ගෝලීය බලවේගයන් මැද පෙරදිග නැගිටීම් ධාවනය කරවයි

Global forces driving Middle East uprisings

5 March 2011

ජනවාරියේ ටියුනීසියාවෙන් ඇරැඹුනු මැද පෙරදිග නැගිටීම් පසුව ඊජිප්තුවට පැතිරී දැන් සමස්ත කලාපය අලලා පැතිරීම සමහරවිට බෝවන රෝගයක් ලෙස දැක ගනු ලැබේ.

එක් රටක කම්කරුවන් හා තරුනයන් වෙනත් රටක මහජන ව්‍යාපාරවලින් උද්යෝගය හා ශක්තිය උකහා ගෙන ඇති බව හා දිගට ම උකහා ගන්නා බවට සැකයක් නැත. එහෙත් මෙම සිදුවීම්වල ක්ෂනික භාවය අවසාන විග‍්‍රහයේ දී පෘථිවි ගෝලයේ සෑම කොනක ම කි‍්‍රයාකාරී වන ලෝක ආර්ථිකය තුල ගැඹුරින් මුල් බැස ඇති කි‍්‍රයාදාමයන්ගේ ප‍්‍රතිඵලය යි.

මේ දක්වා කැලඹිලිවල ප‍්‍රධාන කේන්ද්‍රස්ථාන තුන වන ටියුනීසියාවේ, ඊජිප්තුවේ හා ලිබියාවේ වඩාත් පැහැදිලි පොදු ලක්ෂනය වන්නේ මෑත කාලසීමාවේ එම රටවල් තුන තුල ම දුරදිග යන නව ලිබරල්වාදී "නිදහස් වෙලඳපොල” ප‍්‍රතිව්‍යුහකරන වැඩපිලිවෙලක් කි‍්‍රයාත්මක කෙරී ඇති බව යි. මහා පරිමාන පුද්ගලීකරනය, ජාතික ආර්ථික හා මූල්‍ය පරිපාලනය අත්හැර දැමීම හා රැකියා දස දහස් ගනනින් කප්පාදු කිරීම හා රාජ්‍ය සහනාධාර කප්පාදුව ඇතුලත් මෙම පිලිවෙත් ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් අධීක්ෂනය කරනු ලැබ ඇත.

"මැද පෙරදිග හා උතුරු අපි‍්‍රකාවේ තරගකාරීත්වය පොදු වසයෙන් අඩුවීම” පිලිබඳව වැලපෙන වාර්තාවක් පසුගිය ඔක්තෝබරයේ ජාමූඅ නිකුත් කලේ ය. එහෙත් ඒ අතර ම එය "සාර්ථකත්ව කතා” දෙකකට අවධානය යොමු කලේ ය.

"ලිහිල් කරන ලද පාලනය, නවීන යටිතල පහසුකම්, ආන්ඩුවේ දිරිදීමනා හා හොඳින් පුහුනු කරන ලද අඩු පිරිවැය සහිත කම්කරුවන් බිහිකරන දැනුම මත පදනම් වූ ආර්ථිකයක් සඳහා කැපවීම” සහිත කලාපයේ "වෙනත් රටවල කර්මාන්ත ලාභ ශ‍්‍රමය තකා බැහැර කෙරෙන මධ්‍යස්ථානය” බවට ටියුනීසියාව පත්ව තිබුනේ ය. පසුගිය දෙසැම්බරයේ තරුන රැකියා විරහිත කම්කරුවෙක් තම සිරුරට ගිනි තබාගැනීම මගින් ටියුනීසියානු නැගිටීම අවුලුවන ලදී.

ඊජිප්තුව පිලිබඳව ගත්කල "ව්‍යාපාරික පරිසරයේ දියුනුවීම්වලට” හේතු වුනු මෑත කාලීන "ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරන” සමගින් ගෝලීය තොරතුරු තාක්ෂන ආයෝජනවලින් සැලකිය යුතු ප‍්‍රමානයක් එරට ආකර්ෂනය කරගෙන තිබුනේ ය.

ලිබියාව ද දිදුලන වාර්තාවල මාතෘකාව බවට පත්ව තිබේ. "ආර්ථිකය තුල පුද්ගලික අංශයේ භූමිකාව ප‍්‍රසාරනය කිරීමට දරන උත්සාහයන්” පිලිබඳව පසුගිය වසරේ ඔක්තෝබර් 28 දා ජාමූඅ ලිබියානු අධිකාරීන්ට ප‍්‍රශංසා කලේ ය. "මූල්‍ය වෙලඳපොලවල් වැඩිදියුනු කිරීමට ගන්නා උත්සාහයන් ප‍්‍රශංසාත්මක” ලෙස උත්කර්ෂයට නැංවූ එය තව දුරටත් රජයට අයිති බැංකු නොමැති බව හා රටතුල කි‍්‍රයාකාරී බැංකු 16න් හයක් තුල ම "විදේශීය කොටස්කරුවන්” සිටී යයි සඳහන් කලේ ය.

සිවිල් සේවා නියුක්තිය අඩු කිරීමේ දී "වර්ධනයක්” ලබා ඇතැයි ජාමූඅ වාර්තාව අවධානයට ලක්කලේ රැකියා අවසන් කිරීම සඳහා මධ්‍යම කම්කරු කාර්යාලයට යොමුකල 340,000ක රාජ්‍ය සේවකයින්ගෙන් හතරෙන් එකක් පමන වෙනත් ආදායම් මාර්ග සොයාගෙන ඇතැයි සඳහන් කරමිනි. රැකියා අවසන් කිරීමේ වැඩසටහන "වේගවත්” කරන ලෙස එය ඉල්ලා සිටියේ ය. මේ වසරේ පෙබරවාරි 9 දා එනම් ගඩාෆිට එරෙහි නැගී සිටීමට යන්තම් සතියකට පමන පෙර බැංකු පුද්ගලීකරනය කිරීමට හා "නැගීඑන මූල්‍ය අංශය වර්ධනය කිරීමට” ගෙන ඇති "බලාපොරොත්තු සහගත වැඩපිලිවෙල” ගැන අවධානය යොමු කල ජාමූඅ අනෙකුත් අංශවල ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරන ද පසුගිය වසරේ සම්මත කල "දුරදිග යන නීති”, "පුද්ගලික අංශයේ සංවර්ධනයට හා ඍජු විදේශ ආයෝජන ආකර්ෂනය කරගැනීමට” සුභ පෙර නිමිත්තක් ලෙස ද උත්කර්ෂයට නැංවීය.

ජාමූඅ අධ්‍යක්ෂවරු බලධාරීන්ව "ඔවුන්ගේ බලාපොරොත්තු සහගත ප‍්‍රතිසංස්කරන න්‍යාය පත‍්‍රය හා ශ‍්‍රම බලකාය ආර්ථික පරිවර්තනයට ගලප්පාලීම ඉලක්ක කර ගත් පිලිවෙත් සමග අනුපූරකව” පසුගිය වසරේ සම්මත කරන ලද අතිශය වැදගත් බොහෝ නීති පිලිබඳව ප‍්‍රශංසාවට ලක්කලහ.

මෙම වටපිටාවට විපරීතව දැකගත් කල මැද පෙරදිග නැගී සිටීම් පුලුල් අර්ථභාරයක් ගැබ් කර ගනී. ඒවා වනාහි පසුගිය විසිවසර තුල කම්කරු පන්තියේ සමාජ තත්වය මත ව්‍යසනකාරී බලපෑමක් ඇති කර තිබෙන "නිදහස් වෙලඳපොල” වැඩපිලිවෙලට එරෙහි පලමු කැරැල්ල යි. පුල්ගලීකරනය, ගැඹුරුවන සමාජ අසමානතාව, වැඩෙන තරුන විරැකියාව, විශ්ව විද්‍යාල හා උසස් පාඨශාලාවලින් පිටවන්නන්ට අවස්ථා අඩුවීම, සැබෑ වැටුප් ඇදවැටීම හා අපරාධකාරී කොල්ලකෑමේ කි‍්‍රයාකාරකම්වල ප‍්‍රතිඵලය ලෙස පමනක් විස්තර කරනු ලැබිය හැකි අනෙක් පස යෝධ ලෙස ධනය සමුච්චය වීම හුදෙක් මැද පෙරදිගට අදාලවන්නා වූ පමනක් නොව සමස්ත ගෝලීය ප‍්‍රපංචයන් ය.

මූල්‍ය ප‍්‍රාග්ධනයේ "නිදහස් වෙලඳපොල” වැඩපිලිවෙල නැගිටීම්වලට වෛෂයික ආර්ථික පදනම් දමන ලද අතර ගෝලීය මූල්‍ය අර්බුදය ආරම්භයේ මූල්‍ය අධිකාරීන්ගේ කි‍්‍රයා වැදගත් ආරම්භක ගාමකයක් සම්පාදනය කලේ ය.

වසර අසූවක් තුල විශාලතම ආර්ථික ව්‍යසනයට මුහුන පෑ විට එක්සත් ජනපදයේ ඔබාමා පරිපාලනයේ හා ෆෙඩරල් රිසර්ව් මන්ඩලයේ ප‍්‍රතිචාරය වූයේ කම්කරු පන්තියේ කොන්දේසිවලට කෲර ලෙස ප‍්‍රහාර එල්ල කරන අතර ම අර්බුදයට හේතු වූ පිලිවෙත් ඔස්සේ ම නො නැවතී ඉදිරියට යාම යි. ජනසතු කිරීම හෝ මූල්‍ය ආයතන ප‍්‍රධාන විධායකයන්ව ඔවුන්ගේ අපරාධකාරී කි‍්‍රයා සඳහා නීතිය හමුවට ගෙන ඒම පසෙක තැබුවත් නියාමනය කිරීම හෝ පාලනය කිරීම වෙනුවට බැංකුවලට හා මූල්‍ය ආයතනවලට මධ්‍යම බැංකුව විසින් අත්‍යන්ත ලාභදායී නය සපයන ලද්දේ සමපේක්ෂනය හා මූල්‍ය උපාමාරු හරහා දිගට ම ලාභ කඳුගසා ගැනීමේ හැකියාව ඔවුන්ට ලබා දෙමිනි.

පසුගිය නොවැම්බරයේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ පලකල ලිපියක ෆෙඩරල් රිසර්ව් සභාපති බෙන් බර්නාන්කේ ඍජුව සඳහන් කල පරිදි මූල්‍ය පද්ධතියට ඩොලර් බිලියන සිය ගනනක් පොම්ප කරන ලද ඊනියා "ප‍්‍රමානාත්මක සැහැල්ලු කිරීමේ” පිලිවෙතේ ඉලක්කය වන්නේ කොටස් වෙලඳපොල මිලගනන් පිම්බීම යි. කොටස් පමනක් නොව දේපොල වෙලඳාම, ඉඩම්, භාන්ඩ හා ආහාර ඇතුලූ සියලූ වත්කම් දැන් සමපේක්ෂනය හරහා ලාභ සමුච්චය කරගැනීමේ අභිලාෂයෙන් පසුවන මූල්‍ය ප‍්‍රාග්ධනය සඳහා ඉලක්ක බවට පත් වී ඇත.

එක්සත් ජාතීන්ගේ ලමා අරමුදල (යුනිසෙෆ්) මගින් මෑත දී කරන ලද අධ්‍යයනයකට අනුව ආහාර වෙලඳාම ”කුඩා එහෙත් වේගයෙන් වැඩෙන අංශයක්” බවට පත්වෙමින් ගෝලීයව කොටස් වෙලඳපොලවල විකිනෙන කොටස් හා වෛකල්පිතයන් 2005 හා 2010 අතර හතර ගුනයකින් වැඩුනි. වැඩිවන සමපේක්ෂනය ඉන්ධන මිල ඉහල යාමට උදව් වී ඇත. කිරිපිටි, මස්, සීනි, ධාන්‍ය වර්ග හා මේද ආහාර අඩංගු ජාත්‍යන්තර ආහාරමය භාන්ඩ පැකට්ටුවක් සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මිල දර්ශකය පසුගිය වසරේ ජුනි හා දෙසැම්බර් අතර සියයට 30කටත් වැඩියෙන් ඉහල නැගුනි. බොහෝ සංවර්ධනය වන රටවල ආහාර කැලරි ප‍්‍රමානයෙන් තුනෙන් දෙකකටත් වඩා වගකීම දරන ආහාර භාන්ඩයක් වන ධාන්‍යවල මිල "එම කාලසීමාව තුල ම විශ්මය ජනක සියයට 57කින්” ඉහල නැගුනි.

2007-2008 සමයේ ඉහල ම ආහාර මිලෙන් පසුව සැලකිය යුතු ලෙස ආහාර මිල පහල නො ගිය බව හා 2007 මැයි මසට සාපේක්ෂව සාමාන්‍ය ලෙස 2010 නොවැම්බරයේ දී සියයට 55කින් ඉහල ගොස් තිබූ බවත් අධ්‍යයනය සොයා ගත්තේ ය. නැගීසිටීම් ධාවනය කල එක් මූලික සාධකයකට වාර්තාව අවධානය යොමු කලේ ය. "2008 පටන් අඩු ආහාරවේල් ගනනක් බුදීම, සෞඛ්‍ය වියදම් කැපීම, ඉහල යන නය, අනියම් අංශයේ දිගු පැය ගනනක් වැඩකිරීම වැනි පසු නො බැස සිටීමේ ක‍්‍රමෝපායන්වලින් හෙම්බත්ව සිටින දිලිඳු නිවහන් ප‍්‍රදේශවල ප‍්‍රකෘති තත්වයෙන් සිටීමේ ධාරිතාව 2011 දී අතිශය සීමා සහිත ය” යයි එය සඳහන් කලේ ය.

ගෝලීය ධනවාදයේ අර්බුදය මගින් ජනනය කරන ලද ඉහල යන ආහාර මිල හා උද්ධමනය දැනටමත් මැද පෙරදිග තුල පුපුරන සුලු විපාක ඇති කර තිබේ. ඒවා චීනය තුල වඩා දුරදිග යන විපාක සඳහා තර්ජනය කරයි. චීනයේ දී 1980 ගනන්වල උද්ධමනයට ප‍්‍රතිචාර ලෙස පැනනැගී 1989 ජුනි මාසයේ තියනාන්මෙන් චතුරස‍්‍ර සංහාරයට හේතු වූ පිපිරීමට වඩා බොහෝ දුර යන කම්කරු පන්තික පිපිරීමකට හේතුවේ යයි පාලන තන්ත‍්‍රය දිනපතා බියෙන් පසු වේ.

ඉහල යන ආහාර මිල ගෝලීය මූල්‍ය බිඳවැටීමෙන් හටගන්නා "ප‍්‍රතිව්‍යුහකරනයේ” ප‍්‍රතිඵලවලින් එකක් පමනි. තවත් එකක් වන්නේ බැංකුවලට ඇප තැබීම සඳහා ඩොලර් ටි‍්‍රලියන ගනනින් කල වියදම් වල බර කම්කරු පන්තිය මතට පැටවීම පිනිස යුරෝපය හා එක්සත් ජනපද ප‍්‍රාන්ත ආන්ඩු විසින් කි‍්‍රයාවට දමන වියදම් කප්පාදු ය.

විශේෂයෙන් ම චීනයට කරන සිය භාන්ඩ අපනයනයන් නිසා ගෝලීය ආර්ථික අර්බුදයේ නරක ම බලපෑම්වලින් මේ දක්වා බේරී සිටින ඕස්ටේ‍්‍රලියාව හා බ‍්‍රසීලය වැනි රටවල්වලට ඍජුව තර්ජනය කරන තවත් ප‍්‍රවාහීය ප‍්‍රතිඵලයක් දැන් සමීප වෙමින් තිබේ.

විශේෂයෙන් ම යපස් ඇතුලුව ඉහල යන ඉල්ලුමට හේතු වී ඇත්තේ චීනයේ මූල්‍ය අධිකාරීන්ගේ ලාභ මූල්‍ය පිලිවෙත් හා එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුවේ ප‍්‍රමානාත්මක සැහැල්ලු කිරීමේ පිලිවෙත හේතුවෙන් අවුලුවා ඇති චීනයේ දේපොල වෙලඳාම් හා ගොඩනැගිලි කර්මාන්ත බුබුල යි. එහෙත් මෙම බුබුල පවතින කාලය වැඩිවත් වත් එහි විපාක විශාල වේ. මේ සතියේ ඕස්ටේ‍්‍රලියානු පොදු ආර්ථික විද්‍යාඥ හා ඕස්ටේ‍්‍රලියානු රිසර්ව් බැංකු අධ්‍යක්ෂ මන්ඩල සාමාජික වොවික් මැක්කිබින් ඒවායේ විපාක 2007-2008 අර්බුදයට ද වඩා වැඩිවනු ඇතැයි අනතුරු ඇඟවීය. අපනයන භාන්ඩ බුබුල නො තිබුනේ නම් ඕස්ටේ‍්‍රලියානු දල දේශීය නිෂ්පාදිතය (දදේනි) සියයට 13කින් අඩුවිය හැකි වන තතු යටතේ බුබුලේ කඩාවැටීමේ බලපෑම ව්‍යසනකාරී වනු ඇත.

එහි සුවිශේෂී රූපාකාරය කුමක් වුවත් සෑම රටක ම තත්වය ලියොන් ට්‍රොට්ස්කි විස්තර කල පරිදි "ලෝක කි‍්‍රයාදාමයේ මූලික ලක්ෂනවල ආරම්භක සංයෝජනයකි.” එහි විපාකයක් ලෙස ඔහු අවධාරනය කලේ ඕනෑම දෙන ලද රටක කම්කරු පන්තියේ අරගලවලට ඉදිරියට යා හැක්කේ ජාත්‍යන්තර කි‍්‍රයාමාර්ගයක පදනම මත සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම හරහා පමනක් බවයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය එයයි.

නික් බීම්ස්