පකිස්ථාන සහ ලෝක කම්කරු පන්තිය සඳහා සාදරයෙන් පිලිගත හැකි වර්ධනයක්

A welcome advance for the Pakistani and world working class

3 January 2011

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය සමග දේශපාලනික එකඟතාවය පලකොට ඇති හා සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමට ඉදිරිපත්ව සිටින පකිස්ථාන කන්ඩායමක් වන Marxist Voice (මාක්සිස්ට් වොයිස්) මගින් නිකුත් කරනු ලබන ප‍්‍රකාශනයක් කොටස් වශයෙන් පලකිරීම ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් අද සිට ආරම්භ කරයි.

අපි මෙම ප‍්‍රකාශනය සාදරයෙන් පිලිගන්නෙමු. මෙය විප්ලවවාදී ඉදිරි දර්ශනයක් විස්තාරනය කිරීමේ අර්ථභාරී වර්ධනයක් පෙන්නුම් කරන අතර පකිස්ථානයේ කම්කරු පන්තිය තුල දේශපාලන වර්ධනයක් ද ඇඟවුම් කරයි.

දකුනු ආසියාවේ කම්කරුවන් සහ පීඩිතයන්ගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් සමග ධනේශ්වර පාලනය පෙන්නුම් කරන ආන්තික විසංවාදය වෙන කවරදාටත් වඩා ඉස් මතුවී තිබේ. ඉන්දියානු හා පකිස්ථාන ජාතික ධනේශ්වරය අධිරාජ්‍ය විරෝධී විප්ලවය මැඩලා, උප මහාද්වීපය වාර්ගික රේඛා දිගේ බෙදා වෙන්කිරීමට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සමග අත්වැල් බැඳගැනීමෙන් දශක හයකට පසුව, දකුනු ආසියාව යනු ලෝකයේ මන්ද පෝෂනයට හා දරිද්‍රතාවයට ගොදුරුවී සිටින විශාලතම මිනිස් සංකේන්ද්‍රනයක් බවට පත්ව තිබේ.

පූර්වයෙන් පැවති එක්සත් ජනපදයේ පිටුබලය ලත් ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ගේ ආඥාදායකත්වය මෙන්ම, පකිස්ථානයේ වත්මන් පකිස්ථාන ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ආන්ඩුව ද එක්සත් ජනපදය හා බටහිර ආධිපත්‍යය දරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග පරිදි කුරිරු කප්පාදු පියවර පනවමින් සිටී. හුවාදක්වනු ලබන ඉන්දියාවේ නැගීම හමුවේ, ඉන්දියාවට වහවැටී සිටින ජාත්‍යන්තර සමාගම් හා ඉන්දියානු කෝටිපතියන් රැලකගේ ඉස්මතු වීම පෙන්නුම් කරන්නේ, වැඩිකොටම ග‍්‍රාමීය ජනගහනයෙන් ඇද ගනු ලැබූ දරුනු ලෙස සූරාකෑමට ගොදුරුවන කම්කරු පන්තියක් නැඟී ඒමයි.

මහජනතාවගේ ප‍්‍රශ්න වලට කිසිදු ඵලදායී විසඳුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් ඉන්දීය හා පකිස්ථාන ධනේශ්වරය, සිය ප‍්‍රතිගාමී භූ දේශපාලනික රාජ්‍ය සතුරුකම් හා ආගමික, වාර්ගික, ජාතික හා ජන වාර්ගික මෙන්ම කුල භේදය ඇවිස්සීම මඟින් සමාජ ආතතීන්ට මුහුන දීමට උත්සාහ කලහ. ඉස්ලාමාබාදය මෙන්ම නව දිල්ලිය ද වොෂින්ටනයේ අනුග‍්‍රහය දිනාගැනීමේ තරගයක යෙදී සිටිති.

ඉස්ලාම් මූලධර්මවාදී පක්ෂවල සිට පකිස්ථාන ජනතා පක්ෂය දක්වා සියලු පකිස්ථාන ධනේශ්වර පාර්ශවයන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ඇෆ්ඝනිස්ථානයේ ගෙන යන යුද්ධය සමග නිහීන ලෙස අත්වැල් බැඳගෙන සිටී. මෙයට සිවිල් වැසියන් සිය ගනනක් ඝාතනය කොට ඇති පකිස්ථානය තුලට ඩ්‍රෝන් ප‍්‍රහාර එල්ල කිරීම සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් හා සිවිල් ජන ජීවිතය කෙරෙහි කිසිදු තැකීමකින් තොරව පෂ්තුන් ගෝත‍්‍රික ප‍්‍රදේශය හරහා තලේබාන් පක්ෂපාතී සන්නද්ධ කල්ලි මර්දනය කිරීමට පකිස්ථානු මිලිටරිය මෙහෙයවීම ද ඇතුලත් වේ.

ඒ අතරම පූර්වයෙන් නොබැඳි ජාතීන්ගේ ප‍්‍රමුඛයාව සිටි ඉන්දියාව, චීනය පසුබැස්සවීමේ වොෂින්ටන් සැලසුම් සමඟ වෙන කවරදාකටත් වඩා සමීප වෙමින්, ලෝක බලවතෙකු වීම සඳහා එක්සත් ජනපදය පිරිනමන උදව් කෑදර ලෙස පිලිගනිමින් සිටී.

මාක්සිස්ට් වොයිස් ප‍්‍රකාශනය පෙන්වාදෙන පරිදි, දකුනු ආසියාවේ පන්ති විඥානයෙන් වැඩි දියුනු කම්කරුවන් හා සමාජවාදයට ලැදි තරුනයන් හා බුද්ධිමතුන් ට්‍රොට්ස්කිවාදයට හැරීම තුලින්, මාක්ස්වාදී ඉදිරි දර්ශනයක් පනගැන්වීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් සිටියි.

දශක ගනනාවක් තිස්සේ ස්ටැලින්වාදී පක්ෂ විසින් දේශපාලනිකව දකුනු ආසියානු කම්කරු පන්තියේ ගෙල හිරකරනු ලැබ තිබේ. රදලවාදය ද කුල වාදය ද අතුගා දැමීම ඇතුලුව උප මහාද්වීපයේ නිමක් නැති ජනතාව අතර අව්‍යාජ සමානාත්මතාවය ඇතිකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ නොවිසඳුනු ප‍්‍රශ්න විසඳිය හැක්කේ ධනේශ්වරයේ නායකත්වය යටතේ සිදුවන "ජාතික” විප්ලවයක් තුලින් පමනක්ය යන පදනම මත ස්ටැලින්වාදීන්, ජාතික ධනේශ්වරයේ එක් හෝ තවත් පාර්ශවයකට කම්කරු පන්තිය ක‍්‍රමානුකූලව බිලිදුන් අතර ඉන් ගෙන ආවේ විනාශකාරී ප‍්‍රතිපල පමනි.

දකුනු ආසියානු කම්කරු පන්තියේ අත්‍යාවශ්‍ය මූලෝපායික අත්දැකීම් විමසීමේ පදනම මත හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නායකත්වය දෙන දේශපාලන අරගලයේ පාඩම් උකහා ගනිමින් මාක්සිස්ට් වොයිස් ප‍්‍රකාශනය, පකිස්ථාන කම්කරුවන් සිය අරගල නොනවතින විප්ලවයේ මූලෝපාය මත පාදක කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරයි.

"ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ කර්තව්‍යය, පකිස්ථානය හා දකුනු ආසියාව තුල සාක්ෂාත් කල හැක්කේ ධනේශ්වරයට හෝ එහි කොටසකට හෝ ඔවුන් සමඟ සන්ධානයකින් නොව, ධනපති පන්තියට සහ ධනේශ්වර සමාජ පර්යායට එරෙහි විප්ලවවාදී අරගලයක් තුලින් පමනක් බව මාක්සිස්ට් වොයිස් ප‍්‍රකාශ කරයි. පීඩිත ජනතාවගේ විමුක්ති දායකයා ද කම්කරු පන්තිය හා ගොවිජනතාව අතර විප්ලවවාදී සන්ධානයේ නායකයා ද ලෙස කම්කරු පන්තියට නැඟී සිටිය හැක්කේ, ධනේශ්වරයේ දේශපාලන බලපෑමෙන් ජනතාව නිදහස් කර ගැනීමට කරන අනවරත අරගලයක් තුලින් පමනි. ඒ සඳහා ධනේශ්වරයේ අධිරාජ්‍යවාදී ගැතිකම, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අභිලාශයන් පිලිබඳ නොතැකීම හා සිය පන්ති අවශ්‍යතා ගැන පමනක් ඇලුම්කරන ආකාරය හෙලිදරව් කල යුතුය. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් විප්ලවවාදී ප‍්‍රජාතාන්ත‍්‍රීය කර්තව්‍යයන් ඒකාබද්ධ කරනු ඇත. වඩා වැදගත් වන්නේ ඉඩම් පිලිබඳ පෙරලිකාරී පරිවර්තනයකි. ඊට සම්බන්ධිතව මහා ව්‍යාපාර අත්පත්කර ගැනීම හා අනෙකුත් සමාජවාදී කි‍්‍රයා මාර්ග ද සිය මූලෝපායේ හදවතෙහිම ධනවාදය අවසන් කිරීම සඳහා ලෝක කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ අරගලය ද පවතිනු ඇත.

මාක්සිස්ට් වොයිස් ප‍්‍රකාශනය, සියලු ආකාරයේ ජාතිවාදී, ජාතිකවාදී සහ වාර්ගික දේශපාලනය ප‍්‍රතික්ෂේප කරයි. එයට, නිදන්ගතව ඇති බෙදා වෙන්කිරීමේ හා ඉන්දීය-පකිස්තාන ප‍්‍රතිවාදී රාජ්‍යයන් පිලිබඳ ප‍්‍රතිගාමී වාර්ගික දෘෂ්ටිවාදය මෙන්ම, පකිස්ථානය ජාතික-වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට උල් පන්දම් දෙන බලවේගයන් ද ඇතුලත්ය.

එය, ඇෆ්පැක් (ඇෆ්ගනිස්ථාන-පකිස්ථාන) යුද්ධයට එරෙහිවත් ඉස්ලාමාබාද් - වොෂින්ටන් මිලිටරි-මූලෝපායික සන්ධානය කුඩු කර දැමීම සඳහාත් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම මූලික කාර්යය ලෙස සලකා ගනිමින්, ඉස්ලාම්වාදය හා ප‍්‍රතිගාමී ත‍්‍රස්තවාදී දේශපාලනය හෙලා දකියි.

අවසාන එහෙත් වැදගත් කමෙන් නොදෙවෙනි පරිදි මාක්සිස්ට් වොයිස්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිව ගෙනගිය අශමනීය අරගලයේ පාඩම් මත පකිස්තාන කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ අරගලය පදනම් කිරීමේ තීරනාත්මක වැදගත්කම අවධාරනය කරයි. එය සංක්ෂිප්තව වුවත් ජාත්‍යන්තර මාක්ස්වාදී ප‍්‍රවනතාවයේ අරගලය, ප‍්‍රන්සයේ නව-ධනේශ්වර විරෝධී පක්ෂය සමග සන්ධානගතව සිටින පකිස්ථානයේ කම්කරු පක්ෂය හා අනෙකුත් පැබ්ලෝවාදී කන්ඩායම් විසින් සිදුකර තිබෙන දේශපාලන හානිය මැනවින් අනාවරනය කරයි. මෙම සියලු කන්ඩායම් ඒ හෝ මේ ආකාරයට, ධනපති පකිස්ථාන ජනතා පක්ෂය, විවිධ වාර්ගික ජාතිවාදී ව්‍යාපාර, වෘත්තීය සමිති, හා ලෝක සමාජ සංසදය සමග බැඳී සිටින රාජ්‍ය නොවන සංවිධානයන්හි දේශපාලන කක්ෂය තුල කි‍්‍රයාත්මක වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පකිස්ථානයේ, දකුනු ආසියාවේ සහ ලෝකය පුරා සිටින අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, මාක්සිස්ට් වොයිස් ප‍්‍රකාශනය ප‍්‍රවේශමෙන් අධ්‍යයනය කරන ලෙසත්, තම අදහස් හා ගැටලු අප වෙත යොමු කරමින් පකිස්ථාන කම්කරු පන්තියේ විප්ලවවාදී සමාජවාදී පක්ෂය ගොඩනැගීමට මග පෙන්වන ඉදිරි දර්ශනය සහ ක‍්‍රියාමාර්ගය පිලිබඳ සංවාදයට එක්වන ලෙසත්ය.

කීත් ජෝන්ස්