මිසිසිපි ගංවතුර අනාථයින්ට පූර්න වන්දි හිමිවිය යුතුය

Victims of Mississippi flood must be made whole

16 May 2011

නිව් ඔර්ලියන්ස්, බේටන් රෝ හා තවත් රසායනික කම්හල් හා තෙල් පිරිපහදු ගනනාවක් වතුරට යටවීමේ තර්ජනයට ලක්ව ඇති අතර එක්සත් ජනපද බලධාරීහු වැඩිවෙමින් තිබෙන මිසිසිපි ග‍‍ඟේ ජලය හැරවීම පිනිස ලුවිසියානාහි මෝගන්සා වාන් දොරටු සති අන්තයේ දී විවර කලහ. මෙම ක‍්‍රියාවෙන් ජල ප‍්‍රවාහය බොහෝ කොටම දුප්පත් බයියු නගර ගනනාවක් පිහිටි වර්ග සැතපුම් 3,000ක අචෆලායා ද්‍රෝනිය තුලට යැවෙනු ඇත.

24,000ක් වන ප‍්‍රදේශ වාසීන්ගේ නිවාස වැඩ බිම් හා ගොවිපලවල් සති හෝ සමහරවිට මාස ගනනක් වතුරට යටවීමෙන් මිනිසුන්ගේ ජීවන මාර්ග හා උපයාගත් සියල්ල අතුගා දැමෙනු ඇත. ලුවිසියානා ආන්ඩුකාරයා මුලාදෑනීන් හා ජාතික මුර භටයන් බලහත්කාරී ඉවත් කිරීමේ නියෝග ක‍්‍රියාත්මක කිරීම සඳහා එහි යවා ඇති අතර තමන්ට ගෙනයාහැකි සියල්ල පොදිගසා ගන්නා ලෙස කියා ඇත.

මහ ආන්ඩුව මිසිසිපි ගංඟාධාරයේ ලුවිසියානා ටෙනසි හා තවත් තැන්වල ගංවතුර අනාථයින්ට අවශ්‍යයෙන්ම කිසිදු වන්දියක් ගෙවා නැත.

ඔබාමා පාලනාධිකාරය තාවකාලික නිවාස හා අනෙකුත් හදිසි අවශ්‍යතාවන් සඳහා වෙන්කර ඇත්තේ අවම මුදල් ප‍්‍රමානයකි. ගංවතුර රක්ෂන හෝ යලි ගොඩනැඟීමේ මාධ්‍යයන් අහිමි, විපතට පත් වූවන් බොහොමයකට ආන්ඩුව කියා ඇත්තේ මධ්‍යම ආන්ඩුවේ විපත් හා අනෙකුත් නය සඳහා ඉල්ලුම් කරන ලෙසයි. නයට පොලී ගෙවීමට අමතරව ෆෙඩරල් රජයේ විපත් නය සඳහා සුදුසුකම් ලැබූවන්ට අනාගත ආධාර සඳහා සුදුසුකම් ලැබීමට නම් ගංවතුර රක්ෂන මිලට ගැනීමට බල කෙරෙයි.

කැතරිනා කුනාටුව කෙරෙහි බුෂ් ආන්ඩුවේ ප‍්‍රතිචාරයට සමාන ලෙස ඔබාමා ආන්ඩුව ද නවතම ව්‍යසනයට මුහුන පෑ කම්කරුවන් හා දුගී පවුල්වල තත්වය කෙරෙහි නොතැකීමේ හා නොසැලකිලිමත් භාවයේ පිලිවෙතම ගෙන යයි.

ජල හැරවුම මිසිසිපි ගංඟාධාරය දිගේ පිරිපහදු පවත්වාගෙන යන එක්සන් මොබිල් හා අනෙකුත් විශාල තෙල් සමාගම් වලට සහනයක් වුවත් අහස උසට නැඟී ඇති තෙල් මිලෙන් උපයන මුදල් මත පිහිනන මෙම සමාගම් ගංවතුර නිසා සිය නිවාසවලින් හා ගොවිපල වලින් තල්ලුවී ගිය අයට කිසියම් හෝ සහන සැලසිය යුතුයයි ආන්ඩුව කිසි විටෙකත් කියා නොසිටියි.

එහෙත් සපත්තුව අනෙක් කකුලේ තිබුනේ නම්, එනම් කිසියම් ප‍්‍රදේශයක් ජලයෙන් යටකිරීමට ගත් ආන්ඩුවේ තීරනයෙන් සමාගම් වලට හානියක් සිදුවන්නේ නම් ඒ සඳහා වන්දි ගෙවීමට මහජන මුදල් සොයාගනු ලැබීම පිලිබඳව කිසියම් සැකයක් තිබිය හැකි ද? මෙක්සිකෝ බොක්කේ බි‍්‍රටිෂ් පෙට්රෝලියම් තෙල් අටල්ල බිඳවැටී සිදුවූ ව්‍යසනයෙන් යන්තම් වසරක් ගතවූ තැන ඔබාමා 14 දින මෙක්සිකෝ බොක්කේ ඇලස්කාවේ හා නැගෙනහිර මුහුදු තීරයේ තෙල් සෑරීම පුලුල් කිරීමේ සැලසුම් නිවේදනය කරමින් යලි වතාවක් පෙන්නුම් කලේ මහා සංගත කෙරෙහි ඔහු දක්වන සහයෝගයයි.

මිසිසිපි ගංවතුර ව්‍යසනය එක්සත් ජනපදයේ සමස්ත දේශපාලන සංස්ථාපිතයටත් සමාගම්වල සාපරාධී කටයුතු කෙරෙහිත් එල්ල වන චෝදනාවකි. වෝල් වීදියේ ජාවාරම් කරුවන් හා ධනවතුන්ට ඇපදීම සඳහා ඩොලර් ටි‍්‍රලියන ගනන් මහජන මුදල් කොල්ලකන ලදී. ඒ සමග ම අලුත්වැඩියා නොකරන ලද ඇමරිකාවේ යටිතල ව්‍යුහය ස්වාභාවික මෙන්ම මිනිසා විසින් නිර්මිත ව්‍යසනයන්හි දී තමන්ම ආරක්ෂාව සලසා ගැනීම සඳහා අතහැර දමන ලද ගොදුරු බවට පත්ව තිබේ.

ජනගහනයේ මූලික අවශ්‍යතා ගැන එහි නොතැකීම සමඟ පාලක ප‍්‍රභූව පෙර අවධීන්හි සිටි ව්‍යාපාර ගැති දේශපාලඥයින්ට ද වඩා දුර ගොස් තිබේ.

1927 මහා මිසිසිපි ගංවතුර අවධියේ නිව් ඔර්ලියන්ස් ව්‍යාපාරිකයින් හා බැංකු කරුවන් කන්ඬායමක් අවධාරනය කලේ, ශාන්ත බර්නාඩ් වසම ආරක්ෂාකල වේලි විනාශ කර, නඟරය කරා ගංවතුර පැමිනීම වැලැක්වීමට ය. එවක ජනාධිපතිව සිටි කැල්වින් කූලිජ්ගේ සහයෝගය ලබාගත් ඔවුහු වසම ජලයෙන් යටකර සිය බැංකු හා ව්‍යාපාරවලට සිදුවන හානිය වලක්වා ගත්හ. ඉන්පසුව ඔවුන් නිවැසියන්ට ගෙවීමට පොරොන්දුවූ වන්දි ගෙවීම පැහැර හැරි අතර සිදුවූ හානියට අවසානයේ ගෙවනු ලැබුවේ සොච්චමක් පමනි.

කම්කරු පන්තිය හා දුගීන් කෙරෙහි නිව් ඔර්ලියන්ස් පාලක පැලැන්තිය හා සමස්ත සංස්ථාපිතය ම දැක්වූ උද්ධච්ඡකම හුවේ ලෝංග්ගේ වාසනාව නඟාසිටුවීමට උදව් විය. ජනතාවාදියෙකුවූ ඔහු ඉන් කෙටි කලකට පසුව නිව් ඔර්ලියන්ස්හි ආන්ඩුකාර තනතුරට ද පසුව එක්සත් ජනපද සෙනේට් සභික ධුරයකට ද පත් විය. ගංවතුර වැලැක්වීමේ පනත ද ඇතුලු සැලකිය යුතු ප‍්‍රතිසංස්කරන ද ගංවතුරෙන් ඉස්මතු කෙරන ඒ අවධිය වනවිට ප‍්‍රථම ලෝක සංග‍්‍රාමය හැරෙන්නට එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම තනි පොදු පිරිවැය බවට එය පත්විය. වේලි යලි සැලසුම් කිරීම හා නවීකරනය කිරීම ඇතුලු මිසිසිපි ‍ග‍ඟේ ඉහල සිට පහලට ගංවතුර පාලනය ශක්තිමත් කරන දැවැන්ත මහ ආන්ඩු වැඩසටහනක් දියත්කරනු ලැබින.

නොසෑහෙන බව සනාථකෙරී තිබෙන නමුත් එවන් වැඩසටහන් වැනි කිසිවක් මහා ව්‍යාපාරික දේශපාලඥයින් විසින් අද දිනයේ නම් යෝජනා කරනු නොලැබේ. රිපබ්ලිකානු හා ඩිමොක‍්‍රටික් පක්ෂ දෙකම හා ආන්ඩුවේ සෑම මට්ටමක් ම පාලනය කරන මූල්‍ය වංශාධිපති පැලැන්තිය තම ධනය රැස්කිරීම පදනම් කර ඇත්තේ රට ප‍්‍රතිකාර්මීකරනය හා රැකියා වැටුප් හා ජීවන තත්වයන් කාබාසීනියා කිරීම මත ය. එහි ප‍්‍රතිපත්තිය තීරනාත්මක යටිතල ව්‍යුහය ගරාවැටීමට අතහැර දැමීමය.

මෙහි ප‍්‍රතිපල වශයෙන් නිව් ඔර්ලියන්ස් තරම් එක්සත් ජනපදයේ වෙනත් කිසිදු කලාපයක් පීඩාවට පත්ව නැත. කැත්රිනා කුනාටුව නිව් ඔර්ලියන්ස් වනසා දමා සය වසරක් ගතවීමට ආසන්නව තිබිය දී 2005 නගරය ජලයෙන් යටවන අවස්ථාවේ තිබුනු නොසෑහෙන බව සනාථ වූ වේලි යලි ගොඩනඟනු ලැබුවේ කලින් පැවති එම මට්ටම් වලට ම ය. 2010 මෙක්සිකෝ බොක්කේ තෙල් කාන්දුවෙන් විනාශයට පත්වූ ප‍්‍රදේශය තුල විපතට පත් මිලියන ගනනකට බි‍්‍රටිෂ් පෙට්රෝලියම් සමාගම හා එක්සත් ජනපද ආන්ඩුව දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නැත.

ඒ වෙනුවට ඔබාමා ආන්ඩුව මූල්‍ය පැලැන්තිය කෙරෙහි සිය හිතවත්කම තහවුරු කිරීම පිනිස වැදගත් යටිතල පහසුකම් වෙනුවෙන් වියදම් කපා හරිමින් සිටියි. 2012 වසර සඳහා ඔහුගේ අයවැය පෙරොන්දු තුල ඔබාමා ඉංජිනේරු සිවිල් වැඩසටහන් පිලිබඳ හමුදා අංශයේ අයවැයෙන් දැනට තිබෙන සොච්චම් බිලියන 5.4න් මිලියන 913ක් කපාහරින බව පවසා ඇත. මෙයට මිසිසිපි ගංඟාවේ හා අතු ගංඟාවල ව්‍යාපෘති සඳහා අරමුදල් තුනෙන් එකකින් කපාහැරීම ද ඇතුලත්ය.

ගංවතුරෙන් විපතට පත් සියල්ලන්ට පූර්න වන්දි ලැබිය යුතුය. විනාශවූ නිවාස ගොවිපලවල් හා අනෙකුත් කුඩා ව්‍යාපාර යලි ගොඩනැඟීමටත් ආදායම් අහිමිවූවන්ට වන්දි ගෙවීමටත් ඩොලර් බිලියන ගනනින් වෙන්කල යුතුය. රැකියා විරහිතයින් යොදාගෙන මිසිසිපි ගංඟාවේ හා එක්සත් ජනපදයේ සියලු ගංඟාවල වේලි පද්ධතිය යලි ගොඩනැඟීම හා නවීකරනය සඳහා දැවැන්ත පොදු වැඩපිලිවෙලක් දියත්කල යුතුය.

කෙසේ වුවත් එවන් යෝධ වැඩපිලිවෙලක් ඇමරිකානු ජීවිතය මත පවතින මූල්‍ය පැලැන්තියේ බලය බිඳ දැමීමේ අරගලයකින් තොරව සාක්ෂාත් කල නොහැකිය. අත්‍යවශ්‍ය අරමුදල් හා සම්පත් තෙල් සමාගම් මහා බැංකු හා අනෙකුත් මහා ව්‍යාපාර වල ඒකාධිකාරය බවට පත්ව තිබේ. ආර්ථික ජීවිතයේ මෙහෙයුම් මූලධර්මය ලාභය නොව මානව අවශ්‍යතා බවට පත්කිරීම සඳහා මෙම ධන සම්පත් යලි අත්කර ගැනීමේ විප්ලවවාදී අරගලයට කම්කරු පන්තිය මුහුන දී සිටියි.

ආර්ථික හා සමාජ අර්බුදයට තමන්ගේ ම විසඳුම ඉදිරිපත් කිරීම පිනිස කම්කරු පන්තිය නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුය. එය මහා ව්‍යාපාරිකයින්ගේ පක්ෂ දෙකට ම විරුද්ධව සමාජවාදය හා කම්කරුවන්ගේ බලය සඳහා සටන්වැදිය යුතුය.

ජෙරී වයිට්