ආන්ඩුව කොලඹ නිවැසියන් ඉවත් කිරීමට ඩෙංගු වසංගතය දඩමීමා කරගන්නට යයි

By Vilani Peiris,23 June 2011

කොලඹ නගරය දකුනු ආසියාවේ වානිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ කොටසක් ලෙස, කොලඹ පැල්පත්වාසී පවුල් 70,000ක් ඉවත් කිරීම සඳහා, වැඩෙන මහජන විරෝධය නොතකා ඊනියා ඩෙංගු මර්දන ව්‍යාපාරය ද ඒ සඳහා යොදා ගැනීමට ආන්ඩුව තැත් කරයි.

කොලඹ නගරය දකුනු ආසියාවේ වානිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ කොටසක් ලෙස, කොලඹ පැල්පත්වාසී පවුල් 70,000ක් ඉවත් කිරීම සඳහා, වැඩෙන මහජන විරෝධය නොතකා ඊනියා ඩෙංගු මර්දන ව්‍යාපාරය ද ඒ සඳහා යොදා ගැනීමට ආන්ඩුව තැත් කරයි. ආන්ඩුවත්, පලාත් පාලන ආයතනත් චෝදනා කරන්නේ ඩෙංගු වසංගතයට තුඩු දී ඇත්තේ "අනවසර” ඉදිකිරීම් බවයි.

සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන "කොලඹ නගරයේ ඩෙංගු පැතිරීම හේතු වන” අනවසර ඉදිකිරීම් පිලිබඳ වාර්තාවක් කැබිනට් මන්ඩලයට ජූනි 16 දා ඉදිරිපත් කරන්ට යන බව අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එම්.ඩී. වන්නිනායක ජනමාධ්‍ය වලට පවසා තිබුනි. ඔහු තව දුරටත් කියා සිටියේ, නගරයේ නිවාස යෝජනා ක‍්‍රමවල බොහෝ නිවැසියන් ජලාපවහන පද්ධති අවහිර කෙරෙන අනවසර ඉදිකිරීම්වලින් මදුරුවන් බෝ කෙරෙන තත්වයන් නිර්මානය කර ඇති බව "ඩෙංගු පාලනය කිරීමේ වැඩසටහන” මගින් කල අධ්‍යයනයකින් හෙලි වී ඇති බවයි.

ඩෙංගු වසංගතයට ද අනෙකුත් සෞඛ්‍යය ගැටලුවලට ද කෙලින් ම වගකිව යුත්තේ ආන්ඩුව හා මහ නගර සභා ඇතුලු පලාත්පාලන ආයතනයන් ය. ඒවා මහජන සෞඛ්‍ය සේවා වියදම් කපා හැර ඇත. නිවාස ඉදිකර ඇති ප‍්‍රදේශ ආසන්නයේ විශාල කසල ගොඩවල්, පල්වූ වතුරෙන් පිරි ඇලවල්, කුනු කානු හා අපවිත‍්‍ර වතුරෙන් පිරුනු වලවල් ඕනෑ තරම් දකින්නට ඇත.

මෑත දී කොලඹ කොම්පඤ්ඤ වීදියේ නිවසකින් ඉවත් කෙරුනු පවුලක එක් අයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට මෙසේ කියා සිටියේ ය: "ආන්ඩුව දුප්පත් මිනිසුන්ට සෞඛ්‍ය පහසුකම් ලබා දීම අත් හැර දමලා. ඩෙංගු පැතිරීමේ හේතුව ඒකයි. ඉවත් කල පවුල් ආන්ඩුව විසින් පදිංචි කරවා ඇති තොටලඟට හා වැලිගොඩවත්තට ඔබ ගියොත් වසංගතවලට වගකිවයුත්තේ කවුදැයි දැක ගන්ට පුලුවන්.”

ආන්ඩුපක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල ජූනි 12 දා පාර්ලිමේන්තුවේ පුද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරමින් චෝදනා කලේ, කොලඹ නගරයේ අපවහන පද්ධතිය අවුරුදු 100කටත් වඩා පරන බවයි. වගකිවයුතු කිසිම අමාත්‍යංශයක් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කි‍්‍රයා කර නැති බව ද "විනාඩි 30ක් වැස්සොත් කොලඹ නගරය ජලයෙන් යට වන බව” ද ඔහු පිලිගත්තේ ය.

එසැනින් ම සුමතිපාල කියා සිටියේ ජල ගැල්මට හේතුව අනවසර නිවාස හා ගොඩනැගිලි ඉදි කිරීම බවය. "නගරය සුද්ධ කිරීමට” ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආධාරය ඇතිව, ජනාධිපතිගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය කි‍්‍රයා කිරීම ගැන ඔහු ස්තුති කලේය.

සුමතිපාල, නගරයෙන් ඉවත් කෙරෙන පවුල් ඉදිරියේ පෙනී සිටින්නේ ගැලවුම්කරුවෙකුගේ මුහුනුවරිනි. ඔහුගේ නියම මුහුන නම් ජනාධිපති හා ආරක්ෂක ලේකම් නගරයෙන් පවුල් 70,000ක් පලවා හැරීමට මුලූමනින්ම සහයෝගය දීමයි. වසංගත රෝග ඒකකයේ සංඛ්‍යා ලේඛන අනුව මේ අවුරුද්දේ මෙතෙක් ඩෙංගු උනෙන් පෙලූනු රෝගීන් 7856 ක් ද මරන 60ක් ද වාර්තා වී ඇත. කොලඹ නගරය රෝගීන් 2646ක් ද මරන 22ක් ද වාර්තා කරමින් ඉහලින්ම සිටී. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විශේෂඥ දොස්තර සුදත් පීරිස් පවසා ඇත්තේ මේ වතාවේ "තදින්ම” කි‍්‍රයා කරන බවයි. ආන්ඩුව ඒ සඳහා හමුදාව ද පොලීසිය ද මෙහෙයවීමට තීන්දු කර ඇත.

කොලඹ අඩු ආදායම් ලාභී නිවැසියන් පලවා හැරීමට ආන්ඩුව අලුතින්ම ගසන පදය ඔවුන්ගේ "අනවසර ඉදිකිරීම්” මගින් ඩෙංගු උන පතුරුවා හැරීමට වගකිවයුතු බවයි. කොලඹ නගරයේ ගංවතුරට ඔවුන් වගකිවයුතු බව අනෙක් චෝදනාවයි.

පාතාල ලෝක මැරයන්, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, ගනිකා වෘත්තිය ඇතුලු සමාජවිරෝධී කි‍්‍රයා සිදුවන්නේ පැල්පත් වාසීන් නිසා බව අනෙක් ප‍්‍රචාරයයි.

එවැනි සමාජ විරෝධී කි‍්‍රයා සිදුවන්නේ නම් ඊට වගකිව යුත්තේ වත්මන් ආන්ඩුව ද ඇතුලු මෙතෙක් බලයේ සිටි ආන්ඩු හා ඔවුන් විසින් ආරක්ෂා කෙරෙන ධනපති ක‍්‍රමයයි. දරිද්‍රතාව, විරක්ෂා භාවය, නූගත්ම, හා සමාජ අසමානතාව පවත්වාගෙන යන්නේ ධනපති ක‍්‍රමයයි. මේ ආන්ඩු එකක්වත් දුගී පවුල්වලට මනා නිවාස ලබා දීමට කටයුතු කර නැත. යූඇන්පිය ද, ශී‍්‍රලනිපය ද ජනතා විමුක්ති පෙරමුන කර දුන් හවුල් ආන්ඩු ද බලයේ පැවතියේ ය.

නිවාසවලින් ඉවත් කරන අයට හොඳ නිවාස ලබා දෙන බවට ආන්ඩුව ගජබින්න කියා පායි. විටින් විට මුල්ගල් තැබීමේ හා අත්තිවාරම් දැමීමේ උත්සව පවත්වන්නේ මහජනයා නොමග යැවීමටය. 70,000ක් පවුල් පදිංචි කිරීමේ මනා නිවාස සංකීර්නයන්ට මොනම නිශ්චිත වැඩපිලිවෙලක් හෝ ආන්ඩුවට නැත.

2010 මැයි මාසයේ කොම්පඤ්ඤවීදියෙන් ද එම වසරේ අපේ‍්‍රල් මාසයේ දෙමටගොඩ 54 වත්තෙන් ද ඉවත් කෙරුනු පවුල් ගනනාවක් පදිංචි කර ඇත්තේ කැලනි ගං ඉවුරේ තොටලඟ හා වැලිගොඩවත්තේ ලෑලි බිත්තිවලින් හා ටකරන් තහඩුවහලවලින් යුත් දෙකට බෙදූ කුඩා ලයින් කාමර වර්ගයේ ‘නිවාසවල’ය. බිමට සිමෙන්ති තවරා ඇති මේ කාමරවලට මනා වාතාශ‍්‍රයක් ද නැත.

මෑත දී සිට මෙම ‘නිවාසවලට’ යෑම අවහිර කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් යෙදූ කුටියක් තනා ඇත්තේ වැසියන් ජනමාධ්‍යවලට තොරතුරු සැපයීම වැලැක්වීමට මෙන් ම විරෝධතාවලට ඉඩ නොදීමට ය. ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් මෑත දී එහි යනවිට ආරක්ෂක නිලධාරියෝ ඔවුන්ගේ හැඳුනුම් පත් පරීක්ෂා කර, පැමිනියේ මන්දැයි ප‍්‍රශ්න කලහ. ආසන්න මහ මාර්ගයේ හමුදා භටයින් යොදවා ඇත.

එක් පුද්ගලයෙක් අපට පැවසුවේ: "මෙහි නිවැසියන් කතා කිරීමට බයයි. අධිකාරීන් විසින් අඟවා ඇත්තේ ජනමාධ්‍යවලට කතා කරන අයට නිවාස නොලැබෙන බවයි.” ආන්ඩුවට හිතවත් පුද්ගලයන් පැවසුවේ නිවාසවල තත්වය "ඉතා හොඳයි” කියාය.

කොම්පඤ්ඤවීදියෙන් ඉවත් කර මෙහි පදිංචි කර ඇති එක් අයෙක් මෙසේ පැවසීය: "අප මෙතැනට දැමුවාට පසු අනන්තවත් දුෂ්කරතාවලට මුහුන දෙනවා. ගෙවල් 18කට ම ඇත්තේ වැසිකිලි හතරයි. ඉන් දෙකක් උතුරා යන නිසා පාවිච්චි කරන්න බෑ. බලන්න, වැහි දවස්වලට මේක මඩ ගොහොරුවක්. නිවැසියන් වසංගතවලට මුහුන දීම පුදුමයක් ද? අපට නිවාස දෙන බව පොරොන්දුවෙලා තියෙනවා. ඒත් කවදා ද?”

ඉවත් කරන ලද සමහර පවුල්වලට නීත්‍යානුකූල ලියවිලි තිබේ. කොම්පඤ්ඤවීදියේ එක් අයෙක් මෙසේ පැවසීය: ”මගේ නිවස පහසුකම් සහිත ලොකු එකක්. 2010 මැයි මාසයේ අපේ නිවෙස් බඩුබාහිරාදියත් එක්කම බුල්ඩෝසර් කලා. ඒ ඩෙංගු නිසා නොවෙයි, ඒ ප‍්‍රදේශය ලොකු ව්‍යාපාරිකයන්ට සකස් කර දෙන්නයි. නාගරික සංවර්ධන අධිකාරිය ඔප්පු තිබුනත් අපේ නිවෙස් නම් කර ඇත්තේ අනවසර ඒවා ලෙසයි.”

සන්ඩේ ටයිම්ස් මැයි 15 දා කලාපයට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් ප‍්‍රකාශ කලේ: "නිවෙස් ඒකකයක් හදන්න බිලියන දෙකක් පමන යනවා. හදන්න අවශ්‍ය නිවෙස් සම්බන්ධ බලනවිට ඒක ආන්ඩුවට විශාල වියදමක්” යනුවෙනි.

පසුගිය අවුරුද්දේ මැයි මාසයේ කොම්පඤ්ඤවීදියේ නිවෙස් 45කින් පදිංචිකරුවන් හමුදා බලය යොදවා පලවා හැරීමෙන් පසු තවත් තැන් ගනනාවක ම එබඳු බලහත්කාරී ඉවත් කිරීම් සිදුවිය.

2010 දෙසැම්බර් මාසයේ ඇපල් වත්තේ පදිංචිකරුවන් නිවෙස් අටකින් ඉවත් කලේ මාර්ග සංවර්ධනය සඳහා යයි ප‍්‍රකාශ කරමිනි. 2011 ජනවාරි මාසයේ කොලඹ කොටුවේ හමුදා භටයන් යොදවා සාප්පු 13ක් කඩා දැමුනි. අපේ‍්‍රල් මාසයේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෝ පොලීසියේ, හමුදාවේ හා මැරයන්ගේ සහාය ඇතිව දෙමටගොඩ පනස් හතර වත්තේ නිවෙස් 40ක් ඉවත් කර දැමූහ.

ගිය අවුරුද්ද අග නිවාස සංවර්ධන අධිකාරිය බ්ලූමැන්ඩල්, කොම්පඤ්ඤවීදිය, නාරාහේන්පිට, බාන්ස් පෙදෙස, බොරැල්ල, බෞද්ධාලෝක මාවත, වනාතමුල්ල සහ මාලිගාවත්ත ආදී කොලඹ නගර ප‍්‍රදේශවල නිවාස සිය ගනනක පදිංචිකරුවන්ට ඔවුන් ඉවත් කෙරෙන බවට නොතීසි නිකුත් කර ඇත.

ආන්ඩුවේ සැලසුම ලෙස ඇත්තේ කොලඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල වටිනා ඉඩම් අල්ලා ගෙන විදේශීය අයෝජකයින්ටත් දේශීය මහා ව්‍යාපාරිකයන්ටත් ඒවා විකුනා දැමීම හා බදු දීමයි.

නිවැසියන් ඉවත් කිරීම ඔවුන්ගේ විරුද්ධත්වයන් මැඩ කි‍්‍රයාවට දැමීම සඳහා ආන්ඩුව නාගරික සංවර්ධන අධිකාරිය ද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මන්ඩලය ද ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කලේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට තවත් පහරක් එල්ල කරමින් ආන්ඩුව මාර්තු 24 දා නිවේදනය කලේ කොලඹ නගරය හා තදාසන්න පෙදෙස් පාලනය කොලඹ නාගරික සංස්ථාවක් යටතට ගන්නා බවයි. එම නව අධිකාරිය පාලනය කෙරෙනු ඇත්තේ ජනාධිපති විසින් පත් කෙරෙන ආන්ඩුකාරයෙකු විසිනි.

ආන්ඩුව, ඉවත් කෙරෙන පවුල්වලට සුදුසු නිවාස සපයන බවට කෙරෙන පූච්චානම් පොරෙන්දුවලින් ඔවුන් නො මග යවන අතර විපක්ෂය ඉවත් කිරීම්වලට විරුද්ධ බවට ප‍්‍රචාර ගෙන යති. එහෙත් යූඇන්පිය, ජනතා විමුක්ති පෙරමුන ඇතුලු විපක්ෂයත් සතුව ඇත්තේ ආන්ඩුව පදනම් වී ඇති වෙලඳපොල ආර්ථිකපිලිවෙත් ම ය. මධ්‍යම පන්තික කන්ඩායමක් වන නව සමසමාජ පක්ෂය කොම්පඤ්ඤවීදියේ නිවෙස් කැඞීමට එරෙහි වූ පදිංචිකරුවන් යූඇන්පියේත්, ආන්ඩුවේ කොටස්කාරයෙකු වන ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේත් ඊනියා විරෝධතාවලට ද අධිකරනයෙන් විසඳුමක් ලබාදීමට හැකි යයි ගෙන ගිය ව්‍යාපාරයට ද ගොනු කර දැමීමට කි‍්‍රයාත්මක විය. නමුත් ලැබුනු විසඳුමක් නැත.

ඉවත් කිරීමේ තර්ජනයට මුහුන දී සිටින නගර වැසියන්ට තම අයිතීන් තහවුරු කර ගත හැක්කේ ලංකාවේ කම්කරුවන් ගේ ද ජාත්‍යන්තර කම්කරු පන්තියේ ද සහාය ලබා ගන්නා, ධනේශ්වර පක්ෂවලින් බිඳී ගොඩනැගෙන ස්වාධීන ව්‍යාපාරයක අරගලයක් තුලින් පමනකි.

"නිවාස අයිතිය රැකගැනීමේ කි‍්‍රයාකාරී කමිටුවක්” සමාජවාදී පිලිවෙත් මත ගොඩනැගීමට සමාජවාදී සමානතා පක්ෂය මූලිකත්වය ගත්තේ මෙම අරගලයේ කොටසක් ලෙස ය.

කොලඹ නගර සුද්ධ කිරීම ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලක් මගින් විදේශ ආයෝජකයින්ට හා මහා ව්‍යාපාරිකයන්ට ලාභ පොට්ටනි තර කර ගැනීමට ද ධනපති අර්බුදය මහජනයා මත පැටවීමට ද ගෙන යන වැඩපිලිවෙලක කොටසකි. සියලු කම්කරුවන් ඊට එරෙහි අරගලයට සහයෝගය දීම තම අයිතීන් රැක ගැනීමට කරන අරගලයේ ම කොටසකි.

ශීලාචාර ජීවිතයකට අවශ්‍ය නිවාස තැනීම සඳහා නම් රුපියල් බිලියන ගනන් වෙන් කිරීම අවශ්‍ය ය. එය ධනපති ලාභ ක‍්‍රමය තුල කල නොහැකි ය. එය කල හැකි වන්නේ ධනේශ්වර ක‍්‍රමය සමාජවාදී ක‍්‍රමයකින් විස්ථාපනය කිරීමේ පිලිවෙත් කි‍්‍රයාත්මක කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම තුලිනි.