ටියුනීසියාවේ මහා ජන නැගිටීම් සහ නො නවතින විප්ලවයේ පර්යාලෝකය

The mass uprising in Tunisia and the perspective of permanent revolution

17 January 2011

ටියුනීසියාවේ සිද්ධීහු ලෝක කටයුතුවල සන්ධිස්ථානයක් සලකුනු කරති. විජයග‍්‍රාහී ප‍්‍රතිගාමීත්වයේ ද පන්ති අරගලයේ පාගාදැමීමෙන් ද යුක්ත වූ දශක ගනනාවකින් පසුව මහා විරෝධතා පුපුරා යාම ද සීනේ එල් අබිදීන් බෙන් අලිගේ විසිතුන් වසරක මර්දනකාරී පාලනය අවසන්වීම ද විප්ලවවාදී නැගිටීම්වල නව කාලපරිච්ඡේදයක් පැනනැගීම පෙන්නුම් කරයි.

ටියුනීසියාවේ මහාජනතාව, කෙසේ වෙතත්, එලඹ සිටින්නේ ඔවුන්ගේ අරගලයේ ප‍්‍රාරම්භක අවධීන්ට පමනි. මෙම තාවකාලික ජනාධිපතිවරයා යටතේ මිලිටරි ප‍්‍රචන්ඩත්වය දිගින් දිගට ම පවත්වාගෙන යාම විසින් දැනටම තහවුරු කර ඇති පරිදි කම්කරු පන්තිය ඉමහත් අන්තරායන්ට මුහුන දී සිටී. විප්ලවවාදී ක‍්‍රියාමාර්ගය සහ නායකත්වය පිලිබඳ තීරනාත්මක ප‍්‍රශ්න තාමත් විසඳී නැත. විප්ලවවාදී නායකත්වයක් වර්ධනය කරගනු ලැබුවේ නැති නම් තවත් අධිකාරවාදී පාලන තන්ත‍්‍රයක් අලිගේ ඒකාධිපතිත්වය වෙනුවට පිහිටුවෙනු ඇත.

බෙන් අලි හෙලුවා වූ මහාජන ව්‍යාපාරයේ හදිසි සහ වේගවත් විකසනය ඉමහත් වෛෂයික අර්ථභාරයක් දරා සිටී. බටහිර විසින් අරාබි පාලන තන්ත‍්‍රයන් අතර වඩාත් ම ස්ථාවර එකකැයි ද උතුරු අප‍්‍රිකාවේ සහ මැදපෙරදිග ධනවායේ ද එක්සත් ජනපද සහ යුරෝපියානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ගේ කොටු පවුරක් ලෙස ද වර්නනා කරනු ලැබූ මෙම පාලනය සති කිහිපයක් ගතවීමට පෙර හුදෙකලා වූ ද, දුර්වල වූ ද, අරටුවට ම කුනු වූවා වූ ද එකක් බව එලිදරව් විය.

දේශපාලන ජීවිතයේ මතුපිටට යටින් ගොඩගැසෙමින් පැවති සමාජමය ගිනිගල අවුලූවා ලූ ගිනිකූර වූයේ, ස්ථිර රැකියාවක් සොයාගැනීමට නො හැකි වූ උපාධිධරයෙකුගේ එලවලු විකිනීමේ සුලු රැකියාව අධිකාරීන් විසින් වලකා දැමීමට එරෙහිව එම උපාධිධරයා ගිනිතබා ගැනීම ය. මෙම ඛේදජනක සිද්ධිය ඉහවහා ගිය විරැකියාව, දිලිඳුකම, සමාජ අසමානතාවය සහ පාලක ප‍්‍රභූවේ අත්තනෝමතිකයට ද දූෂනයට ද එරෙහි මිලියන ගනන් තරුනයන් සහ කම්කරුවන්ගේ දැල්වෙමින් පැවති විරෝධය ඒකාග‍්‍ර කලේ ය.

ටියුනීසියාවේ පුපුරා යාමට මගපෑදූ සමාජ තත්වයෝ මාග්‍රෙබ් (මොරොක්කෝ, ටියුනීසියා, ඇල්ජීරියා සහ ලිබියා යන රටවලින් සමන්විත උතුරු අප‍්‍රිකානු වෙරලබඩ) ප‍්‍රදේශය ද මැදපෙරදිග ද අරා සිටිති; ඒවා, භූගෝලීය ආර්ථික අර්බුදයක් ද බැංකු සහ සංගතවල මුර්ග ප‍්‍රහාරයක් ද පවත්නා තතු යටතේ දියුනු ධනපති රටවල කම්කරු පන්තියට එන්න එන්නම වැඩිවැඩියෙන් තර්ජනය කර සිටී.

ඉස්ලාමීය බලවේගයන් මහා ජනතා විරෝධයන් තුල තත්‍ය වශයෙන් ම කිසිදු ක‍්‍රියාකලාපයක් ඉටු නො කල බව අර්ථහාරීය. ලෝකය පුරාම ඉදිරියට පැමිනෙමින් සිටින්නේ ආර්ථික සහ දේශපාලන ජීවිතය මත ආධිපත්‍යය දරන්නා වූ මූලික සමාජ සහ පන්ති ප‍්‍රශ්නයන් ය. ඒවා ආගම, වර්ගය, සහ ජාතිකත්වය පිලිබඳ ද්විතීයික සහ තෘතීයික ප‍්‍රශ්න මැඩගෙන ඉදිරියට එමින් සිටී.

බෙන් අලිගේ වැටීම ටියුනීසියාවේ ද අරාබි ලෝකයේ සෙසු ප‍්‍රදේශවල ද ධනේශ්වරයට මෙන් ම ඇමරිකානු සහ ලෝක අධිරාජ්‍යවාදයට කම්පනයක් ගෙන දුන්නේ ය. ඔවුන් වඩාත් ම කම්පාවට පත්කලේ අසල්වැසි ඇල්ජීරියාවේ සහ වඩාත් නැගෙනහිරින් පිහිටි ජෝර්දානයේ මහා ජනතා විරෝධයන් පුපුරා යාම ගැන ය.

මිලිටරි සහ පොලිස් බලවේගයන්ට එරෙහි වෙමින් දස දහස් ගනන් කම්කරුවන් සහ තරුනයන් ටියුනීස් නගර මධ්‍යය පුරවාලමින් ඒකාධිපතිත්වය අවසන් කල යුතු යයි බල කර සිටීම නිව්යෝක්, පැරිස්, ෆ‍්‍රැන්ක්ෆර්ට් සහ වෙනත් අධිරාජ්‍යවාදී මූල්‍ය කේන්ද්‍රයන්හි බැංකුකරුවන් සහ සමපේක්ෂකයන්ගේ කොඳුනාරටි වෙවුලූවා ලූ බව නිසැක ය. දූෂනය සහ විලිලැජ්ජා නැති ලෙස ධනය උජාරු කිරීම සම්බන්ධයෙන් ගතහොත් කිසිම පාලක ප‍්‍රභූවක් එක්සත් ජනපදයේ පාලක ප‍්‍රභූවට දෙවැනි වන්නේ නැත.

ටියුනීසියාවේ සිද්ධීන් කෙරෙහි එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ප‍්‍රතිචාරය අතිශයින්ම නරුම සහ වංචනික ය. බෙන් අලි පාලන තන්ත‍්‍රයේ අශික්ෂිත දූෂනය සියලු අධිරාජ්‍යවාදී අගනුවරවලට රහසක් නො වී ය.

විරෝධතාවන්ගේ පැතිරී යාමට හේතු වූ එක් සාධකයක් නම් ටියුනිස් නගරයේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ටියුනීසියානු පාලන තන්ත‍්‍රය ප්‍රෞඪ තන්ත‍්‍රයක් සහ ඒකාධිපතිත්වයක් යයි දරුනු ලෙස විවේචනය කරමින් යවන ලද කේබල් පනිවිඩ විකිලීක්ක්ස් විසින් ප‍්‍රසිද්ධ කිරීම ය. ටියුනීසියාවේ සමාජ විරෝධතාවය පුපුරා යාමට මෙම කේබල් පනිවිඩ ඉටු කල භූමිකාව විසින් පැහැදිලි කෙරෙන තවත් කරුනක් නම් විකිලීක්ස් එලිදරව් කිරීම්වලට ඇමරිකානු පාලක පන්තිය එතරම් වියරු ලෙස විරුද්ධ වූයේ මන් ද යන්න යි.

එක්සත් ජනපදය සහ යුරෝපය තෝරා ගත්තේ ටියුනීසියානු පාලන තන්ත‍්‍රයේ මංකොල්ලයන්ට උඩින් තම ආර්ථික සහ භූ මූලෝපායික ආසක්තයන් ඔසවා තැබීමට ය. යුරෝපා සංගමය ද විශේෂයෙන් ම කලින් ටියුනීසියාව පාලනය කල යටත් විජිත බලය වන ප‍්‍රන්සය ද ටියුනීසියාව සමග පලල් ආර්ථික සබඳතා පිහිටුවාගෙන තිබේ. වොෂින්ටනයේ "ත‍්‍රස්ත විරෝධී යුද්ධයට” පිටුපසින් පෙලගැසීමට ප‍්‍රතිචාර වසයෙන් ටියුනීසියානු ඒකාධිපතිත්වයට යුද්ධමය සහ දේශපාලන ආධාර වැඩි කර ඇත.

මෙම දේශපාලන සහ යුදමය සම්බන්ධතා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ද ප‍්‍රජාතන්ත‍්‍රය පෝෂනය කිරීම ද පිලිබඳව ඇමරිකාව හා යුරෝපය ගෙන යන ව්‍යාජයන්ගේ හිස් බව හෙලිදරව් කරයි.

පසුගිය සතිය තරම් මෑත දී ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අරාබි චන්ද්‍රිකා රූපවාහිනි ශ‍්‍රාවකයකට කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදය ටියුනීසියානු අර්බුදයේ දී "පැත්තක් නො ගන්නා” බව ය. දශක ගනනාවක් තිස්සේ වොෂින්ටනයේ මිතුරාව සිටි ටියුනීසියානු ඒකාධිපතියා දොට්ට වැටීමට යන බව පැහැදිලි වූ පසුව පමනක් ඇමරිකාව පෙලපාලිකරුවන්ට සහාය ප‍්‍රකාශ කරමින් උවමනාවට වැඩි ප‍්‍රචන්ඩත්වය පාවිච්චි කිරීම ගැන ටියුනීසියානු පාලනය විවේචනය කලේ ය.

ටියුනීසියාවේ මහජන ව්‍යාපාරය කෙරෙහි ඇමරිකානු පාලක පන්තිය ඇත්ත වසයෙන්ම දක්වන්නේ අශමනීය සතුරු බවකි; වොෂින්ටන් පෝස්ට් පුවත් පතේ කර්තෘ මන්ඩලයේ සාමාජිකයකු වූ ජැක්සන් ඩියෙල් සිකුරාදා එය මෙසේ ප‍්‍රකාශ කලේ ය: "කෙසේ වෙතත්, මැදපෙරදිග එක්සත් ජනපද ආසක්තයන්ට මුහුන දෙන්නට සිදු වී තිබෙන අතිශයින් ම ආසන්න තර්ජනය නම් යුද්ධය නො වේ; විප්ලවය යි.”

ඔහු මෙසේ ද කී ය: "ප‍්‍රචන්ඩත්වය දැනටම ඇල්ජීරියාවට පැතිර ගොස් ඇත. ටියුනීසියානු තත්වය ඊලඟට පැනනගින්නට යන්නේ කොතැනට ද යන්න පිලිබඳව සමපේක්ෂනයෙන් අරාබි මාධ්‍ය පිරී ඇත: ඊජිප්තුව? ජෝර්දානය? ලිබියාව? මේ සෑම රටක් ම වේගයෙන් ඉහල යන ගෝලීය ආහාර සහ ඉන්ධන මිල විසින් තර්ජනයට ලක්ව පවතී; පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සංගමය "ආහාර මිල කම්පනයක්” පැනනැගිය හැකි යයි අනතුරු හැඟවීය.”

පසුගිය සතියේ ටියුනීසියාවේ සිදු වූ සිද්ධීන් යලිත් වරක් කම්කරු පන්තියේ දැවැන්ත සමාජමය බලය සහ විප්ලවවාදී ශක්‍යතාවය එලිදරව් කර තිබේ. එහෙත්, මහාජන ව්‍යාපාරයේ කේන්ද්‍රීය දුබලකම වන්නේ පැහැදිලි විප්ලවවාදී පර්යාලෝකයක්, ක‍්‍රියාමාර්ගයක් සහ නායකත්වයක් නො තිබීම ය.

මෙය, දේශීය ධනේශ්වරයට ද එහි අධිරාජ්‍යවාදී මෙහෙයුම්කරුවන්ට ද යලිත් පෙලගැසී මහජන විරෝධය කුඩුකර දැමීමට ද ටියුනීසියානු ධනවාදය ආරක්ෂා කිරීමට ද නව මාර්ගයන් සපයනු ඇත. බෙන් අලී දොට්ට වැටීම පොදු ජන විරෝධයේ වඩාත් සෘජු අරමුනු ඉවත් කල අතර ටියුනීසියානු පාලන තන්ත‍්‍රය ප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රහාරයක් දැනටම දියත් කර ඇත. පොරොන්දු වූ මැතිවරන ද "එක්සත් ආන්ඩුව” ද යන කඩතුරාව යටතේ රාජ්‍ය තත්වය ද ඇඳිරි නීතිය ද පවත්වා ගෙන යනු ලබන අතර පොලීසිය ද සොල්දාදුවෝ ද පාලන තන්ත‍්‍රයේ විරුද්ධවාදීන්ට වෙඩි තැබීමට සහ ඔවුන් අත් අඩංගුවට ගැනීමෙහි යෙදී සිටිති.

විප්ලවවාදී අරගලයේ පැන නැගීම දේශපාලන විඥානය, පර්යාලෝකය සහ විඥානය පිලිබඳ ප‍්‍රශ්නය වඩවඩාත් තීරනාත්මක ලෙස ඉස්මතු කරයි. ටියුනීසියාවේ ද සමස්ත මැදපෙරදිග ද මුලු ඉතිහාසයේම ලියොන් ට්‍රොට්ස්කි සහ හතර වන ජාත්‍යන්තරය විසින් නො නවතින විප්ලවයේ පර්යාලෝකය මත විස්ථාරනය කරන ලද ලෝක විප්ලවවාදී මූලෝපාය පිලිබඳ දෘඪ සමාලෝචනයක් වේ.

ස්ටැලින්වාදයට, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ ධනේශ්වර ජාතිකවාදයට එරෙහිව ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, අධිරාජ්‍යවාදී යුගයේ කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයකින් යුතු වූ රටවල ධනේශ්වර පන්තිය ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ මූලික කර්තව්‍යයන් කිසිවක් හෝ ඉටු කිරීමට අසමත් ය. දුර්වල වූ ද පරාධීන වූ ද විදේශීය අධිරාජ්‍යවාදයට සහ ජාතික වැඩවසම් බලවේගයන්ට ගනන් නැති හුයපටවලින් බැඳුනා වූ ද ටියුනීසියාව වැනි මෙවන් රටවල ධනේශ්වර පන්තිය අධිරාජ්‍යවාදයට වඩා දහස් වතාවක් කම්කරු පන්තියේ විප්ලවවාදී බලවේගයට බිය ය; සතුරු ය.

1957 ස්වාධීනත්වයෙන් පසු ටියුනීසියාවේ ඉතිහාසය වනාහි ඉහත කී ඓතිහාසික පූර්වඥානයේ නිවැරදිතාවය පිලිබඳ පාඨ ග‍්‍රන්ථයක් වන් උදාහරනයකි. ජාතික ධනේශ්වර පන්තිය මහජනතාව මත දිලිඳු බව පටවමින් ද ටියුනීසියානු ආර්ථිකය අධිරාජ්‍යවාදී බැංකු සහ සංගත විසින් අසීමිතව සූරාකෑම සඳහා දොර හැර දෙමින් ද අයෝමය හස්තයකින් රට පාලනය කර ඇත. ඇල්ජීරියාවේ 1960 ගනන්වල දී යටත් විජිත විරෝධී අරගලයට නායකත්වය දුන් ජාතික විමුක්ති පෙරමුන (එන්එල්එෆ්) සම්බන්ධයෙන් ගත් කල මෙය සත්‍ය ය; අද එය විරෝධතා දක්වන කම්කරුවන්ට පහර දෙමින් දූෂිත පාලක ප‍්‍රභූවගේ ද විදේශීය සංගත සහ බැංකුවල ද වාසිය සඳහා වූ "නිදහස් වෙලඳ පල” පිලිවෙත් පටවයි.

කලින් තමන් අර්ධ සමාජවාදී යයි කියා ගත් ඒවා ද ඇතුලු විවිධ ජාතික ව්‍යාපාර අද තමන්ගේ ම ජනතාව පීඩනය කිරීම සඳහා අධිරාජ්‍යවාදය සමග හවුල්ව ක‍්‍රියා කරයි. බාත්වාදය වේවා, නසාර්වාදය වේවා, පලස්තීන විමුක්ති සංවිධානය වේවා, ලිබියානු විශේෂය වේවා අධිරාජ්‍යවාදයෙන් ස්වාධීනත්වය අත්කර ගැනීමට හෝ විරැකියාව, දිලිඳුබව සහ ආර්ථික පරිහානිත්වය පිලිබඳ ප‍්‍රශ්නයන්ට මුහුන දී විසඳාලීමට හෝ සමත් වන්නේ නැත.

ටියුනීසියාවේ සිද්ධීන් කෙරෙහි ඇරැබ් ලීගයේ ප‍්‍රතිචාරය වී ඇත්තේ "සාමය”, "ස්ථාවරත්වය” ඇති කල යුතු යයි කියා සිටීම ය. මින් අදහස් වන්නේ මහජන ව්‍යාපාරය පාගා දැමීම ය. බෙන් අලිව පෙලපාලිකරුවන්ට එරෙහිව ආරක්ෂා කල ලිබියාවේ ගඩාෆි අලුත් බොල්ශේවික් විප්ලවයක් ඇති වේ යයි අනතුරු හඟවා සිටියේ ය.

යුරෝපීය ව්‍යාජ වාම කන්ඩායම් විසින් විවිධාකාරයෙන් ඉදිරිපත් කරන ඊනියා "ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය” සඳහා කැඳවුම ආවෘත අන්තයකි. නිල විරුද්ධ පක්ෂයන්ට සහ වෘත්තීය සමිතිවලට වැඩි බලපෑමක් ලබා දීම සඳහා කම්කරුවන් විසින් රාජ්‍ය තන්ත‍්‍රයට බලපෑම් කල යුතු බව ඔවුහු කියා සිටිති. කෙසේ වෙතත් මෙම සංවිධානයන්ගෙන් එකක් වත් පාලන තන්ත‍්‍රයට ද එහි දක්ෂිනාංශයේ පිලිවෙත්වලට ද එරෙහිව අරගලයක් දියත් කිරීමට උත්සාහ ගෙන නැත. පසුගිය ජනාධිපතිවරන මැතිවරන දෙකක දී බෙන් අලිට සහාය දුන් ටියුනීසියානු කම්කරුවන්ගේ පොදු සංගමය (යූජීපීටී) අලිගේ නිදහස් වෙලඳ පොල "ප‍්‍රතිසංස්කරන” වලට තමන් සහාය දෙන බව නිල වශයෙන් ම ප‍්‍රකාශ කර තිබේ.

ටියුනීසියාවේ ද මාග්‍රෙබ්හි ද මැදපෙරදිග ද කම්කරු පන්තිය හා පීඩිත ජනතාවට පවත්නා එකම ප‍්‍රානශක්‍ය ක‍්‍රියාමාර්ගය වන්නේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කර ඇති සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල යි. ප‍්‍රජාතන්ත‍්‍ර සහ සමාජ අයිතිවාසිකම් දිනාගත හැක්කේ ද, දේශපාලන ජීවිතයේ අත්තිවාරම ලෙස සමාජ සමානතාවය පිහිටුවාලිය හැක්කේ ද කම්කරු පන්තිය, සමාජයේ සියලුම පීඩිත කොටස් දේශීය ධනපති පන්තියට සහ අධිරාජ්‍යවාදයට එරෙහිව නායකත්වය දෙමින් කරන්නා වූ ස්වාධීන අරගලය මගින් පමනක් ම ය.

මෙම අරගලය හුදෙක් ජාතික පරිමානයෙන් කල හැක්කක් නො වේ. උතුරු අප‍්‍රිකාවේ සහ මැදපෙරදිග හරහා ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩනගමින් ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස මැදපෙරදිග ද මාග්‍රෙබ් ප‍්‍රදේශයේ ද එක්සත් සමාජවාදී ජනපදයක ධජය යටතේ වැඩ කරන ජනතාව ඒකාබද්ධ කල යුතු ය.

මෙම අරගලය දැනුවත්ව ම දියුනු ධනපති රටවල කම්කරුවන්ගේ අරගල සමග සම්බන්ධ කල යුතු ය; මේ රටවලින් බොහොමයක් උතුරු අප‍්‍රිකාවෙන් සහ මැදපෙරදිගින් පැමිනි අරාබි කම්කරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් දරා සිටිති.

අධිරාජ්‍යවාදය සහ ධනේශ්වර පන්තිය විසින් නො නවතා අවුලුවාලනු ලබන ආගම, ජාතිකත්වය සහ වර්ගය මත වූ බෙදාලීම් ජයගෙන අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය අවසන් කර දැමීම සඳහා කම්කරු පන්තියේ සමාජ බලය බලමුලු ගන්වා ගත හැකි වන්නේ මෙම ජාත්‍යන්තරවාදී පදනම මත පමනි.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තම දෛනික ප‍්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලෝකය පුරාම දේශපාලන වර්ධනයන් වාර්තා කොට විග‍්‍රහ කිරීම සඳහා ද ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලයන්ට අවශ්‍ය පර්යාලෝකයන් සපයා දීමට ද ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිර්මානය කර ඇත. ටියුනීසියාවේ ද මැදපෙරදිග පුරාම ද ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙස ඉල්ලා සිටිමු. ටියුනීසියාවේ ද මෙම මුලු මහත් කලාපයේ ද ඒකාධිපතිත්වයට සහ සූරාකෑම අවසන් කිරීමට උත්සාහ කරන අය හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමට සටන් වැදිය යුතු යැයි අපි ඉල්ලා සිටිමු.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලය