හොස්නි මුබාරක්ගේ ඇදවැටීම

The downfall of Hosni Mubarak

12 February 2011

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඊජිප්තු ආඥාදායක හොස්නි මුබාරක්ගේ ඇදවැටීම සාදරයෙන් පිලිගනී. මිලියන ගනන් ඊජිප්තු කම්කරුවන් හා තරුනයන් සිය ඓතිහාසික ජයග‍්‍රහනය සමරද්දී කයිරෝ, ඇලෙක්සැන්ඩි‍්‍රයා හා අනෙකුත් නගරයන්හි වීදිවල සාධාරනීකෘත ප‍්‍රීතිඝෝෂා පැවැත්වේ.

මෙම අත්‍යඅසාමාන්‍ය සිද්ධි ඊජිප්තුවේ පමනක් නොව සමස්ත ලෝකයේ ම හැරවුම් ලක්ෂ්‍යයකි. සෝවියට් සංගමයේ බිඳවැටීම මගින් "ඉතිහාසයේ අවසානය’’ නැතහොත් මානව සබඳතාවල සාධකයක් ලෙස පන්ති අරගලයේ අවසානය අර්ථගැන්වීය යන කියාපෑම් නිරුත්තර ලෙස නිෂ්ප‍්‍රභ කරමින් එම සිද්ධි කම්කරු පන්තියේ යෝධ සමාජමය බලය ප‍්‍රදර්ශනය කොට ඇත. වධබන්ධන, අත්අඩංගුවට ගැනීම් හා මර්දනය මධ්‍යයේ ඊජිප්තු ජනයාගේ ජයග‍්‍රාහී වික‍්‍රමාන්විත භාවය පෘථිවිගෝලය පුරා කම්කරුවන්ට හා තරුනයන්ට උත්තේජකයකි.

මුබාරක්ගේ ඉල්ලා අස්වීම වනාහි, පැය 24කටත් අඩු කාලයකට පෙර තම ධුරයෙන් ඉවත් වීම ප‍්‍රකෝපකාරී ලෙස ප‍්‍රතික්ෂේප කරමින් ඔහු කල කතාවෙන් නින්දා සහගත ලෙස වෙනස් වීමකි. එය ඊජිප්තු රහස් තොරතුරු ඒජන්සියේ දීර්ඝකාලීන ප‍්‍රධානියා වන උප ජනාධිපති ඕමාර් සුලෙයිමාන්ට අධිකාරිත්වය මාරු කිරීම සම්බන්ධයෙන් තම සහයෝගය පලකරමින් සිකුරාදා උදෑසන ප‍්‍රකාශයක් නිකුත් කල ඉහල හමුදා නිලධරයට ද පහරකි.

එය ඊජිප්තුවෙන් ඔබ්බට විප්ලවය පැතිරෙතැයි බියට පත්ව සිටින අරාබි ධනේශ්වරය ලද ව්‍යසනකාරී පසුබැස්මකි. එමෙන් ම එය අරාබි රටවල හා ඊස්රායලයේ ම කම්කරු පන්තික අරගල මැඩීම මත සිය මර්දනයේ හා මිලිටරි ත‍්‍රස්තයේ පිලිවෙත් පදනම් කරනු ලබන ඊස්රායල රාජ්‍යය හා සියල්ලට ඉහලින් වසර 31ක් පුරා මුබාරක් ආඥාදායකත්වයේ ප‍්‍රධාන මූල්‍ය සම්පාදකයා හා පිටුබලය සපයන්නා වන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලද පසුබැස්මකි. දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව පෘථුල පරිමාන වධබන්ධන පාවිච්චි කිරීම ඇතුලු ත‍්‍රන්තයේ සියලු අපරාධ සඳහා වොෂින්ටනය හවුල් වී තිබේ.

උතුරු අපි‍්‍රකාව අලලාගෙන ඇති විප්ලවවාදී නැගිටීම් වනාහි ධනවාදයේ ගෝලීය ආර්ථික අර්බුදය මගින් නිර්මිත කොන්දේසිවලට ලෝක කම්කරු පන්තිය දක්වන ප‍්‍රථම ප‍්‍රධාන ප‍්‍රතිචාරය යි. මුබාරක් ඇද හෙලීම මගින් ඊජිප්තු කම්කරුවෝ ඊජිප්තුවේ පමනක් නොව ලෝකය පුරා ආන්ඩු විසින් රකිනු ලබන ආර්ථික සූරාකෑම, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මැඩීම හා සමාජ අසමානතාවට එරෙහිව ප‍්‍රථම වෙඩිමුරය පත්තු කොට ඇත.

මුබාරක්ගේ ඉල්ලා අස්වීම වැදගත් වන්නේ යම්සේ ද එය මෙම අරගලයේ ආරම්භය පමනක් යන්න ද එලෙස ම වැදගත්ය. මුබාරක් ඉවත්ව ගොස් තිබෙනු ඇති වුවත් දශක ගනනාවක් පුරා ඊජිප්තු ධනේශ්වර ආඥාදායකත්වයේ කඩඇනය වී ඇති නිලධාරී බලකාය අත බලය පවතිමින් තන්ත‍්‍රය දිගට ම පවතී. තමන් රහස් පොලීසිය, දූෂිත ඊජිප්තු ජෙනරාල්වරු හා මුබාරක් ම ඇතුලු සූරාකන්නන් සමග ගනුදෙනු බේරාගැනීම තවමත් අරඹා ඇතිවා පමනක් බව මහජනයා දනිති.

බලයේ එල්ලී සිටීම සඳහා ඊජිප්තු තන්ත‍්‍රය ගෙනයන අරගලයේ දී වඩාත් ම අනුකම්පා විරහිත සගයන් සොයාගනු ඇත්තේ අධිරාජ්‍යවාදී බලයන්ගේ මූල්‍යමය ප‍්‍රභූතන්ත‍්‍රය තුලිනි. මුබාරක් "ක‍්‍රමානුකූල පරිවර්තනයක්’’ අධීක්ෂනය කල යුතු යැයි අවධාරනය කරමින් ඔබාමා පරිපාලනය සති ගනනක් තිස්සේ තිරයෙන් පිටුපස සිට ඔහුව දිරිගැන්වීමට කි‍්‍රයාකොට ඇත. මුබාරක්ගේ ඉල්ලා අස්වීම පිලිගනිමින් සිකුරාදා අපරභාගයේ ඔබාමා උඩින් පල්ලෙන් කතා කලේ මුබාරක්ට ඉල්ලා අස්වන ලෙස අවධාරනාත්මක ලෙස ඉල්ලා නො සිටිමින් එදිනම උදෑසන නිකුත් කල ප‍්‍රකාශයෙන් පසුවයි.

මුබාරක්ව කවර තන්ත‍්‍රයකින් විස්ථාපනය කරනු ලැබුන ද එම තන්ත‍්‍රයත් ඒ හා සමානව එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා සඳහා කැපවෙතැයි තහවුරු කරගැනීමට වොෂින්ටනය නිසැකව ම ඊජිප්තු මිලිටරිය සමග තීව‍්‍ර සාකච්ඡාවල නිරතව සිටිනු ඇත.

"ප‍්‍රජාතාන්ති‍්‍රක පරිවර්තනයක්’’ අධීක්ෂනය කිරීම කෙරෙහි මිලිටරියට හෝ මිලිටරි ආන්ඩුවට තම පූර්න සහයෝගය පිලිබඳව ඉඟිකර ඇති නිල "විරුද්ධ පක්ෂය’’ මත කිසිදු විශ්වාසයක් තැබිය නො හැක. එක් "විපක්ෂ’’ නායකයෙකු වන මොහොමඩ් එල් බරාඩේ මිලිටරියට තමන් කැමති දෙයක් කිරීමට පූර්න වසරක් ලබදෙමින් මෙම පරිවර්තනය වසරක් තුල සිදුවිය හැකියයි යෝජනා කර ඇත.

වොෂින්ටනයට ඊජිප්තුවේ තමන් කැමති රූකඩයන්ට මුදල් වැසි වස්සවා මුබරාක් එලවා දැමීමට පෙර පැවති තත්වයට කම්කරු පන්තිය ආපසු හරවා යවන "පරිවර්තනයක්’’ සූදානම් කිරීමට හැකි වෙතැයි එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මූලෝපායඥයෝ අපේක්ෂා කරති. එක්සත් ජනපදය "ස්ථාවරත්වයේ බලයන් සමග වැඩකිරීමට සහ ප‍්‍රජාතාන්ති‍්‍රක හා නීතියට බැඳුනු දිශාවකට’’ කි‍්‍රයා කොට "ඔවුන්ට ආර්ථිකව හා දේශපාලනිකව උපකාර කල හැකි’’ යයි හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ ජේම්ස් වූස්ලි සීඑන්එන්හි කතාකරමින් කීවේ ය.

එවැනි අදහස් දැක්වීම් කම්කරු පන්තියට දරුනු අනතුරු ඇඟවීමකි. විය යුතු පරිදි මුබාරක්ගේ වෙන්ව යාම අද රාති‍්‍රයේ සැමරිය යුතු වුවත් විප්ලවයේ ආරම්භක ජයග‍්‍රහන නැති කර නො ගත යුතු ය. පන්ති මූලෝපාය පිලිබඳ ප‍්‍රශ්නය හා කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායක්තවයක් නිර්මානය කිරීම විප්ලවයේ ඊ ලඟ අවධියේ ඉරනම තීන්දු කරනු ඇත.

1917 ඔක්තෝබර් විප්ලවයට ලෙනින් සමග සම නායකත්වය දුන් හතරවන ජාත්‍යන්තරයේ සමාරම්භකයා හා ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ප‍්‍රමුඛ වෘත්තිකයා හා න්‍යායඥයා වූ ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන වෙත අවධානය යොමු කරන ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඊජිප්තු කම්කරුවන්ට කැඳවුම් කර සිටී. ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායේ විස්තර කරනු ලබන පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලය කම්කරුවන්ගේ බලය හා ඊජිප්තුවත් සමස්ත ලෝකයත් සමාජවාදීව පරිවර්තනය කිරීම සඳහා කරන අරගලය සමග වෙන් කල නො හැකි ලෙස බැඳී පවතී.

වොෂින්ටනය හා එල් බරාඩේ මිලිටරි ආන්ඩුවට දෙන සහයෝගය අහම්බයක් නොව ධනේශ්වර පන්තියේ අවශ්‍යතාවල පිලිබිඹුවකි. වැටුප් ඉහල දැමීම, භාන්ඩ මිල පහත හෙලීම හෝ දේශපාලනික නිදහස ආරක්ෂා කරගැනීම යනාදී මහජනයාගේ කොන්දේසි වර්ධනය කරගැනීමට දරන සෑම ප‍්‍රයත්නයක් ම, සිය ආර්ථික හෝ මූලෝපායික අවශ්‍යතා සමග ගැටෙන කිසිදු වෙනසකට විරුද්ධ ප‍්‍රභූ තන්ත‍්‍රයේ නියෝජිතයන් සමග අනිවාර්ය ගැටුමකට කම්කරුවන්ව තල්ලු කරයි.

කම්කරු පන්තිය මුහුන දෙන කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ තව දුරටත් බලයේ රැඳී සිටින මුබාරක් තන්ත‍්‍රයේ කොටස් නෙරපා එය කම්කරුවන්ගේ ආන්ඩුවකින් විස්ථාපනය කිරීමට සටන් කිරීම සඳහා කම්කරු පන්තිය මත පදනම් වන බලයේ මහජන උපකරන නිර්මානය කිරීම යි. මෙම විප්ලවයේ ජයග‍්‍රහනය ඊජිප්තු කම්කරුවන්ව මැද පෙරදිග හා දියුනු ධනේශ්වර රටවල සිය පන්ති පන්ති සහෝදර සහෝදරියන් සමග ඊජිප්තු කම්කරුවන් ඒකාබද්ධ කරමින් එය ඊජිප්තුවෙන් ඔබ්බට ප‍්‍රසාරනය කිරීම මත රඳා පවතී.

මුබාරක්ගේ බිඳවැටීම මගින් පෙර නිමිති පාන තීව‍්‍රතර පන්ති ගැටුම් සඳහා ඊජිප්තුවේ හා ජාත්‍යන්තර කම්කරුවන් සන්නද්ධ කරනු ඇත්තේ ට්‍රොට්ස්කිවාදයේ ඉදිරිදර්ශන සඳහා සටන් වදින පක්ෂ ගොඩනැගීමට කරන අරගලය යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලය