ධජය වටා රොක් වීම: ද කිංග්ස් ස්පීච්

Rallying round the flag: The King’s Speech

By Paul Bond , 3 February 2011

අධ්‍යක්ෂනය ටොම් හූපර්, රචනය ඩේවිඩ් සීඩ්ලර්

ද කිංග්ස් ස්පීච්

ඓතිහාසික සිදුවීම් පිලිබඳ කතා කරන චිත‍්‍රපටකරුවෙක් නිශ්චිත කර්තව්‍යයන්ට මුහුණ දෙයි. සිය කෘතිය සාර්ථක වීමට වචනයක් පාසා කෙරෙන විස්තරයක් හෝ සිදුවීම් ඒ ආකාරයෙන් කීමක් අවශ්‍ය නො වන මුත් යටතින් දිවෙන ඓතිහාසික සත්‍යය හා විචාරශීලී නියුක්තියක අංශුමාත‍්‍රයක් ඊට තිබිය යුතු ම ය. ද කිංග්ස් ස්පීච් (The King’s Speech), ඒ මත ගොඩගැසී තිබෙන අභිවාදන හා සම්මාන තිබිය දීත්, මේ අංශයෙන් බෙහෙවින් අසාර්ථක ය.

ද කිංග්ස් ස්පීච් නිශ්චිත ශක්තීන් විදහා පායි සියල්ලට ම වඩා එය මැනැවින් රඟනු ලැබ ඇත. තව ද එය අනපේක්ෂිත හා හටගැනීමට ඉඩ අඩු මිතුදමක් ඔස්සේ සිය ගොතගැසීම ජයගනු පිනිස අරගල කරන මිනිසකු පිළිබඳ නිරූපනය වටා සාපේක්ෂ වසයෙන් සංවේදී ව කේන්ද්‍රගත වෙයි. මේ තේමාවෙන් චිත‍්‍රපටියට ලැබී තිබෙන්නේ කෙතරම් නම් උනුසුමක් හා කාන්තියක් ද? ළමා වියේ පටන් තමන්ට තිබූ කථන ආබාධය සමග පොරබදන බර්ටි (ඇල්බර්ට් යන්නෙහි කෙටි යෙදුම), යෝර්ක්හි ආදිපාදවරයා සහ පසු ව එංගලන්තයේ සය වැනි ජෝර්ජ් රජු ලෙස කොලින් ෆර්ත් සිත් කාවදිනසුළු රංගනයක් ඉදිරිපත් කරයි.

එසේ වුව, කතාව රඳා පවත්නේ 1930 ගණන්වල හා වඩා පොදුවේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය සහ එහි භූමිකාව පිළිබඳ අවිවේචනාත්මක වූ ද බොහෝ විට බැතිබර වූ ද දෘෂ්ටියක් මත ය. මේ තේමා දෙක සුවපහසු ලෙස එක ළඟ නොහිදී.

බර්ටි යනු පරුෂ හා හිංසාකාරී පස්වැනි ජෝර්ජ්ගේ (මයිකල් ගැම්බන්) පුතු ය. සිය ගොතගැසීම නිසා ඔහුට ප‍්‍රසිද්ධ කතා පැවැත්වීම දුෂ්කර වෙයි. චිත‍්‍රපටය, ඔහුට සිය ගොතය මගහරවා ගැනීම සඳහා ක‍්‍රමවේද උගන්වන, කථන චිකිත්සකයකු බවට පෙරලුනු අසාර්ථක නලුවකු වූ ලයනල් ලෝග් (ජෙෆ්රි රෂ්) වෙත අකමැත්තෙන් යන ගමන් චිත‍්‍රනය කරයි. සිත් ඇදගන්නා රංගනයක යෙදෙන රෂ්, ලෝග් භූමිකාව රඟ දක්වන්නේ පීඩිතයාට උපකාර කිරීමට සිය උපරි ම වෑයම දරන ශිෂ්ටසම්පන්න හා ත්‍යාගශීලී මිනිසකු ලෙසිනි.

ලෝග් සිටින දර්ශන රාජකීය ගර්වය කෙරෙහි කිසියම් විවේචනාත්මක පහරක් එල්ල කරන මුත් අවඥාව වැඩි දුර ගමන් කරන්නේ නැත. බර්ටි සහ ඔහුගේ බිරිය එලිසබෙත් (හෙලේනා බොන්හැම් කාටර්) සරදමට ලක් වන්නේ ඉතා මඳ වශයෙනි. කථනයෙහි ගුනාංග පිලිබඳ චිත‍්‍රපටියක නලුවන් කෙරේ පැනෙන ආකර්ෂනය ප‍්‍රකට ව පෙනේ. චිත‍්‍රපටියට අතිශය කුශලතා පූර්න නලුනිලි කැලක් සිටින අතර සිත් කාවදිනසුලු කටහඬවලින් එය ගහන ව තිබේ. ගැම්බන්, ඩෙරෙක් ජැකොබි, ක්ලෙයාර් බ්ලූම් සහ අන්‍යයන්ගේ පොහොසත් කටහඬින් වට කිරීම මගින් බර්ටිගේ කථන අපහසුතා අවධාරනය කෙරේ. කෙසේ වතුදු, මෙය වනාහි රාජකීයයන් සහිත මයි ලෙෆ්ට් ෆුට් (My Left Foot) නම් නො වේ.

සිදු වූ පරිදි ම බර්ටිගේ ගොතය ජය ගැනීම අධ්‍යක්ෂනය කෙරුනු දේශපාලන ක‍්‍රියාවක් හැටියට නිරූපනය කොට තිබේ. එහෙත් ගැටලු පවතින්නේ මේ නිරූපනය තුල ය. චිත‍්‍රපටය සිදුවීම් ඉදිරිපත් කරන ආකාරය, යුද්ධය අතරතුර - "බ්‍රිතාන්‍යයේ අනර්ඝතම පැය” ලෙස යුදකාලීන ජාතික එකමුතුව පිලිබඳ නිරූපනයේ කොටසක් හැටියට නිර්මානය කෙරුනු හා එවක පටන් ශ‍්‍රද්ධාපරවශ ව පුනරුච්චාරනය කෙරුනු ප‍්‍රචාරය සමග අවශ්‍යයෙන් ම ගැලපෙයි.

බර්ටිගේ ගොතගැසීම සම්බන්ධයෙන් ගත් කල පවා චිත‍්‍රපටිය ඉදිරිපත් කරන්නේ ඔහුගේ කථා පැවැත්වීමේ ප‍්‍රතිඵල පිලිබඳ දෙවැනි පාර්ශ්වීය හා සාවද්‍ය විස්තරයකි. සත්තකින් ම යුද කාලීන අගමැති වින්ස්්ටන් චර්චිල් ජෝර්ජ්ගේ කථාවල ගොතගැසීම් සංස්කරනය කරන මෙන් බීබීසීයට උපදෙස් දුන්නේ ය.

චිත‍්‍රපටියේ දුර්වලතාවන්ගේ හදවතේ ම පවත්නේ පස්වැනි ජෝර්ජ්ගේ මරනින් පසු හටගත් ව්‍යවස්ථාමය අර්බුදය පිලිබඳ යම් පමනකට නොගැඹුරු හා සැර බාල කෙරුනු විස්තරය යි. ජෝර්ජ්ගේ වැඩිමහලු පුත් ඩේවිඩ් (ගයි පියර්ස් විසින් කෙරුනු අනර්ඝතම නිරූපනයක්) අටවැනි එඩ්වර්ඩ් ලෙස සිංහාසනාරූඪ විය. වරක් දික්කසාද වූ හා දෙවන සැමියා සමග එතෙකුදු විවාහයේ සිටි ඇමෙරිකානු සමාජශීලිනියක වූ වොලිස් සිම්ප්සන් (ඊව් බෙස්ට්) සමග ඔහුට පැවති සබඳතාව සහ කිරුල දරා සිටිය දී ඇයව විවාහ කරගැනීමෙහිලා ප‍්‍රකාශිත අභිලාශය, පිලිගත නොහැක්කක් සේ සලකනු ලැබිනි.

සිම්ප්සන්ගේ දික්කසාදය සහ එක්සත් ජනපද මාධ්‍ය මගින් (බි‍්‍රතාන්‍ය මාධ්‍යයට එවැනි වාර්තාකරනයෙන් වලකන නිල වාරන නියෝගයකින් මුකවාඩම් ලා තිබිනි) යුවලගේ සබඳතාව ප‍්‍රසිද්ධියට පත් කිරීමත් සමග එංගලන්ත සභාවේ ප‍්‍රධානියා ලෙස රාජාන්ඩුවෙහි ගෞරවය සුරක්ෂිත කිරීමේ වියරු සූදානමක් සිදු කෙරිනි. වසරක් තුල ඔහු බර්ටි හට සය වැනි ජෝර්ජ් බවට පත් වීමේ ඉඩ සලසමින් රජකම අත් හලේ ය. නිලය අත්හැරීම පිලිබඳ අර්බුදය පොදුවේ ඉතිහාසයට එක් ව ඇත්තේ මෙපරිදි ය. එහෙත් සිදුවීම්වල මතුපිටට යටින් හිට්ලර්ගේ නාසි පක්ෂය සමග සිම්ප්සන් සහ එඩ්වර්ඩ්ගේ සමීප සබඳතා පිලිබඳ වෙනත් බෙහෙවින් ම දේශපාලනික ව අන්තරායකර වූ උත්සුකයන් පැවතිනි.

සිම්ප්සන්ට ඇය සබඳතාවක් පැවැත්වූ විදේශ ඇමැති ජෝකිම් වොන් රිබන්ට්රොප් (Joachim von Ribbentrop) ඇතුලු ප‍්‍රමුඛ නාසීන් සමග බොහෝ සමීප බැඳීම් විය. ධුරය අත්හැරීමෙන් මඳ කලකට පසු යුවල හිට්ලර්ගේ අමුත්තන් වශයෙන් බැවේරියාවෙහි ගත කලහ. නාසි ආක‍්‍රමනයකින් පසු කිරුලට යලි පත් වනු පිනිස යුවලට වූ අභිලාෂය ඉන් පසු පුවත්පත් මගින් අනාවරනය කරනු ලැබී ය.

ෆැසිස්ට්වාදයට ලැබුනු විවෘත රාජකීය සහාය දේශපාලනික ව දුෂ්කර විය. අගමැති ස්ටැන්ලි බෝල්ඩ්වින් ඉල්ලා අස් විය. එක්සත් ජනපද ජනාධිපති රූස්වෙල්ට් ද එඩ්වඩ්ගේ ෆැසිස්ට් සහානුභූතීන් පිලිබඳ බලවත් සැලකිල්ලක් දැක්වී ය. බර්ක්ස් පියරේජ්හි (Burke’s Peerage)හි ප‍්‍රකාශන අධ්‍යක්ෂ හැරල්ඩ් බ්රූක්ස් බේකර්ගේ වචනවලින් කියතොත් ඇය "ඔහුට නාසි හිතවාදී රජකු හා ගනුදෙනු කිරීමට සිදු වීමෙන් වැලකූ හෙයින්” රූස්වෙල්ට් සිම්ප්සන් සැලකුවේ සිදු විය හැකි ව තිබූ "හොඳ ම දෙය” හැටියට ය.

එඩ්වඩ්ට ඇය විවාහ කරගැනීමට බි‍්‍රතාන්‍ය ආන්ඩුව අවසර නොදුන්නේ ඇගේ නාසි සහානුභූතීන් නිසා බවත් ඔවුන් රාජ්‍ය රහස් නාසීන්ට ලබා දෙන්නේ දැයි රාජකීය යුවල පිලිබඳ ඔත්තු බලනු පිනිස එෆ්.බී.අයි සංවිධානය ඒජන්තයන් පවා යැවූ බවත් සඳහන් කරන 1940 ගනන්වල සම්පාදිත එෆ්.බී.අයි ලිපිගොනු 2003 දී ප‍්‍රසිද්ධියට පත් කෙරිනි.

චිත‍්‍රපටිය, එය කල යුතු පරිද්දෙන් ම ඔවුන්ගේ සහානුභූතීන් පිලිගනියි. යුරෝපයෙහි විප්ලවවාදී ව්‍යාපාරයක් ගැන අනතුරු ඇඟවූ කල්හි ‘හර් හිට්ලර් ඔවුන් ගැන බලාගනීවි’ යි එඩ්වඩ් අවධාරනය කරයි. මෙය "කොමියුනිස්ට්වාදය සදහට ම කුඩුපට්ටම් කරදැමීමට ජර්මනිය දිරිගැන්වීම වනාහි බි‍්‍රතාන්‍යයේත් යුරෝපයේත් යහපත පිනිස වන්නේ ය” යි ප‍්‍රකාශ කරමින් ඔහු නිව්යෝර්ක් ඩේලි නිවුස් පුවත්පතට ලියූ ලිපිය ප‍්‍රතිරාව නංවයි.

එසේ වුවත් මීට විසංසන්දනාත්මක ව, ද කිංග්ස් ස්පීච් බර්ටි හා එලිසබෙත් ඇතුලු පවුලේ සෙසු පිරිස පිලිබඳ සැර බාල කෙරුනු නිරූපනය ප‍්‍රතිරාව නංවයි. අර්බුදය ජයගැනීම නිරූපනය කොට ඇත්තේ ජර්මනිය තුල ෆැසිස්ට්වාදයේ වැඩීමට එරෙහි මහජන විරෝධයේ මුදුනෙහි යහපත් හා පුද්ගලික ව ධෛර්යසම්පන්න රජකුගේ නායකත්වය යටතේ රාජාන්ඩුව රඳවමිනි.

චර්චිල් (මෙහි දී නම් තිමති ස්පාල් අපතේ යැවීමකි), හිට්ලර් පිලිබඳ ඔහුගේ සැලකිලිමත් වීම හේතු කොට ගෙන දකිනු ලැබ ඇත්තේ ජෝර්ජ්ගේ මහා සහායකයා හැටියට ය. බෝල්ඩ්වින් (ඇන්තනි ඇන්ඩෲස්) හිට්ලර් සම්බන්ධයෙන් "චර්චිල් දිගට ම නිවැරදි වී” ය යි කියමින් 1937 දී සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කරයි. චිත‍්‍රපටිය චර්චිල් අසහාය දුරදක්නා නාසි විරෝධී නායකයා ලෙස පෙන්නුම් කෙරුනු යුදකාලීන ප‍්‍රචාරයට ඉන්ධන දමයි. යථාර්ථයේ දී බි‍්‍රතාන්‍යයේ අභිලාෂයන්ට නාසි ජර්මනියෙන් එල්ල වූ තර්ජනය පිලිබඳ චර්චිල්ගේ උත්සුකය එඩ්වඩ් රජකමින් ඉවත් කිරීමට සහාය දීම දක්වා ගමන් කලේ නැත. ඒ වෙනුවට ඔහු නායකත්වය දෙන්නේ "රජුගේ පක්ෂයකට ය” යි කතා පැතිර යන තරමට බලවත් පරිශ‍්‍රමයක් දැරුවේ එඩ්වඩ් සිහසුනෙහි තබාගැනුමට ය.

අනුප‍්‍රාප්තියෙන් අනතුරු ව ජෝර්ජ් සහ බිරිය දෙදෙනා ම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය ආරක්ෂා කරගැනීමේ අටියෙන් සංහිඳියාව ට සහාය දැක්වූහ. 1939 දී යුදෙව් සරනාගතයින් රහසේ පලස්තීනයට යමින් සිටින බව දැනගත් පසු "මේ මිනිසුන් තමන්ගේ මුල් රට හැර යාම වැලැක්වීමට පියවර ගනිමින් තිබෙන බව සිතීම සතුටට කරුනකි” යි ජෝර්ජ් විදේශ ලේකම් හැලිෆැක්ස් සාමිවරයාට ලිවී ය.

යුදෙව්වන්ගේ "අනවසර සංක‍්‍රමනය අඩාල කිරීමට” නාසීන් දිරිගන්වන මෙන් හැලිෆැක්ස් බර්ලිනයේ බි‍්‍රතාන්‍ය තානාපතිවරයාට ටෙලිග‍්‍රාෆ් පනිවිඩයක් යැවී ය. පසු ව මව් රැජින වූ එලිසබෙත්, සංහිඳියාව පිලිබඳ දීර්ඝකාලීන උපදේශකයකු වූ හැලිෆැක්ස්ට සමීප වූවා ය. ඔහු හා සමීප සම්මුතියක් පල කෙරෙන බැව් සැලකෙන ඇගේ ඇතැම් පත‍්‍රිකා අදටත් යටපත් කරනු ලැබ තිබේ.

මෙහි සිත්ගන්නාසුලු කතාවක් ඇත. එහෙත් අධ්‍යක්ෂ ටොම් හූපර් සහ රචක ඩේවිඩ් සීල්ඩර් නැවත නැවතත් සිය ප‍්‍රහාරය ඉවතට ඇදගනිති. මෙය වනාහි නිල මිථ්‍යා නිර්මානය කෙරෙහි බෙහෙවින් ම අවිවේචනාත්මක වූ චිත‍්‍රපටියකි. හූපර් ද කිංග්ස් ස්පීච් සමර්පනය කරන්නේ යුද්ධය අතරතුර රාජකීය ගුවන් හමුදාවේ සිටිය දී මිය ගිය සිය සීයාට ය. හෙතෙම මෙය "අනවශ්‍ය මරනයක්” හැටියට විස්තර කොට තිබේ. ඔහුගේ ගුවන් යානය මෙහෙයුමකින් අනතුරු ව පෙරලා එමින් තිබිය දී ආසන්නතම ගුවන්තොටට ගොඩබැසීමේ අවසරය නොලැබීම නිසා කඩා වැටිනි.

නිෂ්පාදන සටහන්වලින් උපුටන්නේ නම්, ඔහුට අනුව මේ චිත‍්‍රපටිය "සිය ජනතාව ආවේශගන්වමින් ඔවුන් සටනේ දී එක්සත් කරන” නායකයකු ලෙස ඉස්මතු ව එන සයවැනි ජෝර්ජ් පිලිබඳ ව ය. එය කූටප‍්‍රාප්ත වන්නේ 1939දී කෙරුනු ජෝර්ජ්ගේ පලමු යුදකාලීන නත්තල් කතාවෙනි. අභිමානවත් සංගීතයේ පිටුබලය ඇති ව අපව පුනපුනා ගුවන්විදුලි ස්ටුඩියෝවෙන් ඡේදනය කරමින් රට පුරා නිවෙස් හා කම්හල්වල සිටින අසන්නන්ගේ ප‍්‍රීතියෙන් පිනාගිය මුහුනු වෙත යොමු කරනු ලැබේ. මුලු චිත‍්‍රපටයේ ම දක්නට ලැබෙන එක ම සාමාන්‍ය ජන සමූහය මෙය වන තරම් ය. ඔහු කතාව සමාප්ත කල විට, අන්තිමේ ඔහු වෙත දිනාගැනුනු ජනකායගේ සුබපැතුම් ලැබීමට ජෝර්ජ් සහ එලිසබෙත් බකිංහැම් මාලිගයේ සඳලුතලයට යති.

අදාල සැබෑ උත්සුකයන් පිලිබඳ ඉඳ හිට පල වන ඉඟි තිබේ. පස්වැනි ජෝර්ජ්ගේ මරනයට ප‍්‍රථම බර්ටි සහ ඔහුගේ පියා විකල්ප තුනක් සාකච්ඡා කරති. "අපත්, ජැක්බූට්කාරයිනුත් නිර්ධන පන්තික අගාධයත් අතර සිටගනු ඇත්තේ කවුද?”

පසු අවස්ථාවක ඔහු අටවැනි එඩ්වඩ් සමග දිගහැරෙමින් පවති දේශපාලන වාතාවරනය ගැන සාකච්ඡා කරන්නේ යුරෝපාකරය පුරා රාජකීය පවුල්වලට එල්ල ව ඇති විප්ලවවාදී තර්ජන පිලිබඳ අනතුරු අඟවමිනි. තමන් "රජකරමින්” කාර්ය බහුල ව උන් බව එඩ්වඩ් පවසයි. "රජකිරීම වනාහි අඩමාන වැඩකි”යි බර්ටි පිලිතුරු දෙයි.

චිත‍්‍රපටිය සම්බන්ධයෙන් ගත් කල සමාජ විප්ලවයේ අවදානම පිලිබඳ සඳහන් ඒ සා කුටිල ය. මෙය එහි අනුකූලතාවාදී පනිවිඩය වෙනුවෙන් හානිපූරනය කරන්නේ නැත. අත්‍යසාමාන්‍ය කතාවක් තුල ජෝර්ජ් චිත‍්‍රපටයේ තර්කය සමුච්චිත කරයි.

"මා රජෙක් නම්, මගේ බලය කොහි ද? මට යුද ප‍්‍රකාශ කල හැකි ද? ආන්ඩුවක් පිහිටුවිය හැකි ? බද්දක් පැනවිය හැකි ද? නැත. එහෙත් මා කතා කරන කල්හි මා ඔවුන් වෙනුවෙන් කතා කරතියි ඔවුන් සිතන නිසා සකලවිධ අධිකාරයේ අසුන මම වෙමි!

රාජාන්ඩුව බි‍්‍රතාන්‍ය රාජ්‍යයේ හිනිපෙත්තෙහි සිටිමින් එම රාජ්‍යයේ දේශපාලන උත්සුකයන් මගින් හැඩගැන්වෙන ඔවුන් අන් සියලු දෙනා මෙන් ම භාවමය ක්ෂතීන් සහිත - රාජ්‍යයේ ප‍්‍රධානීන් හැටියට එය වඩා වැඩියෙන් අසීරු වීම පමනක් සිදු වන - පවුල් විෂයයක් හැටියට නිරූපනය කෙරෙන ද කිංග්ස් ස්පීච් වනාහි රාජාන්ඩුව කෙරෙහි බොහෝ සෙයින් සානුකම්පික හා ඒ පිලිබඳ නිපදවුනු තරමක් යල් පිනූ චිත‍්‍රපට මාලාවක නවතම කෘතිය පමනි. ලෝග් සිය අමුත්තාගේ අනන්‍යතාව දැනගැනීමට පලමු ඔහු නොදැනුවත් ව රාජකීය පවුල සහ ගිවිසුම්ගත දාසභාවය සංසන්දනය කරයි. එය "ඊට සමාන යමක්” බව පවසමින් එලිසබෙත් එකඟ වෙයි. එවන් ප‍්‍රවිෂ්ටයක ඇත්තේ අල්ප වූ අගයකි.