ඔබාමා සහ ලිබියානු අර්බුදය

Obama and the Libyan crisis

24 February 2011

ලෝකයේ ප‍්‍රධාන තෙල් නිෂ්පාදකයකු වන ලිබියාවේ මහජන නැගිටීමක් හා මහා ජන ඝාතනයක් හමුවේ, බදාදා, ජනාධිපති බරක් ඔබාමා සිය පාලනාධිකාරය "පුලුල් පරිමානයක විකල්ප” සූදානම් කරමින් සිටින බවට අනතුරු අඟවන අතරම, "නිදහස”, "යුක්තිය” හා "ගෞරවය” පිලිබඳව ද කතා කලේය.

පසුගිය මාසය පුරා ටියුනීසියාවේ සිට ඊජිප්තුව, යේමනය, බහරේන් සහ ඉන් ඔබ්බටත් පැතිර ගොස් ඇති විප්ලවවාදී නැගිටීම්වලට මෙන්ම, ලිබියාවේ ලේවැකි සිද්ධීන්වලට ද ඔබාමා පාලනාධිකාරය දක්වා ඇති ප‍්‍රතිචාරය ගුනාංගීකරනය වී තිබෙන්නේ කුහකත්වය, නරුමත්මය සහ කෲර ගනන්බැලීම් මගිනි.

"සාහසික හා අනුමත කල නොහැකි” ලිබියානු "වේදනාවන් හා ලේගැලීම්” පිලිබඳ තරමක් ඇල්මැරුනු වාග් පාඨවලට පිටුපසින්, වොෂිංටනයේ එල්ලය වන්නේ, කලාපය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලෝපායික අවශ්‍යතා සුරක්ෂිත කරගැනීම සහ ලිබියාව මහා ලාභ උල්පතක් ලෙස සලකන දැවැන්ත ඇමරිකානු බල ශක්ති සංගතවල සමස්ත ලාභ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම යි.

ටියුනීසියාව හා ඊජිප්තුව සම්බන්ධයෙන් එය කලින් දැක්වූ ප‍්‍රතිචාරයන් ද බහරේන්හි හා යේමනයේ සිද්ධීන් පිලිබඳ එහි ආකල්පය ද ප‍්‍රතිරාවය කරමින්, ඔබාමා පාලනාධිකාරය ලිබියාව පිලිබඳව දැක්වූ ආරම්භක ප‍්‍රතිකි‍්‍රයාව ලෙස පෙනී ගියේ, නැගිටීම බලය යොදා මැඩීමට කර්නල් මුවම්මර් ගඩාෆිගේ නායකත්වයෙන් යුත් තන්ත‍්‍රයට පවතින හැකියාව ගැන බලාපොරොත්තු තැබීමකි.

ගඩාෆිගේ අතීත විප්ලවකාරී හා සමාජවාදී පවා වූ මවාපෙන්වීම් තිබිය දී ම, දශකයකට ආසන්න කාලයක් තිස්සේ වොෂිංටනය ලිබියානු ආඥාදායකයා දැක ඇත්තේ මැද පෙරදිග ස්ථාවරත්වය හා පර්යාය ආරක්ෂා කරන බලයක් ලෙසය. ඔහුගේ රහස් පොලීසිය "ත‍්‍රස්ත විරෝධී ගෝලීය යුද්ධය” තුල සීඅයිඒ සංවිධානය සමග සමීප සහයෝගිතාවකින් වැඩ කර ඇති අතර, ඔහු අපි‍්‍රකාවේ විශාලතම හා ලෝක මට්ටමින් විශාලත්වයෙන් නව වන තැන දරන, බැරල් බිලියන 44.3ක් ලෙස තහවුරු වී ඇති ලිබියාවේ තෙල් සංචිත ගසාකෑම සඳහා අතිශය ලාභදායක කොන්ත‍්‍රාත්තු ඩැහැගනු වස් එක්සත් ජනපද තෙල් සමාගම්වලට යලි රටට ඇතුලුවීමට දොර විවෘත කර තිබේ.

ගඩාෆි බුෂ් පාලනාධිකාරය හා ඔබාමා ආන්ඩුව යන දෙපාර්ශ්වයේ ම සංග‍්‍රහයන්ට ලක්ව තිබේ. බුෂ් පාලනාධිකාරය මෙම ඒකාධිපතියා වැලඳගනු පිනිස 2008 දී සිය ජාතික ආරක්ෂක උපදේශිකා කොන්ඩලීසා රයිස් ටි‍්‍රපොලි නුවරට යැවූ අතර, ඔබාමා 2009 ජී-8 සමුලුවේ දී ඔහුට උනුසුම් ලෙස අතට අත දුන්නේය. ගඩාෆි එක්සත් ජනපද පාලනාධිකාරය වෙත සිය උනුසුම් මිත‍්‍රත්වය ප‍්‍රකාශ කිරීමේ දී තවත් දුර ගමන් කලේ, ඔබාමා සිය "පුත‍්‍රයා” ලෙස ප‍්‍රකාශ කරමිනි. මතුපිටින් බැලූ කල පෙනී ගියේ, අඩු ගනනේ, රොනල්ඞ් රේගන් ලිබියානු නායකයා "මැද පෙරදිග පිස්සු බල්ලා” ලෙස හෙලා දැකීමෙන් සහ ඔහුගේ නිවසට බෝම්බ දමනු පිනිස එක්සත් ජනපද යුද ගුවන් යානා යැවීමෙන් පසු දැන් බොහෝ කලක් ගතවී ඇති බවයි.

ගඩාෆි තමන්ගේ ජනතාව ඝාතනය කරනු පිනිස ප‍්‍රහාරක ජෙට් යානා, ගුවන් යානා නාශක තුවක්කු හා කුලී හමුදා යොදා ගන්නා අතරතුර නිල වොෂිංටනය ඉදිරියේ දී සිදු විය හැකි ඕනෑම තත්වයක් ගැන ඔට්ටු ඇල්ලීමේ දිගටම යෙදී සිටියේය. "ඔබ දන්නවා, මෙය අවසාන වසයෙන් හා අතිමූලිකව ගත් කල, ලිබියානු ආන්ඩුව, එහි නායකයා සහ ලිබියානු ජනතාව අතර ප‍්‍රශ්නයක්,” යයි රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශක පී.ජේ. ක‍්‍රව්ලි අඟහරුවාදා ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී ප‍්‍රකාශ කලේය. "ආන්ඩුව සිය ජනතාවගේ අභිලාෂයන්ට ප‍්‍රතිචාර දක්වනු දැකීම අපට අවශ්‍යය”යි ඔහු තව දුරටත් කියා සිටියේ, "ප‍්‍රතිචාරය” මරන සංඛ්‍යාව 1,000 දක්වා ඉහල දමන තතු තුලය.

බදාදා රූපවාහිනි කැමරා ඉදිරියේ ඔබාමාගේ පෙනී සිටීම, නැගිටීම මැඩීමෙහිලා ගඩාෆි සාර්ථක නොවනු ඇති බවට වොෂිංටනය තුල වැඩෙන භීතීන් මගින් මෙහෙයවනු බවක් පෙනී යයි. එමෙන්ම, ඔහුගේ තැන ගෙන මහජනතාවගේ අරගලය මැඩ පැවැත්වීම පිනිස සුපරීක්ෂාවට ලක් වූ විරුද්ධ පක්ෂයක් නැත යන කාරනාව ගැන ද එක්සත් ජනපද නිලධාරිහු උත්සුකව සිටිති. අවසානයේ කවුරු බලයට පත්ව රටේ තෙල් ධන සම්පත්වල පාලනය සියතට ගනු ඇති ද යන්න ගැන ඔවුහු අවිනිශ්චිතව සිටිති. ඊජිප්තුවේ මෙන් නොව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී අවශ්‍යතා ආරක්ෂා කිරීමේ හැකියාවෙන් යුක්ත තන්ත‍්‍රයක් යලිගොඩනැගීමට ප‍්‍රයත්න දරනු පිනිස එක්සත් ජනපදය විසින් සන්නද්ධ කරන ලද හා පුහුනු කරන ලද මිලිටරියක් තෝන් ලනු ඇද දක්කාගෙන යාමේ හැකියාවක් ද වොෂිංටනයට නැත.

සිද්ධීන් නොකඩවා දිගහැරෙන කල, අතපය ගසමින් ජලයේ පාවෙමින් සිටින්නාක් මෙන් කාලය ගැනීමක් ඔබාමාගේ ප‍්‍රකාශ තුල පවතී. ගඩාෆි ඉවත් කල යුතු යයි ඉල්ලා සිටීමක් එක්සත් ජනපද ජනාධිපතිගේ ප‍්‍රකාශ තුල අඩංගු නැත යන්න සැලකිල්ලට ගත යුතු කරුනකි.

යුරෝපීය බලවතුන් සමග ලිබියාව පිලිබඳව සාකච්ඡා කරනු පිනිස සඳුදා ජිනීවා නුවරට යවනු ලැබූ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අඟහරුවාදා කියා සිටියේ, ලිබියාවේ සිද්ධීන්වලට එක්සත් ජනපද ප‍්‍රතිචාරය සම්බන්ධයෙන් ගත් කල "මේසය මත සෑම දෙයක්ම තිබෙනු ඇති” බවයි. එය වනාහි ඉරානයට එරෙහිව මිලිටරි කි‍්‍රයාමාර්ග ගන්නා බවට එය නිරන්තරයෙන් කල තර්ජනවල දී බුෂ් පාලනාධිකාරයේ පූච්චානම් ප‍්‍රතිරාව නංවන වාග්පාඨයකි.

තීරනාත්මක ආර්ථික විධානයන් මගින් ඇමරිකානු පාලනාධිකාරය යම් ආකාරයක කි‍්‍රයාමාර්ග දෙසට තල්ලු කෙරෙමින් පවතී. ඊට පෙර පිපිරුනු නැගිටීම්වලට වඩා සෘජු ලෙස ලිබියාව වෝල් වීදියේ අවධානය ඩැහැගෙන තිබේ. පසුගිය දින දෙක තුල කොටස් වෙලඳ පොල ඒකක 300ක ආසන්න කඩාවැටීමක් අත්දැක ඇති අතර තෙල් මිල බැරලයක් ඩොලර් 100 ඉක්මවා ඉහල නැග ඇත.

මෙම උත්සුකතා බදාදා වෝල් ස්ටී‍්‍රට් ජර්නල් කතුවැකි පිටුව තුල ප‍්‍රකාශනය අත්පත් කර ගත්තේය. එය "පැකිලෙමින් සිටීම” ගැන ඔබාමා පාලනාධිකාරයට චෝදනා කල අතර, "ලේ ගංගාවක් නතර කිරීම, සරනාගත අර්බුදයක් වලකාලීම, බල ශක්ති සුරක්ෂිත භාවය වැඩි දියුනු කිරීම සහ ජාත්‍යන්තර නීතියට හා පර්යායට එරෙහි දිගු කාලීන තර්ජනයක් අවසානයකට ගෙන ඒම” යනාදිය ඇතුලු වන සුවිශේෂ "අවස්ථාවක්” එක්සත් ජනපදය ඉදිරියේ පවතින බව ද ප‍්‍රකාශ කලේය.

කොටින් කියතොත්, වෝල් ස්ටී‍්‍රට් ජර්නල් යෝජනා කරන්නේ තන්ත‍්‍ර වෙනසකි. "බටහිරට පමනක් සැපයිය හැකි වෛද්‍ය සැපයුම්” ගෙන ඒම සහ "ලිබියානු ගුවන් හමුදාව විනාශ කිරීමට” තර්ජනය කිරීම වැනි මානුෂික කඩතුරාවක් යටතේ මැදිහත්වීමක් ඇරඹිය හැකි යයි පුවත්පත යෝජනා කලේය.

ලිබියාවට කෙරෙන මොන යම් හෝ එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රවර්ධනය කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම හෝ ලිබියානු ජනතාව විමුක්ත කිරීම ඉලක්ක කර ගන්නේ නැත. ඇමරිකානු කි‍්‍රයාමාර්ගයක් මානුෂික කබායකින් ආවරනය කිරීමට කුමන ප‍්‍රයත්නයක් දැරුවත්, එක්සත් ජනපද සන්නද්ධ හමුදාවල අරමුන වන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලෝපායික අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ ඇමරිකානු පාලක ප‍්‍රභූවේ ලාභ හා දේපොල රැකගැනීමයි. ඇෆ්ඝනිස්ථානයේ හා ඉරාකයේ ආක‍්‍රමන මෙන්ම, ලිබියාවට කෙරෙන මොන යම් හෝ මැදිහත්වීමක් පීඩිත රටක් මත නව-විජිත ආධිපත්‍යය යලි තහවුරු කිරීමක් නියෝජනය කරනු ඇත.

එවන් මැදිහත්වීමක් වහා සිදු වේ ද යන්න පැවසිය නොහැකිය. කෙසේවෙතත්, පැහැදිලි කාරනාව නම්, වොෂිංටනය මැද පෙරදිග තුල සිය තත්වය පිරිහීයාම පිලිබඳව, විශේෂයෙන් ම තෙල් සැපයුම් කඩාකප්පල්වීමේ තර්ජනය පිලිබඳව, වඩවඩා මංමුලාසහගත වී ඇති බවයි. මංමුලාසහගත පාලකයෝ මංමුලාසහගත පිලිවෙත්වලට පෙලඹෙති.

ලිබියාවට විජිතවාදය හා බැඳුන දීර්ඝ හා ඛේදනීය ඉතිහාසයක් ඇත. ඉතාලිය 1911 දී එරට පාලනය ඩැහැගෙන එහි කැරලිකාරී ජනතාවට එරෙහිව වසර 30ක යුද්ධයක් ගෙන ගියේය. එය කුලුගැන්වුනේ, බෙනිටෝ මුසෝලිනිගේ ෆැසිස්ට් තන්ත‍්‍රය ජනගහනයෙන් හරි අඩකට ආසන්න ප‍්‍රමානයක් අතුගා දැමීම පිනිස ගුවනින් බෝම්බ දැමීම, ගෑස් ප‍්‍රහාර, රැඳවුම් කඳවුරු සහ හිතාමතා ජනයා සාගින්නට ඇදදැමීම යොදා ගැනීම මගිනි.

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව, වොෂිංටනය, කලින් යුරෝපීය විජිත බලවතුන් විසින් ආධිපත්‍යය දරන ලද භූමි ප‍්‍රදේශ මත සිය පාලනය තහවුරු කරගැනීම පිනිස යොදාගන්නා තමන්ගේම වේදිකාවක් බවට ලිබියාව පත් කර ගැනීමට ප‍්‍රයත්න දැරුවේය. එය එතෙර පිහිටි තමන්ගේ ප‍්‍රධාන මූලෝපායික කඳවුරුවලින් එකක් ලෙස ලිබියාව තුල වීලස් ගුවන් හමුදා කඳවුර ගොඩනැගූ අතර රටේ ස්වාභාවික සම්පත් කොල්ලකනු පිනිස ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සහ සෙසු එක්සත් ජනපද තෙල් සමාගම් සඳහා ඉතා ලාභදායක ගිවිසුම් සහතික කර ගත්තේය.

1969 දී ගඩාෆි සහ ඔහුගේ නිදහස් නිලධාරින්ගේ ව්‍යාපාරය බලයට පැමිනීම මෙම සබඳතාව යම් කාල පරිච්ඡේදයකට ආපසු හැරවීය. එහෙත්, මැද පෙරදිග පුරා ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර මෙන්ම, ලිබියානු කර්නල්ගේ "සමාජවාදී මහජන ලිබියානු අරාබි ජමාහිරියාව” විජිතවාදයේ හා අධිරාජ්‍යවාදී පීඩනයේ උරුමය ජයගැනීමට අවශ්‍ය කෙරෙන ඓතිහාසික කර්තව්‍යයන් කිසිවක් විසඳාලීමට පවතින සිය නොහැකියාව ඔප්පු කලේය. එය වසර 40ක් බලයේ සිටීමෙන් පසුව, එක්සත් ජනපද තෙල් සමාගම් යලි පැමින ඇති අතර, ලිබියානු ආරක්ෂක හමුදාවෝ සීඅයිඒ සංවිධානය සමග සහයෝගීව කි‍්‍රයා කරති. "විප්ලවවාදී” තන්ත‍්‍රය තමන්ගේම ජනතාව ඝාතනය කරන ඥාතිසංග‍්‍රහවාදී චෞරතන්ත‍්‍රයක් බවට පිරිහී ඇත.

එක්සත් ජනපදයේ හා යුරෝපයේ කම්කරුවෝ, මරු විකල්ලෙන් සිටින තන්ත‍්‍රයක් විසින් සිදු කරනු ලබන ම්ලේච්ඡ කි‍්‍රයාවන් පිලිබඳව නැගෙන වෛරය මිලිටරි මැදිහත්වීමක් යුක්තියුක්ත කරනු පිනිස ගසාකෑමට ස්වකීය පාලක ප‍්‍රභූන් දරන ප‍්‍රයත්නයන් මගින් තමන් අපසරනය වීමට ඉඩ නොදිය යුතුය. ආදර්ශ පාඨය විය යුත්තේ මෙයයි: ලිබියාවේ හා මැද පෙරදිග ජනතාවගේ දැවැන්තම සතුරෝ වන්නේ එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදියෝ ය.

ආඥාදායකත්වයක් පෙරලා දැමීම, ගඩාෆි ඇතුව හෝ නැතිව ලිබියාව මත සිය ආධිපත්‍යය පවත්වාගෙන යාමට සූදානම් වන අධිරාජ්‍යවාදයේ කර්තව්‍යයක් නොව ලිබියානු මහජනතාවගේ කර්තව්‍යයකි. ඔවුහු එය සිදු කිරීමට සමත්ය.

තන්ත‍්‍රයේ බිඳවැටීම, දිග්ගැසෙන අරගලයක් බවට ඔප්පු වනු ඇති අරගලයක ප‍්‍රථම පියවර වනු ඇත. ලිබියාවේ කම්කරුවෝ, සියලු ධනේශ්වර "ප‍්‍රජාතන්ත‍්‍රවාදී” සහ "ජාතිකවාදී” බලවේගවලින් ස්වකීය දේශපාලන ස්වාධීනත්වය තහවුරු කරගෙන, සිය අරගලය සංවිධානය කිරීම හා ගඩාෆි තන්ත‍්‍රය කම්කරු ආන්ඩුවක් මගින් විස්ථාපනය කිරීම පිනිස තමන්ගේම මහජන බල සංස්ථාවන් ගොඩනගා ගත යුතුය. මෙම විප්ලවයේ ජයග‍්‍රහනය සහතික කරගත හැකි වන්නේ, ලිබියානු කම්කරුවන් ඊජිප්තුව හා ටියුනීසියාව වැනි අසල්වැසි රටවල ද මැද පෙරදිග පුරා ද වැඩි දියුනු ධනපති රටවල ද සිටින සිය පන්ති සහෝදරසහෝදරියන් සමග ඒකාබද්ධ වීම මගින් ම පමනි.

මෙය වනාහි හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සටන් වදින ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ඉදිරිදර්ශනයයි.

බිල් වාන් ඕකන්