දේශපාලන සංස්ථාපිතය හා ඔස්ලෝ සමූල ඝාතනය

The political establishment and the Oslo massacre

27 July 2011

පසුගිය සිකුරාදා ඔස්ලෝහි සමූල ඝාතනයෙන් අනතුරුව සංස්ථාපිත දේශපාලන පක්ෂ හා මාධ්‍යය එම සිද්ධිය හා සම්බන්ධ සිය සලකුනු වසන් කිරීමෙහි ලා යුහුසුලුව සිටිති.

ඝාතකයා වන තිස් දෙහැවිරිදි ඇන්ඩර්ස් බෙහ්රින් බ්‍රෙවික් ක‍්‍රියාකර ඇත්තේ හුදකලාව ම ද නැත්ද යන්න තවමත් පැහැදිලි නැති නමුත්, එක් දෙයක් නිශ්චිතය: එනම් මාධ්‍යය ද එක්සත් ජනපද හා යුරෝපීය ධනේශ්වරයේ සංස්ථාපිත සියලු පක්ෂ ද විසින් පෝෂනය කරන ලද මුස්ලිම්වරුන්ට එරෙහි ප‍්‍රකෝපකරන උද්ඝෝෂනය සහ පුද්ගලයින් 76 දෙනෙකු ඝාතනය කල ෆැසිස්ට්වාදියාගේ දේශපාලන අභිප‍්‍රායන් අතර පවතින නිසැක සම්බන්ධතාවයි.

සඳුදා පැවති පලමු උසාවි සැසිවාරයේදී බ්‍රෙවික් සඳහන් කලේ, නෝර්වේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලේබර් පක්ෂයට දඬුවම් දෙනු වස් එයට උපරිම හානියක් සිදු කිරීමට තමන්ට අවශ්‍ය වූ බවයි. එයට හේතුව, එම පක්ෂය මුස්ලිම්වරුන් විශාල සංඛ්‍යාවකට රටට ඇතුලුවීමට අවසර දීමෙන් නෝර්වීජියානු සංස්කෘතිය දූෂනය කර තිබීම යැයි ඔහු කියා සිටියේය. බ්‍රෙවික් ඔහුගේ ලේවැකි ප‍්‍රහාරයෙන් බලාපොරොත්තු වූයේ මුස්ලිම් සංක‍්‍රමනිකයන්ට හා මාක්ස්වාදී, වාම, හා බහු සංස්කෘතික හා "දේශපාලනිකව නිවරද්‍ය”යැයි ඔහු විසින් සලකන සියලු දේවලට එරෙහි පහරක් එල්ල කිරීම බවත් ඔහුගේ ඉස්ලාම් විරෝධී බ්ලොග් සටහන් හා පිටු 1,500ක ප‍්‍රකාශනයන් හරහා පැහදිලි ය. ඔහු නෝර්විජියානු ලේබර් පක්ෂය ඉලක්ක කිරීමට තෝරා ගත්තේ, එම පක්ෂය මාක්ස්වාදී සහ සංක‍්‍රමනික-හිතැති එකකැයි සාවද්‍ය ලෙස ඔහු විසින් සැලකූ බැවිනි.

ඉතා පැහැදිලිව පෙනෙන්ට තිබෙන බ්‍රෙවික්ගේ ෆැසිස්ට් න්‍යාය පත‍්‍රය හා ප‍්‍රකට අන්ත-දක්ෂිනාංශික සම්බන්ධතා තිබියදීත් - නොඑසේනම්, වඩා නිවැරැදිව එකී හේතුන් නිසාම- මාධ්‍යය ඔහුගේ ක‍්‍රෑර ක‍්‍රියාව විසින් ඉස්මත්තට ගෙනවිත් තිබෙන දේශපාලන ගැටලූ වහංගු කිරීමටත් ඔහු හුදකලා මනෝව්‍යාධිකයෙකුට වැඩි යමෙක් නොවේය යනුවෙන් නිරූපනය කිරීමටත් ඉමහත් වෙහෙසක් දරයි. කෙසේවෙතත්, ඔහුගේ අදහස් හුදෙක් තනි පුද්ගලයෙකුගේ රෝගී මොලයක නිර්මිත නොව, ඒ වෙනුවට ව්‍යාධියට පත් සමාජ පද්ධතියක නිෂ්පාදිතයන්ය.

බ්‍රෙවික් අන්තර්ජාල ගතකල ඔහුගේ ලියවිලිවලින් ඉදිරිපත් කල ෆැසිට්ස්වාදී විෂ වට්ටෝරු මුස්ලිම් විරෝධී බ්ලොග් අඩවි හා ඇමෙරිකානු ටී පාටි ව්‍යාපාරයේ හා යුරෝපයේ දක්ෂිනංශික ජනතා පක්ෂවලින් පමනක්ම නොවේ; ප‍්‍රධාන ධනේශ්වර පක්ෂ හා යුරෝපයේ ධනේශ්වර ආන්ඩු, රාජ්‍ය අධිකාරීන් හා මාධ්‍ය කතුවැකි ලියන්නන්ගේ ප‍්‍රචාරන කටයුතුවලින්ද විශාල වසයෙන් උපුටාගෙන ඇත.

ඔස්ලෝවල සිදුවූවක් බඳු ක‍්‍රියාවක් උත්පාදනය කල වාර්ගික වෛරය, ජාතික හා සංක‍්‍රමනික විරෝධී ස්වෝත්තමවාදය හා මිලිටරිවාදය අනවරතයෙන් ඇවිස්සීම හමුවේ එය හුදෙක් කාලය පිලිබඳ කාරනාවක් පමනක් විය.

ඉස්ලාම් විරෝධී උද්ඝෝෂනය නිර්මානය කල පක්ෂ ඔවුන්ගේ වැඩපිලිවෙලේ කේන්ද්‍රීය අක්ෂය කරගෙන පැවතියේ හා දැන් එසේ පදනම්ව පවතින්නේත් ඔස්ටි‍්‍රයාව, ඉතාලිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය හා හන්ගේරියාව යන ආන්ඩු තුලය. ෆැසිස්ට්වාදී ජාතික පෙරමුන ගොඩ නැගී ඇති ප‍්‍රන්සයේ දී ප‍්‍රධාන පක්ෂ එහි වාර්ගික හා සංක‍්‍රමන විරෝධී පිලිවෙත් ප‍්‍රතිරාවය කරන තතු තුල එය ජනාධිපතිවරනය සඳහා බැරෑරුම් තරගකරුවෙකුගේ තත්වයට පත්ව ඇත. බ්‍රෙවික් විසින් වසර දහයක් තිස්සේ සාමාජිකයෙකුව සිටි නෝර්වේහි ඉස්ලාම් විරෝධී ප‍්‍රගතිශීලි පක්ෂය දේශපාලන සංස්ථාපිතයට ආබද්ධ වූ අතර රටේ දෙවන පක්ෂය ලෙස ඉස්මතු වූවේය.

බහු සංස්කෘතික සමාජයට එරෙහි ඔහුගේ අරගලයේදී බ්‍රෙවික් ප‍්‍රධාන යුරෝපීය රාජ්‍යවල නායකයන්ගෙන් අඩුවැඩිය සපයා ගනියි. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්, බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හා ප‍්‍රන්ස ජනාධිපති නිකොලස් සාර්කෝසි යන සිලල්ලෝම ප‍්‍රසිද්ධියේ කියා සිටියේ -- විවිධ සංස්කෘතීන්වලින් පැවතෙන ජනයා සාමකාමීව සහවාසවීම හඳුන්වන-- "බහුසංස්කෘතිය අසමත් වී”ඇති බවයි.

මුස්ලිම්වරුන්ට එරෙහි ප‍්‍රකෝපකරනය සමග ධනේශ්වර "වම” ද අත්වැල් බැඳගෙන තිබේ. ප‍්‍රන්සයේ හා බෙල්ජියමේ –ඊනියා "අතිවාම” කන්ඩායම් විසින් පිටුබලය ලත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් මුස්ලිම් හිස් පලඳනා හා බර්කා ඇඳුම බලහත්කාරයෙන් තහනම් කිරීමට සහය දී තිබේ. ජර්මන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය තුල එහි ප‍්‍රධාන සාමාජිකයන්ගෙන් එක් අයෙකු වන, තයිලෝ සරාසින්ගේ මුස්ලිම් විරෝධී තර්ජනය කිරීම් නීත්‍යානුකූල දෘෂ්ටිවාදයක් ලෙස සලකනු ලබයි.

සිකුරාදා සමූල ඝාතනයෙන් අනතුරුව ඉතා හදිසියේම මුස්ලිම් විරෝධී බ්ලොග් සටහන් ලියන්නන්, "ජාතික සංස්කෘතියක” කෙරුම්කාරයින් හා දක්ෂිනාංශික ජනතා පක්ෂ බහුතරයක් – බ්‍රේවික්ගේ ක‍්‍රියාවන් හෙලා දකිමින් ඔහුගෙන් දුරස්ත වීමට වෙර දරමින් සිටිති. මෙය හුදෙක්ම සටකපට උපාමාරු දැමීමකි. ජර්මන් පීඅයි ("දේශපාලනිකව සාවද්‍ය”) වෙබ් අඩවිය විසින් අන්තර්ජාලගත කල බ්ලොග් ලියවිල්ලකට අනුව බ්‍රෙවික්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අනර්ග වූ නමුත් ඔහුගේ ප‍්‍රහාරය ප‍්‍රති නිශ්පාදිතයකි.

ඉස්ලාමයට යුරෝපය යටත් කිරීම ගැන ප‍්‍රසිද්ධියේ චෝදනා කරමින් බ්‍රෙවික්ගේ ප‍්‍රකාශනයෙන් උපුටා දක්වන ජර්මන් මාධ්‍යවේදී හෙන්රි එම්. බ්‍රෝඩර් තමාගේ මුස්ලිම් විරෝධී නින්දාලාප හා ඔස්ලෝ සමූල ඝාතනය අතර කිසිදු සම්බන්ධයක් ඇති බව ප‍්‍රතික්ෂේප කරයි. ඔහු, ප‍්‍රධාන ධාරවේ ජර්මානු පුවත්පතක් වන ඩයි වෙල්ට් වෙත ලියමින් "ඉස්ලාමය විවේචනය කරන අය වෙත සමූල ජනඝාතනය සඳහා වගකීම පැටවීමෙන් සදාචාරාත්මක වාසියක් ඩැහැ ගැනීමට” උත්සහා කිරීම පිලිබඳව සිය ප‍්‍රතිවාදීන්ට චෝදනා කලේය. බ්‍රෝඩර් මෙම "ඉස්ලාම් විවේචකයන්” අතරට සරාසින් හා ලන්දේසි දක්ෂිනාංශික ජනතාවාදී ගේ‍්‍රට් වයිල්ඩර්ස් සමග තමාව ද ඇතුලත් කර ගනී.

යුරෝපියානුවන් ඉස්ලාමයට "යටත්වීමට” එරෙහි අනතුරු ඇඟවීම් සහිත විවිධාකාර බ්ලොග් සටහන් හා කෘති මෙන්ම ඩර් ස්පීගල් හා ඩයි වෙල්ට් පුවත්පත්වල පිටු වසර ගනනාවක් තිස්සේ බ්‍රෝඩර් විසින් පුරවා තිබේ. බ්‍රෙවික් විසින් උපුටා දැක්වූ සැඳහුම් පිලිබඳ ඔහු සන්තාපයට පත් වන්නේ දැයි විමසූ කල, "මම ඒ දේම තමයි අදත් කියන්නේ” යනුවෙන් පිලිතුරු දුන්නේය.

ටික කලකට පසු බ්‍රෝඩර් ඔහුගේ "දෙවියන්ගේ අක්ෂය” නම් බ්ලොග් සටහන ඔහු උපුටා දක්වන බ්‍රෙවික්ගේ ප‍්‍රකාශනයේ දීර්ඝ උපුටා ගැනීම් පල කලේය. මෙකී උපුටා ගැනීම් මුලින්ම ගනු ලැබුවේ අන්ත දක්ෂිනාංශික බ‍්‍රසල්ස් ජර්නල්, ගේට්ස් ඔෆ් වියානා හා ඉස්ලාම්-වොච් වැනි වෙබ් අඩවිවලට දීර්ඝ ලිපි ලියන තවත් බ්ලොග් ලියන්නෙකු වන ජෝර්ඩ්මාන්ගෙනි. බ්‍රෙවික් ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සඳහා යොදාගත් මූලික ප‍්‍රභවය වූයේ ජෝර්ඩ්මාන්ය.

අන්ත දක්ෂිනාංශික, මුස්ලිම් විරෝධී බලවේග හා ඩයි වෙල්ස් හා ඩර් ස්පීගල් වැනි "බැරෑරුම්” මාධ්‍ය අතර සබඳතා පිලිබඳ කිසියම් සාක්ෂියක් අවශ්‍ය වී නම් බ්‍රෝඩර් එය සම්පාදනය කර තිබේ.

අන්ත දක්ෂිනාංශික හා මුස්ලිම් විරෝධී ව්‍යාපාරවල වර්ධනය හා සංස්ථාපිත ධනපති පන්තික මන්ඩල විසින් ඒවා දිරිගැන්වීම ධනේශ්වර සමාජයේ ජරපත් වීමත් එහි අර්බුදයත් පිලිබිඹු කරයි. මුලදී තරමක් පසුබාසිටි ජර්මන් පාලක පන්තිය කම්කරු පන්තිය තලා දැමීමේ හා ආර්ථික වියවුලෙන් රට නිදහස් කර ගත හැකි වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු නව යුද්ධයන් දියත් කිරීමේ වඩාත් ඵලදායී උපකරනය ජාතික සමාජවාදීන් ලෙස සලකා 1930 ගනන්වලදී හිට්ලර්ට සහය දුන්හ. ධනවාදී සමාජයේ කුනුවීම අද දින ෆැසිස්ට්වාදී බලවේග උසිගන්වන ධනපති පන්තියක් යලි වතාවක් සොයා ගෙන තිබේ.

2001 සැප්තැම්බර් 11 දින ප‍්‍රහාරවල පටන් ඉස්ලාම් විරෝධී ප‍්‍රකෝපකරනය අධිරාජ්‍යවාදී යුද්ධ --පලමුවෙන් ඇෆ්ගනිස්ථානයේත් ඉනික්බිතිව ඉරාකයේ හා දැන් ලිබියාවේ-- සඳහා සහය ගොනුකර ගැනීමේ ප‍්‍රමුඛ උපාය බවට පත්ව තිබේ.

එලෙසින්ම, මුස්ලිම් සංක‍්‍රමනිකයන්ට එරෙහි කුපිතකරනය කම්කරු පන්තිය බෙදීමටත් සුභසාධන කප්පාදු, විරැකියාව හා වැඩෙමින් පවතින සමාජ අසමානත්වය දක්ෂිනාංශික මාවත් ඔස්සේ හරවා යැවීමට යොදා ගනී. සියලුම දක්ෂිනාංශික ජනතාවාදී පක්ෂ වැඩ කරන්නේ මේ ආකාරයට ය. ඔවුහු සමාජ වාචාලත්වය ජාතිකවාදය හා විදේශිකයන් නොරිස්සීම සමග එකට බද්ධ කරති.

කම්කරු පන්තිය සම්බන්ධයෙන් මූලික අනතුර වන්නේ ෆැසිස්ට්වාදී බලවේගවල ක්ෂනික ශක්තිය නොවේ. වත්මනේදී ඔවුහු ජනතා සහය ලබන්නේ යන්තමිනි. එයට වඩා විශාලතම අනතුර වන්නේ කම්කරු පන්තිය අනවරත ලෙස ධනපතියන්ට හා එහි --නිල "වාම” මෙන්ම දක්ෂිනාංශික-- පක්ෂවලට දේශපාලනිකව යටත් කිරීමෙහි ය. මෙම පක්ෂ, කම්කරු පන්තිය පක්ෂඝාත කරන අතරම කම්කරු හා තරුන කොටස් හා මධ්‍යම පන්තික ස්ථරවල දිරිබල සිඳීම හා ව්‍යාකූලත්වය ගසා කෑමට ධනපති පන්තියේ අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරවලට අවස්ථාව සලසා දෙයි.

ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ඉස්මතු වීමෙහි ලා මං ඇහිරීමේ ප‍්‍රමුඛ භූමිකාව ඉටු කලේ වෘත්තීය සමිති හා මධ්‍යම පන්තික හිටපු-වාම සංවිධානවල ඔවුන්ගේ සගයන් විසිනි. ඔස්ලෝවල භයංකර ප‍්‍රහාරය, කම්කරු පන්තියේ ස්වාධීන ශක්තිය මර්දනය කිරීමේ අවසාන ප‍්‍රතිවිපාකය පිලිබඳ අනතුරු ඇඟවීමකි.

බ්‍රෙවික්, තමන් නව, සටන්කාමී අන්ත-දක්ෂිනාංශික ව්‍යාපාරයක් සඳහා ජීවිත පරිත්‍යාගිකයෙක් ද පරමාදර්ශකයෙක් ලෙස ද තමාව ම සලකා ගනී. එවැනි බලවේග විසින් නියෝජනය කරන අනතුර පරාජය කිරීමට, කම්කරුවන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් හා වෘත්තීය සමිතිවලින් කැඩී වෙන්වී ගත යුතු අතර සමාජ කප්පාදු, විරැකියාව හා වැටුප් කැපීම්වලට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් මත ස්වාධීන අරගලයක් දියත් කල යුතුය. අරගලයේ නව සංවිධාන කම්කරු පන්තිය එක්සත් කිරීමටත් ඒකාබද්ධ කිරීමටත් ඉදිරියට ආයුතු අතර නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගිය යුතුය.

පීටර් ස්වාර්ස්