විප්ලවවාදී සමාජවාදී ක‍්‍රියාමාර්ගයකින් පකිස්ථාන කම්කරුවන් සන්නද්ධ කරනු

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පකිස්ථාන ශාඛාව ගොඩනඟනු!

Arm Pakistani workers with a revolutionary socialist program - Build the Pakistani section of the International Committee of the Fourth International!

Statemant of Marxist Voice, 6 January 2011

මාක්ස්වාදී හඬ ප‍්‍රකාශය

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ඉදිරිදර්ශනය සමඟ එකඟත්වය පලකරන හා එය සමඟ එක්ව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක ගොඩනැඟීමට එක්වන, පකිස්ථාන කන්ඩායමක් වන මාක්ස්වාදී හඬ ප‍්‍රකාශය ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙහි පලකරනු ලබයි.

මාක්ස්වාදී හඬ ප‍්‍රකාශනය, පකිස්ථාන හා දකුනු ආසියාවේ කම්කරුවන් සඳහා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් විස්තාරනය කිරීමෙහිලා වැදගත් ඉදිරි පියවරක් නියෝජනය කරයි. දකුනු ආසියාවේ කම්කරු පන්තියෙහි අත්‍යවශ්‍ය මූලෝපායික අත්දැකීම් පිලිබඳ විශ්ලේෂනයක් මත පදනම් වෙමින් එය, පකිස්ථාන කම්කරුවන් සිය අරගල නොනවතින විප්ලවයේ මූලෝපාය මත පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි.

ලෝසවෙඅ අපගේ පකිස්ථාන පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මාක්ස්වාදී හඬ ප‍්‍රකාශය අධ්‍යයනය කරමින් ද එය බෙදාහරිමින් ද ඔබගේ අදහස් හා ප‍්‍රශ්න අපවෙත ඉදිරිපත් කරමින්, පකිස්ථාන කම්කරුවන්ගේ විප්ලවවාදී සමාජවාදී පක්ෂයක් ගොඩනැඟීම සඳහා ඉදිරිදර්ශනයක් හා ක‍්‍රියාමාර්ගයක් විස්තාරනය කිරීමට දායක වන ලෙසයි.

පකිස්ථානය උග‍්‍ර සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයක් තුලින් ගමන් කරමින් සිටියි. මෙම අර්බුදය, බිලියන ගනනක සාමාන්‍ය ජනතාවගේ ජීවිත මත කියා නිමකල නොහැකි ව්‍යසනයක් ඇතිකරමින් ගෝලීය පරිමානයකින් දිහැරෙමින් තිබෙන ලෝක ධනේශ්වර අර්බුදයේ අවියෝජනීය කොටසකි. ලෝක ධනේශ්වර පද්ධතිය, 20වන සියවසේ ලෝක යුද්ධ දෙකක්, ෆැසිස්ට්වාදය, හා නිමක් නැති ප‍්‍රාදේශීය මිලිටරි ගැටුම් හා මෘග පොලිස්-මිලිටරි ආඥාදායකත්වයන් මාලාවක භීෂනය නිර්මානය කල නොවිසඳිය හැකි එම පරස්පර විරෝධයන්ගෙන්ම දෙදරුම්කා තිබේ. මූලික ප‍්‍රතිවිරෝධයන්පවතින්නේ, ගෝලීය ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, නිෂ්පාදන බලවේගයන්ගේ පුද්ගලික අයිතිය හා සමාජීයවූ නිෂ්පාදනය අතරත් ය. තවත් ව්‍යසනකාරී ලෝක යුද්ධයක තර්ජනය පමනක් නොව, කර්මාන්තයේ හා මූල්‍යයේ සමාජීයකරනය, ආර්ථික ජීවිතය ගෝලීයකරනය වීම හා ලෝක කම්කරු පන්තියේ සමාජ බලය යන ධනවාදය පෙරලාදැමීම සඳහා වන වෛෂයික කොන්දේසි ද මෙම ප‍්‍රතිවිරෝධයන් තුලින් හිස ඔසවයි.

මෙම ප‍්‍රකාශය සමඟින් මාක්ස්වාදී හඬ, 1917 ඔක්තෝබර් විප්ලවයේ සම නායකයාවූ ද අවසානයේ සෝවියට් සංඟමය තුල ධනවාදය පුනස්ථාපනය කල, සෝවියට් කම්කරු පන්තිය වෙතින් බලය පැහැරගත්, පරපුටු නිලධරයට එරෙහි අරගලයේ ප‍්‍රමුඛයා වූ ද ලියොන් ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) පකිස්ථාන ශාඛාව ගොඩනැංවීමේ අරගලයට ආරම්භකත්වය ගනියි.

ගෝලීය ධනවාදයේ බලපෑම හමුවේ කම්කරු පන්තිය අරගල කරා තල්ලුවෙමින් සිටින නමුත් ක්ෂනිකව ඔවුන් සෑම තැනකදීම ධනේශ්වර ලාභ පද්ධතිිය ආරක්ෂා කරමින් කම්කරු පන්තිය ජාතික රේඛා ඔස්සේ බෙදීම සඳහා කැපවීගත් ස්ටැලින්වාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ පතුරු, හා වෘත්තීය සමිති වැනි කලින් කම්කරු පන්තියේ නමින් පෙනීසිටි සංවිධානවලට එරෙහිව පිහිටන්නේය යන කාරනය මඟින් සලකුනු කරන්නේ, හජාජාක ගොඩනැඟීමේ හදිසි භාවයයි.

63 වසරක "නිදහස්” ධනේශ්වර පාලනය: සමාජ ව්‍යසනයේ ශේෂ පත‍්‍රය

63 වසරක නිදහස් ධනේශ්වර පාලනයෙන් පසුව පකිස්ථානය අංඟලක්ෂිත වන්නේ, විනාශකාරී දරිද්‍රතාවය ද සමාජ කාලකන්නිකම හා අසමානතාවය ද ගරාවැටෙමින් තිබෙන යටිතල ව්‍යුහය ද ජාතික, වාර්ගික හා කන්ඩායමික ගැටුම් ද එක්සත් ජනපද අනුග‍්‍රහය යටතේ මිලිටරිය විසින් දිගටම දේශපාලන ආධිපත්‍යය දැරීම ද මඟින්ය.

පකිස්ථානයේ මිලියන 45කට වැඩි ජනතාවක් ජීවත් වන්නේ නිල දරිද්‍රතා යැපීම් මට්ටමට පහතින්ය. ජනගහනයෙන් තුනෙන් දෙකක්ම පාහේ දිනකට එක්සත් ජනපද ඩොලර් දෙකකට අඩු ආදායමක් සහිතව ජීවත්වෙති. එක්සත් ජාතීන්ට අනුව, අවුරුදු පහට අඩු පකිස්ථාන ලමුන්ගෙන් සියයට 60ක් සමාන්‍ය තරමින් හෝ දරුනු ලෙසින් ඌන පෝෂිතය. ඒ අතරතුර, ව්‍යාපාරිකයින් ද ඉඩම්හිමියන් ද ඉහල නිලධාරීන් ද හමුදා නිලධාරීන් හා ඔවුන්ගේ ව්‍යාපාරික සගයින්ගෙන් සැදුම්ලත් කෑදර කුඩා පාලක පන්තිය, විදේශ ප‍්‍රාග්ධනය සමඟ මුසුවෙමින් රටේ ධනය කොල්ලකති.

දුගීභාවයත් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට රජයේ නොසමත්කමත් නිසා කෝටි ගනනක් ජනතාවට පාසැල්, සෞඛ්‍ය, සනීපාරක්ෂක, හෝ විදුලිබල පහසුකම් නොලැබී ඇත. විදුලිබල ධාරිතාවයේ වැටීම සමාජආර්ථික ජීවිතය දරුනු ලෙස බිඳදමා තිබේ. අධ්‍යාපනය හා සෞඛ්‍යය පහසුකම් විශේෂිතවම නොසලකා හැර ඇති අතර දුගී කොටස් පවා පුද්ගලික ආයතන හා ඉස්ලාමීය මූලධර්මවාදීන් විසින් පවත්වාගෙන යන පුන්‍යායතන හා ආගමික පාසැල් වෙත යොමුකරවා ඇත. අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය යන ක්ෂේත‍්‍ර දෙකටම රජය වැයකරන්නේ රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 4කටත් අඩු මුදල් ප‍්‍රමානයකි.

ගම්බද පවතින මූලික පහසුකම් හිඟය හා ගැමි ජනතාවට ජීවන ක‍්‍රමය පවත්වාගෙන යාමේ දුෂ්කරතාවය නිසා ගම්බද සිට නගර කරා සංක‍්‍රමනය වැඩිවී තිබේ. ගම්බද ජනගහනයෙන් සියයට හැත්තෑවකට ඉඩම් නොමැති අතර වැඩකරන්නේ අඳගොවීන්, බද්දට ඉඩම් වගාකරන්නන් හා කෘෂිකාර්මික කම්කරුවන් ලෙසය. නාගරික ජනකාය ද මූලික පොදු පහසුකම් හා සමාජ සේවා හිඟයට ද විරැකියාවට ද මුහුන දී සිටිති.

මහජනතාවගේ ගැටලුවලට ප‍්‍රගතිශීලී විසඳුමක් දීමට අපොහොසත් පකිස්ථාන ධනේශ්වරය වඩ වඩාත් නැඹුරුවී ඇත්තේ, ඉන්දියානු විරෝධී ස්වෝත්තමවාදය, ඉස්ලාම් මූලධර්මවාදය හා වාර්ගික ජාතිකවාදය ඔස්සේ වැඩෙන සමාජ නොසංසුන්තාවය ප‍්‍රතිගාමී ඇලමංවලට හැරවීමටත් කම්කරු පන්තිය බෙදීමටත් ය. පකිස්ථානය වාර්ගික වෛරයේත් ආගමික ප‍්‍රතිගාමිත්වයේත් පෝෂකාගාරය බවට පත්ව තිබේ.

පකිස්ථානය, දකුනු ආසියාවේ මුස්ලිම්වරුන් සඳහා ආරක්ෂාව හා රැකවරනය සපයන මුස්ලිම් ජාතික නිජභූමියක්ය යන කියාපෑම අමූලික ප්‍රෝඩාවක් බව සනාථ කර තිබේ. පකිස්ථානය එහි ගමන්මගෙහි වැඩි පංගුවක් ගතකොට ඇත්තේ යුද්ධයේ හෝ යුද්ධයක් ඔන්න මෙන්න කියා පවතින තත්වයකය. එසේම එරට ජනගහනයෙන් වැඩි පංගුවක් ජීවත් වන්නේ ආන්තික දුප්පත්කමේ ගිලෙමින් නොවේනම් උග‍්‍ර ආර්ථික අනාරක්ෂිත බවක් හමුවේය.

ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද ආක‍්‍රමනය හා වාඩිලෑම සඳහා පකිස්ථාන පාලක පන්තිය දුන් කාර්ය සාධන සහයෝගයේ සෘජු ප‍්‍රතිවිපාකය වී ඇත්තේ, 2004 වසරේ පටන් එරට මිලිටරිය වයඹදිග පකිස්ථානයේ එන්ට එන්ටම පුලුල් වන භූමිභාගයන් තුල සිවිල් යුද්ධයක පැටලී සිටීමයි. ඒ සඳහා මිලිටරිය සතු මුලු යුද ශක්තියත් එක දිගට බෝම්බ හෙලීම, අතුරුදහන්කිරීම් හා සමූහ ඝාතන ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රම යොදාගනියි. ඇෆ්ගනිස්ථානයේ එකසත් ජනපද වාඩිලෑමට විරෝධය පාන අය ඝාතනය කිරීමට ඩ්‍රෝන් මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමටත් එහිදී විශාල සිවිල් ජනතාවක් මරාදැමීමටත් වොෂින්ටනයට නිදහස් වරපත‍්‍රයක් හිමිව තිබේ.

ඇෆ්පැක් (ඇෆ්ගනිස්ථාන-පකිස්ථාන) යුද්ධය වනාහි අන් කිසිවක් නොව දෙරටෙහි ම ජනතාවන්ට විනාශයක් බව සනාථවී තිබෙන වොෂින්ටනය හා පකිස්ථානයේ පාලක පන්තිය විසින් දශක තුනක් තිස්සේ ගෙනගිය ඇඟිලි ගැසීමේ අවසන් අදියරයි. මුල් අවධීන්හි දී මෙන්ම වර්තමාන යුද්ධය ද ඉස්ලාමීය මූලධර්මවාදය පෝෂනය කරමින් පකිස්ථානයේ දේශපාලනය හා රාජ්‍ය පාලනය කෙරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හස්තය ද මිලිටරියේ ගලග‍්‍රහනය ද ශක්තිමත් කර ඇත. පකිස්ථානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගබ්සාවකට බඳුන්විය. එක්සත් ජනපදයේ මුක්කුව ලත් මිලිටරිය සෘජු ලෙසම එරට ජීවිත කාලයෙන් අඩක්ම පාලනය කර ඇත. එහෙත් ඊනියා සිවිල් පාලනය යටතේ වුවත් මිලිටරිය විශාල බලයක් දැරීය. අර්බුද ග‍්‍රස්ත පකිස්ථාන ධනේශ්වරය, සිය දේපල හා පකිස්ථාන රාජ්‍යයේ භෞමික අඛන්ඩතාවය රැකගැනීම පිනිස මිලිටරිය මත විශ්වාසය තැබූහ. ඔවුන්, ඉන්දියාව සමඟ වූ සිය ප‍්‍රතිගාමී භූ දේශපාලනික එදිරිවාදිකම් හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ ඇති සිය කුලීකාර සන්ධානය පවත්වා ගත්තේ මිලිටරිය මත පදනම් වෙමින්ය.

වත්මන් අර්බුදය

ජාතික, වාර්ගික ඝර්ෂන හා ප‍්‍රගාඪ පන්ති ප‍්‍රතිවිරෝධතා මඟින් දිගු කලක් තිස්සේ පලුදුවී ඇති පකිස්ථානය, දශකයක් පුරා ඇෆ්ගනිස්ථානය යටත්කර ගැනීම සඳහා වන එක්සත් ජනපදයේ සාපරාධී තල්ලුව මඟින් තවදුරටත් අස්ථාවරත්වයට පත්කොට තිබේ. 2008 වසරාවසානයේ පැනනැඟි ගෝලීය ධනේශ්වර අර්බුදයත් සමඟ ලෝක වෙලඳපොල සඳහා ලාභ ශ‍්‍රම සම්පාදකයින් ලෙස රටේ දුගී කම්කරුවන් බිල්ලට දෙමින් විදේශ ආයෝජකයින් ආකර්ශනය කරගැනීමේ පකිස්ථාන ධනේශ්වරයේ සිහිනය බොඳවී ගියේය.

මුෂාරෆ් ආඥාදායකත්වය බලයෙන් පහවීමත් සමඟ වසර දෙක හමාරකට පෙර පාලනයේ සුක්කානම අතට ගත් පකිස්ථාන මහජන පක්ෂයේ නායකත්වයෙන් යුත් හවුල් ආන්ඩුව කෙරේ පැවති මහජන උද්යෝගය වේගයෙන් පහව ගොස් තිබේ.

මහජනතාවගේ අපේක්ෂා හා බලාපොරොත්තු වලට පටහැනිව පකිස්ථාන මහජන පක්ෂය හෙවත් පීපීපී හවුල් ආන්ඩුව ඊට කලින් පැවති මිලිටරි තන්ත‍්‍රයේ ප‍්‍රතිපත්ති වඩාත් දැඩිලෙස ක‍්‍රියාවට නඟමින් සිටියි. එය ඇෆ්ගන් යුද්ධයට ප‍්‍රමුඛ ලෙසින් සහයෝගය දුන් අතර පුද්ගලීකරනය හා අනෙකුත් වෙලඳපොල ගැති "ප‍්‍රතිසංස්කරන” ඉදිරියට ගෙන යමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩසටහන් ක‍්‍රියාවට නැඟීය. ආන්ඩුව යලි යලිත් මිලිටරි වියදම් ඉහල නැංවීය.

වොෂින්ටනයේ සහාය හා දිරිගැන්වීම් හමුවේ දැන්, ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ගේ හිටපු දෙවෙනියාවූ ජෙනරාල් කියානිගේ නායකත්වයෙන් යුත් මිලිටරිය, සිය දේශපාලන අධිකාරය තරකරගෙන ඇත. මෑත සතිවල දී ජනාධිපති සර්දාරි හා අගමැති ගිලානි, කියානිගේ හමුදාපති ධුර කාලය වසර තුනකින් දීර්ග කරමින් හමුදාවේ බලපෑම වර්ධනය වීමට ඉඩ සැලසූ අතර අනෙක් අතට ආන්ඩුව බලයෙන් පහකිරීමේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත‍්‍රන පිලිබඳව යලි යලිත් අනතුරු ඇඟවූහ. නිව්යෝර්ක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් පුවත්පත්, පකිස්ථාන ආන්ඩුවේ "ප‍්‍රතිසංවිධානයක්” වෙනුවෙන් සක‍්‍රීය ලෙස මිලිටරිය සමඟ එක්ව කටයුතු කිරීම පිලිබඳව එක්සත් ජනපදයේ සැලකිල්ල යොමුවී ඇතිබව වාර්තා කර තිබේ.

මෙවර ග‍්‍රීෂ්ම සෘතුවේදී ඉන්දු ගංගා නිම්නයේ ඇතිවූ ගංවතුර තත්වය, පකිස්ථාන ධනේශ්වරයේ දූෂිත භාවයත්, නොතැකීම හා අදක්ෂකම පිලිබඳ ඇඟ කිලිපොලායන නිදසුනක් සැපයීය. ගංවතුර ඇතිවී දෙමසක් ගතවන තුරුත්, විපතට පත් මිලියන දෙකකට වැඩි ජනතාවකට ආන්ඩුවේ සහන සැලසී නොතිබුනි.

ගංවතුර විනාශය බොහෝ කොටම මිනිසාගේ නිර්මානයක් විය. මිලිටරි පිරිවැය සඳහාවන ප‍්‍රමුඛත්වය නිසා තර්කානුකූල හා යෝග්‍ය ආකරයකට ආර්ථිකය සංවර්ධනය කිරීමට පාලක පැලැන්තිය දක්වන නොහැකියාවේ ප‍්‍රතිපලයක් ලෙස ගංවතුර පාලනය කිරීමේ යටතල පහසුකම් ඛේදනීය ලෙස අප‍්‍රමානවත් වූවා පමනක් නොවේ. එක්සත් ජනපද හා පකිස්ථාන හමුදාවන්හි ද ඔවුන්ගේ ඇෆ්පැක් යුද්ධයේ ද විවිධ මහා ඉඩම් හිමියන්ගේ හා ඔවුන්ගේ දේශපාලන හෙංචයියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සකස්කල අමුනු ජාලය නිසා මිලියන ගනනක් අනාථවී තිබේ.

ගංවතුර නිසා ඒවන විටත් උග‍්‍ර අතට හැරී තිබුනු ආර්ථික අර්බුදය තවත් ඔද්දල් කර තිබේ. පකිස්ථාන ධනේශ්වරය මෙම සියලු බර කම්කරුවන් හා පීඩිතයින්ගේ කරමත පැටවීමට අදිටන් කරගෙන සිටියි. මෑත වසරවලදී ජීවන තත්වයන්, ඉහල නඟින ආහාර හා ඉන්ධන මිලගනන් හේතුකොටගෙන විනාශයට පත්ව තිබේ. එහෙත් ආන්ඩුව හා ජාමූඅ අවධාරනය කරන්නේ, වැඩිවන අයවැය පරතරය පියවීම පිනිස, මෙම මුදල් වර්ෂය තුල විදුලි බලය, තෙල් හා ස්වාභාවික ගෑස් සඳහා දී ඇති සහනාධාර අහෝසිකල යුතු බවත්, යලි වටයකින් සමාජ පොදු වියදම් කපාහැරිය යුතු බවත්ය.

පසුගිය ජනවාරියේදී හයිටි රාජ්‍යයේ ඇතිවූ විනාශකාරී භූ චලනය පිලිබඳ කාරනයේදී මෙන්ම මෙහිදී ද ජාමූඅ, ලෝක බැංකුව හා පකිස්ථාන පාලක පැලැන්තියේ ප‍්‍රකාශ මඟින් සහතික කල පරිදි, ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය උත්සුක වන්නේ ගංවතුර, ධනේශ්වර ප‍්‍රතිව්‍යුහකරනය වේගවත් කිරීම සඳහා උදාවූ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කිරීමටය. ගංවතුරෙන් විනාශයට පත්වූ යටිතල ව්‍යුහය යලි ගොඩනැඟීම පෞද්ගලික-රාජ්‍ය හවුල් ව්‍යාපෘති වශයෙන් ක‍්‍රියාවට නඟන බව පීපීපී ආන්ඩුව ප‍්‍රකාශකොට තිබේ. මෙය වනාහි, අත්‍යවශ්‍ය සේවාවන්ගේ වියදමෙන් සහතික කල ලාභ උපයා ගැනීමේ මාධ්‍යයක් ලෙස රාජ්‍ය අරමුදල් උපයෝගී කරගැනීමට මහා ව්‍යාපාරවලට අවස්ථාව සලසා දීම සඳහා ලෝකය පුරාම යොදාගෙන තිබෙන උපායකි.

පසුගිය වසරේදී, මහජන විරෝධතා නැඟී ඒම ද දරුනු ආහාර කැරලි හා වැඩවර්ජන ද පකිස්ථානය පුරා දැකගත හැකි විය. ආහාර සහනාධාර හිඟය, රැකියාවලින් දොට්ටදැමීම්, මිල ඉහල දැමීම්, අනෙකුත් සමාජආර්ථික මෙන්ම දේශපාලන දුක්ගැනවිලි රාශියක් මුල්කරගත් දෛනික විරෝධතා දැන් පැනනැඟී තිබේ. දොට්ටදැමීම්වලට එරෙහිව ෆයිසලාබාද්හි ජනතා විරෝධතා ද පීටීසීඑල් විදුලි සන්දේශ කම්කරුවන් අතර නැවත නැවතත් හටගත් සටන්කාමී වැඩවර්ජන ද සනිටුහන් කල පරිදි පකිස්ථාන කම්කරුවන් අරගලවලට පිවිසීම දේශපාලන තත්වයේ තීරනාත්මක වෙනසක් පිලිබඳ නිමිත්තක් වෙයි.

තමන්ගේ පැත්තෙන් පාලක පන්තිය එන්ට එන්ටම භීතියට පත්වෙයි. ප‍්‍රමුඛ පුවත්පත් ද දේශපාලඥයින් ද සමාජ පිපිරීමක් පිලිබඳව යලි යලිත් අනතුරු අඟවා ඇත. පහලින් එන මෙම අන්තරාය, පකිස්ථාන ධනේශ්වරය තවත් දැඩිව හමුදාව හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තුරුල්ලට ඇලෙමින් වාර්ගික භේද ඇවිස්සීමේ තැනට ඇද දමයි.

මූලික සිවිල් නිදහස හා කාන්තාවන්ට සමානතාව සහතික කිරීම, අධ්‍යාපනය, සනීපාරක්ෂාව හා රැකියා සම්පාදනය, ලමා ශ‍්‍රමය හා නයකරු ශ‍්‍රමය අහෝසි කිරීම වැනි පකිස්ථාන ජනතාවගේ ප‍්‍රාථමික සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රීය අභිලාශයන් සාක්ෂාත් කිරීම සඳහා රදලවාදය අහෝසි කිරීමත්, එක්සත් ජනපදයේ අනුග‍්‍රහය ලබන මිලිටරි ආරක්ෂක රාජ්‍යය පෙරලා දැමීමත්, බැංකු හා මූලික කර්මාන්ත කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතට ගැනීමත් අවශ්‍ය කෙරෙයි. මෙම කර්තව්‍යයන් සාක්ෂාත් කල හැක්කේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන එමින් පකිස්ථාන හා දකුනු ආසියාවේ පීඩිතයින්ගේ ඉරනම ධනවාදය අවසන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලය සමඟ දැනුවත්ව බද්ධ කිරීමෙන් පමනි.

මෙම අරගලය මුදුන්පත්කර ගැනීම පිනිස නව විප්ලවවාදී කම්කරු පන්තික පක්ෂයක් ගොඩනැඟිය යුතුය. එවන් පක්ෂයක් තම ක‍්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය, පකිස්ථාන හා දකුනු ආසියානු කම්කරුවන් ද ඇතුලත් ලෝක කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම් මත පදනම්කල යුතුය.

බෙදීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය මැඬපැවැත්වීම

1947 ඉන්දියාව හා පකිස්ථානය පිහිටුවීම නිදහස දිනාගැනීමක් නොවුන අතර බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සමඟ සහක‍්‍රියාකාරිත්වයෙන් වාර්ගිකව සංවිධානයවූ ඉන්දීය හා පකිස්ථාන ධනේශ්වරය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී, අධිරාජ්‍ය විරෝධී විප්ලවය මැඬීමක් පමනක් විය.

බෙදීමේ ක්ෂනික ප‍්‍රතිපලය වූයේ, මිලියන දෙකක පමන ජනතාවගේ ජීවිත විනාශ කරමින් ද මිලියන 12-14 අතර ජනතාවක් අනාථයින් බවට පත්කරමින් ද දියත්වූ ප‍්‍රචන්ඩකාරී ව්‍යාපාරයකි. උපමහාද්වීපයේ ජීවමාන ශරීරය, බෙංගාලි පංජාබ් හා කාෂ්මීර ජනතාව වෙන්කිරීම වශයෙන් බහුවිධ බෙදීමක් වන පරිදි කපා වෙන්කරන ලදී. ආර්ථික, ඓතිහාසික හා සංස්කෘතික තර්කනය නොතැකූ හා නොතකන පරිද්දෙන් රාජ්‍ය දේශසීමා අටවන ලදී.

"වාර්ගික ගැටලූව” විසඳීම කෙසේ වෙතත් බෙදීම මඟින්, දකුනු ආසියාවේ රාජ්‍ය ව්‍යුහය තුල වාර්ගික බෙදීම් නිදන්ගතකිරීම මඟින්, කැටිකර තිබේ. බෙදා වෙන්කිරීම, පකිස්ථානය හා ඉන්දියාව අතර ප‍්‍රතිගාමී භූ දේශපාලනික අරගලයක් නැඟී ඒමට තුඩුදුන් අතර එය ප‍්‍රකාශිත යුද්ධ තුනක් ද නිමක්නැති යුද අර්බුද ද, වැදගත් ආර්ථික සම්පත් නැතිභංගස්ථාන කිරීම ද සමඟින් අද දිනයේ ලෝක ශිෂ්ඨාචාරය කෙරෙහි ම විනාශකාරී ප‍්‍රතිවිපාක ජනිතකල හැකි න්‍යෂ්ටික ගිනිජාලාවකින් දකුනු ආසියාවේ ජනතාවන්ට තර්ජනය කරයි.

ජල සම්පත් ප‍්‍රයෝජනයට ගැනීම ද ඇතුලු තර්කාන්විත ආර්ථික සංවර්ධනයක ගෙල සිරකරමින් දකුනු ආසියාවේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය සඳහා මෙම බෙදා වෙන්කිරීම මඟින් කොන්දේසි නිර්මානය කර තිබෙන අතර එක්සත් ජනපදය හා අවශේෂ මහබලවතුන්ට එක්රාජ්‍යයක් හා පාලක පන්තියක් අනෙකට එරෙහිව පිහිටුවීම සඳහා දේශපාලන යාන්ත‍්‍රනයක් සම්පාදනය කර දී ඇත.

වාර්ගික පකිස්ථානු ජාතික ව්‍යාපෘතිය නියෝජනය කරන්නේ, මුස්ලිම් සමින්දාර්වරුන්ගේ හා දකුනු ආසියාවේ ධනවාදීන්ගේ එනම්, බි‍්‍රතාන්‍ය ඉන්දියානු හමුදාවේ (රනකාමී වාර්ගිකයින්) බිල්ලට යැවෙන විවිධ මුස්ලිම් කන්ඩායම්වල පල ප‍්‍රයෝජන හුවා දක්වමින් "මුස්ලිම් නියෝජිතයින්” ලෙස තම සේවය ලබාදෙමින් බි‍්‍රතාන්‍ය යටත්විජිත පර්යාය තුල වරප‍්‍රසාද හිමිකරගත් කොටස්වල අවශ්‍යතාය.

මුස්ලිම් ලීගය එදා මෙන්ම අදත් දකුනු ආසියාවේ මුස්ලිම්වරුන්ගේ අති මහත් බහුතරයකගෙන් සැදුම්ලත් කම්කරුවන්, ගොවීන් හා ශිල්පීන් කෙරෙහි තම අවිශ්වාසය පිලිබඳව කුප‍්‍රකට ප‍්‍රභූ සංවිධානයකි. එය විවෘතව ම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ අනුග‍්‍රහය ලැබීමට උත්සුකවූ අතර එසේ ලබාගත්තේය.

කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට බෙදා පාලනය කිරීමේ මූලෝපාය මෙන්ම බෙදා වෙන්කිරීම ද සාර්ථක කරගැනීමට හැකියාව ලබාදීමේ දී එහි අවසාන වගකීම පලමුවත් මුලුමනින්මත් රැඳී පැවතියේ නැඟීඑමින් සිටි ඉන්දීය ධනේශ්වරයේ ප‍්‍රධාන පක්ෂය වන ඉන්දියානු ජාතික කොන්ග‍්‍රසය මතය. එය හින්ඳු-මුස්ලිම් එකමුතුව ඔජවැඩුවේ වී නමුත් එහි පන්ති ආස්ථානය නිසා කොන්ග‍්‍රසය, විජිතවාදී-සමින්දාර්-ධනපති පීඩාවන්ට එරෙහිව දකුනු ආසියාවේ කම්කරුවන් ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතාවන්ගේ පදනම මත එකාබද්ධ අරගලයකට කැඳවීමට තරයේම විරුද්ධ විය.

පශ්චාත් දෙවන ලෝක යුද්ධ ඉන්දීය කම්කරු ගොවි අරගලයන්ගේ රැල්ල හා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයේ එන්ට එන්ටම පෙරලිකාරීවූ ස්වභාවය හමුවේ බියපත්වූ කොන්ග‍්‍රසය, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය යටතේ ගොඩනඟන ලද රාජ්‍ය යාන්ත‍්‍රනය මත සිය ග‍්‍රහනය තබාගැනීමටත් ධනේශ්වරයේ පාලනය ස්ථාවර කර ගැනීමේත් මංමුලා සහගත උත්සාහයක නිරතවූහ. එබැවින් කොන්ග‍්‍රසය, ඩොමීනියන් තත්වයට එරෙහිව සර්වජන ඡුන්ද බලය මත පදනම්ව තෝරාපත්කරගත් ව්‍යවස්ථාදායක සභාවක් වැනි සිය ක‍්‍රියාමාර්ගයේ මූලික ප‍්‍රතිපත්ති සඳහා වූ ඉල්ලීම් වේගයෙන් අතහැර දමා අර්ධද්වීපය බෙදීම සඳහා බි‍්‍රතාන්‍ය හා මුස්ලිම් ලීගය සමඟ අත්වැල් බැඳගත්හ. සැබවින්ම කොන්ග‍්‍රසය, දකුනු ආසියාවේ වාර්ගික බෙදීම, බෙංගාලය හා පන්ජාබය ද වාර්ගිකව බෙදා වෙන්කිරීම ඉල්ලා සිටින බව අවධාරනය කරමින් බෙදීමේ ඉතාම දෘඪතර හා අඛන්ඩ නියෝජිතයා බවට පත්විය.

මෙම පාවාදීමට ස්ටැලින්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) බෙහෙවින් උපකාරක විය. සෝවියට් කම්කරු පන්තිය වෙතින් බලය පැහැරගත් නිලධාරිවාදී කුලයේ බලපෑම මත සීපීඅයි, නිදහසට හා බෙදා වෙන්කිරීමට පෙර දශක දෙක පුරා අනුගමනය කල අවස්ථාවාදී පිලිවෙත, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය මත කොන්ග‍්‍රසයේ අත බෙහෙවින් ශක්තිමත් කලේය. අවධි දෙකේ විප්ලවය පිලිබඳ මෙන්ෂෙවික්- ස්ටැලින්වාදී න්‍යාය මත පදනම්ව ස්ටැලින්වාදීහු, බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදී අරගලයේ කොන්ග‍්‍රස් නායකත්වයට එරෙහිව කුමන හෝ අභියෝගයක් කිරීමට විරුද්ධ වූ අතර බි‍්‍රතාන්‍ය පාලනයේ අවසන් වසරවලදී මුස්ලිම් ලීගයට ගරුකිරීමේ එම පිලිවෙතම අනුගමනය කලහ. වාර්ගික පකිස්ථාන ඉල්ලීමට නීතියුක්ත භාවයක් ගෙනදීම ද එය ගොඩනැඟීම සඳහා සීපීඅයි සාමාජිකයින් මුස්ලිම් ලීගය තුලට ඇතුලු කිරීම ද මීට අන්තර්ගත විය. 1945ත් 1947ත් අතර කාලයේ කොන්ග‍්‍රසය හා මුස්ලිම් ලීගය එකිනෙකාට එරෙහිව කඩු අමෝරාගත් කල සීපීඅයි, එම ප‍්‍රතිවාදී ධනපති පක්ෂවලට කන්නලව් කලේ ජාතික විප්ලවයට නායකත්වය දීමේ "වගකීම” ඉටුකිරීම සඳහා එකට එක්වන ලෙසය.

බෙදා වෙන්කිරීම අර්ථ දැක්වුනේ හා දිගටම අර්ථවත් කලේ ධනේශ්වර ඉන්දියාවක් හා පකිස්ථානයක් මූර්තිමත් කල "විමුක්තිය” හා "නිදහසයි.” මුලාවක් වීම කෙසේ වෙතත් එය, අධිරාජ්‍ය විරෝධී විප්ලවය ගබ්සාවීමේ අතිශය ලේවැකි හා ක්ෂනිකව දෘෂ්‍යමානවූ ප‍්‍රතිවිපාකය වූවා පමනි.

නව රාජ්‍යය, දේපල හා වරප‍්‍රසාද සුරක්ෂිත කල අතර අනෙක් අතට සමින්දාර්වරු, කුමාරවරු හා මහ ව්‍යාපාරිකයන්ගේ ධනය ආරක්ෂා කලේය. එය, බි‍්‍රතාන්‍ය යටත්විජිත රාජ්‍යයේ මූලික ආයතන හා නීති පවත්වාගෙන ගිය අතර ධනේශ්වර සංවර්ධනයට මුක්කුව සැපයීමේ අරමුනෙන් වැඩිම වුනොත් අතැඟිලි ගනනට අල්පවූ වේලපිරිමසා ගත් ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට නැඟීය.

දශක හයක් ගතවී ඇතත් ජනතාවගේ අතිශයින් දැවෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ සමාජ ප‍්‍රශ්න කිසිවක් විසඳී නැත. එයට පටහැනිව සිදුව ඇත්තේ, රදලවාදය, කුලවාදී පීඩාව හා අනෙකුත් වැඩවසම්වාදී අවශේෂයන් ධනේශ්වර සූරාකෑම සමඟ වඩ වඩාත් එකට වෙලීමත් සමග, ඒවා තිබුනාටත් වඩා උග‍්‍ර අතට හැරීමයි.

ලෝකයේ දුප්පතුන්ගෙන් අඩක්ම ජීවත් වන්නේ උප මහාද්වීපයේය. මන්දපෝෂිත ජනගහනය මෙතරම් විශාල ලෝකයේ වෙනත් කලාපයක් ඇත්තේ නැත. ඉන්දියාව වේවා පකිස්ථානය වේවා, අධ්‍යාපනය හා මහජන සෞඛ්‍ය සඳහා සිය දදේනි සියයට 5කට වඩා වැයකරන්නේ නැත.

බෙදා වෙන්කිරීමේ හා ඉන්දු පකිස්ථාන එදිරිවාදිකම් වලට අනුකූලව, ආර්ථික වශයෙන් උප මහාද්වීපයට වඩා අඩුවෙන් ඒකාග‍්‍රවූ වෙනත් කලාපයක් ලෝකයේ ඇත්තේ නැත.

කම්කරු පන්තිය, බෙදා වෙන්කිරීමේ හා දකුනු ආසියාවේ දශක හයක "නිදහස්” ධනේශ්වර ජාතික පාලනයේ අත්දැකීම් වලින් දුරදිග යන නිගමන උකහාගත යුතුය. අධිරාජ්‍යවාදී පීඩාව හා යටත්විජිත පාලනයේ උරුමය මෙන්ම, දකුනු ආසියාවේ ප‍්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනය ජයගත හැක්කේ කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් සමාජවාදී විප්ලවයකින් පමනි. එය නොවැරදීම දකුනු ආසියාවේ ප‍්‍රතිගාමී රාජ්‍ය ව්‍යුහයට අභියෝග කරනු ඇත.

පකිස්ථාන කම්කරු පන්තියේ මූලික අත්දැකීම්

පකිස්ථාන කම්කරු පන්තියේ මූලික අත්දැකීම් පිලිබඳ දෘෂ්ටියෙන් ගත්කල මූඛ්‍ය නිගමන දෙකක් ඉස්මතු වෙයි.

* පකිස්ථාන පීඩිතයන්ගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් සාක්ෂාත් කිරීමේ අර්ථයෙන් ගත්කල ධනේශ්වරයේ සියලු කොටස් එක්කෝ ඊට විරුද්ධය, නැත්නම් අසමත්ය.

*පකිස්ථාන කම්කරු පන්තිය දැවැන්ත සමාජ බලවේගයක් මෙන්ම ස්වයං කැපකිරීමෙහිලා විභවයක් හා දැඩි සටන්කාමිත්වයක් පෙන්නුම්කර තිබේ. එහෙත්, තමන් පකිස්ථාන ධනේශ්වරයේ පක්ෂවලට හා දේශපාලනයට ගැටගසාගෙන සිටින, පකිස්ථාන කොමියුනිස්ට් පක්ෂය (සීපීපී) හා එහි අංකුර වන මාවෝවාදීන් ද වඩාත් මෑතකදී හිස එසවූ විවිධ ව්‍යාජ ට්‍රොට්ස්කිවාදී කන්ඩායම් ද වෘත්තීය සමිති ද එම කම්කරු පන්තිය යලි යලිත් අවමංගතකර තිබේ.

එක පැහැර මිලිටරි පාලනයකට පැනගත් 1958ට පෙර ගෙවී ගිය පකිස්ථානයේ ආරම්භක දශකයෙහි, එරට පැවැත්ම තුල ආධිපත්‍යය දරා සිටියේ, ජනගහනයෙන් බහුතරයකගේ අභිමතය යටපත් කරගෙන නව රාජ්‍යය තුල තමන්ට වරප‍්‍රසාදිත ආර්ථික හා දේශපාලන තත්වයක් සහතික කරන, පකිස්ථානයේ දේශපාලන-ව්‍යවස්ථාමය පද්ධතියක් ගොඩනගා ගැනීමේ ව්‍යාපාරයකට මුලපුරා තිබුනු උතුරු හා වයඹදිග දකුනු ආසියාවේ මුස්ලිම් ධනපතියන් ද සමින්දාර්වරු හා දේශපාලඥයින් ද විසිනි.

ජනගහනයෙන් සියයට දහයකටත් අඩු කොටසක් කථාකල උර්දු බස රටේ එකම ජාතික භාෂාව බවට පත්කල අතර, පකිස්ථානුවන් බහුතරයක් හා නැගෙනහිර පකිස්ථානයේ මුලු ජනගහනයම වාගේ කථාකල බෙංගාලි භාෂාවට නිල පිලිගැනීමක් නොලැබුනි. එලෙසම, ආන්ඩුවේ වියදම් හා සංවර්ධන අරමුදල්වලින් නැගෙනහිර පකිස්ථානයට හිමි පංගුව ලබාගැනීමට තිබුනු ඉඩකඩ ක‍්‍රමානුකූලව අවුරා දැමුනි. නැගෙනහිර පකිස්ථාන සිසුන් විරෝධය පලකල විට ඔවුන් මැඩලූ අතර, විරෝධතා වටයක නැඟී ඒමටත් වඩ වඩාත් රාජ්‍ය මර්දනය යෙදීමටත් තුඩුදෙමින් එම තත්වය, 1971දී කුලුගැන්වුන, ලක්ෂ සංඛ්‍යාත බෙංගාලි වැසියන්ට මරු කැඳවමින් දියත්වුන කුරිරු මිලිටරි ප‍්‍රහාරයක් දක්වා වර්ධනය වෙමින් බංගලාදේශය කැඩී වෙන්වීමේ වෙඩිමුරය බවට පත්විය.

මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මැඩලීම, අධිරාජ්‍යවාදය සමඟ යටත් හවුලක් වෙනුවෙන් පකිස්ථාන ධනේශ්වරයේ ඇවිටිල්ල සමඟ අත්වැල් බැඳගෙන ගමන් කලේය. වැඩිකල් නොයවා ම පකිස්ථානයට දැකගත හැකි වූයේ, එහි නව පාලකයින්, පලමුව බි‍්‍රතාන්‍ය සඳහාත්, එයට එම කාර්යය ඉටුකිරීමට තරම් සවියක් නොමැති බව වටහා ගැනීමෙන් පසුව එක්සත් ජනපදය සඳහාත් ආසියාව තුල අධිරාජ්‍යවාදය වෙනුවෙන් කැපවූ රාජ්‍ය බලකොටුවක් එනම්, අධිරාජ්‍යවාදයේ ප‍්‍රාකාරයක් හැඩගැස්වීම ආරම්භ කර ඇති බවයි.

එක්සත් ජනපද පකිස්ථාන සන්ධානය, එක්සත් ජනපද-පකිස්ථාන අන්‍යොන්‍ය ආරක්ෂක ආධාර ගිවිසුම, සියැටෝ හා සෙන්ට්‍රෝ ගිවිසුම් ලෙස 1954දී නිධන්ගත කරනු ලැබු අතර, එමඟින් පකිස්ථාන පාලක පැලැන්තිය ඉන්දියාව සමඟ පැවති එහි ප‍්‍රතිගාමී භූ දේශපාලනික එදිරිවාදිකම් මෙන්ම එරට මිලිටරිය, වැඩි වැඩියෙන් දේශපාලන අභිලාශයන් ද කැටිකරගනිමින් බලගතුම රාජ්‍යායතනය බවට ඔසවා තැබීමට කොන්දේසි නිර්මානය කිරීමෙහිලා ද දිරිගැන්වීය. පාලක පැලැන්තියේ ගැඹුරු කල්ලිගැසීම් ද කම්කරුවන්ගේ හා ගොවීන්ගේ නැගී එමින් තිබුනු අරගල රැල්ලක ද කොන්දේසි හමුවේ අයුබ් ඛාන් යටතේ පලමු වරට 1958දී මිලිටරිය බලය පැහැර ගත්තේය.

ආරම්භයේ පටන්ම ස්ටැලින්වාදීහු බෙදා වෙන්කිරීම මඟින් පටවන ලද පිලිවෙතේ නීත්‍යානුකූල භාවය පිලිගත්හ. පකිස්ථානයේ අර්බුද ග‍්‍රස්ත ආන්ඩුව, ඉඩම් ප‍්‍රතිසංස්කරන හෝ ජනතාවගේ අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අවශ්‍යතා ඇතුලු නිදහසේ මූලික අවශ්‍යතා විසඳීමට ආරම්භයේ සිටම දැක්වූ අසමත්කම ස්ටැලින්වාදීන්ට නම්, තනි ඒකකයක ප‍්‍රතිගාමී බටහිර පකිස්ථාන ව්‍යාපෘතියට විරුද්ධවීමේ නාමයෙන් ඊනියා ප‍්‍රගතිශීලී ධනේශ්වරය සමඟ සන්ධානයන් ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවය යුක්තිසහගත කිරීම සඳහා ලැබුනු අලුත් තර්කයක් විය. එයට අනුකූලව ස්ටැලින්වාදීහු ජාතික අවාමි පක්ෂය (එන්ඒපී) වැනි සංවිධාන හරහා ප‍්‍රාදේශීය ධනපති පැලැන්තීන් සමඟ බැඳීම් ඇතිකර ගත්හ. මෙම පන්ති සහයෝගිතාවයේ සන්ධාන වඩා හොඳින් ඉදිරියට තල්ලු කිරීම පිනිස 1968දී පකිස්ථාන කොමියුනිස්ට් පක්ෂය එකක් බටහිර වෙනුවෙන් ද අනෙක නැගෙනහිර පකිස්ථානය වෙනුවෙන් ද වශයෙන් දෙකට බෙදී ගියේය.

තුනී ධනේශ්වර පැලැන්තියට හා අයුබ් ඛාන්ගේ සගයින්ට මුලුමනින්ම පාහේ වාසි සැලසූ 1968-69 අවධියේ පැවති ආර්ථික වර්ධනයකින් පසුව හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙමින් පැවති ප‍්‍රතිරෝධයක කොන්දේසි යටතේ පකිස්ථාන කම්කරුවෝ වේදිකාව අරක් ගත්හ. සිසුන් හා ආඥාදායකත්වය අතර හටගත් ගැටුම්, කම්කරු පන්තියේ විරෝධතා හා වැඩවර්ජන සඳහා උත්පේ‍්‍රරකයක් විය. එහෙත් අවසානයේ, කම්කරු පන්තියේ වැඩෙමින් පැවති බලය හා සටන්කාමිත්වය, වෛරයට පත් අයුබ් ඛාන් නෙරපා හැර රටේ කිසි දිනෙක නොපැවති ජාතික මැතිවරනයක් පලමු වරට පවත්වන බවට පොරොන්දු වෙමින් යුද නීතිය පැනවීම කරා මිලිටරිමය මෙහෙයවීමට මුල්විය.

වැඩවසම් පවුලක උරුමකරු හා අයුබ් ඛාන් කැබිනට් මන්ඬලය තුල සිටි අතෘප්තිමත් ඇමතිවරයෙකුවූ සුල්ෆිකාර් අලි භූටෝ හා ඔහුගේ අලුතින් පිහිටුවන ලද පකිස්ථාන මහජන පක්ෂය බටහිර පකිස්ථානයෙහි මිලිටරි පාලනයේ විරුද්ධ පක්ෂ නායකත්වය ලෙස ඉස්මතු වීමට සමත්වූයේ නම් ඒ, වමේ දේශපාලන හිඩැස ගසාකෑමට ඔවුන්ට හැකිවූ බැවින්ය. විවිධ ස්ටැලින්වාදී පක්ෂ, එක් හෝ තවත් ආකාරයකින් එම තන්ත‍්‍රයේ ප්‍රෝඩාකාරී දේශපාලන ව්‍යුහය තුල ගිලී ගියේය. එහි වඩාත්ම බියගුලු වර්ගය මාවෝවාදීන්ය. සභාපති මාවෝ සේතුං යටතේ චීන ස්ටැලින්වාදී ත‍්‍රන්තය වෙතින් තමන්ට ලැබුනු ඉඟිය පරිදි ඔවුහු, අයුබ් ඛාන් ආඥාදායකයා පකිස්ථානයේ ධනේශ්වර කාර්මීකරනයට මුල්තැන දුන් හා බීජිනයේ රාජ්‍ය තාන්ත‍්‍රික මිතුරෙකුවූ තාක් කල් "ප‍්‍රගතිශීලී අත්තනෝමතිකයෙක්” ලෙස හැඳින්වූහ.

එහි උපතේ පටන්ම පීපීපීය සමාජවාදී හඬකින් කථාකල, ජාතික සංවර්ධනය සඳහා ජනතාව පෙලගස්වා ගැනීමට ජනතාවාදී පුරසාරම් දෙඩූ හා ඊටත් වඩා, කම්කරු පන්තිය ධනේශ්වරයේ ග‍්‍රහනයෙන් ගිලිහී යාම වැලැක්වීමට යොමුවූ ධනේශ්වර පක්ෂයක් විය.

දැඩි පකිස්ථාන ජාතිකවාදී පක්ෂයක්වූ එය, ප‍්‍රතිසංස්කරන මාලාවක් සමඟ බද්ධ වෙමින් ආගමික-වර්ගවාදී ජාතික දෘෂ්ටිවාදයක් වූ "ඉස්ලාම් සමාජවාදයේ” නියමුවා විය. එයට, ඉන්දීය කොන්ග‍්‍රස් පක්ෂය යටතේ හා අලුතෙන් නිදහස ලැබූ බොහෝ ආසියානු හා අප‍්‍රිකානු ධනේශ්වර තන්ත‍්‍රයන් අනුගමනය කලාක් වැනි, ධනේශ්වර සංවර්ධනයට රාජ්‍යය මූලිකත්වය ගත් ක‍්‍රියාමාර්ගයකට මුක්කුව දීමේ අර්ථයෙන්, කර්මාන්තයේ සමහර කොටස් ජනසතුව ද ඇතුලත් විය.

ස්ටැලින්වාදීහු, සමාජ ප‍්‍රගමනය සඳහා විභවය සහිත මෙවලමක් ලෙස එය හඳුන්වා දෙමින් වහාම පීපීපීයේ වැඩපිලිවෙල වැලඳ ගත්හ. විශේෂයෙන්ම ජාතික ශිෂ්‍ය සම්මේලනය වැනි බීජිං ගැති කන්ඬායම් ද ඇතුලු විශාල කොටසක්, පීපීපීයට බැඳෙමින් එය ගොඩනඟන ලෙස කම්කරුවන් හා සමාජවාදී අදහස් දැරූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියහ.

ආරම්භයේ පටන්ම වාගේ භූටෝ, පකිස්ථාන ධනේශ්වරයේ අධිකාරී කොටස් කෙරෙහි සිය විරුද්ධත්වයේ සීමාසහිතකම මැනෙවින් ප‍්‍රදර්ශනය කර තිබුනි. බෙංගාලි ජනතාවට එරෙහිව සිදුකල බිහිසුනු මිලිටරි මර්දනයට සහාය දැක්වීම ද ඇතුලූ, ෂික් මුජිබර් රහමන් විසින් නායකත්වය දුන් බෙංගාලි ධනේශ්වරයේ විරුද්ධ පාර්ශවයට එරෙහිව, පකිස්ථාන මිලිටරිය හා රාජ්‍ය නිලධරය සමඟ ඔහු සමීප ලෙස බැඳී සිටියේය.

1971 ඉන්දු පකිස්ථාන යුද්ධයෙන් පකිස්ථාන පාලක පන්තිය ලත් නින්දිත පරාජයෙන් පසුව හා නැගෙනහිර පකිස්ථානය හෙවත් බංගලාදේශය අහිමිවීමෙන් පසුව භූටෝ, එම වසරේ දෙසැම්බරයේදී ජනාධිපති තනතුරට පැනගත්තේය. 1972 වසර අවසානයේදී ඔහුගේ පීපීපී ආන්ඩුව, කම්කරු පන්තිය සමඟ, විශේෂයෙන්ම කරච්චියේදී, දරුනු ගැටුමකට පිවිසියේය.

මිලිටරි තන්ත‍්‍රය කෙරේ සිය විරුද්ධත්වය නිසා හිරේ දමන ලද වෘත්තීය සමිති නායකයෝ භූටෝ යටතේ ද එම සන්තෑසියටම මුහුනදෙනු අත්දුටුවෝය. ඉඩම් ප‍්‍රතිසංස්කරන නීති සම්මත කරන ලද නමුත් එක් ඉතිහාසඥයෙක් සඳහන් කල පරිදි "පුරසාරම්වලට පිටුපසින් පැවති තත්වය බෙහෝකොටම නොවෙනස්ව තිබුනි. 1959 මෙන්ම, යලි බෙදාහැරීම සඳහා අවසන් වශයෙන් ඉතිරිවූයේ ඉඩම් සීමිත ප‍්‍රමානයක් පමනි.” (ටැල්බට්, පකිස්ථානය: නූතන ඉතිහාසයක් - Pakistan: A Modern History)

1977දී සුල්ෆිකාර් අලි භූටෝ බලයෙන් පහකරමින් ද ඔහු මරාදමන නීති සම්පාදනය කරමින් ද කටයුතු කල ජෙනරාල් සියා උල් හක්ගේ ආඥාදායකත්වය, පකිස්ථාන ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස නිවැරදිව හඳුනාගෙන තිබේ.

නිසාම් අයි මුස්තෆා හෙවත් අල්ලාගේ නීතිය සියා විසින් ප‍්‍රකාශයට පත්කල අතර, ජමයිට් අයි ඉස්ලාමි මුස්ලිම් මූලධර්මවාදී සංවිධානය සමඟ සමීපව සම්බන්ධතා පවත්වමින් කාන්තාවන්ගේ මූලික අයිතීන් අහෝසි කරමින් විවිධ වැරදි වලට මධ්‍යකාලීන යුගයේ දඬුවම් පැනවීය. සියා සම්න්ධයෙන් ගත්කල ඉස්ලාමීයකරනය වනාහි, එන්ට එන්ටම අපකීර්තියට පත්වන පකිස්ථාන ජාතික ව්‍යාපෘතිය නඟාසිටුවීමේ ද ඔහුගේ ආඥාදායක පාලනය යුක්තිසහගත කිරීමේ ද කම්කරු පන්තියට හා වාමාංශයට එරෙහිව ප‍්‍රතිගාමී ප‍්‍රාකාරයක් ලෙස සේවය කිරීම සඳහා මූලධර්මවාදී සංස්ථා හා පක්ෂ ජාලයක් සවිමත් කිරීමේ ද මාධ්‍ය විය.

මුජහිඩීන් ව්‍යාපාරයට එක්සත් ජනපදයේ සහයෝගය ලබාදෙමින් වොෂින්ටනය විසින් හිතා මතාම ප‍්‍රකුපිත කරන ලද බව හිටපු ජාතික ආරක්ෂක උපදේශක සිබිග්නිව් බ්‍රෙසින්ස්කි දැන් පිලිගනු ලබන 1979 දෙසැම්බරයේ සිදුවූ ඇෆ්ගනිස්ථානයේ සෝවියට් ආක‍්‍රමනයත් සමඟ, සෝවියට් සංඟමයට එරෙහිව යලි ප‍්‍රානවත් කල එක්සත් ජනපද මිලිටරි-රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රහාරයේ කඩ ඇනය ලෙස සියා මිලිටරි තන්ත‍්‍රය මතුව ආවේය. සවුදි රාජාන්ඩුව ද සියා තන්ත‍්‍රයේ ප‍්‍රමුඛ අනුග‍්‍රාහකයෙක් ලෙස පෙරට ආවේය. මධ්‍යම රහස් ඔත්තු සේවය හෙවත් සීඅයිඒ-අයිඑස්අයි හෙවත් පකිස්ථාන මිලිටරි ඔත්තු සේවය සිදුකරන ඇෆ්ගනිස්ථාන මැදිහත්වීම් ද සියාගේ ප‍්‍රතිගාමී ඉස්ලාමීයකරන ව්‍යාපාරය ද සවුදියේම ප‍්‍රතිගාමී වහාබි දෘෂ්ටිවාදය ශක්තිමත් කලේය.

සියා තන්ත‍්‍රයේ ප‍්‍රතිපත්ති පකිස්තාන ජනතාව මත කල් පවත්නා හා විනාශකාරී බලපෑමක් ඇතිකරනු ලැබිනි. එහෙත් සියා සඳහා දොර විවර කලේ ධනපති ජනතාවාදී වාචාලයෙකුවූ අලි බූටෝ බව අමතක නොකල යුතු කාරනයයි. ඒ, ඔහු බොහෝ ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරුන්ට උඩින් සියා හමුදාපති බවට පත්කිරීම නිසා පමනක් නොවේ. බලුකිස්ථානයේ ජාතිකවාදී කැරලිකාරිත්වය මත සිදුකල ලේවැකි මර්දනය තුල මිලිටරියේ ක‍්‍රියාකලාපය උච්ඡස්ථානයක තබමින් ද එය දේශපාලනිකව පුනරුත්ථාපනය කරමින් ද බූටෝ, වොෂින්ටනය සමඟ ඉස්ලමාබාදයේ බැඳීම දිගටම පවත්වාගෙන ගියේය. එහි සියලු ප‍්‍රතිගාමී ඉල්ලීම් වලට නතු වෙමින් බූටෝ ආගමික දක්ෂිනාංශය දිරිමත් කලේය. එයට, මත්පැන් තහනම, මුස්ලිම් සබාත් නිවාඩු දිනයක් කිරීම හා අල්මාඩිවරුන් මුස්ලිම් නොවන්නේ යයි නීතිගත කිරීම ඇතුලත්ය. මෙය, පකිස්ථානයේ ඉස්ලාම්වාදය සඳහා වරප‍්‍රසාදිත තත්වයක් සහතික කරමින් අයුබ් ඛාන් විසින් සකස්කල 1973 ව්‍යවස්ථාව බොහෝ දුරට ඉක්මවා ගිය අතර, සවුදි අරාබියේ හා අනෙකුත් ගල්ෆ් රටවල ප‍්‍රතිගාමී ෂික්වරුන්ගේ සහයෝගය බලාපොරාත්තුවෙන් බූටෝ පකිස්ථානයේ ඉස්ලාම් ස්වභාවය අවධාරනය කලේය. බූටෝගේ අශීර්වාදය ඇතිව පකිස්තාන මිලිටරිය, මොහමඞ් ඩාවුඩ්ගේ ඇෆ්ගන් ආන්ඩුවට විරුද්ධවූ ගුල්බඩින් හෙක්මටියර් හා අනෙකුත් ඉස්ලාමිකයන්ට අභයභූමියක් ද සංවිධානාත්මක ආධාර ද සම්පාදනය කලේය.

සමකාලීනව, පකිස්ථානයේ භූටෝ ද ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ද ශ‍්‍රී ලංකාවේ සිරිමාවෝ බන්ඩාරනායක ද ඉෂ්ඨ කල ක‍්‍රියාකලාපයන් අතර කැපී පෙනෙන සමානකමක් දක්නට ඇත. පශ්චාත් දෙවන ලෝක යුද්ධ ධනේශ්වර උත්පාතය අවසන්වීම සමඟ සම්පාතව වේගයෙන් නැඟී ආ පන්ති අරගලයේ කොන්දේසි හමුවේ, ප්‍රෝඩාකාරී සමාජවාදී දෙඩවීම් මඟින් කම්කරු පන්තිය හා පීඩිත ජනතාවන් ධනේශ්වරයට ගැටගසා ගැනීම පිනිස මේ සියලූ දෙනාම උත්සුකවූ අතර ආරම්භයේදී ඉතා සීමිත ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාත්මක කලත් කම්කරු පන්තිය සමඟ මුහුනට මුහුන ගැටුමට එලඹීමෙන් පසුව නොසංසුන්තාවය මැඬීම සඳහා හදිසි නීති හා අනෙකුත් ආඥාදායක ක‍්‍රමෝපායන් භාවිතයට ගත්හ.

ජනතාවාදය හා මර්දනය තුලින් වමෙන් එල්ල වූ අභියෝගය මොටකිරීමට ක‍්‍රියාකිරීමෙන් පසුව 1977 වසරේ මාස පහක කාල පරාසය තුල මේ සියල්ලන්ම බලයෙන් පහව ගියේය. ඉන් පසුව ධනේශ්වර දේශපාලනය, ඉන්දිරා ගාන්ධි පිලබඳ කාරනයේදී ඇය මේ මාරුවට මුහුනපෑවේ 1980දී ඇය යලි බලයට පත්වීමෙන් අනතුරුව වුවත්, තියුනු ලෙස දකුනට පැද්දී ගියේය. මෙම ආන්ඩු දිගුකාලීන ප‍්‍රතිගාමී උරුමයක් ඉතිරිකර තිබුනි. ස්වෝත්තමවාදය හා ජාතික හා ආගමික-වාර්ගික අනන්‍යතාවයට ඇමතීම සමඟ බැඳී තිබුනු ඔවුන්ගේ "වාම” ජනතාවාදය, 1980 ගනන්වල දකුනු ආසියාව පුරා වාර්ගික-වර්ගවාදී දේශපාලනය ප‍්‍රමානයෙන් පුලුල් වීම සඳහා බීජ වපුරනු ලැබිනි.

මෙම පූච්ඡානම් වාම තන්ත‍්‍රයන්ට අභියෝග කිරීමෙන් කම්කරු පන්තිය වලකාලීමේ තීරනාත්මක භූමිකාව ඉටුකරන ලද්දේ ස්ටැලින්වාදීන් හා මාවෝවාදීන්ය. පීපීපී තන්ත‍්‍රයටත් 1977දී පිහිටුවන ලද දක්ෂිනාංශය ආධිපත්‍යය දැරූ භූටෝ විරෝධී පකිස්ථාන ජාතික සන්ධානයටත් (පීඑන්ඒ) එරෙහිව ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය බලමුලූ ගැන්වීම සඳහා සටන් කිරීමට ඔවුහු අසමත් වූහ. ස්ටැලින්වාදීන්ගේ දිගුකාලීන සගයා වූ එන්ඒපීය නීතිමය ප‍්‍රශ්න මත ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ලෙස අලුතෙන් නම්කල අතර ඔවුන් දක්ෂිනාංශික පකිස්ථාන් මුස්ලිම් ලීගය හා ඉස්ලාමීය මූලධර්මවාදී පක්ෂ සමඟ හවුලක් ගොඩනඟා ගත්තේය. පීඑන්ඒ සමඟ සහයෝගීව ඔවුන් 1977 මැතිවරනය තරඟ වැදුනේය. මැතිවරනයෙන් පසුව ඔවුන් දියත්කල ආන්ඩු විරෝධී උද්ඝෝෂන රැල්ල සියාගේ කුමන්ත‍්‍රනය සඳහා මං පෑදීය.

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය, 1975-77 හදිසි නීති පාලනය අවධියේ පවා ඉන්දිරා ගාන්ධිගේ කොන්ග‍්‍රස් ආන්ඩුවෙහි හවුල්කරුවෙක් විය. මේ අතර ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) කොන්ග‍්‍රසයේ ධනපති විපක්ෂයට කම්කරු පන්තිය යටත් කලහ. අවසානයේදී හින්දු ස්වෝත්තමවාදී ජනසං කාර්යධරයන් ද ඇතුලු එහෙන් මෙහෙන් අහුලාගත් කොන්ග‍්‍රස් විරෝධීන්ගේ හවුලක් වූ ජනතා පක්ෂය බලයට ගෙනඒමට එය පිටිවහලක් විය. කම්කරු පන්තිය මත දේශපාලන අධිකාරය පවත්වාගෙන ගිය ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂවලට අභියෝග කිරීම නැක්සලයිට්වරු (මාවෝවාදීන්) ප‍්‍රතික්ෂේප කලහ. විප්ලවවාදී අරගලයේදී අතිශය වැදගත් ප‍්‍රශ්නයවූ සමාජවාදී විඥානය, දේශපාලන ස්වාධීනත්වය හා කම්කරු පන්තියේ දේශපාලන නායකත්වය නඟාසිටුවීමේ අරගලය නොව ඔවුන් දේශනා කලේ "දිග්ගැස්සුනු මහජන යුද්ධය” නම් ගොවීන් මත පදනම්වූ ගරිල්ලාවාදයයි. සීපීඅයි හා සීපීඑම් මෙන්ම නැක්සලයිට්වරු ද සමාජවාදී විප්ලවයට විවෘතවම සතුරු වූහ. ඒ වෙනුවට ඔවුන්, ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යය, - එනම් ධනේශ්වර විප්ලවය, - නිමා කිරීම පිනිස ධනේශ්වරයේ "දේශපේ‍්‍රමීන්” ද ඇතුලත් ගොවීන්ගේ නායකත්වයෙන් යුත් පන්ති හතරක හවුලක් ඉදිරිපත් කලේය.

දකුනු ආසියාව තුල ස්ටැලින්වාදී-ජාතිකවාදී දේශපාලනයේ ප‍්‍රතිපල වශයෙන් ඇතිවූ දේශපාලන ව්‍යසනයන් පිලිබඳ තවත් ඛේදනීය නිදසුනක් ඇෆ්ගනිස්ථානය විසින් සපයනු ලබයි. 1978 ඇෆ්ගන් නැතහොත් සාවුර් විප්ලවය ඉහත කී තත්වයන්ට කිසිසේත්ම වෙනස් නොවීය. ස්ටැලින්වාදීන්ගේ දිගුකාලීන මිතුරෙකු වූ ඇෆ්ගන් කුමාරයෙක් හා දේශපාලඥයෙකු වූ ඩාවුඞ් පසුව ඔවුන්ට එරෙහිව යමින් මර්දනයේ ව්‍යාපාරයක් ආරම්භකල විට ඔවුන්, ඇෆ්ගනිස්ථානයේ ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (පීඩීපීඒ) ලෙස සංවිධානයවෙමින් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ රජා පෙරලා දැමීමේ කුමන්ත‍්‍රනයක් දියත් කිරීමෙනි. තමන් අතර පැවති කටුක එදිරිවාදිකම් තිබිය දී ම පීඩීපීඒහි සියලු කොටස් බලාපොරොත්තු වූයේ සෝවියට් ස්ටැලින්වාදී නිලධරයේ ද අනුග‍්‍රහය ඇතිව ඉහල සිට ගෙන එන ප‍්‍රතිසංස්කරන තුලින් ප‍්‍රගතිශීලී ධනේශ්වර තන්ත‍්‍රයක් ස්ථාපනය කිරීමටයි. ඉඩම් හිමියන්ගෙන් ද ගෝත‍්‍රික නායකයින්ගෙන් ද ඇෆ්ගන් ප‍්‍රභූ පැලැන්තියේ අවශේෂ කොටස්වලින් ද වඩාත් ප‍්‍රමුඛ ලෙස පකිස්ථාන පාලක පන්තියෙන් හා අධිරාජ්‍යවාදයෙන් එල්ල විය හැකි විරුද්ධත්වය ඔවුහු බරපතල ලෙස අව තක්සේරු කලහ.

ඇෆ්ගන් ජාතිකවාදයේ කරවටක් ගිලී සිටි ඔවුන්, පකිස්ථානයේ හා ඉන්දියාවේ මෙන්ම ලෝකයේ කම්කරුවන් ඇමතීමට අසමත් වූ අතර එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යාන්ත‍්‍රනයට ප‍්‍රතිචාර දැක්වූයේ දේශපාලන පලායාම් හා රුදුරු මර්දනය තුලින්ය.

සියා-උල් හක්ගේ ආඥාදායකත්වය, විශේෂයෙන්ම 1983 සින්ඩ්හි, මහජන විරුද්ධත්වය අවුලුවාගත්තේය. එහි ගොවි කැරැල්ල මැඬීම සඳහා හමුදා සේනාංක තුනක් ද ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා ද අවශ්‍ය විය. වසර පහකට පසුව සියා ඝාතනය කිරීමත් සමඟ ආඥාදායකත්වය හදිසියේම අවසන් විය. එහෙත් ඔහු හා ඔහුගේ තන්ත‍්‍රය සිය ආයුකාලය අවසන් කරගනිමින් සිටින බවට බොහෝ සලකුනු දක්නට තිබුනි. සෝවියට් ස්ටැලින්වාදී නිලධරය පොරොන්දු වූ පරිදි ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා මුලුමනින්ම ඉවත්කිරීම අරඹා තිබුන අතර එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක පර්යායට දැන් සියා වේගයෙන් මැකීයන වත්කමක් වූවා පමනි. පකිස්ථාන ධනේශ්වරයේ පුලුල් කොටස් හා මිලිටරිය පවා ආඥාදායකත්වය දැකගනු ලැබුවේ අනවශ්‍ය බරක් ලෙසය. විශේෂයෙන්ම එහි භේදකාරී හා අස්ථාවරකාරී ඉස්ලාමීයකරනයේ ව්‍යාපාරයයි. ඉස්ලාමීයකරන ව්‍යාපාරය කට්ටිවාදී කලිකලහ ගිනිඅවුලුවා තිබුනා පමනක් නොවේ. එයත් එයට සම්බන්ධ "ශක්තිමත්” මධ්‍යම ආන්ඩුවක් පිලිබඳ ප‍්‍රතිපත්තියත් පක්ස්ථාන ආන්ඩුව ඇතුලතින්ම කේන්ද්‍රාපසාරී ප‍්‍රවනතා පෝෂනය කරමින් හමුදාව ජනතා කෝපයේ ඉලක්කයක් බවට පත්කලේය.

ස්ටැලින්වාදීහු, සියා ආඥාදායකත්වයට එරෙහි කම්කරු පන්තියේ විරෝධය පීපීපී හා එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි පිහිටුවීම (එම්ආර්ඩී) සඳහා වූ ව්‍යාපාරයටත් දේශපාලනිකව යටත්කිරීමට උත්සුක වූහ. ඔවුන්ගේ ඉදිරිදර්ශනය, එක් කලෙක පැබ්ලෝවාදී නායකයෙක් හා මේ දිනවල පකිස්ථානයේ කම්කරු පක්ෂය නඟාසිටුවීමේ යෙදී සිටින තරික් අලි විසින් ද වැලඳගෙන සිටියේය. 1980 ගනන් වැඩිහරියක දී තරික් අලි, බෙනාසීර් බූටෝගේ නිල නොවන උපදේශකයෙක් ලෙස සේවය කලේය. මෙහිදී ඔහු මිලිටරිය විසින් ඇගේ පියා ඝාතනය කිරීමෙන් පසු පලමු වරට 1986 වසරේ ලාහෝර්හිදී මහජනතාව ඇමතීමට ඇයට ඉඩ ලැබුනු අවස්ථාවේ පැවැත්වූ කථාව ලියාදුන්නේය. පකිස්ථානයේ නිල වම, පීපීපී පිලිබඳ ජනතාව අතර මිත්‍යාවන් ගොඩනැංවූ අතර ඔවුන් වගකිවයුතු වන්නේ, හුදෙක් 1989 මැතිවරනයෙන් බලයට පත්වූ පසුව සිදුකල පීපීපී කටයුතු පිලිබඳව පමනක් නොවේ. පූද්ගලීකරනය හා අනෙකුත් වෙලඳපොල ගැති දක්ෂිනාංශික ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට නැඟීමේදී පීපීපීයේ මුඛ්‍ය භූමිකාව මඟින් කලඑලි බැස්වූ දේශපාලන ව්‍යාකූලත්වය හා අවමංගතවීම පිලිබඳව ද ඔවුන් වගකිව යුතුය.

පීපීපීයේ කටයුතු හා නවාස් ෂරීෆ් නායකත්වය දුන් පකිස්ථාන මුස්ලිම් ලීගය (පීඑම්එල්) 1990 ගනන්වල විටින් විට පැවති ඔවුන්ගේ කෙටි ආන්ඩු කාලයන් තුලදී ඔවුන්ගේ මූලික පන්ති එකමුතුව සලකුනු කලේය. දෙපාර්ශවයම ජාමූඅ ප‍්‍රතිව්‍යුගතකිරීම් ක‍්‍රියාත්මක කලේය. පකිස්ථානයේ න්‍යෂ්ටිකකරනය ඉදිරියට ගෙන ගියේය. තලේබාන්වරුනට ද කාබුල්හි තලේබාන් පාලනයක් පැලපදියම් කිරීම සඳහා ද පකිස්තාන මිලිටරි බුද්ධි අංශ සංස්ථාපිතය දැක්වූ අනුග‍්‍රහයට ද ඔවුහු සහාය දැක්වූහ. අද දිනයේ පීපීපී හා පීඑම්එල් පකිස්ථානයේ "ජයග‍්‍රාහී” න්‍යෂ්ටික අවි වැඩසටහනේ කීර්තිය කා සතුවිය යුතු ද යන්න මත භේදවී සිටියි.

සීතල යුද්ධයේ අවසානයෙන් පසුව ලෝක භූ දේශපාලනයේ සිදුව තිබෙන ප‍්‍රධාන වෙනස්කම් තුල මුෂාරෆ්ගේ 1999 කුමන්ත‍්‍රනය මුල්බැස තිබුනි. ඉන්දියානු කාෂ්මීරයේ කාගිල් තුලට කල පකිස්ථන හමුදා ආක‍්‍රමනය අවසන් කිරීමට එක්සත් ජනපදය යෙදූ බලපෑමට ෂරීෆ් නතුවීම පිලිබඳව මිලිටරිය කෝපයට පත්ව සිටියේය. සෝවියට් සංඟමය සමඟ පැවති සීතල යුද්ධ අවධියේ සන්ධානයෙන් දැන් නිදහස්ව සිටින ඉන්දියාව සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීමට වොෂින්ටනය දැක්වූ උනන්දුව තුලින් එක්සත් ජනපදයේ ආස්ථානය ගලා ආවේය.

දෙවසරකටත් අඩු කාලයකින් පසුව මුෂාරෆ්ට ද එක්සත් ජනපදයේ බලපෑම් හමුවේ යටත්වීමට සිදුවිය. ඉතා වැදගත් මූලෝපායික වෙනසක් සිදු නොවුනොත් පකිස්ථානය "ගල් යුගය කරා ඇද දමන” බෝම්බ ප‍්‍රහාරවලට ලක් කිරීමේ තර්ජනය, කාබුල්හි තලේබාන් තන්ත‍්‍රයට දෙන ඉස්ලමාබාදයේ අනුග‍්‍රහය අවසන් කිරීම, එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්ථාන ආක‍්‍රමනයට ක‍්‍රියාමාර්ගික සහයෝගය දැක්වීම ද ඊට ඇතුලත් විය.

අතීතයේ මෙන්ම පකිස්ථාන ප‍්‍රභූ පැලැන්තිය වර්තමානයේදී ද, විශේෂයෙන්ම හමුදා නිලධරය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අත් උදව්කරුවෙක් ලෙස කටයුතු කිරීමෙන් ආර්ථික හා භූ දේශපාලනික වාසි නෙලාගෙන තිබේ. එහෙත් ඇෆ්ගන් යුද්ධය, පකිස්තානයේ සැලකිය යුතු කොටසක් සිවිල් යුද්ධයක් තුලට ඇද දැමීම තුලින් පකිස්ථාන ධනේශ්වරයේ අර්බුදය උත්සන්න කර ද තිබේ. ඊටත් වඩා මූලික වන්නේ, ඉන්දු පකිස්ථාන එදිරිවාදිකම්වලට නොඅඩු දිගු කාලීන බොහෝ භූ දේශපාලනික ගැටුම් කලින් කිව නොහැකි හා පුපුරන සුලු පරිමාවකින් පැන නංවමින් සමස්ත කලාපයම අස්ථාවර කරන, ආසියාව තුල සිය අධිකාරය පිහිටුවා ගැනීමට දරන එක්සත් ජනපදයේ තල්ලුවයි. නව දිල්ලිය හා ඉස්ලමාබාදය අතර තරගයේ ප‍්‍රමුඛ අරමුනක් ලෙස ඇත්තේ ඇෆ්ගනිස්ථානය තුල බලය හා බලපෑමයි. එලෙසම, ඉන්දියාව සමඟ "ගෝලීය මූලෝපායික හවුලක්” අටවා ගනිමින් චීනය කොටුකිරීම සඳහා වන එක්සත් ජනපදයේ තල්ලුව පකිස්ථාන ධනේශ්වරයේ දිගුකාලීන මූලෝපායික ආසක්තයන්ට තර්ජනය කරයි.

පූර්ව දශකය තුල පීපීපී නායකත්වය යටතේ පැවති ආන්ඩු පෙරලා දැමීමට මිලිටරිය හා රාජ්‍ය නිලධරය යලි යලිත් දැරූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී උපාමාරු වලට නවාස් ෂරීෆ් සතුට පලකලා සේම, ආරම්භයේදී පීපීපීය ද මුෂාරෆ්ගේ කුමන්ත‍්‍රනයට සතුට පලකලේය. පීපීපීය ආඥාදායකත්වයට එරෙහිව පෙලගැසුනේ බලයේ සියලු තනතුරු වලින් පීපීපීය ඉවතට ඇද දැමීමට තමා අදිටන් කරගෙන සිටින බව ජෙනරාල්වරයා පැහැදිලි කිරීමෙන් පසුව පමනි. පසුව පීඑම්එල්-කිව් ලෙස ප‍්‍රතිසංවිධානයවූ පීඑම්එල් නායකත්වයේ වැඩි කොටසක්, මුෂාරෆ් තන්ත‍්‍රය පිටුපස පෙලගැසී සිටියහ.

පසුව හටගත් පීඑම්එල් (නවාස්) හා පීපීපී විරුද්ධත්වය රක්ත හීනතාවයෙන් පෙලූනේය. පීපීපීය, ආඥාදායකත්වයට එරෙහි මහජන ව්‍යාපාරයකට නායකත්වය හෝ සහාය නොදෙනු ඇතැයි බෙනාසීර් බූටෝ නැවත නැවතත් කියා සිටින විට එය පිටුපස තිබුනේ, එවන් ව්‍යාපාරයක් ධනේශ්වර පක්ෂවල පාලනයෙන් ඉවතට පැන රැඩිකල් දිශාවකට යොමුවනු ඇති බවට පැවති බියයි. ඊට පටහැනිව ඇය බුෂ් පරිපාලනය හමුවේ පැවසුවේ පීපීපී නායකත්වයෙන් යුත් ආන්ඩුවක් මිලිටරි ආන්ඩුවට වඩා ආක‍්‍රමනශීලී ලෙස ඇෆ්ගන් යුද්ධය ගෙනයන බවට පොරොන්දුවන බවයි. අවසානයේදී ඇය හා පීපීපීය මුෂාරෆ් සමඟ හවුලේ කටයුතු කිරීම සඳහා බුෂ් පරිපාලනය තැරැව්කාරයා වෙමින් ගෙන ආ ගිවිසුමට එකඟවිය. වොෂින්ටනය වඩ වඩාත් කනස්සලූ වූයේ යුද්ධය හා නැෙඟන සමාජ ආර්ථික අර්බුදය සමාජ කැලඹීම් හටගන්වනු ඇතැයි යන්න පිලිබඳවය.

නිල දේශපාලන විරුද්ධත්වය වැහැරී ගිය තත්වය හමුවේ, මුෂාරෆ් තන්ත‍්‍රය කෙරෙහි නාගරික මධ්‍යම පන්තියේ හා ධනේශ්වරයේ පුලුල් කොටස් තුල වැඩෙමින් පැවති අතෘප්තිය සිය ප‍්‍රකාශනය අත්කර ගත්තේ, අග‍්‍රවිනිශ්චයකාර චවුද්රි නෙරපා හැරීමට හා පසුව නෙරපාහල සියලු විනිශ්චයකරුවන් යලි සේවයේ පිහිටුවීම පිනිස 2007 නොවැම්බර් 03 දින සිදුවූ මුෂාරෆ්ගේ දෙවන කුමන්ත‍්‍රනයට එරෙහි ව්‍යාපාරය තුලය.

මතුකල යුතු ප‍්‍රශ්නය වන්නේ, නීතිඥවරුන්ගේ ව්‍යාපාරය දේශපාලන වේදිකාව අරක්ගත්තේ මක්නිසා ද යන්නයි. සියලු පීඩිතයින් තමන් වටා රැලිකර ගනිමින් ආඥාදායකත්වයට තමන්ගේම අභියෝගය ඉදිරිපත් කිරීමට කම්කරු පන්තිය අසමත් වූයේ මක්නිසා ද? මෙහිදී යලි වතාවක් කාරනය වන්නේ, ප්‍රෝඩාකාරී වමේ ප‍්‍රමුඛ මෙන්ම බෙලහීන දේශපාලන භූමිකාවයි.

මුෂාරෆ් තන්ත‍්‍රයේ පුද්ගලීකරනය, ව්‍යවසායන් කප්පාදු කිරීම හා නිදහස් වෙලඳ පිලිවෙත් කෙරෙහි ප‍්‍රතිචාර වශයෙන් කම්කරු පන්තියේ සැලකිය යුතු විරුද්ධත්වයකට එය මුහුනදී සිටියේය. 2006 මැයි-ජූනි පීටීසීඑල් යන පකිස්ථාන ටෙලිකොම් වැඩවර්ජනය මෙහිදී විශේෂ වැදගත්කමක් දරයි. එහෙත් මෙම අරගල වම්මුන්ගේ ද උදව් ඇතිව වෘත්තීය සමිති විසින් කම්කරු පන්තියේ නායකත්වය යටතේ පීඩිතයන්ගේ මහජන ව්‍යාපාරයක් බවට පත්වීම වලක්වා සාමුහික කේවෙල් කිරීමේ ගැටුම් බවට සීමා කර පාවාදෙනු ලැබීය.

නීතිඥයින්ගේ ව්‍යාපාරය පැනනැඟි කල පකිස්ථානයේ කම්කරු පක්ෂය (එල්පීපී) හා ජාත්‍යන්තර සමාජවාදීන් (පකිස්ථාන) -බි‍්‍රතාන්‍ය එස්ඩබ්ලිව්පීයේ සහෝදර පක්ෂයක්- වැනි සංවිධාන එයට හුරේ දමන්නවුන් බවට පත්විය. ඔවුන් කම්කරු පන්තිය කැඳවුම් කලානම් එසේ කලේ, ආඥාදායකත්වයට හා මහ ව්‍යාපාරයන්ට මෙන්ම, ඔවුන් රැඳී පැවතුනු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ට එරෙහිව ජනතාව බලමුලු ගැන්වීමේලා තමන්ගේම ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන ස්වාධීන බලවේගයක් ලෙස මැදිහත්වීම පිනිස නොව නීතිඥයින්ට සහාය දීම පිනිස පමනි.

එල්පීපී හා ජාත්‍යන්තර සමාජවාදීන්, මුෂාරෆ්ට "අභියෝග” කිරීම පිලිබඳව විනිශ්චයකාර චවුද්රිට හුරේ දැමීය. චවුද්රි දිගු කලක් තිස්සේ මිලිටරි තන්ත‍්‍රයට අත උස්සා තිබුනි. එසේම ඔවුහු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලයේ මුවාත "ස්වාධීන අධිකරනයක්” සඳහා සටන් කිරීමය යන නීතිඥයින්ගේ ප‍්‍රකාශ පුනරුච්චාරනය කලහ. ඒ අනුව ඔවුන්, පකිස්ථාන අධිකරනයේ සමාජ ක‍්‍රියාකාරිත්වය අතින් එය එරට බෙහෙවින්ම අසමාන වන සමාජ පර්යාය සුරකින නීති පනවන ආයතනය යන අති මූලික පන්ති සත්‍යය වසං කලහ. ඔවුහු නීතිඥයින්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ බෙලහීන අර්ථ කථනය හුවා දැක්වූහ. එනම්, එක්සත් ජනපදයට හා ලෝක අධිරාජ්‍යවාදයට ඇති පකිස්ථානයේ ධනේශ්වර පර්යායේ යටහත් පහත් සම්බන්ධය යථාර්තය ලෙස පිලිගන්නා අතර සිවිල් අයිතීන් ස්වල්පයක් නිරීක්ෂනය කිරීමේ මට්ටමට කප්පාදු කල ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ අර්ථ කථනයකි.

පෙරදැකිය හැකිවූ ආකාරයට ම නීතිඥයින්ගේ ව්‍යාපාරය, එහි සමහර සාමාජිකයින්ගේ ධෛර්යය හා අවංකභාවය තිබියදී ම, වත්මන් පීපීපී ආන්ඩුව අස්ථාවර කිරීමේ පීඑම්එල් (නවාස්) හා මිලිටරිය දැන් යෙදීගෙන සිටින ව්‍යාපාරයේ ක‍්‍රියාත්මක මෙවලමක් බවට පත්ව තිබේ.

සිය ඉතිහාසයේ නව පිටුවක් පෙරලීම සඳහා පකිස්ථාන කම්කරු පන්තියට ලැබෙන කාලයෙන් වැඩි හරියක් පසුකරවිත් තිබේ. එනම් අව්‍යාජ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැඟීමයි. කම්කරු පන්තියේ පෙරටු බලඇනිය හතරවන ජාත්‍යන්තරයට අද නායකත්වය දෙන ජාත්‍යන්තර කමිටුව වෙත හැරිය යුතුය. ඔවුන්ගේ අරගල නොනවතින විප්ලවය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාමාර්ගය මත පදනම්කල යුතුය.

නොනවතින විප්ලවය අද

නොනවතින විප්ලවය වනාහි ධනවාදයේ ද සමාජවාදය සඳහා අරගලයේ ද කම්කරු පන්තියේ ද ගෝලීය ස්වභාවයෙන් පැන නගින ඒකාබද්ධ ලෝක විප්ලවීය සංකල්පයකි. බොල්ශෙවික් පක්ෂයේ නායකත්වය ලත් රුසියානු කම්කරු පන්තිය දුප්පත් ගොවි ජනතාව සමග සන්ධාන ගත ව ලෝක සමාජවාදී විප්ලවය ඉදිරියට ගෙන යාමේ අරමුනින් බලය අල්ලා ගැනීම මගින් මුදුන් පත් වූ 1917 රුසියානු විප්ලව දෙක මගින් සනාථ කරන ලදි. ට්‍රොට්ස්කි අවධාරනය කල පරිදි වර්තමාන යුගයේ දී සමාජවාදී විප්ලවයෙන් වෙන්ව හෝ ස්වාධීනව හෝ ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයක් පැවතිය නො හැකි ය. පසුගාමී සහ පීඩිත රටවල ප‍්‍රජාතන්ත‍්‍ර සහ ජාතික කර්තව්‍යයන් ඉෂ්ට කල හැකි වන්නේ කම්කරු පන්ති විප්ලවය ද එය ලොව පුරා පතුරුවාලීම ද තුලින් ම පමනි.

ලෝක සමාජ ආර්ථික වර්ධනය ද පන්ති අරගලය ද පරීක්ෂා කිරීම මගින් ට්‍රොට්ස්කි නො නවතින විප්ලව න්‍යායේ මෙසේ පැහැදිලි කලේ ය: යටත් විජිත රටවල ද වෙනත් කල්ගත වූ ධනේශ්වර සංවර්ධනයකින් යුතු වූ රටවල ද ධනපති පන්තිය ධනවාදයේ හිමිදිරියේ බටහිර යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ධනේශ්වරය ඉටු කලා වූ විප්ලවකාරී භූමිකාව යලි ක‍්‍රියාත්මක කිරීමට අසමත් ය. එය ඉපදී තිබෙන්නේ උවමනාවට වඩා කල්පසුව ය. යටත් විජිත රටවල ධනේශ්වරය අධිරාජ්‍යවාදය මත උවමනාවට වඩා රැඳී පැවතීමත්, කම්කරු පන්තියට බොහෝසෙයින් බිය වීමත්, එහි සම්පත් සීමා සහිත වීමත් නිසා දහහත් වන දහඅට වන සහ දහනම වන ශතවර්ෂවල ධනේශ්වරයේ ආරම්භක සමය සමග ඓතිහාසිකව සම්බන්ධ වූ කර්තව්‍යයන් - විශාල ඉඩම් හිමියන් සතු ඉඩම් කැබලි වලට කඩා බෙදා හැරීම, ජාතික ඒකාබද්ධතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීම - ඉටු කිරීමට අවශ්‍ය වූ විප්ලවවාදී අරගලය ක‍්‍රියාත්මක කිරීම සඳහා අසමත් ය. මෙවන් රටවල ධනේශ්වරය අනිවාර්යයෙන් ම කරන්නේ තමන්ගේ ම පන්ති වරප‍්‍රසාදයන් රැක ගැනීම සඳහා අධිරාජ්‍යවාදය සහ ප‍්‍රතිගාමිත්වය සමග පෙල ගැසී ගැනීම ය.

කෙසේ වෙතත් එම ඓතිහාසික සන්තතිය ම බිහි කර තිබෙන කම්කරු පන්තිය නූතන කර්මාන්තය සහ ප‍්‍රවාහනය තුල එය ඉටු කරන තීරනාත්මක භූමිකාව නිසා ද ලෝක කම්කරු පන්තිය සමග තමන්ට පවත්නා ඓන්ද්‍රීය සම්බන්ධතාවය නිසා ද සිය සාපේක්ෂක පරිමාව ඉක්මවා යන අතර එහි පන්ති අවශ්‍යතාවයන් පවතින්නේ සියලුම පීඩිතයන් අධිරාජ්‍යවාදයට සහ ධනවාදයට එරෙහිව මෙහෙයවා ගැනීමේ ය.

මෑත දශකවල දී ආසියාව තුල ලාභ ශ‍්‍රම නිෂ්පාදනය ප‍්‍රසාරනය වීම ද එහි විපාකයක් වශයෙන් ධනේශ්වර සමාජ සබඳතා ශක්තිමත් වීම ද කම්කරු පන්තිය දැවැන්ත ලෙස ප‍්‍රමානයෙන් වර්ධනය කර ඇති අතර එම පන්තියේ විප්ලවීය විභවය ඉමහත් ලෙස දියුනු තියුනු කරමින් ප‍්‍රජාතන්ත‍්‍ර කර්තව්‍යයන් විසඳාලීම ධනේශ්වර දේපලට එරෙහි ප‍්‍රහාරය ද සමාජවාදය සඳහා අරගලය ද සමග වඩාත් සමීපව ඒකාබද්ධ කර ඇත.

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග ජාවාරමකට යමින් ඉන්දියාව බෙදීමට ද එමගින් දකුනු ආසියාවේ ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය ලොප් කර දැමීමට ද ක‍්‍රියාත්මක වූ එවකට බලයට ඉව අල්ලමින් සිටි ඉන්දියානු සහ පකිස්ථානු ධනේශ්වර පන්තීහු නිශේධනාත්මක ආකාරයකට නොනවතින විප්ලවය තහවුරු කරලූහ. ට්‍රොට්ස්කි 1939 දී දෙවන ලෝක මහා යුද්ධය පුපුරා යාමට සති කීපයකට පෙර ඉන්දියානු කම්කරුවන්ට ලියූ විවෘත ලිපියක් මගින් ඉන්දියානු ස්ටැලින්වාදීන් ධනපතියන් ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ ඓතිහාසික උරුමක්කාරයන් යයි කියාපාමින් කම්කරු පන්තිය ඉන්දියානු ජාතික කොන්ග‍්‍රසයට බැඳ දැමීම හෙලා දුටුවේ ය.

"ඉන්දියානු ධනේශ්වරය විප්ලවවාදී අරගලයකට නායකත්වය සැපයීමට අසමත්” යයි ට්‍රොට්ස්කි තහවුරු කලේ ය. "ඔවුහු බි‍්‍රතාන්‍ය ධනවාදය සමග සමීපව බැඳී එය මත රැඳී සිටිති. තමන්ගේ ම දේපල නැති වෙතැ යි බියෙන් ගැහෙති. ඔවුහු ජනතාවට බියෙන් වෙවුලති. ඔවුහු කුමන වියදමක් මගින් හෝ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සමග සම්මුතියක් ගැසීම අරමුනු කර ගනිමින් ඉහලින් ප‍්‍රතිසංස්කරන ලැබෙතැයි අපේක්ෂා දල්වා ඉන්දියානු ජනතාව රැවටීමට උත්සාහ කරති. මෙම ධනේශ්වරයේ නායකයා සහ අනාගත වක්තෘ ගාන්ධි ය. ඔහු බොරු නායකයෙකි. ව්‍යාජ අනාගත වක්තෘවරයෙකි!

"...බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට ද දේශීය ධනේශ්වරයන්ට ද එරෙහි අරගලයක් මගින් දසලක්ෂ සංඛ්‍යාත ගොවියන් පුබුදුවා බලමුලු ගන්වා අරගලයට ගෙන ඒමට සමත් වූ නිර්භීත විප්ලවීය කෘෂිකාර්මික වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට සමත් වන එකම පන්තිය නම් කම්කරු පන්තිය යි. ඉන්දියානු විප්ලවය අවසාන ජයග‍්‍රහනය කරා ගෙන යාම සහතික කරන්නා වූ එකම අවංක විශ්වසනීය සන්ධානය කම්කරුවන්ගේ සහ දුප්පත් ගොවියන්ගේ සන්ධානය පමනක් ම ය”.

සෝවියට් සංගමය තුල කම්කරු පන්තියෙන් බලය උදුරා ගෙන "තනිරටේ සමාජවාදය” නාමයෙන් ජාත්‍යන්තර ධනේශ්වරය සමග සාමයක් ඇති කර ගැනීමට උත්සාහ කල සෝවියට් ස්ටැලින්වාදී නිලධරය අවධි දෙකේ විප්ලවය පිලිබඳ මෙන්ෂෙවික් න්‍යාය යලි පන ගන්වා සූත‍්‍ර ගත කලේ ය. කම්කරු පන්තිය ධනපති පන්තියට යටත් කිරීම යුක්තිසහගත කොට පීඩිත ජනතාවට නායකත්වය දීම ධනපති පන්තියට දෙන මෙම න්‍යාය බලය සඳහා ධනපති පන්තියට පවත්නා අයිතිය පිලිගනී. ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ ඓතිහාසිකව නීර්නිත නායකයා ධනපති පන්තිය යයි ද නො විසඳන ලද දැවෙන ප‍්‍රජාතන්ත‍්‍ර ප‍්‍රශ්නයන් ඉතුරුව තිබීමෙන් පෙන්නුම් කරන්නේ සමාජවාදය සඳහා තත්වය තාම මෝරා නැතෙයි ද කියාපාමින් මෙම පිලිවෙත අනුව යන විවිධ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ දශක ගනනාවක් තිස්සේ ධනේශ්වරයට දේශපාලන ආධිපත්‍යය පවරා දී කම්කරු පන්තිය අනිවාර්යයෙන් ම පාවා දුන්හ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙසින් මහා ව්‍යසන මාලාවක් ඇති විය: 1927 චීනය, 1930 ගනන්වල ස්පාඤ්ඤය, 1953 දී සහ 1979 දී ඉරානය සහ 1965 දී සුහර්තෝ නායකත්වය විසින් වාමාංශිකයන් ඝාතනය කිරීම ඊට ඇතුලත් ය. මෙය නිමක් නැති ලැයිස්තුවකි.

පකිස්ථානයේ සහ දකුනු ආසියාවේ ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ කර්තව්‍යයන් සාක්ෂාත් කරනු ලබනු ඇත්තේ ධනේශ්වරයේ හෝ එහි කිසියම් කොටසක් හෝ සමග සන්ධානයක් මගින් නො ව ධනේශ්වරයට සහ ධනේශ්වර සමාජ පර්යායට එරෙහි විප්ලවවාදී අරගලයක් තුලිනි. ධනේශ්වර පන්තිය අධිරාජ්‍යවාදයට යටත් වී සිටින ආකාරය ද මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවශ්‍යතාවයන් ධනේශ්වරය විසින් නොතකා හැරීම ද තමාගේ ම පන්ති අවශ්‍යතාවයන් සඳහා යෙදෙන දීන ප‍්‍රයත්නය ද එලිදරව් කරමින් මහජනතාවගේ විමුක්තිදායකයා ලෙස ද ගොවි ජනතාව සමග විප්ලවීය සන්ධානයක නායකයා ලෙස ද කම්කරු පන්තිය ඉදිරියට එනු ඇත්තේ ධනේශ්වරයේ දේශපාලන බලපෑමෙන් මහජනතාව නිදහස් කර ගැනීමට කරන්නා වූ නො නවතින අරගලයක් මගින් පමනි. කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍ර පියවරයන්, විශේෂයෙන් ම ඉඩම් අයිතිය සමූලව පරිවර්තනය කිරීම ද මහා ධනපතියන්ගේ දේපල අල්ලා ගැනීම සහ වෙනත් සමාජවාදී පියවරයන් ද ඒකාබද්ධ කොට ධනපති ක‍්‍රමය අවසන් කර දැමීම සඳහා ලෝක කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමට කර ගෙන යන්නා වූ අරගලයක මූලෝපාය, තම වැඩකටයුතුවල හරි මැදින් තබනු ඇත. අධිරාජ්‍යවාදයෙන් සහ ධනේශ්වර සූරාකෑමෙන් නිදහස් වීම දකුනු ආසියාවේ ද මුලු භූගෝලය හරහා ද මහජනතාවගේ ගැටලුවලට කල්පවත්නා වූ විසඳුමක් සම්පාදනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වූ පූර්ව කොන්දේසිය වන්නේ ය; එය සාක්ෂාත් කර ගත හැක්කේ ලෝක සමාජවාදී විප්ලවය තුලින් ම පමනි. ලෝක සමාජවාදී විප්ලවය වනාහි ජාතික කරලියෙන් ඇරඹී ජාත්‍යන්තරව හෝ නො නවතින පරිද්දෙන් විකසනය වෙමින් මුලුමහත් ග‍්‍රහලෝකය මත නව සමාජයේ අවසන් ජයග‍්‍රහනය අත් කර ගන්නකි.

දකුනු ආසියාවේ සමාජවාදී එක්සත් සමූහාන්ඩුවක් සඳහා

පකිස්ථානයේ සහ ඉන්දියාවේ කම්කරුවන්ට මූලෝපායාත්මක පරම අවශ්‍යතාවයක් වන්නේ 1947 බෙදීම පරදවා තම බලවේග ඒකාබද්ධ කර ගනිමින් සිය පොදු සතුරා වූ උපමහාද්වීපයේ උනුන් කා කොටා ගන්නා ජාතික ධනපති පන්තීන් ද ලෝක අධිරාජ්‍යවාදය ද යන මේ සියල්ලට එරෙහිව සිය අරගලය ඒකාබද්ධ කර ගැනීම ය. න්‍යෂ්ටික යුද්ධයක් වන්නට හොඳටම ඉඩ ඇති සිව්වන ඉන්දු-පකිස්ථාන යුද්ධයක තර්ජනය අහෝසි කර දැමීමට ද ප‍්‍රජා ගන වර්ගවාදයේ නස්පැත්තිය මුලිනුපුටා දැමීමට ද වැඩ කරන ජනතාවගේ ආසක්තයන් අරමුනු කොට කෙරෙන්නා වූ සහේතුක සහ සාධාරන ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීම ද නැතුවම බැරි කරුනක් නම් 1947 දී ජාතික ධනේශ්වරය සහ අධිරාජ්‍යවාදය විසින් අටවන ලද ප‍්‍රතිගාමී රාජ්‍ය පද්ධතිය පෙරලා දමා උපමහාද්වීපයේ මහජනතාවන් දකුනු ආසියාවේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් තුල ඒකාබද්ධ කිරීම ය.

ඉන්දියාවේ සහ පකිස්ථානයේ ධනපති පන්තීහු තමන්ගේ රාජ්‍යය සමන්විතවන අනේක ජනවාර්ගික කන්ඩායම් අතර සැබෑ සමානතාවයක් තහවුරු කිරීමට සම්පූර්නයෙන් ම අසමත් බව ඔප්පු කොට ඇත. 1947-48 දේශපාලන තුවාල අද වන විට තව තවත් කුනු වී ඔඩු දුවා තිබේ. ඉන්දියාවේ ද ශ‍්‍රී ලංකාවේ ද බංග්ලාදේශයේ ද පකිස්ථානයේ ද ධනපති පන්තිය ප‍්‍රජාගන වර්ගවාදී ජාතිකවාදී භේද අවුලුවා ඒවා තම දේශපාලනික සහ දෘෂ්ටිවාදාත්මක ආධිපත්‍යයේ අත්‍යන්ත කොටස් ලෙස යොදා ගෙන ඇත. මෙය අනෙක් අතට නිමක් නැති ජනවාර්ගික ජාතිවාදී සහ බෙදුම්වාදී ව්‍යාපාරයන් පැන නැගීමට සරුබිමක් සකසා දී ඇත. මෙම ව්‍යාපාර සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සමාජ-ආර්ථික දුක්ගැනවිලි ප‍්‍රයෝජනයට ගනිති. එහෙත් ඔවුන් ඉදිරිපත් කරන ජාතිකවාදී හුදෙකලාවාදී වැඩපිලිවෙල කිසිසේත් ම දකුනු ආසියාවේ කම්කරු පන්තියේ උවමනාකම් සමග සැසඳෙන්නේ නැත. යම්හෙයකින් ඉන්දියානු උපමහාද්වීපය කැබලිතිවලට කැඩී ගිය හොත් හෙවත් බෝල්කනීකරනය වුව හොත් එය අධිරාජ්‍යවාදී අතපෙවීමට ද මර්දනයට ද ඉඩකඩ වැඩිකර දෙමින් කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමට තවතවත් බාධාවන් ඇති කරමින් තවත් ජනවාර්ගික දේශපාලන ඝට්ටන ආයතනගත කරනු ඇත.

මෙම ජාතික බෙදුම්වාදී ව්‍යාපාර විසින් ප‍්‍රකාශයට පත් කරනු ලබන්නේ තමන්ට ම අයත් වූ ජනවාර්ගික රාජ්‍යයන් පිහිටුවාගෙන තමන්ට ම තවතවත් පොහොසත් වී ගැනීමට සහ සූරාකෑම උග‍්‍ර කිරීමට වැඩ සලසා ගැනීමට ධනේශ්වරයේ විවිධ කොටස් අතර පවත්නා අවශ්‍යතාවයයි. ඔවුහු මෙමගින් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය සමග ජාවාරම්වලට එලඹීමට බලාපොරොත්තු වෙති. මෙම බෙදුම්වාදී දේශපාලනය යොමු වී ඇත්තේ 1947-48 දී දකුනු ආසියාවේ පිහිටුවනු ලැබූ ප‍්‍රතිගාමී ජාතිකවාදී රාජ්‍ය පද්ධතිය පෙරලා දැමීමට නො වේ. ඒ වෙනුවට ඔවුන් අරමුනු කර ගන්නේ ඒ ඒ රාජ්‍යයන් ආධිපත්‍ය දරන්නා වූ ධනේශ්වර කන්ඩායම් මතම බොහෝ විට සන්නද්ධ නැගිටීම් මගින් ද ධනේශ්වර මහ බලවතුන්ගේ අනුග‍්‍රහය මගින් ද බලපෑම් කොට පවත්නා දේශසීමා යලි සකස් කොට අනා කලතා තමන්ට වාසියක් සලසා ගැනීමට ය. "බලුකිස්තානය බලූකින්ට”, "කරච්චිය මුජාහීර්වරුන්” සහ "සින්ද් ප‍්‍රදේශය සින්දිවරුන්ට” යනාදී සටන් පාඨ අවුස්සාලමින් වැඩ කරන මෙවන් ව්‍යාපාර "පිටත්තර” ජනවර්ගයන්ට අයත් කම්කරුවන් සහ පීඩිත ජනතාව ජාත්‍යොත්තමවාදීව හෙලා දකිමින්, ප‍්‍රචන්ඩ ක‍්‍රියාවල යෙදෙමින් අධිපති කන්ඩායම්වල වාසි සහගත වූ භාෂා සහ පුරවැසි නීති තහවුරු කර ගැනීමට මාන බලති.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කර ඇති පරිදි:

”ඉන්දියාවේ හා චීනයේ ජාතික ව්‍යාපාරය අසමාන ජන කොටස්, අධිරාජ්‍යවාදයට එරෙහි පොදු අරගලයක් තුල ඒකාබද්ධ කිරීමේ ප‍්‍රගතිශීලී කර්තව්‍යය, - එය වනාහි ජාතික ධනේශ්වරයේ නායකත්වය යටතේ සාක්ෂාත් කල නොහැකි දෙයක් ලෙස ඔප්පු කෙරුනු කර්තව්‍යයකි - මතු කලේය. ජාතිකවාදයේ නව රූපය සූරාකන්නන්ගේ යහපත සඳහා, පවතින රාජ්‍යයන් බෙදා වෙන් කිරීමේ එල්ලය ඇතිව ජනවාර්ගික, භාෂාමය හා ආගමික පිලිවෙත් දිගේ බෙදුම්වාදය වගා කරයි. මෙවන් ව්‍යාපාර අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයක් සමඟ ගෑවීවත් නැත. ඒවා මොනම අර්ථයකින් හෝ පීඩිත ජනතාවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අභිලාෂයන් අන්තර්ගත කරගන්නේ වත් නැත. ඒවා කම්කරු පන්තිය බෙදීමට ද, පන්ති අරගලය ජනවාර්ගික, ප‍්‍රජාගනවාදී යුද්ධවලට අපසරනය කිරීමට ද උදව් වෙයි.”

දැනට ම දකුනු ආසියාව පුරා පැතිර පවත්නා අසංඛ්‍ය ජාතික දුක්ගැනවිලි ස්වාධීන ධනේශ්වර තන්ත‍්‍රයන් සහ ධනේශ්වර ජාතිකවාදය අසාර්ථකවීම තුල මුල්බැස පවතියි. ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ අනෙකුත් අසම්පූර්න වූ කර්තව්‍යයන් මෙන් ම සියලුම වර්ගවල ජාතික පීඩනය අහෝසි කර දැමීම ද ලෝක සමාජවාදී විප්ලවය සමග බැඳී පවතී. නොනවතින විප්ලවයේ ක‍්‍රියාමාර්ගය විසින් පෙන්නුම් කර ඇති පරිදි කම්කරු පන්තිය ධනේශ්වර පන්තිය සහ සුලුධනේශ්වර පන්තිය අතින් වැඩ කරන ජනතාවගේ නායකත්වය උදුරා ගත යුතු ය. මේ සඳහා ඔවුන් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද ජාතික සමානතාවය ද ස්වාධීනත්වය ද තහවුරු කල හැක්කේ වත්මන් ධනේශ්වර පර්යාය පෙරලා දැමීම තුලින් ම පමනකි ය යන්න තහවුරු කල යුතුය.

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (කලින් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය) දෙමල ජනතාවගේ ආරක්ෂාව සඳහා කර ගෙන ගිය ප‍්‍රතිපත්තියානුකූල අරගලය පකිස්ථානයේ කම්කරු පන්තිය විසින් අධ්‍යයනය කල යුතු ය. 1968 ආරම්භ කල තැන් පටන් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශී‍්‍ර ලංකා ශාඛාව කම්කරු පන්තියේ එක්සත්කම සහ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලයේ හදවත ලෙස සිංහල ජාත්‍යොත්තමවාදයට එරෙහි අරගලය පිහිටුවා ගත්තේ ය.

ශ‍්‍රී ලංකාවේ ධනපති පන්තිය ද එය විසින් පවත්වා ගෙන ගිය දශක තුනකට අධික සිවිල් යුද්ධය ද කෙරෙහි සමාජවාදී සමානතා පක්ෂය විප්ලවවාදී පරාජකවාදී ආකල්පයක් දරා ඇත. එය ඉල්ලා සිටියේ ද දිගින් දිගට ම ඉල්ලා සිටින්නේ ද සියලු ශ‍්‍රී ලාංකීය හමුදා ද සන්නද්ධ බලකාය ද වහාම කොන්දේසි විරහිතව දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවලින් ඉවත් කර ගන්නා ලෙස ය. මෙම ඉල්ලීම වනාහී සිංහල සහ දෙමල කම්කරු පන්තිය ද පීඩිත ජනයා ද ධනේශ්වර පාලනයට එරෙහිව ශ‍්‍රී ලංකාවේ සහ ඊලම්හි එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා කෙරෙන සටනේ කොටසකි.

සිවිල් යුද්ධය පිලිබඳ වගකීම සිංහල ධනපති පන්තිය ද අධිරාජ්‍යවාදය ද විසින් දැරෙන බව අප‍්‍රතිහතව පැහැදිලි කර දෙමින් කම්කරු පන්තිය සහ දෙමල සුලු ජාතිය පීඩාවට ලක්කිරීම අතර පවත්නා සම්බන්ධතාවය පැහැදිලි කර දුන් සසප, ඒ අතර ම වර්ගවාදී යුද්ධයක් සහ ඉන්දියානු ආන්ඩුව සහ ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී බලවතුන් අතර රාජ්‍යතාන්ත‍්‍රික උපාමාරු මගින් උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල නව ධනපති ජාතික රාජ්‍යයක් ඇති කිරීමට එල්ටීටීඊ ය දැරූ ප‍්‍රයත්නයන්ට විරුද්ධ විය.

අන්තිමේ දී එල්ටීටීඊ සන්නද්ධ නැගිටීමේ අසාර්ථකත්වයේ මූලයන් මුල්බැස පැවැත්තේ එහි ආත්මාර්ථකාමී පන්ති අරමුනු තුල ය. සිංහල මහජනතාවට හෝ ජාත්‍යන්තර කම්කරු පන්තියට ආයාචනා කිරීමට එල්ටීටීඊ ය අසමත් විය. දිවයිනේ සමහර කොටස්වල එය පිහිට වූ පොලිස් රාජ්‍යය එන්න එන්න වැඩිවැඩියෙන් දෙමල ජනතාව විරසක කර ගත්තේ ය. මෙම අත්දැකීම විසින් යලිත් තහවුරු කර ඇත්තේ මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම් තහවුරු කර ගත හැකි එකම මග නම් සමාජවාදී විප්ලවය බව ය.

දැන් පකිස්ථානු පාලක පන්තිය බලුකිස්තානය තුල තවත් සන්නද්ධ නැගිටීමකට එරෙහි ලේවැකි මෙහෙයුමක යෙදී සිටී. පකිස්ථානයේ දිලිඳුම ප‍්‍රාන්තයේ මහජනතාව මුහුන දී සිටින අති දිලිඳු තත්වයන් මුලුමනින් ම නො තකා කෙරෙන මෙම මෙහෙයුම් අනිවාර්යයෙන් ම පකිස්ථානු රාජ්‍යයට එරෙහි මහජන විරුද්ධත්වය සහ ප‍්‍රතිරෝධය උග‍්‍ර කරයි. වඩාත් පුලුල් ප‍්‍රාදේශීය ස්වයං පාලනයක් නැතහොත් ස්වාධීනත්වය ඉල්ලා මහා බලුකිස්තානයක් පිහිටවිය යුතු යයි ඉල්ලා සිටින බලුකි ජාතිකවාදීන් අත මහජනයා සඳහා මොන ම ප‍්‍රගතිශීලි විසඳුමක් වත් ඇත්තේ නැත. කම්කරුවන්ගේ සංවිධාන ජාතිවාදී පිලිවෙත් දිගේ බෙදාලීම මගින් ද පංජාබි, හාෂාරා සහ පෂ්තුන් කම්කරුවන්ට සහ වෙනත් සුලු ජාතික කම්කරුවන්ට ප‍්‍රචන්ඩ ලෙස පහරදීම් මගින් ද බලුකිස්තාන්වාදීන්ගේ ප‍්‍රතිගාමී ඉල්ලීම් තහවුරු කෙරේ. බලුකිස්තාන් විමුක්ති හමුදාවේ (බීඑල්ඒ) කථකයන් වන බ‍්‍රහම්දාග් බුග්ටි සහ නවාග්ස්දා බියාර් මාරිගේ ප‍්‍රකාශ පෙන්නුම් කර සිටින්නේ තමන් ඇමරිකානු මෙන් ම වෙනත් අධිරාජ්‍යවාදී බලවතුන්ට ද ආධාර කිරීමට සූදානම් බව ය. ඇමරිකා එක්සත් ජනපදය සහ වෙනත් අධිරාජ්‍යවාදී බලවතුන් 1999 දී නැටෝ සංවිධානය යුගෝස්ලාවියාවට විරුද්ධව කල යුද්ධය මගින් තම අනුග‍්‍රහය යටතේ කොසෝවෝ ප‍්‍රාන්තය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිහිටුවාලීම තමන්ට ද ස්වාධීන බලුකිස්ථානයක් පිහිටුවාගැනීමේ ආදර්ශයක් ලෙස බීඑල්ඒ නායකයන් විසින් ගෙනහැර දැක්වීම නපුරු ඇඟවුම් අන්තර්ගත කර ගනී.

1893 දී අටවන ලද ඩුරන්ඩ් රේඛාව පිලිගන්නා පකිස්ථානයේ රාජ්‍ය සීමා පෂ්තුන් ජනාතව දෙකට බෙදා ඇත. ඔවුන් එක්සත් කල හැකි, ඔවුන්ගේ ස්වාධීනතාවය අත්පත් කර ගත හැකි එකම මාවත නම් කම්කරු පන්ති පදනමක් මත පිහිටා අධිරාජ්‍යවාදය පරාජය කිරීම ය. ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්සත් ජනපද ආක‍්‍රමනයට සහාය දැක්වූ අවාමි ජාතික පක්ෂයේ පෂ්තුන් ජාතිකවාදියෝ මුලුමහත් ප‍්‍රදේශයම ලෙයෙහි ගිල්වීමට සහභාගි වූහ.

ප‍්‍රතිගාමී ඉන්දු-පකිස්ථාන් රාජ්‍ය ඝට්ටනයේ දී කාශ්මීර ප‍්‍රශ්නය ඉටු කරන භූමිකාව නිසා කාශ්මීර ප‍්‍රශ්නය විශේෂ වැදගත්කමක් අත් කරගනී. ඉන්දියානු සහ පකිස්ථානු පාලක පන්තීන් දෙගොල්ලම විසින් කාශ්මීර ජනතාව අපයෝජනයට ලක්කර මර්දනයට පාත‍්‍ර කර ඇත. 1987 ප‍්‍රාන්ත රාජ්‍ය මැතිවරනයේ දී ඉන්දියානු රාජ්‍යය විසින් කරන ලද නිර්ලජ්ජිත ඡන්ද මගඩිය කාශ්මීරය තුල සන්නද්ධ නැගිටීමක් අවුලුවාලී ය. මෙම තත්වය තුල වහාම මැදිහත් වූ පකිස්ථානය සන්නද්ධ කැරලිකරුවන් අතර වඩාත්ම ප‍්‍රජාගනවාදී වූ ද ඉස්ලාම්වාදී වූ ද කොටස් තම පාලනයට නතු කර ගැනීම වඩාත් පහසු යයි ගනන් බලමින් ඒවා පෝෂනය කිරීමට කටයුතු කලේ ය.

ඉන්දු-පකිස්ථාන් රාජ්‍යයන් දෙකෙහිම ප‍්‍රතිවිරුද්ධ දේශසීමා ඉල්ලීමවලට කම්කරු පන්තිය අධිෂ්ඨාන සහගතව විරුද්ධ විය යුතු ය. නවදිල්ලිය සහ ඉස්ලාමාබාදය විසින් ඉදිරිපත් කෙරෙන සියලුම ඉල්ලීම් - කාශ්මීරය පකිස්ථානයට ඇතුල් කර ගැනීම වේවා, කාෂ්මීරයේ ඉන්දියානු ප‍්‍රාන්ත රාජ්‍යය ජම්මු සහ කාශ්මීර යනුවෙන් වර්ගවාදී පදනමක බෙදාලීම වේවා, - මෙම ඝට්ටනයේ පදනමේ පවතින ජනවර්ගවාදී පිලිවෙත්ම තව දුරටත් ඉදිරියට ගෙන යාමක් පමනි. මෙම සෑම පිලිවෙතකින් ම සිදු වනු ඇත්තේ තවතවත් ඝට්ටන හා ආතතීන් පැනනැගීම ය. වෙනම රාජ්‍යයක් සඳහා කාශ්මීර ජාතිකවාදීන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම්වලට කම්කරු පන්තිය මොන ම සහායක් හෝ දිය යුතු නැත. මෙය දකුනු ආසියාව තුල තවත් ධනේශ්වර රාජ්‍යයක් නිර්මානය කිරීමේ වැඩපිලිවෙලකි. ඉන්දියාව, පකිස්ථානය, චීනය හා ඇෆ්ගනිස්ථානය මායිම් කරගෙන රුසියාවට ඉතා ආසන්නව පිහිටි ස්වාධීන කාශ්මීරයක භූ මූලෝපායික තත්වය විකුනා වාසි ගැනීමට හැකි යයි කාශ්මීර ප‍්‍රභූවේ කොටස් විසින් කරන ගනන් බැලීමකි.

මෙවන් වැඩපිලිවෙලක් යටින් පවතින්නේ කාශ්මීර ජනයා ප‍්‍රගතිශීලි පදනමක ඒකාබද්ධ කිරීම සහ වඩාත් පොදුවේ ගතහොත් දකුනු ආසියාවේ බහුවිධ ජනකොටස් අතර සාධාරන සම්බන්ධතා තහවුරු කිරීම කල හැකි වන්නේ ජර්ජර ධනේශ්වර පාලනයට එරෙහිව දකුනු ආසියාවේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා කරනු ලබන ඒකාබද්ධ කම්කරු පන්ති අරගලයක් මගින් ඉන්දු උපමහාද්වීපය බෙදාලීම අවසන් කොට පතුලේ සිට ඇති කරන එක්සත් භාවයක් තහවුරු කරලීමෙනි.

ඇෆ්පැක් යුද්ධයට ද ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමනය කිරීමට ද එරෙහි වනු! ඉස්ලාමාබාද් වොෂින්ටන් හවුල කුඩු කරනු!

ඇමරිකා එක්සත් ජනපදය විසින් මධ්‍යම ආසියාවේ තම යුද්ධ මූලෝපායික තත්වය තව තවත් වැඩි දියුනු කර ගැනීම සඳහා තම නැටෝ සගයින්ගේ ද පකිස්තානු ධනපති පන්තියේ ද ආධාර ඇතිව කර ගෙන යන ප‍්‍රතිගාමී ඇෆ්පැක් යුද්ධයට කම්කරු පන්තිය දැඩි සේ විරුද්ධ විය යුතු ය. සෝවියට් සංගමයේ පැවැත්ම හේතු කොට ගෙන 20 වන ශතවර්ෂයේ වැඩිමනත් කාලයක් ඇමරිකානු අධිරාජ්‍යවාදයට පිවිසී ගත නො හැකිවූ ද ලෝකයේ දෙවන තරමට විශාල අපනයනය කල හැකි තෙල් නිධි සහ වෙනත් අගනා සම්පත් තිබීම නිසා පමනක් නොව එක්සත් ජනපදයේ ලෝක ආධිපත්‍යයට අභියෝගයක් වීමට බෙහෙවින් ඉඩ තිබේ යයි සලකනු ලබන චීනයට, රුසියාවට හා ඉරානයට, ආසන්නව පවත්නා නිසා ද මෙම ප‍්‍රදේශය අත්පත් කර ගැනීමට වොෂින්ටනය සහ වෝල් වීදිය දැඩි උනන්දුවක් දක්වති.

බුෂ්ගේ සහ ඔබාමාගේ යුද ප‍්‍රචාර ප‍්‍රතිරාවය කරන පීපීපී (පකිස්ථාන ජනතා පක්ෂය) සහ පකිස්ථානයේ වෙනත් බංකොලොත් ලිබරල් ධනපති නියෝජිතයන් ඇෆ්පැක් යුද්ධය වනාහි ඉස්ලාමීය ප‍්‍රතිගාමිත්වයට එරෙහි යුද්ධයක් යයි ද එය - එක්සත් ජනපදය සඳහා යුද්ධයක් නොව පකිස්ථානය සඳහා යුද්ධයක් යයි ද ප‍්‍රචාරය කරමින් එම යුද්ධයට සහයෝගය ගොනු කිරීමට උත්සාහ කරති; එය "මධ්‍යස්ථ ඉස්ලාම්” ක‍්‍රමයක් සඳහා යුද්ධයක් යයි කියා සිටිති. මෙම තර්කය සනාථ කිරීම සඳහා තලිබාන් හා බැඳුනු සන්නද්ධ කන්ඩායම් විසින් කරනු ලබන විවිධ දූෂිත මුර්ග ක‍්‍රියා ඉදිරිපත් කරනු ලැබේ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ද පාකිස්ථාන ධනේශ්වරය ද එහි යුද්ධ හා රහස් ඔත්තු තන්ත‍්‍රය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා ක‍්‍රියාත්මක විය හැකි බලවේගයන්ය යන මිථ්‍යා මතය පකිස්ථානයේ මුලුමහත් ඉතිහාසය විසින් ම බොරු කරනු ලැබ ඇත. අඩසිය වසකට වැඩි කාලයක් තිස්සේ එක්සත් ජනපදය පකිස්ථාන යුද්ධ හමුදාව සමග එක්ව කටයුතු කිරීමට සමත් වීමෙන් පෙන්නුම් කරන්නේ, පකිස්ථාන හමුදා නිලධාරී මන්ඩලයම පකිස්ථානු ජනතාවගෙන් වෙන් වී ඔවුනට සතුරුව පිහිටා තිබෙන තරමයි. ඇමරිකා එක්සත් ජනපදය පකිස්ථාන හමුදා ඒකාධිපතිත්වයන් මාලාවකටම පිටුබලය දී ඇති අතර එක්සත් ජනපද - පකිස්ථාන සන්ධානයේ සහ පකිස්ථානු රාජ්‍යයේ මුදුන් කනුව ලෙස හමුදාව පෝෂනය කර ඇත.

ඇෆ්පැක් යුද්ධය සෘජුව ම පැනනගින්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ පකිස්ථානු ධනපති පන්තිය විසින් මීට කලින් කරන ලද අපරාධයන් තුලිනි.

1978-79 පටන් ගෙන දශකයකට වැඩි කාලයක් තිස්සේ වොෂින්ටනය පකිස්ථානය තුල සහ ඇෆ්ගනිස්ථානය තුල ඉස්ලාමීය මූලධර්මවාදීන් සංවිධානය කොට පුහුනු කොට අවිගැන්වීමට ඉස්ලාමාබාද් පාලනය යොමු කලේ ය. එහි අරමුන වූයේ සෝවියට් සංගමයට එරෙහි ප‍්‍රතිගාමී සීතල යුද්ධ මෙහෙයුමේ ප‍්‍රධාන යුද පිටියක් බවට ඇෆ්ගනිස්ථානය පත් කර ගැනීම ය. ඉන් දශක දෙකකට පසු වොෂින්ටනය තමන් පුහුනු කල මෙම කොටස් ම මධ්‍යම ආසියාවේ තෙල් සම්පත් බහුල ප‍්‍රදේශය තුල එක්සත් ජනපද ආධිපත්‍යය පිහිටුවීමට බාධාවක් ලෙස ගනන් ගත් අතර, දැනට දශකයකටත් වැඩි කාලයක් ගත වී තිබෙන වත්මන් යුද්ධය ආරම්භ කලේ ය. මේ අවස්ථා දෙකේ දී ම පකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ ජනයාගේ ජීවිත සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වොෂින්ටනය විසින් තුට්ටුවකට හෝ ගනන් ගනු ලැබුවේ නැත.

ඉස්ලාමීය මූලධර්මවාදීන් වොෂින්ටනයේ ආක‍්‍රමනශීලි පන්ති අවශ්‍යතාවයන් සඳහා යොදා ගනු ලැබීමට දිගු ඉතිහාසයක් පවතී. එයට මොහොමඩ් අලි ජින්නාගේ "ඉස්ලාම් ආගම අනතුරේ” යන මෙහෙයුම ද උලේමාවරුන් කන්ඩායම් ඉන්දියාව බෙදීමේ උද්ඝෝෂනයට සහභාගි කර ගැනීම ද දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් පවතී. ජෙනරල් ෂියා මෙම පිලිවෙල සංස්ථාගත කලේ ය. දක්ෂිනාංශික ඉස්ලාමිය දේශපාලන පක්ෂ, මූලධර්මවාදී සංවිධාන හා සන්නද්ධ කන්ඩායම් ඔහු විසින් පෝෂනය කරන ලදි. පකිස්ථානු මුස්ලිම් ලීගය ද ඇතුලු දේශපාලන සංස්ථාපිතයේ සියලුම කොටස් මීට සම්බන්ධ ය. ජෙනරල් ෂියාගේ සොහොන අසල දී තමා "ඔහුගේ ව්‍යාපාරය සම්පූර්න කරන” බවට පොරොන්දු වූ නවාස් ෂෙරිෆ්ගේ නායකත්වය දරන පීඑම්එල් සංවිධානය ද "ඉස්ලාමික් සමාජවාදී” පීපීපී සංවිධානය ද යන මේ සියල්ල මෙම අපරාධයට සම්බන්ධව සිටිති.

පකිස්ථානයේ තලිබන් සන්නද්ධ නැගිටීම පෝෂනය වී ඇත්තේ එක්සත් ජනපද නැටෝ ආක‍්‍රමනික හමුදාවන් විසින් කරනු ලබන භයංකර අපරාධයන්ට එරෙහිව පැන නැගී ඇති පෂ්තුන් ජනවාර්ගික කෝපය තුලිනි. තලිබන් සන්නද්ධ නැගිටීම පෝෂනය වන්නේ ඉඩම් හිමියන්ට එරෙහි සමාජ දුක්ගැනවිලි තුලින් ද පාලක පන්තියේ දූෂනය සහ පකිස්ථානයේ මධ්‍යම ආන්ඩුව විසින් පාලනය කරනු ලබන මෙම ගෝත‍්‍රික ප‍්‍රදේශය තුල මහජනතාව මුලුමනින්ම නොතකා හැර දුෂනයට පාත‍්‍ර කිරීමට එරෙහිව පවත්නා හැඟීම් විසිනි. මෙම තත්වය වනාහි දශක හයක පකිස්ථානු "ස්වාධීනත්වය” විසින් මෙම ප‍්‍රදේශ තුල ඇති කර තිබෙන විපාකයයි.

කම්කරු පන්තිය එක්සත් ජනපද නැටෝ ආක‍්‍රමන හමුදාව විසින් ඇෆ්ගනිස්ථානය අල්ලා ගැනීමට හා ඇෆ්පැක් යුද්ධයට එරෙහිව මෙම ප‍්‍රදේශය තුල පැන නැගී ඇති විරෝධය ගසා කෑමට ඉස්ලාමික් මූලධර්මවාදීන්ට සහ හමීඩ් ගුල් වැනි යුද්ධ හමුදා සංස්ථාපිතයේ විශේෂඥයින්ට ඉඩ නොදිය යුතුය.

කම්කරු පන්තිය පකිස්ථානයේ පීඩිතයන්ගේ නායකයා හැටියට ඉස්මත්තට පැමින අත්‍යවශ්‍ය ප‍්‍රජාතන්තවාදී සහ සමාජවාදී පියවරයන් වන මහ ඉඩම් හිමි අයිතිය අහෝසි කිරීම ද පකිස්ථානයේ ආරක්ෂක රාජ්‍යය අහෝසි කර දැමීම ද සියලු දෙනාට රැකියා සහ මූලික පොදු පහසුකම් තහවුරු කිරීම සඳහා ආර්ථිකයේ ප‍්‍රධාන මුදුන් ජනසතු කිරීම ද සමග යුද්ධයට විරුද්ධ ව්‍යාපාරයට සම්බන්ධ කල කල්හි ඉස්ලාමීය මූලධර්මවාදීන්ගේ අනුහස නාටකීයව බිඳ වැටෙනු ඇත.

ඇෆ්පැක් යුද්ධයට එහරෙහිව කම්කරු පන්තියේ නායකත්වය ලත් ව්‍යාපාරයක් වර්ධනය වීම යුද්ධයට සහ අධිරාජ්‍යවාදයට එරෙහිව බලගතු උත්තේජකයක් යුරෝපය සහ උතුරු ඇමරිකාව තුල පැන නංවා ඇෆ්ගන් ජනයා සහ පකිස්ථානු ජනයා අධිරාජ්‍යවාදී පීඩනයේ හැකිලි බිඳගෙන ඉදිරියට එන දිනය ලං කරනු ඇත.

පකිස්ථානය තුල හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාව ගොඩ නගනු!

පකිස්ථානු කම්කරු පන්තියේ නව විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම සඳහා වූ අරගලයේ ඉතා වැදගත් කොටසක් වන්නේ පසුගි දශකය තුල පකිස්ථානු මාවෝවාදීන් සහ පකිස්ථානු කොමියුනිස්ට් පක්ෂයේ ස්ටැලින්වාදීන්ගේ දේශපාලන සහ සංවිධානාත්මක බිඳ වැටීමත් සමග පකිස්ථානය තුල බලපෑමක් අත්පත් කර ගත්තා වූ ව්‍යාජ ට්‍රොට්ස්කිවාදී කන්ඩායම් දේශපාලනිකව සහ න්‍යායිකව හෙලිදරව් කිරීම ය. ස්ටැලින්වාදීන්ගේ බිඳවැටීමට අන් සියල්ලටමත් වඩා හේතුව වූයේ ඔවුන්ගේ දේශපාලන ගුරුවරුන් වූ ක්‍රෙම්ලින් නිලධරය විසින් සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීම ය. පකිස්ථානු ස්ටැලින්වාදීන්ගේ දේශපාලන බංකොලොත් බවට තව දුරටත් හේතු වූ කරුනු නම් ඇෆ්ගනිස්ථානයේ පීඩීපීඒ පාලන තන්ත‍්‍රයේ අර්බුදය සහ 1989 දී පකිස්ථානය තුල යලිත් බලයට පැන ගත් පීපීපී සංවිධානය වඩවඩාත් දකුනට හැරීම ය.

දරුනු ලෙස අවස්ථාවාදී වූ, ද ස්ට‍්‍රගල් සහ පකිස්තාන ලේබර් පක්ෂය යන ව්‍යාජ ට්‍රොට්ස්කිවාදී කන්ඩායම් මෙම තතු තුල තුච්ච කි‍්‍රයාකලාපයක් ඉටු කරමින් කම්කරුවන් ද සමාජවාදී මත දරන තරුනයන් ද සැබෑ ට්‍රොට්ස්කිවාදය වෙත එලඹීම වලක්වා ලූහ. ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායඥයා ලෙස සහ ස්ටැලින්වාදයේ අශමනීය සතුරා ලෙස ට්‍රොට්ස්කිගේ කීර්තිය ගසා කන ඔවුහු දක්ෂිනාංශික වෘත්තීය සමිති නිලධරය සහ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය සමග සම්මුති ගසමින් ට්‍රොට්ස්කි පෙනී සිටි සියලු දේ ට පරිපූර්නව ප‍්‍රතිවිරුද්ධ ව දීන දක්ෂිනාංශික උපාමාරුවල යෙදී සිටිති.

ජාත්‍යන්තර මාක්ස්වාදී ප‍්‍රවනතාවයේ (අයිඑම්ටී) පකිස්ථාන ශාඛාව වූ ද ස්ට‍්‍රගල් දශක ගනනාවක් තිස්සේ පකිස්ථාන පාලක පන්තියට අයත් පීපල්ස් පක්ෂයේ (පීපීපී) කථකයා ලෙස ද අත්‍යන්ත කොටසක් ලෙස ද වැඩකර ඇත. 1960 ගනන් වල අවසානයේ එලඹි මහා ජනතා නැගිටීමේ දී කම්කරු පන්තිය ධනේශ්වරයට බද්ධ කිරීමට කටයුතු කල උපකරනය වන පීපීපී පකිස්ථානු කම්කරු පන්තියේ ඓතිහාසික මහා ජනතා පක්ෂය යයි කියාසිටි, ද ස්ට‍්‍රගල් සංවිධානය දැන් කම්කරුවන් කල යුතුව ඇත්තේ පීපීපී සංවිධානය එහි ආරම්භක "සමාජවාදී” ක‍්‍රියාමාර්ගයට "ආපසු දිනා ගැනීම සඳහා” සටන් කිරීම යයි කියා සිටී. පකිස්ථානු ජාතිකවාදය සහ "ඉස්ලාමීය සමාජවාදය” යන කුලුනු දෙක මත පදනම් වී ගත් පීපීපී යේ ආරම්භක ක‍්‍රියාමාර්ගය ඇත්ත වශයෙන් ම දේශපාලන ප්‍රෝඩාවක් විය. පීපීපීයේ ජනතාවාදී දේශපාලනය පිලිබඳව මාක්ස්වාදී ආස්ථානයකින් කෙරෙන විවේචනයක් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ද ආධිපත්‍යය ද සඳහා කරන අරගලයේ සාරභූත අංගයකි.

ද ස්ට‍්‍රගල් සංවිධානයේ පර්යාලෝකය එහි තර්කාන්විත ප‍්‍රතිගාමී නිගමනය කරා ගෙන යමින් එම සංවිධානයේ දෙවැනි ප‍්‍රමුඛ නායකයා, චෞද්රි මන්සූර් අහමඩ් සහ තවත් දුසිම් ගනනක් එවැන්නෝ (එහි පැරනි නායකයන් ද ඇතුලුව) මෑත දී තම සංවිධානයෙන් බිඳී වෙන් වූයේ ධනේශ්වර පීපීපී පක්ෂයේ ඒජන්තයන් ලෙස වඩාත් විවෘතව වැඩ කිරීමට ඉඩ සලසා ගැනීමට යයි ද ස්ට‍්‍රගල්සංවිධානයේ ප‍්‍රකාශයක්ම පිලිගනී. ද ස්ට‍්‍රගල් සහ අයිඑම්ටී සංවිධානය 2002 සිට 2008 දක්වා අවුරුදු 6ක් ජාතික රාජ්‍ය සභාවේ පීපීපී නියෝජිතයා ව සිටි මන්සූර් අහමඩ් "පකිස්ථානයේ මාක්ස්වාදී මන්ත‍්‍රීවරයා යයි” හුවා දක්වයි. පීපීපී පක්ෂයේ "මහජන ලේකම් මන්ඩලයේ” සහ පීපීපී සංවිධානයේ වෘත්තීය සමිති පෙරමුනේ ප‍්‍රධානියා ලෙස ඔහුව නම් කරනු ලැබීමෙන් පසු දැන් ද ස්ට‍්‍රගල් සංවිධානය ඔහු සර්දාරිගේ මැරවරයෙකු ලෙස හෙලා දකී. දැන් ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙලේ ප‍්‍රධානතම කථකයා ලෙස මතු වී සිටින මන්සූර් තම සංවිධානයේ ප‍්‍රධාන පෙලේ සාමාජිකයෙක් ව සිටිය දී ම 2008 ජූනි මාසයේ පීටීසීඑල් කම්කරුවන්ගේ සටන්කාමී ස්ට‍්‍රයිකය නිර්ලජ්ජිතව පාවා දුන් බව ද ස්ට‍්‍රගල් පිලිගනී. එම වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමට ක‍්‍රියා කරද්දී ද ස්ට‍්‍රගල් සංවිධානය ඔහුගේ ක‍්‍රියාකලාපය පිලිබඳව ප‍්‍රසිද්ධ විවේචනයක් කලේ නැත. ඊට හේතුව නම් පීපීපී නිලධරය තුල ප‍්‍රධාන තැනක් මන්සූර්ට ලබා ගැනීමටත් එසේ කරමින් ම ඔහු තම සංවිධානය තුල රඳවා තබා ගැනීමටත් ද ස්ට‍්‍රගල්සංවිධානය හා අයිඑම්ටී සංවිධානය ඒ වන විට වැඩ කරමින් සිටි නිසා ය. ද ස්ට‍්‍රගල් සංවිධානය පකිස්ථානයේ පාලක පක්ෂය සමග පවත්වා ගෙන යන තුච්ඡ දක්ෂිනාංශික සම්බන්ධතාවයන් එවන් ය.

පකිස්ථාන ලේබර් පක්ෂය ජාත්‍යන්තර පැබ්ලෝවාදී සංවිධානය තුල ස්ථිර නිරීක්ෂක තත්වයක් දරයි. එය පැනනැංගේ 1990 ගනන්වල ආරම්භයේ දී ද ස්ට‍්‍රගල් සංවිධානයෙන් බිඳී යාමෙනි. එය ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ අංශවලට ද වෘත්තීය සමිතිවලට ද එන්ජී ඕ සංවිධානවලට ද වර්ල්ඩ් සෝෂල් ෆෝරම් සංවිධානයට ද නතු වී පවතී. ට්‍රොට්ස්කිවාදය කෙරේ නාමික සහයෝගයක් පවා පවත්වාගෙන යාම පකිස්තාන ධනේශ්වර සංස්ථාපිතයේ දේශපාලනය තුල තමන් කරගෙන යන්නා වූ උපාමාරුවලට බාධාවක් ලෙස එල්පීපී ය සලකයි. එහෙයින් එය තමන්ව ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් කියා හඳුන්වා ගන්නේ වත් නැත.

මුෂාරෆ් 2007 පැන වූ හදිසි තත්වය අවස්ථාවේ දී බෙනාසීර් භූතෝ සමග මිත‍්‍ර සාකච්ඡාවක් පැවැත් වූ බවත් මුෂාරෆ් විරෝධී සන්ධානයක නායකත්වය ගන්නා ලෙස ඇය ගෙන් ඉල්ලා සිටි බවත් එය සාර්ථක කර ගැනීම සඳහා කම්කරු පන්තියේ සහයෝගය දිනා ගත යුතු බවත් කියමින් එල්පීපී සංවිධානයේ ප‍්‍රධාන නායක සරූක් තාරික් පූච්චානම් දෙඩවී ය. ඉන් ඉක්බිති එල්පීපී සංවිධානය සමස්ත පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍ර ව්‍යාපාරය නම් සන්ධානයට (ඒපීඩීඑම්) ඇතුලත් විය. එය වනාහී දක්ෂිනාංශික මූලධර්මවාදී ජමාටි ඉස්ලාම්, ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි සහ විවිධ සින්දි, බලුකි සහ සරයිකි ජාතිකවාදී පක්ෂ ඇතුලත් කර ගත් පෙරමුනකි. එකල එම පෙරමුන මැතිවරනය වර්ජනය කරමින් සිටියේ ය. එල්පීපී සංවිධානය පකිස්ථානයේ නීතිඥවරුන්ගේ ව්‍යාපාරය නංවාලීමේ දී මූලිකත්වයක් ගත්තේ ය.

ද ස්ට‍්‍රගල්, එල්පීපී සහ තවත් කුඩා කන්ඩායම් ගනනාවක් ම පැබ්ලෝවාදී දියකර හැරීමේ ප‍්‍රවනතාවයේ පෝතකයෝ ය. පැබ්ලෝවාදය යනු දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු සමයේ ධනවාදය පුනස්ථාපනය කෙරෙන තතු තුල හතර වන ජාත්‍යන්තරයේ පැන නැගුනු දියකර හැරීම් ප‍්‍රවනතාව (දෙවෙනි ලෝක යුද්ධයෙන් ක්ෂනික ඉක්බිත්තේ හතර වන ජාත්‍යන්තරයේ ලේකම් ව සිටි මයිකල් පැබ්ලෝ සහ ඔහුගේ ප‍්‍රධාන ගෝලයා වූ අර්නස්ට් මැන්ඩෙල් එම ප‍්‍රවනතාවයේ නායකයෝ වූහ.) ය යි.

දෙවන ලෝක යුද්ධයේ ප‍්‍රතිඵලයක් වශයෙන් සෝවියට් ස්ටැලින්වාදී නිලධරය ශක්තිමත් වීම ගැන සහ ධනේශ්වරයේ සමකාලීන ප‍්‍රසාරනය තුල කම්කරු පන්තියේ සමහර ද්‍රව්‍යමය වාසි දිනා ගැනීමට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරිපත් වීම ගැන ආවේගශීලි ප‍්‍රතිචාරයක් දැක් වූ පැබ්ලෝවාදියෝ ට්‍රොට්ස්කිගේ විප්ලවවාදී පර්යාලෝකයන් යල් පැන ගොස් ඇතැ යි නිගමනය කලහ. පැබ්ලෝ කෙලින් ම කියා සිටියේ හතර වන ජාත්‍යන්තරයේ නායකත්වය යටතේ කම්කරු පන්තිය යලි ප‍්‍රතිසංවිධානය කිරීම වනාහි සමාජවාදය සඳහා අරගලය විසින් අත්පත් කර ගත හැකි වූ "විවිධ ස්වරූපයන් අතුරෙන් අඩුවෙන් ම සිදු වීමට ඉඩ ඇති විකල්පය” බව ය. ඒ වෙනුවට ස්ටැලින්වාදී නිලධරය සහ අනෙකුත් සතුරු පන්ති බලවේගයන් අධිරාජ්‍යවාදයේ පීඩනය යටතේ උඩින් කරන ලද බලපෑම තුල සහ කම්කරු පන්තිය විසින් ධනේශ්වර දේපල අත්පත් කර ගැනීමට යටින් කරන බලපෑම තුල "ශතවර්ෂ ගනනාවක විකෘති කම්කරු රාජ්‍යයන් පැන නගිනු ඇත”යි පැබ්ලෝවාදියෝ කියා සිටියහ.

ස්ටැලින්වාදී සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මෙන්ම සුලු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර සහ රැඩිකල් ව්‍යාපාර පැබ්ලෝවාදීන් විසින් දක්නා ලද්දේ කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස බලමුලු ගැන්වීමට දේශපාලන බාධාවන් හැටියට නො ව සමාජවාදය සාක්ෂාත් කර ගැනීමේ විකල්ප උපකරන ලෙසය. එහෙයින් ඔවුන්ට ප‍්‍රශ්නය වූයේ එම සංවිධානයන් හතර වන ජාත්‍යන්තරයේ ස්වාධීන පර්යාලෝකයේ සතුරන් යයි හෙලිදරව් කොට ඒවා පරාජය කිරීම නො වේ. ඔවුන් කියා සිටියේ හතර වන ජාත්‍යන්තරය කම්කරු පන්තියේ සහ ජාතික ව්‍යාපාරයන්ගේ පවත්නා නායකත්වයන් මතට බලපෑම් ගෙන එන කන්ඩායමක් ලෙස හැඩ ගස්සා ගැනීම කල යුතුව ඇතැයි කියා ය. පැබ්ලෝවාදීහු ස්ටැලින්වාදීන්ට සහ ධනේශ්වර ජාතිකවාදීන්ට ඓතිහාසික ප‍්‍රගතිශීලි භූමිකාවක් පවරා දෙමින් ඔවුන්ගේ ප‍්‍රතිවිප්ලවවාදී ස්වභාවය පිලිබඳව ට්‍රොට්ස්කි කල අවධාරනය ප‍්‍රතික්ෂේප කලෝ ය. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද "ජනතා ව්‍යාපාරය තුලට ඒකාග‍්‍ර වී ගැනීමේ” පර්යාලෝකයට අනුව ඔවුහු පවත්නා ට්‍රොට්ස්කිවාදී පක්ෂ දේශපාලනිකව සහ සංවිධානාත්මකව බිඳ දැමීමට පටන් ගත්හ.

ට්‍රොට්ස්කිවාදී පක්ෂ ප‍්‍රතිවිප්ලවවාදී කම්කරු නිලධරයන්ගේ සහ ධනේශ්වර පර්යායේ ද්විතීයික ආධාරකවල වල්ගා බවට පරිවර්තනය කිරීමේ මෙම පර්යාලෝකයේ විපාක වැඩි කලක් යන්නට පෙර දකුනු ආසියාවේ දේශපාලන සිද්ධීන් තුල ප‍්‍රකාශිත වන්නට පටන් ගති. පැබ්ලෝවාදී ගුරුහරුකම් හා මෙහෙයුම් අනුව ලංකා සමසමාජ පක්ෂය (ලසසප) සිංහල ජාත්‍යොත්තමවාදයට අනුගත වී වෘත්තීය සමිති සහ පාර්ලිමේන්තුවාදී අවස්ථාවාදය වැලඳ ගනිමින් නො නවතින විප්ලවය අතහැර දමා 1964 දී බන්ඩාරනායක මැතිනිය සහ ඇයගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් ධනේශ්වර හවුලට ඇතුලු වී ගත්තේ ය.

සැබෑ ට්‍රොට්ස්කිවාදීන් පැබ්ලෝවාදීන්ට එරෙහිව බලමුලු ගැන්වීම සඳහා 1953 දී හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ජාකො) පිහිටුවන ලදි. ඉන්පසු කාලපරිච්ඡේදයේ දී ජාකො ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා ද වර්ධනය කිරීම සඳහා ද අප‍්‍රතිහත අරගලයක් ගෙන ගියේ ය. ජාත්‍යන්තර කමිටුව ලෝකය පුරාම කම්කරු පන්ති අරගලයන් වාර්තා කිරීමට ද ඒකාබද්ධ කිරීමට ද දේශපාලන නායකත්වය සම්පාදනය කිරීමට ද තම දේශපාලන අවිය ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිර්මානය කර ඇත. මාක්ස්වාදී සහ ට්‍රොට්ස්කිවාදී මූලධර්මයන් ආරක්ෂා කිරීම සඳහා දශක ගනනාවක් තිස්සේ කරන ලද අරගලයෙන් උකහාගත් දැවැන්ත දේශපාලන අත්දැකීම තුලින් තමන් තුලට ගැබ් කර ගෙන සිටින්නේ ජාත්‍යන්තර කමිටුව ලෝකය පුරාම කම්කරු පන්තිය විසින් සිය අරගලයන් දැනුවත් ව ඒකාග‍්‍ර කරගෙන ජරපත් ධනේශ්වර පද්ධතිය පෙරලා දැමිය යුතුය යන අවශ්‍යතාවය යි.

මාක්සිස්ට් වොයිස් (මාක්ස්වාදී හඬ) හි කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ කම්කරු පන්තියේ මහා ස්වයංසිද්ධ අරගලයන් තුලට මැදිහත්ව ස්ටැලින්වාදීන්, අවස්ථාවාදීන් සහ වෘත්තීය සමිති නිලධරයට එරෙහිව සටන් වැද ඔවුන් දේශපාලනිකව පරාජය කොට කම්කරුවන් පැහැදිලි විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයකින් සහ පර්යාලෝකයකින් සන්නද්ධ කිරීමට සමත් ට්‍රොට්ස්කිවාදී කම්කරු පන්ති පෙරටු බලඇනියක් එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පකිස්ථානු ශාකඛාව ගොඩනැගීම ය.

මාක්සිස්ට් වොයිස් සංවිධානය පැන නැංගේ 2001 දී අයිඑම්ටී - ද ස්ට‍්‍රගල් අවස්ථාවාදීන්ගෙන් බිඳී වෙන්වීමකිනි. මෙම බිඳී වෙන්වීමට එම නායකත්වය විසින් කම්කරු පන්තිය ධනේශ්වර පීපීපී පක්ෂයට ගැටගැසීමට ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතවාදය නිරන්තරව උල්ලංඝනය කිරීමට ද අවස්ථාවාදී සංවිධානාත්මක භාවිතයන් පවත්වා ගෙන යාමට එරෙහිවය. එපමනක් නොව ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමනය කිරීම අහඹු සිද්ධියක් යයි ද එක්සත් ජනපදය මධ්‍යම ආසියාවට කරන මූලෝපායික කඩාවැදීම මත එය පදනම්ව නැතැයි ද කරන ලද සැහැල්ලු මනසින්යුතු කියාපෑමට අප දැක්වූ විරුද්ධත්වය හේතු කොට ගෙන ය. ඉක්බිතිව මාක්සිස්ට් වොයිස් ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුලින් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා සම්බන්ධ විය. එය ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජාත්‍යන්තරවාදී පර්යාලෝකයට ද දේශපාලන ප‍්‍රශ්නවලට එය දැක් වූ ප‍්‍රතිපත්තියානුකූල ප‍්‍රවිෂ්ටයට ද ඇමරිකානු කම්කරුවන් ද ඇතුලු මුලුමහත් කම්කරු පන්තිය කෙරේ එය දැක් වූ විප්ලවවාදී යොමුවට ද ඉක්මනින්ම ආකර්ෂනය විය. අවුරුදු ගනනාවක් තුල පවත්වා ගෙන ගිය සාකච්ඡාවක් තුල දී අපි අවස්ථාවාදයට එරෙහිව සහ මාක්ස්වාදය සඳහා වූ දිගුකාලීන අරගලයේ තීරක වැදගත්කම ද එම අරගලයේ පාඩම් පකිස්ථානයේ කම්කරුවන් තුලට ගෙන ඒමේ අවශ්‍යතාවය ද එන්න එන්නම වැඩි වැඩියෙන් ඒත්තු ගතිමු. ජාත්‍යන්තර කමිටුවේ මගපෙන්වීම යටතේ නො නවතින විප්ලවයේ ක‍්‍රියාමාර්ගය වර්ධනය කිරීමට ශ‍්‍රී ලංකාවේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ද සමාජවාදී සමානතා පක්ෂය ද කර ගෙන යන්නා වූ අරගලය මෙහිදී විශේෂයෙන්ම අදාල ය.

1938 දී හතර වන ජාත්‍යන්තරය පිහිටුවාලීම ට සුභ පැතූ ලියොන් ට්‍රොට්ස්කි විප්ලවවාදී කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳාලීමේ වාහනය ලෙස එහි ඓතිහාසික අර්ථභාරය අවධාරනය කලේ ය. ට්‍රොට්ස්කි මෙසේ ප‍්‍රකාශ කලේ ය: "අපි වෙනත් පක්ෂයක් බඳු පක්ෂයක් නො වෙමු. .... අපගේ අරමුන වන්නේ සමාජවාදී විප්ලවය මගින්, වැඩ කරන ජනතාව සහ සූරාකනු ලබන ජනතාව මුලුමනින්ම ද්‍රව්‍යමය සහ ආධ්‍යාත්මිකව විමුක්ත කර ගැනීම යි. අප හැර අන් කවරෙකු හෝ එය සූදානම් කරනු නැත. එය මෙහෙයවනු නැත.”

මාක්සිස්ට් වොයිස් පාඨකයින්ගෙන් ද පකිස්ථානය තුල සිටින්නා වූ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයන් ගෙන් ද අප උදක් ම ඉල්ලා සිටින්නේ මෙම ප‍්‍රකාශය අධ්‍යයනය කරන ලෙස ද අපගේ සාමාජිකයන් ලෙස එකතු වී හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමේ අරගලයට සහභාගි වන ලෙස ද වේ.

බලන්න: http://www.wsws.org/sinhala/2011/2011jan/pers-10j.html

පකිස්ථාන සහ ලෝක කම්කරු පන්තිය සඳහා සාදරයෙන් පිලිගත හැකි වර්ධනයක්

A welcome advance for the Pakistani and world working class

3 January 2011

the WSWS | Contact Us | Privacy Statement | Top of page