මධ්‍යම බැංකුකරුවන්ගේ බැංකුවේ අනතුරු ඇඟවීම්

Warnings from the central bankers’ bank

By Nick Beams,28 June 2011

ගෝලීය මූල්‍ය පද්ධතියේ හදවතෙහිම දිරාපත්වීම හා කුනු වීම එන්ට එන්ටම ගැඹුරු වෙමින් හා පැතිරෙමින් තිබේ. 26 දින නිකුත් කරන ලද ජාත්‍යන්තර සමථ බැංකුවේ (බීඅයිඑස්) වාර්ෂික වාර්තාවෙන් මතුකෙරෙන නිගමනය එයයි.

මධ්‍යම බැංකුකරුවන්ගේ බැංකුව ලෙස සමහර විට හඳුන්වනු ලබන බීඅයිඑස් 2008 සැප්තැම්බරයේ ලේමන් බ‍්‍රදර්ස් ආයෝජන බැංකුව බිඳවැටීමට තුඩු දුන් ගෝලීය මූල්‍ය පද්ධතියේ අන්තරායකාරී අසමතුලිතතාවන් පෙන්වා දුන් ආයතන කිහිපයෙන් එකක් විය. ඉන් තෙවසරකට පසුව දැන් එහි වාර්ෂික වාර්තාව තවත් මූල්‍ය අර්බුදයක් ලඟ එන බවට පැහැදිලි සලකුනු පෙන්වා තිබේ.

විශාලතම අන්තරායන්ගෙන් එකක් මතුවන්නේ ඉතා අඩු පොලී අනුපාතිකයන් හා නය වෙලඳපොලවලට මැදිහත්වීම මගින් මධ්‍යම බැංකු මූල්‍යායතන හා බැංකු වලට සපයන ලද ඉමහත් සහන තුලිනි. "අනුග‍්‍රහාත්මක ආන්තික මූල්‍ය තත්වයන්” එක දිගට පැවති තෙවන වසර සමග බැඳුනු "ප‍්‍රධාන දියුනු ආර්ථිකයන්හි බිංදුවට ආසන්න පොලී අනුපාතික තමන් පිටුදැකීමට බලාපොරොත්තුවූ එම විකෘතිකරනයන්ගේ ම ප‍්‍රති ප‍්‍රහාරයක නැඟී එන අන්තරායකට මුහුනපා සිටියි.”

මෙම මැදිහත්වීමේ තරම මධ්‍යම බැංකුවල ශේෂ පත‍්‍රයන්හි "‍පෙර නොවූ විරූ පරිමානයක” වර්ධනය මගින් ඇඟවුම් කරයි. මූල්‍ය අර්බුදයට ප‍්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද මහ බැංකුව හා එංගලන්ත බැංකුව යන දෙකම සිය වත්කම් දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 8ක සිට සියයට 20 දක්වා වැඩිකල අතර යුරෝ පද්ධතිය තුල එය සියයට 13ක සිට එම කලාපයේ දදේනි සියයට 20 තරම් දක්වා ඉහලකට නැංවීය.

මෙම දැවැන්ත ඇප දීම් නව ගැටලු නිර්මානය කර ඇත. "අතිශය දුෂ්කර අර්බුදයක් තුලින් ගමන් කල ගෝලීය ආර්ථිකයට මධ්‍යම බැංකු ශේෂ පත‍්‍ර පිලිබඳ ප‍්‍රතිපත්ති මගින් සහායක් ලැබී ඇත. කෙසේ වුව ද නම් වශයෙන් සඳන් කලහොත් පොලී අනුපාත අවදානම හුවමාරු අනුපාතික අවදානම හා නය අවදානම වැනි මූල්‍ය අලාභයන්ට තුඩු දිය හැකි දැඩි අවදානම් වලට දැන් බැංකු ශේෂ පත‍්‍ර නිරාවරනයවී ඇත”. වෙනත් වචන වලින් කිවහොත් ප‍්‍රධාන බැංකු ගලවා ගැනීමට යෑම නිසා මධ්‍යම බැංකුම අර්බුදය තුලට ඇද දමා තිබේ.

ඒ සමග ම ගලවාගෙන තිබෙන බැංකු ආරක්ෂිත අරමුදල් හා මූල්‍යායතන යලිත් එම වලටම වැටී ඇත. කෙසේ ද යත් 2007-08 අර්බුදය ඇවිලවූ එම ක‍්‍රියාවලීන්ටම යලිත් අවතීර්න වීමෙනි. යථාර්ථයේදී අතිශය සැක කටයුතු හා සමහර විට අමු අමුවේම මූල්‍ය අවභාවිතාවන් වන "මූල්‍ය නව්‍යකරනයේ යලි හිස එසවීම” යනුවෙන් බීඅයිඑස් පෙන්වා දෙන දේ පිලිබඳව එය "වෙලඳපොල ආතතිය මඟින් උරගා නොබැලුනු අවදානම් සහිත නව නිමැවුම් හඳුන්වා දීමේදී මූල්‍ය අර්බුදයට තුඩුදුන් මතකයන් විෂද ලෙස යලි සිහියට නංවයි” යනුවෙන් අනතුරු අඟවයි.

"ආර්ථිකයේ සමහර කොටස් අනෙක්වාට වඩා ද එක් මූල්‍ය ආයතනයක් තවෙකකට වඩා ද පක්ෂග‍්‍රාහී සැලකුම් ලැබීමේ පරිමාව” යන වැඩි සැලකිලි දැක්වීම ගැන මහ බැංකු විවේචනය කරන අතරතුර බීඅයිඑස් වාර්තාව "දේශපාලන ආර්ථික පීඩනයන්” යනුවෙන් එය හඳුන්වන තත්වය පෙන්වා දෙයි. නිදසුනක් ලෙස එක්සත් ජනපදයේදී බැංකු ඩොලර් ටි‍්‍රලියන ගනනින් ලබා තිබිය දී ඒවායේ ප‍්‍රතිපත්තිවල ගොදුරු බවට පත්වු නිවාස ගැනුම් කරුවන්ට කිසිවක් නොලැබීමත් එක්සත් ජනපද භාන්ඩාගාරය හා ගෝල්ඩ්මන් සැක්ස් අතර ගොඩනැඟී තිබෙන ලෙන්ගතු සබඳතාව වැනි කාරනා මත පුලුල් ලෙස පැතිර තිබෙන කෝපය පලකිරීමේ වඩා ආචාරශීලී ක‍්‍රමයකි, මෙය.

ප‍්‍රධාන කාර්මික ආර්ථිකයන්හි රාජ්‍ය නය පහත හෙලීමේ පුලුල් පියවරයන් ඉල්ලා සිටින මූල්‍ය ආයතන වලට බීඅයිඑස් සිය හඬ ද එක් කරයි. ප‍්‍රධාන ආර්ථිකයක් රාජ්‍ය නය අර්බුදයට ඇද වැටුනහොත් එය විනාශකාරී ප‍්‍රතිවිපාක ගෙන එනු ඇත.

"අප මෙහිදී කිසිදු අතපසු වීමකට ඉඩ නොතැබිය යුතුය: ග‍්‍රීසියේ අයර්ලන්තයේ හා පෘතුගාලයේ මූල්‍ය අර්බුදයන් වටලාගෙන තිබෙන වෙලඳපොල ආකූලතා ප‍්‍රධාන ආර්ථිකයක රාජ්‍ය නය කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටුනහොත් ඇතිවිය හැකි ව්‍යසනය හමුවේ නොවැදගත් සුලු දෙයක් වනු ඇත” වාර්තාව එසේ පල කරයි.

"එක්කෝ ඔබ වෙලඳපොලවල් පිලිබඳ විශ්වාසයෙන් සිටිනු හෝ නොසිටිනු ඇත. එබැවින් රාජ්‍යයකට සිය නය ගෙවා දැමීමේ හැකියාව හෝ කැමැත්ත පිලිබඳ විශ්වාසය භංග වීම අනුක‍්‍රමික පරිවර්තනයකට වඩා මනෝ භාවයන්ගේ හදිසි වෙනස්වීම් මගින් අංඟලක්ෂිතවීමට බොහෝ ඉඩකඩ තිබේ.” එමනිසා ප‍්‍රධාන ආර්ථිකයක විශ්වාසය පිලිබඳ අර්බුදයක් අනුක‍්‍රමයෙන් වර්ධනය වන තත්වයකට වඩා හදිසි කම්පනයක් වනු ඇත. "හදිසි හා වියදම් සහිත ගැලපීම්” කිරීමට බල කෙරෙමින් වෙලඳපොල විශ්වාසය ඉක්මනින්ම වාෂ්පවීමේ හැකියාව පෙන්නුම් කල කුඩා රටවල් ගනනාවක් තුල පවතින පසුගිය අත්දැකීම් හමුවේ "එක්සත් ජනපදයට සිය හිඟය පහසුවෙන්ම පියවාගැනීමට වර්තමානයේ පවතින හැකියාව” මත ඔට්ටු ඇල්ලිය නොහැකිවනු ඇතැයි වාර්තාව අනතුරු ඇඟවීය.

නය මට්ටම් පහත හෙලීම සඳහා "කඩිනම් හා විශ්වාසදායක පියවර” ගන්නා ලෙස බීඅයිඑස් ආන්ඩු වලින් ඉල්ලා ඇත. එහෙත් මින් අදහස් වන්නේ අර්බුද පූර්ව තත්වය කරා යලිපැමිනීමක් නොවේ. ඊනියා "ව්‍යුහාත්මක කර්තව්‍යයන්” විසඳිය යුතුය. "බොහෝ රටවලදී (මෙය) සිය ජනගහනය වයස්ගත වීම හමුවේ පොරොන්දුවී ඇති විශ‍්‍රාම යෝජනා ක‍්‍රම හා සමාජ ප‍්‍රතිලාභ තිරසාර කිරීම සරලවම බෙහෙවින් වියදම් අධික කර්තව්‍යයක් බවට පත්ව තිබේ”.

එනම් බැංකු වලට ඇප දීමේ ප‍්‍රතිපලයක් ලෙස හටගෙන ඇති රාජ්‍ය නය ගෙවා දැමීම පිනිස පශ්චාත් යුද්ධ අවධිය තුල ක‍්‍රියාත්මක කල සමාජ ශුභ සාධන කටයුතුවල විශාල පදාසයක් අතුගා දැමිය යුතු බවයි. බීඅයිඑස් අවධාරනය කරන්නේ. "අර්බුද පූර්ව මූල්‍ය ආස්ථානය කරා ගමන් කිරීම සෑහෙන්නේ නැති” බවයි. අර්බුද පූර්ව මූල්‍ය පිලිවෙත් "ඉතා සතුටුදායක” යයි පෙනී ගියේ, "වත්කම් මිල උත්පාතයේ බදු ආදායම් "අනාගත ස්ථායිකරනය සඳහා උපයෝගී කරගත හැකි බෆරයන් ලෙස ක‍්‍රියා කිරීමට අතිරික්තයන් ගොඩනැඟිය යුතු වීම” නිසා ය. වෙනත් වචන වලින් කිවහොත් කම්කරු පන්තියට බැංකු විසින් නිර්මානය කල අතීත අර්බුදවලට පමනක් නොව අනාගතයේ පැන නැඟීමට නියමිත අර්බුදවලට ද කරගැසීමට බලකල යුතුය යන්නයි.

දියුනු ධනේශ්වර ආර්ථිකයන් ප‍්‍රමුඛ ගැටලූ වලට මුහුනපා සිටින අතරතුර ඊනියා නැඟී එන වෙලඳපොලවල වේගවත් වර්ධනය සමස්ත ගෝලීය ආර්ථිකයේ ම ප‍්‍රසාරනය සඳහා නව පදනමක් සම්පාදනය කරනු ඇතැයි යන බොහෝ විට ඉදිරිපත් කරන ප‍්‍රකාශයට ද බීඅයිඑස් වාර්තාවෙන් කූඤ්ඤයක් ගසා තිබේ. ප‍්‍රධාන ධනේශ්වර ආර්ථිකයන්හි - සියල්ලටත් වඩා එක්සත් ජනපද මහ බැංකුවේ ”ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම්” වැඩසටහන නිදසුන් සපයන - ඉතා ලාභ නය සැපයුම නිසා ආහාර හා අනෙකුත් පාරිභෝගික භාන්ඬ මිල ඉහල නැඟීමට මෙන්ම නව වත්කම් මිල බුබුලූ මාලාවක් නිර්මානයවීමේ වැඩෙන ගැටලු වලට මෙම ආර්ථිකයන් දැන් මුහුනපා සිටියි.

වාර්තාව මෙසේ සඳහන් කරයි: "නැඟී එන වෙලඳපොල ආර්ථිකයන් අර්බුදයේ නරකම තත්වය මඟහැර ගැනීමට සමත්වූ නමුත් අර්බුදයට ගමන් කිරීමේ දී දියුනු ආර්ථිකයන්හි දක්නට ලැබුනු ආකරයට බෙහෙවින් සමාන අසමතුලිතයන් වර්ධනය වීමේ අවදානම ඉන් බොහොමයක් දැන් දරා සිටියි. නැඟීඑන වෙලඳපොල ආර්ථිකයන් ගනනාවකම දේපල මිල ගනන් දැවැන්ත වේග අනුපාතයකින් වැඩෙන අතර පෞද්ගලික අංශයේ නයගැතිකම ද වේගයෙන් ඉහල නැගෙමින් තිබේ.”

නිදසුනක් ලෙස ලෝක වර්ධනය සම්බන්ධයෙන් ඒසා ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටුකල චීනය වාර්තාව තුල නම් වශයෙන් සඳහන් නොකලත් එහි විස්තරයට වඩාත් සමීපව ගැලපෙන එක් ආර්ථිකයකි, චීනය.

ලෝක ධනේශ්වර ආර්ථිකයේ ගැඹුරුවන බිඳ වැටීම කම්කරු පන්තිය හමුවේ තීරනාත්මක දේශපාලන අභියෝග මතුකර ඇති බව වාර්තාව පැහැදිලි කරයි.

එයට මුහුනදීම පිනිස ගෝලීය ප‍්‍රාග්ධනයේ නියෝජිතයින් අත වැඩපිලිවෙලක් තිබේ. ඒ ඇතිකල නොහැකි "ප‍්‍රකෘතිය” නොවේ. ඒ 1930 ගනන්වල මට්ටමේ සමාජ කොන්දේසි කරා පසුබසින්නාවූ ප‍්‍රති විප්ලවයයි.

අඩුවෙන් සිතා නොබැලූ හා තීරනාත්මක මෙන්ම නොඅඩු නිර්දය භාවයකින් ක‍්‍රියාත්මක කරන්නාවූ ස්වකීයමය වූ ඉදිරිදර්ශනයක් කම්කරු පන්තිය විසින් වර්ධනය කල යුතුය. මූල්‍ය ප‍්‍රාග්ධනයේ වැඩපිලිවෙලට පුලුල්ම ප‍්‍රතිරෝධය සංවිධානය කිරීමේ දී එය කම්කරු ආන්ඩු පිහිටුවීම සඳහාත් ආර්ථිකයේ සමාජවාදී පරිවර්තනයක් සංවිධානය කරන්නාවූත් දේශපාලන බලය සඳහා අරගලයක් ද වර්ධනය කල යුතුය.