විස්කොන්සින්හි කෙරෙන තනි පක්ෂ යුද්ධය

One-sided war in Wisconsin

25 February 2011

විස්කොන්සින්හි කෙරීගෙන යන මහා විරෝධතාවයන්ට සම්බන්ධ සිද්ධීන් දෙකක් මෙම ප‍්‍රාන්ත රාජ්‍යයන් තුල පමනක් නො ව ඇමරිකා එක්සත් ජනපදය පුරා කම්කරුවන්ගේ ජීවන තත්වයන් බිඳ දැමීමට පාලක පන්ති අධිෂ්ඨානය කොතරම් රුදුරු දැයි අවධාරනයෙන් පෙන්නුම් කරයි.

ඉන්දියානා ප‍්‍රාන්තයේ නියෝජ්‍ය නීතිපති වූ ජෙෆ් ෆොක්ස් නම් රිපබ්ලිකන් පාක්ෂිකයා මදර් ජෝන්ස් නම් ලිබරල් සඟරාවට කියා සිටියේ විස්කොන්සින් ප‍්‍රාන්තයේ විරෝධතාකරුවන්ට විරුද්ධව "ජීව උන්ඩ” පාවිච්චි කල යුතු බව ය. සුබ සාධන කප්පාදු ද කම්කරුවන්ගේ නිත්‍යානුකූල අයිතිවාසිකම්වලට එරෙහි ව එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට ද එරෙහිව විරෝධතාවය දක්වන කම්කරුවන් "දේශපාලන සතුරන්” සහ "මැරවරයන්” යයි විස්තර කරමින් ඔහු මෙසේ ප‍්‍රකාශ කලේ ය: "ඔබ හරියට හරි ය. මා කියන්නේ මාරක බලය පාවිච්චි කල යුතු යයි කියා ය.” අට වසරක් තිස්සේ රාජ්‍ය නීතිඥයෙකු ලෙස සේවය කර ඇති ඔහු පසුගිය බදාදා එම සඟරාව විසින් ඔහුගේ ප‍්‍රකාශය පල කල පසු සේවයෙන් පහ කරන ලදි.

නිව්යෝක් ප‍්‍රාන්තයේ බෆලෝහි වෘත්තීය සමිති වෙබ් අඩවියක වාර්තා කරුවෙක් අඟහරුවාදා තමා බිලියනපති ඩේවිඩ් ක්ලොක් යයි පෙනී සිටිමින් විස්කොන්සින් ආන්ඩුකාර ස්කොට් වෝකර්ට කතා කර මෙසේ ඇසී ය: ඩේවිඩ් ක්ලොක් යනු මහා කොම්පැනි විසින් කෙරෙන සමිති බිඳීමේ ද අතිදක්ෂිනාංශික ටී පාර්ටි ව්‍යාපාරයේ ද ප‍්‍රධාන ආධාරකාරයෙකි. ඉයන් මර්ෆි නමැති වාර්තාකරුවා ඩේවිඩ් ක්ලොක් දුන් පිලිතුර පටිගත කර බදාදා ප‍්‍රචාරය කලේ ය.

මිනිත්තු 20ක් පමන ගත වූ මෙම සාකච්ඡාව තුල දී ප‍්‍රකෝපකාරී පිලිතුරු ගනනාවක් ම රිපබ්ලිකානු ආන්ඩුකාරවරයාගෙන් ලබා ගැනීමට මර්ෆි සමත් විය. වෘත්තීය සමිති විරෝධී තම පනත් සම්මතවීම වැලැක්වීමට එම ප‍්‍රාන්තයෙන් පලා ගිය ඩිමොක‍්‍රටික් පාක්ෂික ප‍්‍රාන්ත සෙනෙට් මන්ත‍්‍රීවරුන්ට එරෙහිව අපරාධ චෝදනා නැගිය යුතු යයි වෝකර් යෝජනා කලේ ය. තමාගේ විරුද්ධවාදීන් සමග සාකච්ඡා කිරීම සඳහා බේස්බෝල් පිත්තක් මුගුරක් සේ යොදා ගත යුතු යයි කියා සිටි ඔහු රාජ්‍ය මන්ත‍්‍රී මන්ඩලය ඉදිරිපිට පෙලපාලි දක්වන්නවුන් අතර "කලබලකාරී කඩාකප්පල්කරුවන් රිංගවීමේ” වාසි සහ අවාසි ගැන ද ඔහු කතා කලේ ය.

මෙම රැවටිල්ලට අසු වී ඔහු කල කතාව අතරෙන් වඩාත් සැලකිල්ලට ගත යුතු එහෙත් ඉතාම අඩුවෙන් වාර්තා කර තිබුනු කොටස තිබුනේ අන්තිමට ය. එහි දී ඔහු පසුගිය පෙබරවාරි 6 දා තමාගේ ඇමති මන්ඩලය සමග කල සාකච්ඡාවක් මතක් කලේ ය. රොනල්ඩ් රීගන්ගේ සියවන ජන්ම දිනය සලකුනු කරමින් කතා කල වෝකර් "රීගන්ගේ දේශපාලන චර්යාවේ හුදෙක් ඔහුගේ ජනාධිපති ධුරය පමනක් නො ව, තීරනාත්මක මොහොත වූයේ ගුවන් හමුදා ගමන් පරිපාලකයන්ගේ වැඩ වර්ජනය කඩාකප්පල් කොට ඔවුන් රැකියාවෙන් අස් කර දැමූ අවස්ථාව යයි” කීවේ ය. වෝකර් තම කැබිනට් මන්ඩලයට කියා සිටියේ විස්කොන්සින්හි එලඹෙන ගැටුම "ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීමට අපට මොහොත ය” යයි කියා ය.

මෙම එලිදරව් කිරීම් දෙක ඇමරිකානු මාධ්‍ය විසින් සාමාන්‍යයෙන් සඟවනු ලබන දේශපාලන යථාර්ථය පිලිබඳ දැකීම් ක්ෂනයක් ලබා දෙයි: නිර්දය භාවය සහ කෲරත්වය හුදෙක් පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධ කාරනාවක් නොව; සමස්ත සමාජ පන්තියක ම ස්වාභාවයයි. වෝකර් සහ කොක්ස් කතා කරන්නේ හුදෙක් ඔවුන් සඳහා ම නොවේ; සිය අරමුනු සාක්ෂාත් කර ගැනීමට ප‍්‍රචන්ඩත්වය යොදාගැනීමට සූදානම් වන වරප‍්‍රසාදිත මූල්‍ය ප‍්‍රභූව වෙනුවෙන් ය. මොවුන් යොදාගත් භාෂාව ඊජිප්තුවේ මුබාරක් හෝ ලිබියාවේ ගඩාෆි කෲර ප‍්‍රහාරයට සූදානම් වන අවස්ථාවේ යොදාගත් භාෂාවට සමාන ය.

වෝකර් සහ ඔහුගේ සගයෝ රාජ්‍ය සේවකයන්ට එරෙහි ප‍්‍රහාර දකින්නේ අසම්බන්ධිත විවිධ සිද්ධීන් මාලාවක් හැටියට නො වේ. කම්කරු පන්තිය කුඩු කොට දමා කාලයාගේ හෝරා යන්ත‍්‍රය දශක ගනනාවකින් ආපසු කැරකවීමට අවස්ථාවක් හැටියට ය. ඉලක්කය ව ඇත්තේ කම්කරුවන්ගේ සමාජ අයිතිවාසිකම් ය. මෙම ප‍්‍රහාරය ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකේම නායකත්වයේ සම්බන්ධය ඇතිව ප‍්‍රාන්ත රාජ්‍යයන් සහ ෆෙඩරල් ආන්ඩුව විසින් ද රට පුරාම ගෙන යනු ලබන මහා ප‍්‍රහාරයක කොටසකි.

තමන් මැදි වී ඇති ගැටුමේ ස්වභාවය කුමක් දැයි කම්කරුවන් විසින් වටහා ගත යුතු ව ඇත. ඔවුන් මුහුන දී සිටින්නේ, යුද්ධ ප‍්‍රකාශ කර ඇති පාලකයන් ප‍්‍රභූවකට ය. පාලක පන්තිය තමන්ගේ ඉලක්කයන් ජය ගැනීම සඳහා දැනුවත් ව වැඩ කරන පක්ෂ දෙකක් සහිත ව දේශපාලන වසයෙන් බලමුලු ගැන්වී සිටින අතර කම්කරුවන්ට මෙම ප‍්‍රහාරයට මුහුන දී ජනගහනයේ අතිමහත් වැඩි කොටසකගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකියාව ඇති මහා ජනතා සංවිධාන ගොඩනගා ගත නො හැකි ව තිබේ.

කම්කරු පන්තිය පසෙක තිබියේ වා තමන් ව ආරක්ෂා කර ගැනීමට වුව ද ඇමරිකානු වෘත්තීය සමිතිවලට නො හැකි ය. විස්කොන්සින් ප‍්‍රාන්තයේ රාජ්‍ය නිලධාරීන් සහ ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිවල නියෝජිතයෝ වෝකර් පාලනය විසින් වැටුප් ද සුබසාධන ද වැඩපලවල කම්කරුවන් භුක්ති විඳින අයිතිවාසිකම් ද සියල්ල කපා දැමිය යුතු යයි කෙරෙන සියලුම ඉල්ලීම් විවෘත ව වැලඳ ගෙන සිටිති. මෙම වෘත්තීය සමිති නිලධාරීන් විරුද්ධ වන්නේ සමිති සාමාජික මුදල් වැටුපින් කපා ගැනීම ද වෘත්තීය සමිති ඉබේ පිලිගැනීම ද අවසන් කරන්නා වූ තමන්ගේ ආදායමට තට්ටු වන පාලක ඉල්ලීම්වලට පමනි.

කම්කරු නිලධාරීන් සහ පාලකයන් අතර සහයෝගිතාවයේ ද කොමියුනිස්ට් විරෝධයේ ද පන්ති අරගලය ප‍්‍රතික්ෂේප කිරීමේ ද "කම්කරු පන්තිය” යන වචනය තහනම් කර "මධ්‍යම පන්තිය” යන වචනය යොදා ගත් දශක ගනනාවක් තුල වෘත්තීය සමිතිවල අවශ්‍යතාවයන් කම්කරු පන්තියේ අවශ්‍යතාවයන්ගෙන් මුලුමනින් ම වෙන් කරනු ලැබ ඇත.

තමන්ගේ දුෂ්ට ලෙස හම්බ කර ගනු ලැබූ ධනය ආරක්ෂා කර ගැනීම සඳහා පාලක පන්තිය නිර්දය යුද්ධයක යෙදී සිටිය දී වෘත්තීය සමිති මූල්‍ය වංශාධිපතිත්වයේ ධනය අත්පත් කර ගැනීම මත පදනම් වූ කම්කරු පන්තිය බලයට ගෙනඑන්නා වූ සමාජවාදී අරගලයකට අශමනීය ලෙස විරුද්ධ ව සිටිති.

ඒ වෙනුවට ඔවුහු කම්කරු පන්තිය මහ ධනපති පන්තියේ පක්ෂයක් වන ඩිමොක‍්‍රටික් පක්ෂයට දේශපාලනික ව බැඳ දමති. රිපබ්ලිකන් පක්ෂයට නො අඩු ලෙස ඩිමොක‍්‍රටික් පක්ෂයේ නියෝජිතයෝ ද මහා සංගතවල ලාභ සහ මහ ධනපතියන්ගේ ධනය ආරක්ෂා කිරීමට බැඳී සිටිති. රාජ්‍යයක් රාජ්‍යයක් පාසා ඩිමොක‍්‍රටික් පාක්ෂික ආන්ඩුකාරයෝ ද වෝකර් පරිද්දෙන් ම රාජ්‍ය සේවකයන්ගෙන් එක හා සමාන ඉල්ලීම් කරති. වෙනසකට ඇත්තේ ඔවුන් කම්කරුවන්ගෙන් වාසි උදුරා ගැනීම සඳහා වෘත්තීය සමිති යොදා ගැනීමට වඩාත් නැඹුරු වී සිටීම ය.

සත්තකින් ම ඔබාමා පාලනාධිකාරය වනාහි කම්කරු පන්තියට එරෙහි මූල්‍ය වංශාධිකාරයන් විසින් ගෙන යන යුද්ධයේ ප‍්‍රධාන ඒජන්සීන්ගෙන් එකකි. වෝල් වීදියේ විධායකයන්ට බෝනස් ද බැංකු ඇප දී බේරා ගැනීම සඳහා ද ටි‍්‍රලියන ගනන් වගුරු වන ඔබාමා පාලනාධිකාරය බංකොලොත් රාජ්‍ය හා පලාත් පාලනයන්ට ආධාර කිරීම දැඩි ව ප‍්‍රතික්ෂේප කරයි. ඔබාමා මත් ෆෙඩරල් කම්කරුවන් මත වැටුප් කැටි කිරීම පටවමින් වැඩ කරන ජනතාවට එරෙහිව දරුනු ලෙස එල්ල කෙරුනු කප්පාදුවලින් සමන්විත අයවැය ලේඛනයක් සකස් කරමින් සිටී.

මහා අවපාතයෙන් පසු ධනේශ්වර පද්ධතියේ සිදු වූ දැවැන්ත ම අර්බුදයෙන් අවුරුදු තුනක් ගතවීමෙන් පසු ඇමරිකානු දේශපාලන පද්ධතිය විසින් තමන්ගේ පන්ති ස්වභාවය කුමක් ද යන්න අතිශයින් ම දුෂ්ට ආකාරයට හෙලිදරව් කර තිබේ. පාසල් ගුරුවරුන් ද වීදි අතුගාන්නන් ද "උවමනාවට වඩා පඩි ලබන වරප‍්‍රසාදිතයන් ය” යි හංවඩු ගසන අතර බිලියනපතියන් සහ මහා සංගත බේරා ගැනීම සඳහා ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙකේ ම උදවිය වැඩට බැස සිටිති.

විස්කොන්සින් ප‍්‍රාන්තයේ මිලියන ගනන් වැඩ කරන ජනතාවට මෙම සිද්ධීන් විසින් නිකුත් කර ඇත්තේ වහා ඇස් ඇරිය යුතු ය යන කැඳවුම යි. කම්කරු පන්තිය මෙය වටහා ගත යුතු ය: තමන් යෙදී සිටින්නේ බරපතල සහ දිග්ගැසුනු අරගලයකට ය. මෙය පන්ති සතුරෝ මැනවින් වටහා ගෙන සිටිති. විස්කොන්සින්හි ගැටුම් ද වෙනත් ප‍්‍රාන්තවල සහ රාජ්‍යවල ගැටුම් ද හුදෙකලා වෙන් වෙන් සටන් නො වේ. එය වනාහි රටපුරා සිදු වන පන්ති යුද්ධයක කොටස් ය.

මෙම අරගලය දිනීමට නම් කම්කරු පන්තියට නව දේශපාලන ඉදිරිදර්ශනයක් සහ නව සටන් සංවිධානයන් අවශ්‍ය ය. කම්කරුවන් විසින් දැනුවත් ව ධනපති පන්තියට එරෙහි අරගලය සියතට ගත යුතු ය. අධ්‍යාපනය, නිවාස, සෞඛ්‍ය සේවා වැනි අවශ්‍යතාවයන් සඳහා "මුදල් නැති ය” යන කතාවලට පිලිතුරු ලෙස බිලියන පතියන්ගේ ධනය ජනසතු කොට මහා සංගතයන් පොදු අයිතියට පවරා ගත යුතු ය යන ඉල්ලීම් ඉදිරිපත් කල යුතු ය.

මෙහි අර්ථය නම් ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂයන්ගෙන් දේශපාලනික ව මුලුමනින් ම වෙන් වී ගෙන සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තිය තුල සමාජවාදය සඳහා ද ජාත්‍යන්තරවාදය සඳහා ද සටන් කරන මහා පක්ෂය ලෙසට ගොඩනැගිය යුතු ය.

පැටි‍්‍රක් මාර්ටින්