උතුරු අප‍්‍රිකාවේ හා මැද පෙරදිග නොසංසුන්තාවය පැතිර යාමේ බියෙන්, ලෝක තෙල් මිල නැඟී කොටස් මිල කඩා හැලෙයි

World oil prices soar, stocks tumble on fears of widening unrest in North Africa and Middle East

By Barry Grey, 23 February 2010

ලිබියාවේ සමාජ කලබැගෑනිය නිසා පෙට්රෝලියම් අපනයනය කඩාකප්පල්වී බහරේන්හි හා යේමනයේ පැවැත්වෙන විරෝධතා සවුදි අරාබියට ද පැතිරයාමේ තර්ජනය හමුවේ, ගෝලීය කොටස් වටිනාකම් 22දා දෙවන දිනටත් පුලූල් වශයෙන් පහත වැටුනු අතර බොර තෙල් මිල ඉහල ගියේය.

ලිබියාව තුල ක‍්‍රියාත්මක වන සියලූ ප‍්‍රධාන බටහිර තෙල් සමාගම් 22දා වන විට තම කටයුතු අත්හිටුවීම හෝ කල් දැමීම නිසා දිනකට බැරල් මිලියන 1.6ක් වන රටේ සාමාන්‍ය නිමැවුම සියයට 8කටත් වඩා පහත වැටුනු බව වාර්තා විය. ඊට අමතරව ලිබියාවේ වරායවල් වසා දැමුනි.

ලිබියාවේ තත්වය පිලිබඳ නිවැරදි තොරතුරු හිගය. ඊට හේතුව මුවමර් ගඩාෆි තන්ත‍්‍රය විදේශ වාර්තාකරුවන්ට තහංචි දැමීමත් අන්තර් ජාල හා ජංගම දුරකථාන පහසුකම් කපාහැරීමත් ය. කෙසේ වෙතත් කම්කරුවන්ගේ වැඩ වර්ජන හා ස්වේච්ඡාවෙන් නිෂ්පාදනය අවහිර කිරීමත් සිදුවන බවට ඇඟවුම් පලවී තිබේ. ලිබියාවේ නොෆූරා තෙල් බිම්වල නිෂ්පාදනය, වැඩ වර්ජන නිසා ඇනහිට තිබෙන බව 21දා අල් ජසීරා වාර්තා කලේය.

පාදක තෙල් මිල 21 හා 22 දිනවල තෙවසරකට පසු වාර්තාවූ ඉහලම මට්ටමට නැඟුනි. යුරෝපීය පාදක වර්ගයේ බ්‍රෙන්ට් බොර තෙල් මිල ඩොලර් 105.74 ක මට්ටමට ඩොලර් 3.22න් හෝ සියයට 3.2න් වැඩිවිය. එක්සත් ජනපදයේ තෙල් බැරලයක මිල 21දා සියයට 6න් ද 22දා සියයට 7න් ද වැඩිවිය.

දැනටමත් පිම්මේ වැඩිවන ආහාර හා භාන්ඩ මිල ද වර්ධනය වන වෙලඳ හා මූල්‍ය යුද්ධ ද උතුරු ඇමරිකාවේ, යුරෝපයේ හා ආසියාවේ දියුනු කාර්මික ආර්ථිකයන් බොහොමයක දිගට පවතින විරැකියාව ද යන සියල්ල හමුවේ නව තෙල් බුබුලක් හට ගැනීමෙන් එක්වරම ආර්ථික හැකිලීමේ හා උද්ධමනයේ තර්ජනය අලුත් වටයකින් ගෙන එයි. කුමක් වුවත් එහි ප‍්‍රතිපලය ප‍්‍රධාන බැංකු කඩාවැටීමේ හා රාජ්‍ය නය පැහැර හැරීමේ විභවය ද සමාජ නොසංසුන්කම පැතිර යාම ද වනු ඇත.

මේ වසරේ ග‍්‍රීෂ්මයේ පැමිනෙන වාහන ධාවනයේ උපරිම කාලයෙහිදී ඉන්ධන පිරවුම්හලේ ගැලූමක මිල ඩොලර් 5 දක්වා වැඩිවිය හැකි බවට එක්සත් ජනපදයේ කර්මාන්ත විශ්ලේෂකයෙකු උපුටා දක්වමින් යූඑස්ඒ ටුඩේ 22දා වාර්තා කලේය. එය තෙල් මිල සර්පිලය තුල සමපේක්ෂනයේ ක‍්‍රියාකලාපය ගැන සඳහන් කලේය. "සමපේක්ෂකයෝ දැන් තෙල් ගමන් කරවති. කපු, කෝපි හා බඩ ඉරිඟු යන දෑවල අනාගත තොග මිල ඉහල නංවා ලාභ ඉපැයීමෙන් පසුව වෙලඳුන්, බලශක්ති වෙලඳපොල සූරාකෑමට පටන්ගෙන තිබේ.’’ ඩීටීඑන් යන බලශක්ති ගවේෂන සමාගමේ විශ්ලේෂක ඩාරින් නිව්සම්ගේ ප‍්‍රකාශයක් එහි උපුටා දැක්වෙයි. "මුදල් ගැලීම මෙම වෙලඳපොලවල දිශාව, වේගය හා අස්ථාවරත්වය තුල දැවැන්ත ක‍්‍රියාකලාපයක් ඉටු කරයි.’’

මිරායි ඇසෙට් සිකියුරිටීස්හි ප‍්‍රධාන අර්ථශාස්ත‍්‍රඥ බිල් බෙල්කියර් බ්ලූම්බර්ග් රූපවාහිනියේ පෙනී සිටිමින් "විශේෂයෙන්ම ඔබගේ කනස්සල්ලට හේතුවනු ඇත්තේ එය තෙල් මිල කෙරෙහි බලපෑ හැකි බැවිනි. තෙල් මිල (බැරලයක්) තවත් ඩොලර් 20න් හෝ 30න් ඉහල ගියහොත් ඔබ යලි ඇතුල් වන්නේ ගෝලීය පසුබෑමකටය.’’

ජනාධිපතිගේ දිනය වන 21දා නිවාඩු දිනයක් බැවින් එක්සත් ජනපදයේ කොටස් වෙලඳපොල වසා තිබුනු අතර 22දා විවෘත කරන විට කොටස් වටිනාකම් පහතට ලුහුටා ගියේය. ඒ වන විටත් යුරෝපයේ හා ආසියාවේ වෙලඳපොලවල් හැකිලී තිබුනි. ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ඒකක 178ක් හෙවත් සියයට 1.4න් ද එස්ඇන්ඩ්පී 500 ඒකක 27ක් හෙවත් සියයට 2න් ද නැස්ඩැක් කොම්පොසිට් දර්ශකය තවත් නරක ලෙස ඒකක 77න් හෙවත් සියයට 2.7න් ද පහත වැටුනි.

21දා යුරෝපීය කොටස් සියයට එකකට වඩා පහත ගියේය. ඉතාලියානු දර්ශකය වඩාත් නරක තත්වයට මුහුන පාමින් සියයට 3.6කින් පසුබෑවේය. එය පිලිබිඹු කලේ ඉතාලිය හා ලිබියාව අතර ඇති සමීප ආර්ථික බැඳීම්ය. 22දා වන විට ප‍්‍රන්සයේ කැක් දර්ශකය තවත් සියයට 1.2න් ද ඉතාලියේ එෆ්ටීඑස්ඊ මිබ් දර්ශකය තවත් සියයට 1.1න් ද වැටී ගියේය. යුරෝපයේ ස්ටොක්ස් දර්ශකය සියයට 0.6ක වැටීමක් සටහන් කලේය.

ආසියානු කොටස් අඟහරුවාදා දිනය තුල ද පහල ගියේය. ජපාන නිකේ දර්ශකය ඒකක 225 හෙවත් සියයට 1.8න් ද හොංකොං හැන්සෙන් සියයට 2.1න් ද චීනයේ ෂැන්හයි දර්ෂකය සියයට 2.6න්ද වැටුනි.

ලෝකයේ 17 වන විශාලතම තෙල් නිෂ්පාදකයා වන ලිබියාව දිනක ගෝලීය නිමැවුමෙන් සියයට 2කට වග කියයි. එය අප‍්‍රිකාවේ තුන්වන විශාලම නිෂ්පාදකයා වුවත් මහාද්වීපයේ ඇතැයි සොයාගෙන තිබෙන තෙල් නිධිවලින් වැඩිම ප‍්‍රමානය ඇති රටයි.

ලිබියාවේ නිර්යාත සැලකිය යුතු තරමකින් අවහිර වුවත් එය ආර්ථික වශයෙන් වැදගත්වන නමුත් වෙලඳපොලේ තෙල් මිල කඩි මුඩියේ නැඟීමට යටින් ඇත්තේ, ලිබියාව වඩාත් ප‍්‍රධාන අපනයන තෙල් නිෂ්පාදකයා වන සවුදි අරාබියේ සමාජ කලබැගෑනි පිලිබඳ පෙර නිමිත්තක් වේ යයි පවත්නා භීතියයි. දැනට ලෝකයේ දිනක තෙල් පාරිභෝජනය වන බැරල් මිලියන 87.5න් සියයට 10කට පමනම වග කියන්නේ දිනකට තෙල් බැරල් මිලියන 8.4ක් නිෂ්පාදනය කරන සවුදියයි. එය දිනකට තෙල් බැරල් මිලියන 6.5ක් පිටරට යවයි.

සවුදි තන්ත‍්‍රය ලෝක තෙල් වෙලඳපොල හැසිරවීමේදී ඉටුකරන ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපය එහි අනුග‍්‍රහයෙන් 22දා පැවති තෙල් මිල අස්ථාවරත්වය පාලනය කිරීමේ මාධ්‍යයන් සොයා බැලීමට කැඳවූ සමුලුවෙන් පෙන්නුම් කරයි. එක්සත් ජනපදය ද ඇතුලු ජාතීන් 90කට වැඩි ගනනකගේ නියෝජිතයන් සහභාගීවූ රැස්වීමේදී සවුදි තෙල් ඇමති අලි අල් නයිමි, ඔපෙක් සංවිධානය සැපයුම කඩාකප්පල් වීමකින් ඇතිවිය හැකි ඕනෑම හිඟයකට මුහුන දීමට සූදානම් බවට සහතික විය.

විශේෂයෙන්ම කුඩා ප‍්‍රමානයේ තෙල් නිෂ්පාදකයෙකු ද වන බහරේන් හා යේමනය තුල පැනනැඟී තිබෙන විරෝධතා නිසා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තෙල් නිෂ්පාදනය කරන ආරක්ෂක කලාපය තුලට මෙම විප්ලවවාදී රැල්ල පැතිරයාම පිලිබඳ බිය වැඩෙමින් තිබේ. ගල්ෆ් ප‍්‍රදේශයේ දිවයින් ජාතියක් වන බහරේනය සවුදි අරාබියේ නැගෙනහිර දෙසට සමීපව පිහිටා ඇත. යේමනයේ උතුරු දේශ සීමාව වැටී ඇත්තේ සවුදියට මායිම්වය. සුන්නි ෂීක්වරු හා ඔවුන්ගේ ඇමරිකානු අනුග‍්‍රාහකයින් විශේෂයෙන්ම කනස්සල්ලට පත්ව සිටින්නේ, යේමනයේ පවතින පොදු සමාජ නොසංසුන්තාව, එරට උතුරේ දැනට පැනනැඟී තිබෙන යේමන් ෂියාවරුන්ගේ බෙදුම්වාදී කැරලිකාරිත්වය සමඟ ඒකාබද්ධ වීමේ හැකියාව පිලිබඳවය.

ඩේටා මොනිටර්හි පරියේෂන අධ්‍යක්ෂක වරයා වන නීල් ඇට්කින්සන්ගෙන් උපුටා දැක්වූ වෝල්ස්ටී‍්‍රට් ජර්නලය 22දා මෙසේ ලිවීය. "ගඩාෆි තන්ත‍්‍රය පෙරලා දමුනු ලැබුව ද මධ්‍ය කාලයේදී තෙල් නිෂ්පාදනය බරපතල පසුබෑමකට ලක්වනු නැත. මක්නිසා ද යත්, එය එරට ජීවනාලිය වන බැවින්ය. කෙටි කාලයේදී තෙල් වෙලඳපොල අසහනයට පත්වීම තේරුම්ගත හැකිය. එහෙත් ලිබියන් කථාන්තරය පිටුපස සැඟවී ඇති සැබෑ බිය සවුදි අරාබිය පිලිබඳවයි.” කැමරන් හැනෝවර් යන තෙල් අවදානම කලමනාකරන ආයතනයෙහි විශ්ලේෂක පීටර් බියුටෙල් ඊටත් වඩා නිශ්චිත විය. සීඑන්එන් මනි.කොම් 22දා ඔහුගෙන් මෙසේ උපුටා දැක්වීය. දැන් පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ සමස්ත කලාපයම ගිනිගෙන ඇති බවකි. එය ප‍්‍රදේශයේ අනෙකුත් කොටස් කරාද පැතිරයා හැකි බව පෙනෙන්නට තිබේ... මෙය එන්ට එන්ටම නරක අතට හැරෙමින් තිබේ. එය සවුදි අරාබියට පැතියා හැකිය. ලොකුම බිය එයයි."

වෙලඳපොලවල් තිගැස්මට පත්ව තිබෙන්නේ "කලාපීය විප්ලවය.... තුල වඩාත් රැඩිකල් හා අන්තවාදී කොටස් පෙරමුනට එනු දැකගත හැකිව තිබීමෙන්" යයි ඔහු වැඩිදුරටත් පැවසීය.