යුරෝපීය නය අර්බුදය හා ආඥාදායකත්වයේ තර්ජනය

The European debt crisis and the threat of dictatorship

16 July 2011

යන්තම් දෙසතියකට පෙර ගී‍්‍රක පාර්ලිමේන්තුව කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් මත විනාශකාරී බලපෑමක් ඇති කරන්නාවූ නව වටයක කප්පාදු පියවර මාලාවක් සම්මත කලේ ය. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර මූල්‍ය වෙලඳපොලවල් සමහන් කිරීමේ හා යුරෝව ස්ථාවර කිරීමේ එක ම මාවත නව කප්පාදු පියවරයන් යයි ප‍්‍රකාශ කරමින් මූල්‍ය ආයතන, බැංකු හා ප‍්‍රමුඛ පෙලේ දේශපාලනඥයන් ප‍්‍රචාරක උද්ඝෝෂනයක් ගෙන ගියේය.

එතැන් පටන් සිදුවී ඇත්තේ යුරෝපීය නය අර්බුදය තීව‍්‍ර වීම පමනි. අර්බුදය පුරාවට මෝස්තරයක් ලෙස පැවති තත්වය සමග එක පෙලට සිටිමින් ගී‍්‍රසියේ සමාජ කප්පාදු හා පුද්ගලීකරනයේ නව වටය සමස්ත යුරෝපයේ ද ජාත්‍යන්තරව ම ද කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් මත නව කුරිරු ප‍්‍රහාර සඳහා පදනම ලෙස ගන්නා ලදී.

ගී‍්‍රක කප්පාදු පැකේජය සම්මත වීමෙන් සතියක් ඉක්මගිය තැන මූඩීස් නය වර්ගීකරන ආයතනය පෘතුගීසි ආන්ඩුවේ බැඳුම්කර බංකොලොත් තත්ත්වයට පහත හෙලී ය. ඉන් දින කිහිපයකට පසු ආරක්ෂක අරමුදල් හා වර්ගීකරන ආයතනවල ඒකාබද්ධ ප‍්‍රහාරයක් ඉතාලි ආන්ඩුවේ බැඳුම්කරවල පොලී අනුපාතය බලහත්කාරයෙන් ඉහල දමා එරටෙහි රාජ්‍ය නය පිලිබඳ සන්ත‍්‍රාසයක් නිර්මානය කලේය.

මූල්‍ය වෙලඳපොලවල මෙම පියවර ඉතාලි ආන්ඩුව එකඟතාවට පැමිනි කප්පාදු පියවර පාර්ලිමේන්තුව තුලදී දියාරු වී යනු ඇතැයි පලවූ වාර්තාවලට දක්වන ලද ප‍්‍රතිචාරයක් විය. ඉතාලි මුදල් ඇමතිවරයා වෙලඳපොල ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දක්වමින් ඉදිරි වසර තුනහමාර තුල තම වියදම් කප්පාදුව දෙගුන කරන බව නිවේදනය කලේ ය. දින කිහිපයක් ඇතුලත යුරෝපයේ තෙවන විශාලතම ආර්ථිකයේ විශාල කප්පාදු පැකේජයක් සම්මත කරනු ලැබීය.

මෙම සතිය ආරම්භයේ දී වෙලඳපොල සමහන් කිරීමේ ක‍්‍රම පිලිබඳව සාකච්ඡා කිරීමට යුරෝපීය මුදල් ඇමතිවරු හදිසි සැසියකට සහභාගි වූහ. සහන සැලසීමක් ලෙස තමන් පවත්වාගෙන යන පිලිවෙත ආපසු හරවා යුරෝපීය සංගමයේ ඇප අරමුදල් ඍජු ලෙස ගී‍්‍රක නය මිල දී ගැනීම සඳහා යෙදවීමට ඔවුහු එකඟ වූහ.

මෙම සහනයට වෙලඳපොලවල් ප‍්‍රතිචාර දැක්වූයේ යලි ඇරඹූ ප‍්‍රහාරයකිනි. අඟහරුවාදා මූඩීස් අයර්ලන්ත නය බංකොලොත් තත්ත්වයට පහත දැමූ අතර බදාදා ෆිච් ආයතනය ගී‍්‍රසිය විසින් නය පැහැරහරිනු ලැබීම "සැබෑ හැකියාවක්” යයි ප‍්‍රකාශ කරමින් ග‍්‍රීක රාජ්‍ය නය තත්ත්වය පහත හෙලී ය. ඒ අතර ප‍්‍රධාන නය වර්ගීකරන ආයතන එක්සත් ජනපද ආන්ඩුවේ නය පෙරට්ටුවට තැබුවේ අගෝස්තු 2දා වනවිට නය සීමාව ඉහල දැමීමට අසමත් වීම රාජ්‍ය නය පැහැරහැරීමක් යයි සලකනු ලැබෙතැයි අනතුරු අඟවමිනි.

මෙම වර්ධනයන් පෙන්නුම් කරන්නේ පවත්නා ආර්ථික හා දේශපාලන පර්යායේ රාමුව තුල යුරෝපීය නය අර්බුදයට සාමකාමී හා තර්කානුකූල විසඳුමක් නොමැති බව යි. එය එසේ වන්නේ රාජ්‍ය නයේ හා යුරෝවේ අර්බුදය හුදෙක් වාරිකව සිදුවන පහත වැටීමක් නොව ලෝක ධනවාදී පද්ධතියේ මූලික හා පද්ධතිමය අර්බුදයක ප‍්‍රකාශනය වන හෙයිනි.

2008 සැප්තැම්බරයේ වෝල් වීදියේ බිඳවැටීම එක්සත් ජනපදයේ කේන්ද්‍රගත වූ හා සියලු ප‍්‍රධාන ධනේශ්වර රටවල් අනුගමනය කලාවූ වඩා සාහසික මූල්‍ය සමපේක්ෂනයේ දශක ගනනාවක ප‍්‍රතිඵලය යි. පාලක ප‍්‍රභූව පෙර නුවූ විරූ පරිදි ධනයෙන් ආඪ්‍ය කල මුදල් සැපයුම සඳහා නය කන්දක් නිර්මානය කරන ලද අතර ධනය නිමැවීමේ මෙම කි‍්‍රයාදාමය මූර්ත වටිනාකම් නිමැවීමේ ක‍්‍රියාවලියෙන් වඩ වඩා වියෝ කරනු ලැබිනි.

සත්තකින්ම ගෝලීය මූල්‍ය ප‍්‍රභූ තන්ත‍්‍රයක වර්ධනය පදනම් වූයේ එක්සත් ජනපදයේ හා අනෙකුත් දියුනු ධනේශ්වර රටවල කර්මාන්තය හා නිෂ්පාදන යටිතල පහසුකම් විනාශ කිරීම හා කම්කරු පන්තියේ රැකියා, වැටුප් හා ජීවන තත්ත්වයන් මත එල්ල කල අනුකම්පා විරහිත ප‍්‍රහාරයක් මත යි.

ප‍්‍රතිඵලය වූයේ සමාජ ධනය එක පැහැර කොල්ලකෑමට දුවවනු ලබන හා සාරාත්මක වසයෙන් බංකොලොත් බැංකු පද්ධතියක් මත රැඳෙන මූල්‍ය බුබුලු නිර්මානය කිරීමට සම්බන්ධ කරන ලද ආර්ථිකයකි. 2007-2008 සමයේ නො වැලැක්විය හැකි ලෙස එක්සත් ජනපද නිවාස නය බුබුල පුපුරායාම මූල්‍ය පද්ධතියේ බංකොලොත් භාවය හෙලිදරවු කලේ ය.

අර්බුදයෙන් මෙපිට ගන්නා ලද කිසිදු පියවරක් බැංකුවල යටින් පවත්නා අර්බුදය විසඳාලූයේ නැත. ඒ වෙනුවට එය කර ඇත්තේ පවත්නා නය මත නව වර්ගයේ නය කඳු ගසමින් යෝධ රාජ්‍ය ඇපදීම් හරහා අවාසිය බැංකුවලින් රාජ්‍යය වෙත මාරු කර යැවීම යි.

මෙම උභතෝකෝටිකයට ධනේශ්වරය සතුව ඇත්තේ එක් පිලිතුරක් පමනි -එනම් 20වන ශතවර්ෂය තුල කම්කරු පන්තිය දිනාගත් සියලු සමාජ ජයග‍්‍රහන ආපසු හැරවීම ඉලක්ක කර ගත් දරුනු ප‍්‍රහාර එල්ල කිරීම යි. ඒ අතර ම සෑම ජාතික පාලක ප‍්‍රභූවක් ම සිය තරගකරුවන් කෙරෙහි වඩ වඩා ආක‍්‍රමනශීලී හා ජාතිකවාදී ආකල්පයක් අනුගමනය කරන්නේ මිලිටරිවාදයේ හා යුද්ධයේ තර්ජනය අවුලුවමිනි.

තම ප‍්‍රතිවිප්ලවවාදී පිලිවෙත සමාජ කලබැගෑනි ජනනය කරනු ඇතැයි මූල්‍ය ප‍්‍රාග්ධනයේ නියෝජිතයින් හොඳින්ම දැන සිටිති. එයට ඔවුන්ගේ පිලිතුර වන්නේ පාලනයේ නව හා වඩා මර්දනකාරී පාලන ආකෘතීන් සූදානම් කිරීම යි.

තම නවතම දායක ප‍්‍රකාශනයේ දී අන්තරායකර රක්ෂන පිලිබඳ අතරමැදියකු වන ඒඔන් ආයතනය ගී‍්‍රසිය තුල ආයෝජනය කිරීමට එරෙහිව අනතුරු ඇඟවීය. ගී‍්‍රසිය තුල "විප්ලවයක, කුමන්ත‍්‍රනයක හෝ සිවිල් යුද්ධයක” අන්තරාය "ඉහල” යයි ප‍්‍රකාශ කරමින් එම ආයතනය ග‍්‍රීසිය සිය "2011 ත‍්‍රස්ත තර්ජනයේ ලෝක සිතියම” මත තැබීය.

වෝල් ස්ටී‍්‍රට් ජර්නල් පුවත් පතේ වෙබ් අඩවියේ පිටුවක් පසුගිය සතියේ යුරෝපීය රටවල් රැසක වර්ධනය වන ආර්ථික අර්බුදය කෙරේ අවධානය යොමු කලේ ය. ගී‍්‍රසිය තුල මහජන විරෝධය ඉස්මතු වීම පිලිබඳව එය "එම කඳුලූගෑස්වලින් ප‍්‍රමානයක් පෘතුගාලය, ස්පාඤ්ඤය හා ඉතාලිය වෙනුවෙන් ඉතිරි කරගැනීම යහපත් ය” යනුවෙන් උද්ධෘත ලිපියක් තුල අදහස් දැක්වීය.

එවැනි අනතුරු ඇඟවීම් යුරෝපයට පමනක් සීමා නො වේ. එක්සත් ජනපදයේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නිව් බ්‍රෙසින්ස්කි ගෙවී ගිය සතියේ අනතුරු අඟවා සිටියේ එක්සත් ජනපදය තුල මහා විරැකියාව හා සමාජ අසමානතාව වර්ධනය වීම සිවිල් කැලඹීමක් කරා තල්ලු විය හැකි බව යි. එම්එස්එන්බීසී කේබල් රූපවාහිනී සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මෙසේ කීය: "විනාශය පිලිබඳ අනාවැකිකරුවෙක් වීමට මට උවමනා නැත. අප විනාශයක් කරා එලඹෙමින් සිටිනවා යයි මා හිතන්නේ නැත. එහෙත් මා හිතන්නේ අපි තීව‍්‍ර සමාජ ගැටුම්, සමාජ හතුරුකම් හා රැඩිකල්වාදයේ යම් ස්වරූපයන් කරා තල්ලු වෙමින් සිටින බව යි. පවතින සමාජය සාධාරන එකක් නො වේ ය යන හැඟීමක් තිබෙනවා.”

ධනේශ්වර කවයන් තුල වඩ වඩා උකහාගනු ලැබෙමින් තිබෙන නිගමනය වන්නේ පැටවීමට නියමිත සමාජ ව්‍යසනය සාම්ප‍්‍රදායික පාර්ලිමේන්තු ක‍්‍රම හරහා කි‍්‍රයාත්මක කල නො හැකි බව යි.

ජර්මනිය තුල "පශ්චාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී” පාලන රූපාකාරවල අවශ්‍යතාව පිලිබඳ සාකච්ඡාවලට නායකත්වය දෙන්නේ බර්ලින් මහාචාර්ය හර්ෆ‍්‍රයිඞ් මුන්ක්ලර් ය. යුරෝ අර්බුදයට විසඳුම යයි මුන්ක්ලර් තර්ක කරන්නේ ප‍්‍රජාතාන්තී‍්‍රයකරනය නොව ජර්මනියේ හා යුරෝපයේ පාලක ප‍්‍රභූන්ට වඩා වැඩි බලතල ලබා දීමයි.

එවැනි ම ප‍්‍රවනතාවක් පෙන්නුම් කල ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත "ඉතාලියේ නය පිලිබඳ විශ්වාසය සුරැකීම” යන හිසින් යුත් කතුවැකියක් ජූලි 14දා පලකලේ ය. "ඉතාලියට කප්පාදුවලට වැඩි යමක් අවශ්‍ය ය” යයි ප‍්‍රකාශ කල එය අගමැති සිල්වියෝ බර්ලූස්කෝනි ඉවත් කොට ඔහු වෙනුවට "තාක්ෂන විශේෂඥයින් විසින් නායකත්වය දෙනු ලබන පුලුල්ව පදනම් වන ආන්ඩුවක්” එනම් බැංකු විසින් ඇහිඳ ගන්නා ලද ජනතාවට වග නොකියන පුද්ගලයින්ගෙන් යුත් ආන්ඩුවක් සඳහා කැඳවුම් කලේ ය.

මෙම අර්බුදය විසඳනු ඇත්තේ මහා දරිද්‍රතාවේ, ආඥායකත්වයේ හා යුද්ධයේ පදනම මත ධනේශ්වරය විසින් හෝ දේශපාලනිකව සවිඥානක, සාමූහික හා ජාත්‍යන්තරව සම්බන්ධිත විප්ලවවාදී කි‍්‍රයාවන් හරහා කම්කරු පන්තිය විසිනි. 1930 ගනන්වල දී ට්‍රොට්ස්කි ලියූ පරිදි විකල්පය වන්නේ සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය යි.

ස්ටෙෆන් ස්ටෙයින්බර්ග්