චීනයේ නය කන්දරාව

China’s mountain of debt

12 July 2011

වසර තුනක් තිස්සේ එහි සීඝ‍්‍ර වර්ධන අනුපාතයන් සමග චීනය 1930න් මෙපිට නරක ම ගෝලීය ආර්ථීක අර්බුදය වලක්වාගත් බවක් පෙනෙන්නට තිබුනි. එහෙත් අවපාතය වැලැක්වීමට බීජිනය භාවිතා කරන ලද ලාභ නය හා යෝධ උත්තේජක පැකේජ යන පිලිවෙත් විසින්ම චීනයේ ද ජාත්‍යන්තරව ද නව මූල්‍ය හා ආර්ථික අස්ථාවරත්වයක් නිර්මානය කිරීමට තර්ජනය කරන බොල් නය උත්පාදනය කොට තිබේ.

දේපොල හා යටිතල පහසුකම්වල ආයෝජනය කිරීමට විශාල ලෙස නය ගෙන ඇති ප‍්‍රාදේශීය ආන්ඩු තුල නය කේන්ද්‍රගත වේ. ජුනි මස අවසානයේ ජාතික විගනන කාර්යාලය (එන්ඒ ඕ) විසින් නිකුත් කරන ලද ප‍්‍රාදේශීය ආන්ඩුවල නය පිලිබඳ ප‍්‍රථම සංඛ්‍යාලේඛන රටෙහි 2010 දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 27ක මට්ටමට සමාන වන යුවාන් ටි‍්‍රලියන 10.7ක් හෝ එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියන 1.65ක යෝධ නය කන්දරාවක තොරතුරු සොයාගත්තේ ය.

මූඩීස් නමැති ජාත්‍යන්තර නය වර්ගීකරන ආයතනය සමස්ත නය ප‍්‍රමානය එන්ඒ ඕවේ සංඛ්‍යාවට වඩා ඩොලර් බිලියන 540ක් පමන වැඩි බවත් බොල් නය සමස්ත නයෙන් සියයට 8-12ක් පමන වන බවත් තක්සේරු කලේ ය. ප‍්‍රාදේශීය ආන්ඩුවල නය පාලනය කිරීමට සැලැස්මක් නැති තතු යටතේ චීන බැංකු සඳහා වන නය දර්ශකය ඍන අගයක් බවට පත්වීමේ හැකියාවක් ඇතැයි මූඩීස් අනතුරු ඇඟවීය.

චීන ප‍්‍රාදේශීය ආන්ඩුවල නය පිලිබඳව එක්සත් ජනපද විශේෂඥයෙක් වන වික්ටර් ෂිහ් සමස්ත නය ප‍්‍රමානය යුවාන් ටි‍්‍රලියන 15.4 සිට 20.1ක් හෝ චීනයේ 2010 දදේනියෙන් සියයට 40 සිට 50 දක්වා විය හැකි යයි කියා සිටියේ ය. ඔහු නිව් යෝක් ටයිම්ස් වෙත කියා සිටි පරිදි: "නය ලබා ගන්නා බොහෝ ආන්ඩුවේ ආයතනවලට නයවල පොලිය ගෙවීමටවත් නො හැකි ය.”

ප‍්‍රාදේශීය ආන්ඩුවල යෝධ වියදම් වේගයෙන් නැගෙන දේපොල මිල ගනන් හා අලෙවි නොවන නිවාසයන්හි විශාල අතිරික්තයක් නිර්මානය කර තිබෙන දේපොල සමපේක්ෂනය ගිනි අවුලුවා ඇත. පසුගිය දශකය පුරා වේගවත් වර්ධනයේ මධ්‍යස්ථානය වන ෂැංහයිහි දේපොල මිල ගනන් සිව් ගුනයකට ආසන්නව වැඩි වී ඇත. ගුවැංෂෝහි එම මිල ගනන් තුන් ගුනයකින් වැඞී තිබේ. මේ වසරේ නිකුත් කරන ලද වාර්තාවක ක්‍රෙඩිට් සුවිස් නමැති ආයෝජන බැංකුව වුහාන්හි පවත්නා නිවාස ප‍්‍රමානය විකිනීමට පමනක් වසර අටක් ගතවනු ඇතැයි විස්තර කරමින් එය චීනයේ "මඟහැර යා යුතු නගර 10න්” එකක් යයි හඳුන්වා දුන්නේය.

ප‍්‍රාදේශීය ආන්ඩුවල නය අර්බුදය 2008 දී පුපුරා ගිය මූල්‍ය අර්බුදයට බීජිනය දැක්වූ ප‍්‍රතිචාරයෙහි ඍජු නිමැවුමකි. එක්සත් ජනපදය, යුරෝපය හා ජපානය යන චීනයේ ප‍්‍රධාන අපනයන වෙලඳපොලවල තියුනු පහත වැටීමක් රැකියා මිලියන 23ක් ක්ෂනිකව අතුගෑවී යාමට මග පෑදීය. සමාජ කැලඹීම් පිලිබඳව බියපත් චීන තන්ත‍්‍රය ආර්ථික වර්ධනය පවත්වාගෙන යාම සඳහා යුවාන් ටි‍්‍රලියන 4ක උත්තේජක වැඩපිලිවෙලක් සැලසුම් කල අතර එයින් යුවාන් ටි‍්‍රලියන 1.2ක් පමනක් සපයමින් ඉතිරි මුදල සපයා ගැනීම ප‍්‍රාදේශීය අධිකාරයන්ට හ රාජ්‍ය ව්‍යාපාරවලට අත හැරියේය.

ප‍්‍රතිඵලය වූයේ නය ගැනීමේ සැනකෙලියකි. ඍජු ලෙස බැඳුම්කර නිකුත් කිරීම තහනම් කර තිබූ බැවින් ප‍්‍රාදේශීය අධිකාරීහු රජයට අයත් බැංකුවලින් නය ලබාගැනීම සඳහා ආයෝජන සමාගම් ගොඩනැංවූහ. එම මුදල් ඇදී ගියේ ඒවා අත්‍යවශ්‍ය පොදු රෝහල් හා පාසල් ගෙඩනැඟීමේ ක්ෂේත‍්‍ර වලට නොව දේපොල ක්ෂේත‍්‍රයට හා යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට යි. ප‍්‍රාදේශීය ආර්ථික වර්ධන සංඛ්‍යාලේඛන මත පදනම් වෙමින් නිලධාරීන් උනන්දු කෙරුනු අතර බීජිනය මෙම කෙලිය දිරිමත් කලේ ය.

ප‍්‍රාදේශීය ආන්ඩුවල නය ප‍්‍රමානය චීන රාජ්‍ය මූල්‍යයේ පින්තූරය නාටකීයව වෙනස් කරයි. මධ්‍යම ආන්ඩුවේ නය එක්සත් ජනපදයේ හා යුරෝපයේ රාජ්‍ය නය මට්ටම්වලට වඩා බොහෝ අඩුවෙන් දදේනි සියයට 20කට වඩා අඩු වේ. එහෙත් ඇමරිකානු ශ‍්‍රාස්ත‍්‍රාලික මික්සින් පෙයි මෑත ලිපියක අවධානයට ලක්කල පරිදි ප‍්‍රාදේශීය ආන්ඩුවල නය හා අනෙකුත් වගකීම් සහිත "චීනයේ සක‍්‍රීය නය බෝම්බය” සැලකිල්ලට ගත් කල චීනයේ සමස්ත නය ප‍්‍රමානය දදේනියෙන් සියයට 70 සිට 80 මට්ටමට නගී.

එලැඹෙන දෙවසර තුල අර්ධයකින් පමන කල් පිරෙන ප‍්‍රාදේශීය ආන්ඩුවල නය සරල ලෙස රවුමේ ගෙන යාම අසීරු කරමින් නය තද කිරීමට බීජිනය පියවර ගෙන ඇත. යූබීඑස් ආයෝජන බැංකුව මෑත දී නිකුත් කල වාර්තාවකට අනුව එලැඹෙන වසර කිහිපය තුල ප‍්‍රාදේශීය ආන්ඩුවල ආයෝජන සමාගම්වල නයෙන් ඩොලර් බිලියන 460ක් පමන බොල් නය බවට පත්විය හැකිය. ප‍්‍රාදේශීය අධිකාරීන් හා බැංකු ඇප දී ගලවාගැනීමට මධ්‍යම ආන්ඩුවට බල කෙරුනොත් දැනට මත් මන්දගාමී වී ඇති ආර්ථික වර්ධනය තවදුර වැටීමේ හැකියාව ඇත.

අතීතයේ දී චීන ප‍්‍රාදේශීය ආන්ඩුවල මූල්‍ය කටයුතු ජාත්‍යන්තර මූල්‍ය පුවත්වල වර්ගීකරනයට හසුවූයේ මඳ වශයෙනි. ගෝලීය ධනවාදය චීනයේ ආර්ථික වර්ධනය මත රඳා සිටීම පිලිබඳ මිනුමක් බවට පත්වන තරමට දැන් එහි නය මට්ටම් ලෝක ආර්ථිකය කෙරෙහි ඇති කල හැකි බලපෑම පිලිබඳ කනස්සල්ල අවුලුවයි

පසුගිය දශක දෙක තුල චීන වර්ධනයේ ඉහල මට්ටම් එය ලෝකයේ 10වන විශාලතම ආර්ථිකයේ සිට 2වන විශාලතම ආර්ථිකය බවට පත්කර තිබේ. අපේ‍්‍රල් මාසයේ චීන සමාජ විද්‍යා ඇකඩමිය මගින් නිකුත් කල වාර්තාවකට අනුව චීනය ගිය වසරේ ගෝලීය ආර්ථික වර්ධනයෙන් සියයට 30කට වඩා දායකත්වය සැපයීය. එක්සත් ජනපදය, ජපානය හා යුරෝපය එකතැන පල්වන තතු තුල චීන ආර්ථිකයේ ඕනෑම මන්දගාමී වීමක් දැනට පවතින ගෝලීය ආර්ථික අර්බුදය උග‍්‍ර කිරීමට පමනක් හේතුවනු ඇත. පලමුවෙන් ම එහි බලපෑමට ලක්වනු ඇත්තේ ප‍්‍රධාන භාන්ඩ නිෂ්පාදකයන් අතරට ගැනෙන ඕස්ටේ‍්‍රලියාව හා බ‍්‍රසීලයයි.

චීනය තුල ප‍්‍රාදේශීය ආන්ඩු හා බැංකුවලට කරන ඕනෑම ඇප තැබීමක බර සමාජ ආතතීන් තවදුර අවුලුවමින් එක් හෝ තවත් ආකාරයකින් සාමාන්‍ය වැඩ කරන ජනයා මත පැටවෙනු ඇත. 1997-98 ආසියානු මූල්‍ය අර්බුදයෙන් පසුව ප‍්‍රධාන රාජ්‍ය බැංකුවල ඩොලර් බිලියන 335ක බොල් නය තමන් වෙත පවරා ගනිමින් බැංකු පද්ධතියට මුක්කු ගැසීමට බීජිං වෙත බල කෙරුනි. ඇප තැබීමට ගෙවීම සඳහා රැකියා මිලියන 20කට වැඩියෙන් විනාශ කරමින් බීජිං තන්ත‍්‍රය රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කල අතර මහජන නිවාස යෝජනා ක‍්‍රම අහෝසි කර සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා "ගෙවීම ප‍්‍රයෝජනයට ගන්නා අය” මත පටවමින් කම්කරු පන්තිය මත යෝධ බරක් පැටවීය.

චීනයේ වර්තමාන නය අර්බුදය ඊට වඩා විශාල පරිමානයක් ගනී. ආර්ථිකයේ ඕනෑම මන්දගාමී වීමක් විරැකියාව ක්ෂනිකව වර්ධනය කරනු ඇත. පාරිභෝගික මිල දර්ශකය වසර තුනක් ඇතුලත ඉහල ම මට්ටමට එනම් සියයට 6.4කට නැගෙද්දී වැඩෙන මිල ගනන් නිසා දැනට ම සැලකිය යුතු සමාජ අතෘප්තියක් පවතී. ආහාර මිල සියයට 14කින් නැඟුනු අතර ඌරු මස් මිල සියයට 57කින් ඉහල ගියේය. තවදුරටත් ආර්ථික බර පැටවීම මඟින් දැනට මිලියන 400ක් තරම් වන ශක්තිමත් කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය හා විරුද්ධත්වය පුපුරා යනු ඇත. පාලන තන්ත‍්‍රය නිරන්තරයෙන් බියවන්නේ මෙයටයි.

පසුගිය තෙවසර තුල චීනයේ නො කඩවා සිදුවූ ප‍්‍රබල වර්ධනය එරට ආර්ථික සංවර්ධනයේ මුලුමනින් ම නව මොඩලයක් ඉදිරිපත් කරතියි සමපේක්ෂනය කිරීමට සමහර අටුවාකරුවන් තල්ලු කලේ ය. එහෙත් යථාර්ථයේ දී ජාත්‍යන්තර ආර්ථික අර්බුදය නිෂ්පන්න කල ධනවාදයේ ගෝලීය පරස්පර විරෝධයන් තුල ම චීනය ද පැටලී සිටී. ලෝක ධනවාදය සඳහා ශක්තියේ නව මූලාශ‍්‍රයක් වනවා වෙනුවට චීනය තහවුරු කරමින් සිටින්නේ තමන් මැටියෙන් තැනූ පාද සහිත ආර්ථික යෝධයෙක් බවයි.

ජෝන් චැන්