ඇමරිකාවේ නිදහස් අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාරය

The assault on public education in America

2 July 2011

එක්සත් ජනපද පාලක පන්තිය නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට ගෙනයන උද්ඝෝෂනය තීව‍්‍ර කරමින් සිටී.

ජූලි 01 දින නව මූල්‍ය වර්ෂය ආරම්භ වීමත් සමග ගුරුවරුන් දස දහස් ගනනක් සේවයෙන් පහකිරීමටත් පාසල් සිය ගනනක් වසා දැමීමටත් කොන්දේසි සකසමින් රට පුරා ප‍්‍රාන්ත ආන්ඩු අධ්‍යාපන අරමුදල් කප්පාදු කිරීම අරඹා ඇත.

දශක ගනනක් තිස්සේ පොහොසතුන්ගේ බදු කපාහැරීමේ, බැංකුවලට ඇප තැබීමේ හා ආන්තික සමපේක්ෂනයේ ප‍්‍රතිඵලය වූ මූල්‍ය අර්බුදය ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන දෙගොල්ලන් ම පාවිච්චි කරනු ලබන්නේ මහජන අධ්‍යාපනයට වලකැපීමට හා එය වනසා දැමීමට ලද අවස්ථාවක් ලෙස ය.

2010 දී පමනක් 151,000ක පමන ප‍්‍රාන්ත හා ප‍්‍රාදේශීය අධ්‍යාපන සේවකයින් සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කරන ලදී. පාසල් පරිපාලනය පිලිබඳ ඇමරිකානු සංගමය මෑත දී කල සමීක්ෂනයකට අනුව ඉදිරි පාසල් වසර තුල තවත් 227,000ක් දොට්ට දැමීමට සැලසුම් කොට තිබේ. මෙය එක්සත් ජනපදය තුල මිලියන 10.3ක අධ්‍යාපන සේවකයින්ගෙන් සියයට 2.2ක් එක් වසරක් තුල දොට්ට දැමීමකි.

අධ්‍යාපන ගාස්තු තවදුරටත් ඉහල දැමීමේ කොන්දේසි නිර්මානය කරමින් පූර්ව කප්පාදුවලට අමතරව කැලිෆෝනියාව සරසවි අරමුදල් සියයට 23න් කපා දමයි. පාසල් අධ්‍යාපනය සඳහා ලමුන් සූදානම් කිරීමේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා වන වැඩපිලිවෙලකින් ෆ්ලොරිඩාව ලමුන් 15,000ක් ඉවත් කරයි. මිචිගන් ප‍්‍රාන්තය කේ-12 යන අධ්‍යාපන ක‍්‍රමයේ එක් සිසුවෙකුට දරන වියදම ඩොලර් 470කින් අඩුකරන අතර එමඟින් ප‍්‍රාදේශීය දිස්ති‍්‍රක්කවලට ගුරුවරුන් නෙරපීමට හා පාසල් වැසීමට බලකෙරෙනු ඇත. වෝල් වීදිය පිහිටා ඇති නිව් යෝක් ප‍්‍රාන්තය සිය අධ්‍යාපන වැය සියයට 6.1න් පහත දමයි. ලැයිස්තුව තව බොහෝ දුර යයි.

නාගරික හා ප‍්‍රාදේශීය මට්ටමේ දී මෙම කප්පාදු ප‍්‍රතිවිපාක ගෙන එනු ඇත. නිව් යෝක් හා චිකාගෝ ප‍්‍රාන්ත තව තවත් අධ්‍යාපන සේවකයින් දොට්ට දමමින් සිටී. පසුගිය වසරේ ඉවත් කරන ලද ගුරුවරු 3,000ට අමතරව චිකාගෝ ප‍්‍රාන්තය ගුරුවරුන් 1,000ක් නෙරපීම නිවේදනය කලේ ය.

ඔබාමා පරිපාලනය සමස්ත රටට ම ආදර්ශයක් ලෙස හුවාදක්වන ඩිට්‍රොයිට්හි පාසල් හතලිහකට වැඩි ගනනක් වසාදැමීමට හෝ වරලත් පාසල් හිමිකරුවන් වෙත විකුනා දැමීමට නියමිත ය. අනෙකුත් බොහෝ නගරවල මෙන් ම මෙහි දී ද ශිෂ්‍යයන්, දෙමව්පියන් හා ගුරුවරුන්ගෙන් එන විරුද්ධත්වය කල්තියාම ලොප්කර දැමීම සඳහා මෙම කප්පාදු ගිම්හාන නිවාඩුව තුල සැලසුම් කොට අවසන් කරනු ලැබේ. පන්ති යලි ඇරඹුනු විට නගරය තුල පාසල්වලින් තුනෙන් පංගුවක් වසා හෝ විකුනා දමා ඇතැයි යන ඉෂ්ට වූ කරුන තරුනයින්ට මුනගැසෙනු ඇත.

චිකාගෝ, නිව් යෝක්, ලොස් ඇන්ජලීස් හා අනෙකුත් නගරවල තම වැටුප් පහත හෙලීමේ, වැඩපැය ගනන් ඉහල දැමීමේ හා ඕනෑම හේතුවක් නිසා තමන් සේවයෙන් පහකිරීමේ අයිතිය පරිපාලකයන්ට ලබාදෙන කොන්ත‍්‍රාත්තුවලට අත්සන් කිරීමට ගුරුවරුන්ට බලකෙරී තිබේ.

නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ප‍්‍රහාරය ද්විපක්ෂ පිලිවෙතකි. ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙකට ම අයත් ආන්ඩුකාරවරු, නගරාධිපතිවරු හා ප‍්‍රාන්ත නියෝජිතයෝ පාසල් වැසීම හා ප‍්‍රමිතිකරනය සඳහා එකා පසුපස එකා වැඩ කරමින් සිටිති.

"අධ්‍යාපන ප‍්‍රතිසංස්කරන” තම දේශීය න්‍යාය පත‍්‍රයේ මූලික සංරචකයක් බවට පත්කොට ඇති ඔබාමා පරිපාලනය සමස්ත කි‍්‍රයාදාමය ම අධීක්ෂනය කරයි. වරලත් පාසල් ප‍්‍රසාරනය කිරීම හා කුසලතා පදනම මත ගෙවීම වැනි දඬුවම් දීමේ පියවර ගුරුවරුන්ට එරෙහිව කි‍්‍රයාවට දමා ඇති ඔබාමා අතිරේක අරමුදල් "ඉහලට යාමේ තරගයේ වැඩපිලිවෙලට” ගැටගසා ඇත.

"අසාර්ථක පාසල්වල” අධ්‍යාපනඥයින් තොග ගනනේ දොට්ට දැමීම උත්කර්ෂයට නංවමින් ඔබාමා අධ්‍යාපනයේ අර්බුදය පිලිබඳව හිතාමතා ම ගුරුවරුන් මත වරද පටවා ඇත. ඒ අතර ම ආර්ථික අර්බුදයට වගකිව යුතු සමපේක්ෂකයන්ට නිදහස් අවසර පත‍්‍රයක් ලබා දී ඇති අතර ඔවුන් අන්කවරදාටත් වඩා දැන් ධනවත් ය.

ඒ හා සමානව සාපරාධී වන්නේ අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාර කි‍්‍රයාවට දැමීමට ඔබාමා පරිපාලනයට උපකාරී වී ඇති වෘත්තීය සමිති ය. තොග ගනන් නෙරපීම් හා වැටුප් කප්පාදු මධ්‍යයේ ගුරු වෘත්තීය සමිති කිසිදු අරගලයක් කිරීම ප‍්‍රතික්ෂේප කොට ඇත. වරලත් පාසල් වැඩි කිරීමට, පාසල් විකුනා දැමීමට, ස්ථීර රැකියා විනාශ කිරීමට හා මූල්‍ය අර්බුදයේ සමස්ත රාමුවට ඔවුහු සහයෝගය දී ඇති අතර තමන්ට සාමාජිකයන්ගෙන් අරමුදල් රැස්කරගැනීමේ අයිතිය පමනක් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටිති.

නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කිරීම එක්සත් ජනපදය තුල ඓතිහාසික සන්ධිස්ථානයක් නියෝජනය කරයි. ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුල දිගු කලක් තිස්සේ කේන්ද්‍රීයව පිලිගෙන තිබුනු සෑම කෙනෙකුට ම රජය විසින් සම්පාදනය කරනු ලබන අධ්‍යාපනයට ඉඩ ප‍්‍රස්ථා තිබිය යුතු ය යන සංකල්පය ප‍්‍රහාරයට ලක්කෙරී ඇත.

එක්සත් ජනපදයේ සමාජීය වර්ධනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මහජන අධ්‍යාපනය ප‍්‍රසාරනය කිරීම සමග බැඳී පැවතුනි. ෆ‍්‍රෑන්ක්ලින් හා ජෙෆර්සන් ඇතුලූ ඇමරිකානු විප්ලවයේ වඩාත් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා පුනරුදවාදී නායකයෝ ප‍්‍රජාතන්ත‍්‍රයේ පදනම ලෙස නිදහස් අධ්‍යාපනය ප‍්‍රසාරනය කිරීමට උද්ඝෝෂනයේ යෙදුනහ.

"ඇමරිකානු මහජන අධ්‍යාපනයේ පියා” වන හොරේස් මෑන් හොඳින් පුහුනුව ලත් වෘත්තීය අධ්‍යාපනඥයින් විසින් ලබාදෙන විශ්වීය ඉහල ගුනාත්මක අධ්‍යාපනය ප‍්‍රසාරනය කිරීම තුලින් "මිනිසාගේ තත්වය සමානකරනය” සඳහා සිවිල් යුද්ධයට පෙර සමයේ සටන් වැදුනි.

සිවිල් යුද්ධයේ එක් ප‍්‍රතිඵලයක් වූයේ දකුනු කලාපයෙහි දිලිඳු සුදු ජාතිකයින් හා නිදහස ලැබූ වහලුන් යන දෙගොල්ලන්ගේ ම අධ්‍යාපනය පොදුවේ වර්ධනය වීම යි. දකුනේ වහල් හිමියෝ වහලුන් කියවන්නේ කෙලෙසදැයි ඉගෙන ගැනීම නීතිවිරෝධී කරන මට්ටමට ම අධ්‍යාපනය හා සාක්ෂරතාව ලැබීම වැලැක්වීමට හිතාමතා ම වැඩ කලහ.

වහලුන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටි ෆ්‍රෙඩ්රික් ඩග්ලස් "තෘප්තිමත් වහලෙක් තැනීමට නම් අනුන් ගැන නො සිතන තැනැත්තෙක් තැනිය යුතු බව සැලකූ ආකාරය මා සොයාගෙන තිබෙනවා” යයි සඳහන් කලේ ය. සිවිල් යුද්ධයේදී වෙඩි උන්ඩය හා කඩුව යොදාගෙන පරාජය කරන ලද වහල්හිමියන් මෙන් ම අනුකම්පා විරහිත වර්තමාන මුල්‍ය කතිපයාධිකාරීහු ද එම මූලධර්මයට ම සම්මාදම් වෙති.

විසිවන ශතවර්ෂය තුල අධ්‍යාපනයේ ප‍්‍රසාරනය රුසියානු විප්ලවයෙන් ආවේෂය ලැබූ කම්කරු පන්තියේ අරගල සමග බැඳී තිබුනි. ශතවර්ෂයේ මුල් අර්ධයේ කම්කරු වැඩවර්ජනවල අතුරු ඵලයක් වසයෙන් මිලියන ගනන් ජනයාට නිදහස් අධ්‍යාපනයට ප‍්‍රවේශය ලැබීමේ යෝධ වර්ධනයක් දැකගති. එසේ ම මෙය සෞඛ්‍ය රක්ෂන වැඩසටහන් හා කම්කරුවන් සැලකිය යුතු කොටසකගේ ජීවන තත්ත්වයන්හි පොදු වර්ධනයක් සමග ද බැඳී තිබුනි.

එලෙස ම සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර ද අපි‍්‍රකානු ඇමරිකානුවන්ට ශිෂ්ට සම්පන්න නිදහස් අධ්‍යාපනයක් සැලසීම තම කේන්ද්‍රීය ඉලක්කයක් බවට පත් කරගත්තේ ය.

දැන් මේ සියල්ල ආපසු හරවනු ලබයි. අධ්‍යාපනයට එල්ල කරන ප‍්‍රහාරය එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද සමාජ ප‍්‍රතිවිප්ලවයේ එක් ප‍්‍රකාශනයකි. එනම් දශක ගනනක අරගල තුලින් කම්කරු පන්තිය දිනාගත් සහන මත ප‍්‍රහාරය යි.

මෙම ප‍්‍රහාරයට යටින් දිවෙන්නේ එක්සත් ජනපදයේ තත්ත්වයෙහි ඓතිහාසික ආපසු හැරීමකි. මහජන අධ්‍යාපනයේ වර්ධනය ඇමරිකානු ධනවාදයේ වර්ධනය සමග බැඳී තිබුනි නම් ප‍්‍රහාරය පිරිහීමේ කාල පරිච්ඡේදයක් සමග බැඳී තිබේ.

මෙහි දී පන්ති පිලිවෙතක් කි‍්‍රයාත්මක වේ. මෙම පිරිහීම හා එහි නිමැවුමක් ලෙසින් පැනනැගි මූල්‍ය ප‍්‍රභූ තන්ත‍්‍රයට නිදහස් අධ්‍යාපනයේ හදවතෙහි පවතින ප‍්‍රජාතාන්ති‍්‍රක හා සමානතා මූලධර්ම කෙරෙහි ඇත්තේ නිරපේක්ෂ පිලිකුලකි. සමස්ත දේශපාලන පද්ධතිය මත ග‍්‍රහනය පවත්වාගෙන යන මෙම ප‍්‍රභූ තන්ත‍්‍රය ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙක ම පාලනය කරයි.

නිදහස් විශ්වීය අධ්‍යාපනය සුවිශේෂී වසයෙන් සමාජවාදී නොව ප‍්‍රජාතාන්ති‍්‍රක ඉල්ලීමකි. එහෙත් බැංකු බේරාගැනීම පිනිස ඩොලර් ටි‍්‍රලියන ගනන් මුදල් යොදවන, පාසල් විවෘතව තැබීමට හා ගුරුවරුන්ට ශිෂ්ට සම්පන්න වැටුපක් ගෙවීමට "මුදල් නැතැ” යි කියන සමස්ත දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේම මූලික මූලධර්මය අසමානතාව වූ සමාජයක් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම සමග පෑහෙන්නේ නැත.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කල හැක්කේ සමාජවාදය සඳහා කරන අරගලය, එනම් ජීවිතයේ සෑම අංශයකට ම සමානතාවේ මූලධර්මය පුලුල් කිරීම හා ආර්ථිකය මත කම්කරු පන්තියේ ප‍්‍රජාතාන්ති‍්‍රක පාලනය ස්ථාපිත කිරීමට කරන අරගලයක් තුලින් පමනි. "මිනිසුන්ගේ කොන්දේසි සමානකරනය කිරීම” නමැති මහජන අධ්‍යාපනයේ කේන්ද්‍රීය ගාමකය කම්කරු පන්තියේ නව දේශපාලන අරගලයක ආදර්ශ පාඨය බවට පත්විය යුතු ය.

ආන්ද්‍රෙ ඩිමොන්