ඔබාමාගේ අයවැය සමුලුව

Obama’s budget summit

7 July 2011

ජනාධිපති බැරැක් ඔබාමා සහ පක්ෂ දෙකේම කොන්ග‍්‍රස් නායකයන් අතර ධවල මන්දිරයෙහි අද පැවති සමුලුව හිතාමතා පිලියෙල කල නරුම මවා පෑමක කොටසකි. එය පසුපස පවතින්නේ සෞඛ්‍ය පහසුකම් අදාල කරගත් සාමාජීය වැඩ සටහන්වලින් විශාල කොටසක් බිඳ විසුරුවා ලීමට පක්ෂ දෙක එක්ව සූදානම් කරමින් තිබෙන සැලැස්මකි.

20 වන සියවසේ නිර්මානය කල සාමාජීය වැඩ සටහන් කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී විවාදයකින් තොරව සහ කප්පාදුවලට අතිමහත් විරෝධයක් පාන ඇමරිකානු මහජනතාවට හොරෙන් වනසා දමමින් තිබේ. "ප‍්‍රගතිශීලී යුගය” තරම් ඈතක දී සිදු කල නිදහස් අධ්‍යාපනය පුලුල් කිරීම වැනි ප‍්‍රතිසංස්කරන ද එමෙන් ම 1930 ගනන්වල සහ 1960 ගනන්වල "නිව් ඩීල්” සහ "ගේ‍්‍රට් සොසයිටි” යන වැඩ සටහන් යටතේ සිදු කල ප‍්‍රතිසංස්කරන ද ආ පස්සට හරවමින් තිබේ.

මෙ මගින් ඇඟවුම් කරන්නේ අවපාතයකට ආසන්න විරැකියා මට්ටම්වලින් ද වැටුප් සහ සමාජ සහන වලට එල්ල කරන අනුකම්පා විරහිත ප‍්‍රහාරයන්ගෙන් ද දැනට මත් පීඩා විඳිමින් සිටින ඇමරිකානු මහජනතාවට අතිශයින් ම විනාශකාරී ප‍්‍රතිවිපාකයන්ය.

05 දින පුවත්පත්වලට කල ප‍්‍රකාශයන් තුලින් ඔබාමා සංගත-මූල්‍ය ප‍්‍රභූව වෙත පැහැදිලි සංඥාවක් නිකුත් කර තිබේ. එනම්, පෙර නුවූ විරූ කප්පාදු ක‍්‍රියාවට දැමීමට තමන් සූදානම්ව සිටින බව යි. ඩොලර් බිලියන සිය ගනනක වියදම් කප්පාදුවට හිලව් වශයෙන් ෆෙඩරල් නය සීමාව ඉහල දමා ගැනීමේ අවසන් දිනය වන අගෝස්තු 2ට කලින් ඇතැම් රිපබ්ලිකානුවන් යෝජනා කල කෙටි කාලීන ගනුදෙනුව ඔහු ප‍්‍රතික්ෂේප කලේ ය.

තම විශ්වාසයේ හැටියට "දැන් අපට විශාල දෙයක් කිරීම සඳහා මහඟු අවස්ථාවක් ලැබී තිබේ” යයි පැවසූ ඔහු ”ඊලඟ දශකයේ දී අපි ඉතිරි කිරීම් ලෙස ටි‍්‍රලියන ගනනක් උපයා ගත යුතු යි, ඉන් පසුව එලඹෙන දශකවල දී ඊටත් වඩා සැලකිය යුතු ගනනක් උපයා ගත යුතුයි” ප‍්‍රකාශ කලේ ය. ඔහු නිශ්චිතව ම ඉලක්ක කලේ "අයිතිවාසිකම් පාදක කර ගත් වැඩ සටහන්වලට” ය - එනම් සෞඛ්‍ය, සමාජ ආරක්ෂන සහ ආහාර මුද්දර වැඩ සටහන් දැවැන්ත සහ ස්ථිර ලෙස කප්පාදු කිරීමය.

මිලියන සිය ගනනක් ඇමරිකානුවන්ගේ සෞඛ්‍ය රැුකවරනයට, විශ‍්‍රාම වැටුප්වලට සහ ජීවන තත්ත්වයන්ට මෙම ප‍්‍රහාරය එල්ල කරන්නේ සංගත සහ පොහොසතුන් සඳහා පවතින බදු හිදැස් කිහිපයක් වසා දමා ”තුලනයක් ඇති කිරීමට” යැයි කියනු ලැබේ. එහෙත් මෙම හිදැස් යනු සංසන්දනාත්මකව පුද්ගලයන් අතලොස්සකට පමනක් බලපාන නොවැදගත් වැඩ පිලිවෙලවල් ය; ගෙවිය නොහැකි බදු අවලංගු කර සංගතවල වියදම් පියවා ගැනීමට ඉඩ සලසා දීම වැනි ඒවා ය.

බදු හිදැස් පිලිබඳ ගැටලූව වූකලි ඊනියා අයවැය ”විවාදය” මුලූමනින් ම බදා ගෙන සිටින ගමන් ව්‍යාජ දේශපාලන වහන්තරාවක් පොරවා ගැනීමට ඩිමොක‍්‍රැටිකයන්ට අවස්ථාව සලසා දීමට සකස් කල ඇමකි. ”විවාදය” තුල පැතිර පවත්නේ මූල්‍ය ප‍්‍රාග්ධනයේ අනසක ය. ඊට වඩාත් ම එලිපිට අනුබල දෙන්නේ ධනවතුන්ට සුලූ බදු වැඩි කිරීමක් හෝ පැනවීමට විරුද්ධ වන රිපබ්ලිකානුවන් ය.

ධනවතුන් උදෙසා පවතින බදු හිදැස්වලට කවර හෝ සීමාවක් පැනවීමෙන් සිදු විය හැකි පාඩුවට වඩා වැඩි ලාභයක් අන් තැන්වල බදු කැපීම්වලින් ලැබෙනු ඇත. වෝල් ස්ටී‍්‍රට් ජර්නල් පුවත්පත බදාදා ලියූ කතුවැකියක් ඔබාමා පත් කල අයවැය හිඟය අඩු කිරීමේ මන්ඩලය අනුමත කල ක‍්‍රියා මාර්ගය යෝජනා කලේ ය. සංගත බදු අනුපාතිකය තියුනු ලෙස අඩු කරන්නේ නම් ඇතැම් බදු විරාම ඉවත් කිරීමට සහාය දෙන ලෙස එමගින් රිපබ්ලිකානුවන්ට උපදෙස් දී තිබුනි.

ඩිමොක‍්‍රැටික් ධවල මන්දිරය සහ රිපබ්ලිකානුවන් අතර වැඩ බෙදා ගැනීමක් පවතී. ඔබාමා මූල්‍ය සංස්ථාපිතය සකස් කල න්‍යාය පත‍්‍රය මුලුමනින් ම සපුරා ලීමට එකඟ වෙයි. ඒ අතර රිපබ්ලිකානුවෝ පක්ෂ දෙක අතර බැරෑරුම් වෙනස්කම් තිබෙන්නේ ය යන ව්‍යාජය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ඇවැසි පසුබිම් ගාලගෝට්ටිය සපයති; එමෙන් ම, තව තවත් දකුනට යාම සඳහා ඔබාමාට ඇවැසි කැලඹිලි සහිත වාතාවරනය සපයති. 2008 දී වෝල් වීදිය බිඳ වැටුනු පසුව බැංකුවලට ඇප දී බේරා ගැනීම යුක්ති යුක්ත කිරීමට යොදා ගත්තේ ද මෙම ප‍්‍රචාරක ශිල්ප ක‍්‍රමය ම ය.

වත්මන් කප්පාදු ව්‍යාපාරයෙන් තහවුරු වන්නේ සෞඛ්‍ය රැකවරන ක‍්‍රම පිලිසකර කිරීම පිලිබඳ ඔබාමාගේ ව්‍යාපාරය සමයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැවසූ දෙය යි. පසු ගිය වසරේ දී සම්මත කර ගත් පනතේ ඉලක්කය වූයේ පවත්නා සෞඛ්‍ය රැකවරන ව්‍යුහය කුඩු කර දමා සංගතවල සහ ආන්ඩුවේ සෞඛ්‍ය රැකවරන වියදම් අඩුකර ගැනීම යි. එහෙත් එය ක්ෂනිකව දැවැන්ත මහජන විරුද්ධත්වයකට මුහුන දුන්නේ ය.

රිපබ්ලිකානුවෙකු වන ස්කොට් බ‍්‍රවුන් 2010 ජනවාරියේ දී මැසචුසෙට්ස්හි පැවැත්වූ විශේෂ සෙනෙට් සභා මැතිවරනය දිනුවේ ප‍්‍රතිලාභ කැපීමට ගොදුරුව සිටි වැඩිහිටියන් සහ කම්කරුවන් අතරට ගොස් ඔබාමාගේ රැවටිලිකාර සෞඛ්‍ය රැකවරන "ප‍්‍රතිසංස්කරනයට” විරුද්ධ වන ලෙස ආයාචන කිරීමෙනි. මාධ්‍යයේ නිර්මානයක් වන ඊනියා ටී පාටි පක්ෂය දියත් වූයේ ඔබාමාගේ සෞඛ්‍ය රැකවරන සැලැස්ම සහ බැංකුවලට ඇප දී බේරා ගැනීම සම්බන්ධයෙන් පැන නැගි කෝපය පාලනය කිරීම සඳහා ය, ඇමරිකානු මහජනතාවට දැවැන්ත සාමාජීය වියදම් කප්පාදු වුවමනා කලේ ය යන මිථ්‍යාව ප‍්‍රවර්ධනය කිරීමට ය. 2010 නොවැම්බරයේ දී රිපබ්ලිකානුවන් මහජන මන්ත‍්‍රී මන්ඩලයේ පාලනය යලි අල්ලා ගත්තේ ප‍්‍රධාන කොට ම සෞඛ්‍ය රක්ෂන ක‍්‍රමයේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටීමෙනි.

මෙම මහජන විරුද්ධත්වය මධ්‍යයේ පාලක පන්තිය තීරනය කලේ මුලින් සාමාජීය වැඩ සටහන්වලට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ය; සිය වැඩ පිලිවෙල ඒත්තු ගැන්විය හැකි වන පරිදි, ලඟ දී එක්සත් ජනපද නය පැහැර හැරීමක් සිදු වන්නට යන බවට අර්බුද තත්ත්වයක් මවා පෑවේ ඉන් අනතුරුව ය.

ක‍්‍රියාත්මක වෙමින් පවතින්නේ සමාජ ප‍්‍රතිවිප්ලවයකි. සාමාජීය වැඩ සටහන් සහ සාමාජීය තත්ත්වයන් බරපතල ලෙස මෙසේ ආපසු කැරකීමකට ලක් කල අවස්ථාවක් නූතන ඇමරිකානු ඉතිහාසය තුල මින් පෙර තිබී නැත.

වර්තමානයෙහි සෞඛ්‍ය රක්ෂන ක‍්‍රම කෙරෙහි විශ්වාසය තබා සිටින මිලියන ගනන් ජනයා තමන් මූලික සෞඛ්‍ය රැකවරනය වෙත ප‍්‍රවේශ වීම වලක්වා තිබෙන බව වටහා ගනු ඇත. දරිද්‍රතාව සහ ලෙඩ රෝග විස්මිත ලෙස නැගී එනු ඇත. ආයු අපේක්ෂාව පහත වැටෙනු ඇත. දරිද්‍රතාව සමග අත්වැල් බැඳ ගත් ක්ෂය රෝගය වැනි බෝ වන රෝග පෙරලා එන බව එක්සත් ජනපදය අත්දකිනු ඇත. කම්කරු පන්තික වටපිටාවන්හි පිහිටි රජයේ පාසල් තරුනයන් ගාල් කර තබන ඌරු කොටු බවට පත් වනු ඇත; දරිද්‍රතා වැටුප් හෝ විරැකියාව ඔවුන්ගේ ජීවිත ගිල ගනු ඇත.

වෘත්තීය සමිති සහ ලිබරල් වම ඔබාමාගේ දක්ෂිනාංශික ප‍්‍රතිපත්තිවලට එකඟ නිසා ඔහු යලි පත්කර ගැනීමට සහාය දෙමින් ඔහු පසුපස පෙල ගැසෙති. ඔබාමාගේ ප‍්‍රතිපත්ති ඇමරිකානු ධනවාදයට මුක්කු ගැසීම සඳහා කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් විනාශ කිරීමේ මග ගනී නම් ඔවුහු ඒ උදෙසා පෙනී සිටිති. ඩිමොක‍්‍රැටික් පක්ෂයෙන් සහ ද්විපක්ෂ ක‍්‍රමයෙන් කම්කරු පන්තිය කැඩී වෙන් වීම වැලැක්වීමට සිය පරිශ‍්‍රමයන් යොදන වෘත්තීය සමිතිවල ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ව්‍යාජ-වම්මු ඔවුන්ගේ අඩි පාරේ ම යති.

සමාජවාදී සමානතා පක්ෂය ඊනියා අයවැය විවාදයට ප‍්‍රවිෂ්ට වන්නේ සම්මුති විරහිත ලෙස විරුද්ධත්වය පෑමේ ආස්ථානයෙනි. අපි සාකච්ඡාව මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කරන්නෙමු, පාලක පන්තියේ ගනන් පොත් තුලනය කිරීමට වැඩ කරන ජනතාව "කැප කිරීම් කල යුතුය” යන ඉල්ලීම් වලට මෙන්ම ඒ සඳහා යෝජනා කෙරෙන සියලු කප්පාදුවලට අපි විරුද්ධ වන්නෙමු.

නය අර්බුදයට බලපා තිබෙන සැබෑ හේතු වනුයේ සාමාජීය වැඩ සටහන් වත් ”තමන්ගේ අතේ මිටේ තියෙන හැටියට ජීවත් වීමට” ඇමරිකානු මහජනතාව අසමත් වීම වත් නො වේ. ප‍්‍රධාන හේතු මේවා ය: පලමුව, ඇමරිකානු ධනවාදයේ දිගු කාලීන පරිහානිය ය, එය වඩාත් ම බලගතු ලෙස ප‍්‍රකාශයට පත් වන්නේ කාර්මික පදනම ඉමහත් ලෙස විනාශ කිරීම හා සාමාන්‍ය මහජනතාවගේ ජීවන තත්ත්වයන් පිරිහීම තුලිනි; දෙවනුව, මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා අනුව ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීම හා එහි ප‍්‍රතිඵලයක් ලෙස වැඩෙන සාමාජීය අසමානතාව, සමපේක්ෂනය සහ ආර්ථික පරපෝෂිත භාවයයි; තෙවනුව, පසු ගිය 30 වසර පුරා සංගතවල සහ ධනවතුන්ගේ බදු ඉමහත් ලෙස අඩු කිරීම ය.ඩ

වගකිව යුත්තේ කම්කරු පන්තිය නො වේ, ධනපති ක‍්‍රමය යි. "සල්ලි නැතැයි” ද එනිසා මහජනතාවගේ ජීවන තත්ත්වයන් උග‍්‍ර ලෙස පහත හෙලිය යුතු යැයි ද ඩිමොක‍්‍රැටිකයන් සහ රිපබ්ලිකානුවන් තර්ක කරන තාක් ඔවුන් කරන්නේ තමන්ගේ පද්ධතිය අහෝසි කිරීම යුක්ති සහගත බවට බලගතු තර්කයක් සම්පාදනය කිරීමයි.

මිලියන සංඛ්‍යාත මහජනයා මුහුන දෙමින් සිටින සාමාජීය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඩොලර් 500,000ට වැඩි සියලූ ආදායම් ලාභීන්ගෙන් සියයට 90ක බද්දක් අය කල යුතු යැයි අපි යෝජනා කරන්නෙමු. 1960 ගනන් තරම් ඈත කාලයේ දී පැවති ආදායම් බදු අනුපාතික කරා ආපසු යාමෙන් පමනක් වුව ඩොලර් බිලියන සිය ගනනක් උපයා ගත හැකිවේ. ඉරාකයෙන් සහ ඇෆ්ඝනිස්ථානයෙන් සියලු එක්සත් ජනපද හමුදා වහා ම ඉවත් කර ගත යුතු යැයි ද ලිබියාවෙහි කර ගෙන යන නව-විජිතවාදී යුද්ධය සහ යේමනයෙහි සහ සෝමාලියාවෙහි කර ගෙන යන එක්සත් ජනපද මැදිහත් වීම් නතර කල යුතු යැයි ද අපි තව දුරටත් යෝජනා කරන්නෙමු. එය තවත් බිලියන සිය ගනනක් සම්පාදනය කරනු ඇත.ඩ

රජයේ වැඩ සම්බන්ධ දැවැන්ත වැඩ සටහනක් දියත් කිරීමට සහ බිඳ වැටෙමින් තිබෙන සාමාජීය යටිතල පහසුකම් යලි ගොඩ නැගීමේ වැඩ සඳහා රැකියා නැති අය යෙදවීමට මෙම අරමුදල් යොදා ගත යුතු යැයි අපි යෝජනා කරන්නෙමු.

එබඳු වැඩ පිලිවෙලවල් වනාහි කම්කරු පන්තියේ අවශ්‍යතාවන් නඟා සිටුවීම සඳහා අවශ්‍ය ආරම්භක පියවරයන් පමනකි. එහෙත් මෙම අවශ්‍යතාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා කරන සටන කම්කරුවන් ක්ෂනිකව සමස්ත දේශපාලන සංස්ථාපිතය සමග ද එය ආරක්ෂා කරන ධනපති ක‍්‍රමය සමග ද ගැටුමකට ඇද දමනු ඇත.

හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් සඳහා ඇති අයිතිය, සෞඛ්‍ය රැකවරනය, අධ්‍යාපනය සහ යහපත් නිවසක් සඳහා ඇති අයිතිය, සුරක්ෂිත ලෙස විශ‍්‍රාම ගැනීම සඳහා ඇති අයිතිය, විවේකය සහ සංස්කෘතිය භුක්ති විඳීම සඳහා ඇති අයිතිය වැනි මූලික සාමාජීය අයිතිවාසිකම් කම්කරු පන්තිය සන්තක බව සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කර සිටී. කෙසේ වුව ද, මෙම අයිතිවාසිකම් සුරක්ෂිත කල හැක්කේ පාලක පන්තියට සහ එහි සියලු දේශපාලන පක්ෂවලට, නියෝජිතයන්ට සහ ආයතනවලට එරෙහි මහා සාමාජ හා දේශපාලන අරගලයක් හරහා පමනකි. මෙම අරගලයේ දැනුවත් අරමුන විය යුත්තේ කම්කරු පන්තිය දේශපාලන බලය ගෙන, මූල්‍ය ප‍්‍රභූව සන්තක ධනය අත්පත් කරගෙන, වැඩ කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ බැංකු සහ සංගත මහජන උපයෝගිතා ආයතන බවට පරිවර්තන කිරීම ය.

මෙය වූකලි ජාත්‍යන්තර අරගලයකි. ග‍්‍රීසියේ පටන් ඊජිප්තුව හා එක්සත් ජනපදය දක්වා සෑම රටක ම කම්කරුවන් මුහුන දෙන්නේ එක ම ප‍්‍රහාරයන්ට සහ එක ම සතුරාට ය. අප සටන් වදින්නේ සමාජවාදය සඳහා අරගලය තුල දී කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව ඇති කිරීම සඳහා ය.

ඇමරිකානු කම්කරු පන්තිය සිටින්නේ සන්ධිස්ථානයක ය. දිග හැරෙමින් පවතින සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව එය සිය සාමූහික ශක්තිය බලමුලූ ගන්වා ගත යුතු ය, නැත් නම් සිය ජීවන තත්ත්වයන්හි සිදු වන විනාශකාරී පරිහානියෙන් සහ සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වල සිදු වන විනාශයෙන් එය පීඩා විඳිය යුතු ය.

කම්කරුවන් පෙරලා සටන් වැදිය යුතු ය, ඔවුන් පෙරලා සටන් වදිනු ඇත. මේ වසරේදී දැනට මත් අයවැය කප්පාදුවලට එරෙහිව විස්කොන්සින්හි සහ අන් තැන්වල පැන නැගි මහජන උද්ඝෝෂනවල ස්වරූපයෙන් වැඩෙන විරුද්ධත්වයේ සලකුනු ප‍්‍රාදූර්භූතව ඇත. එහෙත් හුදු විරෝධතාවලින් සාමාජීය ප‍්‍රහාරය නතර කල නොහැකිය.

කම්කරුවන් නිමග්නව සිටින්නේ පවත්නා සමස්ත ආර්ථික සහ දේශපාලන පද්ධතියට එරෙහි දේශපාලන අරගලයක ය. තීරනාත්මක ගැටලුව නම් එලඹෙන අරගල විප්ලවවාදී සමාජවාදී ක‍්‍රියා මාර්ගයකින් සන්නද්ධ කිරීමට නව දේශපාලන පක්ෂයක් සහ නව නායකත්වයක් ගොඩ නැගීම යි. සමාජවාදී සමානතා පක්ෂයේ (සසපයේ) ක‍්‍රියා මාර්ගය අධ්‍යයනය කරන ලෙසත් ඊට එක් වී එය කම්කරු පන්තියේ මහජන පක්ෂය ලෙස ගොඩ නැගීමේ තීන්දුව ගන්නා ලෙසත් අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලමු.

බැරී ගේ‍්‍ර