එක්සත් ජනපදය ලිබියාවේ සංක‍්‍රමනීය ජාතික කවුන්සිලය අනුමත කරයි

The US recognises Libya’s Transitional National Council

20 July 2011

ලිබියාවේ "නීත්‍යානුකූල පාලන අධිකාරිය” වසයෙන් ඊනියා සංක‍්‍රමනීය ජාතික කවුන්සිලය නිල වසයෙන් ඔබාමා පාලානාධිකාරිය විසින් අනුමත කිරීම දේශපාලන දාමරිකභාවයේ නීතිවිරෝධී ක‍්‍රියාවක් වන අතර ලිබියාවට එරෙහි එක්සත් ජනපද- නැටෝ විසින් දිගේලි කර තිබෙන යුද්ධයේ අධිරාජ්‍යවාදී ස්වාභාවය අනාවරනය කරයි.

පසුගියදා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් මේ බව නිවේදනය කල අතර එය ලිබියාවේ රාජ්‍ය දේපල බිලියන ගනනක් සොරකම් කිරීමටත් එම දේපල ලිබියන් යුද්ධයේ නැටෝ නියෝජිත බිම්ගත මිලිටරි බටකාන්ඩ වශයෙන් සේවය කරන බෙන්ගාසි මුල් කරගත් ටීඑන්සී වෙත ප‍්‍රදානය කිරීමටත් එක්සත් ජනපදය වෙත ඊනියා නෛතික කවරයක් සම්පාදනය කර දෙයි. මීට ඉහත දී ටීඑන්සී නිලධාරීන් එක්සත් ජනපදය, යුරෝපය හා අරාබි ගල්ෆ් රාජ්‍ය වලට සංචාරය කරමින් ආධාර ලබා ගත්තේ ය. බටහිර බැංකු විසින් සීල් තබන ලද ලිබියානු අරමුදල්වලින් ඩොලර් බිලියන 34ක් පිරිනැමීමට දැන් වොෂිංටනයට හැකිය.

එක්සත් ජනපදය ටීඑන්සී අනුමත කිරීම ම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමකි. හිටපු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නීති උපදේශක ජෝන් බිලින්ගර් සඳහන් කලේ, එක්සත් ජනපදයේ ටීඑන්සී අනුමැතිය "ජාත්‍යන්තර නීතිය යටතේ සුවිශේෂයෙන්ම අසාමාන්‍යය. මන්ද යත් ටීඑන්සීය සමස්ත ලිබියානු කලාපයම පරිපාලනය නොකරයි. තවද එය සමස්ත ලිබියානු මහජනතාව ම නියෝජනය කරන්නේයැයි සඳහන් කිරීමට නොහැක.... රටක තවමත් ක‍්‍රියාත්මක වෙමින් පවතින ආන්ඩුවක් තිබියදී කැරැලිකාරී කන්ඩායමක් රාජ්‍යයන් විසින් පිලිගැනීම ජාත්‍යන්තර නීතිඥයින් විසින් සලකා ඇත්තේ රටක අභ්‍යන්තර කටයුතුවලට නීතිවිරෝධී අයුරින් මැදිහත්වීමක් වසයෙනි.”

වොෂිංටනයේ ටීඑන්සී පිලිගැනුම මංමුලාසහගතභාවය පිලිබඳ පැහැදිලි සාක්ෂියකි. ලිබියාව තුල නැටෝ යුද්ධය දියත් කොට පස් මාසයක් ගතවී ඇතත් කර්නල් ගඩාෆිගේ ආන්ඩුව හෙලීමේ අහලකටවත් ලං වීමට නොහැකි වී ඇත. මූලික වසයෙන්ම මෙයට හේතුව වී ඇත්තේ ටීඑන්සීය ලිබියානු මහජනතාව අතරේ අප‍්‍රසාදයට ලක්ව සිටීමත් එහි දුර්වලත්වයත්ය.

එක්සත් ජනපදයේ ටීඑන්සී අනුමැතිය වොෂිංටනයේ ආරම්භක කියාපෑම් වූ එය ටීඒන්සීය ට සහය දෙන්නේ ගඩාෆිගේ පාලනයෙන් සිදුවන පීඩාවෙන් ලිබියානු මහජනතාව ආරක්ෂා කර ගැනීමටය යන්න අවසන් වතාවට නිශ්ප‍්‍රභ කෙරෙයි. සත්‍ය වසයෙන්ම නම්, වොෂිංටනයේ අරමුන වූයේ නේටෝව විසින් එකදිගට ටි‍්‍රපොලි හා අනෙකුත් ප‍්‍රධාන ලිබියානු නගර මත බෝම්බ වැසි වැස්සවීමෙන් මියැදෙන ගනන් නැති සිවිල් වැසියන්ගේ වියදමින් ලිබියාවේ පාලන තන්ත‍්‍රයේ මාරුවක් ගෙන ඒමත් ලිබියන් ආන්ඩුවේ පිලිවෙත හැසිරවීමත් ය.

බටහිර බලවතුන් මෙම මාර්තු මාසයේ තම ලිබියන් ආක‍්‍රමනය ආරම්භ කරමින් එය යුක්ති සහගත කලේ, ගඩාෆි පාලානාධිකාරයට එරෙහි ලිබියන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ගෙනයන අරගලයක නායකත්වය ලෙස ටීඑන්සීය නින්දාසහගත ලෙස ඔජවඩමිනි. එවැනි කිසිවක් තිබුනේ නැත. ඇත්ත වසයෙන් ම නම්, පුවත්පත් වාර්තා පැහදිලි කර ඇති අයුරින් ටීඑන්සීය යනු සීඅයිඒ සම්පත් හා සටන්කාමී ලිබියානු ඉස්ලාම් හවුලේ (එල්අයිඑෆ්ජී) අල්කයිඩා සටන්කරුවන් ඇතුලු ගඩාෆි පාලන තන්ත‍්‍රයේ පැරැනි නිලධාරින්, ගෝත‍්‍රික නායකයින්, පිටුවහල් කරනලද ව්‍යාපාරිකයන් හා අනෙකුත් ක‍්‍රියාකරුවන්ගෙන් සමන්විත විසම සන්ධානයකි.

ලිබියානු මහජනතාවගෙන් අති බහුතරයට සතුරු එවැනි කන්ඩායම්වලට ලිබියාවේ ප‍්‍රජාතන්ත‍්‍රික පාලනයක් නිර්මානය කිරීමෙහිලා මොනම භූමිකාවක්වත් ඇත්තේ නැත. කෙසේවෙතත්, ඔවුහු ලිබියාවේ බහු ටි‍්‍රලියන තෙල් සම්පත් ප‍්‍රධාන පෙලේ තෙල් සමාගම්වලට තවදුරටත් විවර කරනු පිනිස වැඩකරන අනුග‍්‍රාහක පාලානාධිකාරියක් පිහිටුවීමේ අවස්ථාව වොෂිංටනය සහ එහි යුරෝපීය සගයන්ට සලසා දෙනු ලැබිය හැකි අතර ඊජිප්තුව හා ටියුනීසියාවේ කම්කරු පන්තික නැගිටීම්වලින් සොලවා දමනු ලැබූ තමන්ගේ අධිකාරිය කලාපය තුල යලි තහවුරු කර ගැනීමට ද අවස්ථාව සලසා දෙනු ඇත.

වොෂිංටනයේ නිල පිලිගැනීමත් සමග ම ටීඑන්සීය අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රනයේ අන්ඩක් ලෙස නිරුවත් වී සිටී. එක්සත් ජනපදය ටීඑන්සීය අනුමත කරන්නේ එය වොෂිංටනයේ නියෝග පිලිපැදීමට පොරොන්දු වී සිටීම නිසායැයි හිලරි ක්ලින්ටන් පසුගිය සතියේදී පැහදිලි කලාය. බෙන්ගාසි නායකත්වය "වැදගත් සහතිකයක් පිරිනමා තිබේ. ලිබියාවේ වර්තමානය සමග ගනුදෙනු කිරීම සඳහාත් ලිබියාවේ අනාගතය ගැන කතා කිරීමටත් එය අපට සිටින යෝග්‍යතම මැදිහත්කරුවා වීම අපගේ විස්වාසය දියුනු තියුනු කරයි,” ඇය කීවාය.

ටීඑන්සීය "ප‍්‍රජාතන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරන” හා තහනම් කල අරමුදල් "විනිවිදභාවයකින් යුක්තව” පරිහනය කිරීමට පොරොන්දු වූ බවත් ක්ලින්ටන් ප‍්‍රකාශ කලාය. මේ නම් අභූතයකි; ටීඑන්සීයේ ප‍්‍රතිගාමී ක‍්‍රියාකරුවන් එවැනි සහතික පිරිනැමුව ද කිසිවෙකු ඒවා බරපතල ලෙස විස්වාස කරනු නැත. ක්ලින්ටන් ඉල්ලා සිටි සහතික කිරීම් ලිබියාවේ සම්පත් වෙත බටහිර තෙල් සමාගම්වලට ප‍්‍රවේශ වීමටත් එහි ආර්ථිකය ප‍්‍රමුඛ ආයෝජකයන්ට විවර කිරීම සඳහාත් අදාල පොරොන්දු කරවාගැනීම් බවට සැකයක් නොමැත. ගඩාෆිට එරෙහිව ටීඑන්සීය මුලුමනින්ම නැටෝ මිලිටරි ආධාර මත යැපීම යන කරුනෙන්ම යුද්ධයෙන් අනතුරුව ද නැටෝ හමුදා හා බුද්ධි අංශ ලිබියාව තුල ස්ථානගත කිරීම සඳහා කෙරෙන ඉල්ලීම් ටීඑන්සීය විසින් අනුමත කරනු ඇති බව පෙනීමට තිබේ.

මවිතයට කරුනක් වන්නේ, ටීඑන්සී සටන්කරුවන් 500ක් පමන එල්අයිඑෆ්ටී සාමාජිකයන්ය යන වාර්තාවන්ට එක්සත් ජනපදයේ පුවත් ප‍්‍රවෘතිවල දී ලැබෙන්නේ ඉතාම අල්ප ඉඩකි. මොවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඉරාකයේ හෝ ඇෆ්ගනිස්ථානයේදී එක්සත් ජනපද මිලිටරිය සමග සටන් කල අත්දැකීම් තිබේ. දැන් ගඩාෆිට විරුද්ධව එක්සත් ජනපද-නැටෝ අනුග‍්‍රහය යටතේ යුද්ධ කරන එක් එල්අයිඑෆ්ජී අනදෙන නිලධාරියෙකු වන අබ්ඩෙල්-හකීම් අල්-හසීඩි ඉතාලි පුවත්පතක් වන ඉල් සෝලේ 24 වෙත සඳහන් කලේ, ඔහු 2002 වසරේ පාකිස්ථානයේදී අල්ලා ගැනීමට පෙරාතුව 2001 වසරේ සිට ඇෆ්ගනිස්ථානයේ සටන් කර තිබෙන බවත් පසුව ලිබියාවට පිටුවහල් කල බවත්ය. ඔහු ලිබියාව තුල 2008 වනතෙක් සිරගත කොට සිටියේ ය.

ඉරාකයේ සටන් කිරීමට නැගෙනහිර ලිබියාවේ "25ක් දෙනෙකු” ඔහු විසින් බඳවා ගත් බවත් ඔවුන්ගෙන් ඇතමෙකු "වර්තමානයේ අජ්ඩාබියාවේ ඉදිරි පෙරමුනේ” සිටින බවත් ඔහු කීවේය. "අපගේ බලකායන් ත‍්‍රස්තවාදීන් නොවේ. අල් කයිඩා සාමාජිකයන්ද යහපත් මුසල්මානවරු වන අතර ආක‍්‍රමනිකයාට එරෙහිව සටන් වදිමින් සිටිති” යැයි හෙතෙම සඳහන් කලේය.

මෙය නම් ඊනියා "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” නම් ප්‍රෝඩාව පිලිබඳ බරපතල හෙලිදරව්වකි. ත‍්‍රස්තවාදීන් ඇතම් අවස්ථාවල දී "සතුරන්” යැයි නම් කොට ඝාතනයට ඉලක්ක කරයි. එහෙත් වෙනත් අවස්ථාවල දී ඔවුහු අධිරාජ්‍යවාදී පිලිවෙතේ ප‍්‍රයෝජනවත් අඬු ලෙස ක‍්‍රියාත්මක වෙති. වොෂිංටනය පදනම් වන්නේ අල්කයිඩා කෙරෙහි දෘඪතර විරුද්ධත්වයක් මත නොව, එහි අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ගේ වෙනස් වන ගනන් බැලීම මතය.

ලිබියාවේ පාලන තන්ත‍්‍ර මාරුව සඳහා විවෘතව ම හැරීගැනීමට වොෂිංටනය ගත් තීන්දුව ජාත්‍යන්තරව ගැඹුරු ප‍්‍රතිවිපාකයන් ජනනය කරනු ඇත. 2003 වසරේ බුෂ් පාලන තන්ත‍්‍රය නිල වසයෙන් එක්සත් ජනපද-ලිබියා සබඳතා යලි තහවුරු කරගැනීමෙන් අනතුරුව වොෂිංටනය තුලත් ජාත්‍යන්තරවත් ගඩාෆි උත්කර්ෂයට නැංවීය. මෙම සීත සෘතුවේ අරාබි ලෝකය තුල විප්ලවවාදී අරගල පුපුරා යාමට පෙරාතුව ඔහු ප‍්‍රමුඛ බටහිර බලවතුන්ගේ සගයෙක් වූවේය. කෙසේවෙතත්, හදිසියේ එක් රැයකින්ම ලිබියාව නැටෝ මූලික පාලන මාරුවක ඉලක්කයක් වූ අතර ගඩාෆි හා ඔහුගේ පවුල අනවරත ඝාතන ප‍්‍රයත්නයන්ට මුහුන දී සිටිති.

ලිබියාව කලාක් මෙන් ඉරානය, උතුරු කොරියාව වැනි පාලන තන්ත‍්‍රයන්ට එක්සත් ජනපදය සමග සම්බන්ධතා යලි තහවුරු කර ගැනීමට හැකිවුව ද, එයට සාමාන්‍ය ආධ්‍යාශයන් ඇතැයි වොෂින්ටනය කරනු ලබන ප‍්‍රකාශයන් දිගු කාලීනව ඒවා මුද්‍රනය කල කඩදාසි කැබැල්ල තරම් වත් නොවටිනා බව ඔවුන් තේරුම් ගත යුතුය. ප‍්‍රතිවිපාකයන් ජනනය කරනු ලබන මෙම අසාමාන්‍ය මාරුව ලෝකය පුරා ආන්ඩුවලටත් දේශපාලන ව්‍යාපාරවලටත් අනතුරු ඇඟවීමකි. වඩාත් පුලුල්ව කියතොත්, ධවල මන්දිරය එක් දිනක කිසියම් දේශපාලන පුද්ගලයෙක් හෝ ප‍්‍රවනතාවක් වර්නනා කල හැකි අතර ඊලඟ දිනයේ එක්සත් ජනපද හමුදාවන් ලවා පහර දීමේත් ඝාතනය කිරීමේත් ඉලක්කයක් කර ගනු ඇත.

අන් සියල්ලටමත් වඩා ලිබියාවේ දියත් කර ඇති එක්සත් ජනපද-නැටෝ යුද්ධය, ටීඑන්සීයට හා ලිබියාව තුල නැටෝ ආක‍්‍රමනයට "මානුෂීය” පදනම් මත පිටුබලය දෙන විවිධාකාර "වාම” හා ලිබරල් දේශපාලන ප‍්‍රවනතාවන් නිරුවත් කර තිබේ. ටීඑන්සීය බටහිර මිලිටරි බලකායන් විසින් කවර හෝ වියදමක් දරා රැකගත යුතු සටන්කාමී ප‍්‍රජාතන්ත‍්‍රික ව්‍යාපාරයක් වූවේය යන කියමන ඔවුන් විසින් අවිවේචනාත්මකව ම පිලිගෙන තිබේ.

මෙකී ආස්ථානයන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කොට තිබෙන ඉදිරි දර්ශනයේ පූර්න ප‍්‍රතිවිරුද්ධයයි. ලිබියානු ගැටුමේ පන්ති බලවේගයන් විශ්ලේශනය කිරීම මත පදනම්ව එය අනතුරු ඇඟවූයේ උතුරු අප‍්‍රිකානු කම්කරු පන්තියට එරෙහිව එක්සත් ජනපදය හා එහි මිතුරන් යටත් විජිත ආකාරයේ යුද්ධයක් සූදානම් කරමින් පැවතුන බවයි. එය අවධාරනය කලේ ගඩාෆි පාලානාධිකාරියට කම්කරු පන්තියේ විරුද්ධත්වය ටීඑන්සීය පාලනය කරමින් සිටින අධිරාජ්‍යවාදී බලවේගයන්ට අතිශය දෘඪතර විරුද්ධත්වය දැක්වීමෙන් ආරම්භ වියයුතු බවයි. මෙම විශ්ලේශනය දැන් තහවුරු වී තිබේ.

පැටි‍්‍රක් ඔ’කොනර්