ශ‍්‍රී ලංකාවේ නිවෙක වැඩවර්ජන: පන්ති අරගලයේ පෙර ඇඟවුමකි

Sri Lankan FTZ strikes: a harbinger of the class struggle

7 June 2011

නිදහස් වෙලඳ කලාපවල (නිවෙක) කම්කරු විරෝධතා දිවයිනේ මෙන්ම ජාත්‍යන්තරවත් පන්ති අරගලයේ සන්ධිස්ථානයකි. පසුගිය දෙසතිය තිස්සේ මෙම කුඩා දිවයිනේ වැඩවර්ජන හා විරෝධතා පැන නැංගේ වෘත්තීය සමිති වලින් හා විරුද්ධ දේශපාලන පක්ෂවලින් ස්වාධීනව වීම වැදගත්ය.

විශ‍්‍රාම යෝජනා ක‍්‍රමයක් පැටවීමේ ආන්ඩුවේ සැලසුම් වලින් කෝපයට පත් කටුනායක නිවෙක කම්කරුවෝ මැයි 23 දින උද්ඝෝෂන අවලංඟු කිරීමේ සමිති තීරනය නොතකා හරිමින් දස දහස් ගනනින් වැඩ නතර කලහ. සතියකට පසුව ආන්ඩුව ප‍්‍රදේශය තුල දහස් ගනනක් පොලිසිය යොදවනු ලැබූ අතර ඔවුන් ප‍්‍රකෝපකාරී ලෙස විරෝධතාකරුවන්ට දරුනු ලෙස පහර දීමත් සමග නිවෙක කලාපයේම 40,000ක් කම්කරුවෝ වැඩ නතර කලහ.

භීතියට පත් ආන්ඩුව විශ‍්‍රාම පනත ගෙන ඒම අත්හිටවූ අතර රොෂාන් චානක රත්නසේකර යන තරුන කම්කරුවාගේ මරනය සිදුකල ප‍්‍රචන්ඩත්වය පොලිසියේ කරමතින් යැවීය. පැය ගනනාවක් ප‍්‍රතිකර්මයකින් තොරව පොලිස් ස්ථානයේ දමා සිටිය දී වෙඩි වැදුනු තුවාලයකින් අධික ලෙස සිදුවූ රුධිර වහනයවීම නිසා ජූනි 01 දින ඔහු රාගම ශික්ෂන රෝහලේදී මිය ගියේය. රටේ පොලිස් ප‍්‍රධානියා ඉල්ලා අස්වූ අතර තවත් නිලධාරීන් ගනනාවකට වෝදනා එල්ල කොට තිබේ.

මෙරට පැන නැඟි විරෝධතා මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාවේ මෙන්ම යුරෝපීය රටවලත් එක්සත් ජනපදයේත් හටගත් සමාජ කැලඹීම් වලට තුඩු දුන් පන්ති අරගලයේ නැගෙන ජාත්‍යන්තර රැල්ලක කොටසකි. ඉන්ධන හා ආහාර ද ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩ මිල තියුනු ලෙස ඉහල නැඟීමටත් කප්පාදු පියවර ක‍්‍රියාවට නැඟීම තුලින් ජීවන තත්වයන් නාටකාකාර ලෙස කාබාසීනියා වීමටත් තුඩුදී ඇති දිග්ගැස්සෙන ගෝලීය ආර්ථික අර්බුදය මෙහි ගාමක බලය වන්නේය.

දරිද්‍රතා මට්ටම්වල වැටුප් හා ජීවන තත්වයන් මුල්කරගෙන ඇඟලුම් කම්කරුවෝ කටුක අරගලයන්ට එලඹ සිටිති. 2007 පටන් ක‍්‍රියාවට නඟන ලද වැටුප් කප්පාදුව, දොට්ට දැමීම් හා පුද්ගලීකරනයට එරෙහිව ඊජිප්තු ඇඟලුම් කම්කරුවන් ගෙනගිය වැඩවර්ජන එරට තුල මෙම වසරේ හටගත් විප්ලවකාරී නැගිටීම් වලට තුඩු දුන් නොසංසුන්තාවයේ කොටසක් විය. පසුගිය සැප්තැම්බරයේ කාම්බෝජයෙහි දෙලක්ෂයක් කම්කරුවෝ උද්ධමනයට ගැලපෙන ඉහල වැටුප් ඉල්ලා දින හතරක් වැඩ වර්ජනය කලහ. දෙසැම්බරයේදී සිය වැටුප් දෙගුන කරන ලෙස ඉල්ලමින් වැඩ වර්ජනය කල දස දහස් ගනන් කම්කරුවන් හා බංග්ලාදේශ පොලිසිය අතර ඇතිවූ දරුනු ගැටුම් වලදී ඇඟලුම් කම්කරුවන් සිව් දෙනෙක් පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් විය.

කම්කරුවන් පිටුපසින් සිට ආන්ඩු හා හාම්පුතුන් සමග එලඹෙන විකුනා දැමීමේ ගිවිසුම් කම්කරුවන් මත පටවන වෘත්තීය සමිති මෙම සියලු අරගලයන්හි ප‍්‍රධාන බාධකය බවට පත්ව ඇත. වෘත්තීය සමිති වලට සියල්ලටත් වඩා ප‍්‍රමුඛ කාරනය වී ඇත්තේ "ජාත්‍යන්තර තරඟකාරිත්වය” සඳහා කම්කරුවන්ගේ වියදමෙන් තම රටවල් තුල වහල් ශ‍්‍රම කඳවුරු පවත්වා ගැනීමයි.

මෙරටේ තරුන කම්කරුවන්ගේ ප‍්‍රධාන කොටම කාන්තා කම්කරුවන්ගේ විරෝධතා පැනනංවන්නේ ඒ හා සමාන ක‍්‍රියාවලීන් මඟිනි. මිලිටරිය හා සිවිල් යුද්ධය සඳහා පුලුස්සා දැමීමට රට උකසට තබා ඩොලර් බිලියන ගනන් ලබාගෙන ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂට ආන්ඩුවේ වියදම් කපාහැර වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යුහකරන ක‍්‍රියාත්මක කල යුතුයයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) බලකරමින් සිටියි.

විශ‍්‍රාම සැලැස්මෙහි මූලික අරමුන වන්නේ කොටස් වෙලඳපොලට හා පෞද්ගලික ආයෝජකයින්ට තල්ලුවක් දීමයි.

සාමාන්‍යය වශයෙන් වසර පහක සේවා කාලයක් සම්පූර්න කර ඇති නිවෙක කම්කරුවන් අති මහත් බහුතරයකට දිගු කාලීන සහන අහිමි කරනු ඇත. යෝජනා ක‍්‍රමය සඳහා සිය වැටුපෙන් හා වැඩ අවසන් කිරීමේ දී හිමිවන වැටුපෙන් ගෙවීමට ඔවුන්ට බලකෙරෙනු ඇත. අතිකාල ද ඇතුලත්ව රුපියල් 12,000-15,000 (ඇඩො 110-135) අතර මාසික වැටුපක් සඳහා කිසිසේත්ම නොඉවසිය හැකි දිගු පැය ගනන් ද පහත් ජීවන කොන්දේසි ද යටතේ වැඩ කිරීමට තරුන කම්කරුවන්ට බලකෙරී ඇත.

මැයි 23දා සිට පැවැත්වෙන විරෝධතා පෙන්නුම් කරන්නේ සමාජ ආතතීන් ආන්ඩුව සමග පමනක් නොව වෘත්තීය සමිති සමගත් ගනුදෙනු බේරාගැනීමේ තැනකට එලඹ තිබෙන බවයි. පසුගිය සතියේ කතුවැකියක් තුල අයිලන්ඩ් පත‍්‍රය තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් සහිත රාජපක්ෂගේ ආන්ඩුව, ඔහු "පීඑස්පීඑස් යන විශ‍්‍රාම යෝජනාක‍්‍රමය කම්කරුවන්ට ගිල්ලවීමට” සමත්වනු ඇති බව විශ්වාස කලේයයි ද එහෙත් "මහා පිම්ම නිර්ලජ්ජිත මොට්ට ඇද වැටීමකින් කෙලවර වී ඇත” යනුවෙන් ද කෛරාටික ලෙස නිරීක්ෂනය කර තිබුනි.

"කම්කරුවන්ගේ විරෝධතා හමුවේ පීඑස්පීඑස් නතරවී ඇත. පාර්ලිමේන්තුව තුලින් විශ‍්‍රාම පනත සම්මත කර ගැනීමේ නොහික්මුනු තදියමක් ආන්ඩුවට තිබුනු නමුත් ශෝචනීය ලෙස එය අවසන් විය. එම වැදගත් ප‍්‍රශ්නය ගැන සාකච්ඡා වලට විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති කැඳවනවා වෙනුවට ආන්ඩුවේ වැදගත්තු සෑම කූපයකින්ම මහන්තත්වය වගුරමින් විය යුතු පරිද්දෙන්ම විශ‍්‍රාම යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන බවට හිස් වාචාල දොඩවමින් දිව්රුම් දීමට පටන් ගත්හ. (අහෝ! ඔවුන් තම හොම්බ අතගා බලනු පෙනෙන්නට තිබේ.)” කතුවැකිය එසේ පැවසීය.

අයිලන්ඩ් පත‍්‍රය කම්කරුවන්ගේ අයිතීන් පිලිබඳ විශිෂ්ඨයෙක් නොවේ. එහෙත් දීර්ග අත්දැකීමෙන් එය ධනේශ්වර පාලනයේ මුක්කුවක් ලෙස වෘත්තීය සමිතිවල අත්‍යවශ්‍ය ක‍්‍රියාකලාපය හඳුනාගෙන සිටියි. වෘත්තීය සමිති මඟහැර යාමෙන් රාජපක්ෂ වඩාත් පුලුල් කැරැල්ලක් අවුලුවාලීමට තර්ජනය කරන දිවයිනේ ගිනිගන්නා සුලු සමාජ කොන්දේසි හමුවේ ඇඟලුම් කම්කරුවන්ගේ පෙරලියක් සඳහා දොර විවර කර තිබේ. විසිපස් වසරක් තිස්සේ යුද්ධයෙන් හෙම්බත්ව සිටින වැඩකරන ජනතාව මත ආන්ඩුව ආර්ථික අර්බුදයේ බර පටවමින් සිටියි. 2009 සටන් අවසන් වීමෙන් පසුව බඩු මිල පිම්මේ ඉහල නඟින තතු මධ්‍යයේ ම ආන්ඩුව ක‍්‍රියාත්මක ලෙස වැටුප් කැටිකිරීමක් දිගටම පවත්වාගෙන යයි.

දැන් වෘත්තීය සමිති හා විරුද්ධ පක්ෂ බෙදුම්කඩනය තුලට පා නඟමින් සීමිත විරෝධතා පවත්වන අතර විශ‍්‍රාම යෝජනා ක‍්‍රමයට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට පොරොන්දු දෙති. සටන්කාමී වාචාලකම් පිටුපසින් ඔවුහු පනත අකුලා ගැනීම කෙසේ වෙතත් එය සංශෝධිත රූපයකින් යලි ක‍්‍රියාත්මක කිරීමට අදිටන්කොට සිටින ආන්ඩුව සමඟ සාකච්ඡා වලට සූදානම් වෙති. ආන්ඩුවේ හා විපක්ෂයේ සියලු පක්ෂ ද වෘත්තීය සමිති ද ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය වෙනුවෙන් කටයුතු කරන ජාමූඅ තම නිර්දේශ කෙරෙහි කිසිදු විරුද්ධත්වයක් නොඉවසන බව හොඳාකාරව දැන සිටිති.

වෘත්තීය සමිති විරෝධතා පාලනය කර ගැනීමට අසමත් වුවහොත්, ප‍්‍රහාරය සඳහා හමුදාව සූදානම් කරමින් තිබේ. 04දා ඝාතනය කල රත්නසේකර යන නිවෙක කම්කරුවාගේ අවමඟුල සඳහා යොදවන ලද හමුදා භටයෝ පල්ලිය වටකර, ශෝකයට පත්වූවන් රැස්වීම වලක්වා අවමඟුල් කථා තහනම් කරමින් පැනවූ අධිකරන නියෝගය ක‍්‍රියාත්මක කලහ. දිවයිනේ වර්ගවාදී යුද්ධයේ අවසන් මාසවලදී දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් ඝාතනය කර තිබෙන රාජපක්ෂ ආන්ඩුව සිංහල මෙන්ම දෙමල කම්කරු පන්තියට විරුද්ධව එම ක‍්‍රමෝපායන්ම යොදාගැනීමට පසුබට නොවනු ඇත.

මෙම අත්දැකීම් ශ‍්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරව ද කම්කරුවන්ට වැදගත් පාඩම් ගැබ්කර ගනියි. වෘත්තීය සමිතිවල යකඩ සැට්ටය නොබිඳ වැඩකරන ජනතාවට තම මූලික අයිතීන් රැකගැනීම සඳහා අඩියක්වත් පෙරට තැබිය නොහැකිය. කෙසේ වුවත් එසේ කිරීමේ දී ඔවුන් ආන්ඩුවට හා රාජ්‍ය යාන්ත‍්‍රනයට එරෙහිව ඊජිප්තුවේදී මෙන් විප්ලවවාදී කර්තව්‍යයන් මුනගස්වන අරගලයකට අබිමුඛ වෙයි.

තව ද නිවෙක කම්කරුවන් හොඳින්ම දන්නා පරිදි ඔවුන් සූරාකන්නේ හුදු දේශීය සමාගම් විසින් නොව සිය ව්‍යාපාර පහසුවෙන්ම වෙනත් තැනකට ගෙනයාමට සමත් ජාත්‍යන්තර සංගත විසින් ය. වැටුප් හා ජීවන තත්වයන් රැකගැනීමේ ඕනෑම අරගලයක් එය ශ‍්‍රී ලංකාවේ, බංග්ලාදේශයේ, චීනයේ, ඊජිප්තුවේ හෝ වෙනත් තැනක වේවා සිය පොදු පන්ති අවශ්‍යතා සඳහා සටන සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරිදර්ශනය මත පදනම් කරමින් ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරීම ඉල්ලා සිටියි.

අන්තර්ජාතික සංගත සඳහා දැවැන්ත ලාභ උපයා දෙන අතර, පැයකට ඇඩො 1කටත් අඩු වහල් තත්වයට නිවෙක තරුන කම්කරුවන් ගැටගසන සමාජ පර්යායක් අවසන්කර දමනු ඇත්තේ පීඩිත ජනතාවන්ගේ නායකත්වයට පත්වෙමින් කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීමට නොඅඩු කිසිවකින් නොවේ. එවන් අරගලයක් ගෙන යාමට කම්කරු පන්තියේ නව විප්ලවවාදී මහජන පක්ෂ අවශ්‍ය වෙයි. ශ‍්‍රී ලංකාවේ දී එහි අර්ථය වන්නේ සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එය ගොඩනැඟීමයි.

පීටර් සිමන්ඩ්ස්