ග‍්‍රීක දේශපාලන අර්බුදය ගැඹුරුවත්ම ගෝලීය වෙලඳපොලවල් ඇද වැටෙයි

Global markets plummet as Greek political crisis deepens

By Stefan Steinberg, 17 June 2011

ග‍්‍රීසියේ අලුත්ම සිදුවීම් මෙන්ම එක්සත් ජනපදයේ දිග්ගැස්සෙන දුබල ආර්ථික තොරතුරු ගොන්න හමුවේ පසුගිය දෙදින තුල ලෝකය පුරා වෙලඳපොලවල් රිනාත්මක ප‍්‍රතිචාර දැක්වීය. 15 දිනයේ එක් අවස්ථාවක දී ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 200කටත් වඩා පහත වැටුනි. දිනය අවසානයේ කෙසේ හෝ එය ප‍්‍රකෘතිමත් වුවත් තවමත් සියයට 1.5කින් පහත වැටී ඇත. එදින ම යුරෝපීය දර්ශක පොදුවේ වැටුනු අතර එක් අවස්ථාවක දී ඕස්ටේ‍්‍රලියානු දර්ශකය මාර්තු 11 ජපාන භූ කම්පනයෙන් පසුව එහි පහත්ම මට්ටමට ඇද වැටුනි.

16 දා වන විට ඩව් ජෝන්ස් මඳ වශයෙන් යථා තත්වයට පත්වූයේ, අරමුදල් යුරෝපයෙන් පලායන තත්වය තුලය. එක් රොයිටර් වාර්තාවකට අනුව එක්සත් ජනපද "ආයෝජකයෝ යුරෝපීය බැංකු අතහැර දැමීමේ දී ඉව බව නැතිව ක‍්‍රියා කරති.” වර්තමාන අලාභයන්හි තේරුම අපේ‍්‍රල් මාසය අවසානයේ සිට ඩව් ජෝන්ස් දර්ශකය සියයට 7න් පහත වැටී ඇති බව හා මේ වසර තුල එය අත්කරගෙන තිබෙන වාසි බොහොමයක් නැතිව ගොස් ඇති බවයි.

ග‍්‍රීසිය පැත්තෙන් නය පැහැර හැරීමක් පිලිබඳව ජාත්‍යන්තර උත්සුකයන් දෝංකාර නංවමින් තෙල් මිල හා යුරෝවේ අගය තියුනු ලෙස පහත වැටුනු අතර (එජ) භාන්ඩාගාර බැඳුම්කරයන්හි මිල ඉහල ගියේය.

ග‍්‍රීක අර්බුදයේ ගැටුම්කාරී බලපෑම පිලිබඳ වෙලඳපොලවල බිය ප‍්‍රකාශයට පත් කරමින් 16 දින ග‍්‍රීක කොටස් සියයට 3න් පමන වැටුන අතර ස්පාඤ්ඤ ආන්ඩුවේ බැඳුම්කර (පිරිවැය) ඉහල නැගුනි.

මෙම සතිය මුලදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් නය වර්ගීකරන ආයතනය විසින් ග‍්‍රීක රාජ්‍ය නය හා බැංකු බුන්වත් තත්වයකට පිරිහෙලීමෙන් පසුව තවත් එවැනි ආයතනයක් වන මූඩීස් ද යුරෝපීය ප‍්‍රදේශ වෙත බැල්ම හෙලීය.

15දා එම ආයතනය ප‍්‍රන්සයේ ලොකුම බැංකු තුනක නය වර්ගීකරනය විමර්ෂනය කරමින් සිටින බව නිවේදනය කලේය. ජාත්‍යන්තර සමථ බැංකුවේ අලූත්ම දත්ත වලට අනුව ග‍්‍රීක බැංකු බිඳ වැටීමක හා රාජ්‍ය නය පැහැර හැරීමක දී ප‍්‍රන්ස බැංකු ජර්මනිය, එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍ය වැනි අනෙකුත් රටවල බැංකු වලට වඩා අලාභ ලැබිය හැක.

යුරෝපය පුරා ප‍්‍රධාන බැංකු හා ධනපති ආන්ඩුවල තරයේම අදූරදර්ශී ආයෝජන මූලෝපායන් මගින් වේගවත් කල ග‍්‍රීක ආර්ථික අර්බුදයේ ගොරහැඩි ස්වභාවය පිලිබඳ ප‍්‍රකාශනයක් ලෝක කොටස් වෙලඳපලවල වර්ධනය වන කුලප්පුවේ මනෝගතිය තුල ප‍්‍රකාශ වෙයි. පැහැදිලිව ම පෙනෙන්නට තිබෙන මහජන කෝපය එන්ට එන්ටම පෙරලිකාරී රූපයන් ගනිමින් තිබිය දී ග‍්‍රීසියේ ද සමස්ත යුරෝපයේම ද ගොඩනැගෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දලුලන නොසංසුන් කම ද වෙලඳපොලවල අස්ථාවරත්වය මගින් එසේම පිලිබිඹු කරයි.

ග‍්‍රීසියේ වැඩෙන ආර්ථික අර්බුදය කෙරෙහි ඒකාබද්ධ ප‍්‍රවේශයක් ඇතිකර ගැනීමට යුරෝපීය ඇමතිවරු මේ සතියේදී පවත්වන ලද රැස්වීම් මාලාවක දී ම අපොහොසත් වූහ. "ඉතා දුෂ්කර” යයි හඳුන්වා දුන් සාකච්ඡා වලට යුරෝපීය ඇමතිවරු 14දා සහභාගී වූහ. එක් යුරෝපීය රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකුට අනුව මෙම සාකච්ඡා සලකුනු කෙරුනේ සිය අදහස් පලකිරීම අවසානයේ ඒකාබද්ධ ප‍්‍රකාශනයක් නිකුත් කිරීමට අසමත්වූ ඇමතිවරු අතර හටගත් කටුක අඬ දබර මගිනි.

ග‍්‍රීසිය පිලිබඳව යුරෝපීය සංගමයේ ප‍්‍රතිපත්තියෙහි ප‍්‍රධාන බෙදුම් කඩනය රැඳී ඇත්තේ නය සහන සැලසීමේ දී පෞද්ගලික බැංකුවල යම් මැදිහත් වීමක් වෙනුවෙන් පෙනී සිටින ජර්මනිය හා ප‍්‍රන්සය අතරය එක්සත් ජනපද පරිපාලනය හා යුරෝපීය සංගමයේ තවත් රටවල් ගනනාවක් යුරෝපීය මධ්‍යම බැංකුවේ ආස්ථානය සමග පෙල ගැසී සිටින අතර ප‍්‍රන්සය එවන් මොනම විසඳුමකට හෝ විරෝධය පල කරයි.

ග‍්‍රීසියට නව ඇපදීමේ අරමුදලක් සඳහා යුරෝපීය සංගමයේ සාමාජිකයින් 27ම දායක විය යුතු බවට ද ජර්මනිය බලකරයි. තවත් යුරෝපීය රටවල් ගනනාවක් ද සමග බි‍්‍රතාන්‍ය ආන්ඩුව ග‍්‍රීසිය සඳහා දෙවන නය පැකේජයකට දායක වීම තරයේම ප‍්‍රතික්ෂේප කරති.

සටන්වැද සිටින ප‍්‍රධාන රටවල් දෙකේ නායකයින් වන ප‍්‍රන්ස ජනාධිපති සාකෝසි හා ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල් 17දා බර්ලිනයේදී හමුවීමට නියමිතව ඇත. නායකයින් දෙදෙනාම යම් ආකාරයක සම්මුතියකට ගෙන ඒමෙහිලා යෙදෙන වෙලඳපොලේ දැඩි පීඩනයකට හසුව සිටියි.

ඊලඟ සති අන්තයට යෙදී ඇති යුරෝපීය සංගමයේ නායක හමුවට පෙරාතුව 19දා යුරෝ කලාපීය මුදල් ඇමතිවරු ලක්සම්බර්ග්හි දී හමුවීමට නියමිත ය. ගී‍්‍රසියට දිගටම අරමුදල් සැපයීම පිලිබඳව එකඟත්වයකට පැමිනීමට අසමත් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එරටට දීමට නියමිත ඊලඟ නය වාරිකය ගෙවීම කඩාකප්පල් වනු ඇත.

එසේ වුවත් බර්ලිනය හා පැරීසිය අතර කුමන හෝ සම්මුතියක් අනිවාර්ය ප‍්‍රතිවිපාකය ලෙස සැලකෙන නව යුරෝපීය හා ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයක් නිර්මානය කිරීමට තුඩුදෙන රාජ්‍ය නය පැහැරහැරීමක් කල්දමා ගැනීම හා ග‍්‍රීසියට තාවකාලිකව හුස්ම ගැනීමේ ඉඩක් පාදාදෙන අවස්ථාවක් පමනක් වනු ඇතැයි විචාරකයින් සියල්ලෝම පාහේ එකඟත්වය පල කරති.

මේ අතර ග‍්‍රීසිය තුල ජෝර්ජ් පැපෙන්ද්‍රියෝගේ නායකත්වයෙන් යුත් පැසොක් ආන්ඩුව පන බේරාගැනීමේ සටනක නිරතව සිටියි. ජාතික එක්සත් ආන්ඩුවක් සඳහා පැපෙන්ද්‍රියෝගේ යෝජනාව ඉවත දැමූ විපක්ෂයේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ නායකයා අලුතින් මැතිවරනයක් පැවැත්විය යුතු යයි 16දා කියා සිටියේය.

පසුගිය දින ගනනාව තුල පැපෙන්ද්‍රියෝගේ ආන්ඩුවේ ඛනිෂ්ටයින් ගනනාවක් ඉවත්ව ගිය අතර එලඹෙන සතිය මුල සිදුවීමට නියමිත විශ්වාසය පලකිරීමේ ඡන්දයෙන් ආන්ඩුව බේරාගැනීමට ඔහුගේ යෝජිත කැබිනට් සංශෝධනය සෑහෙන්නේ ද යන්න සැක සහිත ය.

16දා කතිමෙරිනි පුවත්පතේ තීරුවක් තුල ස්ට‍්‍රාවෝස් ලීගිරෝස් ග‍්‍රීසියේ ගැඹුරුවන ආර්ථික හා දේශපාලන අර්බුදය පිලිබිඹු කරමින් ග‍්‍රීක ජනතාව වෙතින් පලවනු ඇති වඩාත් පෙරලිකාරී ප‍්‍රතිචාරයක් පිලිබඳව අනතුරු ඇඟවීය.

ඔහු මෙසේ සටහන් කලේය: "ග‍්‍රීසිය, ගිවිසුම (ජාමූඅ-යුරෝපීය සංගමය-යුරෝපීය මහ බැංකුව ග‍්‍රීසියට දුන් නය කොන්දේසි වලට එකඟ වීම) අත්සන් තැබීමෙන් මාස දහතුනකට පසුව පුරවැසියන් දැක ඇත්තේ රට අවපාතයේ තවත් ගැඹුරට ගිලී යමින් වඩ වඩාත් ආර්ථික හා සමාජ ව්‍යසනයන් කඩාපාත්වන තත්වයයි. බලාපොරොත්තුව බලාපොරොත්තු සුන්වීමක් බවට හැරී ඇත. මෙය අනුක‍්‍රමයෙන් කෝපය බවට පත්වෙමින් තිබේ. එවන් පුපුරන සුලු තත්වයන් යටතේ කෝපය සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් තුලින් ගමන් කිරීම වාසනාවකි. එහෙත් එය කොතරම් කලක් පවතිනු ඇත් ද?”

ඉන්පසුව ඔහු පැපෙන්ද්‍රියෝ ආන්ඩුව තම මූල්‍ය ඉලක්ක වෙත ලඟාවීමට අසමත්වී ඇතුවා පමනක් නොව "එය සමාජයේ අගනා ප‍්‍රාග්ධනය වන ඉවසීම, වේදනාකාරී පියවර හා ප‍්‍රතිසංස්කරන තුලින් වාෂ්ප කර ඇති” බව ද පෙන්වා දෙයි. පැසොක් ආන්ඩුව "ලොකු මාලුවන් ඇල්ලීමට නැත්නම් චෞර තන්ත‍්‍රයේ ප‍්‍රමුඛයන්ට අත තැබීමට අසමත්ව ඇති අතර ම මුලු බර වේතන උපයන්නන් විශ‍්‍රාමිකයින් හා නිෂ්පාදකයින් වැනි පහසු ඉලක්කයන් මත පටවා තිබේ.”

අවසාන වශයෙන් ලීගිරෝස් අනතුරු අඟවන්නේ, "දුෂ්කරතාවන්ගේ අසාධාරන බෙදීයාම අර්බුදයෙන් ගැලවීමේ ඒකාබද්ධ උත්සාහයේ සදාචාරාත්මක පදනම් කුරුවල් කර ඒ වෙනුවට ජනතාවගේ කෝපය සමාජ පිපිරීමක් බවට පත්වීමේ හැකියාව ඉහල නංවා ඇත” යනුවෙනි.