ඊස්රායල කම්කරුවන් සහ ඊජිප්තු විප්ලවය

Israeli workers and the Egyptian revolution

17 February 2011

ඊජිප්තු විප්ලවය මැද පෙරදිග පුරා කම්පන තරංග විහිදුවා තිබේ. සෑම අරාබි රාජ්‍යයකම අගනගරවල, අත්තනෝමතික පාලකයන් සහ දූෂිත ආන්ඩු, කයිරෝවෙන් මතු වන මහජන කැරැල්ල පැතිරයාම වලක්වාගන්නේ කෙසේ ද යන්න ගැන සාකච්ඡා කරමින් සිටිති. ඊජිප්තු ජනතාවගේ මෙම මහජන නැගිටීමේ ඇඟවුම් ගැන පවත්නා භීතිය වඩාත්ම තියුනු ලෙස පවතින්නේ ඊස්රායලයේ පාලක පන්තිය තුල ය.

බින්යමින් නෙතන්යාහුගේ ඊස්රායල ආන්ඩුව, ඊස්රායල ආරක්ෂක හමුදා ඉහල අන දෙන මන්ඩලය සහ මොසාඞ් බුද්ධි ඒජන්සිය යන සියල්ලම ජනාධිපති හොස්නි මුබාරක්ගේ තන්ත‍්‍රයට එරෙහි ව්‍යාපාරය සම්බන්ධයෙන් පවත්නා සිය වෛරය පැහැදිලි කර ඇත. අන්තර්ජාල සේවා අවහිර කිරීමට ප‍්‍රායෝගිකව සහයෝගය දීම සහ සිනායි ප‍්‍රදේශයේ ඊජිප්තු හමුදා යෙදවීමට එකඟ වීම ඇතුලු, ඊජිප්තු තන්ත‍්‍රයට දුන් සිය සහයෝගය යුක්තියුක්ත කරනු වස් ඉස්ලාම් අන්තවාදයේ අන්තරාය ඉදිරියට දමමින්, ඔවුහු කලාපීය ස්ථාවරත්වයේ සහතිකකරුවකු ලෙස මුබාරක්ට ප‍්‍රශංසා කලහ.

ඔවුන්ට මුබාරක්ගේ ඇදවැටීම රහසේ හඬාවැටීමට අවස්ථාවකි. කයිරෝ නුවර හිටපු ඊස්රායල තානාපති ශ්වි මැෂෙල් වයිනෙට් ප‍්‍රවෘත්ති සේවයට දුන් සම්මුඛ සාකච්ඡාවක දී මෙසේ අනතුරු ඇඟවීය: "ඊස්රායලය දැන් මුහුන දී සිටින්නේ සතුරු තත්වයකටයි. අපට දැන් කලාපයේ නැගිටීම් මාලාවක් ම දැක ගත හැකි වේවි. මුබාරක්ගේ ඇදවැටීම, යේමනයේ සිට ඇල්ජීරියාව දක්වා සෑම තැනකම විප්ලවකාරින්ට සහයෝගයක්.”

මැතිවරන පැවැත්වීමට "ඉක්මන් පියවර” ගත යුතු නැති බව අවධාරනය කරමින්, ඊස්රායල රාජ්‍යය ෆීල්ඩ් මාර්ෂල් මොහොමඩ් සයිඩ් තන්ටාවිගේ නායකත්වයෙන් යුක්ත මිලිටරි තන්ත‍්‍රයට සහයෝගය දක්වයි. ඒ අතරතුර, එය, සමහර විට ඊජිප්තුව සමග යුද්ධයක් ඇතුලුව, යුද්ධය සඳහා සූදානම් වේ.

ඊස්රායල ආරක්ෂක හමුදාවේ විශ‍්‍රාම යන මාන්ඩලික ප‍්‍රධානි ගබි අෂ්කෙනසි මෙම සාකච්ඡාවල ස්වභාවය වඩාත්ම හොඳින් එලිදරව් කරන අන්තර්දෘෂ්ටියක් සම්පාදනය කලේය. සඳුදා ජෙරුසෙලමේ පැවති ඇමරිකාවේ ප‍්‍රධාන යුදෙව් සංවිධානවල සභාපතිවරුන්ගේ සම්මේලනයකට සහභාගි වූවන් අමතමින් ඔහු මෙසේ පැවසීය: "පසු ගිය දශක තුන තුල පැවති සියලු විවේචන සහිතව, මුබාරක් කලාපය තුල ස්ථාවරත්වයේ නැංගුරමක් විය. අප එය පිලිගත යුතුයි.” නව තන්ත‍්‍රයක් ඊස්රායලය සමග 1979 සාම ගිවිසුම අවලංගු කරන්නේ නම්, "අප එයට සූදානම් විය යුතු අතර එම තත්වය සඳහා අපට සැලසුම් තිබේ” යයි ද ඔහු පැවසීය.

ඊස්රායල ආරක්ෂක හමුදාවේ අන දෙන නිලධාරි තනතුර ලුතිනන් ජෙනරාල් බෙනී ගාන්ට්ස්ට භාරදීමේ උත්සවයක දී කතා කරමින්, අෂ්කෙනසි සිය පසුප‍්‍රාප්තිකයාට මෙසේ කීය: "ගාසා තීරයේ ඉලක්කවල ලැයිස්තුවක් සහිතව මම ඔබට පොත භාර දෙමි.”

ඊස්රායල ආරක්ෂක හමුදාවේ අභිප‍්‍රාය හුදෙක් ගාසා තීරය ඉලක්ක කිරීම පමනක් නොවේ. එක විට පෙරමුනු ගනනාවක විවිධාකාරයේ යුදගැටුම්වල සටන් වැදීමට ඊස්රායල ආරක්ෂක හමුදාව සූදානම් විය යුතු බව අෂ්කෙනසි ප‍්‍රසිද්ධියේ අවධාරනය කර තිබේ. "එය දැවැන්තම අභියෝග මතු කරයි. එයින් වෙනත් ආකාරයේ යුදගැටුම්වලට අනුගත වීම අපට හැකි වේවි.” යයි ඔහු පැවසීය.

තමන් බැඳි විලංගු ඉවතට විසිකර ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරගැනීමේ ඊජිප්තු මහජනතාවන්ගේ පරිශ‍්‍රමයන්ට ඊස්රායලයේ ප‍්‍රතිචාරය වී ඇත්තේ, අරාබි ජනතාවට හා යුදෙව්වන්ට එක සේ ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ගෙන එන විය හැකි යුද්ධයක් සඳහා සූදානම් වන අතරම, ඊජිප්තු ජනතාවගේ මිලිටරි පීඩකයන් සමග වැඩ කිරීමයි.

මෙය වනාහි, ආගමික සුවිශේෂතාව ද පලස්තීන ජනයා බලාත්කාරයෙන් පලවාහැරීම හා ඔවුන් මැඩීම ද මත පදනම් වූ රාජ්‍යයක් නිර්මානය කිරීමේ සියොන්වාදී ව්‍යාපෘතියට එරෙහි ව්‍යසනකාරී අභිචෝදනයකි. එහි ආරම්භයේ පටන් ම, ඊස්රායලය සිය අසල්වැසි රටවල් සමග ගැටුම්වලට තල්ලු වූ අතර සිය පැවැත්ම උදෙසා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මත යැපෙන්නට ද සිදු විය.

1979 කෑම්ප් ඩේවිඩ් ගිවිසුම ඊජිප්තුව සමග ද ඉන් අනතුරුව සෙසු අරාබි රාජ්‍යයන් සමග ද සබඳතා සාමාන්‍ය තත්වයට ගෙන ආවේය. එහෙත් එය සාමය ගෙන ආවේ නැත. ඒ වෙනුවට, ඊස්රායල තන්ත‍්‍රය, ඊජිප්තුවේ කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ විරුද්ධත්වය මඩිනු පිනිස දූෂිත හා වඩවඩා දෘඩ ස්වභාවයක් ගත් මුබාරක් තන්ත‍්‍රය සමග වැඩ කලේය. මෙය ටෙල් අවිව් පාලනයට සිය මිලිටරි අභිලාෂයන් -- පලස්තීන ජනතාව මෘග ලෙස මැඩීම මගින් ජෙරුසෙලම හා බටහිර ඉවුර මත සිය ග‍්‍රහනය පුලුල් කර ගැනීම සහ ගාසා තීරයට හා ලෙබනනයට එරෙහිව නැවත නැවතත් යුද්ධ කිරීම -- හඹා යාමට ඉඩකඩ සැපයූවා පමනක් නොව, ඊස්රායල කම්කරු පන්තිය තුල සමාජ හා දේශපාලන විරුද්ධත්වය ව්‍යාකුල කිරීමට ද උදව්කාරී විය.

ඊස්රායල ප‍්‍රභූවට, අරාබි ජනතාවගේ භීතිය හා වෛරය වගාදිගා කිරීම, බෙදා පාලනය කිරීමේ පිලිවෙතකි, එනම්, කම්කරු පන්තිය වෙතින් මතු වන දේශපාලන අභියෝගයක් කල්තියා වලකාලීමෙහිලා අගනා දේශපාලන අවියකි. තමන් වට ලනු ලැබ තිබීම පිලිබඳ මනෝගතියක් අවුලුවාලමින්, ජාතික එකමුතුකම පිලිබඳ මිථ්‍යාවක් නිර්මානය කිරීම, කම්කරුවන්ගේ හා ඔවුන් සූරාකන්නන්ගේ අවශ්‍යතා අතර පවත්නා සැබෑ හා පුලුල්වන ගැටුම යටගැසීම සඳහා අත්‍යවශ්‍ය ය.

යථාර්ථය වන්නේ, ඊජිප්තුව තුල කැරලිකාරිත්වය නිර්මානය කල ගැඹුරු පන්ති ප‍්‍රතිඝතිතතා ඊස්රායලය තුලත් පවතින බවයි. පලස්තීනුවන් හා අරාබි ඊස්රායල ජනයා සම්බන්ධයෙන් පමනක් නොව, යුදෙව් කම්කරුවන් සම්බන්ධයෙන් ද පවතින්නේ එම තත්වයයි. ඊස්රායලය වනාහි, වැඩෙන සමාජ අසමානතාවයෙන් හා දරිද්‍රතාවයෙන් සංලක්ෂිත, සමාජ වෙඩි බෙහෙත් පීප්පයකි. එය පාලනය කරනු ලබන්නේ, ටෙල් අවිව් කොටස් වෙලඳ පොලේ ලැයිස්තුගත සමාගම්වලින් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් පාලනය කරන පවුල් දුසිමක් විසිනි.

වැටුප් කඩාවැටෙමින් පවතින අතර, තියුනු සමාජ වෛරයක් පවතී. එරට වෘත්තීය සමිති සම්මේලය වන හිස්ටඩ‍්‍රට් එම වෛරය පාලනය කිරීමේ මංමුලා සහගත ප‍්‍රයත්නයක යෙදී සිටී. නෙතන්යාහු සමග එකඟතාවක් ඇති කර ගැනීමට උත්සාහ දරමින්, හිස්ටඩ‍්‍රට් සභාපති ඔෆර් එයිනි ඔහුගෙන් ඉල්ලා සිටියේ ඊස්රායලය ඊජිප්තුව බවට පත්වීමට ඉඩ නොදෙන ලෙසයි. "අප සිටින්නේ ඊජිප්තුව තුල නොවේ” යයි ඔහු හමුදා ගුවන් විදුලියට පැවසීය. "සිය වියදම් පියවා ගත නොහැකි පුරවැසියන්ට උදව් විය හැකි ක‍්‍රමයක් අපි එකතු වෙලා සොයාගමු. . . . මේ රට මීට වඩා තරමක් සමාජීය බවට පත් කරමු.”

පාලක පන්තිය පතුරුවන ජාතිකවාදී හා ස්වෝත්තමවාදී විෂ දේශපාලනිකව ප‍්‍රතික්ෂේප කිරීමෙන් තොරව, තමන් මුහුන දී සිටින දරුනු සමාජ කොන්දේසිවලට එරෙහිව සටන් වැදීම හෝ් යුද්ධය දෙසට රූටා යාමට විරුද්ධ වීම හෝ කල හැකි වෙනත් විධියක් ඊස්රායල කම්කරුවන්ට ඇත්තේ නැත. මෙයට හිස්ටඩ‍්‍රට් වැනි පාලක පන්තියේ ඒජන්සි ද ඇතුලත් ය.

මැද පෙරදිග වර්ධනයේ අනාගත මාවත තීන්දු කිරීමේ වගකීම දැන් මුලුමනින්ම ඇත්තේ කම්කරු පන්තිය මතය. ඊජිප්තු වැඩ කරන ජනතාව ගෙන යන අරගලය සම්බන්ධයෙන් ඊස්රායලය තුල අතිමහත් සහානුමතියක් පවතී. එහෙත් කම්කරුවෝ තව දුර යා යුතුය, එනම්, අරාබි-යුදෙව් එකමුතුව තමන්ගේ මූලෝපායික දිශාවනතිය බවට පත්කරගෙන, ඊජිප්තුවේ හා කලාපයේ සෙසු රටවල නැගෙන විප්ලවවාදී ව්‍යාපාරය තමන්ගේ ම ව්‍යාපාරයක් ලෙස වැලඳගත යුතුය.

එවන් එකමුතුවක් සාක්ෂාත් කරගැනීම, ඊජිප්තුවේ තත්වාකාර මිලිටරි ජුන්ටාවට සහයෝගය දීම ඇතුලු, කලාපයේ අත්තනෝමතික පාලකයන් සමග සබඳතා වර්ධනය කරගැනීමේ නිල ප‍්‍රයත්නයන් අනුමත කිරීමේ පරිපූර්න ප‍්‍රතිවිරුද්ධයයි. එයින් අදහස් කෙරෙන්නේ, ඔවුන්ගේ පොදු පීඩකයන් වන ඊජිප්තුවේ මිලිටරි තන්ත‍්‍රයට හා ටෙල් අවිව්හි සිටින එයට පිටුබලය සපයන්නන්ට එරෙහි ඒකාබද්ධ අරගලයක් ගෙනයාම මගින් අරාබි කම්කරු පන්තිය හා දුගී ගොවීන් වෙත මිත‍්‍රත්වයේ හස්තය දිගු කිරීමයි.

ඊජිප්තුව තුල දැන් මතු වන විප්ලවවාදී ව්‍යාපාරයට ඊස්රායලය තුලින් දැක්විය යුතු අවශ්‍ය දේශපාලන ප‍්‍රතිචාරය වන්නේ, එරට කම්කරුවන් හා බුද්ධිමතුන් සමාජවාදී පදනමක් මත කම්කරු පන්තියේ ඒකාබද්ධ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට අරගලය කිරීමයි. එවන් ව්‍යාපාරයක දේශාපාලන නායකත්වය ගොඩනැගීම යන්නෙන් අදහස් කෙරෙන්නේ, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඊස්රායල ශාඛාවක් ගොඩනැගීමයි -- මැද පෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සහ ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලය තුල ජාතික දේශසීමා හරහා කම්කරු පන්තිය එකමුතු කිරීම සඳහා සටන් වැදීමයි.

කි‍්‍රස් මාස්ඩන්