ජර්මන් අධිරාජ්‍යවාදය සහ ලිබියාවේ අර්බුදය

German imperialism and the crisis in Libya

2 March 2011

කර්නල් මුවම්මර් ගඩාෆි වැඩ කරන ජනතාවගේ හා ඔහුගේ ම පාලන තන්ත‍්‍රයේ කොටසකගේ උත්සන්න වෙමින් පවතින අභ්‍යන්තර විරෝධයකට මුහුන දෙමින් සිටිය දී ලිබියාව තුලට අධිරාජ්‍යවාදී මැදිහත් වීමක් සඳහා මහ බලවතුන්ගේ සූදානම තුල ජර්මනිය ප‍්‍රබල හවුල්කරුවෙකු ලෙස ඉස්මතු වී තිබේ.

එක්සත් ජනපදය තවමත් සිය ප‍්‍රතිචාරය පල කරන්නේ කෙසේ දැයි කල් බලමින් සිටිද්දී සතියකට පමන පෙර සෙබලුන් 600ක් රැගත් යුද නැව් තුනක් ජර්මානු නාවික හමුදාව විසින් ලිබියානු මුහුදු තීරයට යවා තිබේ. පසුගිය සතිය අග ජර්මානු මිලිටරි සැපයුම් ගුවන් යානා දෙකක් ක‍්‍රීටයේ සිට ලිබියාවට පියාසර කලේ අල්-නාෆියුරා තෙල් පිරිපහදු කලාපයෙන් යුරෝපා සංගමයේ පුරවැසියන් මුදා ගැනීමට බව පවසමිනි. සතුරු බල සීමාවන් පිටුපසින් රහසිගත මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුනු කර ඇති පැරෂූට් භට කන්ඩායම් කීපයක් ක‍්‍රීට් ඒකකවලට අනුයුක්ත කර තිබින.

ජර්මන් මාධ්‍ය ලිබියානු පියාසර-තහනම් කලාපයක් සඳහා බලපෑම් කරයි. මෙය, ඉරාකයේ දී මෙන් ලිබියානු යුද ගුවන් යානා ඉලක්ක කිරීමේ හා එරට ගුවනේ පාලනය අත්පත් කර ගැනීමේ ප‍්‍රථම පියවර වනු ඇත. ජර්මන් මාධ්‍ය ලිබියාව සතු විදේශ අරමුදල් අත්පත් කර ගැනීම සඳහා ද හඬ නඟයි.

මෙකී පියවර, කැරැලිකාරී ජනතාව ගඩාෆිගේ පාලානයෙන් මුදා ගැනීමට බව පවසන මානුෂීය පදනම් මත යුක්ති සහගත කර තිබේ. එවැනි මානුෂික ව්‍යාජයන් සපුරා ම නින්දා සහගත වන අතර කිසිදු විස්වාසනීයත්වයකින් තොර ය. උතුරු අප‍්‍රිකාව හා මැද පෙරදිග සිසාරා හමායන මහජන නැගිටීම් මැද්දෑවේ තමන්ගේ ම ජනතාවට වෙඩි තැබූ ඊජිප්තුව, ටියුනීසියාව, බහරේනය සහ යේමනය වැනි අනෙකුත් බටහිර ගැති පාලන තන්ත‍්‍රයන්ගෙන් යුරෝපීය වැසියන් මුදා ගැනීම සඳහා ජර්මන් හමුදාව යෙදවීමේ මේ සමාන යෝජනා ඉදිරිපත්වනු දැකගත නොහැකි විය.

මාධ්‍ය සහ රාජ්‍ය නිලධාරීන් ලිබියාව වෙත වෙනත් සැලකිල්ලක් දැක්වීමට හේතු කාරනා වටහා ගැනීම අසීරු නොවේ. ලිබියාව විශාල එහෙත් ජනාකීර්න නොවන රටක් වුව ද යුරෝපයේ අත්‍යවශ්‍ය අපනයන ද්‍රව්‍යයක් වන තෙල් සංචිත වලින් පොහොසත් ය. ගෝලීය ආර්ථික අර්බුදයේ කම්පනයෙන් අඛන්ඩව දෙදරන බටහිර අධිරාජ්‍යවාදයේ සෘජු කොල්ලය සඳහා එය වඩාත් සිත් ගන්නා ඉලක්කයක් බවට පත්ව තිබේ.

සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රිකයෙකු ද වන එකල චාන්සලර් ගේහාඩ් ෂ්රඩර් පලමුවරට ගඩාෆි මුන ගැසුන 2004 සිට ජර්මානු සමාගම් ලිබියාව තුලට සිය නිය පහුරු ගසාගෙන සිටියි. ඩොලර් බිලියන 2ක ආයෝජනයක් සහිත බීඒඑස්එෆ් හි අනු සමාගමක් වන වින්ටර්හෝල් ලිබියාවේ විශාලතම විදේශ තෙල් නිෂ්පාදකයා බවට පත්ව සිටියි. සීමන්ස් වැනි ජර්මානු කාර්මික සමාගම් ද ලිබියාවේ තෙල් ආදායම් මගින් මුදල් යොදවන යටිතල පහසුකම් ව්‍යාපෘති තුලින් දැවැන්ත ලාභ උපයමින් ලිබියාව තුල ක‍්‍රියාත්මක වෙයි.

එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන්ට නොඅඩු ලෙස ජර්මනිය, ගඩාෆිගේ ඇද වැටීමකින් ඇතිවිය හැකි දේශපාලන රික්තකයක ඇඟවීම් පිලිබඳව බිය පත්ව සිටී. විපක්ෂ ව්‍යාපාරය මෙහෙයවන්නේ කවුරුන් ද යන්න තවමත් පැහැදිලි නැත. ගඩාෆි විරෝධී බලවේගයන් විසින් අත්කර ගෙන තිබෙන බෙන්ගාසි හා අනෙකුත් නගරවලින් එන සම්මුඛ සාකච්ඡාවල දී බොහෝ දෙනෙක් පැහදිලි කර ඇත්තේ මහා බලවතුන්ගේ අතපෙවීම්වලට ඔවුන් විරුද්ධ බවයි.

ඉතාලියේ යටත්විජිත පාලනය යටතේ බෙහෙවින් පීඩාවට පත්වූ ලිබියාව අධිරාජ්‍යවාදී-විරෝධී අරගලයේ දීර්ඝ කාලීන සම්ප‍්‍රදායක් සතුව සිටී. ගඩාෆි අධිරාජ්‍යවාදීන් සමග ඔහුගේ සහජීවනය ඇති කර ගැනීමට පෙර ගසා කෑවේ මෙම සම්ප‍්‍රදාය යි.

ජර්මානු සංගතවල ආයෝජන ආරක්ෂා කර ගැනීමට ගඩාෆිගේ ආඥාදායකත්වය සමග එකට වැඩ කරන බර්ලිනය, තර්ජනය කිරීම් හා එනයින් මිලිටරි බලය යෙදීම කෙරෙහි උත්සුක වනු ඇත. ජර්මානු යුද හමුදාව සහ නාවික හමුදා සේනාංක කලාපයට යැවීමේ මුඛ්‍ය කාරනාව මෙයයි.

බර්ලිනයේ අධිරාජ්‍යවාදී කෑදරකම්වල එලිපිට ප‍්‍රකාශනය, කොල්ලය බෙදාගැනීම සඳහා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් සමඟ එදිරිවාදිකම් වැඩී යාම සමඟ අතිනත ගෙන ගමන් කරයි. ජිනීවාහි දී වෙස්ටර්වෙල්ගේ හැසිරීම පිලිබඳ විචාරමින්, ස්පීගල් වෙබ් අඩවිය මෙසේ ලිවීය. "ජර්මනිය, මධ්‍යධරනියේ ක‍්‍රියාකාරී භූමිකාවක් ඉටු කරමින් සිටියි. උතුරු අප‍්‍රිකාවේ හිටපු සහ දැන් පවතින ඒකාධිපති පාලනයන් සමග ඇති සබඳතාවන් හේතුවෙන් බර්ලිනයට වඩා වැඩියෙන් සම්මුතිවාදීව සිටින ප‍්‍රන්සය හා ඉතාලියට එය කලාපයේ ඉඩක් ලබා නොදෙයි. ටියුනීසියාවේ හා ඊජිප්තුවේ පාලකයන් සම්බන්ධව මුලදී දෙගිඩියාවෙන් පසු වුව ද විදේශ ඇමති, ලිබියාව සම්බන්ධ කාරනාවේ දී මුලුමනින් ම දැඩි ස්ථාවරයක් ගත්තේය.”

ලිබියාව තුල එහි මිලිටරි ශක්තිය ප‍්‍රදර්ශනය කිරීම සඳහා ජර්මන් පාලක ප‍්‍රභූව පෙන්වන ක්ෂනික හා තකතිරු හදිස්සිය පෙන්නුම් කරන්නේ, ජර්මන් හමුදාවන් වෙත දෙවන ලෝක යුද්ධයේදී පැනවුනු සීමාවන්හි ඉතිරිව ඇති සියල්ල පසෙකට දැමීම සඳහා මෙය අවස්ථාවක් කොට ගන්නා බවයි.

ජර්මනිය සම්බන්ධයෙන් ගත් කල ලිබියාව තුල එහි මැදිහත් වීම නියෝජනය කරන්නේ, මහා බලවතුන්ගේ චක‍්‍රය තුලට එය මුලුමනින් ම පෙරලා පැමිනීමේ තවත් පියවරක් වසයෙනි. එය සිදුවෙමින් තිබෙන්නේ, 1999 වසරේ දී කොසෝවෝ යුද්ධය හා ඇෆ්ගනිස්ථානයේ නේටෝ ආක‍්‍රමනයන්ට ජර්මනියේ සහභාගිත්වයෙන් පසුව හා නාසිවාදයේ හා ලෝක යුද්ධ දෙකෙහි විනාශකාරී අත්දැකීම්වල නිෂ්පාදිතයක් ලෙස ජර්මන් මහජනතාව තුල මුල්බැස ඇති යුද විරෝධී හැඟීම් යටපත් කර දැමීමට ප‍්‍රමුඛ ජර්මන් දේශපාලඥයින් විසින් සාමූහික මෙහෙයුමක් දියත් කර තිබෙන තත්වය තුල ය.

ජර්මන් ජනාධිපති හෝස්ට් කෝලර්, ඇෆ්ගනිස්ථානයේ ජර්මන් හමුදා යෙදවීමේ අරමුන තම ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම බවට කල ප‍්‍රකාශයට එල්ල වූ විවේචනයන් කෙරෙහි විරෝධය පල කරමින් පසුගිය මැයි මාසයේ ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, ආරක්ෂක ඇමති කාල් තියොඩොර් සූ ගුටෙන්බර්ග්, ජර්මන් ආර්ථික අවශ්‍යතා සුරක්ෂිත කර ගනු වස් මිලිටරි බලය යොදා ගැනීම වෙනුවෙන් දැන් පෙනී සිටින්නේය.

මැද පෙරදිග හා සමස්ත ලෝකයේ ම අධිරාජ්‍යවාදී යුද්ධයේ ව්‍යාප්ත වීම වැලැක්වීමේ ප‍්‍රධාන දේශපාලන තිරිංගය වන්නේ වැඩ කරන මහජනයාගේ විරුද්ධත්වය යි. ලිබියානු භූමියට විවෘතව ම මිලිටරිය යෙදවීමට මහා බලවතුන් තවමත් තීන්දු කොට නොමැත්තේ, ඇෆ්ගනිස්ථානයේදී මෙන් මහජනයාට එරෙහි නිමක් නැති යුද්ධයේ උගුලක තමන් සිරවිය හැකිය යන භීතියෙන් හා එවැන්නක් යුද්ධවලට වෛර කරන තම රටවල ම හා දැන් සමස්ත කලාපයේ ම අධිරාජ්‍යවාදී පිටුබලය ලබන ආඥාදායකත්වයන්ට එරෙහිව නැගිටිමින් සිටින මැදපෙරදිග මහජනයා යන දෙකොටසේ ම වෛරය කුපිත කරවන්නක් විය හැකි වීමේ භීතිය නිසාවෙනි.

කෙසේ වෙතත් මෙහි අර්ථය වන්නේ, කම්කරු පන්තියේ වේගයෙන් වැඩෙන අරගල සඳහා නව දේශපාලන ඉදිරි දර්ශනයක් හා දේශපාලන නායකත්වයක් වර්ධනය කිරීමේ ප‍්‍රශ්නය ප‍්‍රමුඛ අවශ්‍යතාව බවට පත්ව ඇති බවයි. යුද්ධය කරා වන අධිරාජ්‍යවාදී ධාවනය සමග කම්කරු පන්තියට සටන් කල හැක්කේ කෙසේද යන්න තීරනාත්මක ප‍්‍රශ්නය යි.

ජර්මන් කොන්සර්වේටිව් ආන්ඩුවට එහි මිලිටරි ඉලක්ක කිසිදු අභියෝගයකින් තොරව පවත්වා ගැනීමට හැකිව තිබෙන්නේ, මිලිටරිවාදී හා අධිරාජ්‍යවාදී ප‍්‍රතිපත්තීන්ට විවෘතව ම ගැටගැසී සිටින හා මහජන යුද-විරෝධී මනෝගතිය මැඩපවත්වා ගෙන සිටින ස්ථාපිත දේශපාලන පක්ෂවලින් කිසිදු විරුද්ධත්වයක් එයට එල්ල නොවීම නිසාවෙනි.

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී (එස්පීඩී) පාර්ලිමේන්තු කන්ඩායමේ නායක හා හිටපු විදෙස් ඇමති ෆ‍්‍රෑන්ක්-වෝල්ටර් ස්ටීමර්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සම්බාධක හා ඒවාට ජර්මන් ආන්ඩුව දෙන සහය ඉතා කැමත්තෙන් අනුමත කලේ ය. ඔහුගේ උප-සභාපති ජර්නොට් අර්ලර් ගුවන් ගමන් තහනම් කිරීමට ද එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශනයේ 7වන ඡේදය යටතේ පැනවූ නියෝගයකට ද සහය පල කලේ ය. ඉරාක යුද්ධය යුක්ති සහගත කිරීමට එක්සත් ජනපදය යොදා ගත්තේ ද මෙම ඡේදයයි.

හරිතයන්ගේ කඳවුරෙන් ද සහය පලවෙමින් තිබේ. පෙබරවාරි 25වෙනි දින හරිත පක්ෂයේ නායක ක්ලෝඩියා රොත් ලිබියාව කෙරේ වඩා සුමට වී සිටීම පිලිබඳව ජර්මන් ආන්ඩුවට දෙහි කැපුවේය. "ගඩාෆි පාලන තන්ත‍්‍රයට එරෙහි සම්බාධක සඳහා යුරෝපා සංගමයේ අවධානය යොමුවූයේ බොහෝ ප‍්‍රමාද වී ය.” යුරෝපීය සංගමයේ බෙලහීනත්වය පිලිබඳව දෝෂාරෝපනය කල ඇය, "පැහදිලි ක‍්‍රියාත්මක සැලස්මක් ඇතිව ගඩාෆිට එරෙහිව යුරෝපා සංගමයේ පිලිවෙත සකසා ගැනීමට සහය වෙන ලෙස” හා "එක්සත්, කඩිනම් හා ක‍්‍රියාකාරී සම්බාධක පිලිවෙතක් සඳහා එයට පීඩනය යෙදීමටත්” ආන්ඩුවට කැඳවුම් කලාය.

වාම පක්ෂය ලිබියාවේ තත්වය පිලිබඳව අදහස් දැක්වීමෙන් වැලකී සිටීම කැපී පෙනෙයි. එස්පීඩී හා හරිතයන් මෙන්ම ඔවුන් ද ලිබියන් වෙරල තීරය දිගේ ජර්මන් හමුදා යෙදවීම පිලිබඳව විවේචනය කිරීමෙන් වැලකී සිටී. ඒ වෙනුවට, එය නව යුද්ධයක් කෙරේ එල්ල විය හැකි ඕනෑ ම විරුද්ධත්වයක් අධෛර්ය කිරීමටත් යටපත් කිරීමටත් සූදානම් වෙමින් සිටී.

ලින්ක්ස්රක් (ජාත්‍යන්තර සමාජවාදී) කන්ඩායමේ සාමාජිකයෙක් වසයෙන් වාම පක්ෂයට ඇතුලත්ව සිටින විධායක සාමාජික ක‍්‍රිස්ටීන් බුෂ්හෝල්ස්, "ලිබියාව: මිලිටරි මැදිහත් වීම් එපා” යන මැයෙන් කෙටි ප‍්‍රකාශනයක් නිකුත් කලාය. එහි දී ආයුධ සම්බාධක වෙනුවෙන් කැඳවුම් කල නමුත් මිලිටරි මැදිහත් වීමකට එරෙහිව උපදෙස් දෙන්නේ එවැන්නක් "මහජනයා (ලිබියානු) පාලන තන්ත‍්‍රය පිටුපසින් පෙල ගැස්සවීමටත් මහත් ජීවිත සංඛ්‍යාවක් කැප කිරීමටත් සිදුවන්නේ” යයි තර්ක කරමිනි.

ජර්මානු ආන්ඩුවේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන් රැක ගැනීමට වඩාත් ම යෝග්‍ය උපායන් මොනවාද යන්න පිලිබඳව එම ආන්ඩුවේ උපදේශකයින් ලෙස ක‍්‍රියා කරන වාම පක්ෂයේ මූලධර්ම විරහිත භූමිකාව මෙයින් පෙන්නුම් කරයි. මහා බලවතුන් විසින් ක‍්‍රියාවට දමන මොනයම් ම හෝ අවහිර කිරීමක ඇති යටත් විජිතවාදී ස්වාභය පිලිබඳ අනතුරු අඟවමින් ගඩාෆිගෙන් මෙන්ම සමස්ත ලිබියානු ධනපති පන්තියෙන් ද කැඩී වෙන් වීම, ලිබියානු මහජනතාවගේ කර්තව්‍යයක් මිස අධිරාජ්‍යවාදයේ කටයුත්තක් නොවන බව අවධාරනය කරමින් ලිබියාවේ අධිරාජ්‍යවාදී මැදිහත් වීමට මූලධර්මාත්මක විරුද්ධත්වයක් පෑමට බුස්හෝස් යෝජනා කරන්නේ නැත.

ඇය කතා කරන්නේ, ලිබියානු හෝ ජර්මන් කම්කරු පන්තිය වෙනුවෙන් නොව, ඔවුන්ගේ ලොකුම පන්ති සතුරන් වන වෙස්ටර්වෙලි හා ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මෙන්ම ඔවුන්ගේ සහකරුවන් වන එස්පීඩීය වෙනුවෙන් ය.

මැග්රෙබ් හා මැද පෙරදිග මිලියන ගනනක් වීදිවලට යොමු කල දරිද්‍රතාව, අසමානතාව, ප‍්‍රජාතාන්ත‍්‍ර අයිතීන් නොමැති වීම යනාදී සාමජයීය සහ දේශපාලන ගැටලු, ධනේශ්වර පද්ධතියේ සීමාව තුල විසඳිය නොහැක. ජර්මනියේ, යුරෝපයේ හා ලෝකය පුරා මිලියන ගනනක් කම්කරුවන්ට මෙකී ප‍්‍රශ්න මත ම මූල්‍ය කතිපයාධිකාරිය හා එහි ජරපත් වූ දේශපාලන පද්ධතියට එරෙහිව සටන් කිරීමට සිදුව තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලය, සමස්ත කලාපයේ ද ලෝකය පුරා ද සමාජය සමාජවාදී ලෙස වෙනස් කිරීම සහ කම්කරුවන්ගේ බලය සඳහා අරගලය සමඟ නොවෙන් කල හැකි සේ බැඳී පවතී. ජර්මන් කම්කරුවන්, සමාජවාදී හා ජාත්‍යන්තර ක‍්‍රියාමාර්ගයන් මත පදනම්ව තමන්ගේ රට තුල සූරාකන්නවුන්ට එරෙහිව සංවිධානය වෙමින් සහ කුමන හෝ මිලිටරි මැදිහත්වීමකට විරුද්ධ වෙමින් ලිබියානු හා අරාබි කම්කරුවන් වෙත සිය සහෝදරත්වය පල කල යුතුය.

පීටර් ෂ්වාර්ස් සහ ඇලෙක්ස් ලැන්ටියර්