ඊජිප්තු කම්කරු පන්තිය පෙරමුනට පැමිනෙයි

The Egyptian working class moves to the forefront

10 February 2011

මුබාරක් තන්ත‍්‍රයට එරෙහි අරගලය තුල ඊජිප්තු කම්කරු පන්තියේ වඩවඩා තීරනාත්මක කාර්යභාරය තහවුරු කරන වාර්තා පසුගිය දින කිහිපය ඇතුලත අනවරතයෙන් ගලා විත් ඇත. කයිරෝ නුවර තරීර් චතුරස‍්‍රයේ මහජන රැස්වීම් සහ ගැටුම් මාධ්‍ය ආවරනවල මූලික අවධානය බවට පත්ව ඇති අතර ම, විරෝධතා පෙලපාලිවල සහ වර්ජනවල රූපාකාරයෙන්, කම්කරු පන්ති සටන්කාමිත්වයේ වැඩෙන රැල්ල සිද්ධීන්ගේ කි‍්‍රයාදාමය මත වැඩි බලපෑමක් ඇති කරනු ඇත.

කම්කරු පන්තික සටන්කාමිත්වයේ ඓතිහාසික මධ්‍යස්ථානයක් වූ, කෆ්ර් අල්-දවාර් නමැති කාර්මික ජනපදයේ, සිල්ක් හා රෙදිපිලි කම්කරුවන් සිය ගනනක් අප‍්‍රමානවත් වැටුප් හා නරක සේවා කොන්දේසි අරබයා පැවති විරෝධතාවන්ට සහභාගි විය. කයිරෝවට දකුනින් නයිල් නදිය අසබඩ පිහිටි හෙල්වාන්හි කෝක් කෝල් සහ බේසික් කෙමිකල් සමාගමේ කම්කරුවන් 4,000ක් වර්ජනයකට පිවිසෙන බව නිවේදනය කලේය. වැඩි වැටුප්, තාවකාලික කම්කරුවන් සඳහා නිත්‍ය කොන්ත‍්‍රාත්තු සහ දූෂනය අවසන් කිරීම ඉල්ලා සිටින අතරම, මෙම කම්කරුවෝ අගනුවර විරෝධතා ව්‍යාපාරවලට සිය සහයෝගය ද ප‍්‍රකාශයට පත් කලහ. හෙල්වාන්හි පැවති තවත් වැදගත් විරෝධතා කි‍්‍රයාවක් නම්, සිල්ක් කම්කරුවන් 2,000ක් සිය සමාගමේ අධ්‍යක්ෂ මන්ඩලය ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතා දැක්මකට සහභාගි වීමයි.

නයිල් ඩෙල්ටාවේ පිහිටි මහල්ලා නගරයේ, කම්කරුවන් 1,500ක් සිය වැටුප් හා පාරිතෝෂික මුදල් ගෙවීම ප‍්‍රමාද වීමට එරෙහිව විරෝධතා දැක්වීය. එම නගරයේ ම නූල් කැටීමේ සමාගමක තවත් සිය ගනනක් කම්කරුවෝ තමන්ට ලැබිය යුතු උසස්වීම් ඉල්ලා සිටිමින් වාඩිලාගැනීමකට සහභාගි වූහ. එම ඩෙල්ටාවේ ම පිහිටි ක්වෙස්නාහි ඖෂධ සමාගමක කම්කරුවන් 2,000ක් ද වැඩ වර්ජනය කලහ.

සයිඩ්, ඉස්මයිලියා හා සූවස් වරායන්හි සූවස් ඇල අධිකාරියේ සේවයේ නියුතු 6,000කට වැඩි කම්කරුවෝ සිය වැටුප් මට්ටම් නියමිත පරිදි සකසන ලෙස ඉල්ලමින් වාඩිලාගැනීමේ උද්ඝෝෂනවලට සහභාගි වූහ. සූවස්හි මිස්ර් ජාතික වානේ සමාගමේ සේවය කරන කම්කරුවන් 400ක් ද කාර්මික කි‍්‍රයාවකට අවතීර්න විය.

ඊජිප්තු කම්කරු පන්තියේ මෙම ව්‍යාපාරය ඇරඹුනේ, ජනවාරි අවසන් සතිය තුල ඇරඹුනු කයිරෝවේ මහජන විරෝධතාවන්ට බොහෝ කලකට පෙරය. ඊජිප්තු කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ විශේෂඥයකු වන මහාචාර්ය ජොඑල් බෙයිනින්ගේ අධ්‍යයනයක ලේඛනගත කර ඇති පරිදි, වැඩෙන වර්ජන රැල්ල "පැන නගින්නේ අඩ සිය වසකට වැඩි කාලයක් තුල ඊජිප්තුව අත්දැක ඇති විශාලතම සමාජ ව්‍යාපාරය තුලිනි. 2004 සිට 2008 දක්වා මිලියන 1.7කට වැඩි කම්කරු පිරිසක් වර්ජන හා වෙනත් ආකාර විරෝධතා 1,900කට වඩා සහභාගි විය.”

උත්ප‍්‍රාසාත්මක කාරනය නම්, කම්කරු සටන්කාමිත්වයේ වැඩීම, දෘඩතර ඊජිප්තු තන්ත‍්‍රය සම්බන්ධයෙන් ගත් කල, පසුගිය දශකය තුල අත්දැකි ආර්ථික වර්ධනයේ සාදරයෙන් පිලිගත නොහැකි ප‍්‍රතිවිපාකයක් වීමයි. මෙම වර්ධනය විසි එක් වන සියවසේ ප‍්‍රථම දශකය තුල ඊජිප්තුව තුලට ගලා ආ දැවැන්ත ජාත්‍යන්තර ප‍්‍රාග්ධන ප‍්‍රවාහය මගින් පෝෂනය කෙරුනි. සෘජු විදේශ ප‍්‍රාග්ධනය 2000 දී තිබූ ඩොලර් මිලියන 400 සිට 2007-08 වන විට ඩොලර් බිලියන 13.2 දක්වා වර්ධනය විය. ඊජිප්තුව දැන් අපි‍්‍රකානු මහාද්වීපයේ විශාලතම සෘජු විදේශ ප‍්‍රාග්ධන ලාභියාය. 2004 හා 2007 අතර දී දල දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධන අනුපාතය සියයට 4 සිට සියයට 7.2 දක්වා නැගුනි. එහෙත් ආර්ථික වර්ධනයේ වාසි සමාජයේ කුඩා කොටසකට පමනක් සීමා වී ඇත. විටින් විට සහන කඩා ගැනීමට සමත් වූ වර්ජන තිබිය දී ම, වැඩ කරන ජනතාවගේ අති මහත් බහුතරය දරිද්‍රතාවයේ ගිලී සිටී. එපමනක් නොව, කම්කරු පන්තියේ නැගෙන අභියෝගයට තන්ත‍්‍රය ප‍්‍රතිචාර දක්වා ඇත්තේ මෘගත්වය හා මර්දනය උත්සන්න කිරීම මගිනි.

දැන්, මුබාරක් තන්ත‍්‍රයට එරෙහි ජාතික පරිමාන මහජන ව්‍යාපාරයක සන්දර්භය තුල, තීරනාත්මක ප‍්‍ර‍්‍රශ්නය නම්, මුබාරක්ගේ ඉරනම පමනක් නොව, දැන් වැඩෙන විප්ලවකාරී කම්පනයන්ගෙන් පැන නගින තන්ත‍්‍රයේ ස්වභාවය ද තීන්දු කිරීමෙහිලා කම්කරු පන්තියේ කාර්යභාරයයි.

ඊජිප්තු කම්කරුවන්ට ප‍්‍රතිමුඛ වන දැවැන්තම අන්තරාය වන්නේ, වියපත් ආඥාදායකයකු අතින් බලය උදුරා ගැනීමට අත්‍යවශ්‍ය සමාජ බලවේගය සම්පාදනය කිරීමෙන් පසුව, තන්ත‍්‍රයේ නායක මන්ඩලයේ සමහරකගේ නම් හා මුහුනු හැර දේශපාලනික වසයෙන් කිසිවක් වෙනස් නොවනු ඇත යන්නයි. වෙනත් වචනවලින් කියතොත්, ධනපති රාජ්‍යය නොවෙනස්ව පවතිනු ඇත. දේශපාලන බලය සහ ආර්ථික ජීවිතය මත පාලනය, මිලිටරියේ ද යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ සිටින ඔවුන්ගේ අධිරාජ්‍යවාදී වංශාධිපතීන්ගේ ද පිටුබලය ලබන, ඊජිප්තු ධනපතියන් අතම පවතිනු ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ ප‍්‍රතිසංස්කරන පිලිබඳ පොරොන්දු ලද ප‍්‍රථම අවස්ථාවේ ම ප‍්‍රතික්ෂේප කෙරෙනු ඇති අතර නව රුදුරු මර්දන තන්ත‍්‍රයක් ස්ථාපිත කෙරෙනු ඇත.

මෙය මෙම අන්තරායන් අධිතක්සේරුවකට ලක් කිරීමක් නොවේ. විසි වන සියවසේ විප්ලවවාදී අරගලවල සමස්ත ඉතිහාසය ම ඔප්පු කරන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද අධිරාජ්‍යවාදය විසින් පීඩනයට ලක් කෙරෙන රටවල විමුක්තිය ද සඳහා වන අරගලය සාක්ෂාත් කර ගත හැකි වනුයේ, ලියොන් ට්‍රොට්ස්කි සිය නොනවතින විප්ලව න්‍යාය තුල අවධාරනය කල පරිදි, ජාත්‍යන්තරවාදී හා සමාජවාදී කි‍්‍රයාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය බලය ලබාගැනීම මගින්ම පමනක් බවයි.

ඊජිප්තුවේ ඉතිහාසය මෙම මූලෝපායික මූලධර්මය සනාථ කිරීම සඳහා ඇති තරම් සාක්ෂ්‍ය ලබා දෙයි.

ඊජිප්තු කම්කරු පන්තියට අරගලයේ දිගු ඉතිහාසයක් පවතී. බි‍්‍රතාන්‍ය විජිතවාදයට එරෙහි ආරම්භක ජාතික ව්‍යාපාරය තුල දී, කම්කරු පන්තිය ප‍්‍රධාන අරගලවල නිරත විය. කෙසේවෙතත්, යලි යලිත් පුනර්කරනය කෙරුනු රටාවක් ස්ථාපිත කරමින්, දූෂිත ඊජිප්තු ධනේශ්වරය, බි‍්‍රතාන්‍යයන් වෙතින් සීමිත සහන උදුරා ගැනීම පිනිස කම්කරු පන්තිය විසින් යොදන ලද පීඩනයේ වාසිය ලබා ගැනීමෙන් පසුව, කම්කරුවන්ට තමන් දුන් පොරොන්දු සියල්ල ප‍්‍රතික්ෂේප කලේය. මුලුමනින්ම මුදලට යට වුනු ව්‍යවස්ථාදායක රාජාන්ඩුවක යාන්ත‍්‍රනය හරහා ලන්ඩනයට දිගටම සිය පාලනය පවත්වා ගෙන යාමට ඉඩ සැලසුනු, 1922 දී බි‍්‍රතාන්‍යය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ව්‍යාජ නිදහසෙන් පසුව, කම්කරු පන්තිය දිගටම නිර්දය රාජ්‍ය මර්දනයකට ගොදුරු කෙරුනි.

එයින් පසු දශක ගනනාවක් තිස්සේ, ඊජිප්තු ධනේශ්වරය වෘත්තීය සමිති ගොඩනැගීමේ කම්කරුවන්ගේ ප‍්‍රයත්නයන්ට රුදුරු ලෙස විරුද්ධ විය. වෘත්තීය සමිති නීතිගත කෙරුනේ, බි‍්‍රතාන්‍යයේ පිටුබලය ලද තන්ත‍්‍රය පුලුල් සහයෝගයක් ලබාගනු පිනිස සහන ලබා දුන්, දෙවන ලෝක යුද්ධයේ පීඩනය යටතේ පමනි. එහෙත් යුද කාලීන හදිසි තත්වය හමාර වූ වහාම තන්ත‍්‍රය මෙම සීමිත ජයග‍්‍රහනය යලි උදුරාගැනීමට කි‍්‍රයාත්මක විය. යුද්ධයෙන් පසුව, කම්කරු පන්තියේ නව නැගිටීමකට ප‍්‍රතිචාර වසයෙන්, ධනේශ්වරය සමහර සහන ලබා දුන් අතර, නිරතුරුව ම එවන් සහනවලින් පසුව මර්දනය කි‍්‍රයාවට දැමුනි.

1952 ජුලි 23 දා නිදහස් නිලධාරින්ගේ කුමන්ත‍්‍රනය රාජාන්ඩු පාලනය අවසන් කලේය. කුමන්ත‍්‍රනයට පෙරාතු මාස කිහිපය තුල, රාජාන්ඩුව දුර්වල කල කම්කරු පන්තික අරගලයේ වැඩෙන රැල්ලක් දැක ගත හැකි විය. කෙසේවෙතත්, නව තන්ත‍්‍රයේ පන්ති ස්වභාවය සති කිහිපයක් තුල එලිමහනට පැමිනියේය. කර්නල් ගමාල් අබ්දුල් නසාර් එම තන්ත‍්‍රයේ නායකයා ලෙස ඉක්මනින්ම ඉස්මතු විය. කම්කරුවෝ කුමන්ත‍්‍රනය සාදරයෙන් පිලිගත්හ. හමුදා නායකයන්ගේ විප්ලවකාරී පූච්චානම් පිලිබඳ ඔවුන් තුල පැවති මිථ්‍යාවන්, නිදහස් නිලධාරින්ගේ ව්‍යාපාරය සමග ඉතා සමීප සබඳතා පැවති ස්ටැලින්වාදී ජාතික විමුක්තිය සඳහා වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරය (ඩීඑම්එන්එල්) විසින් දිරිගන්වන ලදි. (ඩීඑම්එන්එල් ව්‍යාපාරයට කුමන්ත‍්‍රනය පිලිබඳ සැලසුම් කල් තියා දැනුම් දීමක් පවා කර තිබුනි.) "අවධි දෙකේ” විප්ලවය පිලිබඳ ස්ටැලින්වාදී න්‍යාය (පලමුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ පසුව අනාගතයේ යම් අවිනිශ්චිත කාලයක දී සමාජවාදය) අනුව යමින්, ඩීඑම්එන්එල් නගියුබ්ට හා නසාර්ට ප‍්‍රගතිශීලී කාර්යභාරයක් ආරෝපනය කලේය. මෙය, ක්ෂනිකවම පාහේ, ඛේදනීය ප‍්‍රතිවිපාක ගෙන ආවේය. කෆ්ර් අල් දවාර් කාර්මික ප‍්‍රදේශයේ මිස්ර් ෆයින් නූල් කැටීමේ හා විවීමේ සමාගමේ දහස් ගනනක් කම්කරුවෝ දිගු කලක් තිස්සේ පැවති සිය දුක්ගැනවිලි පිලිබඳව විරෝධය දක්වනු වස් 1952 අගෝස්තුවේ දී වර්ජනයකට එලඹුනහ. එම ව්‍යාපාරයේ නායකයකු පසුව මතකයට නැගූ පරිදි:

කෆ්ර් අල් දවාර්හි කම්කරුවන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කල යුතුය යන්න ඉතා ස්වාභාවික දෙයක් විය. ඒ මක් නිසා ද කියතොත්, රාජාන්ඩුව අහෝසි කල බවත් තන්ත‍්‍රය අයුක්තියට එරෙහි බවත් ජනතාවගේ අයිතීන් පුනස්ථාපනය කෙරෙන බවත් නිවේදනය කල විප්ලවයේ ප‍්‍රකාශ ඔවුනට ඇසුනු බැවිනි. ඉතා දිගු කලත් තිස්සේ පීඩනයට මුහුන දී සිටි කම්කරුවන් සිය ඉල්ලීම් ඉදිරියට දමනු ඇත යන්න ස්වාභාවික කාරනයක් විය. . . (සෙල්මා බොට්මන්ගේ "ඊජිප්තු කොමියුනිස්ට්වාදීන් සහ නිදහස් නිලධාරින්: 1950-54” ලිපිය තුල උපුටා දක්වා ඇත. ඵසාාකැ ෑ්ිඑැරබ ීඑමාසැි (මැද පෙරදිග අධ්‍යයනය), 22 වෙලුම, 3 වන කලාපය (1986 ජුලි), 355 පි.)

හමුදාව විසින් මෙම ව්‍යාපාරය රුදුරු ලෙස මර්දනය කරන ලදි. නව විප්ලවවාදී අන දෙන මන්ඩලය වර්ජනයේ නායකත්වයේ සිටි කම්කරුවන්ට එරෙහිව යුද අධිකරනයක් ඉක්මනින්ම කැඳවීය. 1952 අගෝස්තු 18 දා, නායකයන් දෙදෙනෙක්, එනම් මොහමඩ් ඛමිස් සහ අහමඩ් අල්-බක්රි, මරන දන්ඩනයට නියම කල අතර, සති තුනකට පසුව කම්හල් භූමියේ දී ඔවුහු එල්ලා මරන ලදි. යුද අධිකරනයේ සභාපති තනතුර දැරූ, විප්ලවවාදී අන දෙන මන්ඩලයේ සාමාජික අබ්ද් අල්-මියුනිම් අමින්ට කයිරෝවේ ඇමරිකානු තානාපති කාර්යාලය සමග සබඳතා පැවතුනි යන්න සටහන් කරගත යුතුය.

ඉන් අනතුරුව, නසාර් තන්ත‍්‍රය ඊජිප්තු ගොවි ජනතාවගේ හා කම්කරු පන්තියේ කොන්දේසි සුලු පරිමානව වැඩි දියුනු කල ප‍්‍රතිසංස්කරන මාලාවක් කි‍්‍රයාවට දැමීය. සූවස් ඇල ජනසතු කිරීම ඊජිප්තු මහජනතාව අතර තන්ත‍්‍රයට පුලූල් සහයෝගයක් දිනාගැනීමට උපකාරි විය. පසු කලෙක, විදේශිකයන්ට අයත් සමාගම් සහ ඊජිප්තු සමාගම්වල සැලකිය යුතු කොටසක් ජනසතු කිරීම ජීවන මට්ටම්වල නැගීමකට තුඩු දුනි. කෙසේවෙතත්, නසාර්වාදී තන්ත‍්‍රයේ අනභියෝගී පාලනය කෙසේ වී ද යත් කම්කරු පන්තියේ මොන යම් හෝ ස්වාධීන සමාජ හෝ දේශපාලනික මූලිකත්වයකට ඉඩක් නොලැබුනි. නසාර්ගේ වචනවලින් කියතොත්, "කම්කරුවන් කිසිවක් ඉල්ලා සිටින්නේ නැත. අපි ඒවා ලබා දෙන්නෙමු.” කම්කරුවන් මෙම නීතිය උල්ලංඝනය කොට ඉල්ලීම් ඉදිරිපත් කල විට, සිරගත වීමට, වධබන්ධනයන්ට මුහුන දීමට හා මරන දන්ඩනයට ලක් වීමට ඔවුන්ට සිදු විය.

නසාර් සිය ජාතිකවාදී පීතෘවාදයේ හා මර්දනයේ සංයෝජනය "අරාබි සමාජවාදය” ලෙස හැඳින්වූවත්, ඊජිප්තු ධනේශ්වරය දැඩි ලෙස බලය දරාගෙන සිටියේය. ඊස්රායලය සමග පැවති දින හයේ යුද්ධයෙන් ඊජිප්තුව ව්‍යසනකාරී පරාජයකට මුහුන දීමෙන් යන්තම් වසර තුනක් ඇවෑමෙන්, 1970 දී නසාර් හදිසියේ මිය යාමෙන් පසුව, අන්වර් සදාත් ජනාධිපති බවට පත්විය. නව තන්ත‍්‍රය නසාර්ගේ ව්‍යාජ-සමාජවාදී පිලිවෙත් මෙන්ම එක්සත් ජනපදයේ උදහසට හසුව තිබූ නසාර්ගේ විදේශ පිලිවෙතෙහි අදාල අංගයන් ද ඉවත දැමීමට කි‍්‍රයාකලේය. ආර්ථික පෙරමුනේ දී, සදාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම්වලට සිය පිලිවෙත් අනුගත කිරීමට යොමු විය.

සදාත් වඩාත්ම කැපී පෙනෙන පියවර ගත්තේ විදේශ පිලිවෙතේ ක්ෂේත‍්‍රය තුලය. 1977 නොවැම්බරයේ දී ඔහු ජෙරුසෙලමේ සංචාරයක යෙදුනු අතර 1978 දී ඊස්රායලය සමග කෑම්ප් ඩේවිඩ් සාම ගිවිසුම අත්සන් කලේය. එම කි‍්‍රයාව පලස්තීන විමුක්ති සංවිධානයේ විනාශය සහතික කල අතර පලස්තීන ජනතාවගේ ජාතික අභිලාෂයන් මුලුමනින්ම පාවාදීමකට සමාන විය. 1981 ඔක්තෝබරයේ දී සදාත් ඝාතකයන්ගේ පලිගැනීමකට ලක් විය. ඔහුගේ පසුප‍්‍රාප්තික හොස්නි මුබාරක්, වඩා රුදුරු රූපාකාරයකින් මුත්, සදාත්ගේ පිලිවෙත් දිගටම ගෙන ගියේය.

ආර්ථික පෙරමුනේ දී, නව-ලිබරල්වාදය වඩා ශක්තිමත් කරන ලදි. නසාර් ජනසතු කර තිබූ ආර්ථිකයේ විශාල අංශ පුද්ගලික අයිතියට යලි පවරන ලදි. පිටිසර ප‍්‍රදේශවල නසාර් සිදු කර තිබූ ඉඩම් යලිබෙදාදීමේදී මේ වැඩ කටයුතුවලින් වැඩි කොටසක් ආපසු හරවන ලදි.

විදේශ පිලිවෙත සම්බන්ධයෙන් ගත් කල, සදාත් හා මුබාරක් යන දෙදෙනාම ඊජිප්තුව මුලුමනින්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සේවය පිනිස යොදවන ලදි.

සදාත්-මුබාරක් තන්ත‍්‍රයේ පිලිවෙත් කල් පසු වූ ධනපති වර්ධනයක් සහිත සෙසු ඕනෑම පැරනි විජිත රටක පසුගිය වසර 30ක කාලය තුල ධනපති ආන්ඩු විසින් කි‍්‍රයාවට දමන ලද පිලිවෙත්වලින් සැලකිය යුතු ආකාරයකින් මොනම අර්ථයකින් වත් වෙනස් නොවීය.

අද, සියලු ධනපති රටවල් මත ප‍්‍රගාඪ බලපෑමක් ඇති කර ඇති, ධනපති ක‍්‍රමයේ ගෝලීය අර්බුදයක් මධ්‍යයේ, කම්කරු පන්තියට එරෙහිව ලෝක පරිමාන ප‍්‍රහාරයක් කි‍්‍රයාත්මක වෙමින් තිබේ. ධනපති පිලිවෙතෙහි දිශාව ප‍්‍රතිසංස්කරන දෙසට නොව ප‍්‍රතිගාමිත්වය දෙසටය. ඊජිප්තුවේ කිසිදු ධනපති ආන්ඩුවක් මෙම ගෝලීය ප‍්‍රවනතාවට ප‍්‍රතිවිරෝධී නොවනු ඇත.

දැන් ඊජිප්තුවේ දිග හැරෙන අරගලය දිග්ගැසුනු ස්වභාවයක් ගනු ඇත. විප්ලවවාදී මාක්ස්වාදීන්ගේ වගකීම වනුයේ, කම්කරුවන් දැවැන්ත දේශපාලන අත්දැකීම් හරහා ගමන් කරමින් සිටින කල, බලය සඳහා ස්වාධීන අරගලයක අවශ්‍යතාව ගැන අවබෝධයක්, ඔවුන් අතර වර්ධනය කිරීමයි. ධනපති පක්ෂවල අනුග‍්‍රාහකත්වය යටතේ ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අභිලාෂයන් සාක්ෂාත් කරගත හැකිය යන්න පිලිබඳ සියලු මිථ්‍යාවන්ට එරෙහිව කම්කරුවන් දැනුවත් කිරීමට විප්ලවවාදී මාක්ස්වාදීහු කටයුතු කල යුත්තාහ. ධනපති පන්තියේ දේශපාලන නියෝජිතයන්ගේ බොරු පොරොන්දු ක්ෂමාවිරහිත ලෙස එලිදරව් කිරීමට ඔවුහු කි‍්‍රයා කල යුත්තාහ. ඔවුහු, දේශපාලන අරගලය උත්සන්න වන විට, කම්කරු පන්තිය අතට බලය මාරු කර ගැනීමේ පදනම බවට පත් විය හැකි කම්කරු බලයේ ස්වාධීන සංවිධාන ගොඩනැගීම දිරිගැන්විය යුතුය. කම්කරුවන්ගේ අත්‍යවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍ර ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීම සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දැමීමෙන් වෙන් කල නොහැකි බව ඔවුහු පැහැදිලි කල යුතුය.

අන් සියල්ලටමත් වඩා, විප්ලවවාදී මාක්ස්වාදීහු, ඊජිප්තු කම්කරුවන්ගේ දේශපාලන බුද්ධියේ නිම් වලලු ස්වකීය රටේ දේශසීමාවන්ගෙන් ඔබ්බට පුලුල් කල යුතුය. දැන් ඊජිප්තුවේ දිග හැරෙන අරගල, ලෝක සමාජවාදී විප්ලවයේ වැඩෙන ගෝලීය කි‍්‍රයාදාමයකට අවියෝජනීයව බැඳී ඇති බව ද ඊජිප්තුවේ විප්ලවයේ ජයග‍්‍රහනයට ජාතික නොව ජාත්‍යන්තර මූලෝපායක් අවශ්‍ය බව ද ඔවුහු පැහැදිලි කල යුතුය. කෙසේවෙතත්, මුබාරක්-සුලෙයිමාන් තන්ත‍්‍රයටත් ඊජිප්තු පාලක පන්තියටත් එරෙහි අරගලය, අවසන් විග‍්‍රහයේ දී, සමස්ත අරාබි ධනේශ්වරයටත් ඊස්රායලයේ සියොන්වාදී තන්ත‍්‍රයටත් ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදයටත් එරෙහි අරගලයකි. මෙම ගෝලීය අරගලය තුල, ඊජිප්තු ජනතාවගේ දැවැන්තම හා අත්‍යාවශ්‍යක සගයා ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

ඉහත සංක්ෂිප්තව දක්වා ඇත්තේ, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය සහ මූලෝපායයි.

ඩේවිඩ් නොර්ත්