ඊජිප්තු විප්ලවය නව අවධියකට පිවිසෙයි

The Egyptian Revolution enters a new stage

14 February 2011

දශක තුනකට වැඩි කාලයක් ඊජිප්තුව පාලනය කල හොස්නි මුබාරක් ආඥාදායකයාට ඉවත්ව යාමට සිදුවීම, පසුගිය සතිවල මිලියන ගනනින් පෙලපාලි හා වැඩ වර්ජන වලට සහභාගීවූ කම්කරුවන් හා තරුනයින් ලැබූ සැලකිය යුතු ජයග‍්‍රහනයකි. කෙසේ වෙතත් ඉන් පසුව ඇතිවූ සිදුවීම් පෙන්නුම් කරන්නේ, මෙම විප්ලවය තවමත් පවතින්නේ එහි ආරම්භක අදියරයන්හි බවයි.

ඊජිප්තු මිලිටරිය සති අන්තයේ නිකුත්කල නිවේදන මාලාවකින් විප්ලවවාදී අරගලයන් කෙරෙහි තම ප‍්‍රතිචාරය පැහැදිලි කර තිබේ. නාමයෙන් හැරෙන්නට අන් සියලු ආකාරයෙන්ම පැරනි තන්ත‍්‍රය පවත්වාගෙන යාම පිනිස උපායාත්මක බලය මාරු කිරීමක් සහතික කරන අතරතුර, මහජන ව්‍යාපාරය පීලිපන්නවා මර්දනය කිරීම එහි අරමුන වන්නේය.

රබර් මුද්‍රාවක් ලෙස පැවති පාර්ලිමේන්තුව ද ආඥාදායකයාගේ ව්‍යවස්ථාව ද වැනි මුබාරක් තන්ත‍්‍රයේ විවිධාකාර නීතිමය කඩතුරාවන් ඉවත් කරන බව ඊජිප්තු මිලිටරිය උජාරුවෙන් සඳහන් කරයි. හමුදාව "ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයකට” මූලිකත්වය ගනු ඇතැයි යන ඔබාමා පරිපාලනයේ ව්‍යාජ ප‍්‍රකාශ වමාරමින් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත, මෙම පියවරයන් හුවා දැක්වූයේ, "විරෝධතා කරුවන්ගේ ඉල්ලීම් ප‍්‍රතිරාවය කරන පුලුල් පියවර” ලෙස ය.

මෙය අභූත සාවද්‍යකරනයකි. මිලියන ගනන් ඊජිප්තු වාසීන් වීදිවලට තල්ලු කල මූලික ඉල්ලීම් කිසිවක් ඉටු නොකරන අතර, හමුදාව වෑයම් කරන්නේ තවදුරටත් බලයේ රැඳී සිටීමට ය. රටේ පාලනය දැන් පවතින්නේ මිලිටරි ජුන්ටාවක් යටතේ වන අතර, එය පැරනි තන්ත‍්‍රයේ සියලු හදිසි නීති පවත්වාගෙන යමින් අගමැති අහමඩ් සෆීක් වැනි මුබාරක්ගේ පැරනි හෙංචයියන් රැලක් මඟින් පාලනය ගෙනයාමේ උත්සාහයක නිමග්නව සිටියි.

හැකිතාක් කල් මුබාරක්ට සහයෝගය දීමෙන් පසුව ඔබාමා පාලනාධිකාරය, දැන් මිලිටරි පාලනයට පිටුබලය දෙමින් සිටියි. ජෙනරාල්වරු විසින් ගෙන තිබෙන පියවර හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඔවුන් පලකර ඇතැයි කියන කැපවීම තමන් අගය කරන බව ඔවුන් පසුගිය 13දා ප‍්‍රකාශ කලේය. ඊජිප්තු නිලධාරීන් සියල්ලන්ම පාහේ පුහුනු කිරීමට දායක වී තිබෙන එක්සත් ජනපද ආන්ඩු, දැන් ඔවුන් තම ඊජිප්තු හා මැද පෙරදිග අවශ්‍යතා රැකගැනීම පිනිිස යොදාගැනීමට බලාපොරොත්තු වෙයි. මෙයට අන්තර්ගත වන්නේ, එහි මූලෝපායික හා මිලිටරි අවශ්‍යතා පමනක් නොව, සියල්ලටත් වඩා කම්කරු පන්තියෙන් එල්ල වන විප්ලවවාදී අභියෝගය මොටකර දැමීමයි. ඊජිප්තුවේ ව්‍යාපාරික ප‍්‍රජාවට දැඩි ලෙස බැඳී සිටින හමුදා නිලධරය, ඊජිප්තුව සොලවාලූ වැඩ වර්ජන රැල්ල කෙරෙහි මෙන්ම සාධාරන වැටුප් හා යහපත් ජීවන තත්වයක් ඉල්ලා සිටින කම්කරුවන් කෙරෙහි දක්වන්නේ සතුරු කමකි. එසේ කිරීමට තරම් තමන් ශක්තිමත් තැනක නොසිටින බව හමුදාව වටහාගෙන සිටියත් වැඩවර්ජකයින්ට එරෙහිව කටයුතු කිරීමේ සිය අභිප‍්‍රාය ඔවුන් ඇඟවුම්කර තිබේ. "නීතියක් නැති කමත්, විනාශයත්” හෙලාදකිමින් නිකුත්කර ඇති නිවේදනයකින් ඉහල මිලිටරි කවුන්සිලය, තමන් කම්කරු සමිතිවල හෝ වෘත්තීය සම්මේලනවල රැස්වීම් තහනම් කරන බවත්, වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජන නීති විරෝධී කරන බවත් පවසා ඇත.

සය මසක් හෝ ඊටත් වැඩි කාලයක් තුල මුබාරක්ගේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ජාප‍්‍රප) විසුරුවා හැරීමකින් පවා තොරව, තමන් විසින් ම කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාවක් පදනම් කරගනිමින් හමුදාව මැතිවරන පැවැත්වීමට සැලසුම් කරයි. එනම්, විරෝධතා අවසන්කර දැමීමත්, වෛරයට පාත‍්‍රව සිටි මුබාරක් තන්ත‍්‍රය මහජනතාවගේ ඉල්ලීම් කෙරෙහි ඇහුන්කන් දුන්නාට නොඅඩු ආකාරයකින් ප‍්‍රතිචාර දක්වනු ඇති තන්ත‍්‍රයක් වසං කරන, ප‍්‍රජාතන්ත‍්‍ර ප්‍රෝඩාවක් ඇටවීම සඳහාත් මෙම හය මසක කාලය යොදාගැනීමට එය බලාපොරොත්තු වන බවයි.

මෙම මූලික දේශපාලන සාධකය, දැන් ඊජිප්තුවේ නිල පාලකයා වන ෆීල්ඩ් මාර්ෂල් මොහමඩ් හුසේන් ටන්ටාවි පුද්ගලිකව ම කැටිකර දක්වා ඇති ආකාරය, විකිලීක්ස් විසින් ප‍්‍රසිද්ධියට පත්කරන ලද ඊජිප්තුවේ එක්සත් ජනපද තානාපති ෆ‍්‍රැන්සිස් රිසියාඩන්ගේ කේබල් පනිවිඩවල විස්තර වලින් පෙන්නුම් කරයි. ඊස්රායලය සමඟ ඇතිකරගත් 1979 ගිවිසුමට ඔහුගේ ඇති කැපවීම ද "ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරන කෙරහි ඔහුගේ දැඩි විරුද්ධත්වය ද කැටිකරමින්, 2008 මාර්තුවේ ටන්ටාවි ගැන විස්තරයක් කරමින් රිසියාඩන් ඔහුගේ දේශපාලනය ගැන මෙසේ පවසයි. "ඔහු හා මුබාරක්, තන්ත‍්‍රයේ ස්ථාවරත්වය හා තමන්ගේ කාලය අවසාන වන තෙක් පවත්නා තත්වය එසේම ගෙනයාම කෙරෙහි අවධානය යොමුකරයි.”

මෙයින් නියෝජනය කරන්නේ විරෝධතා කරුවන්ගේ ඉල්ලීම් යයි කියා සිටීම අමූලික බොරුවකි. මරා දැමුනු හා වධ බන්ධනයට මුහුන දුන් දහස් ගනනක් කෙසේ වෙතත්, දැන් විරෝධතාවයේ යෙදෙන හා වැඩ වර්ජනවලට සහභාගිවන මිලියන ගනනකට, පැරනි තන්ත‍්‍රය රැකගැනීමට අවශ්‍ය වූයේ නැත.

එසේ වුවත් ඊජිප්තුවේ නිල "විපාර්ශවය” හමුදාව කෙරෙහි සිය සහයෝගය ඇඟවුම්කර තිබේ. "නීතිය හා සාමය” අවශ්‍ය බව 11දා අවධාරනය කිරීමෙන් පසුව මොහමඩ් එල්බරාඩෙයි 13දා පැවසුවේ, "අප හමුදාව විශ්වාස කරන අතර ජනතාවට කියා සිටින්නේ, පොරොන්දුවූ දේ ක‍්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ට අවස්ථාව ලබාදෙන ලෙසයි.”

මුස්ලිම් බ‍්‍රදර්හුඩ් සංවිධානයේ ප‍්‍රමුඛ නිලධාරියෙකු වන මොහමඩ් එල් කටාට්නි මෙසේ පැවසීය. "විප්ලවයේ ප‍්‍රධාන අරමුන ඉෂ්ඨවී තිබේ.”

මෙම ප‍්‍රකාශ මඟින් පැහැදිලි ලෙසම පෙන්නුම් කරන්නේ, ඊජිප්තු ධනපති පන්තියේ හෝ වොෂින්ටනයේ එහි ආධාරකරුවන්ගේ හෝ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අගනුවරවල, අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳව මොනයම්ම හෝ සහයෝගයක් ඇත්තේ නැති බවයි. සාධාරන වැටුප් හා ජීවන තත්වයන්, සමාජ සමානතාවය හා අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ අවසානය පිලිබඳ කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවන්ගේ මූලික ඉල්ලීම්, දේශපාලන සංස්ථාපිතයේ සියලු කොටස් බියෙන් මුසපත්කර තිබේ. තම මූලික පන්ති ආසක්තයන්ට තර්ජනය කරන කම්කරු පන්තියේ නැඟිටීම හමුවේ ධනේශ්වර ගැති "විපාර්ශවය” ප‍්‍රතිචාර දක්වන්නේ ආඥාදායකත්වයට පිටුබලය දෙමිනි.

මෙ මඟින් සනිටුහන් කරන්නේ, පීඩිත රටවල ධනේශ්වරයන්ට ප‍්‍රජාතන්ත‍්‍රය සඳහා අරගලයක් මෙහෙයවන්නට හා අධිරාජ්‍යවාදී ආධිපත්‍යය අවසන් කරන්නට නොහැකිය යන ලියොන් ට්‍රොට්ස්කි විස්තාරනය කල නොනවතින විප්ලව න්‍යායික මූලධර්මයේ සනාථනයයි. නොනවතින විප්ලවයේ න්‍යාය තුල ට්‍රොට්ස්කි සටහන් කල පරිදි, එවන් ඕනෑම අරගලයක් "ධනේශ්වර දේපල හිමිකම තුලට ගැඹුරු ලෙස කාවැදීමක් සමඟ බැඳුනු කර්තව්‍යයන්, නොවැලැක්විය හැකි ලෙසත් ඉක්මනිනුත් සාක්ෂාත් කිරීම සමඟ මුහුනට මුහුන පිහිටයි. සමාජවාදී විප්ලවය තුලට සෘජුව ම වැඞී යන ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය ඒ නිසා ම නොනවතින විප්ලවයක් බවට පත්වෙයි.”

විප්ලවයේ අඛන්ඩතාවය හා එහි අවශ්‍යතා සාක්ෂාත් කිරීමේ අරගලය, කම්කරු පන්තිය හා පීඩිත ජනතාවන් පෙර කවරදාටත් වඩා මිලිටරිය සමඟත්, නිල විපාර්ශවය සමඟ මෙන්ම එක්සත් ජනපද අදිරාජ්‍යවාදය සමඟත් ගැටුමට ඇද දමයි.

මෙම අරගලය පෙරට ගෙනයාමේදී, බලය කම්කරු පන්තිය අතට මාරුකරන පසුබිම නිර්මානය කිරීම සඳහා මිලිටරි පොලිස් රාජ්‍යයට එරෙහිව, කම්කරුවන්ගේ ස්වාධීන බල සංස්ථාවන් ගොඩනැඟීම අවශ්‍ය කෙරේ. එහිදී, ඊජිප්තුවේ කම්කරුවන්, සමස්ත කලාපයේම කම්කරුවන් සමඟත්, අන් සියල්ලටත් වඩා එක්සත් ජනපදයේ ද දියුනු ධනේශ්වර රටවල ද කම්කරුවන් සමඟත්, එක්සත් කිරීම සඳහා කැපවුනු අරගලයක් අවශ්‍ය වෙයි. ඊජිප්තුවේ විප්ලවවාදී නැඟිටීම, ලෝකය පුරාම කම්කරුවන් හා පීඩිත ජනතාව, ව්‍යාපාරික හා මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ පොදු ප‍්‍රහාරයට එරෙහිව යෙදී සිටින ගෝලීය අරගලයේ කොටසකි.

සියල්ලටත් වඩා එය ඉල්ලා සිටින්නේ, මෙම අරගල ඒවායේ අවසානය තෙක්ම, එනම් සමාජවාදී විප්ලවය තෙක්ම මෙහෙයවීමට කැපවූ නව පක්ෂයක් ගොඩනැඟීමයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ඊජිප්තුවේ ද ජාත්‍යන්තරව ද පැතිර සිටින එහි පාඨකයින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එවන් පක්ෂයක් ගොඩනැඟීමට එක්වන ලෙසයි.

ඇලෙක්ස් ලැන්ටියර්