විප්ලවවාදී සමාජවාදී ක‍්‍රියාමාර්ගයකින් පකිස්ථාන කම්කරුවන් සන්නද්ධ කරනු

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පකිස්ථාන ශාඛාව ගොඩනඟනු!

Arm Pakistani workers with a revolutionary socialist program - Build the Pakistani section of the International Committee of the Fourth International!

Statemant of Marxist Voice, 3 January 2011

පලමුවන කොටස

මාක්ස්වාදී හඬ ප‍්‍රකාශය

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ඉදිරිදර්ශනය සමඟ එකඟත්වය පලකරන හා එය සමඟ එක්ව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක ගොඩනැඟීමට එක්වන, පකිස්ථාන කන්ඩායමක් වන මාක්ස්වාදී හඬ ප‍්‍රකාශනයේ පලමුවන කොටස ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙහි පලකරනු ලබයි.

මාක්ස්වාදී හඬ ප‍්‍රකාශනය, පකිස්ථාන හා දකුනු ආසියාවේ කම්කරුවන් සඳහා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් විස්තාරනය කිරීමෙහිලා වැදගත් ඉදිරි පියවරක් නියෝජනය කරයි. දකුනු ආසියාවේ කම්කරු පන්තියෙහි අත්‍යවශ්‍ය මූලෝපායික අත්දැකීම් පිලිබඳ විශ්ලේෂනයක් මත පදනම් වෙමින් එය, පකිස්ථාන කම්කරුවන් සිය අරගල නොනවතින විප්ලවයේ මූලෝපාය මත පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි.

ලෝසවෙඅ අපගේ පකිස්ථාන පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මාක්ස්වාදී හඬ ප‍්‍රකාශය අධ්‍යයනය කරමින් ද එය බෙදාහරිමින් ද ඔබගේ අදහස් හා ප‍්‍රශ්න අපවෙත ඉදිරිපත් කරමින්, පකිස්ථාන කම්කරුවන්ගේ විප්ලවවාදී සමාජවාදී පක්ෂයක් ගොඩනැඟීම සඳහා ඉදිරිදර්ශනයක් හා ක‍්‍රියාමාර්ගයක් විස්තාරනය කිරීමට දායක වන ලෙසයි.

දෙවන හා තෙවන කොටස් ඉදිරියේදී පලකරන්නෙමු.

පකිස්ථානය උග‍්‍ර සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයක් තුලින් ගමන් කරමින් සිටියි. මෙම අර්බුදය, බිලියන ගනනක සාමාන්‍ය ජනතාවගේ ජීවිත මත කියා නිමකල නොහැකි ව්‍යසනයක් ඇතිකරමින් ගෝලීය පරිමානයකින් දිහැරෙමින් තිබෙන ලෝක ධනේශ්වර අර්බුදයේ අවියෝජනීය කොටසකි. ලෝක ධනේශ්වර පද්ධතිය, 20වන සියවසේ ලෝක යුද්ධ දෙකක්, ෆැසිස්ට්වාදය, හා නිමක් නැති ප‍්‍රාදේශීය මිලිටරි ගැටුම් හා මෘග පොලිස්-මිලිටරි ආඥාදායකත්වයන් මාලාවක භීෂනය නිර්මානය කල නොවිසඳිය හැකි එම පරස්පර විරෝධයන්ගෙන්ම දෙදරුම්කා තිබේ. මූලික ප‍්‍රතිවිරෝධයන්පවතින්නේ, ගෝලීය ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, නිෂ්පාදන බලවේගයන්ගේ පුද්ගලික අයිතිය හා සමාජීයවූ නිෂ්පාදනය අතරත් ය. තවත් ව්‍යසනකාරී ලෝක යුද්ධයක තර්ජනය පමනක් නොව, කර්මාන්තයේ හා මූල්‍යයේ සමාජීයකරනය, ආර්ථික ජීවිතය ගෝලීයකරනය වීම හා ලෝක කම්කරු පන්තියේ සමාජ බලය යන ධනවාදය පෙරලාදැමීම සඳහා වන වෛෂයික කොන්දේසි ද මෙම ප‍්‍රතිවිරෝධයන් තුලින් හිස ඔසවයි.

මෙම ප‍්‍රකාශය සමඟින් මාක්ස්වාදී හඬ, 1917 ඔක්තෝබර් විප්ලවයේ සම නායකයාවූ ද අවසානයේ සෝවියට් සංඟමය තුල ධනවාදය පුනස්ථාපනය කල, සෝවියට් කම්කරු පන්තිය වෙතින් බලය පැහැරගත්, පරපුටු නිලධරයට එරෙහි අරගලයේ ප‍්‍රමුඛයා වූ ද ලියොන් ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) පකිස්ථාන ශාඛාව ගොඩනැංවීමේ අරගලයට ආරම්භකත්වය ගනියි.

ගෝලීය ධනවාදයේ බලපෑම හමුවේ කම්කරු පන්තිය අරගල කරා තල්ලුවෙමින් සිටින නමුත් ක්ෂනිකව ඔවුන් සෑම තැනකදීම ධනේශ්වර ලාභ පද්ධතිිය ආරක්ෂා කරමින් කම්කරු පන්තිය ජාතික රේඛා ඔස්සේ බෙදීම සඳහා කැපවීගත් ස්ටැලින්වාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ පතුරු, හා වෘත්තීය සමිති වැනි කලින් කම්කරු පන්තියේ නමින් පෙනීසිටි සංවිධානවලට එරෙහිව පිහිටන්නේය යන කාරනය මඟින් සලකුනු කරන්නේ, හජාජාක ගොඩනැඟීමේ හදිසි භාවයයි.

63 වසරක "නිදහස්” ධනේශ්වර පාලනය: සමාජ ව්‍යසනයේ ශේෂ පත‍්‍රය

63 වසරක නිදහස් ධනේශ්වර පාලනයෙන් පසුව පකිස්ථානය අංඟලක්ෂිත වන්නේ, විනාශකාරී දරිද්‍රතාවය ද සමාජ කාලකන්නිකම හා අසමානතාවය ද ගරාවැටෙමින් තිබෙන යටිතල ව්‍යුහය ද ජාතික, වාර්ගික හා කන්ඩායමික ගැටුම් ද එක්සත් ජනපද අනුග‍්‍රහය යටතේ මිලිටරිය විසින් දිගටම දේශපාලන ආධිපත්‍යය දැරීම ද මඟින්ය.

පකිස්ථානයේ මිලියන 45කට වැඩි ජනතාවක් ජීවත් වන්නේ නිල දරිද්‍රතා යැපීම් මට්ටමට පහතින්ය. ජනගහනයෙන් තුනෙන් දෙකක්ම පාහේ දිනකට එක්සත් ජනපද ඩොලර් දෙකකට අඩු ආදායමක් සහිතව ජීවත්වෙති. එක්සත් ජාතීන්ට අනුව, අවුරුදු පහට අඩු පකිස්ථාන ලමුන්ගෙන් සියයට 60ක් සමාන්‍ය තරමින් හෝ දරුනු ලෙසින් ඌන පෝෂිතය. ඒ අතරතුර, ව්‍යාපාරිකයින් ද ඉඩම්හිමියන් ද ඉහල නිලධාරීන් ද හමුදා නිලධාරීන් හා ඔවුන්ගේ ව්‍යාපාරික සගයින්ගෙන් සැදුම්ලත් කෑදර කුඩා පාලක පන්තිය, විදේශ ප‍්‍රාග්ධනය සමඟ මුසුවෙමින් රටේ ධනය කොල්ලකති.

දුගීභාවයත් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට රජයේ නොසමත්කමත් නිසා කෝටි ගනනක් ජනතාවට පාසැල්, සෞඛ්‍ය, සනීපාරක්ෂක, හෝ විදුලිබල පහසුකම් නොලැබී ඇත. විදුලිබල ධාරිතාවයේ වැටීම සමාජආර්ථික ජීවිතය දරුනු ලෙස බිඳදමා තිබේ. අධ්‍යාපනය හා සෞඛ්‍යය පහසුකම් විශේෂිතවම නොසලකා හැර ඇති අතර දුගී කොටස් පවා පුද්ගලික ආයතන හා ඉස්ලාමීය මූලධර්මවාදීන් විසින් පවත්වාගෙන යන පුන්‍යායතන හා ආගමික පාසැල් වෙත යොමුකරවා ඇත. අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය යන ක්ෂේත‍්‍ර දෙකටම රජය වැයකරන්නේ රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 4කටත් අඩු මුදල් ප‍්‍රමානයකි.

ගම්බද පවතින මූලික පහසුකම් හිඟය හා ගැමි ජනතාවට ජීවන ක‍්‍රමය පවත්වාගෙන යාමේ දුෂ්කරතාවය නිසා ගම්බද සිට නගර කරා සංක‍්‍රමනය වැඩිවී තිබේ. ගම්බද ජනගහනයෙන් සියයට හැත්තෑවකට ඉඩම් නොමැති අතර වැඩකරන්නේ අඳගොවීන්, බද්දට ඉඩම් වගාකරන්නන් හා කෘෂිකාර්මික කම්කරුවන් ලෙසය. නාගරික ජනකාය ද මූලික පොදු පහසුකම් හා සමාජ සේවා හිඟයට ද විරැකියාවට ද මුහුන දී සිටිති.

මහජනතාවගේ ගැටලුවලට ප‍්‍රගතිශීලී විසඳුමක් දීමට අපොහොසත් පකිස්ථාන ධනේශ්වරය වඩ වඩාත් නැඹුරුවී ඇත්තේ, ඉන්දියානු විරෝධී ස්වෝත්තමවාදය, ඉස්ලාම් මූලධර්මවාදය හා වාර්ගික ජාතිකවාදය ඔස්සේ වැඩෙන සමාජ නොසංසුන්තාවය ප‍්‍රතිගාමී ඇලමංවලට හැරවීමටත් කම්කරු පන්තිය බෙදීමටත් ය. පකිස්ථානය වාර්ගික වෛරයේත් ආගමික ප‍්‍රතිගාමිත්වයේත් පෝෂකාගාරය බවට පත්ව තිබේ.

පකිස්ථානය, දකුනු ආසියාවේ මුස්ලිම්වරුන් සඳහා ආරක්ෂාව හා රැකවරනය සපයන මුස්ලිම් ජාතික නිජභූමියක්ය යන කියාපෑම අමූලික ප්‍රෝඩාවක් බව සනාථ කර තිබේ. පකිස්ථානය එහි ගමන්මගෙහි වැඩි පංගුවක් ගතකොට ඇත්තේ යුද්ධයේ හෝ යුද්ධයක් ඔන්න මෙන්න කියා පවතින තත්වයකය. එසේම එරට ජනගහනයෙන් වැඩි පංගුවක් ජීවත් වන්නේ ආන්තික දුප්පත්කමේ ගිලෙමින් නොවේනම් උග‍්‍ර ආර්ථික අනාරක්ෂිත බවක් හමුවේය.

ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද ආක‍්‍රමනය හා වාඩිලෑම සඳහා පකිස්ථාන පාලක පන්තිය දුන් කාර්ය සාධන සහයෝගයේ සෘජු ප‍්‍රතිවිපාකය වී ඇත්තේ, 2004 වසරේ පටන් එරට මිලිටරිය වයඹදිග පකිස්ථානයේ එන්ට එන්ටම පුලුල් වන භූමිභාගයන් තුල සිවිල් යුද්ධයක පැටලී සිටීමයි. ඒ සඳහා මිලිටරිය සතු මුලු යුද ශක්තියත් එක දිගට බෝම්බ හෙලීම, අතුරුදහන්කිරීම් හා සමූහ ඝාතන ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රම යොදාගනියි. ඇෆ්ගනිස්ථානයේ එකසත් ජනපද වාඩිලෑමට විරෝධය පාන අය ඝාතනය කිරීමට ඩ්‍රෝන් මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමටත් එහිදී විශාල සිවිල් ජනතාවක් මරාදැමීමටත් වොෂින්ටනයට නිදහස් වරපත‍්‍රයක් හිමිව තිබේ.

ඇෆ්පැක් (ඇෆ්ගනිස්ථාන-පකිස්ථාන) යුද්ධය වනාහි අන් කිසිවක් නොව දෙරටෙහි ම ජනතාවන්ට විනාශයක් බව සනාථවී තිබෙන වොෂින්ටනය හා පකිස්ථානයේ පාලක පන්තිය විසින් දශක තුනක් තිස්සේ ගෙනගිය ඇඟිලි ගැසීමේ අවසන් අදියරයි. මුල් අවධීන්හි දී මෙන්ම වර්තමාන යුද්ධය ද ඉස්ලාමීය මූලධර්මවාදය පෝෂනය කරමින් පකිස්ථානයේ දේශපාලනය හා රාජ්‍ය පාලනය කෙරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හස්තය ද මිලිටරියේ ගලග‍්‍රහනය ද ශක්තිමත් කර ඇත. පකිස්ථානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගබ්සාවකට බඳුන්විය. එක්සත් ජනපදයේ මුක්කුව ලත් මිලිටරිය සෘජු ලෙසම එරට ජීවිත කාලයෙන් අඩක්ම පාලනය කර ඇත. එහෙත් ඊනියා සිවිල් පාලනය යටතේ වුවත් මිලිටරිය විශාල බලයක් දැරීය. අර්බුද ග‍්‍රස්ත පකිස්ථාන ධනේශ්වරය, සිය දේපල හා පකිස්ථාන රාජ්‍යයේ භෞමික අඛන්ඩතාවය රැකගැනීම පිනිස මිලිටරිය මත විශ්වාසය තැබූහ. ඔවුන්, ඉන්දියාව සමඟ වූ සිය ප‍්‍රතිගාමී භූ දේශපාලනික එදිරිවාදිකම් හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ ඇති සිය කුලීකාර සන්ධානය පවත්වා ගත්තේ මිලිටරිය මත පදනම් වෙමින්ය.

වත්මන් අර්බුදය

ජාතික, වාර්ගික ඝර්ෂන හා ප‍්‍රගාඪ පන්ති ප‍්‍රතිවිරෝධතා මඟින් දිගු කලක් තිස්සේ පලුදුවී ඇති පකිස්ථානය, දශකයක් පුරා ඇෆ්ගනිස්ථානය යටත්කර ගැනීම සඳහා වන එක්සත් ජනපදයේ සාපරාධී තල්ලුව මඟින් තවදුරටත් අස්ථාවරත්වයට පත්කොට තිබේ. 2008 වසරාවසානයේ පැනනැඟි ගෝලීය ධනේශ්වර අර්බුදයත් සමඟ ලෝක වෙලඳපොල සඳහා ලාභ ශ‍්‍රම සම්පාදකයින් ලෙස රටේ දුගී කම්කරුවන් බිල්ලට දෙමින් විදේශ ආයෝජකයින් ආකර්ශනය කරගැනීමේ පකිස්ථාන ධනේශ්වරයේ සිහිනය බොඳවී ගියේය.

මුෂාරෆ් ආඥාදායකත්වය බලයෙන් පහවීමත් සමඟ වසර දෙක හමාරකට පෙර පාලනයේ සුක්කානම අතට ගත් පකිස්ථාන මහජන පක්ෂයේ නායකත්වයෙන් යුත් හවුල් ආන්ඩුව කෙරේ පැවති මහජන උද්යෝගය වේගයෙන් පහව ගොස් තිබේ.

මහජනතාවගේ අපේක්ෂා හා බලාපොරොත්තු වලට පටහැනිව පකිස්ථාන මහජන පක්ෂය හෙවත් පීපීපී හවුල් ආන්ඩුව ඊට කලින් පැවති මිලිටරි තන්ත‍්‍රයේ ප‍්‍රතිපත්ති වඩාත් දැඩිලෙස ක‍්‍රියාවට නඟමින් සිටියි. එය ඇෆ්ගන් යුද්ධයට ප‍්‍රමුඛ ලෙසින් සහයෝගය දුන් අතර පුද්ගලීකරනය හා අනෙකුත් වෙලඳපොල ගැති "ප‍්‍රතිසංස්කරන” ඉදිරියට ගෙන යමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩසටහන් ක‍්‍රියාවට නැඟීය. ආන්ඩුව යලි යලිත් මිලිටරි වියදම් ඉහල නැංවීය.

වොෂින්ටනයේ සහාය හා දිරිගැන්වීම් හමුවේ දැන්, ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ගේ හිටපු දෙවෙනියාවූ ජෙනරාල් කියානිගේ නායකත්වයෙන් යුත් මිලිටරිය, සිය දේශපාලන අධිකාරය තරකරගෙන ඇත. මෑත සතිවල දී ජනාධිපති සර්දාරි හා අගමැති ගිලානි, කියානිගේ හමුදාපති ධුර කාලය වසර තුනකින් දීර්ග කරමින් හමුදාවේ බලපෑම වර්ධනය වීමට ඉඩ සැලසූ අතර අනෙක් අතට ආන්ඩුව බලයෙන් පහකිරීමේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත‍්‍රන පිලිබඳව යලි යලිත් අනතුරු ඇඟවූහ. නිව්යෝර්ක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් පුවත්පත්, පකිස්ථාන ආන්ඩුවේ "ප‍්‍රතිසංවිධානයක්” වෙනුවෙන් සක‍්‍රීය ලෙස මිලිටරිය සමඟ එක්ව කටයුතු කිරීම පිලිබඳව එක්සත් ජනපදයේ සැලකිල්ල යොමුවී ඇතිබව වාර්තා කර තිබේ.

මෙවර ග‍්‍රීෂ්ම සෘතුවේදී ඉන්දු ගංගා නිම්නයේ ඇතිවූ ගංවතුර තත්වය, පකිස්ථාන ධනේශ්වරයේ දූෂිත භාවයත්, නොතැකීම හා අදක්ෂකම පිලිබඳ ඇඟ කිලිපොලායන නිදසුනක් සැපයීය. ගංවතුර ඇතිවී දෙමසක් ගතවන තුරුත්, විපතට පත් මිලියන දෙකකට වැඩි ජනතාවකට ආන්ඩුවේ සහන සැලසී නොතිබුනි.

ගංවතුර විනාශය බොහෝ කොටම මිනිසාගේ නිර්මානයක් විය. මිලිටරි පිරිවැය සඳහාවන ප‍්‍රමුඛත්වය නිසා තර්කානුකූල හා යෝග්‍ය ආකරයකට ආර්ථිකය සංවර්ධනය කිරීමට පාලක පැලැන්තිය දක්වන නොහැකියාවේ ප‍්‍රතිපලයක් ලෙස ගංවතුර පාලනය කිරීමේ යටතල පහසුකම් ඛේදනීය ලෙස අප‍්‍රමානවත් වූවා පමනක් නොවේ. එක්සත් ජනපද හා පකිස්ථාන හමුදාවන්හි ද ඔවුන්ගේ ඇෆ්පැක් යුද්ධයේ ද විවිධ මහා ඉඩම් හිමියන්ගේ හා ඔවුන්ගේ දේශපාලන හෙංචයියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සකස්කල අමුනු ජාලය නිසා මිලියන ගනනක් අනාථවී තිබේ.

ගංවතුර නිසා ඒවන විටත් උග‍්‍ර අතට හැරී තිබුනු ආර්ථික අර්බුදය තවත් ඔද්දල් කර තිබේ. පකිස්ථාන ධනේශ්වරය මෙම සියලු බර කම්කරුවන් හා පීඩිතයින්ගේ කරමත පැටවීමට අදිටන් කරගෙන සිටියි. මෑත වසරවලදී ජීවන තත්වයන්, ඉහල නඟින ආහාර හා ඉන්ධන මිලගනන් හේතුකොටගෙන විනාශයට පත්ව තිබේ. එහෙත් ආන්ඩුව හා ජාමූඅ අවධාරනය කරන්නේ, වැඩිවන අයවැය පරතරය පියවීම පිනිස, මෙම මුදල් වර්ෂය තුල විදුලි බලය, තෙල් හා ස්වාභාවික ගෑස් සඳහා දී ඇති සහනාධාර අහෝසිකල යුතු බවත්, යලි වටයකින් සමාජ පොදු වියදම් කපාහැරිය යුතු බවත්ය.

පසුගිය ජනවාරියේදී හයිටි රාජ්‍යයේ ඇතිවූ විනාශකාරී භූ චලනය පිලිබඳ කාරනයේදී මෙන්ම මෙහිදී ද ජාමූඅ, ලෝක බැංකුව හා පකිස්ථාන පාලක පැලැන්තියේ ප‍්‍රකාශ මඟින් සහතික කල පරිදි, ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය උත්සුක වන්නේ ගංවතුර, ධනේශ්වර ප‍්‍රතිව්‍යුහකරනය වේගවත් කිරීම සඳහා උදාවූ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කිරීමටය. ගංවතුරෙන් විනාශයට පත්වූ යටිතල ව්‍යුහය යලි ගොඩනැඟීම පෞද්ගලික-රාජ්‍ය හවුල් ව්‍යාපෘති වශයෙන් ක‍්‍රියාවට නඟන බව පීපීපී ආන්ඩුව ප‍්‍රකාශකොට තිබේ. මෙය වනාහි, අත්‍යවශ්‍ය සේවාවන්ගේ වියදමෙන් සහතික කල ලාභ උපයා ගැනීමේ මාධ්‍යයක් ලෙස රාජ්‍ය අරමුදල් උපයෝගී කරගැනීමට මහා ව්‍යාපාරවලට අවස්ථාව සලසා දීම සඳහා ලෝකය පුරාම යොදාගෙන තිබෙන උපායකි.

පසුගිය වසරේදී, මහජන විරෝධතා නැඟී ඒම ද දරුනු ආහාර කැරලි හා වැඩවර්ජන ද පකිස්ථානය පුරා දැකගත හැකි විය. ආහාර සහනාධාර හිඟය, රැකියාවලින් දොට්ටදැමීම්, මිල ඉහල දැමීම්, අනෙකුත් සමාජආර්ථික මෙන්ම දේශපාලන දුක්ගැනවිලි රාශියක් මුල්කරගත් දෛනික විරෝධතා දැන් පැනනැඟී තිබේ. දොට්ටදැමීම්වලට එරෙහිව ෆයිසලාබාද්හි ජනතා විරෝධතා ද පීටීසීඑල් විදුලි සන්දේශ කම්කරුවන් අතර නැවත නැවතත් හටගත් සටන්කාමී වැඩවර්ජන ද සනිටුහන් කල පරිදි පකිස්ථාන කම්කරුවන් අරගලවලට පිවිසීම දේශපාලන තත්වයේ තීරනාත්මක වෙනසක් පිලිබඳ නිමිත්තක් වෙයි.

තමන්ගේ පැත්තෙන් පාලක පන්තිය එන්ට එන්ටම භීතියට පත්වෙයි. ප‍්‍රමුඛ පුවත්පත් ද දේශපාලඥයින් ද සමාජ පිපිරීමක් පිලිබඳව යලි යලිත් අනතුරු අඟවා ඇත. පහලින් එන මෙම අන්තරාය, පකිස්ථාන ධනේශ්වරය තවත් දැඩිව හමුදාව හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තුරුල්ලට ඇලෙමින් වාර්ගික භේද ඇවිස්සීමේ තැනට ඇද දමයි.

මූලික සිවිල් නිදහස හා කාන්තාවන්ට සමානතාව සහතික කිරීම, අධ්‍යාපනය, සනීපාරක්ෂාව හා රැකියා සම්පාදනය, ලමා ශ‍්‍රමය හා නයකරු ශ‍්‍රමය අහෝසි කිරීම වැනි පකිස්ථාන ජනතාවගේ ප‍්‍රාථමික සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රීය අභිලාශයන් සාක්ෂාත් කිරීම සඳහා රදලවාදය අහෝසි කිරීමත්, එක්සත් ජනපදයේ අනුග‍්‍රහය ලබන මිලිටරි ආරක්ෂක රාජ්‍යය පෙරලා දැමීමත්, බැංකු හා මූලික කර්මාන්ත කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතට ගැනීමත් අවශ්‍ය කෙරෙයි. මෙම කර්තව්‍යයන් සාක්ෂාත් කල හැක්කේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන එමින් පකිස්ථාන හා දකුනු ආසියාවේ පීඩිතයින්ගේ ඉරනම ධනවාදය අවසන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලය සමඟ දැනුවත්ව බද්ධ කිරීමෙන් පමනි.

මෙම අරගලය මුදුන්පත්කර ගැනීම පිනිස නව විප්ලවවාදී කම්කරු පන්තික පක්ෂයක් ගොඩනැඟිය යුතුය. එවන් පක්ෂයක් තම ක‍්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය, පකිස්ථාන හා දකුනු ආසියානු කම්කරුවන් ද ඇතුලත් ලෝක කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම් මත පදනම්කල යුතුය.

බෙදීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය මැඬපැවැත්වීම

1947 ඉන්දියාව හා පකිස්ථානය පිහිටුවීම නිදහස දිනාගැනීමක් නොවුන අතර බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සමඟ සහක‍්‍රියාකාරිත්වයෙන් වාර්ගිකව සංවිධානයවූ ඉන්දීය හා පකිස්ථාන ධනේශ්වරය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී, අධිරාජ්‍ය විරෝධී විප්ලවය මැඬීමක් පමනක් විය.

බෙදීමේ ක්ෂනික ප‍්‍රතිපලය වූයේ, මිලියන දෙකක පමන ජනතාවගේ ජීවිත විනාශ කරමින් ද මිලියන 12-14 අතර ජනතාවක් අනාථයින් බවට පත්කරමින් ද දියත්වූ ප‍්‍රචන්ඩකාරී ව්‍යාපාරයකි. උපමහාද්වීපයේ ජීවමාන ශරීරය, බෙංගාලි පංජාබ් හා කාෂ්මීර ජනතාව වෙන්කිරීම වශයෙන් බහුවිධ බෙදීමක් වන පරිදි කපා වෙන්කරන ලදී. ආර්ථික, ඓතිහාසික හා සංස්කෘතික තර්කනය නොතැකූ හා නොතකන පරිද්දෙන් රාජ්‍ය දේශසීමා අටවන ලදී.

"වාර්ගික ගැටලූව” විසඳීම කෙසේ වෙතත් බෙදීම මඟින්, දකුනු ආසියාවේ රාජ්‍ය ව්‍යුහය තුල වාර්ගික බෙදීම් නිදන්ගතකිරීම මඟින්, කැටිකර තිබේ. බෙදා වෙන්කිරීම, පකිස්ථානය හා ඉන්දියාව අතර ප‍්‍රතිගාමී භූ දේශපාලනික අරගලයක් නැඟී ඒමට තුඩුදුන් අතර එය ප‍්‍රකාශිත යුද්ධ තුනක් ද නිමක්නැති යුද අර්බුද ද, වැදගත් ආර්ථික සම්පත් නැතිභංගස්ථාන කිරීම ද සමඟින් අද දිනයේ ලෝක ශිෂ්ඨාචාරය කෙරෙහි ම විනාශකාරී ප‍්‍රතිවිපාක ජනිතකල හැකි න්‍යෂ්ටික ගිනිජාලාවකින් දකුනු ආසියාවේ ජනතාවන්ට තර්ජනය කරයි.

ජල සම්පත් ප‍්‍රයෝජනයට ගැනීම ද ඇතුලු තර්කාන්විත ආර්ථික සංවර්ධනයක ගෙල සිරකරමින් දකුනු ආසියාවේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය සඳහා මෙම බෙදා වෙන්කිරීම මඟින් කොන්දේසි නිර්මානය කර තිබෙන අතර එක්සත් ජනපදය හා අවශේෂ මහබලවතුන්ට එක්රාජ්‍යයක් හා පාලක පන්තියක් අනෙකට එරෙහිව පිහිටුවීම සඳහා දේශපාලන යාන්ත‍්‍රනයක් සම්පාදනය කර දී ඇත.

වාර්ගික පකිස්ථානු ජාතික ව්‍යාපෘතිය නියෝජනය කරන්නේ, මුස්ලිම් සමින්දාර්වරුන්ගේ හා දකුනු ආසියාවේ ධනවාදීන්ගේ එනම්, බි‍්‍රතාන්‍ය ඉන්දියානු හමුදාවේ (රනකාමී වාර්ගිකයින්) බිල්ලට යැවෙන විවිධ මුස්ලිම් කන්ඩායම්වල පල ප‍්‍රයෝජන හුවා දක්වමින් "මුස්ලිම් නියෝජිතයින්” ලෙස තම සේවය ලබාදෙමින් බි‍්‍රතාන්‍ය යටත්විජිත පර්යාය තුල වරප‍්‍රසාද හිමිකරගත් කොටස්වල අවශ්‍යතාය.

මුස්ලිම් ලීගය එදා මෙන්ම අදත් දකුනු ආසියාවේ මුස්ලිම්වරුන්ගේ අති මහත් බහුතරයකගෙන් සැදුම්ලත් කම්කරුවන්, ගොවීන් හා ශිල්පීන් කෙරෙහි තම අවිශ්වාසය පිලිබඳව කුප‍්‍රකට ප‍්‍රභූ සංවිධානයකි. එය විවෘතව ම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ අනුග‍්‍රහය ලැබීමට උත්සුකවූ අතර එසේ ලබාගත්තේය.

කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට බෙදා පාලනය කිරීමේ මූලෝපාය මෙන්ම බෙදා වෙන්කිරීම ද සාර්ථක කරගැනීමට හැකියාව ලබාදීමේ දී එහි අවසාන වගකීම පලමුවත් මුලුමනින්මත් රැඳී පැවතියේ නැඟීඑමින් සිටි ඉන්දීය ධනේශ්වරයේ ප‍්‍රධාන පක්ෂය වන ඉන්දියානු ජාතික කොන්ග‍්‍රසය මතය. එය හින්ඳු-මුස්ලිම් එකමුතුව ඔජවැඩුවේ වී නමුත් එහි පන්ති ආස්ථානය නිසා කොන්ග‍්‍රසය, විජිතවාදී-සමින්දාර්-ධනපති පීඩාවන්ට එරෙහිව දකුනු ආසියාවේ කම්කරුවන් ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතාවන්ගේ පදනම මත එකාබද්ධ අරගලයකට කැඳවීමට තරයේම විරුද්ධ විය.

පශ්චාත් දෙවන ලෝක යුද්ධ ඉන්දීය කම්කරු ගොවි අරගලයන්ගේ රැල්ල හා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයේ එන්ට එන්ටම පෙරලිකාරීවූ ස්වභාවය හමුවේ බියපත්වූ කොන්ග‍්‍රසය, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය යටතේ ගොඩනඟන ලද රාජ්‍ය යාන්ත‍්‍රනය මත සිය ග‍්‍රහනය තබාගැනීමටත් ධනේශ්වරයේ පාලනය ස්ථාවර කර ගැනීමේත් මංමුලා සහගත උත්සාහයක නිරතවූහ. එබැවින් කොන්ග‍්‍රසය, ඩොමීනියන් තත්වයට එරෙහිව සර්වජන ඡුන්ද බලය මත පදනම්ව තෝරාපත්කරගත් ව්‍යවස්ථාදායක සභාවක් වැනි සිය ක‍්‍රියාමාර්ගයේ මූලික ප‍්‍රතිපත්ති සඳහා වූ ඉල්ලීම් වේගයෙන් අතහැර දමා අර්ධද්වීපය බෙදීම සඳහා බි‍්‍රතාන්‍ය හා මුස්ලිම් ලීගය සමඟ අත්වැල් බැඳගත්හ. සැබවින්ම කොන්ග‍්‍රසය, දකුනු ආසියාවේ වාර්ගික බෙදීම, බෙංගාලය හා පන්ජාබය ද වාර්ගිකව බෙදා වෙන්කිරීම ඉල්ලා සිටින බව අවධාරනය කරමින් බෙදීමේ ඉතාම දෘඪතර හා අඛන්ඩ නියෝජිතයා බවට පත්විය.

මෙම පාවාදීමට ස්ටැලින්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) බෙහෙවින් උපකාරක විය. සෝවියට් කම්කරු පන්තිය වෙතින් බලය පැහැරගත් නිලධාරිවාදී කුලයේ බලපෑම මත සීපීඅයි, නිදහසට හා බෙදා වෙන්කිරීමට පෙර දශක දෙක පුරා අනුගමනය කල අවස්ථාවාදී පිලිවෙත, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය මත කොන්ග‍්‍රසයේ අත බෙහෙවින් ශක්තිමත් කලේය. අවධි දෙකේ විප්ලවය පිලිබඳ මෙන්ෂෙවික්- ස්ටැලින්වාදී න්‍යාය මත පදනම්ව ස්ටැලින්වාදීහු, බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදී අරගලයේ කොන්ග‍්‍රස් නායකත්වයට එරෙහිව කුමන හෝ අභියෝගයක් කිරීමට විරුද්ධ වූ අතර බි‍්‍රතාන්‍ය පාලනයේ අවසන් වසරවලදී මුස්ලිම් ලීගයට ගරුකිරීමේ එම පිලිවෙතම අනුගමනය කලහ. වාර්ගික පකිස්ථාන ඉල්ලීමට නීතියුක්ත භාවයක් ගෙනදීම ද එය ගොඩනැඟීම සඳහා සීපීඅයි සාමාජිකයින් මුස්ලිම් ලීගය තුලට ඇතුලු කිරීම ද මීට අන්තර්ගත විය. 1945ත් 1947ත් අතර කාලයේ කොන්ග‍්‍රසය හා මුස්ලිම් ලීගය එකිනෙකාට එරෙහිව කඩු අමෝරාගත් කල සීපීඅයි, එම ප‍්‍රතිවාදී ධනපති පක්ෂවලට කන්නලව් කලේ ජාතික විප්ලවයට නායකත්වය දීමේ "වගකීම” ඉටුකිරීම සඳහා එකට එක්වන ලෙසය.

බෙදා වෙන්කිරීම අර්ථ දැක්වුනේ හා දිගටම අර්ථවත් කලේ ධනේශ්වර ඉන්දියාවක් හා පකිස්ථානයක් මූර්තිමත් කල "විමුක්තිය” හා "නිදහසයි.” මුලාවක් වීම කෙසේ වෙතත් එය, අධිරාජ්‍ය විරෝධී විප්ලවය ගබ්සාවීමේ අතිශය ලේවැකි හා ක්ෂනිකව දෘෂ්‍යමානවූ ප‍්‍රතිවිපාකය වූවා පමනි.

නව රාජ්‍යය, දේපල හා වරප‍්‍රසාද සුරක්ෂිත කල අතර අනෙක් අතට සමින්දාර්වරු, කුමාරවරු හා මහ ව්‍යාපාරිකයන්ගේ ධනය ආරක්ෂා කලේය. එය, බි‍්‍රතාන්‍ය යටත්විජිත රාජ්‍යයේ මූලික ආයතන හා නීති පවත්වාගෙන ගිය අතර ධනේශ්වර සංවර්ධනයට මුක්කුව සැපයීමේ අරමුනෙන් වැඩිම වුනොත් අතැඟිලි ගනනට අල්පවූ වේලපිරිමසා ගත් ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට නැඟීය.

දශක හයක් ගතවී ඇතත් ජනතාවගේ අතිශයින් දැවෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ සමාජ ප‍්‍රශ්න කිසිවක් විසඳී නැත. එයට පටහැනිව සිදුව ඇත්තේ, රදලවාදය, කුලවාදී පීඩාව හා අනෙකුත් වැඩවසම්වාදී අවශේෂයන් ධනේශ්වර සූරාකෑම සමඟ වඩ වඩාත් එකට වෙලීමත් සමග, ඒවා තිබුනාටත් වඩා උග‍්‍ර අතට හැරීමයි.

ලෝකයේ දුප්පතුන්ගෙන් අඩක්ම ජීවත් වන්නේ උප මහාද්වීපයේය. මන්දපෝෂිත ජනගහනය මෙතරම් විශාල ලෝකයේ වෙනත් කලාපයක් ඇත්තේ නැත. ඉන්දියාව වේවා පකිස්ථානය වේවා, අධ්‍යාපනය හා මහජන සෞඛ්‍ය සඳහා සිය දදේනි සියයට 5කට වඩා වැයකරන්නේ නැත.

බෙදා වෙන්කිරීමේ හා ඉන්දු පකිස්ථාන එදිරිවාදිකම් වලට අනුකූලව, ආර්ථික වශයෙන් උප මහාද්වීපයට වඩා අඩුවෙන් ඒකාග‍්‍රවූ වෙනත් කලාපයක් ලෝකයේ ඇත්තේ නැත.

කම්කරු පන්තිය, බෙදා වෙන්කිරීමේ හා දකුනු ආසියාවේ දශක හයක "නිදහස්” ධනේශ්වර ජාතික පාලනයේ අත්දැකීම් වලින් දුරදිග යන නිගමන උකහාගත යුතුය. අධිරාජ්‍යවාදී පීඩාව හා යටත්විජිත පාලනයේ උරුමය මෙන්ම, දකුනු ආසියාවේ ප‍්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනය ජයගත හැක්කේ කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් සමාජවාදී විප්ලවයකින් පමනි. එය නොවැරදීම දකුනු ආසියාවේ ප‍්‍රතිගාමී රාජ්‍ය ව්‍යුහයට අභියෝග කරනු ඇත.

මතු සම්බන්ධයි.