ශ්‍රී ලංකාවේ පොලීසිය විරෝධතාවේ යෙදුන නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ට වෙඩි තබයි

Sri Lankan police fire on protesting free trade zone workers

By W.A. Sunil and Ruwan Liyanage , 1 June 2011

ශී‍්‍ර ලංකා ආන්ඩුවේ පුද්ගලික අංශ විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව විරෝධතාවේ නිරතව සිටි කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) කම්කරුවන්ට, දහස් ගනනක පොලිස් භටකායක් විසින් පසුගිය සඳුදා ප‍්‍රචන්ඩ ප‍්‍රහාරයක් එල්ල කරන ලදි. එයින් ඇතිවූ ගැටුම්වල දී පොලීසිය දෙවරක් ජීව උන්ඩ භාවිතා කරමින් වෙඩි තැබූහ. සමස්තයක් ලෙස කම්කරුවන් 200කට වැඩි පිරිසක් තුවාල ලද අතර 100ක් පමන අත්අඩංගුවට ගන්නා ලදී.

දහස් ගනන් භටයන් යොදාගෙන කරන ලද ප‍්‍රහාරයෙන් පසුව ආන්ඩුව නිවෙකය දින දෙකකට වසා දැමීය. කොලඹ අගනුවරට ආසන්න මෙම කලාපය තුල පොලිස් හා ආරක්ෂක භටයන් දහස් ගනනක් රඳවනු ලැබ තිබේ. ඇතුල් වන සියලුම වාහන පරීක්ෂාවට ලක්කෙරෙන අතර කලාපයට පිටතින් ජීවත්වන නිවෙක කම්කරුවන් කලාපයට ඇතුල් වීමෙන් වලක්වනු ලැබේ.

මාස ගනනක් ඇතුලත නිවෙක කම්කරුවන්ට එරෙහිව සිදු කෙරුනු දෙවන පොලිස් ප‍්‍රහාරය මෙය යි. පෙබරවාරියේ දී කටුනායක පිහිටි යට ඇඳුම් නිෂ්පාදන සමාගමක් වන හොංකොං හිමිකාරීත්වය දරන බ‍්‍රාටෙක්ස් කම්හලේ වැඩවර්ජිත කම්කරුවන්ට ප‍්‍රහාර එල්ල කල පොලීසිය ගොතන ලද චෝදනා මත කම්කරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්හ.

සඳුදා විරෝධතාව සිදුවූයේ කම්කරුවන්ට කිසිදු කාර්මික කි‍්‍රයාවක් නො කරන ලෙස ඉල්ලා තිබුනු නිදහස් වෙලඳකලාප හා පොදු සේවා කම්කරු සමිතියේ (නිවෙකපොසේක) ඉල්ලීම් ඍජුව ප‍්‍රතික්ෂේප කරමිනි. මෙම විරෝධතාව, වැටුප් කප්පාදු කරන හා යන්තම් සියයට 15කට සමාන වන මාසික විශ‍්‍රාම වැටුපකට හිමිකම් කීම සඳහා වසර 10ක අඛන්ඩ සේවයක් අවශ්‍ය කරන විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව මැයි 23දා නිවෙක කම්කරුවන් ආරම්භ කල අරගලය පෙරට ගෙනයාමක් විය.

කලාප තුනකින් සමන්විත කටුනායක නිවෙකයේ පලමුවන කලාපයේ කම්කරුවෝ එදින වැඩවැරුම ඇරඹූහ. උදෑසන 9.30 පමන වනවිට විරෝධතාවට කම්කරුවන් දහස් ගනනක් එකතු වී තිබුනු අතර පොලීසිය මැදිහත් වනතෙක් එය සාමකාමීව සිදුවිය.

කම්කරුවන් ප‍්‍රකාශ කරන ආකාරයට උදෑසන 11.00 හා මධ්‍යාහ්නය අතර ප‍්‍රධාන ගේට්ටුවෙන් පලමුවන කලාපයට ඇතුල් වූ පොලීසිය විරෝධතාකරුවන්ට බැටන් හා කඳුලු ගෑස් යොදාගෙන පහර දීම ඇරඹූහ. තම ආරක්ෂාව සඳහා කම්කරුවන් කම්හල්වලට ගියවිට බලහත්කාරයෙන් පරිශ‍්‍රයට ඇතුල් වූ පොලීසිය ප‍්‍රහාරය දිගටම කරගෙන ගියහ. කෝපයට පත් විරෝධතාකරුවෝ අතට අසුවන දෙයින් පහර දුන්හ. එවිට කම්කරුවන්ට ජීව උන්ඩ යොදාගෙන පොලීසිය වෙඩි තැබීය. කිහිප දෙනෙකුට ඉන් තුවාල සිදු වූ අතර එක් කම්කරුවෙකුට මාරක තුවාල සිදුවිය.

සවස 3.00ට පමන පොලිස් ප‍්‍රහාරය පිලිබඳව දැනගත් දෙවන හා තෙවන කලාපවල කම්කරුවෝ පොලිස් කි‍්‍රයාව හෙලා දකිමින් හා අත්අඩංගුවට පත් තම සහෝදර සේවකයින් නිදහස් කරන ලෙස ඉල්ලමින් විරෝධතාවට එකතු වූහ. මේ අවස්ථාව වනවිට බොහෝ දෙනා තරුන කාන්තාවන් වූ කම්කරුවන් 40,000ක් පමන සටනේ නිරතව සිටියහ. විරෝධතාවේ යෙදෙමින් හා ආන්ඩුවට එරෙහිව සටන් පාඨ හඬ නගමින් ඔවුහු නිවෙකය හරහා වැටෙන ප‍්‍රධාන මාර්ගයට ආහ.

සෙනග පාලනය කරගැනීමට පොලීසියට නො හැකි වූ විට ආන්ඩුව විශේෂ කාර්ය බලකා (එස්ටීඑෆ්) නිලධාරීන් හා සොල්දාදුවන් සිය ගනනක් මුදා හැරියේය. යුද හමුදා නිලධාරීහු ආපසු වැඩට යන ලෙස දැන්වුව ද කම්කරුවන් ඉල්ලා සිටියේ අත්අඩංගුවට පත් සියලු දෙනා නිදහස් කරන ලෙස යි. පොලීසිය එසේ කිරීම ප‍්‍රතික්ෂේප කලවිට කෝපයට පත් කම්කරුවෝ පොලිස් ස්ථානයට ගල් මුල්වලින් පහර දුන්හ.

වාර්තා වන ආකාරයට ඉහල නිලධාරීන් ද ඇතුලුව පොලිස් භටයන් 15ක් පමන තුවාල ලබා තිබුනු අතර පොලිස් වාහන කිහිපයකට හානි සිදුවිය. පොලීසිය නැවතත් පොලිස් ස්ථානයට පහර දුන් කම්කරුවන් 500කට පමන වෙඩි තැබුවේ ය. අවම වසයෙන් අටදෙනෙකුට තුවාල සිදුවිය.

විරෝධයේ යෙදුනු කම්කරුවන් පොලිස් ස්ථානයෙන් ආයුධ පැහැරගැනීමට උත්සාහ කලේ යයි පොලිස්පති මහින්ද බාලසූරිය කියා සිටි අතර විරෝධතාකරුවන් එය ප‍්‍රතික්ෂේප කලේය. බාලසූරිය වෙඩි තැබීම ආරක්ෂා කලේ ය. "බොහෝ පිරිසක් කඩාවැදුනු විට පොලීසිය අහසට වෙඩි තබා පසුව පිරිස පාලනය කිරීමට ඔවුන්ට වෙඩි තැබුවා” යයි මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ ය.

ලෝසවෙඅ වෙත කතාකල එක් කම්කරුවෙක් කියා සිටියේ, දරුනු තුවාල හේතුවෙන් අත්අඩංගුවට පත් සමහරුන්ට ඇවිදීමට නො හැකිවූ බව යි. ඔවුන්ගේ ඇඳුම් ලෙයින් නැහැවී තිබිනි. "පොලීසිය අල්ලාගත් කම්කරුවන්ට අතින් පයින් පහර දෙමින් බිම දිගේ ඇදගෙන ගියා” යයි ඇසින් දුටු අයෙක් පැවසීය.

කොලඹට ආසන්න බියගම හා දකුනේ කොග්ගල වෙලඳ කලාප කම්කරුවන් මෙන් ම ප‍්‍රදේශයේ නිවැසියෝ ද පොලිස් ප‍්‍රහාරය හෙලා දුටහ.

නිවෙකපොසේක සාමාජිකාවක වන එක් කාන්තා කම්කරුවෙක් ලෝසවෙඅ වෙත අදහස් දක්වමින් "මෙය කම්කරුවන්ට විරුද්ධ යුද්ධයක්. පොලීසිය අපිට ගැහුවෙ සත්තුන්ට වගේ. උන බම්බු හා බැටන්වලින් අපිට ගහල පස්සෙ වෙඩි තිබ්බා. අපේ වෘත්තීය සමිතිය අපට විරෝධතාවට සම්බන්ධ වෙන්න එපා කියල කිවුව. ඒත් අපේ සහෝදරයින්ට ගහනකොට අපි කොහොමද එහෙම කරන්නෙ? පොලීසිය අපේ ෆැක්ටරි බිල්ඩිමටයි වාහනවලටයි හොඳට ම අලාභහානි කලා,” යයි කීවා ය.

"අපේ සල්ලි කොල්ලකන්න අපි ආන්ඩුවට ඉඩදෙන්නෙ නැහැ. විශ‍්‍රාම වැටුප් පනත අකුල ගන්නකං අපි විරෝධතාවෙ යෙදෙනව. අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි මැරෙන්න බය නැහැ” යයි ඇය අවධාරනය කලා ය.

"ආන්ඩුව කරන්නෙ මොනතරම් අපරාධයක් ද! සොච්චම් පඩියකට මේ කම්කරුවො කොච්චර කඹුරනව ද. පොලීසිය ඒගොල්ලන්ට ගහපු විධිය බලන්න. මට දැනෙන්නේ පුදුම වෛරයක්” යයි කටුනායක පදික වෙලෙන්දෙක් අදහස් දැක්වීය.

නොසන්සුන්බව ඊයේ බියගම නිවෙකය කරා ව්‍යාප්ත විය. සේවකයන් 1,000ක් පමන විරෝධතාවක් පැවැත්වූ බව ඇන්සල් ලංකා කම්කරුවෙක් පැවසීය. "අපේ වෘත්තීය සමිතිය (නිවෙකපොසේක) කිසිම විරෝධතාවට සම්බන්ධ වෙන්න එපා කියල අපිට කිවුව. ඒත් අපේ පීඩනය හින්ද සමිතිය අපිට උද්ඝෝෂනයට යන්න අවසර දුන්න. ඒ එක්කම පනතට විරුද්ධව සටන් කරන්න නිවැරදි වැඩපිලිවෙලක් නැහැ. පනත අකුල ගත්ත කියල ආන්ඩුව කිවුවත් ඒක සම්පූර්නයෙන් ම පරාද කරන්නයි අපිට ඕන.”

වෘත්තීය සමිති නායකයන් කෙරෙහි පවතින මෙම සතුරුභාවය කටුක අත්දැකීම් මත පදනම් වේ. නිවෙකපොසේක ද ඇතුලත් සමිති 26කින් සමන්විත ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය (ජේටීයූඒ), සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංධානය, ලංකා බැංකු සේවක සංගමය හා පැරනි රැඩිකල්වාදී නව සම සමාජ පක්ෂය විසින් පාලනය කරනු ලබන එක්සත් කම්කරු සම්මේලනය විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි වැඩ වර්ජනයක්් මැයි 23දාට කැඳවා තිබුන ද කිසිදු හේතු දැක්වීමකින් තොරව එය අවලංගු කරන ලදී.

වෘත්තීය සමිති දැන් කම්කරුවන්ගේ කෝපය රඳවා තබාගැනීමට මංමුලා සහගතව උත්සාහ කරමින් සිටිති. සඳුදා හවස පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, නිදහස් වෙලඳ කලාප තුනේ කම්කරුවන්ව අඟහරුවාදා වර්ජනයකට කැඳවීමට තම සමිතිය කටයුතු කරන බව කීවේ ය.

සමරසිංහගේ ඉලක්කය වන්නේ, සැබෑ අරගලයක් සංවිධානය කිරීම නොව; 120,000ක කම්කරුවන් ප‍්‍රමානයක් සේවයේ යොදවන රටෙහි අපනයන ආදායම් සම්බන්ධයෙන් තීරනාත්මක වන ශී‍්‍ර ලංකාවේ නිවෙක 12ට ම නොසන්සුන්බව පැතිර යාමෙන් වැලැක්වීම යි.

නිවෙක කම්කරුවන්ගේ ක්ෂනික අරගලයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කම්පනයට පත්ව ඇති අතර එය, එහි කප්පාදු පියවරවලට එරෙහි කම්කරු පන්තියේ පුලුල් ව්‍යාපාරයක කේන්ද්‍රය බවට පත්වෙතැයි බියට පත්ව සිටී. සඳුදා හවස ආන්ඩුව කියා සිටියේ තමන් විශ‍්‍රාම වැටුප් පනත මාස දෙකකට අත්හිටුවන බව හා එයින් නිවෙක කම්කරුවන් ඉවත් කරන බව යි.

වෘත්තීය සමිති මෙම නිවේදනය හැල්මේ සැමරීය. ඊයේ පැවති ජනතා විමුක්ති පෙරමුනේ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මංතී‍්‍ර අනුර කුමාර දිසානායක තාවකාලික හකුලාගැනීම "ජයග‍්‍රහනයක්” ලෙස උත්කර්ෂයට නැංවීය.

රාජපක්ෂ හුදෙක් කරමින් සිටින්නේ පසුකලෙක පනත යලි ගෙන ඒම සඳහා වෘත්තීය සමිති හා විරුද්ධ පක්ෂවල සහයෝගය බලාපොරොත්තු වෙමින් නිවෙක කම්කරුවන් සන්සුන් කිරීමට උපායාත්මක හැරීමක් ගැනීම යි. 2009 දී ආන්ඩුවට එක්සත් ජනපද ඩොලර් බිලියන 2.6ක නයක් ප‍්‍රදානය කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙලඳපොල මත පදනම් වන විශ‍්‍රාම අරමුදලක් නිර්මානය කිරීම මත අවධාරනය කලේ ය.

වර්තමානයේ කාන්තා කම්කරුවන්ට විවාහ වනවිට හෝ වයස අවුරුදු 50 පිරුනු විට සංස්ථාපිත සුභසාධක අරමුදල්වලින් තම සම්පූර්න ඉතුරුම් ලබාගත හැක. විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය හඳුන්වා දෙනු ලැබුවහොත් ඔවුන්ට මුල දී අවම වසයෙන් වසර 10ක් වැඩකිරීමට සිදු වන අතර වයස අවුරුදු 60 වනතෙක් ගෙවීම්වලට සුදුසුකම් නො ලබයි. අඩු වැටුපක් ලබන ඇඟලුම් කම්කරුවන් මාසයකට රුපියල් 1,900ක් (එක්සත් ජනපද ඩොලර් 17.27ක්) ලෙස තක්සේරු කෙරී ඇති සොච්චම් මුදලක් විශ‍්‍රාම වැටුප් ලෙස ලබනු ඇත.

පොලිස් ප‍්‍රචන්ඩත්වයට සුදුහුනු ගෑමට හා ඒ සඳහා ආන්ඩුවේ කිසිදු වගකීමක් ප‍්‍රතික්ෂේප කිරීමට ද රාජපක්ෂ කටයුතු කොට ඇත. සඳුදා ගැටුම් විමර්ශනය කිරීමට ඔහු විශ‍්‍රාම ලත් විනිසුරු මහානාම තිලකරත්න පත්කලේ ය. විමර්ශනයේ අරමුන වන්නේ නිවෙක වෙත පොලීසිය යෙදවූයේ කවුරුන්දැයි සෙවීම බව සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කලේ ය.

ජනාධිපතිගේ සහෝදරයෙක් වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පොලීසිය නො යවන ලෙස උපදෙස් දී තිබුනේ යයි පුවත්පත කියා සිටියේ ය. මෙය තකතීරු අදහසකි. ඉතාම ඉහලින් එන නියෝගයකින් තොරව එවැනි ලේවැකි ප‍්‍රහාරයක් ඇතිවිය නො හැක. විමර්ශනයේ සැබෑ ඉලක්කය වන්නේ සමස්ත නිවෙක පුරා දඩයමකට සූදානම් වෙමින් සටන්කාමී කම්කරුවන් හඳුනාගැනීම යි.