයයි.

ආරම්භයේදී මැද පෙරදිග පුරා ආඥාදායකත්වයන්ට හා රාජාන්ඩුවලට එක්සත් ජනපදය පිටුබලය දීමේදී ඊට හේතුව ලෙස ඉදිරිපත් කලේ, ඉස්ලාමීය බලපෑම සීමාකිරීමේ අරගලයේදී ආඥාදායක පාලනය නැතුවම බැරි යක්ෂයෙක් වීමයි. දැන් වොෂින්ටනය, තමන්ට විශ්වාසය තැබිය හැකි ආඥාදායක තන්ත‍්‍රයක් පවත්වාගැනීමේ සිය මූලික අරමුන ඉටුකර ගැනීමේදී, ඒ නැතුවම බැරි යක්ෂයා ලෙස සලකන්නේ ඉස්ලාම්වාදීන්ය.

"ඊජිප්තුව සඳහා සිතියමක්” ලෙස තුර්කිය ඉස්මතු කරමින් නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය පලකල ලිපියක මෙම ප‍්‍රතිපත්තිය යටින් දිවෙන පන්ති හේතු ගෙනහැර දැක්වීය. තුර්කියේ ඉස්ලාමීය ඒකේපී ආන්ඩුවේ "විවෘත කිරීම” හා බිඳ විසුරුවා හැරීම පිලිබඳ ප‍්‍රතිපත්ති මඟින් නිර්මිත වර්ගයේ "ගතික පුද්ගලික අංශයක්” සඳහා එරට මිලිටරියේ සහාය මුබාරක් තන්ත‍්‍රය විසින් ප‍්‍රයෝජනයට ගැනීම ටයිම්ස් පත‍්‍රයට අවශ්‍යව තිබේ. මෙම පිලිවෙත් තුලින් ප‍්‍රධාන කොටම ලාභ ශ‍්‍රමය යොදාගන්නා අපනයන ආර්ථිකයක් බවට තුර්කිය පත්කොට තිබේ. මැද පෙරදිග එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය තුර්කිය අවශ්‍යයෙන්ම පිලිගන්නා බව සංකේතවත් කරමින් එරට, නිහඬව නමුත් ඊස්රායලය සමඟ පවත්වාගෙන යන මනා සම්බන්ධතාවය ගැන ද ටයිම්ස් සඳහන් කරයි.

ඊජිප්තු කම්කරුවන්ගෙන් අඩක්ම දිනකට ඩොලර් දෙකක් හෝ ඊටත් අඩු වැටුපකින් දිවි ගැටගහගන්නා බවට පලවන වාර්තා හමුවේ, මිලිටරි තන්ත‍්‍රයට හා එහි සුවච කීකරු වෘත්තීය සමිති වලට කම්කරු පන්තිය මැඩ පවත්වාගත හැකිතාක් දුරට, ඊජිප්තුව තව තවත් විවෘත කිරීමෙන් වාසනාව අත්කරගත හැකි බවට ගෝලීය ආයෝජකයෝ නිසැකවම ඔට්ටු අල්ලති. එනම් ඊජිප්තුව, දේශපාලන ප‍්‍රතිගාමිත්වයේ පවුරක් හා ලාභ ශ‍්‍රමය හසුරුවන ම‍්‍රූලාශ‍්‍රයක් වන එක්සත් ජනපද මිලිටරියේ මිතුරෙකු ලෙස පවත්වාගත යුතු බවයි.

ගෝලීය අධිරාජ්‍යවාදයේ අත යට තිබෙන රටක් වන ඊජිප්තුව සමඟ එක්සත් ජනපද බැඳීමේ අර්ධ-විජිතවාදී ස්වභාවය මේ මඟින් සලකුනු කෙරෙයි.

සියලු දේශපාලන උපාමාරු හා මවාපෑම් මධ්‍යයේ ඊජිප්තු කම්කරු පන්තියේ, ගොවි ජනතාවගේ හා තරුනයන්ගේ කිසිදු උත්සුකයක් සැලකිල්ලට ගැනෙන්නේ නැත. ජනතා විරෝධය ගිනි ඇවිලවූ එකදු සමාජ හෝ දේශපාලන උත්සුකයකට විසඳුමක් ලැබෙනු නැත. විරෝධතා කරුවන් බලාපොරොත්තු වූයේ මූලික සමාජ වෙනස්කම්ය. එනම්, පොලිස් රාජ්‍යය විසුරුවා හැරීම, ගම්බද ප‍්‍රධාන ඉඩම් හිමියන්ගේ ආධිපත්‍යය අවසන් කිරීම හා වැටුප් හා ජීවන තත්වයන්ගේ වර්ධනයකි. එවන් වෙනසක් අපේක්ෂා කරන සමාජ බලවේග, එනම් ඊජිප්තු කම්කරුවන්, පීඩිත ගම්බද ජනතාව හා තරුනයින්, කුරිරු පාවාදීමක් හැරෙන්නට අන් කිසිවක් මෙම සාකච්ඡා තුලින් අත්කර නොගනු ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලෝපායික ඕනෑ එපාකම් ද ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ආයෝජන හා ඊජිප්තු පාලක පන්තියේ ධන සම්පත් ද ආරක්ෂා කරමින් අලූගෝසුවන් තවදුරටත් බලයේ රැඳී සිටිනු ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එක පැහැර කියා සිටින්නේ ඊජිප්තු කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ අවශ්‍යතා සාක්ෂාත් කල හැක්කේ සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් යටතේ බලය සඳහා අරගලයක් තුලින් පමනක් බවයි. අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රය සඳහා අන් මඟක් නොමැත. එබැවින්, ඊජිප්තු ධනේශ්වරයේ රාජ්‍ය යන්ත‍්‍රයටත් සුලෙයිමාන්ගේ සාකච්ඡාවන්ටත් විකල්පයක් ලෙස ඉදිරිපත්වන, මහජන නියෝජනයක් සහිත ස්වාධීන සංවිධාන ගොඩනැඟීම ද දේශපාලන නායකත්වයේ හිඩැස පිරවීම ද තීරනාත්මක අවශ්‍යතාවයකි.

ඇලෙක්ස් ලැන්ටියර්