"ධනවත්කමේ වෙනස” චීන සමුලු සැසිය තුල අධිකාරය දරයි

“Wealth gap” dominates Chinese congress session

By Mike Head, 9 March 2011

දින දහයක් පුරා පැවැත්වෙන, මාර්තු 05 වන දින බීජිනයේ දී ආරම්භ වූ මේ වසරේ චීන පාලන තන්ත‍්‍රයෙහි වාර්ෂික ජාතික මහජන සමුලුව (එන්පීසී) තුල දැවැන්ත ආර්ථික, සමාජ හා දේශපාලන ප‍්‍රතිවිරෝධතා පෙනෙන්නට තිබුනි.

අගමැති වෙන් ජියාබාවෝ පැය දෙකක් තිස්සේ ඉදිරිපත් කල සිය වාර්තාව පටන් ගත්තේ, පසුගිය පස්වසර තුල අත් කර ගත් "විශිෂ්ට ජයග‍්‍රහන” ලැයිස්තුවක් සමග සියයට 11.2ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් හා චීනයේ "ජාත්‍යන්තර කීර්තිය හා බලපෑම” සැලකිය යුතු තරමින් වර්ධනය වීම පිලිබඳව පුරසාරම් දොඩවමිනි. ගෙවීගිය පස් වසරේ ආන්ඩුවේ කටයුතු පිලිබඳව මෙම ජයග‍්‍රහන, "චීන අංගලක්ෂන සහිත සමාජවාදයේ ජයග‍්‍රහනයන්” පිලිබඳ සාක්ෂි දරන බව ඔහු කියා සිටියේ ය.

චීනයේ බෙලි කැඩෙන ධනේශ්වර සංවර්ධනය හමුවේ විහිදී ගිය මෙම අසාමාන්‍ය ප‍්‍රකාශනය එසේ තිබිය දී ම වෙන්, වැඩෙන නොසංසුන්තාවයක් උද්ගත කර තිබෙන උද්ධමනය, තරමට වඩා රත් වූ වර්ධනය හා ධනවතුන් ද දුප්පතුන් ද අතර පුලුල් වන ආගාධය පිලිබඳව කඩිනම් විසඳුමක අවශ්‍යතාවය ගැන සඳහන් කලේ ය.

"අපගේ සියලු කටයුතුවල ආරම්භක ලක්ෂ්‍යය හා අරමුන, මහජනතාව පලමු තැන තබමින් ඔවුන්ගේ දිවි පැවැත්ම නඟාසිටුවීම සඳහා වගබලා ගැනීමයි.” වෙන් පැවසීය. වාර්ෂික ආර්ථික වර්ධනය සියයට 7 දක්වා පහතට ගෙන ඒම, "හැකිතාක් ඉක්මනින්” ආදායම් පරතරය අඩු කිරීම, බොහෝ මිනිසුන්ට නිවසක අයිතිය ලඟාකරගත නොහැකි ඉලක්කයක් බවට පත්කර ඇති නිශ්චල දේපල වටිනාකම් පහත හෙලීම හා 2020 වන විට "මූලික වශයෙන් දුප්පත්කම පිටුදැකීම” පවා ඇතුලත් නොපැහැදිලි සැලැස්මක් ඔහු ගෙනහැර දැක්වීය.

ඔහු අමන්ත‍්‍රනය කල 3,000ක් පමන ඇහිඳගත් "මහජන නියෝජිතයින්ගේ” සංකලනය, පසුගිය දශක දෙක පුරා පෘතුල ලෙස නැඟී ආ චීන ධනවාදය මූර්තිමත් කලේ ය. එම සංඛ්‍යාවට ඇතුලත් වූ ව්‍යාපාර ගැති පක්ෂ ක‍්‍රියාකාරීන් රොත්ත අතර මිලියන 400ක් වන චීන කම්කරු පන්තියට අත්‍යන්තයෙන් ම සතුරු පන්ති අවශ්‍යතාවන් සහිත චීනයේ ධන කුවේරයන් සමහරෙක් ද විය.

විනාඩියෙන් විනාඩිය සම්මේලනය වාර්තා කරන වෝල් ස්ටී‍්‍රට් ජර්නලයේ වෙබ් අඩවියට අනුව, බ්ලූම්බර්ග් විසින් පලකල ලිපියක් ආශ‍්‍රිතව සමුලුවට පෙර දිනයේ "සාකච්ඡාවක් ඇවිලුනි.” ෂැන්හයිහි හුරුන් යන පර්යේෂක කන්ඩායමේ චීන ධනකුවේරයින් පිලිබඳ අලූත්ම වාර්තාවක් මේ ලිපිය මඟින් ඉස්මතු කර තිබුනි.

හුරුන් ධනවතුන්ගේ ලැයිස්තුවේ යුආන් ප‍්‍රකෝටිපතියන් ලෙස හඳුනා ගත් පුද්ගලයින් 1,363 දෙනාගෙන් 83 දෙනෙක්ම සමුලුවේ නියෝජිතයින් අතර සිටින බව බ්ලූම්බර්ග් සඳහන් කලේ ය. වහාහා ගෲප් සිසිල්බීම නිෂ්පාදකයින්ගේ සභාපති වන එක්සත් ජනපද ඩොලර් බිලියන 12 ක් යයි ගනන් බලා ඇති වත්කම් වලට හිමිකම් කියන චීනයේ ලොකු ම පොහොසතා සොන් ක්වින්හෝ ද ඊට අයත් වෙයි. හුරුන් ලැයිස්තුව පදනම් කර ගනිමින්, පොහොසත් ම එන්පීසී සාමාජිකයින් 70 දෙනා යුආන් බිලියන 493.1 හෝ දල වශයෙන් ඩොලර් බිලියන 75ක ඒකාබද්ධ ධනස්කන්ධයකට හිමිකම් කියන බව බ්ලූම්බර්ග් ගනන් බලා ඇත.

මේ අනුව චීන කොන්ග‍්‍රසය, සිය එක්සත් ජනපද සහකරුවාට ද වඩා ධන කුවේරයන් සංකේන්ද්‍රනය කරන සමුලුවක් බවට පත් කර තිබේ. වොෂින්ටනයේ පරියේෂක කන්ඩායමක් වන සෙන්ටර් ෆෝ රෙස්පොන්සිව් පොලිටික්ස්, එක්සත් ජනපදයේ සෙනේට් හා කොන්ග‍්‍රස් සභා සාමාජිකයින් අතර වැඩිම සල්ලිකාරයින් 70 දෙනා සතු ඒකාබද්ධ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 3.1 ක් ලෙස තක්සේරු කර ඇත. කොන්ග‍්‍රස් සභා තොරතුරු වලට අනුව එක්සත් ජනපද කොන්ග‍්‍රස් සභික කැලිෆෝනියාවේ ඩැරල් ඉසා එහි පොහොසත්ම පුද්ගලයා වන අතර, 2009 වසරේ මිලියන 451.1ක වත්කමකට හිමිකම් කීවේ ය. ඊට වැඩි වත්කම් තිබෙන චීනයේ එන්පීසී නියෝජිතයින් අඩුම තරමින් 38 දෙනෙක්වත් සිටිති.

ප‍්‍රකෝටිපතියන් එන්පීසීහි අධිකාරය දැරීමට පටන් ගත්තේ චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) දශකයකට පෙර ධනපතියන්ට එය තුලට ඇතුල්වීමට ඉඩ සැලසීමෙන් පසුව ය. හුරුන් පොහොසත් ලැයිස්තුවේ යුආන් ප‍්‍රකෝටිපතියන් 1363 අතරින් තුනෙන් එකක්ම සීසීපී සාමාජිකයින් වන අතර ඉන් 173 දෙනෙකු ආන්ඩුවේ වැදගත් උපදේශක තනතුරු දරයි.

චීන ව්‍යාපාරික ප‍්‍රභූව හා එහි සීසීපී මිතුරන් අත අසීමිත ධනයක් සංකේන්ද්‍රනය වීම පිලිබඳ මෙම සංඛ්‍යා හුදෙක් අයිස් කුට්ටියේ මතුපිට තුඩ පමනි. තම ලැයිස්තුවට එක්සත් ජනපද ඩොලර් වලින් ප‍්‍රකාශිත ප‍්‍රකෝටිපතියන් 189 දෙනෙක් ඇතුලත් බව හුරුන් සඳහන් කරයි. එහෙත් ධනවත්කම ප‍්‍රකාශයට පත් නොකිරීමේ හේතුව මත එවන් බොහෝ දෙනෙක් තමන්ට අතහැරී ඇති බව ද කෙසේ වෙතත්, ඩොලර් වලින් ගනන් බලන ලෝකයේ වැඩිම සංඛ්‍යාවක් වන ප‍්‍රකෝටිපතියන් චීනයේ සිටින බවට එනම් 400ත් 500ත් අතර, එය ගනන් බලයි.

දේපල සංවර්ධනය ප‍්‍රමුඛ වන අතර සෞඛ්‍ය සේවා, තොරතුරු තාක්ෂනය, සිල්ලර වෙලඳාම හා ඇඟලුම් කර්මාන්තය ඊලඟට දායක වෙමින් සාමාන්‍ය වශයෙන් පසුගිය දෙවසර තුල, පොහොසතුන්ගේ ඒකාබද්ධ වත්කම් සියයට 64න් වැඩි වී තිබේ. හුරුන් ලැයිස්තුවේ සාමාන්‍ය අගය දැන් ඩොලර් මිලියන 577කි. බි‍්‍රතාන්‍යයේ ලොකුම ධනවතුන් 1,000 සාමාන්‍ය අගය මිලියන 536කි. මිලියන 722ක් වන එක්සත් ජනපදයට වඩා චීනය පසුපසින් සිටින්නේ මඳ වශයෙනි.

සීසීපී තන්ත‍්‍රය පැටව් ගසා ඇති ධන කුවේරයින් පිටුපසින් තවත් වැදගත් ස්ථරයක් සිටියි. බිලියන 1.3 ක් වන රටේ ජනගහනයෙන් සියයට 0.1 කටත් වඩා අඩු පුද්ගලයින් 875,000 කගේ පුද්ගල වත්කම් යුආන් මිලියන 10කට එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 1.5ට, වැඩි ය. මෙයින් පුද්ගලයින් 55,000ක් දෙනාගෙන් එකිනෙකා සතු වත්කම යුආන් මිලියන 100කට වැඩි ය.

සමාජයේ ප‍්‍රතිවිරුද්ධ කොනේ නිල දරිද්‍රතා රේඛාව අනුව, වසරකට එක් පුද්ගලයෙකුට වැටෙන්නේ යන්තමින් යුආන් 1,196ක් නැත්නම් දිනකට ඇමරිකානු ඩොලර් ශත පනහකි. ෂින්හුවා ප‍්‍රවෘත්ති සේවයට අනුව මිලියන 150ක චීන ජනතාවක් ජීවත් වන්නේ දිනකට ඩොලර් දෙකකටත් අඩු ආදායමකිනි. එම සංඛ්‍යාව බෙහෙවින් අඩු තක්සේරුකර ඇතුවා නිසැක ය. නිල අනුපාතය සියයට 4.9ක් වන නැඟී යන උද්ධමනය හා දේපල මිල ගනන් නිසා සංක‍්‍රමනික කම්කරුවන්ට හා නාගරික තරුනයින්ට ජීවත්වීමට සරිලන දැරිය හැකි ස්ථාන සොයාගත නොහැකි තත්වය තුල බීජිනයේ සිට ගුවන්ෂෝ දක්වා නගර අවට පැල්පත් ගොඩනැගෙමින් තිබේ.

චීනය තුල ආදායම බෙදීයාම ගනනය කරන දර්ශකය වන ගිනි කාර්යක්ෂමතා මාපකය වසර විසි පහකට පෙර තිබුනු 0.3 සිට 0.5 දක්වා වැඩි වී තිබේ. වෝල් ස්ටී‍්‍රට් ජර්නලය වෙත මෙසේ කියා තිබුනේ බීජිං පොදු විශ්ව විද්‍යාලයේ ආර්ථික හා ව්‍යාපාර පිලිබඳ මහාචාර්ය ලී සී විසින් ය. ඒකක 0.4 ලක්ෂ්‍යය විශ්ලේෂකයින් සලකන්නේ සමාජ නොසංසුන්තාවයේ දර්ශකය ලෙසයි.

එන්පීසී රැස්වුන අවස්ථාවේ පොහොසත්ම නියෝජිතයා වන සොන් ක්වින්හෝ තම පන්තියේ මනෝ භාවයට හඬ කැවීය. මාර්තු 1දා බීජිංහි දී මාධ්‍යකරුවන් අමතා කථාකරමින් ඔහු, ඉහල බදු හා යුරෝපීය මාදිලියේ ශුභසාධන වැඩ සටහන් හෙලා දුටුවේ ය. එවන් පිලිවෙත් අනුගමනය කරන ජාතීන් "තමන්ගේ මුදල් අවසන් වූ විට අමාරුවේ වැටෙනු ඇත. ධනවත්තු රැකියා බිහිකරමින් සිය මුදල් ආයෝජනය කරති. ධනවතුන් සියලුදෙන මියඇදුන හොත් කිසිවෙකුත් ආයෝජනය හෝ කර්මාන්තශාලා ගොඩනංවනු නැත.”

තම සිසිල්බීම කර්මාන්තයේ කම්හල් 58ක් සහිතව 30,000ක ශ‍්‍රමිකයන් සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති සොන්, පැහැදිලිව ම කථා කරන්නේ බීජිං තන්ත‍්‍රයේ පිටුබලය ඇතිව ය. මාර්තු 06 දින එන්පීසී මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ඔහු "අපට කල යුතු හොඳම දෙය වන්නේ තමන්ට ම උදව් කරගන්නේ කෙසේ ද හා මහන්සි වී වැඩ කිරීමෙන් පොහොසත් වන්නේ කෙසේ ද යන්න පිලිබඳව ඔවුන්ට (දුප්පතුන්ට) කියා දීමය” යනුවෙන් පැවසී ය.

එවන් අවශ්‍යතා ආරක්ෂා කිරීමේ අටියෙන් හා වැඩෙන අසතුට පිලිබඳ බියෙන් පසුවන බීජිං තන්ත‍්‍රය, සිය අභ්‍යන්තර ආරක්ෂක යාන්ත‍්‍රනය නඟා සිටුවමින් සිටිති. එන්පීසීය වෙත ඉදිරිපත් කල මූදල් අමාත්‍යාංයේ අයවැය වාර්තාවකින්, මෙම වසරේ රාජ්‍ය ආරක්ෂාව, පොලීසිය, අධිකරනය, සිවිල් ආරක්ෂක භටකායන් හා සිර ගෙවල් වැනි කටයුතු සඳහා ඩොලර් බිලියන 95ක් හෙවත් යුආන් බිලියන 624.4ක් වන පරිදි වියදම් සියයට 16න් වැඩිකරන බව පෙන්වා දුන්නේ ය.

මෙහි අර්ථය වන්නේ සීසීපීය මිලිටරියට වඩා දේශීය ආරක්ෂාව සඳහා වියදම් කරන බවය. මිලිටරි වියදම් සියයට 12.7න්, ඩොලර් බිලියන 91.5ක් හෙවත් යුආන් බිලියන 601.1 දක්වා වැඩි කෙරේ.

පෙරමුනු දෙකෙහි ම සැබෑ වියදම එයට වඩා බෙහෙවින් වැඩිවිය හැකිය. මිලිටරි අයවැයට ප‍්‍රධාන වියදම් ක්ෂේත‍්‍රයක් වන අවි ආනයනය ඇතුලත් නොවන අතර ආරක්ෂක අයවැයට සියලු රහසිගත සුපරික්ෂාකරන ඇතුලත් නොවේ. සිය සමාරම්භක කථාවේ දී අගමැති වෙන්, අභ්‍යන්තර වියදම් අන්තර්ජාල පාලනය කරා යොමුකල යුතු යයි යෝජනා කලේය. "අපි අපගේ තොරතුරු හා රහස්‍ය භාවය ආරක්ෂා කිරීම වැඩිදියුනු කල යුතු වෙමු. එසේම තොරතුරු කලමනාකරන ජාලයන් ද වැඩිදියුනු කල යුතුය.” ඔහු පැවසීය.

ප‍්‍රකට ලෙසම චීන නායකත්වය, දෙසැම්බර් මැද භාගයේ පටන් මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාව පුරා පැන නැඟුනු වර්ගයේ නැගිටීම් කෙරෙහි බියපත්ව සිටිති. සැබෑ විරෝධතා පිලිබඳව ඇත්තේ සලකුනු ස්වල්පයක් වන නමුත් පසුගිය සති තුන තුල ආරක්ෂක සේවාවන්, සෑම ඉරිදාවක ම, නිහඬ "විරෝධතා” සඳහා කෙරෙන නිර්නාමික අන්තර්ජාල මාර්ගස්ථ කැඳවුම් කෙරෙහි පලවන ප‍්‍රතිචාර දැඩි ලෙස මැඬ පැවැත්වීය.

ආරක්ෂාව තරකිරීමට සපුරා පටහැනි ආකාරයට, පසුගිය වසරේ සෞඛ්‍ය සේවය සඳහා වියදම පැවතියේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.2ක මට්ටමේ ය. මෙම වසර තුල එම වියදම සියයට 16.3න් දල වශයෙන් ඩොලර් බිලියන 26 දක්වා වැඩිකිරීමට යෝජනා කෙරී ඇතත්, ඒ අනුව එක් පුද්ගලයෙකුට වැටෙන්නේ ඩොලර් 3.80ක් හෙවත් යුවාන් 25ක් පමනි. එසේම 2010 අයවැයෙන් අධ්‍යාපනයට කරන වියදම ද දදේනි සියයට 3.1කි. ලෝක බැංකු දත්ත වලට අනුව මධ්‍යම මට්ටමේ ආදායම්ලාභී රටවල සාමාන්‍යයට වඩා එය අඩු අගයකි.

වෙලඳපොල ආශ‍්‍රයෙන් සිදුවන වර්ධනය ජීවන තත්වය ඉහල නැංවීම සඳහා යොදාගන්නා බවට චීන පාලනය කරන සියලු මැතිරීම් මධ්‍යයේ වැඩ කරන ජනතාව පසු පසට වැටෙමින් තිබේ. ජාතික සංවර්ධන හා ප‍්‍රතිසංස්කරන කොමිසමට අනුව පසුගිය පස් වසරේ කම්කරුවන්ගේ ආදායම පලදායීතාවයේ හා දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අනුකූල වී ඇත්තේ චීනයේ පලාත් 27න් තුනක හා ස්වාධීන කලාපවල පමනි.