විප්ලවවාදී සමාජවාදී ක‍්‍රියාමාර්ගයකින් පකිස්ථාන කම්කරුවන් සන්නද්ධ කරනු

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පකිස්ථාන ශාඛාව ගොඩනඟනු!

Arm Pakistani workers with a revolutionary socialist program - Build the Pakistani section of the International Committee of the Fourth International!

Statemant of Marxist Voice, 4 January 2011

දෙවන කොටස

මාක්ස්වාදී හඬ ප‍්‍රකාශය

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ඉදිරිදර්ශනය සමඟ එකඟත්වය පලකරන හා එය සමඟ එක්ව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක ගොඩනැඟීමට එක්වන, පකිස්ථාන කන්ඩායමක් වන මාක්ස්වාදී හඬ ප‍්‍රකාශනයේ දෙවන කොටස ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙහි පලකරනු ලබයි.

මාක්ස්වාදී හඬ ප‍්‍රකාශනය, පකිස්ථාන හා දකුනු ආසියාවේ කම්කරුවන් සඳහා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් විස්තාරනය කිරීමෙහිලා වැදගත් ඉදිරි පියවරක් නියෝජනය කරයි. දකුනු ආසියාවේ කම්කරු පන්තියෙහි අත්‍යවශ්‍ය මූලෝපායික අත්දැකීම් පිලිබඳ විශ්ලේෂනයක් මත පදනම් වෙමින් එය, පකිස්ථාන කම්කරුවන් සිය අරගල නොනවතින විප්ලවයේ මූලෝපාය මත පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි.

ලෝසවෙඅ අපගේ පකිස්ථාන පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මාක්ස්වාදී හඬ ප‍්‍රකාශය අධ්‍යයනය කරමින් ද එය බෙදාහරිමින් ද ඔබගේ අදහස් හා ප‍්‍රශ්න අපවෙත ඉදිරිපත් කරමින්, පකිස්ථාන කම්කරුවන්ගේ විප්ලවවාදී සමාජවාදී පක්ෂයක් ගොඩනැඟීම සඳහා ඉදිරිදර්ශනයක් හා ක‍්‍රියාමාර්ගයක් විස්තාරනය කිරීමට දායක වන ලෙසයි.

තෙවන කොටස ඉදිරියේදී පලකරන්නෙමු.

පකිස්ථාන කම්කරු පන්තියේ මූලික අත්දැකීම්

පකිස්ථාන කම්කරු පන්තියේ මූලික අත්දැකීම් පිලිබඳ දෘෂ්ටියෙන් ගත්කල මූඛ්‍ය නිගමන දෙකක් ඉස්මතු වෙයි.

* පකිස්ථාන පීඩිතයන්ගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් සාක්ෂාත් කිරීමේ අර්ථයෙන් ගත්කල ධනේශ්වරයේ සියලු කොටස් එක්කෝ ඊට විරුද්ධය, නැත්නම් අසමත්ය.

*පකිස්ථාන කම්කරු පන්තිය දැවැන්ත සමාජ බලවේගයක් මෙන්ම ස්වයං කැපකිරීමෙහිලා විභවයක් හා දැඩි සටන්කාමිත්වයක් පෙන්නුම්කර තිබේ. එහෙත්, තමන් පකිස්ථාන ධනේශ්වරයේ පක්ෂවලට හා දේශපාලනයට ගැටගසාගෙන සිටින, පකිස්ථාන කොමියුනිස්ට් පක්ෂය (සීපීපී) හා එහි අංකුර වන මාවෝවාදීන් ද වඩාත් මෑතකදී හිස එසවූ විවිධ ව්‍යාජ ට්‍රොට්ස්කිවාදී කන්ඩායම් ද වෘත්තීය සමිති ද එම කම්කරු පන්තිය යලි යලිත් අවමංගතකර තිබේ.

එක පැහැර මිලිටරි පාලනයකට පැනගත් 1958ට පෙර ගෙවී ගිය පකිස්ථානයේ ආරම්භක දශකයෙහි, එරට පැවැත්ම තුල ආධිපත්‍යය දරා සිටියේ, ජනගහනයෙන් බහුතරයකගේ අභිමතය යටපත් කරගෙන නව රාජ්‍යය තුල තමන්ට වරප‍්‍රසාදිත ආර්ථික හා දේශපාලන තත්වයක් සහතික කරන, පකිස්ථානයේ දේශපාලන-ව්‍යවස්ථාමය පද්ධතියක් ගොඩනගා ගැනීමේ ව්‍යාපාරයකට මුලපුරා තිබුනු උතුරු හා වයඹදිග දකුනු ආසියාවේ මුස්ලිම් ධනපතියන් ද සමින්දාර්වරු හා දේශපාලඥයින් ද විසිනි.

ජනගහනයෙන් සියයට දහයකටත් අඩු කොටසක් කථාකල උර්දු බස රටේ එකම ජාතික භාෂාව බවට පත්කල අතර, පකිස්ථානුවන් බහුතරයක් හා නැගෙනහිර පකිස්ථානයේ මුලු ජනගහනයම වාගේ කථාකල බෙංගාලි භාෂාවට නිල පිලිගැනීමක් නොලැබුනි. එලෙසම, ආන්ඩුවේ වියදම් හා සංවර්ධන අරමුදල්වලින් නැගෙනහිර පකිස්ථානයට හිමි පංගුව ලබාගැනීමට තිබුනු ඉඩකඩ ක‍්‍රමානුකූලව අවුරා දැමුනි. නැගෙනහිර පකිස්ථාන සිසුන් විරෝධය පලකල විට ඔවුන් මැඩලූ අතර, විරෝධතා වටයක නැඟී ඒමටත් වඩ වඩාත් රාජ්‍ය මර්දනය යෙදීමටත් තුඩුදෙමින් එම තත්වය, 1971දී කුලුගැන්වුන, ලක්ෂ සංඛ්‍යාත බෙංගාලි වැසියන්ට මරු කැඳවමින් දියත්වුන කුරිරු මිලිටරි ප‍්‍රහාරයක් දක්වා වර්ධනය වෙමින් බංගලාදේශය කැඩී වෙන්වීමේ වෙඩිමුරය බවට පත්විය.

මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මැඩලීම, අධිරාජ්‍යවාදය සමඟ යටත් හවුලක් වෙනුවෙන් පකිස්ථාන ධනේශ්වරයේ ඇවිටිල්ල සමඟ අත්වැල් බැඳගෙන ගමන් කලේය. වැඩිකල් නොයවා ම පකිස්ථානයට දැකගත හැකි වූයේ, එහි නව පාලකයින්, පලමුව බි‍්‍රතාන්‍ය සඳහාත්, එයට එම කාර්යය ඉටුකිරීමට තරම් සවියක් නොමැති බව වටහා ගැනීමෙන් පසුව එක්සත් ජනපදය සඳහාත් ආසියාව තුල අධිරාජ්‍යවාදය වෙනුවෙන් කැපවූ රාජ්‍ය බලකොටුවක් එනම්, අධිරාජ්‍යවාදයේ ප‍්‍රාකාරයක් හැඩගැස්වීම ආරම්භ කර ඇති බවයි.

එක්සත් ජනපද පකිස්ථාන සන්ධානය, එක්සත් ජනපද-පකිස්ථාන අන්‍යොන්‍ය ආරක්ෂක ආධාර ගිවිසුම, සියැටෝ හා සෙන්ට්‍රෝ ගිවිසුම් ලෙස 1954දී නිධන්ගත කරනු ලැබු අතර, එමඟින් පකිස්ථාන පාලක පැලැන්තිය ඉන්දියාව සමඟ පැවති එහි ප‍්‍රතිගාමී භූ දේශපාලනික එදිරිවාදිකම් මෙන්ම එරට මිලිටරිය, වැඩි වැඩියෙන් දේශපාලන අභිලාශයන් ද කැටිකරගනිමින් බලගතුම රාජ්‍යායතනය බවට ඔසවා තැබීමට කොන්දේසි නිර්මානය කිරීමෙහිලා ද දිරිගැන්වීය. පාලක පැලැන්තියේ ගැඹුරු කල්ලිගැසීම් ද කම්කරුවන්ගේ හා ගොවීන්ගේ නැගී එමින් තිබුනු අරගල රැල්ලක ද කොන්දේසි හමුවේ අයුබ් ඛාන් යටතේ පලමු වරට 1958දී මිලිටරිය බලය පැහැර ගත්තේය.

ආරම්භයේ පටන්ම ස්ටැලින්වාදීහු බෙදා වෙන්කිරීම මඟින් පටවන ලද පිලිවෙතේ නීත්‍යානුකූල භාවය පිලිගත්හ. පකිස්ථානයේ අර්බුද ග‍්‍රස්ත ආන්ඩුව, ඉඩම් ප‍්‍රතිසංස්කරන හෝ ජනතාවගේ අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අවශ්‍යතා ඇතුලු නිදහසේ මූලික අවශ්‍යතා විසඳීමට ආරම්භයේ සිටම දැක්වූ අසමත්කම ස්ටැලින්වාදීන්ට නම්, තනි ඒකකයක ප‍්‍රතිගාමී බටහිර පකිස්ථාන ව්‍යාපෘතියට විරුද්ධවීමේ නාමයෙන් ඊනියා ප‍්‍රගතිශීලී ධනේශ්වරය සමඟ සන්ධානයන් ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවය යුක්තිසහගත කිරීම සඳහා ලැබුනු අලුත් තර්කයක් විය. එයට අනුකූලව ස්ටැලින්වාදීහු ජාතික අවාමි පක්ෂය (එන්ඒපී) වැනි සංවිධාන හරහා ප‍්‍රාදේශීය ධනපති පැලැන්තීන් සමඟ බැඳීම් ඇතිකර ගත්හ. මෙම පන්ති සහයෝගිතාවයේ සන්ධාන වඩා හොඳින් ඉදිරියට තල්ලු කිරීම පිනිස 1968දී පකිස්ථාන කොමියුනිස්ට් පක්ෂය එකක් බටහිර වෙනුවෙන් ද අනෙක නැගෙනහිර පකිස්ථානය වෙනුවෙන් ද වශයෙන් දෙකට බෙදී ගියේය.

තුනී ධනේශ්වර පැලැන්තියට හා අයුබ් ඛාන්ගේ සගයින්ට මුලුමනින්ම පාහේ වාසි සැලසූ 1968-69 අවධියේ පැවති ආර්ථික වර්ධනයකින් පසුව හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙමින් පැවති ප‍්‍රතිරෝධයක කොන්දේසි යටතේ පකිස්ථාන කම්කරුවෝ වේදිකාව අරක් ගත්හ. සිසුන් හා ආඥාදායකත්වය අතර හටගත් ගැටුම්, කම්කරු පන්තියේ විරෝධතා හා වැඩවර්ජන සඳහා උත්පේ‍්‍රරකයක් විය. එහෙත් අවසානයේ, කම්කරු පන්තියේ වැඩෙමින් පැවති බලය හා සටන්කාමිත්වය, වෛරයට පත් අයුබ් ඛාන් නෙරපා හැර රටේ කිසි දිනෙක නොපැවති ජාතික මැතිවරනයක් පලමු වරට පවත්වන බවට පොරොන්දු වෙමින් යුද නීතිය පැනවීම කරා මිලිටරිමය මෙහෙයවීමට මුල්විය.

වැඩවසම් පවුලක උරුමකරු හා අයුබ් ඛාන් කැබිනට් මන්ඬලය තුල සිටි අතෘප්තිමත් ඇමතිවරයෙකුවූ සුල්ෆිකාර් අලි භූටෝ හා ඔහුගේ අලුතින් පිහිටුවන ලද පකිස්ථාන මහජන පක්ෂය බටහිර පකිස්ථානයෙහි මිලිටරි පාලනයේ විරුද්ධ පක්ෂ නායකත්වය ලෙස ඉස්මතු වීමට සමත්වූයේ නම් ඒ, වමේ දේශපාලන හිඩැස ගසාකෑමට ඔවුන්ට හැකිවූ බැවින්ය. විවිධ ස්ටැලින්වාදී පක්ෂ, එක් හෝ තවත් ආකාරයකින් එම තන්ත‍්‍රයේ ප්‍රෝඩාකාරී දේශපාලන ව්‍යුහය තුල ගිලී ගියේය. එහි වඩාත්ම බියගුලු වර්ගය මාවෝවාදීන්ය. සභාපති මාවෝ සේතුං යටතේ චීන ස්ටැලින්වාදී ත‍්‍රන්තය වෙතින් තමන්ට ලැබුනු ඉඟිය පරිදි ඔවුහු, අයුබ් ඛාන් ආඥාදායකයා පකිස්ථානයේ ධනේශ්වර කාර්මීකරනයට මුල්තැන දුන් හා බීජිනයේ රාජ්‍ය තාන්ත‍්‍රික මිතුරෙකුවූ තාක් කල් "ප‍්‍රගතිශීලී අත්තනෝමතිකයෙක්” ලෙස හැඳින්වූහ.

එහි උපතේ පටන්ම පීපීපීය සමාජවාදී හඬකින් කථාකල, ජාතික සංවර්ධනය සඳහා ජනතාව පෙලගස්වා ගැනීමට ජනතාවාදී පුරසාරම් දෙඩූ හා ඊටත් වඩා, කම්කරු පන්තිය ධනේශ්වරයේ ග‍්‍රහනයෙන් ගිලිහී යාම වැලැක්වීමට යොමුවූ ධනේශ්වර පක්ෂයක් විය.

දැඩි පකිස්ථාන ජාතිකවාදී පක්ෂයක්වූ එය, ප‍්‍රතිසංස්කරන මාලාවක් සමඟ බද්ධ වෙමින් ආගමික-වර්ගවාදී ජාතික දෘෂ්ටිවාදයක් වූ "ඉස්ලාම් සමාජවාදයේ” නියමුවා විය. එයට, ඉන්දීය කොන්ග‍්‍රස් පක්ෂය යටතේ හා අලුතෙන් නිදහස ලැබූ බොහෝ ආසියානු හා අප‍්‍රිකානු ධනේශ්වර තන්ත‍්‍රයන් අනුගමනය කලාක් වැනි, ධනේශ්වර සංවර්ධනයට රාජ්‍යය මූලිකත්වය ගත් ක‍්‍රියාමාර්ගයකට මුක්කුව දීමේ අර්ථයෙන්, කර්මාන්තයේ සමහර කොටස් ජනසතුව ද ඇතුලත් විය.

ස්ටැලින්වාදීහු, සමාජ ප‍්‍රගමනය සඳහා විභවය සහිත මෙවලමක් ලෙස එය හඳුන්වා දෙමින් වහාම පීපීපීයේ වැඩපිලිවෙල වැලඳ ගත්හ. විශේෂයෙන්ම ජාතික ශිෂ්‍ය සම්මේලනය වැනි බීජිං ගැති කන්ඬායම් ද ඇතුලු විශාල කොටසක්, පීපීපීයට බැඳෙමින් එය ගොඩනඟන ලෙස කම්කරුවන් හා සමාජවාදී අදහස් දැරූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියහ.

ආරම්භයේ පටන්ම වාගේ භූටෝ, පකිස්ථාන ධනේශ්වරයේ අධිකාරී කොටස් කෙරෙහි සිය විරුද්ධත්වයේ සීමාසහිතකම මැනෙවින් ප‍්‍රදර්ශනය කර තිබුනි. බෙංගාලි ජනතාවට එරෙහිව සිදුකල බිහිසුනු මිලිටරි මර්දනයට සහාය දැක්වීම ද ඇතුලූ, ෂික් මුජිබර් රහමන් විසින් නායකත්වය දුන් බෙංගාලි ධනේශ්වරයේ විරුද්ධ පාර්ශවයට එරෙහිව, පකිස්ථාන මිලිටරිය හා රාජ්‍ය නිලධරය සමඟ ඔහු සමීප ලෙස බැඳී සිටියේය.

1971 ඉන්දු පකිස්ථාන යුද්ධයෙන් පකිස්ථාන පාලක පන්තිය ලත් නින්දිත පරාජයෙන් පසුව හා නැගෙනහිර පකිස්ථානය හෙවත් බංගලාදේශය අහිමිවීමෙන් පසුව භූටෝ, එම වසරේ දෙසැම්බරයේදී ජනාධිපති තනතුරට පැනගත්තේය. 1972 වසර අවසානයේදී ඔහුගේ පීපීපී ආන්ඩුව, කම්කරු පන්තිය සමඟ, විශේෂයෙන්ම කරච්චියේදී, දරුනු ගැටුමකට පිවිසියේය.

මිලිටරි තන්ත‍්‍රය කෙරේ සිය විරුද්ධත්වය නිසා හිරේ දමන ලද වෘත්තීය සමිති නායකයෝ භූටෝ යටතේ ද එම සන්තෑසියටම මුහුනදෙනු අත්දුටුවෝය. ඉඩම් ප‍්‍රතිසංස්කරන නීති සම්මත කරන ලද නමුත් එක් ඉතිහාසඥයෙක් සඳහන් කල පරිදි "පුරසාරම්වලට පිටුපසින් පැවති තත්වය බෙහෝකොටම නොවෙනස්ව තිබුනි. 1959 මෙන්ම, යලි බෙදාහැරීම සඳහා අවසන් වශයෙන් ඉතිරිවූයේ ඉඩම් සීමිත ප‍්‍රමානයක් පමනි.” (ටැල්බට්, පකිස්ථානය: නූතන ඉතිහාසයක් - Pakistan: A Modern History)

1977දී සුල්ෆිකාර් අලි භූටෝ බලයෙන් පහකරමින් ද ඔහු මරාදමන නීති සම්පාදනය කරමින් ද කටයුතු කල ජෙනරාල් සියා උල් හක්ගේ ආඥාදායකත්වය, පකිස්ථාන ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස නිවැරදිව හඳුනාගෙන තිබේ.

නිසාම් අයි මුස්තෆා හෙවත් අල්ලාගේ නීතිය සියා විසින් ප‍්‍රකාශයට පත්කල අතර, ජමයිට් අයි ඉස්ලාමි මුස්ලිම් මූලධර්මවාදී සංවිධානය සමඟ සමීපව සම්බන්ධතා පවත්වමින් කාන්තාවන්ගේ මූලික අයිතීන් අහෝසි කරමින් විවිධ වැරදි වලට මධ්‍යකාලීන යුගයේ දඬුවම් පැනවීය. සියා සම්න්ධයෙන් ගත්කල ඉස්ලාමීයකරනය වනාහි, එන්ට එන්ටම අපකීර්තියට පත්වන පකිස්ථාන ජාතික ව්‍යාපෘතිය නඟාසිටුවීමේ ද ඔහුගේ ආඥාදායක පාලනය යුක්තිසහගත කිරීමේ ද කම්කරු පන්තියට හා වාමාංශයට එරෙහිව ප‍්‍රතිගාමී ප‍්‍රාකාරයක් ලෙස සේවය කිරීම සඳහා මූලධර්මවාදී සංස්ථා හා පක්ෂ ජාලයක් සවිමත් කිරීමේ ද මාධ්‍ය විය.

මුජහිඩීන් ව්‍යාපාරයට එක්සත් ජනපදයේ සහයෝගය ලබාදෙමින් වොෂින්ටනය විසින් හිතා මතාම ප‍්‍රකුපිත කරන ලද බව හිටපු ජාතික ආරක්ෂක උපදේශක සිබිග්නිව් බ්‍රෙසින්ස්කි දැන් පිලිගනු ලබන 1979 දෙසැම්බරයේ සිදුවූ ඇෆ්ගනිස්ථානයේ සෝවියට් ආක‍්‍රමනයත් සමඟ, සෝවියට් සංඟමයට එරෙහිව යලි ප‍්‍රානවත් කල එක්සත් ජනපද මිලිටරි-රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රහාරයේ කඩ ඇනය ලෙස සියා මිලිටරි තන්ත‍්‍රය මතුව ආවේය. සවුදි රාජාන්ඩුව ද සියා තන්ත‍්‍රයේ ප‍්‍රමුඛ අනුග‍්‍රාහකයෙක් ලෙස පෙරට ආවේය. මධ්‍යම රහස් ඔත්තු සේවය හෙවත් සීඅයිඒ-අයිඑස්අයි හෙවත් පකිස්ථාන මිලිටරි ඔත්තු සේවය සිදුකරන ඇෆ්ගනිස්ථාන මැදිහත්වීම් ද සියාගේ ප‍්‍රතිගාමී ඉස්ලාමීයකරන ව්‍යාපාරය ද සවුදියේම ප‍්‍රතිගාමී වහාබි දෘෂ්ටිවාදය ශක්තිමත් කලේය.

සියා තන්ත‍්‍රයේ ප‍්‍රතිපත්ති පකිස්තාන ජනතාව මත කල් පවත්නා හා විනාශකාරී බලපෑමක් ඇතිකරනු ලැබිනි. එහෙත් සියා සඳහා දොර විවර කලේ ධනපති ජනතාවාදී වාචාලයෙකුවූ අලි බූටෝ බව අමතක නොකල යුතු කාරනයයි. ඒ, ඔහු බොහෝ ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරුන්ට උඩින් සියා හමුදාපති බවට පත්කිරීම නිසා පමනක් නොවේ. බලුකිස්ථානයේ ජාතිකවාදී කැරලිකාරිත්වය මත සිදුකල ලේවැකි මර්දනය තුල මිලිටරියේ ක‍්‍රියාකලාපය උච්ඡස්ථානයක තබමින් ද එය දේශපාලනිකව පුනරුත්ථාපනය කරමින් ද බූටෝ, වොෂින්ටනය සමඟ ඉස්ලමාබාදයේ බැඳීම දිගටම පවත්වාගෙන ගියේය. එහි සියලු ප‍්‍රතිගාමී ඉල්ලීම් වලට නතු වෙමින් බූටෝ ආගමික දක්ෂිනාංශය දිරිමත් කලේය. එයට, මත්පැන් තහනම, මුස්ලිම් සබාත් නිවාඩු දිනයක් කිරීම හා අල්මාඩිවරුන් මුස්ලිම් නොවන්නේ යයි නීතිගත කිරීම ඇතුලත්ය. මෙය, පකිස්ථානයේ ඉස්ලාම්වාදය සඳහා වරප‍්‍රසාදිත තත්වයක් සහතික කරමින් අයුබ් ඛාන් විසින් සකස්කල 1973 ව්‍යවස්ථාව බොහෝ දුරට ඉක්මවා ගිය අතර, සවුදි අරාබියේ හා අනෙකුත් ගල්ෆ් රටවල ප‍්‍රතිගාමී ෂික්වරුන්ගේ සහයෝගය බලාපොරාත්තුවෙන් බූටෝ පකිස්ථානයේ ඉස්ලාම් ස්වභාවය අවධාරනය කලේය. බූටෝගේ අශීර්වාදය ඇතිව පකිස්තාන මිලිටරිය, මොහමඞ් ඩාවුඩ්ගේ ඇෆ්ගන් ආන්ඩුවට විරුද්ධවූ ගුල්බඩින් හෙක්මටියර් හා අනෙකුත් ඉස්ලාමිකයන්ට අභයභූමියක් ද සංවිධානාත්මක ආධාර ද සම්පාදනය කලේය.

සමකාලීනව, පකිස්ථානයේ භූටෝ ද ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ද ශ‍්‍රී ලංකාවේ සිරිමාවෝ බන්ඩාරනායක ද ඉෂ්ඨ කල ක‍්‍රියාකලාපයන් අතර කැපී පෙනෙන සමානකමක් දක්නට ඇත. පශ්චාත් දෙවන ලෝක යුද්ධ ධනේශ්වර උත්පාතය අවසන්වීම සමඟ සම්පාතව වේගයෙන් නැඟී ආ පන්ති අරගලයේ කොන්දේසි හමුවේ, ප්‍රෝඩාකාරී සමාජවාදී දෙඩවීම් මඟින් කම්කරු පන්තිය හා පීඩිත ජනතාවන් ධනේශ්වරයට ගැටගසා ගැනීම පිනිස මේ සියලූ දෙනාම උත්සුකවූ අතර ආරම්භයේදී ඉතා සීමිත ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාත්මක කලත් කම්කරු පන්තිය සමඟ මුහුනට මුහුන ගැටුමට එලඹීමෙන් පසුව නොසංසුන්තාවය මැඬීම සඳහා හදිසි නීති හා අනෙකුත් ආඥාදායක ක‍්‍රමෝපායන් භාවිතයට ගත්හ.

ජනතාවාදය හා මර්දනය තුලින් වමෙන් එල්ල වූ අභියෝගය මොටකිරීමට ක‍්‍රියාකිරීමෙන් පසුව 1977 වසරේ මාස පහක කාල පරාසය තුල මේ සියල්ලන්ම බලයෙන් පහව ගියේය. ඉන් පසුව ධනේශ්වර දේශපාලනය, ඉන්දිරා ගාන්ධි පිලබඳ කාරනයේදී ඇය මේ මාරුවට මුහුනපෑවේ 1980දී ඇය යලි බලයට පත්වීමෙන් අනතුරුව වුවත්, තියුනු ලෙස දකුනට පැද්දී ගියේය. මෙම ආන්ඩු දිගුකාලීන ප‍්‍රතිගාමී උරුමයක් ඉතිරිකර තිබුනි. ස්වෝත්තමවාදය හා ජාතික හා ආගමික-වාර්ගික අනන්‍යතාවයට ඇමතීම සමඟ බැඳී තිබුනු ඔවුන්ගේ "වාම” ජනතාවාදය, 1980 ගනන්වල දකුනු ආසියාව පුරා වාර්ගික-වර්ගවාදී දේශපාලනය ප‍්‍රමානයෙන් පුලුල් වීම සඳහා බීජ වපුරනු ලැබිනි.

මෙම පූච්ඡානම් වාම තන්ත‍්‍රයන්ට අභියෝග කිරීමෙන් කම්කරු පන්තිය වලකාලීමේ තීරනාත්මක භූමිකාව ඉටුකරන ලද්දේ ස්ටැලින්වාදීන් හා මාවෝවාදීන්ය. පීපීපී තන්ත‍්‍රයටත් 1977දී පිහිටුවන ලද දක්ෂිනාංශය ආධිපත්‍යය දැරූ භූටෝ විරෝධී පකිස්ථාන ජාතික සන්ධානයටත් (පීඑන්ඒ) එරෙහිව ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය බලමුලූ ගැන්වීම සඳහා සටන් කිරීමට ඔවුහු අසමත් වූහ. ස්ටැලින්වාදීන්ගේ දිගුකාලීන සගයා වූ එන්ඒපීය නීතිමය ප‍්‍රශ්න මත ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ලෙස අලුතෙන් නම්කල අතර ඔවුන් දක්ෂිනාංශික පකිස්ථාන් මුස්ලිම් ලීගය හා ඉස්ලාමීය මූලධර්මවාදී පක්ෂ සමඟ හවුලක් ගොඩනඟා ගත්තේය. පීඑන්ඒ සමඟ සහයෝගීව ඔවුන් 1977 මැතිවරනය තරඟ වැදුනේය. මැතිවරනයෙන් පසුව ඔවුන් දියත්කල ආන්ඩු විරෝධී උද්ඝෝෂන රැල්ල සියාගේ කුමන්ත‍්‍රනය සඳහා මං පෑදීය.

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය, 1975-77 හදිසි නීති පාලනය අවධියේ පවා ඉන්දිරා ගාන්ධිගේ කොන්ග‍්‍රස් ආන්ඩුවෙහි හවුල්කරුවෙක් විය. මේ අතර ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) කොන්ග‍්‍රසයේ ධනපති විපක්ෂයට කම්කරු පන්තිය යටත් කලහ. අවසානයේදී හින්දු ස්වෝත්තමවාදී ජනසං කාර්යධරයන් ද ඇතුලු එහෙන් මෙහෙන් අහුලාගත් කොන්ග‍්‍රස් විරෝධීන්ගේ හවුලක් වූ ජනතා පක්ෂය බලයට ගෙනඒමට එය පිටිවහලක් විය. කම්කරු පන්තිය මත දේශපාලන අධිකාරය පවත්වාගෙන ගිය ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂවලට අභියෝග කිරීම නැක්සලයිට්වරු (මාවෝවාදීන්) ප‍්‍රතික්ෂේප කලහ. විප්ලවවාදී අරගලයේදී අතිශය වැදගත් ප‍්‍රශ්නයවූ සමාජවාදී විඥානය, දේශපාලන ස්වාධීනත්වය හා කම්කරු පන්තියේ දේශපාලන නායකත්වය නඟාසිටුවීමේ අරගලය නොව ඔවුන් දේශනා කලේ "දිග්ගැස්සුනු මහජන යුද්ධය” නම් ගොවීන් මත පදනම්වූ ගරිල්ලාවාදයයි. සීපීඅයි හා සීපීඑම් මෙන්ම නැක්සලයිට්වරු ද සමාජවාදී විප්ලවයට විවෘතවම සතුරු වූහ. ඒ වෙනුවට ඔවුන්, ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යය, - එනම් ධනේශ්වර විප්ලවය, - නිමා කිරීම පිනිස ධනේශ්වරයේ "දේශපේ‍්‍රමීන්” ද ඇතුලත් ගොවීන්ගේ නායකත්වයෙන් යුත් පන්ති හතරක හවුලක් ඉදිරිපත් කලේය.

දකුනු ආසියාව තුල ස්ටැලින්වාදී-ජාතිකවාදී දේශපාලනයේ ප‍්‍රතිපල වශයෙන් ඇතිවූ දේශපාලන ව්‍යසනයන් පිලිබඳ තවත් ඛේදනීය නිදසුනක් ඇෆ්ගනිස්ථානය විසින් සපයනු ලබයි. 1978 ඇෆ්ගන් නැතහොත් සාවුර් විප්ලවය ඉහත කී තත්වයන්ට කිසිසේත්ම වෙනස් නොවීය. ස්ටැලින්වාදීන්ගේ දිගුකාලීන මිතුරෙකු වූ ඇෆ්ගන් කුමාරයෙක් හා දේශපාලඥයෙකු වූ ඩාවුඞ් පසුව ඔවුන්ට එරෙහිව යමින් මර්දනයේ ව්‍යාපාරයක් ආරම්භකල විට ඔවුන්, ඇෆ්ගනිස්ථානයේ ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (පීඩීපීඒ) ලෙස සංවිධානයවෙමින් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ රජා පෙරලා දැමීමේ කුමන්ත‍්‍රනයක් දියත් කිරීමෙනි. තමන් අතර පැවති කටුක එදිරිවාදිකම් තිබිය දී ම පීඩීපීඒහි සියලු කොටස් බලාපොරොත්තු වූයේ සෝවියට් ස්ටැලින්වාදී නිලධරයේ ද අනුග‍්‍රහය ඇතිව ඉහල සිට ගෙන එන ප‍්‍රතිසංස්කරන තුලින් ප‍්‍රගතිශීලී ධනේශ්වර තන්ත‍්‍රයක් ස්ථාපනය කිරීමටයි. ඉඩම් හිමියන්ගෙන් ද ගෝත‍්‍රික නායකයින්ගෙන් ද ඇෆ්ගන් ප‍්‍රභූ පැලැන්තියේ අවශේෂ කොටස්වලින් ද වඩාත් ප‍්‍රමුඛ ලෙස පකිස්ථාන පාලක පන්තියෙන් හා අධිරාජ්‍යවාදයෙන් එල්ල විය හැකි විරුද්ධත්වය ඔවුහු බරපතල ලෙස අව තක්සේරු කලහ.

ඇෆ්ගන් ජාතිකවාදයේ කරවටක් ගිලී සිටි ඔවුන්, පකිස්ථානයේ හා ඉන්දියාවේ මෙන්ම ලෝකයේ කම්කරුවන් ඇමතීමට අසමත් වූ අතර එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යාන්ත‍්‍රනයට ප‍්‍රතිචාර දැක්වූයේ දේශපාලන පලායාම් හා රුදුරු මර්දනය තුලින්ය.

සියා-උල් හක්ගේ ආඥාදායකත්වය, විශේෂයෙන්ම 1983 සින්ඩ්හි, මහජන විරුද්ධත්වය අවුලුවාගත්තේය. එහි ගොවි කැරැල්ල මැඬීම සඳහා හමුදා සේනාංක තුනක් ද ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා ද අවශ්‍ය විය. වසර පහකට පසුව සියා ඝාතනය කිරීමත් සමඟ ආඥාදායකත්වය හදිසියේම අවසන් විය. එහෙත් ඔහු හා ඔහුගේ තන්ත‍්‍රය සිය ආයුකාලය අවසන් කරගනිමින් සිටින බවට බොහෝ සලකුනු දක්නට තිබුනි. සෝවියට් ස්ටැලින්වාදී නිලධරය පොරොන්දු වූ පරිදි ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා මුලුමනින්ම ඉවත්කිරීම අරඹා තිබුන අතර එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක පර්යායට දැන් සියා වේගයෙන් මැකීයන වත්කමක් වූවා පමනි. පකිස්ථාන ධනේශ්වරයේ පුලුල් කොටස් හා මිලිටරිය පවා ආඥාදායකත්වය දැකගනු ලැබුවේ අනවශ්‍ය බරක් ලෙසය. විශේෂයෙන්ම එහි භේදකාරී හා අස්ථාවරකාරී ඉස්ලාමීයකරනයේ ව්‍යාපාරයයි. ඉස්ලාමීයකරන ව්‍යාපාරය කට්ටිවාදී කලිකලහ ගිනිඅවුලුවා තිබුනා පමනක් නොවේ. එයත් එයට සම්බන්ධ "ශක්තිමත්” මධ්‍යම ආන්ඩුවක් පිලිබඳ ප‍්‍රතිපත්තියත් පක්ස්ථාන ආන්ඩුව ඇතුලතින්ම කේන්ද්‍රාපසාරී ප‍්‍රවනතා පෝෂනය කරමින් හමුදාව ජනතා කෝපයේ ඉලක්කයක් බවට පත්කලේය.

ස්ටැලින්වාදීහු, සියා ආඥාදායකත්වයට එරෙහි කම්කරු පන්තියේ විරෝධය පීපීපී හා එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි පිහිටුවීම (එම්ආර්ඩී) සඳහා වූ ව්‍යාපාරයටත් දේශපාලනිකව යටත්කිරීමට උත්සුක වූහ. ඔවුන්ගේ ඉදිරිදර්ශනය, එක් කලෙක පැබ්ලෝවාදී නායකයෙක් හා මේ දිනවල පකිස්ථානයේ කම්කරු පක්ෂය නඟාසිටුවීමේ යෙදී සිටින තරික් අලි විසින් ද වැලඳගෙන සිටියේය. 1980 ගනන් වැඩිහරියක දී තරික් අලි, බෙනාසීර් බූටෝගේ නිල නොවන උපදේශකයෙක් ලෙස සේවය කලේය. මෙහිදී ඔහු මිලිටරිය විසින් ඇගේ පියා ඝාතනය කිරීමෙන් පසු පලමු වරට 1986 වසරේ ලාහෝර්හිදී මහජනතාව ඇමතීමට ඇයට ඉඩ ලැබුනු අවස්ථාවේ පැවැත්වූ කථාව ලියාදුන්නේය. පකිස්ථානයේ නිල වම, පීපීපී පිලිබඳ ජනතාව අතර මිත්‍යාවන් ගොඩනැංවූ අතර ඔවුන් වගකිවයුතු වන්නේ, හුදෙක් 1989 මැතිවරනයෙන් බලයට පත්වූ පසුව සිදුකල පීපීපී කටයුතු පිලිබඳව පමනක් නොවේ. පූද්ගලීකරනය හා අනෙකුත් වෙලඳපොල ගැති දක්ෂිනාංශික ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට නැඟීමේදී පීපීපීයේ මුඛ්‍ය භූමිකාව මඟින් කලඑලි බැස්වූ දේශපාලන ව්‍යාකූලත්වය හා අවමංගතවීම පිලිබඳව ද ඔවුන් වගකිව යුතුය.

පීපීපීයේ කටයුතු හා නවාස් ෂරීෆ් නායකත්වය දුන් පකිස්ථාන මුස්ලිම් ලීගය (පීඑම්එල්) 1990 ගනන්වල විටින් විට පැවති ඔවුන්ගේ කෙටි ආන්ඩු කාලයන් තුලදී ඔවුන්ගේ මූලික පන්ති එකමුතුව සලකුනු කලේය. දෙපාර්ශවයම ජාමූඅ ප‍්‍රතිව්‍යුගතකිරීම් ක‍්‍රියාත්මක කලේය. පකිස්ථානයේ න්‍යෂ්ටිකකරනය ඉදිරියට ගෙන ගියේය. තලේබාන්වරුනට ද කාබුල්හි තලේබාන් පාලනයක් පැලපදියම් කිරීම සඳහා ද පකිස්තාන මිලිටරි බුද්ධි අංශ සංස්ථාපිතය දැක්වූ අනුග‍්‍රහයට ද ඔවුහු සහාය දැක්වූහ. අද දිනයේ පීපීපී හා පීඑම්එල් පකිස්ථානයේ "ජයග‍්‍රාහී” න්‍යෂ්ටික අවි වැඩසටහනේ කීර්තිය කා සතුවිය යුතු ද යන්න මත භේදවී සිටියි.

සීතල යුද්ධයේ අවසානයෙන් පසුව ලෝක භූ දේශපාලනයේ සිදුව තිබෙන ප‍්‍රධාන වෙනස්කම් තුල මුෂාරෆ්ගේ 1999 කුමන්ත‍්‍රනය මුල්බැස තිබුනි. ඉන්දියානු කාෂ්මීරයේ කාගිල් තුලට කල පකිස්ථන හමුදා ආක‍්‍රමනය අවසන් කිරීමට එක්සත් ජනපදය යෙදූ බලපෑමට ෂරීෆ් නතුවීම පිලිබඳව මිලිටරිය කෝපයට පත්ව සිටියේය. සෝවියට් සංඟමය සමඟ පැවති සීතල යුද්ධ අවධියේ සන්ධානයෙන් දැන් නිදහස්ව සිටින ඉන්දියාව සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීමට වොෂින්ටනය දැක්වූ උනන්දුව තුලින් එක්සත් ජනපදයේ ආස්ථානය ගලා ආවේය.

දෙවසරකටත් අඩු කාලයකින් පසුව මුෂාරෆ්ට ද එක්සත් ජනපදයේ බලපෑම් හමුවේ යටත්වීමට සිදුවිය. ඉතා වැදගත් මූලෝපායික වෙනසක් සිදු නොවුනොත් පකිස්ථානය "ගල් යුගය කරා ඇද දමන” බෝම්බ ප‍්‍රහාරවලට ලක් කිරීමේ තර්ජනය, කාබුල්හි තලේබාන් තන්ත‍්‍රයට දෙන ඉස්ලමාබාදයේ අනුග‍්‍රහය අවසන් කිරීම, එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්ථාන ආක‍්‍රමනයට ක‍්‍රියාමාර්ගික සහයෝගය දැක්වීම ද ඊට ඇතුලත් විය.

අතීතයේ මෙන්ම පකිස්ථාන ප‍්‍රභූ පැලැන්තිය වර්තමානයේදී ද, විශේෂයෙන්ම හමුදා නිලධරය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අත් උදව්කරුවෙක් ලෙස කටයුතු කිරීමෙන් ආර්ථික හා භූ දේශපාලනික වාසි නෙලාගෙන තිබේ. එහෙත් ඇෆ්ගන් යුද්ධය, පකිස්තානයේ සැලකිය යුතු කොටසක් සිවිල් යුද්ධයක් තුලට ඇද දැමීම තුලින් පකිස්ථාන ධනේශ්වරයේ අර්බුදය උත්සන්න කර ද තිබේ. ඊටත් වඩා මූලික වන්නේ, ඉන්දු පකිස්ථාන එදිරිවාදිකම්වලට නොඅඩු දිගු කාලීන බොහෝ භූ දේශපාලනික ගැටුම් කලින් කිව නොහැකි හා පුපුරන සුලු පරිමාවකින් පැන නංවමින් සමස්ත කලාපයම අස්ථාවර කරන, ආසියාව තුල සිය අධිකාරය පිහිටුවා ගැනීමට දරන එක්සත් ජනපදයේ තල්ලුවයි. නව දිල්ලිය හා ඉස්ලමාබාදය අතර තරගයේ ප‍්‍රමුඛ අරමුනක් ලෙස ඇත්තේ ඇෆ්ගනිස්ථානය තුල බලය හා බලපෑමයි. එලෙසම, ඉන්දියාව සමඟ "ගෝලීය මූලෝපායික හවුලක්” අටවා ගනිමින් චීනය කොටුකිරීම සඳහා වන එක්සත් ජනපදයේ තල්ලුව පකිස්ථාන ධනේශ්වරයේ දිගුකාලීන මූලෝපායික ආසක්තයන්ට තර්ජනය කරයි.

පූර්ව දශකය තුල පීපීපී නායකත්වය යටතේ පැවති ආන්ඩු පෙරලා දැමීමට මිලිටරිය හා රාජ්‍ය නිලධරය යලි යලිත් දැරූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී උපාමාරු වලට නවාස් ෂරීෆ් සතුට පලකලා සේම, ආරම්භයේදී පීපීපීය ද මුෂාරෆ්ගේ කුමන්ත‍්‍රනයට සතුට පලකලේය. පීපීපීය ආඥාදායකත්වයට එරෙහිව පෙලගැසුනේ බලයේ සියලු තනතුරු වලින් පීපීපීය ඉවතට ඇද දැමීමට තමා අදිටන් කරගෙන සිටින බව ජෙනරාල්වරයා පැහැදිලි කිරීමෙන් පසුව පමනි. පසුව පීඑම්එල්-කිව් ලෙස ප‍්‍රතිසංවිධානයවූ පීඑම්එල් නායකත්වයේ වැඩි කොටසක්, මුෂාරෆ් තන්ත‍්‍රය පිටුපස පෙලගැසී සිටියහ.

පසුව හටගත් පීඑම්එල් (නවාස්) හා පීපීපී විරුද්ධත්වය රක්ත හීනතාවයෙන් පෙලූනේය. පීපීපීය, ආඥාදායකත්වයට එරෙහි මහජන ව්‍යාපාරයකට නායකත්වය හෝ සහාය නොදෙනු ඇතැයි බෙනාසීර් බූටෝ නැවත නැවතත් කියා සිටින විට එය පිටුපස තිබුනේ, එවන් ව්‍යාපාරයක් ධනේශ්වර පක්ෂවල පාලනයෙන් ඉවතට පැන රැඩිකල් දිශාවකට යොමුවනු ඇති බවට පැවති බියයි. ඊට පටහැනිව ඇය බුෂ් පරිපාලනය හමුවේ පැවසුවේ පීපීපී නායකත්වයෙන් යුත් ආන්ඩුවක් මිලිටරි ආන්ඩුවට වඩා ආක‍්‍රමනශීලී ලෙස ඇෆ්ගන් යුද්ධය ගෙනයන බවට පොරොන්දුවන බවයි. අවසානයේදී ඇය හා පීපීපීය මුෂාරෆ් සමඟ හවුලේ කටයුතු කිරීම සඳහා බුෂ් පරිපාලනය තැරැව්කාරයා වෙමින් ගෙන ආ ගිවිසුමට එකඟවිය. වොෂින්ටනය වඩ වඩාත් කනස්සලූ වූයේ යුද්ධය හා නැෙඟන සමාජ ආර්ථික අර්බුදය සමාජ කැලඹීම් හටගන්වනු ඇතැයි යන්න පිලිබඳවය.

නිල දේශපාලන විරුද්ධත්වය වැහැරී ගිය තත්වය හමුවේ, මුෂාරෆ් තන්ත‍්‍රය කෙරෙහි නාගරික මධ්‍යම පන්තියේ හා ධනේශ්වරයේ පුලුල් කොටස් තුල වැඩෙමින් පැවති අතෘප්තිය සිය ප‍්‍රකාශනය අත්කර ගත්තේ, අග‍්‍රවිනිශ්චයකාර චවුද්රි නෙරපා හැරීමට හා පසුව නෙරපාහල සියලු විනිශ්චයකරුවන් යලි සේවයේ පිහිටුවීම පිනිස 2007 නොවැම්බර් 03 දින සිදුවූ මුෂාරෆ්ගේ දෙවන කුමන්ත‍්‍රනයට එරෙහි ව්‍යාපාරය තුලය.

මතුකල යුතු ප‍්‍රශ්නය වන්නේ, නීතිඥවරුන්ගේ ව්‍යාපාරය දේශපාලන වේදිකාව අරක්ගත්තේ මක්නිසා ද යන්නයි. සියලු පීඩිතයින් තමන් වටා රැලිකර ගනිමින් ආඥාදායකත්වයට තමන්ගේම අභියෝගය ඉදිරිපත් කිරීමට කම්කරු පන්තිය අසමත් වූයේ මක්නිසා ද? මෙහිදී යලි වතාවක් කාරනය වන්නේ, ප්‍රෝඩාකාරී වමේ ප‍්‍රමුඛ මෙන්ම බෙලහීන දේශපාලන භූමිකාවයි.

මුෂාරෆ් තන්ත‍්‍රයේ පුද්ගලීකරනය, ව්‍යවසායන් කප්පාදු කිරීම හා නිදහස් වෙලඳ පිලිවෙත් කෙරෙහි ප‍්‍රතිචාර වශයෙන් කම්කරු පන්තියේ සැලකිය යුතු විරුද්ධත්වයකට එය මුහුනදී සිටියේය. 2006 මැයි-ජූනි පීටීසීඑල් යන පකිස්ථාන ටෙලිකොම් වැඩවර්ජනය මෙහිදී විශේෂ වැදගත්කමක් දරයි. එහෙත් මෙම අරගල වම්මුන්ගේ ද උදව් ඇතිව වෘත්තීය සමිති විසින් කම්කරු පන්තියේ නායකත්වය යටතේ පීඩිතයන්ගේ මහජන ව්‍යාපාරයක් බවට පත්වීම වලක්වා සාමුහික කේවෙල් කිරීමේ ගැටුම් බවට සීමා කර පාවාදෙනු ලැබීය.

නීතිඥයින්ගේ ව්‍යාපාරය පැනනැඟි කල පකිස්ථානයේ කම්කරු පක්ෂය (එල්පීපී) හා ජාත්‍යන්තර සමාජවාදීන් (පකිස්ථාන) -බි‍්‍රතාන්‍ය එස්ඩබ්ලිව්පීයේ සහෝදර පක්ෂයක්- වැනි සංවිධාන එයට හුරේ දමන්නවුන් බවට පත්විය. ඔවුන් කම්කරු පන්තිය කැඳවුම් කලානම් එසේ කලේ, ආඥාදායකත්වයට හා මහ ව්‍යාපාරයන්ට මෙන්ම, ඔවුන් රැඳී පැවතුනු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ට එරෙහිව ජනතාව බලමුලු ගැන්වීමේලා තමන්ගේම ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන ස්වාධීන බලවේගයක් ලෙස මැදිහත්වීම පිනිස නොව නීතිඥයින්ට සහාය දීම පිනිස පමනි.

එල්පීපී හා ජාත්‍යන්තර සමාජවාදීන්, මුෂාරෆ්ට "අභියෝග” කිරීම පිලිබඳව විනිශ්චයකාර චවුද්රිට හුරේ දැමීය. චවුද්රි දිගු කලක් තිස්සේ මිලිටරි තන්ත‍්‍රයට අත උස්සා තිබුනි. එසේම ඔවුහු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලයේ මුවාත "ස්වාධීන අධිකරනයක්” සඳහා සටන් කිරීමය යන නීතිඥයින්ගේ ප‍්‍රකාශ පුනරුච්චාරනය කලහ. ඒ අනුව ඔවුන්, පකිස්ථාන අධිකරනයේ සමාජ ක‍්‍රියාකාරිත්වය අතින් එය එරට බෙහෙවින්ම අසමාන වන සමාජ පර්යාය සුරකින නීති පනවන ආයතනය යන අති මූලික පන්ති සත්‍යය වසං කලහ. ඔවුහු නීතිඥයින්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ බෙලහීන අර්ථ කථනය හුවා දැක්වූහ. එනම්, එක්සත් ජනපදයට හා ලෝක අධිරාජ්‍යවාදයට ඇති පකිස්ථානයේ ධනේශ්වර පර්යායේ යටහත් පහත් සම්බන්ධය යථාර්තය ලෙස පිලිගන්නා අතර සිවිල් අයිතීන් ස්වල්පයක් නිරීක්ෂනය කිරීමේ මට්ටමට කප්පාදු කල ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ අර්ථ කථනයකි.

පෙරදැකිය හැකිවූ ආකාරයට ම නීතිඥයින්ගේ ව්‍යාපාරය, එහි සමහර සාමාජිකයින්ගේ ධෛර්යය හා අවංකභාවය තිබියදී ම, වත්මන් පීපීපී ආන්ඩුව අස්ථාවර කිරීමේ පීඑම්එල් (නවාස්) හා මිලිටරිය දැන් යෙදීගෙන සිටින ව්‍යාපාරයේ ක‍්‍රියාත්මක මෙවලමක් බවට පත්ව තිබේ.

සිය ඉතිහාසයේ නව පිටුවක් පෙරලීම සඳහා පකිස්ථාන කම්කරු පන්තියට ලැබෙන කාලයෙන් වැඩි හරියක් පසුකරවිත් තිබේ. එනම් අව්‍යාජ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැඟීමයි. කම්කරු පන්තියේ පෙරටු බලඇනිය හතරවන ජාත්‍යන්තරයට අද නායකත්වය දෙන ජාත්‍යන්තර කමිටුව වෙත හැරිය යුතුය. ඔවුන්ගේ අරගල නොනවතින විප්ලවය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාමාර්ගය මත පදනම්කල යුතුය.

මතු සම්බන්ධයි.

the WSWS | Contact Us | Privacy Statement | Top of page

Copyright