ජපාන ව්‍යසනය ගෝලීය ආර්ථික ප‍්‍රතිවිරෝධයන් උත්සන්න කරයි

Japan disaster to intensify global economic contradictions

18 March 2011

අතීතයේ පැවති "සාමාන්‍ය” තත්වයක දී නම් ජපාන භූ කම්පනයේ විනාශය ගෝලීය ආර්ථික හා මූල්‍ය අර්බුදයකට තුඩු නොදෙනු ඇත. එහෙත් එම වකවානුව පසුවී බොහෝ කල්ය. වර්තමානයේ දී එම කාරනය, 2008 සැප්තැම්බරයේ දී ලේමන් බ‍්‍රදර්ස් ආයෝජන බැංකුව බිඳ වැටීමත් සමඟ ආරම්භ වූ ගෝලීය මූල්‍ය කඩාවැටීම තුල, අර්බුදයේ නව අදියරක් මුදා හරින්නාවූ උත්ප්‍රේරකයක් වීමට හොඳට ම ඉඩ ඇත.

නම සඳහන් කිරීමට අකමැති වූ ප‍්‍රධාන ධනේශ්වර රටවල් හතේ කන්ඩායමෙහි මධ්‍යම බැංක කරුවෙකු රොයිටර් වෙත මෙසේ පැවසීය. "මම හිතන්නේ ලෝක ආර්ථිකය බිඳවැටෙන්නට යන බවය. එවැන්නක් සිදුවන්නේ මූල්‍ය වෙලඳපොලවල් තවමත් අස්ථාවරව පවතිද්දී ය.”

පසුගිය සිකුරාදා සිදුවීම්වලට මත්තෙන් පවා ගෝලීය මූල්‍ය පද්ධතිය පැවතුනේ එන්ට එන්ටම අස්ථාවර වෙමින් ය.

එක්සත් ජනපදයේ ව්‍යාපාරවස්තු වෙලඳපොල දෙවසරක් තිස්සේ ඉහල නැගීමේ දී පදනම් වූයේ, ඇමරිකානු ආර්ථිකයේ කුමන හෝ ඉහලට නැඟුනු වර්ධනයක් මත නොව, මූල්‍ය පද්ධතිය වෙත මහ බැංකුව විසින් එන්නත් කරන ලද දැවැන්ත අරමුදල් මත ය. ෆිනෑන්ෂල් ටයිම්ස්හි ව්‍යාපාරික අර්ථශාස්ත‍්‍රඥ ඩේවිඩ් රොසෙන්බර්ග්ගේ අලුත්ම ප‍්‍රකාශයකට අනුව 2003-07 කාලයේ කොටස් වෙලඳපොලවල නැඟීම, "තිරසාර නොවූ නයෙහි වර්ධනයේ හා නිවාස මිල පිම්බීමේ සෙලවෙන පදනමක් මත” ගොඩනැඟී තිබුනාක් මෙන්ම "වර්තමාන රැලිවීම ඊටත් වඩා සෙලවෙන පුද්ගලික අංශයේ විකාර සහගත මැදිහත්වීමක අත්තිවාරම මත ගොඩනැඟී තිබේ.”

එක්සත් ජනපද ආර්ථිකයේ කිසිදු සැබෑ ප‍්‍රකෘතියක් නොමැතිකම 16දා නිකුත් කල නිවාස ඉදිකිරීමේ සංඛ්‍යා ලේඛන මඟින් පෙන්නුම් කරයි. එක් පවුලක හා පවුල් වැඩි ගනනක නිවාස ඉදිකිරීම ජනවාරි මාසයේ පැවති මට්ටමට වඩා සියයට 22.5න් පහත වැටුනු අතර, ගොඩනැගිලි බලපත‍්‍ර වාරික සංශෝධනයන්ට අනුකූලව, ආන්ඩුව එම සංඛ්‍යා නිකුත් කිරිම ආරම්භ කල 1960 වසරෙන් පසුව, එහි පහත ම අගයන් කරා වැටුනු බව පසුගිය මාසයේ වාර්තා පෙන්නුම් කරයි. ඒ සමග ම, ඉහල ඉන්ධන හා ආහාර මිල ගනන්වල ප‍්‍රතිපල වශයෙන් පසුගිය මාසයේ දී එක්සත් ජනපද තොග අලෙවි මිල ගනන් සියයට 1.6න් ඉහල ගියේ ය.

ස්පාඤ්ඤය හා පෘතුගාලය තව තවත් මූල්‍ය වෙලඳපොලේ පීඩනයට හසුව තිබෙන තත්වය තුල, වසරකට පෙර යුරෝපයේ පුපුරා ගිය බැංකු හා මූල්‍ය අර්බුදය, විසඳී නොමැති බව පැහැදිලි ය.

ආසියාවේ දී, ජපාන ආර්ථිකය තවත් පසුබෑමක් අත්විඳීමට යන බව පෙනෙන්නට තිබෙන අතර දැවැන්ත නය ප‍්‍රසාරනයකින් අවුලුවනු ලැබූ, තිරසාර නොවූ නිශ්චල දේපල හා ඉදිකිරීමේ ක්ෂේත‍්‍රයේ උත්පාතයක් මගින් නිර්මානය කල චීන ආර්ථිකයේ ප‍්‍රසාරනය පිලිබඳව බිය පලවෙමින් තිබේ.

ඊට අමතරව මැදපෙරදිග දේශපාලන කලබැගෑනියේ ප‍්‍රතිපල වශයෙන් ඇතිව තිබෙන තෙල් මිල නැඟීම පසුබෑමක් නැත්නම් අඩුම තරමින් ආර්ථික සංකෝචනයක් පිලිබඳ භීතිය දල්වා ඇත.

දැන් භූ කම්පනයේ විනාශය ගෝලීය අස්ථාවරත්වය තවදුරටත් උත්සන්න කරයි. එහි ක්ෂනික බලපෑමක් වශයෙන්, ඊයේ වන විට පශ්චාත් දෙවන ලෝක යුද්ධ අවධියෙන් පසු ඩොලරයට සාපේක්ෂව යෙන් මුදල වාර්තාගත 76.25 ක් දක්වා ඉහල නැඟුනි. ආවේනික දැනුමට ප‍්‍රතිවිරුද්ධ මෙම වර්ධනය සිදුවන්නේ, ලෝකය පුරා මූල්‍ය වෙලඳපොලවලට නය සම්පාදනය කිරීමේ දී ජපාන ආයතන ඉටුකල මුඛ්‍ය ක‍්‍රියාකලාපය හේතුකොට ගෙනය.

දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 220කට වඩා නැඟී ඇති ජපානයේ රාජ්‍ය නය කන්දරාව තිබිය දී ම එරට, ඩොලර් ටි‍්‍රලියන 3ක් පමන වන විදේශ වත්කම් සහිතව ලෝකයේ ප‍්‍රධාන ම නය හිමි ජාතිය බවට පත්ව තිබේ. මෙයින් බිලියන 900ක් පමන ම ආයෝජනය කර ඇත්තේ එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කරයන්හි ය. එමඟින් ඇමරිකානු මූල්‍ය පද්ධතිය තිරසාර කිරීමේ තීරනාත්මක ක‍්‍රියාකලාපය ඉටුකරයි.

කෙසේ වෙතත් රටතුලින් ඉදිරිපත්විය හැකි රක්ෂන හා අනෙකුත් ඉල්ලීම් හමුවේ ජපාන ආයතන තමන්ගේ සමහර අරමුදල් සිය රටට මාරුකරන අතර එය යෙන් මුදලේ අගය වැඩිවීම කෙරේ බලපා තිබේ. එහෙත් යෙන් අගය ඉහල යෑම නිර්යාත අඩු කිරීමේ හා ආර්ථික වර්ධනය පහත හෙලීමේ තර්ජනය ගෙන එයි. එසේ ම කොටස් වෙලඳපොල මන්දෝත්සාහී කරයි. මේ මඟින් තව තවත් විදේශ වත්කම් හා අනේවාසික අරමුදල් විකුනා දැමීමට බැංකු හා රක්ෂන සමාගම් මත යෙදෙන පීඩනය දැඩිවන අතර ඒවායේ ප‍්‍රාග්ධන තත්වය තවදුරටත් පහලට ඇද වැටීම නිසා අරමුදල් ප‍්‍රති සම්පාදනයේ දී නිෂේධනාත්මක බලපෑම් ශක්තිමත් කරයි. මෙය සිදුවන්නේ, භූ චලනයේ ප‍්‍රතිපල වශයෙන් ආර්ථිකයට සිදුකල හානිය දදේනි සියයට 4කට සමාන වන ඩොලර් බිලියන 200ක් ලෙස ගනන් බලා ඇති තත්වය හමුවේ ය.

යෙන් මුදලේ අගය වැඩිවීම ගෝලීය ආර්ථිකය තවදුරටත් අස්ථාවර කිරීමට කරන තර්ජනය මධ්‍යයේ, ජී7 මධ්‍යම බැංකු, එහි අගය පහත හෙලීම සඳහා යෙන් මුදල් විකුනා දැමීමට එකඟත්වය පලකොට තිබේ. එහෙත් ඒ සමග ම අනෙකුත් දේවල් ද අතර, එක්සත් ජනපද ඩොලරයේ අගය පහතින් තබාගැනීමේ අරමුනෙන් පවත්වාගෙන යන සිය ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩ පිලිවෙල හරහා එරට මහ බැංකුව, ගෝලීය මූල්‍ය පද්ධතිය තුලට මුදල් පොම්ප කිරීමේ උත්සාහය අතහැර නොදමයි.

කෙසේ වෙතත් මෙම එකිනෙකට ගැටෙන ප‍්‍රවාහ හා ප‍්‍රති ප‍්‍රවාහයන්ගේ හරිම ප‍්‍රතිපලය කල්තියා පැවසීම අපහසුය. කෙසේ වෙතත් 2008 අර්බුදයට තුඩුදුන් කිසිදු ගැටලුවක් විසඳී නොමැති තත්වය තුල දැවැන්ත මූල්‍ය කලබැගෑනියක් ඇතිවීමට ඒ තුලින් කොන්දේසි සැකසී තිබෙන බව නම් පැහැදිලි ය.

භු කම්පනය ඇතිවීමටත් පෙර ප‍්‍රකෝටිපති රක්ෂිත අරමුදල් කලමනාකරුවෙක් වන කාල් ඉකාන්, තමා සිය ගනුදෙනු කරුවන්ගේ මුදල් ආපසු දෙන බව දන්වමින් ඔවුන් වෙත ලිපියක් යැවීය. "අප තවත් වෙලඳපොල කෑලි හැලීමක් පුරෝකථනය කරන්නේ නැති නමුදු එම හැකියාව අපට ඉවත දැමිය නොහැකිය” ඔහු එසේ ලිවීය. එසේම ඔහු, "පසුගිය දෙවසරෙහි වේගවත් වෙලඳපොල ක‍්‍රියාකාරිත්වය හා ආර්ථික දැක්ම පිලිබඳ දැනට පවත්නා කනස්සල්ල’’ ඔහුගේ තීරනයට බලපෑ කාරනය, එනම් "එලඹිය හැකි තවත් වෙලඳපොල අර්බුදයක අවදානම ගැනීමට බැරිකමට” හේතුවූ බව සඳහන්.

ජපාන සිදුවීම්වලට පූර්වයෙන් සූදානම් කර තිබුනු ප‍්‍රධාන කථාවක් තුල එංගලන්ත මහ බැංකුවේ අධිපති මර්වින් කිං, 2008 මූල්‍ය අර්බුදයට තුඩු දුන් ලෝක ආර්ථිකයේ අසමතුලිතතා ජයගෙන නොමැති බව සඳහන් කලේ ය. "වත්මන් අර්බුදය පතුලේ පැවති සාධක කිසිවක් ඉවත්ව ගොස් නැත. අසාර්ථකවීමට තරම් වැදගත් වැඩි ගැටලු තවමත් අප හමුවේ පවතියි. එයිනුත් වඩාම හික්මවිය නොහැකි අභියෝගය වන්නේ ස්ථාවර ජාත්‍යන්තර මූල්‍ය හා ෆිස්කල් පද්ධතියක් සමඟ නිදහස් වෙලඳාම සමහන් කරන්නේ කෙසේ ද යන්නයි. අද දිනයේ ගෝලීය මට්ටමක දී වඩාත් ම පැහැදිලි ගැටලුව වනාහි අසමතුලිතයන් යලි වතාවක් හිස ඔසවමින් තිබීමයි.”

කිං කෙලින් ම යුරෝපයට ඇඟිල්ල දිගු නොකල නමුත් ගෝලීය මූල්‍ය පද්ධතියේ ගැඹුරුවන ප‍්‍රතිවිරෝධයන් ඒවායේ තියුනු ම රූපයෙන් ඉස්මතු වූයේ එහි ය. හටගෙන ඇති ඊනියා "රාජ්‍ය නය” අර්බුදය සැබෑ වශයෙන් නම් බැංකු පද්ධතිය පිලිබඳ අර්බුදයකි. ඩර් ස්පීගල් සමඟ මෑතක දී පැවති සම්මුඛ සාකච්ඡාවක් තුල එසේ පැවසුවේ ප‍්‍රකට ඇමරිකානු සාර්ව ආර්ථික විද්‍යාඥයෙකු වන බැරී අයිසන්ග‍්‍රීන් ය.

"වත්මන් ඇපදීමේ උත්සාහය කිසි විටෙකත් තර්කානුකූල නැත. අවශ්‍යයෙන් ම ජර්මනියට හා ප‍්‍රන්සයට ඕනෑකර තිබෙන්නේ මෙකී පියවර සමගින් තමන්ගේ ම බැංකු බිඳ නොවැටී රැක ගනීමටයි. යුරෝ අර්බුදය පලමුවෙන් හා පරම වශයෙන් බැංකු අර්බුදයකි. බොහෝ මිනිසුන් වටහාගෙන සිටිනවාට වඩා යුරෝපීය බැංකු, බරපතල අන්තරායකට මුහුන දී සිටියි.” ඔහු එම සඟරාවට පැවසීය.

ජාත්‍යන්තර සමත බැංකුවේ අලුත්ම දත්ත මගින් මෙම අන්තරායේ පරිමාව හෙලිදරව් කර තිබේ. ග‍්‍රීසිය, අයර්ලන්තය, පෘතුගාලය හා ස්පාඤ්ඤය යන වඩාත්ම ගැටලු සහගත යුරෝපීය ආර්ථිකයන් හතරට මුලුමනින්ම නිරාවරනය වී තිබෙන විදේශ බැංකුවල වත්කම ඩොලර් ටි‍්‍රලියන 2.5කට වැඩි බව මේ මඟින් පෙන්නුම් කෙරෙයි.

තවත් මූල්‍ය අර්බුදයක තර්ජනය වැඩෙමින් ඇත්තේ, ලේමන් බැංකුව බිඳවැටීමේ අවධියේ තිබුනාටත් වඩා, ජාත්‍යන්තර සම්බන්ධීකරන ප‍්‍රතිචාරයක ශක්‍යතාව අද දිනයේ අඩු මට්ටමක පැවතීමේ තත්වය තුල ය. එම අර්බුදයෙන් ඉක්බිත්තේ ඊනියා ජී20 කන්ඩායම, ජාත්‍යන්තර ධනවාදය සඳහා නියාමනයේ හා සම්බන්ධීකරනයේ මන්ඩලයක් වැනි දෙයක් ලෙස මතුවී ආවේ ය.

දෙවසරක ඇවෑමෙන්, හැම විටම මෙම ඉදිරිදර්ශනය අන්තර්ගත කරගෙන තිබුන මිත්‍යාව හෙලිදරව් වී තිබේ. ෆොරීන් එෆෙයාර්ස්හි අලුත්ම කලාපයේ ප‍්‍රකාශයට පත්කර තිබුන ඇමරිකානු අර්ථශාස්ත‍්‍රඥයින් දෙදෙනෙකු වන ඉයන් බී‍්‍රමර් හා නොරියෙල් රූබිනීගේ ලිපියකින් පෙන්වා දී ඇත්තේ, ජී20, ජී3 හෝ ජී2 පවා ප‍්‍රානශක්‍ය නොවන බවයි. "දැන් අප ජීවත් වන්නේ ජීශුන්‍ය ලෝකයකයි. එනම්, අව්‍යාජ ජාත්‍යන්තර න්‍යායපත‍්‍රයක් කරා තල්ලුවන දේශපාලන හා ආර්ථික ලීවරයක් නැතිනම් අභිලාෂයක් සහිත තනි රටක් හෝ රටවල් කාන්ඩයක් නොමැති ලෝකයකි.” සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති, වෙලඳාම, මූල්‍ය හා දේශගුනික විපර්යාස වැනි අතිශයින්ම වැදගත් ප‍්‍රශ්න මුල් කරගෙන ජාත්‍යන්තර කරලියේ ගැටුම් උත්සන්න වීම එහි ප‍්‍රතිවිපාකය වන බවට ඔවුන් අනතුරු අඟවති. තව ද ආර්ථික හා මූල්‍ය කම්පන තරංඟ ජපානයෙන් පිටතට පැතිරයාමත් සමග මෙම ප‍්‍රතිඝතිතා තවදුරටත් උග‍්‍රවනු ඇත.

න්‍යෂ්ටික බලාගාර, පුද්ගලික අයිතිය යටතේ ක‍්‍රියාත්මක වන සංගත වෙත පැවරීමට හා ඒවා ලෝකයේ වඩාත්ම භූ කම්පන වලට ගොදුරුවන කලාපයක ස්ථානගත කිරීමට තීරනය කරන්නාවූ ආර්ථික හා දේශපාලන පර්යායක මාරාන්තික ප‍්‍රතිවිපාක දැන් පැහැදිලිව දැකගත හැකිය.

කෙසේ වෙතත්, ධනේශ්වර වෙලඳපොලේ හා පෞද්ගලික ලාභ පද්ධතියේ අන්ධ හා විනාශකාරී ක‍්‍රියාකාරිත්වයට ලෝක ජනතාවගේ ජීවිත හා ජීවනෝපායන් යටත් කරනු ලබන ගෝලීය ආර්ථික පර්යායක ප‍්‍රතිවිපාක ඊට කිසි සේත්ම නොඅඩු ලෙසින් මාරාන්තික ය. සමාජ අවශ්‍යතා සපුරාලීම පිනිස ගෝලීය ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කරන, ජාත්‍යන්තර සමාජවාදයේ ක‍්‍රියාමාර්ගය වටා ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් වීමේ අවශ්‍යතාව මේ මඟින් මතුකර තිබේ.

නික් බීම්ස්