ඔබාමා හා ලිබියාව

Obama and Libya

21 March 2011

ඔබාමා පරිපාලනය මැද පෙරදිග බෙහෙවින්ම අනාරක්ෂිත රටකට එරෙහිව තවත් මෘග යුද්ධයක් දියත් කර තිබේ. එය ලිබියාව පුරා නගරවලට හා මධ්‍යස්ථාන වෙත කෲස් මිසයිල් හා බෝම්බ හෙලීමට නියෝග දී ඇති අතර දැනටමත් බොහෝ දෙනෙක් මරුමුවට පත්කොට සියගනනකට තුවාල සිදුකොට ඇත.

පෙන්ටගනයේ ප‍්‍රචාරක අන්ඩක් ලෙස යලි වතාවක් සිය සේවය පුදකොට ඇති ව්‍යාපාරික පාලනය යටතේ තිබෙන මාධ්‍ය අතලොස්සකට වඩා මෙම අලුත් යුද්ධය අරඹා තිබෙන්නේ ඉරාක යුද්ධයට මුල පිරූ "භ‍්‍රාන්තිය හා විශ්මය” යන පද බැඳුමේ අටවන සංවත්සරය මධ්‍යයේ බව සඳහන් කිරීමට වත් උනන්දුවක් දක්වා නැත. මිනිසුන් ලක්ෂ ගනනකගේ ජීවිත බිලිගැනීමෙන් පසුව, 50,000 පමන එක්සත් ජනපද හමුදාවක් ඉරාක භූමියේ තවමත් රඳවා සිටින තත්වය හමුවේ යුද්ධය අද දක්වාමත් ගෙනයනු ලබයි.

2008 සිය මැතිවරන ජයග‍්‍රහනය බොහෝ කොට ම යුද විරෝධී මහජන මතයට ඇමතීම මගින් අත් කර ගත් ජනාධිපති බරක් ඔබාමා, ඉරාක යුද්ධය දිගටම ගෙන යමින් ද ඇෆ්ගනිස්ථාන යුද්ධය පකිස්ථානය තුලට පතුරුවා හරිමින් ද සෝමාලියාවේ හා යේමනයේ මිලිටරි මැදිහත්වීම් තවත් විහිදුවා ද ඇත. ඔහු තමාගේ ම භ‍්‍රාන්තියේ හා විස්මයේ අදියර දැන් අරඹා ඇති අතර, ප‍්‍රතිපල ඒ ආකාරයෙන් ම ව්‍යසනකාරී වන බව විශ්වාස කිරීමට සෑම අතකින්ම කරුනු යෙදී තිබේ.

එක්සත් ජනපදය කරන්නේ, එක්සත් ජාතීන්ගේ යෝජනාව බලාත්මක කිරීම සඳහා අනෙකුත් ජාතීන් හට උපකාරී වන හුදු "සීමිත මිලිටරි ප‍්‍රතික‍්‍රියාවක්” බවට කරන ඔබාමාගේ ප‍්‍රකාශ පෙන්නුම් කරන්නේ, ආක‍්‍රමනයේ නව යුද්ධයක් තුලට ඩිමොක‍්‍රටික් පරිපාලනයේ කඩාපැනීම පිලිබඳ බියගුලුකම, නොසැලකිලිමත්කම හා කුහක කමයි. වොෂින්ටනය "කිසිදු එක්සත් ජනපද හමුදාවක් ලිබියාවට ගොඩ නොබස්වන” බවට ඔහු යලි යලිත් කරන දිවිරීම වැදගැම්මකට නැත. ඒ, ආධාරකරුවන් හා එක්සත් ජනපද ව්‍යවස්ථා සම්පාදකයින් වෙත ඔහු පොරොන්දු වී ඇති බවට පලවී ඇති වාර්තා සමඟ බලන කල ය. ඉන් කියැවෙන්නේ ලිබියාවට කරන එක්සත් ජනපද ප‍්‍රහාරය "සති ගනනක් නොව දින ගනනක් පිලිබඳ ප‍්‍රශ්නයක්” බවයි.

එවන් වගකීම් විරහිත ප‍්‍රකාශ තුල යමෙකුට දැකගත හැක්කේ, ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් වැන්නෙකු ය. ඉරාක යුද්ධය ආසන්නයේ ඔහු මාධ්‍ය වෙත සහතික වශයෙන් කියා සිටියේ, "අද දිනයේ ඉරාකයට එරෙහිව යොදන බලය දින පහක් හෝ සති පහක් හෝ මාස පහක් පවතීදැයි මට කිව නොහැක. එහෙත් නිසැකව ම එය ඊටත් වඩා කාලයක් නම් නොපවතින්නේම ය.” යනුවෙනි.

ඊනියා "මැටියෙන් සෑදූ අටුව” අනුව, ඔබ එය බිඳින්න, එය ඔබටය, යන නීතිය හුවා දක්වමින් එවකට රාජ්‍ය ලේකම්ව සිටි කොලින් පවෙල් ඉරාක යුද්ධයේ විය හැකි ප‍්‍රතිවිපාක පිලිබඳව ජෝර්ජ් ඩබ්ගලිව්. බුෂ් වෙත කල අනතුරු ඇඟවීම අදටත් වලංගු ය. පවත්නා පාලන තන්ත‍්‍රයක් අබල දුබල කර බලයෙන් පහකිරීමේ අරමුන සහිතව ගෙනයන යුද්ධයේ තර්කනය නිර්දය වේ. එවන් ප‍්‍රහාරයක නියැලෙන අධිරාජ්‍යවාදී බලවතා මෙහෙය වෙන්නේ තමාගේ අභිමතයට වඩාත් අනුකූල නව තන්ත‍්‍රයක් නඟා සිටුවීමට ය. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රතිපලයෙන් සරලව පෙනී යන්නේ, යටත් විජිතවාදයේ පුනර්ජීවනය හා යටත් කරගත් ජනතාවගේ ප‍්‍රතිරෝධය බිඳ දැමීමේ නිමක් නැති උත්සාහය මඟින්, කර්සායි හා මලිකි වැනි ෆ‍්‍රැන්කස්ටියානු දේශපාලන භූතයන් (නිර්මාතෘගේ ම ගෙල සිරකරන) නගාසිටුවා තිබෙන බවයි.

බොහෝ දෙනෙක් ව්‍යාජ වම්මුන් වන ඔබාමා පාලනාධිකාරයේ ක්ෂමාලාපකයින්, නොවලහා කියා සිටින්නේ වත්මන් යුද්ධය බුෂ් යටතේ සිදු වූ යුද්ධ සමඟ සැසඳිය නොහැකි බවය. වර්තමාන තත්වයේදී අපට කියන්නේ, අරමුන පාරිශුද්ධව ම ලිබියානු ජනතාව ආරක්ෂා කරන මානවවාදී ව්‍යාපෘතියක් බවයි. තව ද එය එක්සත් ජාතීන්ගේ අනුමැතිය සහිත හා අරාබි සංඟමය විසින් පවා ඉල්ලා සිටි යුද්ධයක් බවයි. මෙහි දී අපට හමුවන්නේ ඒකපාර්ශවික "බුෂ් ධර්මතාව" නොව ඊට මුලුමනින්ම වෙනස් බහුපාර්ශවික යයි සැලකෙන "ඔබාමා ධර්මතාවයි.”

මේ සියල්ල ඇස්වලට වැලිගැසීමකි. යුද ටැංකි වලට, හමුදාවන්ට හා නාගරික මධ්‍යස්ථානවලට මෙන්ම විහිදී ගිය හමුදා මධ්‍යස්ථානවලට පහරදීම් වශයෙන් සිදු කෙරෙන බෝම්බ දැමීම් ඇතුලු මිලිටරි පියවර, සිවිල් ජනතාව ආරක්ෂා කිරීමට පමනක් සීමාවන බවට දැනට දී තිබෙන සහතික නිෂ්ප‍්‍රභා කර තිබේ.

එක්සත් ජනපදය විසින් සිදුකරන ආක‍්‍රමනයේ සෑම මිලිටරි ක‍්‍රියාවක් ම සාමාන්‍යයෙන් යුක්තිසහගත කරන්නේ, පීඩාවට පත්ව සිටින ජනතාව මුදාගැනීමේ මානවවාදී ව්‍යායාමයක් ලෙස හඳුන්වමිනි. 1993 වසරේ සෝමාලියාවට හා බොස්නියාවට කල මැදිහත්වීම් වලදී මෙන්ම දශකයේ අවසන් අදියරේ සර්බියාවට එරෙහි යුද්ධයේදී ද යොදාගනු ලැබුවේ මෙම සූත‍්‍රයයි. ඇෆ්ගනිස්ථාන ආක‍්‍රමනය හුවාදැක්වූයේ, තලිබාන් හා අල්කයිඩා සංවිධානයන්ට එරෙහිව ඇෆ්ගන් ජනතාව ආරක්ෂා කිරීමේ කුරුස යුද්ධයේ කොටසක් ලෙස ය. එක්සත් ජනපද ආන්ඩුව හා එහි මාධ්‍ය ඉරාක යුද්ධය ගොතනු ලැබුවේ, විස වායු යොදාගෙන තමන්ගේ ම ජනතාව මරාදැමූ නායකයෙකු ඉවත් කිරීමේ හා ඉරාක ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආශීර්වාදය ගෙන දෙන දූත මෙහෙවරක් ලෙස ය.

"කිසිදු අනුකම්පාවකින් තොරව සිය හමුදා, ඔවුන්ගේ ප‍්‍රහාර වේගවත් කරනු ඇතැයි ආඥාදායකයෙක් තම ජනතාවට කියා සිටින විට අපට නිශ්ක‍්‍රීයව බලාසිටිය නොහැකිය.” යනුවෙන් ලිබියාවට එරෙහි යුද්ධය යුක්තිසහගත කරමින් ඔබාමා 19දා ප‍්‍රකාශ කලේ ය.

පාලක රජ පෙලපත නිරායුධ විරෝධතාකරුවන් වීදිවල දී වෙඩිතබා මරාදමන විට ද පීඩිත ෂියා බහුතරයකට එරෙහිව කන්ඩායම්වාදී ප‍්‍රචන්ඩත්වය මුදාහරින විට ද බහරේනයේ දී වොෂින්ටනය, සත්තකින්ම නිෂ්ක‍්‍රීයව සිටියේ නැත. මහජන නැඟිටීම තලාදැමීම සඳහා සවුදි අරාබිය හා අනෙකුත් ආඥාදායක රාජවංශයන් හා එමිරේට්වරුන්ගේ මැදිහත්වීමට එය සහයෝගය ලබා දුන්නේය.

එසේම පසුගිය 18දා අඩු ම තරමින් සාමකාමී විරෝධතාකරුවන් 56 කෙනෙකු වත් මරාදමමින් යේමන් තන්ත‍්‍රය හදිසි නීතිය පැනවු පසුව ඔබාමා පාලන තන්ත‍්‍රය හුදෙක් ප‍්‍රචන්ඩත්වය පිලිබඳව "කනගාටුව” ප‍්‍රකාශ කරමින් "සාකච්ඡා” මාර්ගයට එලඹෙන ලෙස ඉල්ලා සිටි අතර එක්සත් ජනපදයේ පිටුබලය ලබන අලි අබ්දුල්ලා සාලේ ආඥාදායකත්වයේ "ස්ථාවරභාවය” වෙනුවෙන් තම කැපවීම ප‍්‍රකාශ කලේය.

කුමන ආකාරයේ මර්දනයක් එක්සත් ජනපද මැදිහත්වීමක් ඉල්ලා සිටියේ දැයි තීරනය කිරීම සඳහා ඔබාමා පරිපාලනය විසින් යොදාගත් උපමානය සාර්වත‍්‍රික සදාචාරාත්මක මූලධර්මයක් නොව නග්න අධිරාජ්‍යවාදී අවශ්‍යතාවකි.

ප‍්‍රථම පියවරේ දී ම පලමුව ඉරාකයත් දැන් ලිබියාවත් ඉලක්කයන් බවට පත්ව තිබෙන්නේ, ගනන් බලා ඇති ආකාරයට එය සතු බැරල් බිලියන 40කට වැඩි තෙල් සංචිත නිසා ය. එක්සත් ජනපදයේ මූලෝපායික අවශ්‍යතා හා ව්‍යාපාරයන්ගේ ලාභය යන දෙකම සඳහා මෙම තෙල් සම්පත්වල ඇඟවීම් කරනකොට ගෙනය.

වොල් ස්ටී‍්‍රට් ජර්නලය හා අනෙකුත් මූලාශ‍්‍ර වලින් පෙන්නුම්කර ඇති පරිදි එක්සත් ජනපදයේ මිලිටරි මැදිහත්වීමක් සඳහා ක්ෂනික ආවේශය දිරිගැන්වූයේ, ලිබියාව තුල ගඩාෆි තන්ත‍්‍රයේ පැතිර යන මර්දනය හෝ අරාබි සංගමය ලබාදුන්නේ යයි සැලකෙන නීතිමය ආවරනය මඟින් නො වේ.

ඊස්රායල් ආක‍්‍රමනිකත්වය හෙලා දකිමින් අරාබි සංගමය අතීතයේ දී නිකුත්කොට තිබෙන ප‍්‍රකාශන පිලිබඳව වොෂින්ටනය මීට පෙර සිය නොසැඟවුනු සතුරුභාවය පෙන්නුම්කර තිබේ. අධිරාජ්‍යවාදී බලවතුන් ක‍්‍රියාත්මක කල යුත්තේ කුමක් දැයි එම සංගමය ප‍්‍රකාශයට පත්කල විට පමනක් එය බලය සහිත හඬක් බවට පත්ව තිබේ.

බෝම්බ හා මිසයිල් මඟින් ලිබියාවට පහර දීමට පටන් ගත් විගස සංගමයේ නායකයා වන අමීර් මූසා, "අපට අවශ්‍ය වන්නේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව මිස තව තවත් සිවිල් වැසියන්ට බෝම්බ හෙලීමක් නොවේ.” යයි පවසමින් එම ක‍්‍රියාව හෙලා දැක්කේය. ඊජිප්තුවේ ජනාධිපති තනතුර සඳහා තරග වැදීමේ අපේක්ෂාවෙන් පසුවන මූසා සිය පා සලකුනු මැකීමේ උත්සාහයක නිරතව සිටියි. ඊජිප්තුවේ ද අරාබි ලෝකය පුරාද බහුතරයක් ජනතාව එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් ප‍්‍රහාරයකට විරුද්ධ වන බව මූසා හොඳාකාරම දැන සිටියි.

ජර්නලයේ වාර්තාවට අනුව ඔබාමා පාලනාධිකාරයට ක‍්‍රියාත්මක වීම සඳහා බලකෙරුනේ, "මැදිහත්වීමක් වෙනුවෙන් වඩාත් ආක‍්‍රමනශීලී ලෙස හඬනැගූ බ‍්‍රිතාන්‍යය හා ප‍්‍රන්සය යන දෙරට විසින් තමන් අභිබවා යනු ඇතැයි” පලවූ බිය නිසා ය. 1956 සූවස් අර්බුදය අවස්ථාවේ සිදු වූ අවසාන ඇන්ග්ලෝ-ප‍්‍රන්ස මිලිටරි මැදිහත්වීමේ දී එක්සත් ජනපදය පාපිස්ස ඉවතට ඇද දැමීමේ තැන් පටන්, කලාපය තුල එය පවත්වාගෙන ගිය අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට තමන්ගේ ම අභිමතය පරිදි ක‍්‍රියාකරන කලාපයේ පැරනි යටත්විජිතවාදී බලවතුන් වෙතින් එල්ල වන අභියෝගය හමුවේ එයට නිහඬව සිටිය නොහැකි ය.

ලිබියානු යුද්ධයේ හදවතෙහි ම ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍ර පරහිතකාමය නොව, අධිරාජ්‍යවාදී ආසක්තයන් හා වර්ධනය වන අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම් ය. ගෝලීය තත්වය වඩ වඩාත් සමානකම් දක්වන්නේ පලමුවන හා දෙවන ලෝක සංඟ‍්‍රාමයන් අවධියේ ලෝක ධනවාදය වෙලාගත් එම විසකුරු අර්බුද මාලාවට ම ය.

1937 ලෝක යුද්ධය එල්බීගෙන තිබිය දී ෆ‍්‍රෑන්ක්ලීන් ඩිලානෝ රූස්වෙල්ට් ෆැසිස්ට් ආක‍්‍රමනකාරිත්වය "නිරෝධායනය” කිරීමේ කැඳවුමක් සහිත කථාවක් පැවැත්වීය. ඔහු ඇමරිකානු ජනතාවට මෙසේ පැවසී ය.

"යුද්ධය ප‍්‍රකාශ කිරීමෙන් තොරව, කුමන ආකාරයේ හෝ අනතුරු ඇඟවීම් හා යුක්තීකරනයන් නොමැති වූ විට ගැහැනුන් හා ලමුන් විශාල සංඛ්‍යාවක් ද සමඟ සිවිල් වැසියන් ගුවනින් හෙලන බෝම්බ මඟින් කුරිරු ලෙස මරාදමනු ඇත. ඊනියා සාමය පැවති අවධියේ දී කිසිදු හේතුවකින් හෝ දැනුම් දීමකින් තොරව සබ්මැරීන මඟින් නැව්වලට පහර දී ගිල්වනු ලැබිනි. තමන්ට කිසි දා කිසිදු හානියක් සිදු නො කල ජාතීන්ට එරෙහිව අනෙකුත් ජතීන් උසිගන්වා සිවිල් යුද්ධ මාවතට ඇද දැමින. තමන් සඳහා විමුක්තිය ඉල්ලා සිටින ජාතීන් අනෙකුන්ගේ අයිතිය ප‍්‍රතික්ෂේප කරති. සාධාරනත්වයේ හා මානව උත්සුකයන්ගේ සියලු අර්ථයෙන් දුරීභූත කල යුතු ආධිපත්‍යය හා බලය සඳහා වන කෑදරකම වෙනුවෙන් අහිංසක ජනතාවන් ද අහිංසක ජාතීන් ද කුරිරු ලෙස ගසාකනු ලබයි.”

රූස්වෙල්ට් සූදානම් වෙමින් සිටියේ තමන්ගේ ම අධිරාජ්‍යවාදී අරමුනු මුදුන්පත් කර ගැනීම සඳහා වුවත්, අද දිනයේ මුලුමනින් ම අතුරුදහන්වී ඇති ප‍්‍රජාතන්ත‍්‍ර මූලධර්ම කෙරෙහි උත්සුකයක් ද එමඟින් පිලිබිඹු කෙරිනි. නාසි හා ෆැසිස්ට් තන්ත‍්‍රයන්ගේ අපරාධ පිලිබඳව ඔහු එල්ල කල චෝදනා කිසිදු සංශෝධනයකින් තොරව, කොන්ග‍්‍රසයේ අනුමැතියක් නොමැතිව හා ඊටත් වඩා ඇමරිකානු ජනතාවගේ අනුදැනුමකින් තොරව, ආක‍්‍රමනයේ යුද්ධයක් දියත්කර තිබෙන ඔබාමා පාලනාධිකාරයේ අපරාධ සම්බන්ධයෙන් ද යෙදිය හැකිය. එනම්, "ගුවනින් හෙලන බෝම්බ මඟින් සිදුකරන ජන ඝාතන” හා එක්සත් ජනපදයට කිසිවක් සිදු නොකල රටක දී සිවිල් යුද්ධයක පැති ගැනීම.

මෙම ආක‍්‍රමනය සඳහා ඇමරිකානු වැඩ කරන ජනතාවට, තම ජීවන තත්වයන්, සමාජ කොන්දේසි හා මූලික අයිතීන් මත දෙගුන කල ප‍්‍රහාරයකින් වන්දි ගෙවීමට සිදුවනු ඇත. පැය කිහිපයක් තුල විදින ලද ටොමහෝක් කෲස් මිසයිල 112 වටිනාකම ඩොලර් මිලියන 100 ඉක්මවයි. එක්සත් ජනපදයේ යුද ගුවන් යානා හා යුද නැව් මෙහෙයවීම සඳහා නාස්ති කර ඇති ධනය ඊට වඩා බෙහෙවින් වැඩි ය. මෙම ක‍්‍රියාන්විතයේ වියදම පිලිබඳව වචනයක් වත් සඳහන් වී නැත. එසේ වන්නේ දේශපාලඥයින් හා මාධ්‍ය, ආන්ඩුවට මුදල් නොමැති නිසා පාසැල් වසා දැමිය යුතුය, ගුරුවරුන් රැකියාවලින් පහකල යුතුය, අත්‍යවශ්‍ය සමාජ වැඩ සටහන් හා වැටුප් නැට්ටටම කැපිය යුතුය, රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම ගෙවීම් හා සෞඛ්‍ය ආරක්ෂන කප්පාදුකල යුතුය, යි තොර තෝංචියක් නැතිව කෑකොස්සන් ගසන අතරතුර ය.

ඔබාමාට පිටුබලය දෙන හිටපු වම්මුන්ගේ විරෝධතා කන්ඩායම් අරක්ගත් නිල "යුද විරෝධී” ව්‍යාපාරයේ හුස්ම හිරකිරීමෙන්, යුද්ධයට එරෙහි අරගලය ගලවාගත හැක්කේ, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකටත්, යුදවාදයේ මූලාශ‍්‍රය වන ධනේශ්වර පද්ධතියටත් එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක පදනමෙහි පමනි.

ලිබියාවේ, ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ අධිරාජ්‍යවාදී යුද්ධයන්ට එරෙහිව අරගලය කිරීමට අවශ්‍ය සියල්ලන්ගෙන් ම අප ඉල්ලා සිටින්නේ, සමාජවාදී සමානතා පක්ෂය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ විසින් "අද දිනයේ සමාජවාදය සඳහා අරගලය” යන මාතෘකාවෙන් එක්සත් ජනපදය පුරා අපේ‍්‍රල් මාසය තුල සංවිධානය කර ඇති රැස්වීම් මාලාවට සහභාගී වන ලෙසයි.

බිල් වෑන් ඕකන්