වැටුප් ගිවිසුම ප‍්‍රතික්ෂේප කරන ලෙස සසප ශ‍්‍රී ලංකාවේ වතු කම්කරුවන්ට කියා සිටියි

SEP calls on Sri Lankan plantation workers to reject pay deal

By the Socialist Equality Party (Sri Lanka), 29 June 2011

ආන්ඩුවේ ද පිටුබලය ඇතිව ලංකා හාම්පුතුන්ගේ සංගමය හා වතු සමිති අතර ජූනි 06දා අත්සන් තැබුනු වැටුප් ගිවිසුම මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කර යහපත් සේවා හා ජීවන තත්වයන් ද නිසියාකාර වැටුප් වැඩිවීමක් ද සඳහා සටන් කිරීමට දේශපාලන හා වෘත්තීය අරගලයක් දියත් කරන මෙන් සසප (සමාජවාදී සමානතා පක්ෂය) වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

ගිවිසුමෙන් ඉක්බිතිව තවත් දෙවසරක් දරිද්‍රතා මට්ටමේ වැටුප් තුලට වතු කම්කරුවන් කොටුකර තැබේ. දිනක වැටුප රුපියල් 285 සිට 380 දක්වා (ඇඩො 3.50) වැඩි කිරීමෙන් පාන් පිටි හා භූමිතෙල් වැනි අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහල නැගීමත් සමග පිම්මේ ඉහල යන ජීවන වියදම කිසිසේත් පියවාගත නොහැකිය. පලදායිතා දිරිගැන්වීම් නොහොත් පැමිනීමේ දීමනා රුපියල් 90 සිට 105 දක්වා වැඩිකර ඇතත් එය බොහෝ කම්කරුවන්ට ලැබෙන්නේ නැත. සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට දෙවේලක් ආහාර ගැනීම සඳහා දිනකට අඩුම තරමින් දිනක වැටුප හා දීමනාවන්ගෙන් හතරෙන් තුනක් තරම් වන රුපියල් 350ත් 400ත් අතර මුදලක් වැය කල යුතුය.

ආන්ඩුවේ බලපෑම යටතේ සමිති කම්කරුවන්ගේ පිටුපසින් හාම්පුතුන් සමග කඩිමුඩියේ ම ගිවිසුම අත්සන් තැබූහ. "කඩිනමින් ගිවිසුමකට එලඹෙන ලෙස සමිති වලින් ඉල්ලමින්” ජනාධිපති මහින්ද රාජපක්ෂ පුද්ගලිකව ම මැදිහත් වූ බව ඩේලි එෆ්ටී ඩොට්කොම් සඳහන් කලේය. යෝජිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව වෘත්තීය සමිතිවල පාලනයෙන් ස්වාධීනව පැන නැගුනු නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ගේ පුලුල් විරෝධතා කෙරෙහි ගැඹුරෙන්ම තිගැස්මට පත්ව සිටි ආන්ඩුව වතු කම්කරුවන් ද ඒ මඟ ගනු ඇතැයි බියපත් විය.

ලංකා වතු කම්කරු සංගමය (සීඩබ්ලිව්සී) ලංකා ජාතික වතු කම්කරු සංගමය හා එකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ජූනි 06දා වතු කිහිපයක හෙමින් වැඩ කිරීමේ සංකේත විරෝධතාවක් සංවිධානය කල අතර එදින ම ඔවුහු කම්කරුවන් විකිනීමේ ගිවිසුමට අත්සන් තැබූහ. රාජපක්ෂ ආන්ඩුවේ කැබිනට් ඇමති කමක් ද දරන සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් "කම්කරුවන් සැලකිය යුතු වැටුප් වැඩිවීමක්” ලබා ඇතැයි ප‍්‍රකාශ කලේය.

ගිවිසුමට අත්සන් නොතැබූ අනෙක් සියලුම සමිති ද වහාම ඒ සමග පෙල ගැසුනහ.

"ගිවිසුමට දැන් අත්සන් තබා ඇති බැවින්” තවත් වෘත්තීය ක‍්‍රියා බැහැර කල සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ (සලංවකස) ලේකම් ඒ.ඞී. පේ‍්‍රමරත්න "කම්කරු ආරවුල් පනත අනුව අපට කිසිවක් කල නොහැකියයි” කියා සිටියේය. වැටුප් වැඩිවීමේ නොසෑහුම්කම පිලිබඳව වැලපුනු ප‍්‍රජාතන්ත‍්‍ර කම්කරු සංගමයේ (ඩීඩබ්ලිව්සී) නායක මනෝ ගනේෂන් මැදිහත්වන ලෙස පුහු ආයාචනයක් ආන්ඩුවට ඉදිරිපත් කල අතර ඉන් එහා කිසිවක් නොකලේය.

කඳුරට ජනතා පෙරමුන හෙවත් යූපීඑෆ් නායක පී. රාධක‍්‍රිෂ්නන් හුදෙක්ම කියා සිටියේ ඊලඟ වතාවේ සියලු සමිති සාකච්ඡාවන්ට සහභාගී විය යුතු බවය. එසේම ජාතික කම්කරු සංගමය හෙවත් එන්යූඩබ්ලිව් නායක ආර්. දිගම්බරම් කිසිදු උද්ඝෝෂනයක් කැඳවුම් නොකර පැවසුවේ, "සීඩබ්ලිව්සීය වතු කම්කරුවන් පාවාදුන්නේය. දෙවියන් ඔවුන්ට දඬුවම් කරනු ඇත” යනුවෙනි.

සීඩබ්ලිව්සීයට නාමිකව විරුද්ධ වන සමිති ද ඇතුලු සියලු සමිති 2006 හා 2009දී සිදුකලාක් මෙන්ම වතු කම්කරුවන් විකුනා දමනු ඇති බවට අපේ‍්‍රල් මාසයේදී සසප අනතුරු ඇඟවීය. 2006දී දැවැන්ත වැඩ වර්ජනයක් හමුවේ ජනාධිපති රාජපක්ෂ බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද ව්‍යායාමය කඩාකප්පල් කරන්නේ යයි ඔවුන්ට චෝදනා නැඟූ කල සමිති එයට හිස නැමීය.

එල්ටීටීඊයේ පරාජයෙන් ක්ෂනික ඉක්බිත්තෙහි 2009දී සීඩබ්ලිව්සීය හාම්පුතුන් සමග ගිවිසුමක් අත්සන් කල පසුව වතු සමිති ඒ හා සමාන ම පාවාදීමක් සිදු කලහ. යූපීඑෆ් සලංවකස හා අනෙකුත් විරුද්ධවාදී සමිති දස දහස් ගනන් කම්කරුවන්ගේ හෙමින් වැඩ කිරීමේ උද්ඝෝෂනය ගෙනයාමට සහාය දෙන බව කියා සිටියත් ඒ උද්ඝෝෂනය සමිතිවල අත යටට ගෙන එය අතහැර දැමීමට පමනි.

මෙම කිසිදු සමිතියක් කෙරෙහි විශ්වාසය නොතැබිය යුතුය. ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයට සහයෝගය දීමෙන් අනතුරුව ඔවුන් දැන් "ජාතිය ගොඩනැගීම” යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යුහකරන හා කප්පාදු පැටවීමේ න්‍යාය පත‍්‍රයට සහාය දෙයි. ජාත්‍යන්තරව පාරිභෝගික භාන්ඩ මිල පිම්මේ ඉහල නගිද්දී සමිතිවල ද පිටුබලය සහිතව හාම්පුතුන් අවධාරනය කරන්නේ ශ‍්‍රී ලංකාවේ තේ හා රබර් වතු "ජාත්‍යන්තර තරගකාරිත්වයට” මුහුන දීමට හැකිවන පරිදි පවත්වා ගැනීමට කම්කරුවන් කැපකිරීම් කල යුතුව ඇති බවයි.

ජාමූඅ ගනන් හිලව් වලට අනුව තේ කිලෝග‍්‍රෑමයක මිල 2007 මැයි මාසයේ එජ ඩොලර් ශත 190.04ක සිට 2011 මැයි වන විට 327.68ක් දක්වා ඉහලට පිනුවේය. ඒ කාලයට ම රබර් රාත්තලක මිල 108.60ක සිට 232.07 දක්වා ඉහල ගියේය. කොලඹ කොටස් වෙලඳපොල වාර්තා කලේ, දිවයිනේ තේ හා රබර් වතු සමාගම් 23ක් 2009 හා සසඳන කල, 2010 වනවිට සිය ලාභය සියයට 935කින් වැඩිකරගෙන ඇති බවයි.

සමාගම් ඉමහත් ලාභ රැස්කරගන්නා අතර කම්කරුවන්ට කිසිවක් ලබාදී නැත. ඒ වෙනුවට මෙරට කම්කරුවන්ට කියන්නේ නිදසුනක් ලෙස තේ දලු නෙලීම යන්ත‍්‍රානුසාරයෙන් සිදු කරන කෙන්යාවේ වැනි වෙනත් රටවල කම්කරුවන් හා තරගකාරී විය යුතු බවයි. සමිති කටයුතු කරන්නේ හාම්පුතුන්ගේ හා ආන්ඩුවේ ඕනෑ එපාකම් බලගන්වන්නන් ලෙසය.

මේ වසර මුල ඩීඩබ්ලිව්සී නායක ගනේෂන්, ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූ පරිදි දිනාගත හැක්කේ රුපියල් පන්සීයක මූලික වැටුපක් හා දෙසිය පනහක දීමනාවක් පමනකි. ඒ අනුව ඔහු සමිතිවල ආස්ථානය කැටිකොට දැක්වීය. "ඊට වඩා අපට ඉල්ලිය නොහැකිය. අප ඊට වඩා ඉල්ලුවහොත් තේ කර්මාන්තය කඩා වැටෙනු ඇත.” එහෙත් සිදුව ඇත්තේ ඩීඩබ්ලිව්සීය හා අනෙක් සමිති ඊට වඩා බෙහෙවින් අඩු වැටුප් පිලිගෙන තිබීමත් යහපත් වැටුප් හා ජීවන තත්වයන් සඳහා වතු කම්කරුවන්ගේ කුමන හෝ සටනක් අවහිර කිරීමත් පමනි.

යහපත් වැටුප් හා ජීවන තත්වයන් සඳහා කුමන අව්‍යාජ අරගලයක හෝ ආරම්භක ලක්ෂ්‍යය විය යුත්තේ සංවිධානාත්මකව හා දේශපාලනිකව වෘත්තීය සමිති වලින් මුලුමනින්ම බිඳී වෙන්වීමත් පෞද්ගලික ලාභය මත පදනම් වන ධනේශ්වර පද්ධතිය අහෝසි කිරීමේ සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් වෙත හැරීමත්ය. වතුකරය පුරා ක‍්‍රියාකාරී කමිටු ගොඩනැඟීම සඳහා සසප කැඳවුම් කරයි.

ඕනෑම වැටුප් ඉල්ලීමක් තීරනය කල යුත්තේ කම්කරුවන් මිස සමිති විසින් නොවේ. ඒ සඳහා ක‍්‍රියාකාරී කමිටුවල සමුලුවක් කැඳවා ඉල්ලීම් සාකච්ඡාකර ඒ වෙනුවෙන් සටන් කිරීම සඳහා ව්‍යාපාරයක් සකස් කල යුතුය. අපේ‍්‍රල් මාසයේ නිකුත් කල සිය ප‍්‍රකාශය තුල සසප වතු කම්කරුවන් මුහුන දෙන දැවෙන සමාජ අවශ්‍යතා විසඳීම පිනිස පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කලේය.

* කම්කරුවන් දුගී භාවයේ ද අර්ධ වහල් භාවයේ ද තබන දෛනික වැටුප් ක‍්‍රමය අවසන් කර පැය 40ක සතියක් සඳහා රුපියල් 30,000ක මාසික වැටුපක් සහතික කරනු!

* වැටුප් සහිත වෛද්‍ය පහසුකම්, යථා විශ‍්‍රාම වැටුප් හා අතිකාල දීමනා ක‍්‍රමයක් ඇති කරනු!

* වතු කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් සඳහා විධිමත් ජලය, විදුලිය හා සනීපාරක්ෂක පහසුකම් ද මනා අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ද සඳහා සටන් කරනු!

මෙම මූලික සමාජ අවශ්‍යතා සඳහා ව්‍යාපාරයක අර්ථය වනුයේ නිසැකව ම සමාගම් සමග පෙලගැසෙනු ඇති රාජපක්ෂ ආන්ඩුවට පමනක් නොව, සමස්ත දේශපාලන සංස්ථාපිතයට ම එරෙහි දේශපාලන සටනකි. සියලු කම්කරු කොටස්වල හා ගම්බද දුගීන්ගේ සහයෝගය ඇතිව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමෙන් පමනක් සාක්ෂාත් කල හැකි දේශපාලන බලය සඳහා අරගලයකට වතු කම්කරුවන් මැදිහත්වීම අවශ්‍ය කෙරේ.

සෑම රටක දී ම කම්කරුවන් මුහුන දෙන්නේ හාම්පුතුන් හා ඔවුන්ගේ ආන්ඩු විසින් වැටුප් පහත හෙලීමටත් මූලික සමාජ අයිතීන් වනසා දැමීමටත් ගෙන යන පිලිවෙත් වලටය. ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා කම්කරුවන්ගේ එක්සත් කම අවශ්‍ය වන්නේ මේ නිසාය. "ජාත්‍යන්තර තරගකාරිත්වයේ” නාමයෙන් සෑම රටක් තුලම ජීවන තත්වයන් කාබාසීනියා කිරීමේ පහතට නැඹුරු වූ සර්පිලයක ජාත්‍යන්තර තල්ලුවට පිලිතුරු දිය යුත්තේ ධනවාදය අහෝසි කිරීම මගින් ධනවතුන් අතලොස්සකගේ ලාභය පිනිස නොව සියල්ලන්ගේ සමාජ අවශ්‍යතා සපුරාලන ලෝක සමාජවාදී ආර්ථිකයක් ආදේශ කිරීම සඳහා සටන් වැදීමෙනි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි සියලු ශාඛා සටන් වදින්නේ එම ඉදිරිදර්ශනයට ය. දැන් මතුවෙමින් ඇති අරගලයන් මෙහෙයවීම සඳහා අවශ්‍ය කම්කරු පන්තියේ ජනතා පක්ෂය ලෙස ජාත්‍යන්තර කමිටුවේ ශ‍්‍රී ලංකා ශාඛාව වන සසප ගොඩනැඟීම සඳහා එයට බැඳෙන ලෙස අපි වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.