ග‍්‍රීසියේ දේශපාලන පාඩම්

The political lessons of Greece

6 July 2011

ජාත්‍යන්තර බැංකු සහ යුරෝපීය සංගමයෙන් එල්ලවෙන තියුනු පීඩනය මධ්‍යයේ අගමැති ජෝර්ජ් පැපන්ද්‍රියෝගේ පැසොක් ආන්ඩුව පසුගිය සතියේදී නව කප්පාදු පියවර මාලාවක පැකේජයක් සම්මත කලේය. ග‍්‍රීක කම්කරු පන්තියේ ජීවන කොන්දේසි හා සමාජ අයිතීන් වෙත එල්ල කල මෙම අලුත් ප‍්‍රහාරය, යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා මාරක ප‍්‍රතිවිපාක ගෙන එමින් ගෝලීය පරමාදර්ශය ලෙස සේවය කරනු ඇත.

යුරෝපීය හා ජාත්‍යන්තර බැංකුවල ශේෂ පත‍්‍ර සවිමත් කිරීම පිනිස යුරෝපීය සුභසාධන රාජ්‍ය කැබලිවලට ඉරා දැමීමට නියමිත ය. නව කප්පාදු පැකේජය සමග ගැලතීගෙන සිටින බැංකුවල මූලික ඉල්ලීමක් වන්නේ රාජ්‍ය බැංකු හා සංස්ථාවන් පෞද්ගලීකරනය කිරීම ය. උනුසුම්කරනය විදුලිය හා පනිවිඩ හුවමාරු ක‍්‍රම වැනි මූලික මහජන සේවාවන් කෝපරේට් ලාභවල නව ප‍්‍රභවයක් කරගැනීම පිනිස පෞද්ගලික සමාගම් බවට පත් කරනු ඇත.

මෙම පිලිවෙතේ ගැඹුරට දිවෙන ප‍්‍රතිගාමී ඇඟවීම් පසුගිය සති අන්තයේ යුරෝ කලාපීය මුදල් ඇමතිවරුන්ගේ ප‍්‍රධානියා වන ජීන්- ක්ලව්ඩි ජුන්කර් විසින් විස්තර කලේය. පෞද්ගලීකරන ක‍්‍රියාවලිය ග‍්‍රීසියේ අතින් ඉවතට ගැනීම අවශ්‍ය යයි ඔහු ජර්මානු පුවත් සඟරාවක් වන ෆෝකස් වෙත පැවසීය. ග‍්‍රීසියේ දේපල විකුනා දැමීම පිනිස ජර්මානු ටෘහැන්ඩ් ආයතනයට සමාන වර්ගයේ ආයතනයක් ස්ථාපිත කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

සැලස්මට අනුව වඩාත් කාර්යක්ෂම එනම් ලාභදායි පෞද්ගලීකරන වැඩසටහනක් සංවිධානය කිරීමට යුරෝපයේ සිට ආර්ථික විශේෂඥයින් එහි යවනු ඇත. මෙහි ප‍්‍රතිපලයක් ලෙස "ග‍්‍රීසියේ ස්වෛරීත්වය දැවැන්ත ලෙස සීමා වෙනු ඇතැ”යි ජුන්කර් කීවේය.

නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍ර බිඳ වැටීමෙන් අනතුරුව නැගෙනහිර ජර්මනිය විකාර්මිකරනය කිරීම නිරීක්ෂනය කිරීමට 1990 දී ජර්මානු ආන්ඩුව විසින් ටෘහැන්ඞ් පිහිටුවන ලදි. මෙම කොල්ලකාරී මෙහෙයුම ධනවාදී වෙලඳපොල සබඳතා පුනස්ථාපනය කිරීමේ ආරම්භක පියවර විය.

1990 සිට 1994 දක්වා කාලය අතරතුර නැගෙනහිර ජර්මනියේ ව්‍යාපාර 12,000කට නොඅඩු ප‍්‍රමානයක් විකිනීමට බෙහෝ විට වසා දැමීමට ටෘහැන්ඩ් කටයුතු සංවිධානය කලේය. ටෘහැන්ඩ් තම වැඩකටයුතු ආරම්භ කරනවිට මෙම සමාගම්වල මිලියන 4ක් සේවයේ නිරතව සිටි නමුත් එහි කටයුතු අවසන් කරනවිට ඉතිරිව සිටියේ මිලියන 1.5ක සේවක සංඛ්‍යාවක් පමනි. නැගෙනහිර ජර්මනියේ අතිශයින් කාර්මීකරනය වූ ප‍්‍රදේශ ජරාවාසයට ඇද දමා තිබූ අතර ලක්ෂ සංඛ්‍යාත නැගෙනහිර ජර්මානුවන් පිරිසකට රැකියා සොයා බටහිරට සංක‍්‍රමනය වීමට බලකෙරිනි.

යලි ඒකාබද්ධ කරන ලද රටේ බලයට පත් සෑම ආන්ඩුවක්ම, නැගෙනහිර කොටසේ රැකියාවලින් දොට්ට දමන ලද කම්කරුවන් විසින් සපයන ලද ලාභ ශ‍්‍රම තටාකය ගසා කමින් බටහිර ජර්මනියේ වැටුප් අවම කිරීමටත් සාම්ප‍්‍රදායික ගිවිසුම් වැඩසටහන් කඩා බිඳ දැමීමටත් නැගෙනහිර සමාජ ව්‍යසනය යොදා ගත්තේය. දශක දෙකක් ගත වීමෙන් පසුවත් සැලකිය යුතු තරම් ජනශුන්‍ය කරන ලද පැරැනි ජර්මානු පලාත්වල ඉහල විරැකියාවක් පවතින අතර ඔවුහු රටේ බටහිර පැත්තේ වෙසෙන ඔවුන්ගේ සහෝදරවරුන්ට වඩා අඩු ජීවන තත්වයන් මැද ජීවත් වෙති.

1930 ගනන්වලින් මෙපිට ලෝක ධනවාදයේ ගැඹුරුම ආර්ථික අර්බුදය මධ්‍යයේදී එකී කොන්දේසි ම අවම ආර්ථික සම්පත් සහිත ග‍්‍රීසියට ද යොදනු ලබන අතර එමගින් අතිශය ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ජනනය කරනු ඇත.

ජුන්කර්ගේ යෝජනා බැංකුවලට හා ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ට පමනක් පිලිතුරු බඳින සහ ග‍්‍රීක ධනපති පන්තිය සමග එකට ගැලතී වැඩකරන මහජන ඡන්දයෙන් තෝරා නොගැනුන මූල්‍ය ක්ෂේත‍්‍රයේ නිලධාරීන් අත පාලනය පවතින අර්ධ යටත්විජිත තත්වයකට ග‍්‍රීසිය සිඳවීමට සමානවේ. එවැනි සැලසුමක කොටසක් වනු ඇති තියුනු සමාජ කප්පාදු පිලිබඳව ග‍්‍රීක ධනපති පන්තිය දැන් සාකච්ඡා කරමින් සිටී. ධනවතුන් සඳහා සහන ලබා දීමට ග‍්‍රීක බදු පිලිවෙත රැඩිකල් ලෙස ප‍්‍රතිව්‍යුහගත කිරීමත් නිත්‍ය රාජ්‍ය සේවකයන් නෙරපා හැරීමට අවසර ලැබෙන පරිද්දෙන් ව්‍යවස්ථාව වෙනස් කිරීමත් මෙයට ඇතුලත් ය.

බැංකුවල ආඥාදායකත්වයක් ග‍්‍රීසියේ ස්ථාපිත කරමින් පවතියි. මෙය යුරෝපයේ සහ ඉන් බැහැර සියලුම රටවල ආදර්ශය බවට පත්වනු ඇත. මෙය සිදුවෙමින් පවතින්නේ පසුගිය වසර පුරාම ග‍්‍රීක කම්කරුවන් විසින් ගෙනයන ලද සටන්කාමී අරගල නොඅඩුව පැවති තතු යටතේම ය.

ග‍්‍රීක මහජනතාවගේ අති මහත් බහුතරයකගේ විරුද්ධත්වය මැද්දෑවේ මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට හැකිව තිබුනේ කෙසේද? පෙරලා පහර දීමට හා ධනපති පන්තියේ ප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රහාරය පරාජය කිරීමට හැකිවන අයුරින් කම්කරු පන්තිය උගත යුතු පාඩම් මොනවාද?

වෘත්තීය සමිතිවල හා සුලු ධනේශ්වර ඊනියා-වාම පක්ෂවල පිලිවෙත් පිලිබඳ ශේෂ පත‍්‍රයක් සකසා ගැනීම අත්‍යවශ්‍යය. මෙම බලවේග වැඩකරන්නේ කම්කරු පන්ති විප්ලවයේ තර්ජනයෙන් ධනවාදී ක‍්‍රමයේ පන බේරා දීමටය.

විශාල වසයෙන් පැසොක් සාමාජිකයින් විසින් මෙහෙයවූ බොහෝ විරෝධතා ව්‍යාපාර පසුගිය වසර එකහමාර තිස්සේ වෘත්තීය සමිති විසින් සංවිධානය කරනු ලැබුනි. ඔවුහු එසේ කලේ සුලු ධනේශ්වර හිටපු-වාම සංවිධානවල සම්පූර්න පිටුබලය ලබමිනි. මෙතෙක් පවත්වා ඇති ගනනින් 15ක් වන එක්දින වැඩ වර්ජනවල හා අනෙකුත් විරෝධතාවල එල්ලය වූයේ ක‍්‍රියාමාර්ගය වෙනස් කරන ලෙස පැසොක් ආන්ඩුවට බලපෑම් දැමීම ය. ධනේශ්වර පැසොක් ආන්ඩුව පෙරලා දැමීම සඳහා මහජනතාවගේ මොනයම්ම සමාජ හා දේශපාලන අරගලයකට වෘත්තීය සමිති හා ඊනියා සමාජවාදී කන්ඩායම් යන දෙගොල්ල ම එක සමානව විරුද්ධ වූවෝය. මේ ආකරයෙන් ම කප්පාදු වලට කම්කරු පන්තියේ විරුද්ධත්වය වාෂ්පකර දැමීමටත් බෙලහීන කිරීමටත් මෙම කන්ඩායම් ඉතා දැනුවත්ව වැඩ කර තිබේ.

සිරිසා සහ ඇන්ටාසියා වැනි සංවිධාන පිලිබිඹු කරන්නේ 1960 ගනන්වල යුද විරෝධී ව්‍යාපාරවල මුදුන අරක්ගත් හා දශක ගනනක ඇවෑමෙන් වඩා දකුනට ගමන් කර ඇති මධ්‍යම පන්ති බලවේගවල දෘෂ්ටිවාදය හා දේශපාලනයයි. ඒවායේ නායකයන් හා සාමාජිකත්වයේ බහුතරයක් විශ්ව විද්‍යාල, මාධ්‍ය, වෘත්තීය සමිති හා රජයේ ඉහල වැටුප් ගෙවන තනතුරු ලබා යෙහෙන් වැජඹෙති. අද දින ඔවුහු නියෝජනය කරන්නේ ඉහල මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත ස්ථරවල අවශ්‍යතාවන්ය. කම්කරුවන් දේශපාලනිකව රැඩිකලීකරනය වන විට ඔවුහු කම්කරු පන්තිය ව්‍යාකූල කිරිමෙහිලා විප්ලවවාදී සමාජවාදයේ දිගුකාලීන සතුරන් ලෙස තමන්ගේ අත්දැකීම් පාලක පන්තියට පිරිනමති.

පැපැන්ද්‍රියෝ පාලනයේ එක් අවුරුදු සය මසක කප්පාදුවෙන් පසු ආන්ඩුවට මෙන්ම වෘත්තීය සමිතිවලට ද එරෙහිව කම්කරු පන්තියේ කෝපය වැඩෙමින් තිබේ. නිශ්චිතව ම වෘත්තීය සමිතිවල ග‍්‍රහනයට පිටින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වැඞී ඒමට වල කැපීමේ එල්ලය ඇතිව සිරිසා හා ඇන්ටාසියා ග‍්‍රීසිය තුල ඊනියා "කුපිතකාරී” විරෝධතා ව්‍යාපාර මුදුන් අරක් ගනිති. මේවා පදනම් වී ඇත්තේ ධනපති දේශපාලනයේ අනවරත ආධිපත්‍ය පතුරුවන "නිර්දේශපාලනය” නම් වැරහැලි සටන් පාඨය මතය.

මෙම ප‍්‍රතිගාමී අරමුන හඹායාමේදී ඔවුහු ඇතන්ස්හි සින්ටැග්මා චතුරස‍්‍රයේ විරෝධතාවේ නිරත දක්ෂිනාංශික, ජාතිකවාදී බලවේග සමග එලිපිට කරට කර වැඩකර තිබේ. ඒ අනුව ඔවුහු යුරෝ කලාපය අත්හැර දමා ජාතිකවාදී ඉදිරිදර්ශනයක් ඔසවා තැබීමටත් ග‍්‍රීසියේ පැරැනි මුදල් ඒකකය වූ ඩ‍්‍රැක්මා වෙතට පෙරලා යාමටත් උඩගෙඩි දෙති. ග‍්‍රීක ධනපති පන්තිය එවැනි පිලිවෙතකට අනුගත වුවහොත් ප‍්‍රතිපලය වනු ඇත්තේ උග‍්‍ර අවපාතය මැදින් කම්කරුවන් හිඟමනට ඇද දැමීම පමනකි.

පාලක පන්තිය විසින් ග‍්‍රීක ආර්ථිකය කොල්ලකෑමට එරෙහිව දැක්විය හැකි එකම ප‍්‍රගතීශීලී ප‍්‍රතිචාරය වන්නේ සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම්ව මූල්‍ය කතිපයාධිකාරියට එරෙහි අරගලයෙහිලා සමස්ත යුරෝපයේත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තියේ ඒකබද්ධතාවයි. යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංඟමයක ඉදිරිදර්ශනයේ හදවතෙහි ඇති මූලෝපාය නම් මෙයයි.

මෙම විප්ලවවාදී ඉදිරි දර්ශනය සඳහා අරගලයේදී ප‍්‍රථම හා අනිවාර්ය පියවර වන්නේ කම්කරු පන්තිය වෘත්තීය සමිතිවල පනගිය හස්තයෙන් බිඳී වෙන් වීමත් ආන්ඩුවට හා ධනේශ්වර පද්ධතියට එරෙහිව කම්කරු පන්ති බලය මෙහෙයවා ගැනීමටත් කම්හල් වැඩපොල හා නිවහන් ප‍්‍රදේශවල ක‍්‍රියාකාරී කමිටු වැනි කම්කරු පන්ති අරගලයේ නව්‍ය ප‍්‍රජාතන්ත‍්‍ර ජනතා සංවිධාන ගොඩ නැගීම ය.

මෙම අරගලය කම්කරුවන් ධනපතියන් සමග සම්මුතියට ගෙන ඒමට වැඩ කරන ව්‍යාජ වාම සංවිධාන හා ස්ටැලින්වාදී හා පැබ්ලෝවාදී ප‍්‍රවනතාවන්ට එරෙහි අශමනීය අරගලයක් ඉල්ලා සිටී. කම්කරු පන්තියේ දේශපාලන සවිඥානකත්වය වර්ධනය කිරීමටත් ධනපති පන්තියේ සියලූම කොටස් වලින් වෙන්ව තම දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කරගැනීමටත් එවන් අරගලයක් අත්‍යවශ්‍යය.

යුරෝපයේ සමාජවාදය සඳහා අරගලය ගෙනගිය හැක්කේ ඇමරිකාවේ හා ලෝක ගෝලය පුරා කම්කරුවන් සමග සන්ධානයකින් පමනි. සාරයෙන් ගත් කල, ග‍්‍රීසියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුව විසින් ක‍්‍රියාවට දමා ඇති කප්පාදු එක්සත් ජනපදයේ ඔබාමා පාලන තන්ත‍්‍රය සැලසුම් කර ඇති හෝ පසුගිය සීත සෘතුවේ මහජන විරෝධතා අවුලුවනු ලැබූ විස්කොන්සින් ප‍්‍රාන්තයේ ක‍්‍රියාවට දැමූ කප්පාදු වැනි ප‍්‍රාන්ත ආන්ඩු පියවරයන්ගෙන් වෙනස් නොවේ.

ග‍්‍රීසියේ වර්ධනයන් අවධානරය කරන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ බලපෑම පුලුල් කිරීමේත් සමස්ත යුරෝපයේම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ගොඩ නැගීමේත් අවශ්‍යතාවයි.

ස්ටෙෆන් ස්ටෙයින්බර්ග්