ඉරානයට එරෙහිව ඊස්රායලයේ කඩුව ලෙලවීම

Israel’s sabre-rattling against Iran

By Jean Shaoul, 22 February 2011

ඊජිප්තුවේ සූවස් ඇල හරහා මධ්‍ය ධරනී මුහුද වෙත ඉරානයේ යුද නැව් දෙකක් පිටත්කර හැරීමට එරෙහිව ඊස්රායලය, යුදවාදී ලෙස ප‍්‍රතිචාර දක්වමින් එය ප‍්‍රකෝපකරනයක් ලෙස හැඳින්වූ අතර ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන බවට තර්ජනය කලේය.

200කටත් වඩා න්‍යෂ්ටික අවි ගබඩා කරගෙන සිටින ඊස්රායලය, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට පහර දෙන බවට යලි යලිත් කර තිබෙන තර්ජන හමුවේ මෙම තර්ජනය, ඉරානයට පහර දීම පිලිබඳව මෙන්ම වඩාත් විශාල කලාපීය යුද්ධයක වැඩෙන තර්ජනය පිලිබඳ සලකුනකි.

ඉරානය යුද නැව් දෙකක්, අල්වාන්ඩ් නමැති එම්කේ-5 සැහැල්ලු යාත‍්‍රාවක් හා කාර්ග් නමැති සැපයුම් නෞකාවක් සූවස් ඇල හරහා යවා ඇති බව පසුගිය 16දා ඊස්රායලය නිවේදනය කලේය. ප‍්‍රථමයෙන් ඉරානය හා ඊජිප්තුව යන දෙරටම මෙය ප‍්‍රතික්ෂේප කල අතර ඉරානය සිය නැව් සඳහා ඇල මාර්ගය භාවිතා කිරීමට කර තිබූ ඉල්ලීම ඉවත් කරගත් බව ඊජිප්තුව කියා සිටියේය. එහෙත් පසුව ඉරානය, ඇල භාවිතා කිරීමේ නීති රීති අනුව තම නැව් ඒ හරහා යැවීම පිලිබඳව ඊජිප්තුවට දැනුම් දී ඇති බව තහවුරු කලේය.

ඊස්රායල් විදේශ ඇමති අවිග්ඩෝර් ලිබර්මන් ජෙරුසලමේ පැවති ප‍්‍රධාන ඇමරිකානු යුදෙව් සංවිධානයක රැස්වීමකදී පැවසුවේ නැව් යෙදවීම "දිනෙන් දින වර්ධනය වන ඉරානයේ වැඩි විශ්වාසය තහවුරු කරන ප‍්‍රකෝපකරනයක්” බවයි.

"යලි යලිත් ඇතිවන ඉරානයේ ප‍්‍රකෝපකරනයන් සමඟ කටයුතු කිරීමේ දී ජාත්‍යන්තර ප‍්‍රජාව කිසිදු සූදානමක් නොපෙන්වීම පිලිබඳව මම කනස්සල්ලට පත්ව සිටින්නෙමි.” ඔහු පැවසීය.

වොෂින්ටනය ඉලක්ක කරමින් කල ප‍්‍රකාශයකදී ඔහු, "ඉරානීයන් ඔවුන්ට සුදුසු තැන තැබිය යුතුය. කලාපය තුල එක්සත් ජනපදයේ සැබෑ මිතුරෝ අපි වන්නෙමු. එහි වටිනාකම් බෙදාහදා ගන්නේ අප පමනි. හැමදාට ම මෙම ප‍්‍රකෝප කිරීම් ඉවසා සිටීමට ඊස්රායලයට නොපුලුවන් බව ජාත්‍යන්තර ප‍්‍රජාව අවබෝධ කරගත යුතුය.”

අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙසේ පැවසීය. "අප ජීවත් වන්නේ කෙතරම් නම් අස්ථාවර කලාපයක දැයි අපට දැකගත හැකිය. සූවස් ඇල හරහා යුද නැව් යැවීමෙන් ඉරානය තම බලපෑම වර්ධනය කර ගැනීම සඳහා පවතින තත්වය ගසාකෑමට උත්සාහ කරන කලාපයකි මෙය. මම එසේ සිතන්නෙමි.”

"ඊස්රායලයේ ආරක්ෂක අවශ්‍යතා වැඩිවනු ඇත. ඊට අනුකූලව ආරක්ෂක වියදම් ද වැඩිවිය යුතුය.”

ඉරානයේ ලුතිනන් කමාන්ඩර්, රියර් අද්මිරාල් ගෝලම් රෙසා කාඩෙම්-බිගම්, අර්ධ හමුදා නිලධාරීන් වෙත නිකුත් කල නිවේදනයක් ලෙස, පසුගිය මාසයේ ෆාර්ස් ප‍්‍රවෘති ආයතනයේ පලවූ වාර්තාවකට අනුව ඉරානය, "තමන් පිවිසෙන ප‍්‍රදේශයන් පිලිබඳ මනා තොරතුරු හා බුද්ධි වාර්තා” ලබාගැනීමට මධ්‍යධරනී මුහුද වෙත නැව් පිටත්කර හැරීමට සැලසුම්කර ඇත.

සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට එරෙහිව "රටේ භාන්ඩ නෞකා හා තෙල් නැව්” ආරක්ෂා කිරීම පිලිබඳ පුහුනුවකට ඒවා සහභාගී වනු ඇතැයි ඔහු පැවසීය.

අභ්‍යාස පැවැත්වීමට සිරියානු මුහුදු කලාපය බලා යාත‍්‍රා කරන නැව් වල කිසිදු මිලිටරි ආම්පන්නයක්, න්‍යෂ්ටික අවි හෝ රසායනික ද්‍රව්‍යයක් නොමැති බව පසුගිය 18දා ටෙහෙරානයේ ආරක්ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙකු කියා සිටියේය.

ඊස්රායලය නිරන්තරයෙන්ම ඇල මාර්ගය ප‍්‍රයෝජනයට ගන්නා නමුත් 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව ටෙහෙරානය ඇල හරහා යුද නැව් පිටත්කර හරින ප‍්‍රථම අවස්ථාව මෙයයි. 2009 වසරේදී ඊස්රායලය ඊජිප්තුවේ ද පූර්න සහයෝගය ඇතිව මිලිටරි අභ්‍යාස සඳහා ඩොල්ෆින් වර්ගයේ සබ්මැරිනයක් රතු මුහුද වෙත යැවීය. ඉරානය වෙත කෲස් මිසයිල යැවීමට එම සබ්මැරින් වර්ගය යොදාගත හැකිය. එවක දී එම අභ්‍යාසය පුලුල් වශයෙන් විස්තර කලේ ඉරානයට ලඟාවීමේ හැකියාව ඊස්රායලය සතුය යන පනිවිඩය දීමක් ලෙසය.

ඉරාන නෞකා පිලිබඳව එක්සත් ජනපදයේ ධවල මන්දිර ප‍්‍රකාශක ජේ කානි පැවසුවේ, "පැහැදිලිව ම අපි එය නිරීක්ෂනය කරමින් සිටින්නෙමු. අපි නිතර ම ඉරානය කරන්නේ කුමක් දැයි බලා සිටින්නෙමු. කලාපය තුල ඉරානයට වගකිවයුතු වාර්තාවක් ඇත්තේ නැත.”

කලාපය තුල සිය මිලිටරි කටයුතු උත්සන්න කිරීම "සමුද්‍ර ආරක්ෂක ක‍්‍රියාන්විත” වශයෙන් ප‍්‍රකාශ කරන පියවරයන්හි කොටසක් ලෙස එක්සත් ජනපදය විසින් හඳුන්වා තිබුන ද පැහැදිලිව ම එය, ඊජිප්තුවේ ද මැද පෙරදිග පුරා හා උතුරු අප‍්‍රිකාවේ හටගෙන තිබෙන විප්ලවවාදී නැගිටීම් කෙරෙහි දක්වන ප‍්‍රතිචාරයකි.

ගුවන් යානා හාරක යූඑස්එස් එන්ටර්ප‍්‍රයිස් නෞකාව, යුඑස්එස් ලෙයිට් ගල්ෆ් යන මෙහෙයුම් මිසයිල් යාත‍්‍රාව හා යූඑස්එස් ආක්ටික් යන යුද සහායක නෞකාව ද සමඟින් සූවස් ඇල හරහා පර්ෂියන් ගල්ෆ් වෙත යවා තිබේ. එහි දී නැව් සමූහය, දැනට අරාබි මුහුදේ රඳවා තිබෙන යුඑස්එස් කාල් වින්සන් නෞකාව සමඟ එක්වෙයි.

මෙම වාර්තා පලවීමත් සමඟ නව ගැටුමක් පිලිබඳ භීතිය පැතිර යද්දී කොටස් වෙලඳපොලවල් පහත වැටුනු අතර තෙල් මිල වාර්තාගත මට්ටම් කරා ඉහල නැඟුනි. ඊජිප්තුවේ මහජන නැගිටීම බහරේන්, ඉරාන්, ලිබියා, සුඩාන් හා යේමන් වැනි තෙල් නිෂ්පාදනය කරන රටවලට පැතිර යාමෙන් පසුව තෙල් සැපයුම කඩාකප්පල් වේය යන භීතිය හමුවේ ඒවන විටත් තෙල් මිල තියුනු ලෙස ඉහල නැග තිබුනි.

එක්සත් ජනපදය තුල තමන් සතු සැලකියයුතු දේශපාලන සම්බන්ධකම් හා බලපෑම් කිරීමේ කන්ඩායම් හරහා ඊස්රායලය මිලිටරි මැදිහත්වීමක් සඳහා නිරන්තරයෙන් බලපෑම් කරමින්, කලාපය තුල වර්ධනය වන ඉරානයේ බලපෑම වැලැක්වීමේ මිලිටරි මැදිහත් වීමක් වෙනුවෙන් දිගු කලක් තිස්සේ ම හඬ නඟයි. එය, ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කිරීමේ උත්සාහයක ද නිරතව සිටියි. ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ කටයුත්තට එරට සම්බන්ධ බව විශ්වාස කෙරේ. එමෙන්ම ඉරානයේ ප‍්‍රධාන යුරේනියම් සුපෝෂන යන්ත‍්‍රාගාරය තුල පරිගනකයන්ට ස්ටක්ස්නෙට් නමැති පනු වෛරසය ඇතුල් කිරීමට ද එරට සම්බන්ධ යයි සැක කෙරේ.

තමන්ගේ ප‍්‍රධාන කලාපීය මිතුරා වූ හොස්නි මුබාරක් පෙරලා දැමීමත් සමඟ ඊස්රායලයේ ආස්ථානය තවත් දැඩිවී ඇත. මුබාරක් තන්ත‍්‍රයට එරෙහි මහජන ව්‍යාපාරය අනිවාර්යයෙන්ම මුස්ලිම් බ‍්‍රදර්හුඞ් සංවිධානයේ හා ටෙහෙරානයේ ඉත්තකු වනු ඇතැයි එක දිගට අවධාරනය කල ඊස්රායලය, මුබාරක් බලයේ රඳවා ගැනීම සඳහා තමන්ට කල හැකි සෑම දෙයක්ම කර තිබේ. දැනට බලයේ සිටින මිලිටරි ජුන්ටාව ටෙල් අවීව් සමඟ ඇති සාම ගිවිසුම් වලට තමන් ගරු කරන්නේ යයි දී ඇති සහතික තිබිය දී ම ඊස්රායලයේ මාධ්‍ය, පිහිටුවිය හැකි ඕනෑම සිවිල් ආන්ඩුවක් ඉරානයට විරුද්ධව සන්ධානයක් වෙනුවෙන් කැපවනු ඇත් ද යන බිය පලකරන වාර්තාවලින් පුරවා ඇත.

ලෙබනනය තුල ඉරානයේ හා සිරියාවේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානය හා එහි සගයින් හවුල් ආන්ඩුවෙන් ඉවත්වීමෙන් පසුව එක්සත් ජනපද-සවුදි අරාබි මුක්කුව ලත් හරිරි ආන්ඩුව ඇද වැටීමෙන් ඊස්රායලය තවත් හුදෙකලා විය.

ඊස්රායලයේ අනෙක් මුක්කු කරුවන් වන ජෝර්දානය හා පලස්තීන අධිකාරය ඊට වඩා සුරක්ෂිත නැති බව පෙනී යයි. ආන්ඩුවක් පිහිටුවීම සඳහා නව අගමැති කෙනෙකු පත්කරන ලෙස අබ්දුල්ලා රජුට බල කෙරෙමින් නොකඩවා පැවැත්වෙන මහජන පෙලපාලි ජෝර්දානය තුල දැකගත හැකිව තිබේ.

එක්සත් ජනපදය හා ඊස්රායලය වෙනුවෙන් පලස්තීනුවන් මත පොලිස්කාරකමේ යෙදුනු උප කොන්ත‍්‍රාත්කරුවෙකු ලෙස පලස්තීන අධිකාරියේ ක‍්‍රියා කලාපය සනාථ කරන "පලස්තීන ලියවිලි” අල් ජසීරා මඟින් හෙලිදරව් කිරීම හමුවේ එහි නායක මහමුඞ් අබ්බාස්ට මැතිවරනයක් කැඳවීමට බල කෙරුනි. ඔස්ලෝ සම්මුතීන් අහෝසි කරන ලෙසත්, ගාසා තීරුවේ හා බටහිර ඉවුරේ ජාතික එකමුතුවේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා අබ්බාස්ගේ ෆටා පක්ෂය හා හමාස් සංවිධානය අතර ගැටුම් අවසන් කරන ලෙසත් ඉල්ලමින් පසුගිය සති අන්තයේ රමල්ලාහි මහජන පෙලපාලි පැවැත්වුනි.

රට තුල නෙතන්යාහු ඊට නොදෙවෙනි ලෙසින් හුදෙකලාවී සිටියි. ඔහුගේ ලේබර් හවුල් කරුවන් ආන්ඩුවෙන් ඉවත්වූ අතර, බලය පවත්වාගැනීම සඳහා ඔහුට අන්ත දක්ෂිනාංශය, විශේෂයෙන්ම ලිබර්මාන්ගේ යිස්රායෙල් බිටේනු, මත රැඳීමට සිදුව තිබේ. ඔහුගේ ආරක්ෂක ඇමති එහුඩ් බරාක් ලේබර් පක්ෂයෙන් කැඩීගොස් ඔහුගේම ස්වාධීන පක්ෂය ගොඩනඟාගෙන හවුල් ආන්ඩුවට සහාය දෙන නමුත් රටතුල ඊට ඇත්තේ අල්ප සහයෝගයකි.

ඊටත් වඩා වැදගත් වන්නේ, වැඩිවන මිල ගනන්, දුප්පත්කම හා සමාජ අසමානතාවය හමුවේ එන්ට එන්ටම කෝපාවිෂ්ඨ වන ජනගහනයකට නෙතන්යාහු මුහුනපා සිටීමයි. ඊස්රායල් පාලක පැලැන්තියට ඉතිරිව ඇත්තේ, කම්කරු පන්තියේ දේශපාලන අභියෝගය මැඩලීම සඳහා බෙදා පාලනය කිරීමේ යලි යලිත් ක‍්‍රියාවට නඟා ඇති හා පරික්ෂාවට භාජනයවී ඇති යුදවාදී ප‍්‍රතිපත්තියයි. එය යුද්ධය සඳහා කඩි මුඩියේ සූදානම් වෙමින් සිටින අතර ටෙහෙරානය සමඟ ගැටුමකට කොන්දේසි සකස් කරයි. එහෙත් ලෙබනනය, ගාසාව හා ඊජිප්තුවට පවා ප‍්‍රහාර එල්ල කිරීම බැහැරකල නොහැකිය.