වෝකර් ගෙදර යා යුතුයි ! විස්කොන්සින්හි මහා වැඩ වර්ජනයක් සඳහා !

Walker must go! For a general strike in Wisconsin!

3 March 2011

අඟහරුවාදා විස්කොන්සින් ආන්ඩුකාර ස්කොට් වෝකර් විසින් ඉදිරිපත් කරන ලද අයවැය ප‍්‍රාන්තය පුරා කම්කරුවන් අතර ප‍්‍රගාඪ කම්පනයක් හා වෛරයක් නිර්මානය කර තිබේ. තමන් ප‍්‍රතිමුඛ වී සිටින්නේ සිය ජීවන මට්ටම් උග‍්‍ර ලෙස පහත හෙලීමේ ද තීරනාත්මක සමාජ සේවාවන් හා ප‍්‍රතිලාභ විනාශ කිරීමේ ද සිය ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උදුරාගැනීමේ ද නිර්දය ප‍්‍රහාරයකට බව ලක්ෂ සංඛ්‍යාත විස්කොන්සින් කම්කරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට දැන් පැහැදිලි වී ඇත.

බොහෝ දුරට, මහා සංගතවල බදු අනුපාතික දැවැන්ත ලෙස අඩු කිරීමට ඔහු මෑත දී ගත් පියවර මගින්, නිර්මානය කෙරී ඇති අයවැය හිඟයක් පියවීම පිනිස වෝකර් ප‍්‍රාන්තයේ අයවැයෙන් අඩු ගනනේ ඩොලර් බිලියන 1.5ක කප්පාදු ඉල්ලා සිටී.

මෙම කප්පාදුවලට මේවා ඇතුලත් වේ:

එක ශිෂ්‍යයකු සඳහා දල වසයෙන් ඩොලර් 500ක කප්පාදුවක් බවට පත් වන පරිදි, ප‍්‍රාන්තය පුරා අධ්‍යාපනයට වෙන් කරන මුදල්වලින් ඩොලර් මිලියන 900කට වඩා කපා හැරීමක් ඇතුලුව, පාසල්වලට ලබා දෙන ආධාරවලින් හා පලාත් පාලන ආයතනවලට ලබා දෙන මුදල්වලින් ඩොලර් බිලියන 1.25ක් කපා දැමීම.

විස්කොන්සින් වැසියන්ගෙන් මිලියනකට වැඩි ප‍්‍රමානයක් සඳහා තීරනාත්මක වන ප‍්‍රාන්ත සෞඛ්‍ය වැඩසටහන්වලට මුදල් සපයන මෙඩිකේඩ් ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 500ක් කප්පාදු කිරීම. අඩු ආදායම් ලබන හා රක්ෂන ආවරන රහිත වැඩිහිටියන් ද ලමුන් සහිත පවුල් ද මත මෙයින් ඇති කරන බලපෑම විනාශකාරී වනු ඇත.

විස්කොන්සින් විශ්වවිද්‍යාලය සඳහා ලබා දෙන මුදල්වලින් ඩොලර් මිලියන 250ක් කප්පාදු කෙරෙනු ඇත. එපමනක් නොව, ඉහල සංගතවල අවශ්‍යතාවන්ට සේවය කරන සැලසුමක කොටසක් ලෙස, විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ මැඩිසන් ශාඛාව ප‍්‍රාන්ත පද්ධතියෙන් ඉවත් කෙරෙනු ඇත. මෙය විස්කොන්සින් විශ්වවිද්‍යාල සේවකයන් 17,000කගේ වැටුප් හා වැඩපොල අයිතීන් කප්පාදු කරනු ඇති අතර එලඹෙන දෙවසර තුල විද්‍යාල අධ්‍යාපන ගාස්තු තියුනු ලෙස ඉහල නැගීමට ද තුඩු දෙනු ඇත.

වෝකර්ගේ අයවැය ලේඛනය යුද ප‍්‍රකාශ කිරීමකි. සාමුහික කේවලය අහෝසි කර දැමීමේ අමතර ඉල්ලීම ද ඔහු එයට ඇතුලත් කිරීම ඔහුගේ අයවැය යෝජනාවලින් තර්කානුකුලව ගලා එයි. ඔහු ඉල්ලා සිටින කප්පාදු "කේවලය” විහිලුවක් බවට පත් කරයි. ඒ මක් නිසා ද කිය තොත්, ඔහුගේ අයවැය යෝජනා, ඒවායේ ස්වභාවය මගින් ම, ඔහුගේ ඒකාපාර්ශ්වික ඉල්ලීම්වලට කම්කරුවන් මුලුමනින්ම යටත්වීමක් ඉල්ලා සිටින බැවිනි.

නිරතුරුව ම පුනරුච්චාරනය කෙරෙන සමිති නිලධාරින්ගේ ආස්ථානය -- සාමුහික කේවලය අවසන් කර දැමීමට ඔහු කරන ඉල්ලීම අකුලා ගැනීමට ඔහු එකඟ වන්නේ නම් පමනක් වෝකර්ගේ අයවැය කප්පාදු පිලිගැනීමට තමන් සූදානම් ය යන්න -- නිවටකමක් පමනක් නොව, විස්කොන්සින්හි පවත්නා දේශපාලනික යථාර්ථය අනතුරුදායක ලෙස මඟහැරීමක් ද නියෝජනය කරයි.

බැංකුවල හා කර්මාන්තවල ධනපති හාම්පුතුන්ගේ අවශ්‍යතා අනුව කි‍්‍රයා කරන ප‍්‍රාන්ත ආන්ඩුවල ආඥාවන් පිලිගැනීමට සමිති සූදානම් නම් "සාමුහික කේවලය”යන පදයට කිසිදු අර්ථයක් නැත. සාමුහික කේවලය යන්න ත්‍යාගශීලී සංගත විසින් කම්කරුවන්ට දෙනු ලැබූ අවසර පත‍්‍රයක රූපාකාරයෙන් පැන නැඟි දෙයක් නොවේ. එය ධනපති පන්තිය අතින් උදුරා ගනු ලැබුවේ, නිමක් නැති දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ ජීවිත බිලිගත්, සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා දශක ගනනාවක් තිස්සේ ගෙන ගිය කටුක අරගලයක් තුලිනි. අවසන් විග‍්‍රහයේ දී, සාමුහික කේවලය පැවතියේ, ධනපති පන්තියේ ද පලාත් බද, ප‍්‍රාන්ත හා ෆෙඩරල් ආන්ඩුවේ සිටින එහි දේශපාලනික කුලීකරුවන්ගේ ද ක්ෂමාවිරහිත භාවය පරදා ජය ගනු වස් වර්ජන අවිය යොදා ගැනීමට කම්කරුවන් සූදානම්ව සිටිතාක් දුරට පමනි.

වෝකර්ගේ අයවැය, තවමත් නෛතිකව නොවේ නම්, ප‍්‍රායෝගිකව, සාමුහික කේවලයේ කඩාවැටීම සනිටුහන් කරයි. ඔහුගේ පාලනාධිකාරය මෘග හා සමාජීයව ව්‍යසනකාරී අයවැයක් විස්කොන්සින් වැඩ කරන ජනයාගේ හා ඔවුන්ගේ පවුල්වල උගුරෙන් පහලට තල්ලු කිරීමට කි‍්‍රයා කරයි.

මෙම දේශපාලනික යථාර්ථයට විස්කොන්සින් කම්කරු පන්තිය ප‍්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?

ප‍්‍රාන්ත අගනුවර පවත්වන විරෝධතා ප‍්‍රමානවත් නොවන බවත් තමන් සිය අරගලය උත්සන්න කල යුතු බවත් යන්න පිලිබඳ අවබෝ්ධයක් වින්කොන්සින් පුරා වැඩ කරන ජනතාව අතර මෑත දිනවල වැඩෙමින් පවතී.

කම්කරු පන්තියේ මහා වැඩ වර්ජනයක් සඳහා මනෝගතියක් වැඩෙමින් ඇත. සිය සාමුහික ශක්තිය දැවැන්ත පරිමානයෙන් බලමුලු ගැන්වීම හැර ඊට අඩු පියවරක්, වෝකර් පාලනාධිකාරයේ ප‍්‍රහාර ආපසු හැරවීම සඳහා ප‍්‍රමානවත් නොවේ යන අවබෝධය කරා, වින්කොන්සින් කම්කරුවෝ, පෙර නොවූ විරූ තරම් විශාල සංඛ්‍යාවකින්, ලඟා වෙමින් සිටී.

මෙම මනෝගිතය යුක්තියුක්ත වන අතර විස්කොන්සින් තුල සහ වඩ වඩා එක්සත් ජනපදය පුරා පවතින දේශපාලන යථාර්ථයට අනුරූප වේ. සාමුහික කේවලය කඩාවැටීමට, එනම්, බලය පාවිච්චි කිරීමේ ව්‍යංග තර්ජනය ද සහිතව කම්කරුවන් මත නොඉවසිය හැකි හා පිලිගත නොහැකි ඉල්ලීම් පැනවීමට රාජ්‍යය දරන උත්සාහයට, ප‍්‍රගාඪ වෛෂයික අර්ථභාරයක් පවතී. පාලක පන්තිය වැඩ කරන ජනතාවට මෙසේ පවසයි: "අපි සාකච්ඡා නොකරමු. අපි ඉල්ලා සිටිමු. ඔබ අපගේ කොන්දේසි පිලිගත යුතුය.”

තථ්‍ය වසයෙන් ගත් කල, මෙයින් සනිටුහන් කෙරෙන්නේ පන්ති අතර සම්මුතියේ අවසානයයි. මහා වැඩ වර්ජනයක් සඳහා නැගෙන මනෝගතියට පිටුපසින් පවතින්නේ කම්කරුවන් අතර මෙම දේශපාලන යථාර්ථය පිලිබඳ වැඩෙන අවබෝධයයි.

මෙම නිගමනය කරා පැමින ඇති කම්කරුවන් මහා වැඩ වර්ජනයක් සඳහා ගාමකය ගොඩනැගීම අවශ්‍යය. මහා වැඩ වර්ජනයක් පිලිබඳ කතා කිරීම එය සැබැවින්ම සූදානම් කිරීම දෙසට හැරවිය යුතුය.

මහා වැඩ වර්ජනයක් සාකච්ඡා කිරීම, විවාද කිරීම සහ ඒ ගැන යෝජනාවක් පිලිබඳව ඡන්දය විමසීම පිනිස සෑම වැඩපොලකම රැස්වීම් කැඳවිය යුතුය. මහා වැඩ වර්ජනයක් සඳහා සැලකිය යුතු සහයෝගයක් පවතින සෑම තැනකම, මෙම කි‍්‍රයාමාර්ගය සූදානම් කරනු පිනිස, සමිති නිලධාරින්ගෙන් ස්වාධීන සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටු තැනිය යුතුය.

මෙම ව්‍යාපාරය මහා වැඩ වර්ජනයක් සඳහා වූ කැඳවුම පහත දැක්වෙන ඉල්ලීම් මත පදනම් කල යුතුය:

⋆ විස්කොන්සින් කම්කරුවන් මත පනවනු ලබන සියලු ආර්ථික සහන මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කිරීම. ඒ වෙනුවට, බැංකුවල සාපරාධී සමපේක්ෂක කි‍්‍රයාකාරකම් හේතු කොටගෙන ඇති වූ තුන් වසරක ආර්ථික පසුබැස්ම මගින් නිර්මිත දැවෙන ගැටලු ජයගනු වස් සමාජ වියදම් ඉහල දැමිය යුතුය.

⋆සාකච්ඡා කිරීමට ද සිය ජීවන මට්ටම් ආරක්ෂා කරගැනීම හා වැඩිදියුනු කරගැනීම පිනිස වර්ජනය කිරීමට ඔවුන් තීන්දු කල විට එසේ වර්ජනය කිරීමට ද කම්කරුවන්ට පවතින නෛතික අයිතිය මත පනවා ඇති යම් සහ සෑම සීමාවක්ම පැහැදිලිව ම ප‍්‍රතික්ෂේප කිරීම.

⋆අයවැය හිඟය ද නව හා අත්‍යවශ්‍ය සමාජ වියදම් ද පියවා ගනු පිනිස සංගත ලාභ සහ සුපිරි ධනවතුන් මත බදු සැලකිය යුතු ලෙස ඉහල දැමීම.

⋆වෝකර් ආන්ඩුකාරයා සහ ඔහුගේ ප‍්‍රතිගාමී පාලනාධිකාරය වහාම ඉල්ලා අස්වීම. කම්කරු පන්තියට එරෙහි සංගතවල ප‍්‍රහාරයේ ද ආඥාදායක විධික‍්‍රම යොදාගැනීමේ ද දේශපාලන පෙරමුනු බලඇනිය බවට වෝකර් හිතාමතාම තමන්ව පත්කරගෙන තිබේ. ඔහු බලයෙන් ඉවත් කිරීමේ ඉල්ලීම පැනනගින්නේ, මෙම අයවැයට එරෙහි විස්කොන්සින් කම්කරුවන්ගේ අරගලය, සාරාර්ථයෙන් ගත් කල, දේශපාලනික අරගලයකි යන අවබෝධය වෙතිනි.

වෝකර් ඉවත් කිරීම පිනිස වූ කැඳවුම ඩිමොක‍්‍රැටික් පක්ෂය පිලිබඳ විශ්වාසය ප‍්‍රකාශ කිරීමේ ඡන්දයක් ඇඟවුම් කරන්නේ නැත. වෝකර් කි‍්‍රයාවට දැමීමට උත්සාහ කරන අයවැය කප්පාදුවලට වඩා නොඅඩු රුදුරු භාවයකින් යුක්ත අයවැය කප්පාදු ඉල්ලා සිටින ඩිමොක‍්‍රැටික් පක්ෂයේ ආන්ඩුකාරවරු සහ නගරාධිපතිවරු විස්කොන්සින් ප‍්‍රාන්තයේ සීමාවෙන් ඔබ්බෙහි සිටිති. රට පුරා කම්කරුවන්ගේ ජීවිත මත දැවැන්ත ව්‍යසනයක් හෙලන අයවැය කප්පාදු කි‍්‍රයාවට දැමීමෙහි ලා ඔබාමා පාලනාධිකාරය, ප‍්‍රාන්ත ආන්ඩුකාරවරු සහ වොෂිංටනයේ කොංග‍්‍රස් මන්ඩලය සමග සහයෝගයෙන් කි‍්‍රයා කරයි.

කෙසේවෙතත්, විස්කොන්සින් කම්කරුවන් පෙන්වා ඇති ආදර්ශයෙන් දිරිගන්වනු ලැබ, කම්කරුවන්ගේ අයිතීන් මත එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහි අරගලය, ධනපති පන්තියේ සියලු දේශපාලන නියෝජිතයන්ට විරුද්ධව, ප‍්‍රාන්තයෙන් ප‍්‍රාන්තයට සහ සමස්තයක් ලෙස රට පුරා පුලුල් වනු ඇත.

එනයින් ගත් කල, වෝකර් ඉවත් කිරීම සඳහා වූ ඉල්ලීම සියල්ලටම වඩා වැදගත්ම කාරනය මතු කරයි -- එනම්, කම්කරුවන් සංගත විසින් පාලනය කෙරෙන රිපබ්ලිකන් හා ඩිමොක‍්‍රැටික් පක්ෂවලට එරෙහි තමන්ගේ ම, ස්වාධීන, සමාජවාදී විකල්පය ගොඩනගාගැනීමේ අවශ්‍යතාව.

සමාජවාදී සමානතා පක්ෂය, වෝකර් පාලනාධිකාරයට හා එහි ප‍්‍රතිගාමී අයවැයට එරෙහිව මහා වැඩ වර්ජනයක් සඳහා වූ ව්‍යාපාරයට සහයෝගය හා ධෛර්්‍යය දෙයි. එවන් කි‍්‍රයාමාර්ගයක් අවශ්‍ය බවට කම්කරුවන් අතර වැඩෙන මනෝගතිය එක්සත් ජනපදය තුල සමාජ ගැටුමේ තීව‍්‍රභාවයට සාක්ෂ්‍ය දරයි. කෙසේවෙතත්, ඔවුන් සටන් වදින්නේ හුදෙක් එක ආන්ඩුකාරයකුට එරෙහිව නොව, සමස්තයක් ලෙස ධනපති පන්තියට ද එහි පාලනය පාදකව තිබෙන ලාභ ගරන පද්ධතියට ද එරෙහිව යන්න අවබෝධ කරගන්නා ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

ඩේවිඩ් නෝර්ත්