ශී‍්‍ර ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය ෆොන්සේකා වරදකරු කිරීමේ නඩු තීන්දුව අනුමත කරයි

Sri Lankan Supreme Court upholds Fonseka convictions

By Sarath Kumara ,8 February 2011

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය, හිටපු හමුදාපති හා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා ගෙතූ චෝදනා මත සිරගත කල හමුදා අධිකරනයේ නීත්‍යනුකූල බව පිලිගනිමින්, ඔහුට එරෙහිව නඩු තීන්දුවක් දී තිබේ. මෙම තීන්දුව, මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රුදුරු ලෙස මර්දනය කර ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අත තව දුරටත් ශක්තිමත් කරනු ඇත.

අග විනිසුරු අශෝක ද සිල්වාගේ නායකත්වයෙන් යුක්ත පංච පුද්ගල විනිශ්චය මන්ඩලය, හමුදා අධිකරන ව්‍යවස්ථානුකූල බවත් අධිකරන පද්ධතියේ නීතියුක්ත කොටසක් බවත් ප‍්‍රකාශයට පත් කරමින්, ඒකමතික තීන්දුවක් දුන්නේය. විනිසුරුවරු, ෆොන්සේකාගේ නීතිඥයන්ගේ ප‍්‍රධාන තර්කය, එනම්, හමුදා අධිකරන තම සේවාදායකයාට නෛසර්ගිකව ම අගති සහගත ය යන්න, මුලුමනින්ම නොතකා හැරියහ.

ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසන ලද්දේ, වාර්තා වූ පරිදි, හමුදා අධිකරනවල ව්‍යවස්ථානුකූල භාවය පිලිබඳව අභියාචනාධිකරනයේ ද්වි-පුද්ගල විනිසුරු මන්ඩලයක විනිසුරුවරුන් දෙදෙනා එකිනෙකට පරස්පර අදහස් ප‍්‍රකාශ කොට ඒ ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියාට පසුව ය. අභියාචනාධිකරනය, චෝදනා දෙකක් සම්බන්ධයෙන් තමන් වරදකරු කිරීමට එරෙහිව ෆොන්සේකා ගොනු කල අභියාචනයක් විභාගයට ගත්තේය.

පසු ගිය වසරේ ජනවාරියේ ජනාධිපතිවරනයේ දී ෆොන්සේකා අසාර්ථක ලෙස රාජපක්ෂට අභියෝග කිරීමෙන් පසුව දියත් කෙරුනු දේශපාලන පලිගැනීමක කොටසක් ලෙස මිලිටරි පොලීසිය විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලදි. ජනාධිපති බලයෙන් පහ කරනු පිනිස කුමන්ත‍්‍රනයක් සූදානම් කරමින් සිට බවට ඔහුට විරුද්ධව ආන්ඩුව විසින් නගන ලද භයංකර චෝදනා මධ්‍යයේ ඔහු නාවික හමුදා මූලස්ථානයේ හුදකලාවේ රඳවා තබන ලදි.

රාජපක්ෂ බලයෙන් පහ කිරීමේ කුමන්ත‍්‍රනයක ෆොන්සේකා යෙදුනු බව ඔප්පු කරන කිසිදු සාක්ෂ්‍යයක් කිසිදාක ඉදිරිපත් නොකෙරුනි. ඔවුන්ට විරුද්ධව නඩුවක් ගොනු කිරීමට කරුනු නැති බව පොලීසිය පැවසීමෙන් අනතුරුව ෆොන්සේකාගේ සහායක "කුමන්ත‍්‍රනකරුවෝ” අවසානයේ නිදහස් කරන ලදි. එහෙත් ෆොන්සේකා දිගට ම රඳවා තබා ගත් අතර, අවසානයේ මුල දී කල චෝදනාවන්ට කිසිදු සම්බන්ධයක් නැති චෝදනා මත හමුදා අධිකරන දෙකක් මගින් ඔහුට විරුද්ධව රහස්‍ය නඩු විභාග පවත්වන ලදි.

පලමු හමුදා අධිකරනය, හමුදා නිලධාරියකු ලෙස සේවය කරමින් සිටිය දී දේශපාලන කි‍්‍රයාකාරකම්වල නිරත වීම සම්බන්ධයෙන් ෆොන්සේකා වරදකරු කොට ඔහුගේ හමුදා නිලය, ගරු සම්මාන, විශ‍්‍රාම වැටුප සහ සෙසු වරප‍්‍රසාද අහිමි කලේය. දෙවන හමුදා අධිකරනය යුද අවි හා ආම්පන්න මිලදී ගැනීමේ දී දූෂන සිදු කලේය යන චෝදනාව සම්බන්ධයෙන් ඔහුව වරදකරු කොට වසර තුනකට සිරගෙට යැවීය. දෙවන නඩු තීන්දුවෙන් පසුව, ආන්ඩුව ෆොන්සේකා නිශ්ශබ්ද කරනු පිනිස වහාම ඔහුගේ පාර්ලිමේන්තු ආසනය ද ඔහුට අහිමි කලේය.

ෆොන්සේකාගේ නීතිඥයෝ -- රොමේෂ් ද සිල්වා සහ සාලිය පීරිස් -- ශ්‍රේෂ්ඨාධිකරනයේ දී එකිනෙකට සම්බන්ධිත තර්ක දෙකක් ඉදිරිපත් කලහ. පලමුව ඔවුන් තර්ක කලේ, හමුදා අධිකරන චුදිතයාට සාධාරන නඩු විභාගයක් ලබා නොදුන් බවත් ඒවා "ස්වාධීනත්වයේ මූලික අංගවලින්” තොර වූ බවත්ය. දෙවනුව, හමුදා අධිකරන නෛසර්ගිකව ම ෆොන්සේකාට එරෙහිව අගති සහගත වූ බව ඔවුහු පැහැදිලි කලහ.

ජනාධිපති රාජපක්ෂ ජනාධිපතිවරනයේ දී ෆොන්සේකාගේ ප‍්‍රතිවාදියා විය. එහෙත් ප‍්‍රධාන අන දෙන නිලධාරියා ලෙස, ඔහුට හමුදා අධිකරනය කැඳවීමේ බලය තිබුනි. ඔහු සේවයේ යෙදී සිටින හමුදා නිලධාරින් අතරින් එහි සාමාජිකයන් පත් කොට එහි තීන්දු හා එය නියම කල දඬුවම් අනුමත කලේය.

තෝරා ගැනුනු විනිසුරන්ට "හමුදාපතිට මෙන් ම පෙත්සම්කරු සම්බන්ධයෙන් එදිරිවාදිකමක්” පවතින බව ෆොන්සේකාගේ නීතිඥවරු පෙන්වා දුන්හ. හමුදා අධිකරනයේ විනිසුරු මඩුල්ලේ සිටින නිලධාරින්ගෙන් දෙදෙනෙකුට එරෙහිව තමන් විනය කි‍්‍රයාමාර්ග ගෙන තිබූ බව පෙන්වා දෙමින්, එම නඩු විභාගය තුල දී, ෆොන්සේකා එම විනිසුරු මඩුල්ලට අභියෝග කර තිබුනි. තවත් නිලධාරියෙක්, ෆොන්සේකාට දයාවක් නොදක්වන වත්මන් හමුදාපති ජගත් ජයසූරියගේ ඥාතියෙකි.

හමුදා අධිකරන ව්‍යවස්ථාව යටතේ "බලයලත් අධිකරන” බවට තවත් විනිසුරුවරුන් තිදෙනෙකු සමග අග විනිසුරු සිල්වා නිගමනය කලේය. ඔවුහු හමුදා අධිකරනවල නීතියුක්තභාවය "ඔප්පු කරනු” වස් ව්‍යවස්ථාවේ වගන්ති හා මීට පෙර දී තිබූ නඩු තීන්දු උපුටා දැක්වූහ. විනිසුරු සලීම් මර්සූෆ් සෙසු විනිසුරන් සමග එකඟ වූ අතර ම ෆොන්සේකාට සිය පාර්ලිමේන්තු වරප‍්‍රසාද අහිමි කිරීම යුක්තියුක්ත කිරීමෙහි ලා ඔහු තවත් දුර ගියේය.

හමුදා අධිකරන පත් කරන්නේ ජනාධිපති බැවින් ඒවා අගතිගාමී ලෙස පොදුවේ සැලකිය නොහැකි යයි විනිසුරුවරු තර්ක කලහ. එහෙත් මෙම විශේෂ හමුදා අධිකරන සිය සේවාදායකයාට එරෙහිව අගතිගාමී වූ බවට ෆොන්සේකාගේ නීතිඥවරු ඉදිරිපත් කල සාක්ෂ්‍ය ඔවුහු නොතකා හැරියහ. ප‍්‍රධාන තීන්දුව ෆොන්සේකාව නමින් සඳහන් කිරීමක් පවා නොකල අතර එය ආන්ඩුවේ අවශ්‍යතා ආරක්ෂා කල නීතිපති මොහාන් පීරිස් ඉදිරිපත් කල ප‍්‍රකාශ සමග ගැලපුනි.

මිලිටරිය හා පොලීසිය ඇතුලු සෙසු රාජ්‍ය ආයතන මෙන් ම, ශී‍්‍ර ලංකාවේ අධිකරනය ද අතිශයින්ම දේශපාලනීකරනය වී ඇත. 1978 ව්‍යවස්ථාව සකස් කෙරුනේ විධායක ජනාධිපති අත පුලුල් බලතල සංකේන්ද්‍රනය කිරීම පිනිස වූ අතර එසේ කිරීමේ දී එය අධිකරනයේ හා පාර්ලිමේන්තුවේ නාමික ස්වාධීනත්වයට වල කැපීය.

2005 අග දී බලයට පත් වූ අවස්ථාවේ පටන් රාජපක්ෂ වඩවඩා සිය පාලනය පවත්වා ගෙන ගොස් ඇත්තේ, සිය සොහොයුරන්ගෙන්, දේශපාලන හිතමිතුරන්ගෙන් හා ජෙනරාල්වරුන්ගෙන් සමන්විත දේශපාලන-මිලිටරි කට්ටුවක් හරහා ය. රටේ දිගු කාලීනව පැවති සිවිල් යුද්ධයෙන් දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය වීමෙන් මාස 18කටත් පසුව පවා තවමත් බල පවත්වන හදිසි නීතිය යටතේ ඔහුට පුලුල් පොලිස්-රාජ්‍ය බලතල පවතී.

එසේ කිරීම තමන්ට ගැලපෙන කල ව්‍යවස්ථාව හා ශ්‍රේෂ්ඨාධිකරන තීන්දු ද නොතකා හරමින්, රාජපක්ෂ රටේ නෛතික පද්ධතිය වඩවඩා අවඥාසහගත ලෙස නොසලකා හැර ඇත. පසු ගිය මැයි මාසයේ දී ආන්ඩුව කලින් අධිකරන අමාත්‍යංශ යටතේ තිබූ නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිගේ සෘජු පාලනය යටතට ගෙන ආවේය. රාජපක්ෂ නීතිපති ලෙස පීරිස් තෝරාගත්තේය. පීරිස් කලින් ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශක ලෙස කි‍්‍රයා කල අතර ජනාධිපතිගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග සමීපව වැඩ කලේය.

රාජපක්ෂ සහ ෆොන්සේකා අතර ගැටුම පාලක ප‍්‍රභූව තුල පවතින උපායාත්මක මතභේදවල නිෂ්පාදිතයකි. හමුදා ප‍්‍රධානියා ලෙස, ෆොන්සේකා එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂගේ යලි ඇරඹූ යුද්ධය රුදුරු ලෙස කි‍්‍රයාත්මක කල අතර එහෙත් එල්ටීටීඊයේ පරාජයෙන් අනතුරුව ජනාධිපති සමග විරසක විය. මොවුන් දෙදෙනාම යුද අපරාධ ද මානව හිමිකම් අමුඅමුවේ උල්ලංඝනය කිරීම ද සම්බන්ධයෙන් වගකිව යුතුය.

මැතිවරන ව්‍යාපාරය තුල දී, රාජපක්ෂ සහ ෆොන්සේකා යන දෙදෙනාම වෙලඳ පොල-හිතැති න්‍යාය පත‍්‍ර ඉදිරිපත් කලහ. ෆොන්සේකා, කෙසේවෙතත්, එක්සත් ජනපදය සමග පැවති සම්ප‍්‍රදායික සමීප සබඳතාවලින් ඈත්ව කලාපය තුල එහි ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වන චීනය දෙසට යොමු වීමේ රාජපක්ෂගේ පිලිවෙත හේතුකොටගෙන අසතුටට පත් පාලක ප‍්‍රභූවේ කොටස් වෙනුවෙන් කතා කලේය. යුද්ධය තුල දී, ආන්ඩුව බෙයිජිනයේ මූල්‍ය හා මිලිටරි සහයෝගය මත බොහෝ සෙයින් වාරු වූ අතර එයට හිලව් වසයෙන් චීනයට විවිධාකාර සහන ලබා දුනි.

ආන්ඩුව විසින් සිවිල් උසාවිවල ගොනු කරන ලද තවත් චෝදනාවලට ද ෆොන්සේකා මුහුන දී සිටී. අවි ආයුධ මිලදී ගැනීමේ දී ටෙන්ඩර් විධිවිධාන උල්ලංඝනය කිරීම සහ හමුදාව හැර ගිය අයට රැකවරන සැලසීම ආදිය මේවාට ඇතුලත් ය. තවත් ප‍්‍රමුඛ නඩුවක දී, සාවද්‍ය චෝදනා ඉදිරිපත් කිරීම මගින් වාර්ගික හා ආන්ඩු විරෝධී මනෝගතීන් ඇවිලවීමට ප‍්‍රයත්න දැරුවේ යයි ෆොන්සේකාට චෝදනා කෙරී ඇත.

මෙම අවසන් නඩුව පදනම් වී ඇත්තේ ෆොන්සේකා සන්ඩේ ලීඩර් පත‍්‍රයට දුන් සම්මුඛ සාකච්ඡාවක් මත ය. එහි දී ඔහු යටත් වන එල්ටීටීඊ නායකයන් මරා දමන ලෙස මිලිටරියට අන කලේ යයි ආරක්ෂක ලේකම් රාජපක්ෂට චෝදනා කලේය. ෆොන්සේකා එම ප‍්‍රකාශ පසුව ප‍්‍රතික්ෂේපක කල නමුත්, බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන පුවත්පත් ගනනාවක් එම සිද්ධිය සිදු වූ අවස්ථාවේ දී ඊට සමාන චෝදනා සිදු කලේය. ෆොන්සේකා නිහඬ කිරීම සම්බන්ධයෙන් ආන්ඩුව මෙතරම් අධිෂ්ඨාන සහගතව ඇත්තේ මන්ද යන වග මෙම නඩුව මගින් අවධාරනය කෙරෙයි. ආන්ඩුව හා මිලිටරිය වගකිව යුතු සියලු යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුට ඉතා සමීප දැනුවත් භාවයක් ඇත.

මිලිටරි කැලෑ උසාවියකට වඩා වැඩි යමක් නොවන ආයතනයක් අනුමත කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට තව දුරටත් වල කපයි. රාජපක්ෂ යටතේ මර්දනකාරී යාන්ත‍්‍රනයක වර්ධනය, මූලිකව ඉලක්ක කෙරී ඇත්තේ ෆොන්සේකාට හා ඔහුගේ අනුගාමිකයන්ට එරෙහිව නොව, ආන්ඩුවේ ආර්ථික කප්පාදු පිලිවෙත් මගින් දැඩි ලෙස පහර කන වැඩ කරන ජනතාවගෙන් මතු වන විරුද්ධවාදී ව්‍යාපාරවලට මුහුන දෙනු සඳහා සූදානමක් ලෙස ය.