එක්සත් ජනපදයේ රැකියා අර්බුදය

The US jobs crisis

13 July 2011

ජනාධිපති ඔබාමා හා රිපබ්ලිකානුවන් එක්ව සමාජ වැඩපිලිවෙල්වලින් ඩොලර් ටි‍්‍රලියන ගනනක් කප්පාදු කිරීමට සැලසුම් කරමින් සිටින අතරේ මෑතම රැකියා වාර්තාව සහතික කරන්නේ ඇමරිකානු ජනතාව අවිනිශ්චිත හා වඩාත් නරක අතට හැරෙමින් පවතින රැකියා අර්බුද තත්වයකට මුහුන පා ඇති බවයි.

පසුගිය 8 වෙනිදා ලේබර් දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව, ජූනි මාසයේදී ආර්ථිකය විසින් නිර්මානය කර තිබෙන්නේ රැකියා 18,000ක් පමනක් වන අතර මැයි මාසයේ සංඛ්‍යාව 25,000ක් දක්වා පහලට ගමන් කර තිබේ. මෙම සංඛ්‍යාවල ශ‍්‍රම බලකායේ සාමාන්‍ය වර්ධනයට සරිලන අයුරින් සෑම මසකම අලුතින් නිර්මානය කල යුතු රැකියා ප‍්‍රමානයෙන් දහයෙන් එකක ප‍්‍රමානයකි.

ජූනි මාසය වූ කලී එක්සත් ජනපද වැටුප් ගෙවීම් මුලුමනින්ම එකතැන පල්වෙමින් පැවතීමේ අඛන්ඩ දෙවන මස මෙන්ම විරැකියා රේට්ටුව ඉහල නැගීමේ අඛන්ඩ තෙවැනි මාසය වූවේය. මැයි මාසයේ රැකියා වාර්තාව ප‍්‍රකාශයට පත් කල විට එය පුදුම සහගත යැයි ධවල මන්දිරය එක්වරම කියා සිටියේය. මෙම බොරු මවා පෑම ජූනි වාර්තාව විසින් දෙදරවා හැරිනි.

එක්සත් ජනපදයේ රැකියා විරහිතයන් ලෙස සැලකෙන ප‍්‍රමානය මිලියන 14.1කි. මෙය පසුගිය මාස තුන තිස්සේ සියයට 5ක මට්ටමට වර්ධනයකි. අර්බුදයේ සැබෑ පරිමාව දැවැන්ත ලෙස අඩුතක්සේරු කරන නිල විරැකියා රේට්ටුව සියයට 9.2 දක්වා මාර්තු මස සිට සියයට 0.4කින් වැඩි වී තිබේ.

2009 වසරේ සිට පුද්ගලයෙකු විරැකියාවේ පසුවෙන සාමාන්‍ය කාලය සෑම වසරකටම දින 40කට වඩා දීර්ඝ වී ඇත. දැන් කම්කරුවෙකුට තමන්ගේ රැකියාවෙන් දොට්ට වැටුන පසු නව රැකියාවක් සොයා ගැනීම සඳහා සමාන්‍ය වසයෙන් දින 279ක් ගතවේ.

කිසියම් ආකාරයක විරැකියා රක්ෂන දීමනාවක් ලබන්නේ සමස්ත රැකියා විරහිතයන්ගේ ප‍්‍රමානයෙන් මිලියන 7.5ක් පමනි. මිලියන 6.6ක පුද්ගලයින් පිරිසක් කිසිදු රැකියාවක් හා ආධාර අනුබලයක් නොලබා සිටින බව මෙහි තේරුමයි. මෙය අපේ‍්‍රල් මාසයේ සිට මිලියන 1.1ක ඉහල යාමකි.

ඔබාමා පාලන තන්ත‍්‍රය හා දේශපාලන සංස්ථාපිතය මෙම සංඛ්‍යා පිලිබඳව දක්වන්නේ මුලුමනින්ම නොතැකීමකි. රැකියා විරහිතයන්ට ලබා දෙන දීමනාවල ප‍්‍රමානය හෝ ඒවා ලබා දෙන කාලය හෝ කප්පාදු කල ප‍්‍රාන්ත රාජ්‍යවල ලැයිස්තුව ඉහල නගිමින් තිබේ. මධ්‍යම ආන්ඩුව විසින් දීර්ඝ කරන ලද විරැකියා දීමනා වැඩපිලිවෙල මෙම අවුරුද්ද අවසානයේදී අවසන් වන අතර දැනටමත් තමන් ලද දීමනාවල් සිඳී යමින් සිටින කම්කරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකි.

විශාල රැකියා විරහිතභාවයේ සාපයට සහනයක් සැලසීමේ ක‍්‍රියාමාර්ග යෝජනා කරනු වෙනුවට රැකියා වාර්තාව පිලිබඳ ඔහුගේ පුවත්පත් ප‍්‍රකාශය ඔබාමා යොදා ගත්තේ සමාජ වැඩපිලිවෙලවල් දැවැන්ත ලෙස කප්පාදු කිරීම සඳහාත් කෝපරේට් ඇමෙරිකාවට වඩාත් වරප‍්‍රසාද පිරිනැමීම සඳහාත් වන ඔහුගේ යෝජනාවන් යලි පුනරුච්ඡාරනය කිරීමටය.

දවසකට කලින් ඔබාමා විසින් ඉදිරිපත් කරනු ලැබූ සමාජ ආරක්ෂනය ඇතුලු සමාජ සේවාවන්ගෙන් ඩොලර් ටි‍්‍රලියන ගනනක් කප්පාදු කිරීමේ ඔහුගේ යෝජනාව පිලිබඳ ඇඟවුම් කරමින් ඔබාමා මෙසේ කීවේය: "අපි අයවැය හිඟය පාලනය කල යුතූ අතර අපේ සීමාවන් තුල ජීවත් වීමේ ආන්ඩුවක් නිර්මානය කරන්නෙමු.”

ඔහු තවදුරටත් මෙසේ කීවේය: "අපි මෙය ඉක්මනින්ම කරන්නෙමු. අපගේ නය හා හිඟය සමග වැඩකිරීමේ බැරෑරුම් සැලැස්මක් අපට තිබෙන බව වෙලඳපොලවල් දැන ගත් විගසම අමතර ආයෝජන වැඩිකර ගනිමින් වර්ධනය වීමට හා කම්කරුවන් බඳචා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වන ස්ථාවරභාවය අපි අපගේ ව්‍යාපාරවලට විගසින් ලබා දෙන්නෙමු.”

මෙහිදී ඔබාමා සරලව ම බැංකු හා සංගතවල ව්‍යාජ හා ආත්ම-ලාභී ප‍්‍රචාරනය දොඩවමින් සිටී. බදු සහ රෙගුලාසි පිලිබඳ "අවිනිශ්චිතතා” හේතුවෙන් මිනිසුන් වැඩට බඳවා ගැනීමට එයට නොහැකි යයි සංගත ප‍්‍රභූව සඳහන් කරති. ඔවුන් මෙලෙස ප‍්‍රකාශ කරන්නේ ආන්ඩුවේ මූල්‍ය සහන වැඩසටහන් හා වැඩෙන සමාජ නොසන්සුන්තාව මැද්දේ වැටුප් කප්පාදු හරහා පොදිගසා ගත් ඩොලර් ටි‍්‍රලියන 2ක වැඩි මුදල් කන්දක් මත වාඩි වී වාර්තාගත ලාභ තලුමරමින් භුක්ති විඳින අතරේය.

මෙයට පහත ඒවාද ඇතුලත්ය: ඇමරිකානු මහජනතාව කෝපරේට් සංගත මගින් තර්ජනයට ලක්කිරීම, ධනවතුන් සඳහා අසීමාන්තික බදු කප්පාදු, ව්‍යාපාර රෙගුලාසි අහෝසි කිරීම හා රැකියා ක්ෂේත‍්‍රයේ සැලකිය යුතු වර්ධනයක් සඳහා පූර්ව කොන්දේසිය වසයෙන් සමාජ වැඩපිලිවෙලවල්වලට වල කැපීම යනාදියයි.

කොටින් කියතොත්, ධවල මන්දිරයේ පිලිවෙත මෙයයි. රටේ ධනවත්ම සියයට 1 ධනය හා ලාභවලට හානියක් වන ආකාරයකින් ජනයා යලි වැඩට ගෙන ඒමට කිසිවක් කල නොහැකිය. ඔබාමා මැනවින් දන්නා පරිදි, කම්කරුවන් පහල වැටුප් හා වැඩ වේගවත් කිරීම් පිලිගන්නා තැනට පත්වෙන තෙක් ඉහල විරැකියා මට්ටම් පවත්වා ගෙන යාමට මහ ව්‍යාපාරිකයන්ට අවශ්‍යය.

එලැඹෙන සති කීපය ෆෙඩරල් නය මට්ටම වැඩි කිරීම පිලිබඳ අයවැය සම්මුතියකට එලැඹීමට නොහැකි වුවහොත් සමාජ ආරක්ෂන හා ෆෙඩරල් සුව රක්ෂන දීමනා ලබාදීම අත්හිටුවන බවට ඔබාමා 11 වෙනිදා අනතුරු ඇඟවුවේය.

12 වෙනිදා දින සෙනෙට් බහුතරයේ නායක හැරී රීඩ් විසින් අනුබල දෙන ලද සමාජ ආරක්ෂන දීමනාවන්ට කෙටීම සඳහා වන ඔබාමාගේ යෝජනා රිපබ්ලිකන් පක්ෂය විසින් යෝජිත කප්පාදුවලටත් වඩා බරපතලය. එලැඹෙන්නා වූ වසර 10ට ඔබාමා ඉල්ලා සිටින අයවැය කප්පාදුවල අගය ඩොලර් ටි‍්‍රලියන 4කට වැඩිය. මෙය ෆෙඩරල් වියදම්වලින් සියයට 10ක අඩු කිරීමකි. තවදුරටත් මෙහි තේරුම වනු ඇත්තේ ෆෙඩරල් මට්ටමේදී අතිරේක රැකියා ලක්ෂ සංඛ්‍යාවත් ගබ්සා කර දැමීමත් සමාජ දීමනාවන්ට වලකැපීමේ ප‍්‍රතිපලයක් වසයෙන් ජීවන තත්වයන් ක‍්‍රමානුකූලව පිරිහෙලීම මීටත් වඩා වැඩි ප‍්‍රමානයක් රැකියා අහෝසි කිරීම්වලට මගපාදනු ඇති බවයි.

රාජ්‍ය අංශය වත්මනේදී එක්සත් ජනපද ශ‍්‍රම බලකායෙන් සියයට 20ක් අඩංගු කර ගනී. සමාජ ආරක්ෂන, මෙඩිකෙයා (සුවසේවා) හා මෙඩිකේඩ් (සුවාධාර) ඇතුලු ආන්ඩුවේ ගෙවීම් රටේ ආදායමෙන් සියයට 20කි.

ආන්ඩුව සෑම මට්ටමක දී ම ක‍්‍රියාවට දැමූ පටිතද කිරීම් දැනටමත් ආර්ථිකය මත මාරක ප‍්‍රතිවිපාක ජනනය කර තිබේ. මධ්‍යම, ප‍්‍රාන්තීය හා ප‍්‍රාදේශීය ආන්ඩු පසුගිය වසර පුරා මිලියනයකින් තුනෙන් දෙකක් රැකියාවලින් නෙරපා දමා තිබේ.

මහා අවපාතයේ සිට බරපතලම රැකියා අර්බුදය මැද්දේ පොදු වැඩ ව්‍යාපෘති හෝ ජනතාවට රැකියා සැලසෙන ආකාරයෙන් අනෙකුත් පියවරවලට සහය දීමට දේශපාලන සංස්ථාපිතයේ හෝ ප‍්‍රධාන දේශපාලන පක්ෂවල කිසිදු අංශයක් ඉදිරිපත්ව නැත. දරිද්‍රතාවට ඇද වැටුනු හෝ ඇපකරයට ගෙවල් සින්න වූ එකදු අයෙකුට සහන සැලසීමට ද මොනම යෝජනාවක්වත් නැත.

සමස්ත දේශපාලන සංස්ථාපිතයම අයවැය හිඟය අවම කිරීමේ නාමයෙන් ඉල්ලා සිටින්නේ ඇමරිකාවේ හා ලෝක ධනවාදයේ අසමර්ථතාවේ සම්පූර්න වන්දිය කම්කරු පන්තිය විසින් දැරිය යුතු බවයි.

සමාජ ප‍්‍රතිවිප්ලවයේ මෙම ක‍්‍රියාමාර්ගයට මොනයම්ම හෝ විරුද්ධත්වයක් වෘත්තීය සමිති හෝ ලිබරල් හා මධ්‍යම පාන්තික හිටපු-වාම සංවිධානවල ඔවුන්ගේ සගයන්ගෙන් එල්ල වන්නේ නැත. ඉහල මධ්‍යම පන්තියේ සුපිරි පෙලැන්තිය නියෝජනය කරන මෙම බලවේග ඔබාමාගේ අතිජාත සහායකයින් වසයෙන් සිටින අතරේ ඔබාමා යලි ජනපති පදවියට තෝරාපත් කරගැනීමට වේදිකාව සකසති. කම්කරු පන්තියේ අවශ්‍යතාවන් පිලිබඳ ඔවුන්ට කිසිදු වගක් නැති අතර ඔවුහු සැබවින් කම්කරු පන්තියට සතුරුය. ඔවුන්ට නම් විරැකියාව ප‍්‍රශ්නයක් නොවේමැයි.

අනවරත දැවැන්ත විරැකියා ප‍්‍රශ්නය ධනපති පන්තියට පිලිතුරු දිය නොහැකි සාපරාධයක් වසයෙන් පෙනී යයි. මෙය හුදෙක් ඇමරිකානු ප‍්‍රශ්නයක් නොවේ. බැංකුවල තර්ජනය යටතේ රටක් රටක් පාසා ආන්ඩුවක් ආන්ඩුවක් පාසා රැකියා අහෝසි කරමින්ද, වැටුප් කප්පාදු කරමින්ද සමාජ වැඩපිලිවෙලවල් අතුගා දමමින්ද තිබේ. සෑම කප්පාදුවක්ම ඊලඟ වටයේදී ඊටත් වඩා ම්ලේච්ඡ පිලිවෙත් සඳහා මග සකසා දෙනවා පමනි.

සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ ජීවත්විය හැකි ආදායමක් සහිත රැකියාවක් යනු මූලික සමාජ අවශ්‍යතාවක් බවයි. එය, ඇත්ත වසයෙන්ම සියලුම අවශ්‍යතාවල ප‍්‍රධානතම මූලිකාංගයයි.

රැකියා අවශ්‍යතාවෙන් සිටින සියලු දෙනා සඳහා මනා වැටුප් සහිත රැකියා සම්පාදනය කිරීමට ඩොලර් ටි‍්‍රලියන ගනන් වියදම් කරන වැඩපිලිවෙලක් අපි ක්ෂනිකව ඉල්ලා සිටින්නෙමු. මෙම වැඩපිලිවෙල සඳහා අවශ්‍ය සම්පත් සමාජ අර්බුදය විසඳීමට වඩාත් අවම පියවර ගැනීම පවා වලකා ගෙන සිටින කෝපරේට් හා මූල්‍යමය කතිපයාධිකාරියේ ධනය පවරාගැනීම හරහා අත්කර ගත යුතුය. ප‍්‍රධාන සංගත කම්කරු පන්තියේ ප‍්‍රජාතාන්ත‍්‍රික පාලනය යටතේ සමාජ සන්තක කලයුතු අතර එනයින් ඒවා සමස්තයක් වසයෙන් සමාජයේ යහපත වෙනුවෙන් යොදා ගත හැකිය.

ධනවාදය මහජනතාවගේ වඩාත් මූලික අවශ්‍යතාවන් විසඳීමෙහිලා අසමර්ථ නම් එය වැලලී යාමට නියමිතව සිටියි. විසඳුම වන්නේ නිෂ්පාදනය පුද්ගලික ලාභ සඳහා නොව සමාජයේ ප‍්‍රයෝජනය සඳහා ප‍්‍රජාතාන්ත‍්‍රිකව පාලනය කරන සමාජයකින් යුත් සමාජවාදයයි.

ආන්ද්‍රෙ ඩේමන්