විස්කොන්සින් කම්කරුවන්ගේ අරගලය නව අදියරකට පිවිසෙයි

The struggle of Wisconsin workers enters a new stage

21 February 2010

එක්සත් ජනපදයේ විස්කොන්සින් ප‍්‍රාන්තයේ මිඩ්වෙස්ටන්හි පසුගිය සතිය පුරා දස දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ විරෝධතා පැන නැංගේය. සියවස් කාලකට මෙහා එක්සත් ජනපදය තුල දක්නට නොලැබුනු වර්ගයේ විවෘත කම්කරු පන්ති අරගල යලි මතුවී ඒමේ ආරම්භක ප‍්‍රකාශනය එම පෙලපාලි තුලින් විදහා දැක්වුනි.

පසුගිය 19දා ප‍්‍රාන්තයේ අගනුවර වන මෙඩිසන්හි දී 75,000ක් එක් රැස්වූ පෙලපාලි මෙතෙක් දක්නට ලැබුනු විශාලතම ඒවා විය. ප‍්‍රාන්ත හා පලාත් ආන්ඩුවේ 175,000ක් වන කම්කරුවන්ගේ වෘත්තීය අයිතීන් විනාශ කිරීමේ ද රාජ්‍ය සේවකයින්ගේ සහන කපාහැරීමේ ද අධ්‍යාපන හා අත්‍යවශය සේවා විනාශයේ ද රිපබ්ලිකන් ආන්ඩුකාර ස්කොට් වෝකර්ගේ සැලසුම්වලට විරෝධය දැක්වීම පිනිස කැපිටෝල් ගොඩනැඟිල්ල අත්පත් කරගෙන සිටි දහස් සංඛ්‍යාත කම්කරුවන් ද ඊට එක්වූහ.

ප‍්‍රාන්ත අගනුවර වට ලා ගත්, ගුරුවරුන්ගේ, ගිනි නිවන භටයින්ගේ හා අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ පෙලපාලියට විද්‍යාල හා උසස් පාසැල් සිසුන් ද පුද්ගලික අංශයේ වානේ, මෝටර් රථ, ඉදිකිරීමේ හා අනෙකුත් අංශවල කම්කරුවන් ද එක්වීමත් සමඟ අධිෂ්ඨානයේ හා සටන්කාමිත්වයේ වටපිටාවක් නිර්මානය විය.

විස්කොන්සින්හි සිදුවීම් එලඹීමට ඇති තත්වය පිලිබඳ ඇඟවුමකි. එය එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ සමස්ත පරම්පරාවකට ම පසුව සමාජ අරගලයන්ට සහභාගී වීමට ලැබුනු ප‍්‍රථම අවස්ථාව විය. ඒඑෆ්එල්-සීඅයි ඕ වෘත්තීය සමිති, කම්කරු පන්ති විරෝධයේ සෑම සලකුනක්ම මකා දැමීමට කටයුතු කලේය. 1981 පැට්කෝ වැඩ වර්ජනය පාවාදීම ද ජනාධිපති රේගන් විසින් ගුවන් ගමන් පාලකයින් 12,000ක් රැකියාවලින් නෙරපා හැරීම කෙරෙහි වෘත්තීය සමිති දැක්වූ නොතැකීම ද පසු පසින් පැමිනියේ හුදෙකලා හා පරාජිත වැඩ වර්ජනයන්ගේ දශකයකි.

වැඩ වර්ජන ඇමරිකානු ජන ජීවිතයෙන් මුලුමනින්ම පාහේ අතුරුදහන් වීම, සමාජ අසමානත්වයේ පුපුරන සුලු වර්ධනයත් ධනය කම්කරු පන්තිය වෙතින් සමාජයේ පොහොසත්ම සියයට එකක් අතට මාරුවීමත් සමඟ සම්පාත විය.

සමාජ ආතතීන් දැන් බිඳී යාමේ මට්ටමට ලඟාවී ඇත. මුල්‍ය අර්බුදය පැන නැගීමේ තැන් පටන් වසර දෙක හමාරක් ගිය තැන මිලියන 26කට වැඩි කම්කරුවන් සංඛ්‍යාවකට තවදුරටත් පූර්නකාලීන රැකියාවක් සොයාගත නොහැකි වී තිබේ. ඩිමොක‍්‍රටිකයන් මෙන්ම රිපබ්ලිකානුවන් යටතේ ද ප‍්‍රාන්ත ආන්ඩු, පැසැල්, පුස්තකාල, සායන හා අනෙකුත් මහජන පහසුකම් අකුලා දැමීමෙන් ද ප‍්‍රාන්ත හා පලාත් පාලන සේවකයින්ට ප‍්‍රහාර එල්ල කිරීමෙන් ද අයවැය හිඟයන් කෙරේ ප‍්‍රතිචාර දක්වති.

මේ අතර වෝල් වීදියේ කොටස් වටිනාකම් 2008 බිඳ වැටීමෙන් යලි මුලුමනින්ම ප‍්‍රකෘතිමත් වෙමින්, ව්‍යාපාර සංගත හා ඒවායේ ඉහල විධායකයින් පෙර නොවූ විරූ ආකාරයකින් ධනවත් කර ඇත. සිය රැකියා, නිවාස හා ජීවිතකාලීන ඉතිරි කිරීම් අහිමි වූ කම්කරුවන්ට සහන වශයෙන් සතයක් හෝ දීම ඔබාමා විසින් ප‍්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට ඔහු, වෝල් වීදියට ඇප දීමට, ධනවතුන්ගෙන් අය කරන බදු කපාහැරීමේ බුෂ් යුගයේ ප‍්‍රතිපත්ති තව ඉදිරියට ගෙනයාමට හා පෙන්ටගන් යුද්ධ යන්ත‍්‍රය සඳහා අත්‍යවශ්‍ය සමාජ සේවාවන්ගෙන් ඩොලර් ටි‍්‍රලියනයක් කපා හැරීමේ සැලසුම් ගෙනහැර දැක්වීය.

විවෘත පන්ති ගැටුම මතුවී ඒමත් සමඟ දේශපාලන සංස්ථාපිතය විසින් පතුරුවා හැර තිබුනු මිථ්‍යාවන් හෙලිදරව් වෙමින් තිබේ. "ටී පාටි” සංවිධානයට මහජන පදනමක් ඇති බවට පතුරවාහැර තිබූ මිත්‍යාව ඉන් එකකි. ව්‍යාපාරික සංස්ථාවල ප‍්‍රකෝටිපතියන් පොම්ප කල මිලියන ගනන් මුදල් වලින් පුම්බන ලද බොහෝ කොටම මාධ්‍ය නිර්මානයක් වූ ආන්ඩුකාර වෝකර්ගේ ටී පාටි සංවිධානයේ ආවතේවකාරයන්ට 19දා මෙඩිසන්හි දී මෙහෙයවාගත හැකි වූයේ අපේක්ෂා භංග ආධාරකරුවන් ස්වල්ප දෙනෙක් පමනි. යමෙකුට නගරයේදී මුනගැසුනු සෑම අයෙක්ම පාහේ විරෝධතා සඳහා සහයෝගය පලකිරීමෙන් පෙන්නුම් කලේ මහජන මනෝගතියේ ස්වභාවයයි.

විස්කොන්සින්හි කම්කරුවෝ තියුනු දේශපාලන ප‍්‍රශ්න ගනනාවකට මුහුන දෙති. විරෝධතා කරුවන්ගේ ක්ෂනික ඉලක්කය වී තිබුනේ අතිශයින්ම ප‍්‍රතිගාමී ව්‍යාපාරිකයන්ගේ හා දේශපාලඥයින්ගේ නිර්ලජ්ජිත නියෝජිතයාවූ වෝකර් ය. වෝකර්ට නම් රජයේ සේවකයින්ගේ අයිතිවාසිකම් වනසා දැමීම මූලධර්ම පිලිබඳ කාරනයක් මෙන්ම සේවාස්ථාන තුල අර්ධ ආඥාදායකත්වයක් ආයතනගත කිරීමේ මාර්ගයකි.

කෙසේ වෙතත් විස්කොන්සින්හි මෙන්ම මුලු රටෙහිම කම්කරුවන් මුහුන දෙන්නේ දැනට විරෝධතාවන්ගේ මුදුනෙහි නාමිකව ලැග සිටින පැකිලීමකින් තොර අධිෂ්ඨාන සහගත ඩිමොක‍්‍රටික් පක්ෂයේ හා වෘත්තීය සමිති නිලධරයේ සතුරන්ට ය. සත්තකින්ම වෝකර්ගේ නීතියට එරෙහි විරෝධතා බොහෝ කොටම මතුවී ආවේ ස්වයංසිද්ධවය. ඩිමොක‍්‍රටිකයින් මෙන්ම ඔවුන්ගේ වෘත්තීය සමිති හෙංචයියන් මෙම අරගල අත්අඩංගුවට ගැනීමේ හා පීලි පැන්නවීමේ අරමුනෙන් වහාම ක‍්‍රියාත්මක විය.

ඩිමොක‍්‍රටික් නියෝජිතයින් ද වෘත්තීය සමිති නායකයින් ද විවෘතව කියා සිටින්නේ, තමන් වෝකර්ගේ නීතියෙහි අඬංගු සියලු කප්පාදු සඳහා එකඟවන නමුත් බහුතරයක් රජයේ සේවකයින් වෙනුවෙන් සාමුහික කේවෙල් කිරීමේ අයිතිය අහෝසි කිරීමේ විධි විධානවලට පමනක් විරුද්ධවන බවයි. වෘත්තීය සමිති ව්‍යුහය එසේම පවත්වාගෙන යන අතර, සියලු කප්පාදු අන්තර්ගතවන සම්මුතියක පනතක් ඇතිකර ගැනීමෙන් තමන් ජයග‍්‍රහනයක් ලැබූ බව හුවා දැක්වීමට හැකි තත්වයක් වෙනුවෙන් ඔවුන් වැඩ කරමින් සිටියි.

කම්කරුවන් වෙනුවෙන් කේවෙල්කාර ඒජන්තයින් ලෙස තම කටයුතු පවත්වාගෙන යාමේ නීතිමය තත්වය පිලිගන්නේ නම්, ආන්ඩුකාරයාගේ ආර්ථික යෝජනා ක‍්‍රියාවට නැඟීමට ප‍්‍රාන්තයේ ආන්ඩුවට සම්බන්ධ විශාලතම වෘත්තීය සමිති දෙක වන විස්කොන්සින් රජයේ සේවකයින්ගේ සමිතිය හා විස්කොන්සින් අධ්‍යාපන සම්මේලන කවුන්සිලය, දැනටමත් ඔවුන්ගේ එකඟත්වය පලකොට තිබේ.

ඩිමොක‍්‍රටිකයින් කම්කරු පන්තියේ ජීවන තත්වයන් කාබාසීනියා කිරීමට සහාය දෙනවා පමනක් නොව, කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වෙනුවෙන් ඔවුන් රිපබ්ලිකානුවන්ට වඩා උනන්දුවක් දක්වන්නේ ද නැත. ඔවුන්ගේ අරමුන වන්නේ, ව්‍යාපාරවලට එරෙහිව කම්කරුවන්ට සංවිධානය වීමට මෙන්ම සටන් කිරීමට ඇති අයිතීන් ආරක්ෂා කිරීම නොව, කම්කරු පන්තියේ අරගල මැඩ පවත්වා කප්පාදු පැටවීමේ තීරනාත්මක උපකරන ලෙස තහවුරුවී තිබෙන වෘත්තීය සමිති යාන්ත‍්‍රනය පවත්වාගෙන යාමයි. සත්තකින්ම නිව් යෝර්ක් හා කැලිෆෝර්නියාව වැනි ප‍්‍රාන්තවල ඩිමොක‍්‍රටික් ආන්ඩුකාරවරු, හරියටම මේ කටයුත්ත සඳහා වෘත්තීය සමිති මත වාරුවී සිටිති.

සමිති විධායකයින් පිලිබඳව සලකන කල ඔවුන්ගේ එකම අරමුන කම්කරුවන් අනාගත ආදායම් මූලාශ‍්‍රයක් ලෙස තබාගැනීමයි. "සාමුහික කේවෙල් කිරීමේ අයිතිය” යන්නෙන් ඔවුන්ට අර්ථවත් වන්නේ, හාම්පුතුන් සමඟ ගනුදෙනුව සඳහා "සාකච්ඡා මේසයේ තැනක් සහතික කර ගැනීම” යි. කුමක් සඳහා ද යත්, සිය සාමාජිකයින්ගේ රැකියා හා ජීවන තත්වයන් පරදුවට තබන කේවලයේදී පුද්ගලිකව තමන් සඳහා වරප‍්‍රසාද සලසා ගැනීම සඳහාය.

වෘත්තීය සමිතිවලට පහර ගැසීම පිලිබඳව වෝකර් විවේචනය කරන අතරතුර, අයවැය කප්පාදු ප‍්‍රධානියා ලෙස ජනාධිපති ඔබාමා විස්කොන්සින් කරම්කරුවන් "කැපකිරීමට” සූදානම් විය යුතුයයි කියා සිටියේය. ධවල මන්දිරය විසින් පටවා ඇති දෙවසරක වැටුප් කැටිකිරීමට එරෙහිව ෆෙඩරල් ආන්ඩුවේ සේවකයින් වැඩ වර්ජනය කලහොත් ඩිමොක‍්‍රටික් ජනාධිපතිගේ ප‍්‍රතිචාරය විස්කොන්සින් ආන්ඩුකාරයාගේ ප‍්‍රතිචාරයට වඩා රුදුරු භාවයෙන් කිසිසේත් අඩු නොවනු ඇත.

විස්කොන්සින්හි හා රටපුරා කම්කරුවන් සමස්ත දේශපාලන පද්ධතියට එරෙහිව සෘජු ගැටුමකට කැඳවන පන්ති අරගලයේ තර්කනයක් ඇත. කම්කරුවන් සටන් කරන්නේ තමන්ගේ ජීවනෝපාය සලසාගැනීම සඳහා ය. සියයට 20කට සමාන වැටුප් කප්පාදුවක් හා තම දරුවන්ගේ අධ්‍යාපනය හා රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ විනාශකාරී කප්පාදුවක් සමඟ ඔවුන්ට පැවතිය නොහැකිය.

කම්කරු පන්තිය හා වෘත්තීය සමිති ද ඩිමොක‍්‍රටික් පක්ෂය ද අතර ගැටුම වේගයෙන් වර්ධනය වෙයි. 20දා මෙඩිසන්හි පැවති ගුරුවරුන් 3,000ක් සහභාගීවූ රැස්වීමකදී ඔවුන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අතහැර 21දා සිට සේවයට වාර්තාකරන ලෙස සමිති නිලධාරීන් ගෙනආ යෝජනා ප‍්‍රතික්ෂේප විය.

අරගලය පෙරට ගෙනයාම සඳහා කම්කරුවන්ට නව මෙවලම් අවශ්‍ය වෙයි. තමන්ගේ හුස්ම හිරකොට, අධෛර්යමත් කොට, පරාජය කරා තමන් දක්කන වෘත්තීය සමිති යාන්ත‍්‍රනයෙන් ඔවුන් කැඩී නිදහස් විය යුතුය. රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ ද රැකියා ඇති හා රැකියා නැති කම්කරු පන්තියේ කොටස් ශිෂ්‍යයින් හා තරුනයන් ද සමඟ එක්සත් කරන නව සංවිධාන ගොඩනැඟීම අවශ්‍ය වෙයි. විස්කොන්සින්හි කම්කරුවන්ගේ අරගල අයවැය කප්පාදුන්ට එරෙහිව ද තම මූලික අයිතීන් රැකගැනීමට ද රට පුරාම සටන් වැදී සිටින කම්කරුවන්ගේ අරගල සමඟ ඒකාබද්ධ කල යුතුය.

සියල්ලටත් වඩා නව පක්ෂයක් හා ක‍්‍රියාමාර්ගයක් අවශ්‍යවනු ඇත. අයවැය කප්පාදුවට එරෙහි අරගල, සමස්ත දේශපාලන ක‍්‍රමය මතම සිය පාලනය පවත්වාගෙන යන හා රට කොල්ලකන ලද ව්‍යාපාරික හා මූල්‍ය ප‍්‍රභූ තන්ත‍්‍රයට එරෙහි අරගලය සමඟ බද්ධ කල යුතුය. මෙහි අර්ථය අන් කවරක්වත් නොව, සමාජවාදය සඳහා සටන හා සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැඟීමයි.

ජෙරී වයිට්