ඊජිප්තු විප්ලවය

The Egyptian Revolution

1 February 2011

යෝධ විරෝධතා රැලි හා කම්හල් වාඩිලෑම් පැතිර යාමත්, ජනාධිපති හොස්නි මුබාරක්ගේ ආඥාදායකත්වයට එරෙහිව දින නියමයක් නැති මහා වැඩ වර්ජනයක් කැඳවුම් කිරීමත් හමුවේ ඊජිප්තු විප්ලවයේ ගාමක බලවේගය ලෙස කම්කරු පන්තිය මතුවෙමින් සිටියි. වර්ධනයන් පිලිබඳ ප‍්‍රවෘත්ති සීමා සහිත වුවත්, මිලියන 80ක ජනගහනයකින් යුත් මෙම රටෙහි වැඩ වර්ජන සහ විරෝධතා, නගර ගම් දනව් සිසාරා පැතිරෙමින් තිබෙන බව පැහැදිලිය.

කම්කරු පන්තියේ සුවිශාල සමාජ බලය ප‍්‍රකටවීමත් සමඟ පාලක පන්තිය සහ ප‍්‍රධාන ධාරවේ මාධ්‍යය තුල එහි හොරනෑවල් සසල වී තිබේ. විරෝධතා "විවෘත පන්ති යුද්ධයක්” බවට පත් වෙමින් තිබේ යයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත හඬ නැඟූ අතර, "නව ආන්ඩුවක් තමන්ට ඉඩම් සඳහා ලැබී ඇති සහන අහෝසි කරනු ඇතැයි” යන භීතිය හමුවේ, ඊජිප්තුවේ ආයෝජනය කර ඇති එක්සත් ජනපද තෙල් සමාගම්වල කොටස් කඩා වැටී ඇති අයුරු සීඑන්එන් පැහදිලි කලේය.

කෙසේ වෙතත් මූල්‍ය ප‍්‍රභූ පැලැන්තිය භීතියට පත්ව ඇත්තේ තෙල් බිම් අහිමි වීම ගැන පමනක් නොව, ගෝලීය වෙලඳාම සඳහා තීරනාත්මක ඊජිප්තුවේ සුවස් ඇල මාර්ගය වැනි මුහුදු මාර්ගයක් අහිමි වී යාම පිලිබඳවයි. වඩාත් මූලික දේශපාලන කාරනා පරදුවට තැබී ඇත.

1991 දී ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය දියකර හැරීමෙන් අනතුරුව දියත්වූ ධනේශ්වර ගැති විජයග‍්‍රහනවාදයට මරු පහරක් එල්ල වෙමින් තිබේ. නූතන ලෝකය තුල පන්ති අරගලය, සමාජවාදය හා මාක්ස්වාදය අවිෂය වන බව ප‍්‍රකාශ කෙරින. කාල් මාක්ස් හා ෆ්‍රෙඩ්රික් එංගල්ස් සඳහන් කල අයුරින් "මෙතෙක් පැවති සමාජයේ ඉතිහාසය වනාහි, පන්ති අරගලයන්ගේ ඉතිහාසයයි.” යන්න අවසන් වී තිබින. එතැන් පටන් මාධ්‍යවලට ඒත්තු ගත හැකි වූ එකම විප්ලව වර්ගය වූයේ, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දේශපාලනිකව සැලසුම් කරනු ලැබ, සමාජයේ වරප‍්‍රසාදිත ධනපති-ගැති කන්ඩායම් විසින් ක‍්‍රියාවට දමනු ලැබූ "වර්න විප්ලව” පමනි.

මෙම ස්වයං තෘප්ත සහ ප‍්‍රතිගාමී දර්ශනය ඊජිප්තුවේ දී සහ ටියුනීසියාවේ දී පුපුරුවා හැර ඇත. ඉතිහාසය සිය පලිය ගෙන තිබේ. මේ දැන් කයිරෝවේ සහ සමස්තයක් ලෙස ඊජිප්තුවේ ම සිදුවන විප්ලවය සැබෑ විප්ලවයයි. "විප්ලවයක වඩාත් තීරනාත්මක ලක්ෂනය වන්නේ ඓතිහාසික සිදුවීම්වල දී මහජනයා සෘජුව ම මැදිහත් වීමයි.” මෙම විෂය පිලිබඳ ප‍්‍රමුඛතම විශේෂඥයා වන ලියොන් ට්‍රොට්ස්කි ලියා තැබුවේ ය. විප්ලවය අර්ථ කථනය කිරීමේ දී ඊජිප්තුව තුල දැන් සිදුවෙමින් පවතින දෙය මුලුමනින්ම යොදා ගත හැක.

මෙම විප්ලවය තවමත් පවතින්නේ එහි ආරම්භක අදියරවල ය. පුපුරා යාමෙන් ලිහා හැරුනු පන්ති බලවේග, පැහැදිලි ඉල්ලීම්වල වචනවලින් තමන් වෙන් කර හඳුනා ගැනීම ඇරඹුවා පමනි. ක‍්‍රියාමාර්ග යාන්තමින් සූත‍්‍රගත කර තිබේ. දශක ගනනක මර්දනයෙන් පිබිද එන කම්කරු පන්තිය තමාගේ ම වැඩ පිලිවෙලක් තවමත් කෙටුම්පත් කර නැත. දිගහැරෙන අරගලයේ මෙම ආරම්භක මොහොතවල එය වෙනත් අයුරකින් සිදුවීමට ද නොහැකි ය. යලිත් ට්‍රොට්ස්කි වෙත හැරෙමු, "මහජනයා විප්ලවයක් වෙතට ගමන් කරන්නේ සමාජය ප‍්‍රතිනිර්මානය කිරීමේ කලින් සූදානම් කරගත් සැලසුමක් ඇතිව නොව, පැරැනි පාලනය ඔවුන්ට දරාගත නොහැකිය යන තියුනු හැඟීමකිනි. මේ අයුරින් විප්ලවයේ මූලික දේශපාලන සන්තතිය, ක‍්‍රමික විකාශනයක දී අන්තර්ගත කර ගන්නේ සමාජ අර්බුදයකින් මතුවන පන්තියක ප‍්‍රශ්නය. එනම්, සාර්ථක පෙරදැකීම් පිලිබඳ විධික‍්‍රමයක් මගින් මහජනයාගේ ක‍්‍රියාත්මක දිශාවනතියයි.”

සැම විටකදීම වාගේ විප්ලවවාදී කැලඹීමක ආරම්භක අවධීන්හි දී රජයන සටන්පාඨ පොදුවේ ප‍්‍රජාතාන්ත‍්‍රික ස්වාභාවයක් ගනියි. අගාධයක් ඇතිවීමේ භීතියෙන් පාලක පන්ති, පැරැනි ක‍්‍රමය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට හැකි සියල්ල කිරීමට මංමුලා සහගත වෙති. "ප‍්‍රතිසංස්කරන” පිලිබඳ පොරොන්දු ඔවුන්ගේ මුවගින් ඉතා ලෙහෙසියෙන් එලියට පනියි. සමාජයේ ඉහල ස්ථර වෙනසකට මනාප වන්නේ එය ඔවුන්ගේ ධනයට හා සමාජ තත්වයන්ට තර්ජනයක් නොවනතාක් දුරට පමනි. ඔවුහු සියලුම ප‍්‍රජාතන්ත‍්‍ර බලවේගයන්ගේ - සත්තකින්ම ධනපති පන්තියේ නියෝජිතයන්ගේ දේශපාලනික අධිකාරය යටතේ - "එකමුතුව” සඳහා දැඩි ලෙස හඬ නගති. මෙම "එකමුතුවෙහි” පුද්ගල ප‍්‍රකාශනය වන්නේ - අවම වසයෙන් මේ මොහොතේදී - මොහොමඩ් එල්බරාඩේ ය.

කෙසේ වෙතත්, එල්බරාඩේ විසින් යෝජිත ප‍්‍රජාතන්ත‍්‍ර එකමුතුව, වීදිවලට පැමින සිටින කම්කරු පන්තියට, ගම්බද දුගීන්ට හා තරුනයින්ගේ පලල් කෙටස් වලට පලදායී කිසිවක් ඉදිරිපත් නොකරනු ඇත. ඊජිප්තු සමාජයේ පුලුල් ජනතා අවශ්‍යතාවන්, පවත්නා දේපල සබඳතාවන් දුර දිගට විහිද යන ආකාරයෙන් පෙරලා දැමීමෙන් තොරව හා දේශපාලන බලය කම්කරු පන්තිය අතට පත් කිරීමෙන් තොරව සාක්ෂාත් කල නොහැකිය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, දේශපාලන විචක්ෂනභාවය පිලිබඳ එහි දුර්ලභ අවස්ථා එකක් ලෙස සැලකිය හැකි, ඊජිප්තුවේ යටින් කැකෑරෙන සමාජ ඝට්ටනය කෙරෙහි අවධානය යොමු කර ඇත. "කයිරෝවේ ධනවතුන් සහ දුප්පතුන් අතර පුලුල් වන පරතරය, පසුගිය වසර 10 පුරා, විශේෂයෙන් පසුගිය පස්වසර තුල, නාගරික ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂනයක් විය. . . . එහෙත් ඇතැමුන්ට ආර්ථික උත්පාතයක් බවට පත්වූ, වඩ වඩාත් ආන්ඩුවේ ව්‍යාපාර පෞද්ගලීකරනය කල මුබාරක්ගේ පියවර හමුවේ, ධනවත් ඊජිප්තු වැසියන් නගරය අත්හැර ගියේය. ඔවුන් නගරයෙන් බැහැර තාප්පවලින් වට කල ඇමෙරිකන් වර්ගයේ විශාල නිවාස වෙත එක්රැස් වූ අතර, ඔවුන්ගේ ජීවන රටාවේ සුවිශේෂත්වය සාමාන්‍ය ඊජිප්තු වැසියන්ගෙන් කැපී පෙනෙන ආකාරයෙන් වෙනස් විය.”

එහෙත් මෙය හුදෙක්ම ඊජිප්තු ප‍්‍රපංචයක් පමනක් ද? කයිරෝවේ සමාජ පරතරය පිලිබඳ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ විස්තරය, එක්සත් ජනපදය ද ඇතුලු ධනේශ්වර ලෝකයේ සියලුම ප‍්‍රධාන නගරවලට ද ඒ අයුරින්ම යෙදිය හැකිය. උදාහරනයක් ලෙස නිව් යෝර්ක් නගරයේ තත්වය සලකා බලන්න. මූල්‍ය ප‍්‍රතිපත්ති ආයතනය විසින් මෑතකදී නිකුත් කල වාර්තාවකට අනුව, නිව් යෝර්ක් නගර වැසියන්ගේ ධනවත්ම සියයට එක, සියලුම නගරවාසීන්ට ලැබෙන සමස්ත ආදායමෙන් සියයට 44ක් භුක්ති විඳියි.

සමස්ත ලෝකයේ ම සමාජ අසමානතාව පුපුරා යන මට්මම්වලට පැමින තිබේ. ඇත්ත වසයෙන්ම සමහර වාර්තාවන්ට අනුව, එක්සත් ජනපදයේ ආදායම් අසමානතාව ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ පවතිනාවට වඩා බෙහෙවින් ඉහල ය. තව ද, යුරෝපය හා එක්සත් ජනපදය පුරා ආන්ඩු වෙතින් සමාජ වියදම්වල යෝධ කප්පාදුවක් ඉල්ලා සිටින අතර ඒවා දැනටමත් ක‍්‍රියාවට නඟමින් තිබේ. කම්කරු පන්තියේ එන්ට එන්ටම වැඩිවන කොටස් දරිද්‍රතාවට ඇද වැටෙමින් තිබේ.

වඩාත් සූක්ෂම ප‍්‍රචාරක ආයතන සහිත වුවත්, දියුනු ධනපති රටවල පවත්නා දේශපාලන තන්ත‍්‍ර, ඊජිප්තු ආන්ඩුව මෙන්ම පලල් ජනතාවන්ගේ නොසංසුන්තාව ගැන දක්වන්නේ ඇටුවන් බැහැපු නරුම ආකල්පයකි. පසු ගිය සතියේ, රටේ ජනගහනයෙන් සියයට දහයකට ආසන්න සංඛ්‍යාවක් විරැකියාවෙන් පසුවෙන බව කීමට "එක්සත් ජනපදයේ තත්ව වාර්තාව” ඉදිරිපත් කල එරට ජනාධිපති අසමත් විය. ඔබාමා මහතාට අනුව එක්සත් ජනපදයේ වඩාත් වැදගත් දර්ශකය, වෝල් වීදියේ කොටස් "වටිනාකම්වල පුපුරන සුලු” වර්ධනයයි.

කයිරෝ, ඇලෙක්සැන්ඩි‍්‍රයා හා රට පුරාම වීදිවල දිගහැරෙමින් පවතින තත්වය ලෝක ඓතිහාසික වැදගත් කමක් දරයි. ඊජිප්තුවේ සිදුවීම් ගෙනහැර පාන්නේ දියුනුම රටවල් ද ඇතුලුව සෑම රටකම සිදුවිය හැකි සමාජ වෙනසේ ආකෘතියයි. මෙම පුරාන භූමි භාගය තුල අප අත් දකිමින් සිටින්නේ ලෝක සමාජවාදී විප්ලවයේ නව අවධියක පලමු හිරිඇරීමයි.

ඩේවිඩ් නෝර්ත්