ඔබාමා, සොල්දාදු මෑනිං හා මානව හිමිකම්

Obama, Private Manning and human rights

15 March 2011

ඊජිප්තුවේ, යේමනයේ හා බහරේනයේ පීඩක ආඥාදායකත්වයන්ට මුක්කුව දීමට සහ ලිබියාවේ නව සහකාරක තන්ත‍්‍රයක් ස්ථාපනය කිරීමට දරන උත්සාහයන් වහංගු කිරීම සඳහා එක්සත් ජනපදය ලෝකයාට මානව හිමිකම්වල අනුල්ලංඝනීය භාවය පිලිබඳව දේශනා කරද්දී පවා ජනාධිපති බැරැක් ඔබාමා එක්සත් ජනපද පුරවැසියෙක්ව තමන්ගේ රටේ දී ම වධබන්ධනයට ලක්කිරීම ආරක්ෂා කරමින් සිටී.

රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශක පී. ජේ. ක්‍රෝලි වනාහි පෙන්ටගනය විසින් බ‍්‍රැඩ්ලි මෑනිං නමැති සොල්දාදුවා පරපීඩක අපහරනයට ලක් කිරීම ආරක්ෂා කරනුවස් ඔබාමාට ඇති අධිෂ්ඨානයේ ගොදුරකි. විකිලීක්ස් වෙත රහස් ලියකියවිලි කාන්දු කිරීම පිලිබඳව චූදිත 23 හැවිරිදි යුද හමුදා රහස් තොරතුරු විශේෂඥයාට මිලිටරිය මගින් සලකන ආකාරය ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීම හේතුවෙන් ආන්ඩුවේ දීර්ඝ-කාලීන මහජන සම්බන්ධතා නිලධාරියෙකු වන ක්‍රෝලිට ඉරිදා ඉල්ලා අස්වීමට බල කෙරුනි.

පසුගිය බ‍්‍රහස්පතින්දා මැසචුසෙට්ස් තාක්ෂන ආයතනයේ කුඩා ශ‍්‍රාවකයක් අමතද්දී, මෑනිංට සලකන ආකාරය "මිලිටරි බන්ධනාගාරයක සිරකරුවෙක්ව මිලිටරිය මගින් වධබන්ධනයට ලක්කිරීමක්” ලෙස විස්තර කරමින් යමෙකු ඒ පිලිබඳව ක්‍රෝලිගෙන් ප‍්‍රශ්න කරනු ලැබිනි. එක්සත් ජනපද ආන්ඩුව විකිලීක්ස් වෙබ් අඩවිය හා එහි සම-ආරම්භක ජූලියන් අසාන්ජ්ව දඩයම් කිරීමේ දී ප‍්‍රමුඛ භූමිකාවක් ඉටුකොට ඇති ක්‍රෝලි මෑනිංව සිරගත කිරීම ආරක්ෂා කලේ වුවත් ඔහුට සලකන ආකාරය "තකතීරු, අපේක්ෂිත ප‍්‍රතිඵල නො දෙන හා මුග්ධ” යයි කීවේ ය.

ක්‍රෝලි ප‍්‍රතිචාර දක්වමින් සිටියේ ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් හා අනෙකුත් මානව හිමිකම් සංවිධානවලින් කරන ලද හෙලාදැකීම් හා එක්සත් ජාතීන් විසින් විධිමත් විමර්ශනයක් දියත් කිරීමේ තතු යටතේ මෑනිංට සලකන ආකාරය අරබයා ජාත්‍යන්තරව වැඩෙන විරෝධතාවලට ය.

සිකුරාදා ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක දී ක්‍රෝලිගේ අදහස් දැක්වීම් පිලිබඳව ඔබාමාගෙන් විමසන ලදුව ඔහු එයට ප‍්‍රතිචාර දැක්වූයේ තම සිර කුටිය තුල දිනකට පැය 23ක් අගුලු දමා, 24 පැයේ සෝදිසි කිරීම්වලට ලක්කරමින්, රාතී‍්‍රයේ ඇඳුම් උනා දමා, කියවීම සඳහා අතිශය සීමිත අවස්ථාවක් පමනක් ලබදෙමින් උපරිම අත්අඩංගුවේ හා තථ්‍ය හුදෙකලාවේ රඳවාගෙන සිටින මෑනිංව අපහරනයට ලක් කිරීම ආරක්ෂා කරමිනි. මෙම මස මුල දී හා සතියකටත් වැඩියෙන් උදෑසන පරීක්ෂාව සඳහා ඔහුගේ සිරකුටිය ඉදිරිපිට සම්පූර්නයෙන් නිරුවත්ව සිටීමට මෑනිංට බලකෙරී තිබුනි.

වර්ජිනියා නාවුක භටකා කඳවුරේ ක්වැන්ටිකෝහි සිරකඳවුරේ මාස 8කට ආසන්න කාලයක් මෑනිංව සිරගත කොට සිටින්නේ ඉහත කොන්දේසි යටතේ තබමිනි. කිසිදු අපරාධයක් පිලිබඳව නඩු අසා හෝ තීන්දුවක් දී නොමැති ඔහු යුද්ධාධිකරන නඩුවක් අපේක්ෂාවෙන් සිටී. ඔහුට දුෂ්ට ලෙස සැලකීම ඔහුගේ ආත්ම ශක්තිය බිඳදමා විකිලීක්ස්ට හා අසාන්ජ්ට එරෙහිව සාක්ෂි දීම සඳහා ඔහුට බලකිරීම පිනිස සැලසුම් කරන ලද එකකි.

"මෑනිංව රඳවාගැනීමේ කොන්දේසි යෝග්‍යවන අතර අපගේ මූලික සම්මතයන්ට අනුකූල වෙතැයි” පෙන්ටගනයෙන් තමන්ට සහතික වී ඇතැයි කියමින් ඔබාමා ක්‍රෝලිගේ විවේචන මාධ්‍ය හමුවේ දී නො තකා හැරියේ ය. තම ඉල්ලා අස්වීමේ ප‍්‍රකාශනයේ දී ක්‍රෝලි, මෑනිංට සලකන ආකාරය පිලිබඳව තමන් දැක්වූ අදහස් ඉල්ලා අස්කර ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු මෙසේ ලිවී ය: "වර්තමාන අභියෝගී කාලසීමාවේ හා නිර්දය මාධ්‍ය වටපිටාවේ බලය පාවිච්චි කිරීම අපගේ නීති හා වටිනාකම් සමග විචක්ෂනශීලී හා සමවාය විය යුතු ය.” මෙය මෑනිංව අපහරනයට ලක් කිරීම නීති විරෝධීය යන චෝදනාවට ආසන්න වේ.

මෑනිංට චෝදනා නගා ඇති "අපරාධය” වන්නේ ඇෆ්ගනිස්ථානය හා ඉරාකය තුල එක්සත් ජනපද යුද අපරාධයන් පිලිබඳ සාක්ෂි හා ලෝකය පුරා ඇමරිකානු කුමන්ත‍්‍රන හෙලිදරවු කරන රාජ්‍ය දෙපාර්තමේන්තු පනිවුඩ හෙලිදරවු කිරීම යි. ප‍්‍රතිපත්ති ගරුක හා උද්යෝගිමත් තරුන මිනිසෙකු වන මෑනිංට ඇෆ්ගනිස්ථානය, ඉරාකය හා අනෙකුත් රටවල ජනයාට එරෙහි මහා අපරාධවලට වගකිව යුතු සැබෑ අපරාධකාරයන් විසින් වධබන්ධන පමුනුවනු ලැබේ.

පසුගිය දෙසතිය පුරා ඔබාමා පරිපාලනය මෑනිංව හිංසාවට ලක්කිරීම වැඩිදියුනු කොට ඇත්තේ මරන දන්ඩනය දීමට හේතුවන වරදක් වන "සතුරාට උදවු කිරීම” ඇතුලු නව චෝදනා ඔහුට එරෙහිව ගෙන එමිනි.

නින්දා සහගත හා දන්ඩනීය කොන්දේසි යටතට පත්කිරීම හඳුන්වන යෙදුමක් වන තුවාල ලැබීමෙන් වැලැක්වීමේ තත්වයේ (පී ඕඅයි) තැබීමෙන් තමන්ව ඉවත් කරන ලෙස ඉල්ලා පසුගිය සතියේ මෑනිං සිරගෙදර බලධාරීන්ට පිටු 11ක ලිපියක් ඉදිරිපත් කලේ ය. පී ඕඅයි තත්වය යටතේ උපරිම කාලසීමාවක් අත්අඩංගුවේ තබාගැනීමට, නිදහස් චලනයන් සීමා කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට ඉඩ ලැබෙන අතර කොට්ටයක් හෝ රෙදි පෙරවීමක් නොමැතිව නිදාගැනීම, රාතී‍්‍රයේ වරින් වර අවදි කිරීම හා දහවල් කාලයේ නිදාගැනීම තහනම් කිරීම ඇතුලු වද බන්ධනයන්ට මෙයින් අවසරය ලැබේ.

මෑනිං එම ලිපියේ දී සිරකඳවුරේ මනෝචිකිත්සකයන් තමන්ව පීඩා ලැබීමෙන් වැලැක්වීමේ තත්වයෙන් ඉවත් කරන ලෙස යලි යලිත් ඉල්ලා ඇති බව හා බලධාරීන් එය ප‍්‍රතික්ෂේප කර ඇති බවට අදාල ලේඛන ඉදිරිපත් කලේ ය. බන්ධනාගාර ආරක්ෂකයින් විසින් හිරිහැර කිරීම්වලට සිද්ධීන් විස්තර කිරීමට අමතරව සිරකරුවන් සාමාන්‍යයෙන් උපරිම අත්අඩංගවේ හෝ පීඩා ලැබීමෙන් වැලැක්වීමේ අවධියේ තබන්නේ සති දෙකකට අඩු කාලයක් බවත් සමස්ත සිර කඳවුරෙන් ම මෙම කොන්දේසි යටතේ තබා සිටින එක ම රැඳවියා තමන් බවත් අවධානයට ලක් කලේ ය.

මෑනිංව වධ බන්ධනයට ලක්කිරීමට ඔබාමා දෙන සහයෝගය ගුවන්තනාමෝ සිර කඳවුර වසා දමන බවට ඔහු කලින් දුන් පොරොන්දුව ආපසු හරවා එම කඳවුරේ බෙරදැස් මිලිටරි නඩු විභාග යලි ඇරඹීමට පසුගිය සතියේ දුන් නියෝගය සමග සම්පාත විය. එසේ ම ගුවන්තනාමෝ රැඳවියන් 48ක් කිසිදු නඩු විභාගයකින් තොරව අවිනිශ්චිත කාලයක් රැඳවා තබාගැනීම තහවුරු කරමින් හා නීතිගත කරමින් ඔබාමා විධායක නියෝගයක් නිකුත් කලේ ය.

මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳව දේශනා කිරීමට ඔබාමාට හෝ එක්සත් ජනපද ආන්ඩුවට අයිතියක් නැත. බුෂ්ගේ යුද පිලිවෙතේ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මත ප‍්‍රහාරයේ විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටිමින් මැතිවරනය ජයගත් ඔබාමා තම පූර්වගාමියා විසින් ස්ථාපනය කරන ලද සියලු පොලිස් රාජ්‍ය ආයතන හා පියවර නො කඩවා ඉදිරියට ගෙන යමින් වඩා ව්‍යාප්ත කොට තිබේ.

වධබන්ධන බලාත්මක කල බුෂ්ගේ නිලධාරීන්ට එරෙහි කිසිදු චෝදනා එල්ල කිරීමක් ප‍්‍රතික්ෂේප කොට ඇති ඔබාමා ත‍්‍රස්තවාදීන් යයි චෝදනා ලද්දවුන්ව වධබන්ධන යටතේ ප‍්‍රශ්න කිරීම් සඳහා විදෙස් රටවලට භාරදීම දිගට ම කරගෙන ගොස් ඇත. වධබන්ධනවල හා දේශීය ඔත්තු බැලීම්වල ගොදුරු බවට පත්වූවන් උසාවි යාම වැලැක්වීමට "රාජ්‍ය රහස්” හුවා දැක්වීම, පාකිස්තානයේ හා අනෙකුත් තැන්වල කැරලිකරුවන්ව "ඉලක්ක කොට ඝාතනය කිරීම ප‍්‍රසාරනය කිරීම, අවම වසයෙන් එක් ඇමරිකන් පුරවැසියෙක්වත් ඝාතනය කිරීමට නියෝග කිරීම සහ ජනාධිපතිවරයා විසින් "නීති විරෝධී සතුරු සටන්කරුවෙක්” යයි ප‍්‍රකාශ කරන ඕනෑම පුද්ගලයෙක් ඒක පාර්ශ්විකව සිරගත කිරීමට ඔහුට ඇති "හිමිකම” දිගටම තබාගැනීම ආදිය ඔබාමා නො කඩවා කරගෙන ගොස් ඇත. ඔහු, දේශපේ‍්‍රමී පනතේ පටන් ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා උතුරු විධානය දක්වා වන පොලිස් රාජ්‍ය නීති හා ව්‍යුහයන්වල සම්පූර්න සන්නාහය නඩත්තු කරගෙන ගොස් ඇත.

මෙම පිලිවෙත් ඇෆ්ගනිස්ථානය තුල යුද්ධය ප‍්‍රසාරනය කිරීම හා සමාජ වැඩපිලිවෙලවල් හා කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් මත ප‍්‍රහාර තීව‍්‍ර කිරීම සමග මොනවට ගැලපේ. එමගින් අර්ථ දක්වන්නේ සියලු අංශවලින් වෛරයට ලක්වුනු බුෂ් පරිපාලනයේ පිලිවෙත් නො කඩවා කරගෙන යන දක්ෂිනාංශික පරිපාලනයකි.

කම්කරුවන්ට සාමූහික කේවල් කිරීමේ අයිතිය අහිමි කරන, වැඩවර්ජන නීති විරෝධී කරන, සමහර අවස්ථාවල දී කම්කරුවන්ට දේශපාලන පාක්ෂිකත්වයෙන් වලක්වන කම්කරු විරෝධී නීති රට පුරා ප‍්‍රාන්ත ආන්ඩු හරහා හමා යද්දී පසුගිය දශකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් මත එල්ල වූ ප‍්‍රහාරය ඇමරිකානු පාලක පන්තිය කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් මත ප‍්‍රකාශ කල යුද්ධය සමග සංයෝගී වේ. රිබ්ලිකානුවෝ කම්කරුවන් විසින් කුමන හෝ ආකාර සාමූහික විරෝධයක් දැක්වීම අපරාධකරනය කිරිමේ ධාවනයක මූලිකත්වය ගනිද්දී ඔබාමා තථ්‍ය නිශ්ශබ්දතාවක් පවත්වාගෙන ගොස් තිබේ.

ඩිමොක‍්‍රටිකයන් කම්කරුවන් මත ප‍්‍රහාර පැටවීම සඳහා වෘත්තීය සමිති උපයෝගී කරගැනීමට ගනන් බලද්දී රිපබ්ලිකානුවන් ඒවා පසෙකට දැමීමේ මං සොයන නිසා ඔවුන් අතර වෘත්තීය සමිති අරබයා වෙනස් කම් තිබුනත් කම්කරු පන්තියේ අරගල මර්දනය කිරීම හා කම්කරුවන්ගේ කොන්දේසි 19වන ශතවර්ෂයේ තත්වයන්ට ආපසු හැරවීමේ ඉලක්කය දෙපාර්ශ්වය ම බෙදා හදා ගනිති.

ජෙනරල් මෝටර්ස් හා ෆෝඩ් යන සමාගම් මත පටවන ලද බංකොලොත්භාවය ප‍්‍රකාශ කිරීමේ කොටසක් ලෙස එක්සත් මෝටර් කම්කරු සමිතියේ ද උපකාරය සහිතව මෝටර් කම්කරුවන් මත වසර පහක වර්ජන තහනමක් පැනවූයේ ඔබාමා පරිපාලනය යි.

ඔබාමා, මෑනිං නමැති සොල්දාදුවාව වධ බන්ධනයට ලක්කිරීම හා ජාතික පරිමානව කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා කොන්දේසි මත එල්ල කරන ප‍්‍රහාරය සමීපව එකිනෙකට සම්බන්ධිත ය. මහා ව්‍යාපාරික පක්ෂ දෙකේ ම අනුග‍්‍රහය සහිතව පොලිස් රාජ්‍යයක යටිතල පහසුකම් ගොඩනැගීම ඇමරිකානු කම්කරු පන්තියේ වැඩෙන අරගලවලට එරෙහිව රාජ්‍ය ප‍්‍රචන්ඩත්වය පාවිච්චි කිරීමට සූදානම් වීම යි.

බැරී ගේ‍්‍ර