ධනවාදයේ බිඳවැටීම සහ ඇමරිකා එක්සත් ජනපදය තුල සමාජවාදය සඳහා සටන

The Breakdown of Capitalism and the Fight for Socialism in the United States

By Socialist Equality Party, 2 September 2010

සමාජවාදී සමානතා පක්ෂයේ කි‍්‍රයා මාර්ගය

පලමුවැනි කොටස

2010 සැප්තැම්බර් 02

යට දැක්වෙන ලියවිල්ල 2010 අගෝස්තු 11-15 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප‍්‍රාන්තයේ ඈන්ආබර්හි පවත්වන ලද සමාජවාදී සමානතා පක්ෂය (ඇමරිකා එක්සත් ජනපදය) ප‍්‍රථම ජාතික සම්මේලනය විසින් සම්මත කර ගන්නා ලදී. මෙම ලියවිල්ල කොටස් තුනකින් පලවන අතර එහි ප‍්‍රථම කොටස මෙහි පලවේ. දෙවෙනි සහ තුන්වෙනි කොටස් පසුව පලවනු ඇත. සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්නේ කෙසේද යන්න පිලිබඳ තොරතුරු ලබා ගැනීම පිනිස මෙහි ක්ලික් කරන්න.

ආර්ථික අර්බුදය සහ එහි සමාජ බලපෑම

1. 1930 ගනන්වල මහා අවපාතයෙන් මෙපිට දැවැන්තම අර්බුදය තුල ලෝක ධනවාදය හිරවී සිටී. 2008 සැප්තැම්බර් මාසයේ දී වෝල් වීදියේ බල සංකේත සමාගම් හදිසියේ බිඳ වැටීම ගෝලීය ආර්ථික බිඳවැටීමක් ලෙස ලොව පුරා ඔඩුදුවා ඇත. දශක ගනනාවක් තිස්සේ ධනවාදයේ ක්ෂමාලාපකයෝ ඇමරිකානු ශෛලියේ "නිදහස් වෙලඳපල” වනාහී ආර්ථික සංවිධානයේ වඩාත්ම පරිපූර්න රූපාකාරය යයි ප‍්‍රකාශ කර සිටියෝය. ඔවුන් එලඹෙන අර්බුදයේ බොහෝ සලකුනු නොතකා හැරි අතර මහා ධනපති සංගත විසින් පාලනය කරන ලද ජන මාධ්‍යය පාලක පන්තියේ ජාවාරම් සහ පෞද්ගලික ජීවන රටාවට අවේනික වූ ඉවබව නැති මූල්‍යමය සමපේක්ෂනය හා ධනය රැස්කර ගැනීම උත්කර්ශයට නැංවූහ. අන්තිමේ 2008 දී ව්‍යසනය කඩාපාත්වූ කල්හි බැංකු පද්ධතිය බිඳ වැටීමෙන් බේරා ගැනීම සඳහා ඩොලර් බිලියන සිය ගනනක් එය තුලට එන්නත් කරමින් එක්සත් ජනපද ආන්ඩුව මැදිහත් විය. මුලු ධනේශ්වර පද්ධතියේ ම පැවැත්ම අභියෝගයට ලක්ව ඇතැයි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධියේ පිලිගත්තේ ය. හදිසියේ වියදම් කරන ලද මහා ඇප මුදලට හැකි වූයේ ධනවත් ආයෝජකයින් ආරක්ෂා කිරීම පමනි. අර්බුදයේ වර්ධනය වැලැක්වීමට එය අසමත්විය.

2. අවපාතයේ "කොන්ද කැඩීමට” තමන්ට හැකිව ඇතැයි ඔබාමා පාලනාධිකාරය ප‍්‍රසිද්ධියේ කල කියාපෑම වනාහී මහජනයාට ඕනෑම දෙයක් ගිල්ලවිය හැකි යයි සිතා සිටින නරුම දේශපාලනිකයෙක් තම වාසියට දෙසාබෑ මහ බොරුවක් පමනි. වැඩෙන සමාජමය දුක්දොම්නස් පිලිබඳ සත්‍යය වසන් කිරීම එතරම් පහසු නැත. ඇමරිකා එක්සත් ජනපදය තුල බිලියන 26ක් ජනයාට රැකියා නැත, එසේ නැතහොත් පූර්නකාලීන රැකියා සොයාගැනීමට නොහැකිව ඇත. නිල විරැකියා ලේඛනවල ගනන් බලා තිබෙන සංඛ්‍යාවෙන් හරි අඩක්ම මාස 6කට වැඩි කාලයක් රැකියාව නැතිව සිටි අය ය. මේ වනාහී 1930 ගනන්වල ට පසු දක්නට ලැබෙන ඉහලම විරැකියා මට්ටමය. තමන්ගේ අධ්‍යාපනය සඳහා ගත් නය වලින් මිරිකී සිටින තරුනයෝ සරසවිවලින් පිටවූ පසු යහපත් වැටුප් සහිත රැකියා තබා අඩු ගනනේ කුමක් හෝ රැකියාවක් හෝ සොයාගැනීමට නොහැකිව සිටිති.

3. නය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා සෑම වර්ෂයකම මිලියන ගනන් කම්කරුවෝ තම නිවෙස්වලින් දොට්ට වැටෙති. 1970 ගනන් වල සිට පහල යමින් තිබුනු ඇමරිකානු කම්කරුවන්ගේ ආදායම දැන් පාතාලයට ඇද වැටෙමින් පවතී. වත්මන් අවපාතය ඇරඹීමත් සමග වැටුප් කප්පාදු රැල්ලක් පැන නැග තිබේ. දශලක්ෂ ගනන් කම්කරු පවුල්වලට තමන්ගේ අවම වියදම් පවා පියවාගත නොහැකිය. බිල් ගෙවාගත නොහැකි අය අමානුෂික දඩයමකට ගොදුරු වෙති. ඩිට්‍රොයිට් වැනි නගරවල දිලිඳු බවට ඇද වැටුනු කම්කරුවන්ගේ ගෑස් සහ විදුලිය පොදු පහසුකම් සපයන මහා සමාගම් විසින් නිරතුරුවම කපා දැමීම රට පුරා දුසිම් ගනන් කම්කරුවන්ට මරනය ලඟා කර දී ඇත.

4. සියලුම ප‍්‍රාන්ත රාජ්‍ය සහ ප‍්‍රාදේශීය පාලනාධිකාරයෝ මූල්‍ය අර්බුදයේ ග‍්‍රහනයට හසුවී සිටිති. මහා සමාගම්වල ලොක්කන් මෙයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ කම්කරුවන් තව තවත් කැප කිරීම් කල යුතු යැයි කියා ය. ඊයේ බැංකු බේරාගැනීම සඳහා බිලියන ගනන් යට කල දේශපාලකයෝ අද අත්‍යවශ්‍ය සමාජ සේවා වැඩපිලිවෙල සඳහා මුදල් නැතැයි නිවේදනය කරති. විශ‍්‍රාම වැටුප් සැලසුම් පොරොන්දු කඩකර දැමේ, පැසැල් වැසේ, ප‍්‍රාදේශීය ජන සමූහයන්ගේ යහපත සඳහා අවශ්‍යවන ගනන් නැති සමාජ සේවා දරුනු ලෙස කප්පාදු කෙරේ, නැතහොත් අහෝසි කෙරේ. සෞඛ්‍ය සේවාවෝ "ප‍්‍රතිසංවිධානය කිරීමේ” නාමයෙන් වඩවඩාත් දරුනු කප්පාදුවට ලක් කෙරේ.

5. ඇමරිකා එක්සත් ජනපදයේ කම්කරුවන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරය ගෝලීය සන්තතියක කොටසකි. 2008 සැප්තැම්බරයේ ඇරඹුන ආර්ථික බිඳවැටීම 1929 වෝල්වීදියේ බිඳ වැටීමට සමානය. අවුරුදු 80කට පෙර මෙන්ම දැන් ද අර්බුදය ඇරඹුනේ එක්සත් ජනපදය තුලිනි. එහෙත් එය ඉක්මනින්ම යුරෝපය තුලට ද ලෝකය පුරාම ද පැතිර ගියේ ය. 2008 සැප්තැම්බරයේදී වෝල්වීදියේ බැංකු සහ ආයෝජන සමාගම් බංකොලොත් බවට පත්වූහ. 2010 වසන්තයේ දී යුරෝපීය රටවල මූල්‍යමය පැවැත්ම අවදානමේ පවතී. වේදනාකාරී කප්පාදු පියවරයන් කි‍්‍රයාත්මක කිරීම සෑම ආන්ඩුවකම ප‍්‍රකාශිත පිලිවෙතයි.

6. 1929 වෝල් වීදියේ බිඳවැටීමෙන් ඉක්බිත්තේ ආන්ඩු සහ පුවත්පත් නිමක්නැතිව වාදනය කලේ "සමෘධිය අත ලඟය” යන තාලයයි: එහෙත් 1929 ඇරඹුනු මහා අවපාතය ලෝකය පුරාම වසර 10ක් තිස්සේ පැතිර පැවති අතර පෙර නුවූ විරූ දුකට සහ විනාශයට ද මිලිටරි ඒකාධිපතිත්වයට ද ෆැසිස්ට්වාදයට සහ ලෝක යුද්ධයට ද මග පෑදුවේය.

7. පසුගිය ඛේදවාචකයන්ගේ අවතාරය පෙර කවර කලකටත් වඩා දැවැන්ත ලෙස සැරිසරයි. 20වන ශතවර්ෂයේ විප්ලවීය සමාජවාදයේ ශ්‍රේෂ්ඨතම මූලෝපායඥයාවූ ලියොන් ට්‍රොට්ස්කි දෙවන ලෝක යුද්ධයේ මුවවිටදී ලෝක අර්බුදය, "ධනවාදයේ මරලතෝනිය” යැයි නම් කලේය. ඔහු මෙසේ අනතුරු හැඟවීය: "මහා ව්‍යසනයක් මානව වර්ගයාගේ සමස්ත සංස්කෘතියටම තර්ජනය කර සිටී.” ට්‍රොට්ස්කිගේ එම වචන ඉක්බිතිව එලඹි භයංකර සිද්ධි දාමය විසින් සනාථ කැරිනි. ධනවාදය පන රැකගත්තේ ලෝක යුද්ධයක වික්ෂෝභය තුලට මුලු ලොවම ඇද දැමීම තුලින් පමනි. 1945දී එම යුද්ධය අවසන් වූයේ මිලියන 70ක් ජනයාට මරු කැඳවමිනි.

8. අත්‍යවශ්‍ය වූ සකල හදිසිභාවයෙන් යුතුව නව අනතුරු හැඟවීමක් අද දින කල යුතුව ඇත. වත්මන් අර්බුදය නිකම්ම පහව යනු නැත. ධනවාදය මානව වර්ගයා ඇද දමා ඇති සමාජ අපාරයෙන් එතෙර වීමට පහසු මගක් පසෙක තිබියේවා සාමකාමී මගක්වත් ඇත්තේ නැත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග දේශපාලනිකව සහයෝගීව කි‍්‍රයාකරන සමාජවාදී සමානතා පක්ෂයේ වැඩපිලිවෙල වේදනා නාශක හා බාග විසඳුම් පොදියක් නොවේ. මෙම පක්ෂයේ ද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කොමිටියේ සිටිනා එහි සහචින්තකයන්ගේ ද අරමුන වන්නේ ඇමරිකානු සහ ජාත්‍යන්තර ධනවාදය පිලිසකර කිරීම නොවේ. 20වන ශතවර්ෂයේ ඛේදවාචකයන්ගෙන් උගතහැකි පාඩමක් තිබේනම් ඒ මෙයයි: එම භයංකර ව්‍යසනයන් එයටත් වඩා ලේවැකි ආකාරයකට යලි උද්ගතවීම වලක්වාලිය හැකි වන්නේ සමාජවාදය සඳහා ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය තුලින්ම පමනි.

ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික පරිහානිය

9. වත්මන් අර්බුදය එක් තීරක අර්ථයකින් 1930 මහා අවපාතයෙන් වෙනස් වේ. එකල්හි අර්බුදය කොතරම් බරපතල වුව ද ඇමරිකා එක්සත් ජනපදය පැවැත්තේ නැග එන ගෝලීය ආර්ථික බලවතෙකු ලෙස ය. ඊට පෙර අඩ සියවස පුරා, ඇමරිකානු ධනවාදය පුපුරා යන පරිද්දෙන් වර්ධනය ව තිබුනු අතර එම ධනවාදය අත, ලෝකයේ ඉතාම බලගතු තාක්ෂනික වශයෙන් දියුනු කාර්යක්ෂම කාර්මික භාන්ඩ නිෂ්පාදන පදනම පැවැත්තේ ය. දෙවන ලෝක මහා යුද්ධය අවසන් වන අවස්ථාවේ දී ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ අනභියෝගී කාර්මික බලවතා ලෙස පැවති අතර ප‍්‍රධාන නය දෙන්නා ද විය. ලෝක ධනවාදය ස්ථාවර කිරීමේ පදනම එය වූ අතර ලෝක යුද්ධයෙන් පසුව එලඹි දශක දෙකහමාර තුල ඇමරිකානු කම්කරුවන්ගේ ජීවන මට්ටම්වල වේගවත් නැගීමක අත්තිවාරම ද එය විය. කෙසේ වෙතත් 1950 ගනන්වල හා 60 ගනන්වල යුරෝපය සහ ජපානය යලි නැගඒම එක්සත් ජනපද ධනවාදයේ ආධිපාත්‍යයට අනුක‍්‍රමයෙන් වල කැපුවේය. වෙලඳ ශේෂය පිරිහීයාම පශ්චාත් යුදකාලීන ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ අක්ෂය වූ එක්සත් ජනපද ඩොලරය මත පීඩනය වැඩි කලේය. ඇමරිකානු කම්කරු පන්තියේ කාර්මික සහ සමාජමය සටන්කාමිත්වය තියුනු වීම නිසා ඇමරිකානු ධනවාදයේ මූල්‍ය සම්පත් මත පැටවුනු බර තවතවත් උග‍්‍රවිය. ඇමරිකා එක්සත් ජනපදය වියට්නාම් ජනතාවට එරෙහිව ගෙනගිය ප‍්‍රතිගාමී අසාර්ථක යුද්ධයේ ඉමහත් වියදම් 1960 ගනන් පුරාම උග‍්‍රවෙමින් පැවැතුනු ආර්ථික දුෂ්කරතා මුදුන්පත් කලේය. එක්සත් ජනපදයේ අනභියෝගී ගෝලීය ආර්ථික ආධිපත්‍යයේ යුගය අවසන්ව ඇතැයි පිලිගැනීමක් වශයෙන් නික්සන් පාලනාධිකාරය 1971 අගෝස්තු 15 වැනිදා රත්රන් වලට ඩොලර් හුවමාරු කිරීමේ සැලැස්ම (එවකට අවුන්සයකට ඩොලර් 35ක පදනමේ පැවති) අහෝසි කර දැම්මේ ය.

10. ගතවූ දශක හතර පුරා ඇමරිකානු ධනවාදය දිරාපත් වෙමින් පැවතී ඇත. 1970 ගනන්වල මුල පටන් ඇමරිකාවේ ප‍්‍රධාන ධනපති තරගකරුවන් වන යුරෝපයේ සහ ජපානයේ මුදල්වලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය පහත වැටී ඇත. වෙලඳ ශේෂ සහ ගෙවුම් ශේෂ හිඟය ඩොලර් දසබිලියන ගනනින් මාස් පතා ඉහල ගොස් ඇත. ඇමරිකානු ධනවාදයේ කාර්මික හා නිෂ්පාදන පදනම පිරිහී යාම - මෙය වනාහී කාර්මික තරගකාරීත්වය උග‍්‍ර වීමේ ද ලාබදායිත්වය පහත වැටීමේ ද විපාකයයි - මූල්‍යමය පරපුටුබවේ දැවැන්ත වර්ධනයට යටින් පවතී. මෙයට අවුරුදු 30කට පෙර මූල්‍ය සම්පාදන කර්මාන්තය (නය සම්පාදනය කිරීම) සංගත ලාභ වලින් සියයට 6ක් දක්වා ඉහල නැග්ගේය. අද දින සංගත ලාභ වලින් සියයට 40ක් ම ජනනය කෙරෙන්නේ නය දීම් ද කොටස් වෙලඳපොල සමපේක්ෂනය ද ඒ හා බැඳුනු මුදල් වංචාවන් ද තුලිනි. එපමනක් නොවේ; මූල්‍ය වංශාධිපතිත්වය එක්සත් ජනපදය තුල ද ජාත්‍යන්තරව ද ආයෝජනය කරන කල එය කරන්නේ හැකිතාක් කෙටි කාලයක් ඇතුලත ඉමහත්ම ලාභ කන්දක් ගොඩ ගසාගෙන පෞද්ගලික ලාභ ජනනය කරගැනීමේ අරමුනෙන්ම පමනි. රැකියා අහෝසි කොට වැටුප් කපා නිෂ්පාදන ඵලදායීතාවය ඉහල දමාගැනීමට පවත්නා නිර්දය ධාවනයේ ආර්ථික උල්පත එයයි. සෑම කම්කරුවෙකුගේම මස්, ඇට හා නහර වලින් උපරිම ලාභය මිරිකාගැනීමට යත්න දරන්නා වූ ගෝලීය පද්ධතියක හරි මුදුනේ ඇමරිකානු පාලක පන්තිය පිහිටා සිටී.

11. ඔවුන් සූරා කෑම උග‍්‍රකිරීම කරා දුවන්නේ හුදෙක් මුදල් උමතුවෙන් හා අසීමිත පෞද්ගලික ධන පිපාසයෙන් පමනක් නොවේ. අවසාන විග‍්‍රහයේ දී කම්කරු පන්තියේ ජීවන තත්වයන් සහ සමාජ තත්වයන් ට එරෙහිව එල්ල කෙරෙන ප‍්‍රහාරයේ ප‍්‍රධාන හේතුව වන්නේ ඇමරිකානු ධනවාදයේ දිග් ගැස්සුනු දිරාපත් වීම ය. ඇමරිකානු එක්සත් ජනපදයට තව දුරටත් "අසීමිත අවස්ථාවේ දේශය ලෙස” ඉදිරිපත් වී ගත නොහැකිය. ඇත්ත වශයෙන් කිව හොත් ඉහත දැක්වුන සුප‍්‍රසිද්ධ වාක්‍යාංශය වඩාත් අවලස්සන හා දුෂ්කර යථාර්ථයක් වසන් කලා වූ මිථ්‍යා ප‍්‍රබන්ධයක් වූයේය. එසේ වුව ද 1930 ගනන්වල දී ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට්ගේ නායකත්වය යටතේ පැවති ඇමරිකානු ධනවාදයට "නිව් ඩීල්” (නව ගනුදෙනුව) ලබා දීමට ඉඩ තිබුනි. එකල සුබසාධන ප‍්‍රතිසංස්කරන ලබා දීමට යොමුවූ පාලනාධිකාරයක් බලයේ පවතිද්දී ද රූස්වෙල්ට්ගේ නොපැහැදිලි සහ බොහෝවිට වංචනික වූ පොරොන්දු යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා කටුක අරගලයක් කිරීමට කම්කරු පන්තියට සිදුව තිබුනි. අද ඔබාමා පාලනාධිකාරය නිව් ඞීල් (නව ගනුදෙනුව) ලබාදීමට අසමත්ය. මැතිවරන ව්‍යායාමය තුල දී "ඔව් අපට හැකියි” යයි ඔහු දුන් පොරොන්දුව ඔහු ජනාධිපතිත්වයට පත්වූ පසු "නැහැ අපට බැහැ” යන යථාර්ථය බවට පෙරලී තිබේ.

ඔබාමා පාලනාධිකාරයේ අසාර්ථකත්වය

12. දසලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතතාව බැරැක් ඔබාමාට ඡන්දය දුන්නේ ඔහුගේ පාලනාධිකාරය ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ප‍්‍රතිගාමී පිලිවෙත් අහෝසි කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි. එහෙත් අත්දැකීම එම අපේක්ෂාවන් භංග කර ඇත. ඔබාමා පාලනාධිකාරය "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යන සාවද්‍ය ධජය යටතේ ඇමරිකානු පාලක පන්තියේ ගෝලීය අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කරමින් සිටී. ඇමරිකානු හමුදා ඉරාකයේ රැඳී සිටිති. ඇෆ්ඝනිස්ථානයේ සහ පකිස්ථානයේ යුද මෙහෙයුම් උග‍්‍ර කරනු ලැබ ඇත. තෝරා ගත් ඉලක්කයන් කරා යැවුනු ඩ්‍රෝන් මිසයිල මගින් ඇෆ්ගන් සහ පකිස්ථාන සිවිල් ජනයා මරා දැමීම දෛනික සිද්ධියක් බවට පත්ව ඇත. ඒ සමග ම, ඔබාමා පාලනාධිකාරය ඉරානයට එරෙහි පීඩනය ස්ථිරසාරව දැඩි කරමින් ඒ හෝ මේ ව්‍යාජ හේතුව මත මහා ව්‍යසනකාරී මිලිටරි ප‍්‍රහාරයක් සූදානම් කරමින් සිටී. අවසාන විග‍්‍රහයේ දී තම පූර්ව ප‍්‍රාප්තිකයන් මෙන් ම ඔබාමා ද ගනන් බලන්නේ "එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික පිරිහීමේ විපාක ඇමරිකානු යුද බලය මගින් වලකා ගත හැකි ය”යි කියා ය.

13. සංවේදන හා තොරතුරු තාක්ෂනයේ වර්ධනය ආර්ථික ජීවිතයේ සියලු අංග ගෝලීයව ඒකාග‍්‍ර කිරීමට පදනම දමා තිබේ. එහෙත් ආර්ථික ගෝලීයකරනය මගින් ජනිත කර ඇති ප‍්‍රගතිශීලී ලක්ෂනයන් ද නිෂ්පාදන ශක්‍යතාවය ද විසින් ජාතික රාජ්‍ය ලෙස ලෝකය බෙදී පැවතීම අහෝසි කර ඇත. අප ග‍්‍රහ ලෝකයේ දේශපාලන ජීවිතය මෙම ප‍්‍රතිඝතිතාවය විසින් පාලනය කරනු ලැබේ. එකිනෙකා සමග තරග වදින්නාවූ ධනපති රාජ්‍යවල ඝට්ටනයේ භයංකර ප‍්‍රතිවිපාක ඉතිහාසය දැනටම පෙන්නුම් කර ඇත. නව ගෝලීය වහ්නි ජාලාවක අන්තරාය වේගයෙන් උග‍්‍ර වෙමින් පවතී. ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ කුමන රටක හෝ ආර්ථික වර්ධනය දැකගන්නේ තම විභව සතුරන්ගේ වර්ධනයක්ය යන ඉමහත් සැකයෙනි. විශේෂයෙන්ම චීනයේ වේගවත් ආර්ථික වර්ධනය ඒ රටට එරෙහි යුද්ධයක් පිලිබඳ හැකියාව ද ඉන් ජනිත විය හැකි විපාක ද පිලිබඳ සාකච්ඡාවක් ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන හා යුදමය තන්ත‍්‍රය තුල ජනිත කර තිබේ.

14. නිසැකයෙන් ම එවැනි යුද්ධයක විපාකය නොමිනිය හැකි ව්‍යසනයක් වනු ඇත. එහෙත් එහි තේරුම නම් එවැනි යුද්ධයක් සිදුවිය නොහැකිය යන්න නොවේ. අධිරාජ්‍යවාදය ගමන් කරන්නේ යුදමය ගැටුමක් කරාය. යුද්ධය කරා යන ගමන දරුනු ආර්ථික හා ගෝලීය මූලෝපායික උත්සුකයන් විසින් නීර්නය කරනු ලැබ ඇත. ඇමරිකාවේ විභව සතුරා චීනය පමනක් නොවේ. මධ්‍යම ආසියාවේ ද කලු මුහුද බද ප‍්‍රදේශයේ ද බෝල්කන් අර්ධද්වීපයේ සහ නැගෙනහිර යුරෝපයේ පවත්නා වූ උවමනාකම්වල ගැටුම එක්සත් ජනපදය සහ රුසියාව අතර නිරන්තර ආතතීන් ජනිත කරයි. මේ අතර ආර්ථික පිලිවෙත් පිලිබඳ උග‍්‍රවන භේද ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය ද අනෙකුත් යුරෝපීය රටවල් ද අතර ගැටුම් දැඩිවීම පිලිබඳ පැහැදිලි සලකුනු ය. බටහිර අර්ධගෝලය තුල ම වොෂින්ටනය සහ ලතින් ඇමරිකානු රාජ්‍යයන් අතර සබඳතා වේගයෙන් පිරිහෙමින් පවතී.

15. ගෝලීය ධනේශ්වර පද්ධතිය තුල තම තමන්ගේ අධිපති තත්වය පවත්වා ගෙනයාම සඳහා දරන්නා වූ අධිෂ්ඨානය විවිධ රාජ්‍යයන් පටලවමින් මිලිටරි ගැටුමකට තුඩුදිය හැකි ගනන් නැති තත්ත්වයන් පැනනංවයි. මේ ගැටුම්වලින් එකක් හෝ අනෙකක් එසේත් නැත්නම් පෙර නොදක්නා ලද අලූත් හැකියාවක් අන්තිමේ දී යථාර්ථය තුල සැබවින්ම සිදුවෙනු ඇත. ඇත්ත වශයෙන් ඇමරිකානු යුද්ධ අංශය අපේක්ෂා කරන්නේ එයයි. යුනයිටඩ් ස්ටේට්ස් ජොයින්ට් ෆෝසස් කමාන්ඩ් (එක්සත් ජනපද ඒකාබද්ධ හමුදා ආඥා මන්ඩලය) 2010 නිකුත් කල නිල විශ්ලේෂනයේ හැඳින්වීම මෙසේ කියයි: "ඉතිහාසයේ ගමන්මග තුල ප‍්‍රධාන පරිවර්තන කාරකය ලෙස යුද්ධය සෑමවිටම කි‍්‍රයාකර ඇත. අනාගතයේ ද මෙම කාරනය මේ ආකාරයට සිදු නොවෙතැයි සිතීමට හේතුවක් ඇත්තේ නැත.” තවත් ව්‍යසකාරී යුද්ධයක් නැවැත්වීමට ඇත්තේ එකම මාවතකි. එය වනාහී සමාජවාදය සඳහා අරගලය තුලින් කම්කරු පන්තිය ජාත්‍යන්තරව බලමුලු ගැන්වීම ම පමනි. මෙම ලෝක මහා අරගලයේ දී ඇමරිකානු කම්කරු පන්තිය කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කල යුතුය, ඉටු කරනු ඇත.

16. කෝටි සංඛ්‍යාත කම්කරු පන්තික ඇමරිකානුවන්ගේ ආර්ථික දුක්ඛිත භාවයට සැලකියයුතු සහන පියවර කිසිවක් හෝ ලබාදීමට ඔබාමා පාලනාධිකාරයට නොහැකි වීම ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන යථාර්ථය කෙතරම් දරුනු දැයි පෙන්නුම් කරයි. එම යථාර්ථය නම් ආන්ඩුවේ සියලුම අංශ ද ද්විපක්ෂ ක‍්‍රමය ද ඩොලර් බිලියන විශාල ගනන් අතැති මහා සංගත විසින් පාලනය කරනු ලබන බවය. විධායක අංශය, කොංග‍්‍රසය, අධිකරනය සහ ප‍්‍රාන්ත රාජ්‍ය ද ප‍්‍රාදේශීය ආන්ඩු ද මෙම සංගතවල ආසක්තයන්ට මුලුමනින්ම යටත් ය. තම අවශ්‍යතාවයන්ට සහ ධනයට තර්ජනයක් යයි ධනපති පන්තිය සිතන්තා වූ මොනම නීතියක් වත් සම්මත කිරීම කල නොහැකිය, එවන් කුමන පියවරක් වත් ගැනීම කල නොහැකිය. ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය එන්න එන්නම වඩවඩාත් නග්නව ධනවතුන් සඳහා ධනවතුන් විසින් ගෙනයනු ලබන ධනවතුන්ගේ පාලනයක් බව පැහැදිලිවෙයි. ගතවූ වසර 30 තුල පෞද්ගලික ධනය වැඞී සංකේන්ද්‍රනය වීම වෙන මොනම දියුනු ධනපති රටක පවත්නා සමාජ අසමානතා පරිමාව වුවද ඉක්මවන අතර එය පැන නැගී ඇත්තේ මහා සංගතයන්ගේ සූරාකෑම් කි‍්‍රයාකාරිත්වය මත යම්හෝ පාලනයක් ගෙන ගියාවූ නීති සහ රෙකුලාසි ඉවත් කර දැමීමේ ප‍්‍රතිඵලයක් හැටියට ය.

17. ජනගහනයේ ඉතා සුලුකොටසක් අත දැවැන්ත මුදල් සම්භාරයක් ගොඩගැසීම වනාහී නිෂ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික අයිතියේ විපාකයකි; එය ඇමරිකා එක්සත් ජනපදය තුල ද ජාත්‍යන්තරව ද සමාජමය වශයෙන් අසික්කිත වනවා පමනක් නොවේ, වඩාත් දරුනු අර්ථයකින් ආර්ථිකවශයෙන් විනාශකාරීය; සමාජයේ තීරනාත්මක අයිතීන්වලට කිසිසේත්ම උචිත නොවන්නේය. මෙය වනාහී ගෝලීය පරිමානව ඒකාග‍්‍රිත වූ මහා සමාජයක යුගයයි. දල වශයෙන් බිලියන 7ක් ජනයා අපගේ ග‍්‍රහලෝකයේ වාසය කරති. මින් මිලියන 300ක් එක්සත් ජනපදයේ වාසය කරති. නූතන සමාජය මුහුන දෙන්නාවූ සියලූම ප‍්‍රශ්න - ආහාර සහ අනෙකුත් සියලු අවශ්‍යතා සපයාලීම, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම්, නිවාස, සමාජ පොදු කාර්ය පිරිවැය, ස්වාභාවික සම්පත් වර්ධනය කිරීම යන මේ සියල්ල - ඒවායේ ස්වභාවයෙන්ම ඉල්ලා සිටින්නේ සාමූහික වූ ද පෞද්ගලික නොවූ ද විසඳුමකි. ගෝලීය ආර්ථික සම්පත් තර්කානුකූලව වර්ධනය කිරීම අති බරපතල ලෙස අද දින අවශ්‍යව ඇත. එපමනක් නොව දුප්පත් කම අහෝසිකර දැමීම සඳහා ද ජනතාවගේ නිරන්තරව ඉහල යමින් පවත්නා සාමාජික සහ සංස්කෘතික අවශ්‍යතාවයන් සපුරා ලීම සඳහා ද අවශ්‍ය වූ තාක්ෂනික දියුනුව හා ආර්ථික වර්ධනය අපගේ ග‍්‍රහලෝකයේ පරිසරය මුහුන දී සිටින්නා වූ සංකීර්න වූ ද ජීවයේ පැවැත්මට තර්ජනය කරන්නා වූ ද ගැටලු පිලිබඳ විද්‍යාත්මක පදනමකින් යුතු දැනුවත්කමකින් තොරව අත් පත් කර ගත නොහැක්කේ ය.

18. මෙම ගැටලුවලින් කිසිවක් පෞද්ගලික මහ සංගත සියලු ආර්ථික තීන්දු ගන්නා රටක් සහ ලෝකයක් තුල විසඳාලිය නොහැකිය. 2008 ලෝක පරිමාන මූල්‍යමය බිඳ වැටීම කඩා පාත් කලා වූ අවමුඛ උගස්කරයන් පිලිබඳ වියරු සමපේක්ෂනය පෙන්නුම් කලේ ලෝක ආර්ථිකය පෞද්ගලික ධනය පසුපස්සේ දුවන්නා වූ සමාජමය වසයෙන් අපරාධකාරී කෑදර සමපේක්ෂනයේ ගොදුරක්ව පවතින ආකාරය ය. එපමනක් නොව මෙක්සිකෝ බොක්ක බොරතෙල් ගැලුම් දශලක්ෂ ගනනකින් දූෂනය කල පාරිසරික ව්‍යසනය පෞද්ගලික අයිතියට යටත් මහා සංගතවල සමාජමය විනාශ කාරී ස්වභාවය එලිදරව් කරයි. බි‍්‍රටිෂ් පෙට්ට්‍රෝලියම් (බීපී) සමාගම ලාබ ලුහුබැඳයාමේ දී ඉතාම මූලික ආරක්ෂක පියවරයන් පවා දැනුවත්ව උල්ලංඝනය කල බව දැනටම තහවුරු කරනු ලැබ ඇත. එම සමාගමේ සාපරාධී චර්යාවට රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික් පාක්ෂික එක්සත් ජනපද පාලනාධිකාරයන් එකපිට එක ආධාර කර ඇත.

19. බීපී සමාගමේ ඩීප්වෝටර් හොරයිසන් තෙල්සෑරුම් අට්ටාලය පිපිරීමෙන් ඇති කරන ලද මහා පරිමාන විනාශය ඉදිරියේ වුව ඔබාමා පාලනාධිකාරය එම සමාගම ඇතුලු ජාත්‍යන්තර මහා සංගතයන්ගේ යෝධ ආර්ථික හා දේශපාලන බලයට යටත්වී පක්ෂාඝාතව සිටී. වෝල්වීදියේ මුදල් අධිපතියන්ගේ ඉවබව නැති සමපේක්ෂනය මගින් ඇතිකරන ලද ආර්ථික ව්‍යසනය එම ජාවාරම්කරුවන් අපරාධකාරී වගකීමකට හසුකලේ යයි කවර කලෙක වත් පිලිනොගන්නා ලද අතර බීපී සමාගමේ වැඩ කටයුතුවල විපාක වලින් එම සමාගම ආරක්ෂා කරනු ලැබ ඇත. මෙම මහා ව්‍යසනයේ ආර්ථික මූලයෝ බීපී සමාගමේ සහ එහි විධායක නිලධාරීන්ගේ ඉරනමට වඩා දුරදිග යති. මෙක්සිකෝ බොක්ක තුල මෙම මහා ව්‍යසනයේ ද ලෝක ආර්ථික අර්බුදය විසින් අත් පත් කර ගනු ලබන ගනන් නැති වෙනත් රූපාකාරයන්ගේ ද මූලාශ‍්‍රය නම් නිෂ්පාදන බලවේගයන් අයිති කරගෙන පාලනය කරන්නා වූ මහා ධනපති සංගතයන් කරන ලාබ සහ පුද්ගලික ධනය ගොඩගසාගැනීමේ අවශ්‍යතාවයන්ට පුලුල් වැඩ කරන ජනතාවගේ ආර්ථික සහ සමාජමය අවශ්‍යතා නිර්දය ලෙස යටත් කිරීම ය. ඔබාමාගේ මහ සංගත වන්දනාව පෙරදැකිය හැකි දෙයකි. එසේ වුව ද බීපී සමාගමේ මූල්‍ය ශක්තියට වල කැපීමට තමාට කිසිදු උවමනාවක් නැතැයි ඔහු කල ප‍්‍රකාශය සිත් කාවදී. වෝල්වීදියේ මුදල් අධිපතියන් ඉවබව නැති සමපේක්ෂන මගින් ඇතිකලාවූ ආර්ථික විනාශයට ඔවුන්ගේ අපරාධකාරී වගකීම කවර කලෙක වත් පෙන්නුම් නොකරන ලද පරිද්දෙන් ම දැන් බි‍්‍රටිෂ් පෙට්ට්‍රෝලියම් සමාගම ද එහි කි‍්‍රයාවන්ගේ විපාකයන්ගෙන් මුදා හරිනු ලැබ ඇත.

ලිබරල්වාදයේ බංකොලොත් බව සහ ඩිමොක‍්‍රටික් පක්ෂය

20. 2008 සරත් ඍතුවේදී පුපුරා ගිය අර්බුදය නිමක් නැතිව දිග් ගැස්සෙමින් පවතී. තමන් ගන්නා කාලකන්නි බාග විසඳුම් වල අසාර්ථකත්වය වසන් කිරීමට ඔබාමා පාලනාධිකාරය තැත් දරයි. වත්මන් අර්බුදයට ඔබාමා දක්වන ප‍්‍රතිචාරය සිහියට නංවන්නේ හර්බට් හූවර් 1929 මහා බිඳ වැටීමෙන් ඉක්බිත්තේ මුහුන දුන් අර්බුදයට දැක්වූ ප‍්‍රතිචාරය ය. ආර්ථික අර්බුදයේ එම කලින් කාලපරිච්චේදය තුල එක් ලිබරල් සඟරාවක් මෙසේ සඳහන් කලේය: "මාස 18ක් තිස්සේ විරැකියාව කාර්මික සහ කෘෂිකාර්මික සෑම ප‍්‍රදේශයකම දිලිඳුකම හා දරුනු දුක්පීඩා පතුරුවමින් ඇත. වත්මන් ආර්ථික ව්‍යසනය අවසානයකට ගෙනෙනු ලබන්නේ කවදාදැයි දන්නා කෙනෙක් නැත. මායාවේ වර්ෂ අවසන්ව භයංකර ආර්ථික අනාරක්ෂිත භාවය සහ පුලුල්ව පැතිර ගිය අපේක්ෂා භංගය රජ කරයි. ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා සහාය දෙන බවට ජනධිපතිවරයා දුන් පොරොන්දුව වංචනික එකක් බව ගතවූ මාස 18දී එලිදරව් වී ඇත. ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කිරීමට යයි කියමින් පාලනාධිකාරය යත්න දරා ඇත්තේ අවපාතයේ බරපතලභාවය අවම කර දැක්වීමට ය. ආර්ථික සමෘද්ධිය යලි තහවුරු කිරීමට උදව්වන්නා වූ නිර්භීත පියවරයන් ඉක්මනට ගන්නා බවට දෙන සහතික හුදෙක් පම්පෝරි පමනි. ඒවා යොදාගෙන ඇත්තේ පාලනාධිකාරය විසින් මගඇරීමට තීන්දු කර ඇති වගකීම් පැටවීම සඳහා පුද්ගලික හා ප‍්‍රාදේශීය ආයතනයන් උනන්දු කරවීමට කිසිසේත්ම අසමත් වූ වැඩ පිලිවෙලවල් හුවාදැක්වීමට ය.”(1)

21. 1931 දී ඉහත සඳහන් වචන ලියන ලද්දේ හූවර් පාලනය හෙලාදැකීමට ය. මෙම අසාර්ථකත්වය හුදෙක් ජනාධිපතිවරයෙකු විසින් අත්පත් කර ගන්නා ලද්දක් පමනක් නොවේ. ඒ වනාහී සමස්ත දේශපාලන පද්ධතියක ද එම පද්ධතිය විසින් ආරක්ෂා කරන ධනපති ආර්ථික පර්යායේ ද අසාර්ථකත්වයයි. ඔබාමා පාලනාධිකාරය හදිසියේ තම ගමන් මග වෙනස් කොට රූස්වෙල්ට්ගේ "නිව් ඩීල්”හි දෙවෙනි අවතාරයේ ආගමනය උචිත සෝබනයෙන් නිවේදනය කරන තෙක් සංකාකූලව බලා සිටින්නේ ලිබරල් ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන් සුලුගනනක් නොවේ. එහෙත් ඩිමොක‍්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් යන දෙගොල්ලගේම පිලිවෙත් තීන්දු කරන මූල්‍ය කතිපයාධිකාරය ඉල්ලා සිටින්නේ වඩවඩාත් මෘග කප්පාදු ය.

22. ඇමරිකානු ධනවාදය එහි ගෝලීය අධිකාරයේ සහ බලපෑමේ මුදුනට ලංවෙමින් සිටි සමයේ එහි නායකයෝ හුදෙක් එක්සත් ජනපද ව්‍යවස්ථාව තුල තහවුරු කර ඇති දේශපාලන අයිතිවාසිකම් පමනක් සමානතාව ද "සතුට සොයායාම ද” සාක්ෂාත් කර දීම සඳහා නොසෑහෙන බව පිලිගත්තෝය. 1944 ජනවාරි මාසයේ දී ඔහු කල රාජ්‍ය තත්ත්ව දේශනයේ දී ජනාධිපති රූස්වෙල්ට් මෙසේ කියා සිටියේ ය: "අපගේ ජනතාවගෙන් යම් කොටසක් තුනෙන් පංගුවක් හෝ පහෙන් පංගුවක් හෝ දහයෙන් පංගුවක් හෝ වේවා හරියට ආහාර නැතිව, ඇඳුම් නැතුව, නිවාස නැතිව, අනාරක්ෂිතව සිටිත් නම් අපට සතුටු විය නොහැකිය.” "ආර්ථික ආරක්ෂාවෙන් සහ ස්වාධීනත්වයෙන් තොරව සැබෑ පුද්ගලික නිදහසක් පැවතියහැක්කේ නැතැයි” යන්න ඉබේට ම පැහැදිලි වූ සත්‍යයක් යයි ඔහු ප‍්‍රකාශ කලේය. මහා අවපාතය විසින් එතරම් තරයේ නිෂ්ප‍්‍රභාකර තිබුනු ධනවාදය යලි පනගන්වා ගැනීම සඳහා තමා දැරූ ප‍්‍රයත්නයක කොටසක් ලෙස රූස්වෙල්ට් තරාතිරම ජාතිය හෝ සමය නොතකා "සියලුම දෙනාට ම සුරක්ෂිත භාවයේ සහ සමෘධියේ නව පදනමක් සහතික කරගත හැකිවන පරිදි දෙවන අයිතිවාසිකම් පනතක් සම්මත කර ගත යුතුය”යි කියා සිටියේ ය.

23. ඉන්පසුව දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් ඉක්බිති එලඹි 20වසර තුල ඇමරිකා එක්සත් ජනපදය සහ ගෝලීය ආර්ථිකය ඓතිහාසික වශයෙන් පෙරනුවූ විරූ මට්ටම්වලට නැගගත්තේ ය. ඇමරිකා එක්සත් ජනපදයේ ජීවන තත්වයන් සැලකියයුතු ලෙස ඉහල නැග්ගේ ය. එහෙත් රූස්වෙල්ට්ගේ දෙවන ඓතිවාසිකම් පනත අමතක කර දමන ලදී. ඔහු ප‍්‍රකාශයට පත්කල ආර්ථික සුරක්ෂිතතාවය අඩු ගනනේ දිනාගැනීමට ආසන්න වූ "අයිතියක” තත්වයට වත් පැමිනුනේ නැත. ඇමරිකානු ඉතිහාසයේ අතිශයින්ම සමෘද්ධිමත්වූ මෙම කාලපරිච්ඡේදයේදී පවා ඇමරිකානු ජනයාගෙන් සියයට 20ක් තරම් දිලිඳුබවේ ගැලී සිටියෝ ය. ජනාධිපති ලින්ඩන් ජොන්සන් 1964 දී "දිලිඳුකමට එරෙහි යුද්ධය” ප‍්‍රකාශයට පත් කලේය. එහෙත් එම ව්‍යායාමයේ පොරොන්දු ඇමරිකානු ධනවාදයේ ගෝලීය සහ අභ්‍යන්තර ප‍්‍රතිඝතිතාවන් උග‍්‍රවෙත්ම අතහැර දමන ලදී. 1970 ගනන්වලින් ඉක්බිත්තේ වඩවඩාත් දකුනට මාරු වූ ඩිමොක‍්‍රටික් පක්ෂය තමන් පෙර කි‍්‍රයාත්මක කල ලිබරල් ප‍්‍රතිසංස්කරනවාදී පිලිවෙත් අතහැර දැමුවේය. මෙය එක්සත් ජනපදයේ ලෝක තත්වය පිරිහීම සමග සම්පාත විය. ගතවූ වර්ෂ 40 ඇතුලත කම්කරු පන්තියේ ජීවන තත්වයන් දිගින් දිගටම පිරිහී ගොස් ඇත. 1979-80, 1981-83, 1991-93 සහ 2001-03 ඇතිවූ පධාන ආර්ථික පසුබෑම් වැඩ කරන ජනතාවට අතිමහත් පාඩුවක් සිදු කලේ ය. ඒ මෑතකදී ම සිදුවූ ව්‍යසනයට පෙරාතුව ය.

24. ඇමරිකානු ධනවාදය එහි ඉමහත්ම සාර්ථකත්වයන් අත්පත් කර ගත්තා වූ දශක තුල දී ආර්ථික සුරක්ෂිතතාවයේ ද දිලිඳු බව අවසන් කිරීමේ ද සපථය ඉටු කිරීමට අසමත් විය. දැන් එලඹ පවත්නා බිඳවැටීමේ සහ අර්බුදයේ කාල කාලපරිච්ඡේදය තුල මෙම පද්ධතියෙන් අපේක්ෂා කල හැක්කේ කුමක් ද?

ඇමරිකානු කම්කරුවන් සහ සමාජවාදය

25. ඇමරිකානු කම්කරුවන් මුහුන දී සිටින්නා වූ දේශපාලන සහ සමාජමය කර්තව්‍යයන්ගේ ඓතිහාසික ස්වභාවය ද ඔවුන් මුහුනදී සිටින්නා වූ සමාජමය කර්තව්‍යයන් ද අතර යෝධ පරතරයක් පවත්නා බව කිසිසේත්ම නැතැයි කිව නොහැකිය. එහෙත් සැබවින්ම විප්ලවවාදී වූ පක්ෂක කි‍්‍රයාමාර්ගය පදනම් කල යුතු වන්නේ වෛෂයික යථාර්ථය පිලිබඳ විද්‍යාත්මක විග‍්‍රහයක් මත මිස කම්කරුවන් දැන් පිලිගැනීමට හෝ නොපිලිගැනීමට සූදානම් කුමක්ද යන්න පිලිබඳ ආවේගවාදී සහ සාමාන්‍යයෙන් සාවද්‍ය සංකල්පයන් කිහිපයක් මත නොවේ. හතරවන ජාත්‍යන්තරයේ ආරම්භකයා වූ ලියොන් ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි: "අපගේ කර්තව්‍යයන් රැඳී පවතින්නේ කම්කරුවන්ගේ මානසිකත්වය මත නොවේ. අපගේ කර්තව්‍ය වන්නේ කම්කරුවන්ගේ මානසිකත්වය දියුනු කිරීමය. කි‍්‍රයාමාර්ගය වශයෙන් සූත‍්‍රගත කොට දියුනු කම්කරුවන් ඉදිරියේ තැබියයුත්තේ එයයි.” එපමනක් නොව සමාජවාදී සමානතා පක්ෂය සියලූ වර්ගවල අපේක්ෂාභංග සංශයවාදීන් විසින් ඉදිරිපත් කෙරෙන, ‘ඇමරිකානු කම්කරු පන්තිය ධනවාදයට එරෙහි විප්ලවීය අභියෝගයක් එල්ල කිරීමට අසමත්ය, සමාජවාදය සඳහා අවශ්‍යතාවය කවර කලෙකවත් පිලිගන්නේ නැත,’ යන අඳෝනාව අවධාරනයෙන් ප‍්‍රතික්ෂේප කරයි. පරාජිතවාදයේ රෝගී මානසිකත්වයෙන් පිරී ඉතිරී ගිය දේශපාලන වශයෙන් බංකොලොත්වූ මෙම දෘෂ්ටිය රඳාපවතින්නේ ඉතිහාසයේ නීති සහ අතීත අරගලයන් ප‍්‍රතික්ෂේප කිරීමක් මතය.

26. ඇමරිකානු කම්කරු පන්තියේ ඉතිහාසය වනාහී දුෂ්කර සහ නිර්දය අරගලයේ ඉතිහාසයකි. ධනේශ්වර පන්තියේ මෘග ප‍්‍රතිරෝධය ඉදිරියේ සීරුවෙන් කරන ලද මෙම ඉදිරි ගමන ලෙයින් ලියවී ඇත. 1870 ගනන්වල දුම්රිය මාර්ග කම්කරුවන්ගේ ද 1880 ගනන්වල පැය අටේ වැඩ දිනය සඳහා ද කරන ලද මුල්ම පන්ති සටන්වල පටන් 1930 ගනන්වල කාර්මික වෘත්තීය සමිති පිහිටුවීම දක්වා වූ අරගල තුල දී හාම්පුතුන්ගේ නග්න අත්තනෝමතිකත්වයට එරෙහිව සටන් වැදුනු කම්කරුවෝ ලේ හැලූහ, ජීවිත දානය කලහ. දෙවන ලෝක මහා යුද්ධයෙන් ඉක්බිත්තේ වැඩ වර්ජන මහා රැල්ලක් කාර්මික අංශපුරා පැතිර යමින් හාම්පුතුන්ගෙන් සහන උදුරාගෙන ජීවන තත්වයන්ගේ වේගවත් නැගීමක් තහවුරු කර ගත්තේය. අනෙක් අතට මෙම සටන් 1950 ගනන් සහ 60 ගනන්වල අප‍්‍රිකානු ඇමරිකානු කම්කරුවන් සිවිල් අයිතීන් සඳහා සිදුකල මහා අරගලයන්ට ආස්වාදයක් ලබා දුන් අතර එම අරගලයන් වැඩ කරන ජනයාට සහ තරුනයන්ට පුලුල් ආස්වාදයක් ලබා දුනි.

27. එහෙත් ඇමරිකානු කම්කරු පන්තියේ දුර්වල තැන වූයේ මාක්ස්වාදී න්‍යාය විසින් මෙහෙයවනු ලැබූ ස්වාධීන සමාජවාදී මහජන ව්‍යාපාරයක් නොතිබීමය. එහි අතිශයින්ම ප‍්‍රචන්ඩ අරගලවල කාල පරිච්චේදයේදී පවා කම්කරු පන්තිය පැවැත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂයට අනුගත වීම තුලින් ධනපති පන්තියේ දේශපාලන යට නතුවී ය. මුල් කාලයේ පටන් ම ඇමරිකානු කම්කරු සම්මේලනය (ඒඑෆ්එල්-සීඅයි ඕ) කම්කරු පන්තිය මහ ධනපතිපන්තියට යටත් කර තැබීම සඳහා තමන්ට කල හැකි සෑම දෙයක්ම කලේය. 1930 ගනන්වල දී එක්සත් ජනපදය හරහා හමා ගිය වෘත්තීය සමිති ගොඩනැගීමේ මහා අරගල රැල්ලේදී ද ඉන් ඉක්බිතිව ද වෘත්තීය සමිතිවල පිලිවෙතව පැවැත්තේ මෙයයි.

28. ධනවාදයට එරෙහිව දේශපාලන වශයෙන් ස්වාධීනවූ මහා සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට ඇමරිකානු කම්කරු පන්තියට පැවැති නොහැකියාව යටින් බෝහෝ සාධක පැවතුනි. ඒවා නම් ඇමරිකානු මහාද්වීපයේ අති දැවැන්ත විශාලත්වය ලෝකයේ සෑම ප‍්‍රදේශයකින්ම ජනයා එක්සත් ජනපදය තුලට සංක‍්‍රමනයවීම නිසා ඇතිවූ බහුජන්‍ය විවිධත්වය, (කම්කරුවන් භේදකොට පාලනය කිරීම සඳහා) ධනපති පන්තිය ඉවබවක් නැතිව වර්ගවාදය පාවිච්චි කිරීම. වෘත්තීය සමිති නිලධරයේ පැවති නම ගිය දූෂනය සහ සාපරාධීබව, ආන්ඩුව ද මහා කොම්පැනි සහ වෘත්තීය සමිති ද කරගෙන ගිය ප‍්‍රතිකොමියුනිස්ට්වාදී රතු දඩයමේ මෘගත්වය. එපමනක් නොව සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රය කල මහා අපරාධ ඇමරිකානු කම්කරුවන්ගේ ඇස් ඉදිරිපිට සමාජවාදයේ විශ්වාසනීය භාවයට බරපතල හානියක් සිදු කිරීම.

29. අවසාන විග‍්‍රහයේ දී ඇමරිකානු ධනවාදයේ දැවැන්ත ධනය හා බලය කම්කරු පන්තිය මහා සංගත විසින් පාලනය කරනු ලැබූ ද්විපක්ෂ ක‍්‍රමයට යටත් කිරීමේ ලා වඩාත් වැදගත් වෛෂයික සාධකය වූයේ ය. ඇමරිකානු එක්සත් ජනපදය වර්ධනය වන්නා වූ ආර්ථික බලවතෙක් වූතාක් දුරට එහි පුරවැසියන් විසින් එම රට ඉහල යන ජීවන තත්වයන්ට අවශ්‍යවන මුදල් සම්පාදනය කිරීමට ජාතික ධනයෙන් සැලකියයුතු පංගුවක් වෙන් කර ගත හැකි වූ "අසීමිත අවස්ථාවේ දේශය” ලෙස එරට වැසියන් විසින් දැක ගන්නා තාක් දුරට ඇමරිකානු කම්කරුවෝ සමාජවාදී විප්ලවයේ අවශ්‍යතාවය පිලි නොගත්තෝ ය. එහෙත් වෛෂයික කොන්දේසිවල වෙනස විසින් ඇමරිකානු කම්කරුවන් තමන්ගේ සිත් වෙනස් කර ගැනීමට මග පෑදෙනු ඇත. ධනවාදයේ යථාර්ථය විසින් සමාජයේ ආර්ථික සංවිධානයේ අතිමූලික සහ විප්ලවීය වෙනසක් සඳහා සටන් කිරීමට බොහෝ හේතු කාරනා කම්කරුන් අතට සම්පාදනය කෙරෙනු ඇත. 1980 ගනන් 90 ගනන් සහ 21 වන සියවසේ ප‍්‍රථම දශකයේ උපන් කම්කරු පන්තියේ බාල පරම්පරා ධනවාදයේ ”සමෘද්ධිය” ගැන දැන් නොදැන සිටිති. ඉදිරියේ ද නොදැනගනු ඇත. තමන්ගේ දෙමාපිය පරපුර භූක්තිවින්දාට වැඩි ජීවන තත්වයක් පසෙක තිබියේවා ඒ හා සමානවූ ජීවන තත්වයක් හෝ අත්පත් කර ගැනීමට නොහැකිවූ නූතන යුගයේ එකම ඇමරිකානු පරම්පරාව මෙයයි. 1990 ගනන්වල උපන් තරුන මෝටර් කම්කරුවන්ට දැන් ගෙවනු ලබන්නේ කලකට පෙර ඔවුන්ගේ දෙමාපියන්ට ගෙවන ලද වැටුපෙන් බාගයකට ද අඩු වැටුපකි. ඒ අතර ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් බොහෝදෙනකුගේ රැකියා හා විශ‍්‍රාම වැටුප් නැතිව ගොසිනි. ඇමරිකානු කම්කරුවන් වර්ධනය වනවා වූ පන්ති අරගලයේ ගෝලීය වේරම්බයට ඇදගනු ලැබ සිටිති. එමගින් ගී‍්‍රසියේ පටන් බංගලාදේශය දක්වා වූ සාමාජ ප‍්‍රතිරෝධයේ නැග එන ගතිකය පිලිබඳව දැනුවත් වෙමින් සිටිති. දශක ගනනාවක් තිස්සේ ඇමරිකානු කම්කරුවන්ට කියන ලද්දේ ඔවුන්ගේ ප‍්‍රධාන හතුරන් වනාහී ආසියානු කම්කරුවන් බවය. ආසියානු කම්කරුවන් අඩු පඩියට මිල අඩු භාන්ඩ නිෂ්පාදනය කරන නිසා ඇමරිකානු කම්කරුවන්ගේ රැකියා නැතිව යන බවය. දැන් චීනයේ කම්කරුවන්ගේ අරගල ගැන කියවන්නට සහ අසන්නට ලැබෙන ඇමරිකානු කම්කරු වෝ ඔවුන් තම පන්ති සහෝදරවරු යයි වටහා ගෙන සිටිති.

31. නව ලෝක තත්වයක් උද්ගතව පවතී. කම්කරුවන්ගේ අරගලයන් වෛශයික යථාර්ථය පිලිබඳ වැටහීමක් මත, පදනම් කල යුතුය. - ධනපති අර්බුදය ද ඉතිහාසයේ පාඩම් ද පිලිබඳව විද්‍යාත්මක පාඩම් මත පදනම් කල යුතුය. ඇමරිකානු කම්කරු පන්තියට නව ඉදිරි දර්ශනයක් නව කි‍්‍රයාමාර්ගයක් සහ නව නායකත්වයක් අවශ්‍ය ය.

32. ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පයේ සාරාංශයක් ඉදිරිපත් කරමින් නූතන සමාජවාදයේ ආරම්භකයා වූ කාල් මාක්ස් මෙසේ ලියාතැබුවේය: "වර්ධනයේ එක්තරා අවස්ථාවකදී සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේගයෝ පවත්නා නිෂ්පාදන සම්බන්ධතාවයන් සමග ඝට්ටනයට එලඹෙති. මෙම සබඳතා නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයෙහි රූපාකාරයන්හි සිට ඒවායේ විලංගු බවට පත්වෙති. එකල්හි සමාජ විප්ලවයේ යුගයක් ඇරඹේ.” (2) මෙම නිෂ්පාදන බලවේග හුදෙක් කර්මාන්තශාලා, කාර්යාල, උපකරන සහ විද්‍යාත්මක ඥානය පමනක්ම නොවේ කම්කරු පන්තියෙන් ද සමන්විත වේ. ඒවා ධනවාදයේ සමාජ සම්බන්ධතා විසින් එනම් පුද්ගලික අයිතිය ලෝකය ජාතික රාජ්‍යයන්ට බෙදාලීම විසින් ගෙල හිරකර දමනු ලැබ පවතී. ගෝලීය මූල්‍ය අර්බුදය නිෂ්පාදනයේ පිරිහී යාම ලෝක වෙලඳාම සංකෝචනය වීම යෝධ අයවැය හිඟයන් ජාතික මුදල්වල අස්ථාවරත්වය රටවල් අතර සම්බන්ධතාවයන්ගේ පිරිහී යාම යුදවාදයේ වර්ධනය සහ අන් සියල්ලටමත් වඩා කම්කරු පන්තියේ ජීවන තත්වයන්ගේ ඇදවැටීම යන මේ සියලු අන්තර් සම්බන්ධිත සන්තතීහු විප්ලවවාදී මහා නැගිටීමක නව යුගයක ආරම්භය සලකුනු කරති. පෘථුල මහා සමාජයේ අවශ්‍යතා සම්පාදනය කිරීම නිෂ්පාදන මාධ්‍යයන් ගේ පුද්ගලික අයිතිය මත පදනම් වූ පද්ධතියක රාමුව තුල විසඳාලිය නොහැක්කේ ය. නිෂ්පාදන බලවේගයන්ගේ ගෝලීය වර්ධනයේ ගෙල ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය විසින් හිරකරනු ලැබ පවතී.

කම්කරු පන්තියේ විප්ලවාදී විභවය

33. වර්තමාන සමාජයේ ප‍්‍රධාන විප්ලවවාදී බලවේගය වූ කම්කරු පන්තියේ අරගලය තුලන්ම පමනි. ධනවාදයේ බිඳවැටීම විසින් නිර්මානය කරන ලද අර්බුදයට ප‍්‍රගතිශීලී විසඳුමක් ලබා ගත හැක්කේ කම්කරු පන්තිය විප්ලවවාදී පන්තිය වන්නේ 1. එය සමාජයේ ප‍්‍රධාන නිෂ්පාදන බලවේගය වන නිසාය. 2. ධනේශ්වර සූරාකෑමට සහ පීඩනයට එරෙහි එහි ප‍්‍රතිරෝධයේ ඓතිහාසික හා දේශපාලන තර්කනය නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය අහෝසි කිරීමට ද ආර්ථික ජීවිතයේ ගාමක මූලධර්මය ලෙස ලාභ චේතනාව ඉවත්කොට දමා සමාජ අවශ්‍යතාවන් තෘප්තිමත් කිරීම සහ සකල ජනතාවම අතර සැබෑ සමාජ සමානතාවය සාක්ෂාත් කර ගැනීම පිහිටුවීමට ද ගමන් කරන නිසාය. 3. එය වනාහී තමන්ගේ ජයග‍්‍රහනය මගින්ම පමනක් ජාතික රාජ්‍යන්ගේ සීමාවල් බිඳදමා මානව වර්ගයා ඔවුන්ගේ පොදු නිවාසය වූ පෘතුවි ගෝලයේ ආරක්ෂාවට සහ සංවර්ධනයට කැපවී ගත්තා වූ සැබැවින්ම ගෝලීය ප‍්‍රජාවක් තුල ඒකාබද්ධ කරන ජාත්‍යන්තර පන්තියක් හෙයිනි.

34. ඉතිහාසයේ මීට පෙර කවර කලෙකවත් කම්කරු පන්තිය ලෝකයේ ජනගහනයෙන් මේ සා විශාල පංගුවක් බවට පත් වූයේ නැත. යන්තම් අවුරුදු 50කට පෙර නූතන කර්මාන්ත නොපැවතියේ යැයි කිවහැකිවූ විශේෂයෙන්ම ආසියානු රටවල් තුලට දැවැන්ත ප‍්‍රාග්ධනය ගලා ඒම පොදුකාර්ය පිරිවැයෙහි ද කම්කරු පන්තියේ ද සුවිසල් වර්ධනයක් නිර්මානය කොට ඇත. යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ඓතිහාසික සංවර්ධනය වු කේන්ද්‍රස්ථානයන්හි ජනගහනයේ අතිමහත් බහුතරය වනාහී කම්කරු පන්තියයි. තාක්ෂනික වර්ධනයන් ජාත්‍යන්තර ශ‍්‍රම විභජනයේ මාරුව සහ ඇමරිකාව පදනම් කරගත් නිෂ්පාදනයේ ගෝලීය තත්වය පිරිහීයාම කම්කරු පන්තියේ සංයුතිය වෙනස් කොට ඇත. එහෙත් එක්සත් ජනපදයේ ආර්ථික සහ සමාජ ප‍්‍රතිවර්ථනයන් කම්කරු පන්තියේ නව ප‍්‍රවර්ගයන් නිර්මානය කොට තිබේ. ජෝන් එෆ් කෙනඩි ජනාධිපති බවට පත් වූ 1960 වන විටත් ස්තී‍්‍රහු ශ‍්‍රම බලකායෙන් ඉතාමත් සුලූ කොටසක් වූහ. "සේවා කර්මාන්තය” පැවතියේ ලදරුවියේ ය. "කොම්පියුටර් ප්‍රෝග‍්‍රෑමින්” පැවතියේ දක්ෂ විශේෂඥයින් අතලොස්සක් අතය. කවුරුවත් අයිටී කම්කරුවන් ගැන කතාකලේ නැත. අද වන විට සාම්ප‍්‍රදායික මධ්‍යම පන්තියේ - "ස්වාධීන” කුඩා ව්‍යවසායකයන් හා ගෝවීන්ගේ සංඛ්‍යාව තියුනු ලෙස පහත වැටී ඇත. වඩාත් අර්ථභාරීව ගතහොත් මධ්‍යම පන්තියේ සාමූහික බර අවුරුදු 80ක් නොව අවුරුදු 50ට පෙර පැවති තත්වයට වඩා ඉතා කුඩා පංගුවකි. අත්‍යසමාන ආකාරයකට ඇමරිකානු සමාජය "නිර්ධනීකරනය” කරනු ලැබ ඇත. මහ ජනතාවගෙන් අතිමහත් බහුතරය - ෆැක්ටරිවල වැඩ කලත් ගොඩනැගිලි කර්මාන්තයේ වැඩ කලත් කාර්යාලවල වැඩ කලත් වෛද්‍ය මධ්‍යස්ථානවල මහ වෙලඳසැල්වල ප‍්‍රාථමික හෝ ද්වීතියික පාසැල්වල සරසවි සංකීර්නයන්හි හෝ විද්‍යාගාරයන්හි වැඩ කලත් ලොරි, බස් දුම්රිය හෝ වානිජ ගුවන්යානා පැදවුවත් ඔවුන් සියලු දෙනාටම සිදුව ඇත්තේ වැටුපෙන් වැටුප ජීවත්වීමට ය. පොදු ගැටලුවලට මුහුන දී සිටින්නාවූ කම්කරුවෝ පොදු සතුරෙකුට ද මුහුන දී සිටිති. එම සතුරා නම් මෙම කම්කරුවන් කුලියට ගනිමින්ද දොට්ට දමමින්ද සූරාකමින්ද ලාභය මිරිකා ගැනීමට කි‍්‍රයා කරන්නා වූ යෝධ මූල්‍යමය සහ මහ සංගත සංස්ථාවන් ය.

36. එක් අතකින් කම්කරු පන්තිය දරා සිටින්නා වූ ආර්ථික හා සමාජමය අර්ථභාරය ද අනෙක් අතට සමාජයේ දේශපාලන ගමන් මග කෙරේ එම පන්තිය දරන්නා වූ ඉතා සුලු බලපෑම ද අතර කම්පාකාරී ප‍්‍රතිඝතිතාවක් පවතී. ධනපති පන්තිය අත ධනය සංක්න්ද්‍රනය වීමත් සමග දේශපාලන බලය ද සංකේන්ද්‍රනයව පවතී. ඇමරිකනු එක්සත් ජනපදයේ මූල්‍යමය සහ මහ සංගත කතිපයාධිකාරය අන් කිසිදු දියුනු ධනපති රටක නොපවතින තරමට දේශපාලන බලය අතට ගෙන සිටී. ඒ අතර ඇමරිකානු කම්කරු පන්තිය තමන්ගේම දේශපාලන පක්ෂය පිහිටුවා ගැනීමට කවර කලෙකවත් සමත්වී නැත. කම්කරු පන්තිය ඩිමොක‍්‍රටික් පක්ෂයට යටත්ව සිටීමේ දැවැන්ත වන්දිය මෙම අර්බුදය විිසින් පෙන්නුම් කර තිබේ.

37. 1930 ගනන්වල දී බෙහෝ ප‍්‍රධාන නගරවල ෆැක්ටරි අල්ලා ගැනීම ද පොලීසිය සමග මුහුනට මුහුන දී කල සටන්ද ඇතුලූව කරන ලද මහා වැඩවර්ජනවල මාවතතුල දී ඇමරිකානු කම්කරුවෝ සීඅයි ඕ නමැති ජාතික පරිමාන මහා වෘත්තීය සමිති සංවිධානය නිර්මානය කරගත්හ. 1955 දී සීඅයි ඕ සංවිධානය වඩාත් පැරනි වූ ද විවිධ කර්මාන්ත මත පදනම්වූ ද ඒඑෆ්එල් සංවිධානය සමග බද්ධවීම් සමග බිහිවූ ඒඑෆ්එල්-සීඅයි ඕ සංවිධානයට රටේ පුද්ගලික කොම්පැනිවල කම්කරුවන්ගෙන් තුනෙන් එකක් ඇතුලත් විය. එහෙත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඒඑෆ්එල්-සීඅයි ඕ සංවිධානයේ උච්ච අවස්ථාවේ පවා - මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ආර්ථක ආධිපත්‍යය සමග සම්පාත විය - එය තම ප‍්‍රතිගාමී දේශපාලනය නිසා කොරවී පැවැත්තේ ය. ඒඑෆ්එල්-සීඅයි ඕ සංවිධානය ධනේශ්වර ලාභ පද්ධතියේ යුක්තිසහගතභාවය මුලු හදින්ම පිලිගත්තේය; සමාජවාදයට මුර්ග ලෙස සතුරු විය; වාමාංශික ධනේශ්වර විරෝධී බලපෑම් බොහෝ විට ප‍්‍රචන්ඩත්වය යොදා තමන්ගේ වෘත්තීය සමිති තුලින් ඉවත්කිරීමට කි‍්‍රයා කලේ ය. ධනවාදයට දැක්වූ පක්ෂ පාතීත්වය ට උචිතවන පරිදි එම සංවිධානය, වෘත්තීය සමිති මහ ධනපතියන්ගේ දේශපාලන බලපෑමෙන් ගලවාගැනීමට කරන ලද සියලුම ප‍්‍රයත්නයන්ට කටුක ලෙස විරුද්ධ විය. අවසාන වශයෙන් කවහොත් දරුනු ලෙස ජාතික වාදී වූ වෘත්තීය සමිති අධිරාජ්‍යවාදී පාලක පන්තියේ පිලිවෙත් වලට කම්කරු පන්තියේ අවශ්‍යතා මුලුමනින්ම යටත් කලේය. මෙම කුනු වූ අත්තිවාරම් මත පදනම් වූ වෘත්තීය සමිති කම්කරු පන්තියේ ජීවන තත්වයන් දියුනු කිරීම පසෙක තිබියේ වා එහි ඉතාම අවම අවශ්‍යතාවයන් පවා ආරක්ෂා කිරීමට අසමත් විය. ගතවූ 30 වසර වෘත්තීය සමිතිවල පිලිවෙත් විසින් කම්කරු පන්තිය වෙත ලබාදී ඇත්තේ පරාජයන්ම පමනි. පුද්ගලික අංශයේ රැකියා කරන්නා වූ කම්කරුවන් අතරෙන් වෘත්තීය සමිතිවෙතට බැඳී ඇති සංඛ්‍යාව 1900 ගනන්වල ආරම්භයෙන් පසු පහලම මටටමට වැටී ඇත! එහෙත් මධ්‍යම පන්තික නිලධාරින්ගෙන් සමන්විත වෘත්තීය සමිති නිලධරයේ ආදායම් එම නිලධරය මහ සංගතවලට කරන්නාවූ සේවය මගින් තහවුරු කරගෙන තිබේ. පිලිවෙත් සහ අරමුනු වශයෙන් ගත්තොත් මහ සංගත සහ වෘත්තීය සමිති අතරේ කිසිදු වැදගත් වෙනසක් ඇත්තේ නැත.

39. මෙම දූෂිත වූද මහා සංගත විසින් පාලනය කරනු ලබන්නා වූ ද සංවිධානයන් වන වෘත්තීය සමිති ඒවා විසින් දශක ගනන් තිස්සෙ කරන ලද පාවාදීම්වලින් පසුව ද කම්කරු පන්තියේ සමාජමය අරගලයෙහි උපකරනයන් බවට පත් කල හැකි යයි විශ්වාස කිරීම වනාහී ව්‍යාජ සිහින මැවීමකි. ඒඑෆ්එල්-සීඅයි ඕ සංවිධානයේ අසාර්ථකත්වය පෙන්නුම් කරන්නේ එහි ජාතිකවාදී ධනපති පන්තිසහයෝගිතාවාදයේ බංකොලොත් බවයි. කම්කරු පන්ති අරගලයේ පුනර්ජීවනයක් පදනම් කර ගත හැකි වන්නේ ධනේශ්වර පද්ධතිය අසාර්ථක වී ඇතැයි පිලිගන්නා වූ කි‍්‍රයාමාර්ගයක් තුලින්ම පමනි. මෙම අර්බුදයට පිලිතුර සෙයාගනු ලබන්නේ ධනේශ්වරය ප‍්‍රතිසංස්කරනය කිරීම සඳහා මහා සංගත වලට ද ඔවුන් විසින් පාලනය කරන දේශපාලකයන්ට ද ආයචනා කිරීම තුලින් නොවේ. ඒවෙනුවට සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තිය අතට බලය ගෙන සමාජය සමාජවාදීව ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා වූ අරගලයේ අත්‍යවශ්‍ය බවය. එකම ඉදිරි මාවත නම් සමාජවාදයයි.

40. ධනවාදය ඇමරිකා එක්සත් ජනපදයේ ද මුලූමහත් ලෝකයේ ද කම්කරු පන්තියේ අවශ්‍යතා ලබා දීමට අසමත්ව ඇත. සමාජයේ ආර්ථික සංවිධානය කෙරේ නව ප‍්‍රවිෂ්ටයක් සඳහා සටන් කිරීමට කම්කරු පන්තියට කාලය එලඹ තිබේ. ධනවාදයට එරෙහි එකම පනඇති විකල්පය වන්නේ සකල ආර්ථික ජීවිතයම කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය යටතේ පුද්ගලික ලාභය සඳහා නොව සමාජමය අවශ්‍යතා සඳහා යොදා ගැනීම ය.

41. එහෙත් සමාජවාදය අත්පත් කරගනු ලබනු ඇත්තේ කම්කරු පන්තියේ බලය පිහිටුවීම තුලින්ම පමනි. මේ සඳහා දුෂ්කර අරගලයක් අවශ්‍යය. එහෙත් සමාජවාදයේ "අවසාන අරමුන” වන ආර්ථික සූරාකෑම, සකල අසමානතාවයන්, එක් මානව කන්ඩායමක් විසින් තවත් මානව කනඩායමක් පීඩාවට පත් කිරීම යන මේ සියල්ල අහෝසි කොට දමා පුද්ගලයාගේ නිර්මානකාරීත්වය මත යෙදෙන්නා වූ සකල සීමාවන් ඉවත් කොට දමා මානව සංස්කෘතියේ මල්පලගැන්වීම වනාහී කිසිසේත්ම මිථ්‍යාව පසුපස යාමක් නොවේ. සමාජවාදයේ දේශපාලන පදනම දමන්නා වූ විප්ලවය සූදානම් කරනු ලබන්නේ එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තිය තම ආසක්තයන් ආරක්ෂා කරගැනීම සඳහා සහ අර්බුදයේ බර මහජනතාව මත පැටවීමට මූල්‍යමය මහ සංගත ධනපති පන්තිය දරන්නා වූ ප‍්‍රයත්නයන්ට විරුද්ධව කරගෙන යනු ලබන ගනන් නැති අරගලයන් තුලය. සමාජවාදය කම්කරුවන් විසින් ම සටන් කොට කම්කරුවන් විසින් ම දිනා ගත යුතුව ඇත.

42. සමාජවාදී සමානතා පක්ෂයේ කි‍්‍රයාමාර්ගය ඇරඹෙන්නේ කම්කරු පන්තියේ උග‍්‍රවූ අවශ්‍යතාවයන් මත ය. සමාජවාදී සමානතා පක්ෂයේ ඉල්ලීම් සහ ප‍්‍රතිපත්ති ඇරඹෙන්නේ ධනපති පන්තියට "දියහැකි” දේවලින් නොව කම්කරු පන්තියට ද අපගේ සංකීර්න ගෝලීය මහා සමාජයට ද අවශ්‍යවන දෙයිනි. සමාජවාදී සමානතා පක්ෂය සිය කි‍්‍රයාමාර්ගය පටු සිතැති අවස්ථාවාදී සහ තත්කාර්යවාදී ක්ෂනිකව "ලබාගත හැකි” යැයි සැලකෙන දෙයට අනුකූලවන පරිදි කප්පාදු නොකරයි. දෙන ලද තත්වයක් තුල දිනා ගත හැකි වූ ද නොහැකි වූ ද දේ තීන්දු කරනු ලබන්නේ අරගලය තුලදී ම ය. සටන් කිරීමට සූදානම් නැති අය කිසිවක් දිනා ගනු නැත. සමාජවාදී සමානතා පක්ෂයේ ඉල්ලීම් කම්කරු පන්තියේ සමාජ සහ දේශපාලන විඤ්ඤානය ඔසවා ලීමට සාරභූත කි‍්‍රයා කලාපයක් ඉටු කරමින් එමගින් එම පන්තියේ සටන් හැකියාව දියුනු තියුනු කරයි.

43. සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන ඉල්ලීම් සමාජවාදී විප්ලවයේ අරමුනෙන් වෙන්වන්නේ නැත. අපගේ සෑම ඉල්ලීමක් ම එහි ස්වභාවයෙන් ම මහ ධනපති පන්තියේ ද්‍රව්‍යමය ආසක්තයන්ට අභියෝග කරයි. තම යුක්ති සහගත ඉල්ලීම්වලට එරෙහිව මහා සංගතයන් ද ධනපති රාජ්‍යය ද දක්වන්නා වූ ප‍්‍රතිරෝධයට මුහුන දෙන වැඩ කරන ජනතාව එමගින් සමාජය විප්ලවවාදීව ප‍්‍රතිවර්තනය කිරීමේ අවශ්‍යතාව වඩාත් පැහැදිලිව වටහා ගනු ඇත. මේ ඉල්ලීම් එකඑකක් සඳහා අරගලය විසින් කම්කරු පන්තිය ශක්තිමත් කොට එහි විවිධ මට්ටම්වල අරගලයන් ඒකාබද්ධ කොට කම්කරු පන්තිය බලය අල්ලාගෙන ලෝක ආර්ථිකය සමාජවාදීව ප‍්‍රතිසංවිධානය කිරීමේ කොටසක් ලෙස එක්සත් ජනපදය තුල සමාජවාදය පිහිටුවීමේ අවශ්‍යතාවය සෑම අරගලයක් තුලදී ම ඉස්මතු කෙරෙනු ඇත.

මතු සම්බන්ධයි

1. The Nation (ද නේෂන්, ජුලි 15, 1931, 61පි.

2. Marx-Engels Collected Works Vol. 29; මාක්ස්-එංගල්ස් සංගෘහිත කෘති වෙලුම. 29 (නිව් යෝර්ක්: ඉන්ටර්නැෂනල් පබ්ලිෂර්ස්,1987), 263 පි.