ප‍්‍රකාශයට පත්කොට වසර 40කට පසු වොෂින්ටනය පෙන්ටගන් පති‍්‍රකා ප‍්‍රසිද්ධ කරයි

Washington releases Pentagon Papers 40 years after publication

14 June 2011,

හෙලිදරව් කර ප‍්‍රසිද්ධියට පත්කිරීමෙන් වසර 40කට පසුව පෙන්ටගන් පති‍්‍රකා නිල වසයෙන් ප‍්‍රසිද්ධ කිරීම සලකුනු කරන්නේ ඒ දශක ගනනාව තුල මාධ්‍ය හා සමස්ත දේශපාලන සංස්ථාපිතයම දකුනට මාරුවී ඇති තරමයි.

හෙලිදරව් කර ප‍්‍රසිද්ධියට පත්කිරීමෙන් වසර 40කට පසුව මේ මස 13දා එක්සත් ජනපද ජාතික ලේඛනාගාර නිලධාරින් විසින් පෙන්ටගන් පති‍්‍රකා නිල වසයෙන් ප‍්‍රසිද්ධ කිරීම සලකුනු කරන්නේ ඒ දශක ගනනාව තුල මාධ්‍ය හා සමස්ත දේශපාලන සංස්ථාපිතයම දකුනට මාරුවී ඇති තරමයි.

1971 ජුනි 13 දා නිව් යෝක් ටයිම්ස් පුවත්පත අති රහස්‍ය ලිපි ලේඛනවල පලමු කොටස ප‍්‍රසිද්ධ කිරීම වියට්නාම් යුද්ධයට මහජන විරුද්ධත්වය ගොනු කිරීම මත අර්ථභාරී භූමිකාවක් ඉෂ්ට කලේ ය.

එම ලේඛන රිචඞඩ් නික්සන්ගේ රිපබ්ලිකන් පරිපාලනය පිලිබඳව පමනක් නොව විශේෂයෙන්ම ලින්ඩන් බී. ජොන්සන්ගේ පරිපාලනය ඇතුලු එයට පෙර පැවති ඩිමොක‍්‍රටික් පරිපාලනයන් පිලිබඳව ද චෝදනා පත‍්‍රයක් විය.

නිල වසයෙන් "වියට්නාම ආරක්ෂක කාර්ය බලකා ලේකම්ගේ කාර්යාලයේ වාර්තාව” ලෙස හැඳින්වූ 1967 දී එවකට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් රොබට් මැක්නමාරාගේ උපදෙස් මත සකස් කරන ලද පිටු 7,000ක් තරම් වූ මෙම අධ්‍යයනය, වියට්නාමයට එරෙහි එක්සත් ජනපද යුද්ධය හා එය උත්සන්න කිරීමට තුඩු දුන් පිලිවෙත් පිලිබඳ සවිස්තරාත්මක අභ්‍යන්තර අධ්‍යයනයක් විය.

වාර්තාවෙන් ඇති කල ප‍්‍රධාන බලපෑම වූයේ එමගින් ගිනිකොනදිග ආසියාව තුල එක්සත් ජනපද මැදිහත් වීමට හේතු හා එය මෙහෙයවන ආකාරය පිලිබඳව එවකට පැවති පරිපාලනයන් විසින් ක‍්‍රමානුකූලව ගොතන ලද බොරු හෙලිදරවු කිරීම යි.

කලාපය තුල යුද්ධය දියත් කිරීමට අසීමිත වරපත‍්‍රයක් ලෙස කොංග‍්‍රස් යෝජනාවක් සම්මතකර ගැනීම සඳහා ජොන්සන් විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාජ හේතුව වන ඊනියා ටොන්කිං බොක්කේ සිද්ධිය වංචාවක් ලෙස එම ලේඛන මගින් හෙලිදරවු කරන ලදී. 1964 මැතිවරනයේ දී තමන් වියට්නාමයට එරෙහි "පුලුල් යුද්ධයක” නො යෙදෙන්නේ ය යන ප‍්‍රකාශ මුල්කරගෙන උද්ඝෝෂනයේ යෙදෙද්දී පවා ජොන්සන් ඒ වනවිට ත් උතුරු වියට්නාමයට තව තවත් භටයන් යැවීමට හා බෝම්බ හෙලීමට සැලසුම් සකසා තිබුනු බව එම ලේඛන මගින් වැඩිදුරටත් ඔප්පු කලේ ය.

එම වාර්තාව කලින් හෙලිදරව් නොවුනු කාම්බෝජය හා ලා ඕසය මත රහසිගත බෝම්බ හෙලීම් මෙන් ම උතුරු වියට්නාමයට එරෙහි වෙරලබඩ හදිසි ප‍්‍රහාරයන් ද ප‍්‍රසිද්ධ කලේ ය. දකුනු වියට්නාමයේ පාලක ඤෝ ඩින් ඩියම් 1963 මිලිටරි කුමන්ත‍්‍රයකින් ඝාතනය කිරීම දක්වා ඇදී ගිය සිද්ධිවල දී ඔහු බලයෙන් පහකිරීමට ජෝන් එෆ්. කෙනඩිගේ පරිපාලනය කල සැලසුම් ද ඒවා මගින් හෙලිදරවු කරන ලදී.

ලේඛනයේ වැඩිදුර කොටස් නිව් යෝක් ටයිම්ස් මගින් ප‍්‍රසිද්ධ කිරීම නැවැත්වීමට උසාවි නියෝගයක් ලබාගැනීම තුලින් පලවූ නික්සන් පරිපාලනයේ අර්ධ-ඒකාධිපති ප‍්‍රතිචාරය මෙම හෙලිදරවු කිරීම් වැලැක්වීමට හේතු විය. එක්සත් ජනපද ඉතිහාසය තුල පුවත්පතක ප‍්‍රකාශනය මැඩපැවැත්වීමට මධ්‍යම ආන්ඩුව ප‍්‍රථම වරට මැදිමත් වීම මෙයින් සලකුනු කලේ ය. කෙසේ වෙතත් දෙසතියක් ගතවූ තැන එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය එම අධිකරන නියෝගය නිෂ්ප‍්‍රභා කලේ ය.

ටයිම්ස් වෙත වාර්තාව කාන්දු කල හිටපු පෙන්ටගන නිලධාරී ඩැනියෙල් එල්ස්බර්ග් හිංසනයට ඉලක්ක විය. වසර තුනකට පසුව නික්සන්ගේ ඇදවැටීමට හේතු වූ වෝටර්ගේට් විමර්ශනය සිදු කල ඊනියා ප්ලම්බර්ස් ඒකකය එල්ස්බර්ග්ට චෝදනා නැගිය හැකි තොරතුරු සොයාගැනීමේ අපේක්ෂාවෙන් ඔහුගේ මනෝචිකිත්සකයාගේ කාර්යාලය සෝදිසි කිරීම සඳහා යෙදවීය. එල්ස්බර්ග් "අඩපන කිරීමේ” හෝ ඝාතනය කිරීමේ ඕනෑකම මත පරිපාලනය විසින් ඒ සඳහා කියුබානු සීඅයිඒ "සහායකයන්” කන්ඩායමක් සංවිධානය කර තිබුනු බව පසුව දැනගන්නට ලැබුනි. ආන්ඩුවේ මෙම තුච්ඡ අපචාර කි‍්‍රයා හෙලිවීම නිසා අධිකරන දෙපාර්තමේන්තුව තොරතුරු කාන්දු කල තැනැත්තාට චෝදනා නැගීමෙන් වැලැක්වීය.

දැනට 80 වියේ පසුවන එල්ස්බර්ග් ජාතික ලේඛනාගාරය විසින් පෙන්ටගන පති‍්‍රකා නිකුත් කිරීම පිලිකුලෙන් යුතුව බැහැර කලේ ය. වසර 40කට ආසන්න කාලයක් සියලුම පති‍්‍රකා ප‍්‍රසිද්ධියේ ලබාගත හැකිව තිබුනු අතර මේ දක්වා ඒවා රාජ්‍ය රහසක් ලෙස තබාගැනීම ආන්ඩුවේ රහස්‍ය භාවයට යටින් දිවෙන නීතිවිරෝධී අභිලාෂයන් පිලිබඳ සාක්ෂියක් බව ඔහු අවධාරනය කලේ ය.

"අපට මේ මාසයේ නිදහස් කිරීමට අවශ්‍ය වන්නේ ඉරාකය හා ඇෆ්ගනිස්ථානය (හා පාකිස්තානය, යේමනය හා ලිබියාව) පිලිබඳ පෙන්ටගන ලේඛන ය” යයි එල්ස්බර්ග් ලිවීය.

සීඑන්එන් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී එල්ස්බර්ග් සඳහන් කලේ වසර 40කට පෙර නික්සන් පරිපාලනය විසින් ඔහුට එරෙහිව සිදුකල අපරාධ ඔබාමාගේ ධවල මන්දිරය විසින් නීතියේ කඩතුරාව යටතේ දැන් සිදු කරනු ලැබිය හැකි බව යි.

ඊට "මගේ පැරනි මනෝවිශ්ලේෂකයාගේ කාර්යාලයට හොරෙන් කඩාවැදීම... අවසර රහිතව දුරකථනවලට සවන්දීම, එක්සත් ජනපදය තුල ඇමරිකානු පුරවැසියෙකුට එරෙහිව සීඅයිඒ සංවිධානය භාවිතා කිරීම හා (1971 මැයි 3දා ව්‍යවස්ථාදායක ගොඩනැගිල්ලට ඇතුල් වනවිට) මා ‘පූර්න වශයෙන් අඩපන කිරීමට’ ධවල මන්දිර ප‍්‍රහාරක කන්ඩායමකට අවසර දීම ආදිය ඇතුලත් වන්නේ” යයි ඔහු කීවේ ය. "එහෙත් පේට්රියට් (දේශාභිමානී) පනත, ෆීසා සංශෝධන පනත හා (ප‍්‍රහාරක බලකාය සඳහා) ජනාධිපති ඔබාමාගේ විධායක නියෝග සමගින් ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් හා බැරැක් ඔබාමා යටතේ ඒ සියල්ල නීත්‍යානුකූල බවට පත්ව තිබෙනවා.”

ඇත්ත වසයෙන් ම ඉරාකය හා ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද යුද අපරාධ මෙන් ම ලෝකය පුරා එක්සත් ජනපද රාජ්‍යතාන්ති‍්‍රක කුමන්ත‍්‍රන ද පිලිබඳ ලේඛන සියදහස් ගනනක් විකිලීක්ස් වෙත සම්පාදනය කිරීම යන එල්ස්බර්ග්ගේ කි‍්‍රයාවන්ට සමාන කි‍්‍රයා සිදු කලේ යයි චෝදනා පිට හමුදා සොල්දාදු බ්රැඩ්ලි මෑනිං වසරකට අධික කාලයක් තිස්සේ නඩු නොමැතිව රඳවා ගනු ලැබ ඇත. එම කාල සීමාවෙන් වැඩි කාලයක් පුරා ඔහු හුදකලාවේ රඳවා මානසික වධබන්ධනයට සමාන කොන්දේසිවලට ලක්කරනු ලැබ තිබේ.

අමූලික බොරු පදනම් කරගෙන බුෂ් පරිපාලනය විසින් දියත් කරන ලද ඉරාක හා ඇෆ්ගනිස්ථාන යුද්ධ දිගට ම ගෙන යන ඔබාමා පරිපාලනය ලිබියාව හා යේමනය තුල නීතිවිරෝධී නව ආක‍්‍රමනකාරී යුද්ධ අරඹා තිබේ.

"ඇමරිකානු ජනතාවට ඔවුන්ගේ ආන්ඩුවේ දේශපාලනික තීන්දු පිලිබඳව දැනගැනීමට අභිමානනීය අයිතියක් ඇතැයි යන ගම්‍ය එහෙත් නොවැලැක්විය හැකි නිගමනය තුල එහි අතිශය ප‍්‍රගාඪ අර්ථභාරය රැඳී ඇතැයි අපි නිගමනය කරමු” යනුවෙන් පෙන්ටගන පති‍්‍රකා නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරන ජයග‍්‍රහනය පිලිබඳව අදහස් දැක්වූ නිව් යෝක් ටයිම්ස් පත‍්‍රයේ කතුවැකියක් 1971 දී සඳහන් කලේ ය.

ටයිම්ස් පුවත්පතේ හිමිකරුවෝ හා කතුවරු පසුගිය දශකය පුරා මෙම "අභිමානනීය අයිතිය” මුලුමනින් පිලිකෙව් කර ඇත. එක්සත් ජනපදය ඉරාකය ආක‍්‍රමනය කිරීමට පෙර අවධියේ යුද්ධය සාධාරනීකරනය කිරීමට භාවිතා කල "ජන සංහාරක අවි” පිලිබඳ බොරු ප‍්‍රචාරනය කිරීමේ තීරනාත්මක වාහකයක් බවට එම පුවත්පත පත්විය.

බුෂ්ගේ ධවල මන්දිර නියෝග වලට හිස නමමින් පුවත්පතේ කතුවරු, ජාතික ආරක්ෂක ඒජන්සිය මගින් අරඹන ලද නීතිවිරෝධී දේශීය ඔත්තු බැලීමේ කි‍්‍රයාන්විතයක් හෙලිදරවු කල ලිපියක් වසරකට අධික කාලයක් තිස්සේ යටපත් කලහ. 2004 ජනාධිපතිවරනයට පෙර මෙම හෙලිදරවු කිරීම් යට ගැසූ පුවත්පතේ ස්වයං-වාරනය තුලින් බුෂ් දෙවන වරට යලි තේරී පත්වීමට උපකාර කලේ ය.

රහස් ලේඛන ප‍්‍රසිද්ධ කිරීමේ විකිලීක්ස් කි‍්‍රයාවට ප‍්‍රතිචාර ලෙස, ඇමරිකානු ජනතාවගෙන් සැඟවිය යුත්තේ කවර තොරතුරුදැ’යි නීර්නය කිරීමේ දී ධවල මන්දිරයේ හා අනෙකුත් එක්සත් ජනපද ආයතන සමග එකට වැඩකරන ටයිම්ස් පුවත්පත "දොරටුපල්ලෙක්” ලෙස තමන්ගේ භූමිකාව පිලිබඳව පුරසාරම් දොඩා තිබේ. ධූරයෙන් ඉවත්ව යන ටයිම්ස් විධායක කර්තෘ බිල් කෙලර් සඳහන් කල පරිදි ”ප‍්‍රසිද්ධ නො කිරීමට” ඇති අයිතිය, ප‍්‍රසිද්ධ කිරීමට ඇති අයිතිය තරමට ම පුවත්පතට වැදගත් වේ.

40 වසරකට පෙර පෙන්ටගන පති‍්‍රකා නඩුව තුල සැලකුනු මූලධර්ම ආරක්ෂා කිරීමට කැප වූ කන්ඩායමක් ඇමරිකානු පාලක ප‍්‍රභූව හා සංගත මාධ්‍ය තුල අද ඉතිරිව නැත. එක්සත් ජනපදය තුල පෙර නුවූවිරූ සමාජ අසමානතාවේ සහ ආර්ථික හා දේශපාලන ජීවිතය මූල්‍ය හා සංගත ප‍්‍රභූතන්ත‍්‍රයක ආධිපත්‍යය යටතේ පවතින කොන්දේසි නිදහස් මාධ්‍යයක් සමග මෙන් ම අනෙකුත් මූලික ප‍්‍රජාතාන්ත‍්‍ර අයිතීන් සමග ද නො පෑහේ.

ප‍්‍රජාතාන්ත‍්‍ර කි‍්‍රයාවලියේ මෙම කුනුවීමට අමතරව පෙන්ටගන පති‍්‍රකාවල 40වන සංවත්සර අවස්ථාවේ අවධානයට ලක්විය යුතු තවත් ප‍්‍රපංචයක් තිබේ. එනම්, වියට්නාම් යුද සමයේ පමනක් නොව ඊට පසු කාලයේ ද දේශපාලන ජීවිතයේ අර්ථභාරී සාධකයක් වූ යුද විරෝධී ව්‍යාපාරයේ අතුරුදහන් වීම යි.

මධ්‍යම පන්තික විරෝධතා කන්ඩායම්වල නායකත්වය ඩිමොක‍්‍රටික් පක්ෂය වෙත දිශාගත වීම මගින් එක්සත් ජනපදය තුල මෙම ව්‍යාපාරයේ දේශපාලනික වපසරිය සෑමවිට ම සීමා කරනු ලැබිනි. 1990 ගනන් වල පටන් මෙම දිශාගත වීම ඩිමොක‍්‍රටික් පක්ෂයට ගැඹුරින් ම ඒකාග‍්‍ර වීම හා අන් කවරදාටත් වඩා අධිරාජ්‍යවාදයට අනුගත වීම කරා එම ව්‍යාපාරය ධාවනය කර තිබේ.

ක්ලින්ටන් පරිපාලනය යටතේ මෙය සිය ප‍්‍රකාශනය අත් කර ගත්තේ මෙම සමාජ-දේශපාලනික ස්ථරයේ සැලකිය යුතු කොටසක් "මානව හිමිකම්” පිලිබඳ අධිරාජ්‍යවාදී සටන් පාඨය වැලඳගැනීම හා යුගෝස්ලාවියාව වාර්ගික රේඛා ඔස්සේ බිඳ විසුරුවීම උසිගැන්වීමේ දී අධිරාජ්‍යවාදය විසින් ඉටුකරන ලද භූමිකාව කෙරෙහි දැක්වූ මුරන්ඩු සහගත නො තැකීම මත පදනම්ව බොස්නියාවේ හා කොසෝවෝවේ එක්සත් ජනපද මැදිහත්වීම්වලට දැක්වූ සහයෝගය තුලිනි.

ඔබාමාගේ තේරී පත්වීමට විශාල ලෙස සහයෝගය දැක්වූ පැරනි-වාමාංශික මධ්‍යම පන්තික තට්ටුව තමන්ගේ භූමිකාව "වෙනසේ අපේක්ෂකයා” මත බලපෑම් කිරීම හා ඒ හරහා තමන්ට වඩාත් සුවපහසු පැවැත්මක් සහතික කරගැනීම ලෙස දැකගනිමින් විරෝධතාවලට පසුපස හැරවීය. "මානව හිමිකම්වල” නරුම පදනම මත තවත් තෙල්වලින් පොහොසත් රටක් අල්ලාගැනීමට දියත් කොට ඇති නග්න යටත් විජිත පන්නයේ යුද්ධයක් ගෙන යන ලිබියාව සම්බන්ධයෙන් ගත්කල මෙම කි‍්‍රයාදාමය එහි උච්චස්ථානයට ලඟා වී ඇත.

පෙන්ටගන පති‍්‍රකා මුල්වරට ප‍්‍රසිද්ධ කිරීමෙන් වසර හතලිහක් ගතවන තැන ප‍්‍රජාතාන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම හා යුද්ධයට එරෙහි අරගලය දියත් කරනු ලැබිය හැක්කේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත පදනම්ව කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන ලෙස බලමුලූගැන්වීමෙන් පමනි.

බිල් වෑන් ඕකන්