ශී‍්‍ර ලංකාවේ දෙමල ජාතික සන්ධානය පිලිබඳව හිටපු වම්මු මිත්‍යාවන් වපුරති

Sri Lankan ex-lefts promote illusions in Tamil National Alliance

By K. Ratnayake, 13 July 2011

සාමාන්‍ය දෙමල ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරන එකම පක්ෂය ලෙස ධනේශ්වර දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඔජවැඞීමේ නව්‍ය හා මුලුමනින්ම අවස්ථාවාදී උද්ඝෝෂනයක් නව සම සමාජ පක්ෂයේ (නසසප) ඊනියා රැඩිකලුන් විසින් දියත් කර තිබේ.

මෙ මගින් නසසප අපකීර්තියට පත් ටීඑන්ඒ වෙත අත්‍යවශ්‍ය දේශපාලන සහාය ලබා දෙනවා පමනක් නොව දැනට එක්සත් ජනපදය හා යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවයක් වන ටීඑන්ඒ සමග ශ‍්‍රී ලංකා ආන්ඩුව එකඟතාවකට ගෙන ඒමට පීඩනය යෙදීම සමග ද එක පෙලට සිටියි.

මේ මාසයේදී නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න දෙමල බසින් පලවන උදයන් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ශ‍්‍රී ලංකා ආන්ඩුව "දෙමල ජනතාවගේ එකම නියෝජිතයා” ලෙස ටීඑන්ඒ සමග සාකච්ඡා පැවැත්විය යුතු බවත්, 2009 වසරේ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජයට පත් කරමින් අවසන් වු රටේ දිග් ගැස්සුන යුද්ධයට "දේශපාලන විසඳුමක්”ගෙන ආ යුතු බවත් සඳහන් කලේය.

පසුගිය වසරේ මහ මැතිවරනයේ ප‍්‍රතිඵල ගැන සඳහන් කරමින් කරුනාරත්න මෙසේ සඳහන් කලේය: "උතුරු නැගෙනහිර ජනතාව තම ඡන්ද ප‍්‍රතිඵලවලින් දැනටමත් තහවුරු කර ඇත්තේ තම එකම නියෝජිතයා ටීඑන්ඒ බවයි. ඇත්ත වසයෙන්ම නම්, 2010 පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී දෙමල ජනයා ඡන්දය දීමෙන් වැලකී සිටියේය. උතුරු ප‍්‍රදේශයන් හි ප‍්‍රමුඛ වසයෙන් දෙමල ජනයා වෙසෙන යාපනය දිස්ත‍්‍රික්කයේ ඡන්දය පාවිච්චි කර ඇත්තේ යන්තම් සියයට 23කි. ටීඑන්ඒ ලබාගෙන ඇත්තේ එයින් අඩකටත් වඩා අඩුවෙන් ය.

ඡන්දය අඩුවෙන් ප‍්‍රකාශ වීම පැහදිලි කලේ ටීඑන්ඒ ද ඇතුලත් මුලු දේශපාලන සංස්ථාපිතයම කෙරෙහි දෙමල මහජනයා අතර පවත්නා පොදු කලකිරීමයි. බොහෝ දෙමල ජනයා පසුගිය ජනවාරි මස මුලදී පැවති ජනපතිවරනයේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා වසයෙන් ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා වෙත දෙමල ජාතික සන්ධානය සහාය පලකිරීම පිලිබඳව උරන වී සිටියහ. සිවිල් වැසියන් දස දහස් ගනනකට මරු කැඳවමින් දියත් කල එල්ටීටීඊයට එරෙහි අවසන් ප‍්‍රහාරය මෙහෙය වූ හමුදාවේ අන දෙන නිලධාරියා සරත් ෆොන්සේකා වූ අතර එම යුද අපරාධවලට මහින්ද රාජපක්ෂ ද ඇතුලුව දෙදෙනාමවගකිවයුතුය.

යුද්ධයෙන් අනතුරුව තුන් ලක්ෂයක් පමන පිරිමි, ගැහැනු සහ ලමයින් තම විනාශ වූ ගම් දනව් වෙත ආපසු යැවීමට පෙර මාස ගනනාවක් තිස්සේ මිලිටරිය විසින් හමුදා කඳවුරු තුල කිසිදු හව්හරනක් නොමැතිව රඳවා තබා ගත්තේය. දහස් ගනන් තරුන ජනයා "එල්ටීටීඊ සැකකරුවන්” වසයෙන් අප‍්‍රසිද්ධ පුනරුත්ථාපන කඳවුරු වෙත ගාල් කලහ. උතුරු නැගෙනහිර බොහෝ ප‍්‍රදේශ ස්ථාවර හමුදා අනසකට යටත් කර ඇත. මිනීමැරීම් සහ අතුරුදහන් කිරීම් ආන්ඩුවට පක්ෂපාතී මැර කන්ඩායම් විසින් දිගටම කෙරෙනු ලබයි. පසුගිය මාස හය තුල එවැනි සිදුවීම් අඩුම ගනනේ 30 ක් වත් සිදුවී ඇති අතර රැකියා විරහිත භාවය හා දුප්පත්කම ඉහල නැගෙමින් තිබේ.

ටීඑන්ඒ පසුගිය කාලය තුලදී ක‍්‍රියාත්මක වූයේ එල්ටීටීඊයේ පාර්ලිමේන්තු නියෝජිතයා ලෙස ය. මොවුහු සාමාන්‍ය දෙමල ජනතාවගේ කිසිදු මූලික අයිතියක් ආරක්ෂා කිරීමට හෝ බහුතරයක් ජනයාගේ ජීවිත වලට අත්වූ අති බිහිසුනු ඛේදවාචකය සැහැල්ලු කිරීමට කිසිවක් නොකලේය. රාජපක්ෂ ආන්ඩුව සමග "දේශපාලන විසඳුමක්” සඳහා යැයි පැවසෙන ඔවුන්ගේ සාකච්ඡාවල තේරුම වන්නේ උතුරු නැගෙනහිර සීමිත බලය පැවරීමක් අන්තර්කර ගත් සිංහල හා දෙමල තුනී පාලක ස්ථරයක් අතර බලය බෙදා ගැනීමේ ගිවිසුමක් කේවල් කිරීමය.

ටීඑන්ඒ "දේශපාලන විසඳුම සඳහා නසසපයේ සහය පදනම් වී ඇත්තේ දැනටමත් ව්‍යසනයක් අත්කර දී තිබෙන වාර්ගික දේශපාලනයේ රාමුව තුල දෙමල ජනයා කොටුකර තැබීමට මං සොයන බලය බෙදීමේ ක‍්‍රියාමාර්ගය මතය. 2009 වසරේ එල්ටීටීඊයේ පරාජය ප‍්‍රාථමිකව මිලිටරි පරාජයක්ම නොව දෙමල ඊලම් වෙනම ධනපති රාජ්‍යයක් පිලිබඳ බංකොලොත් ඉදිරිදර්ශනයේ ද ප‍්‍රතිඵලයක් විය. බිහිසුනු මිලිටරි ප‍්‍රහාරයකට මුහුන දුන් එල්ටීටීඊයට මෙරට කම්කරු පන්තියට හෝ ජාත්‍යන්තර කම්කරු පන්තියට ආයාචනය කිරීමේ දී ඓන්ද්‍රියව ම කිසිදු හැකියාවක් නොතිබින. ඒ වෙනුවට එල්ටීටීඊය කරනු ලැබුයේ ඔවුන්ගේ අවසන් දිනයන්හි දී මැදිහත් වීමක් සඳහා "ජාත්‍යන්තර ප‍්‍රජාව” වෙත නිරර්ථක ලෙස ආයාචනා කිරීමය. එනම් රාජපක්ෂගේ සාපරාධී යුද්ධයට සහය දුන් අධිරාජ්‍යවාදී බලවතුන් වෙතම හැරී උදව් ඉල්ලා සිටීමය.

ඊලම් රාජ්‍යයක් පිලිබඳ අදහස න්‍යාය පත‍්‍රයෙන් බැහැරවීමත් සමග ම, ටීඑන්ඒ නසසපයේ සහයෝගය ද ඇතිව, සීමිත බලයක් සහිත දෙමල පලාතකට දෙමල මහජනයාගේ දුක් ගැනවිලි තුරන් කල හැකිය යන මිත්‍යාව වපුරයි. එවැනි "විසඳුමක්” ලදහොත්, කම්කරු පන්තිය ඒකාබද්ධව සූරාකෑමට පහසුකම් සැපයීම සඳහා ටීඑන්ඒ කොලඹ ආන්ඩුවේ සුවච කීකරු ප‍්‍රාදේශීය පොලිස් කාරයෙකු වශයෙන් වැඩට බසිනු ඇත.

මෙම ඉදිරි දර්ශනය, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා වන අරගලයේදී ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතාවන් ඔස්සේ සිංහල දෙමල කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමට එකහෙලාම හතුරුව පිහිටා සිටී. මෙහිදී ඉතා වැදගත් කාරනය වන්නේ, ක‍්‍රමයෙන් නරක අතට හැරෙමින් පවතින ජීවන තත්වයන් හා ඉහල යන භාන්ඩ මිල නිසාවෙන් දකුනේ කම්කරුවන් අතර වැඩෙන අසහනය, දෙමල ජනතාවගේ පැතිරුන අසහනකාරී තත්වයන් සමග එකට වර්ධනය වන අවස්ථාවේ දීම නසසපය මෙම ජාතිවාදී පිලිවෙත තොරොම්බල් කරමින් සිටීම ය.

නව සම සමාජ පක්ෂය ලංකාවේ ධනපති පන්තියේ කොටස්වල අවශ්‍යතාවයන් වෙනුවෙන් කඹුරනවා පමනක් නොව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෙනුවෙන්ද කත් අදියි. එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයන් එල්ටීටීයට එරෙහිව රාජපක්ෂගේ යුද්ධයට සහාය දෙනු ලැබුවේ ම එක්සත් ජනපදයේ ප‍්‍රතිවාදී බලවතෙකු වන චීනය කිසිදු කොන්දේසියකින් තොරව ආන්ඩුවට මිලිටරි හා මුදල් ආධාර ලබා දෙමින් කොලඹ ආන්ඩුව තුල සැලකිය යුතු බලපෑමක් අත්කර ගනීය යන කාරනය උඩය.

යුද්ධයේ අවසන් මාසවලදී එක්සත් ජනපදය හමුදාවේ බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්වූ දෙමල සිවිල් වැසියන්ගේ ඉරනම පිලිබඳව සීමිත උනන්දුවක් දැක්වු අතර පසුව ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධව පරීක්ෂනයක් පැවැත්වීම සඳහා සහයෝගය දුන්නේය. මෙම පිලිවෙතට දෙමල සිවිල් ජනයා ආරක්ෂා කිරීම සමග මොනම අව්‍යාජ සම්බන්ධතාවක් හෝ නොතිබින. ඊට විපරීතව මෙහි අරමුන වූයේ රාජපක්ෂ බීජිනයෙන් ඈත්කර තැබීම සදහා බලපෑම් කිරීමට යුද අපරාධ සම්බන්ධ පරීක්ෂනයක තර්ජනය එල්ල කරන අතරේම එක්සත් ජනපද ආන්ඩුවේ අවශ්‍යතාවයන් ඉදිරියට දමා ගැනීමට ‘මානව අයිතිවාසිකම්’ පිලිබඳ ව්‍යාජ ධජය යලි වතාවක් ඔසවා ගැනීමය.

ඉන් පසුව එක්සත් ජනපදය ඉන්දියාව සමග එකතුව රාජපක්ෂ ආන්ඩුව සමග ටීඑන්ඒ පවත්වන සාකච්ඡා පිටුපස වැඩි බරක් යොදවමින් "දේශපාලන විසඳුමක්” සදහා එහි කැඳවුම ඉදිරියට දමා ගත්තේය. ශ‍්‍රී ලංකාවේ දෙමල වැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් දකුනු ඉන්දීය තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් එල්ල වන විවේචනයන් කපා හැරීමේ අරමුනින් නව දිල්ලිය ටීඑන්ඒ වෙත සහයෝගය දීමට යොමු වී ඇත.

මෙම උපාමාරු හෙලිදරව් කිරීමට විපරීතව නසසපය, දෙමල ජනයා එක්සත් ජනපදය හා ඉන්දියාව මත විශ්වාසය තැබිය යුතුය යන භයානක මිත්‍යාව වර්ධනය කරමින් සිටී. කරුනාරත්න උදයන් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේදී මෙසේ පැවසුවේය: "රජය දේශපාලන විසඳුමක් ගෙන ඒම දින නියමයක් නොමැතිව කල්දැමීමට උත්සාහ දැරුවහොත් එක්සත් ජනපදය සහ ඉන්දියාව මහින්ද රාජපක්ෂගේ රජය ඉවත් කරනු ඇත. ඉන්දියාව හා එක්සත් ජනපදය මහින්ද බලයට ගෙන ආ අතර යුද්ධය කෙලවර කිරීම සඳහා විශාල වසයෙන් ආධාර අනුබල දුන්හ. ඒ අනුව ශී‍්‍ර ලංකාවේ ප‍්‍රශ්නයට අත පෙවීමට හැකි තත්වයක ඔවුහු සිටිති. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ශ‍්‍රී ලංකාවේ කෙරෙන්නාවූ මැදිහත්වීමකට නසසපයේ විවෘත සහය පලකිරීම, සිවිල් මහජනයා බේරාගැනීමටය යන ව්‍යාජය යටතේ ලිබියාවට නැටෝ බෝම්බ හෙලීමට විවිධාකාර ඊනියා රැඩිකල් කල්ලි විසින් දෙනු ලබන සහයෝගය සමග එක පෙලට සිටී.

මේ මොහොතේදී එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයන් ශ‍්‍රී ලංකාවට මිලිටරි මැදිහත්වීමක් කිරීමේ තත්වයක නොමැති වුවත්, කොලඹ තුල ඔවුන්ගේ උපාමාරු ඒ සා කොල්ලකාරීය. දිවයිනේ මූලෝපායාත්මක වැදගත්කම හා ඉන්දියන් සාගරයේ නැව් ගමනාගමන මාර්ගවලට එහි ඇති සමීපත්වය පිලිබඳව අවධාරනය කරමින් 2009 දී එක්සත් ජනපද සෙනෙට් විදේශ සම්බන්ධතා කොමිටිය නිකුත් කල වාර්තාවක් සඳහන් කලේ එක්සත් ජනපදයට "ශ‍්‍රී ලංකාව අහිමි කරගත” නොහැකි බවයි.

2002 දී ජාත්‍යන්තර පිටුබලය ලත් සටන් විරාමය ශ‍්‍රී ලංකා මිලිටරිය විසින් විවෘතවම කඩකිරීම නොතකා හරිමින්, 2006 මැද භාගයේ දී එල්ටීටීයට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව යලි ඇරඹූ යුද්ධයට එක්සත් ජනපදය හා ඉන්දියාව උපායාත්මකව සහයෝගය දුන්නේය. එතැන් සිට එල්ටීටීඊ පරාජයට පෙරාතු අවසන් මාස කිහිපය දක්වා ම වොෂින්ටනය හා ඉන්දියාව ලංකා හමුදාවන් ප‍්‍රජාතන්ත‍්‍රික අයිතීන් දරුනු ලෙස උල්ලංඝනය කිරීම පිලිබඳව ගොලුවත රැක්කා පමනක් නොව මිලිටරි ආධාර ද ලබා දුන්නේය.

කෙසේ වෙතත් නසසපය, එක්සත් ජනපදය හා එහි මිතුරන්ගේ වත්මන් මානව හිමිකම් පිලිබඳ කැක්කුම හොඳ සලකුනක් බව ලැජ්ජා විරහිතව ගෙනහැර පායි. පසුගිය මාසයේ අගභාගයේ දී වීරකේසරී පුවත්පතට ලියූ තීරුවක කරුනාරත්න ප‍්‍රකාශ කර සිටියේ අද දින ශ‍්‍රී ලංකා ආන්ඩුවට යෙදෙන ජාත්‍යන්තර පීඩනය ඉතා ඉහල මට්ටමක ඇත. ජාත්‍යන්තර ප‍්‍රජාවේ අභිප‍්‍රාය වී ඇත්තේ යුද්ධයෙන් විනාශවී ගිය උතුරු නැගෙනහිර පලාත්වල ප‍්‍රජාතාන්ත‍්‍ර ක‍්‍රියාකාරීත්වයන්ද ඇතුලත් මහජනයාගේ සැබෑ අයිතිවාසිකම් වලට ප‍්‍රමුඛ ස්ථානයක් දිය යුතුය යන්නයි.

ජාත්‍යන්තරව ද නසසපය මෙයට සමාන කටයුතුවල යෙදී සිටියි. පසුගිය වසරේ අගභාගයේ දී බි‍්‍රතාන්‍ය චාරිකාවක යෙදුන කරුනාරත්න බි‍්‍රතාන්‍ය දෙමල සංසදය (බීටීඑෆ්) සමග "වාම පෙරමුනක්” පිහිටුවීම සඳහා ගිවිසුමකට එලඹුනේය. පිටුවහල් දෙමල ධනපති සංවිධානයක් වන (බීටීඑෆ්) බටහිර අධිරාජ්‍ය බලයන් වෙතින් තම බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට විවෘතවම සහයෝගය බලාපොරොත්තු වන සංවිධානයකි. 2010 පෙබරවාරී මාසයේදී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ දී ගෝලීය ද්‍රවිඩ සංසදය ආරම්භ කිරීමේදී (බීටීඑෆ්) ප‍්‍රමුඛ ක‍්‍රියා කලාපයක් ඉෂ්ට කලේය. එවකට සිටි ලේබර් ආන්ඩුවල ටෝරි විරුද්ධ පක්ෂය හා ඔබාමා පාලානාධිකාරියේ පුර්න ආශිර්වාදය මොවුන් වෙත ලැබින. ඔවුන්ගේ අධිරාජ්‍ය ගැති දිශානතියට වාම මුහුනක් දමා ගැනීමේ අභිලාෂයෙන් පසුගිය නොවැම්බරයේ පැවති ඔවුන්ගේ වාර්ෂික විරුදින සැමරුමේදී කරුනාරත්න විශේෂ අමුත්තකු ලෙස සලකනු ලැබූ අතර ඔහු එය ඉතා කෑදරකමින් භාර ගත්තේය.

මෙරට ධනපති පන්තියේ විවිධ කොටස්වල අවශ්‍යතාවයන්ට සැමවිටම සේවය කල අවස්ථාවාදී සන්ධානයන්ට සහාය දැක්වීම පිලිබඳව දිගුකාලීන ඉතිහාසයක් නසසපයට ඇත. 2009 වසරේ දී දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය සමග "නිදහසේ වේදිකාවට” නැග රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සුරැකීමේ රැකවලෙක් ලෙස එජාපය පින්තාරු කිරීමට නසසපය උදව් වුනේය. දැන් නසසපය වචනයක හෝ පැහදිලි කිරීමකින් තොරව දෙමල ජනයා අතර ටීඑන්ඒ පිලිබඳ මිත්‍යාවන් යලි වර්ධනය කිරීමට තැත්කරමින් සිටී.

කම්කරුවන් සහ තරුනයන් නසසපය පදනම් වී ඇති අවස්ථාවාදී උපාමාරු දැමීම් හා වර්ගවාදී දේශපාලනය ප‍්‍රතික්ෂේප කල යුතුය. සිංහල, දෙමල හා මුස්ලිම් වැඩකරන ජනතාවගේ සමාජ අවශ්‍යතාවන් හා ප‍්‍රජාතන්ත‍්‍ර අභිලාෂයන් සුරක්ෂිත කර ගත හැක්කේ කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා අරලයක් තුලින් සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාත්මක කිරීමට වැඩකරන ජනතාව ස්වාධීනව සංවිධානය කිරීම හරහා පමනි. ශ‍්‍රී ලංකාවේ එම ඉදිරිදර්ශනය වෙනුවෙන් සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි.