ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව යුද අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව හෙලා දකියි

Sri Lankan government denounces UN war crimes findings

By K. Ratnayake, 29 April 2011

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් ද ශී‍්‍ර ලංකාවේ යුද අපරාද පිලිබඳව පරීක්ෂා කිරීම සඳහා ඔහු විසින් පත් කරන ලද විද්වත් කමිටුව ද කොලඹ ආන්ඩුවේ පමනක් නොව මාධ්‍යවල හා විරුද්ධ පක්ෂවල ද හෙලා දැකීමේ ව්‍යාපාරයක ඉලක්කය බවට පත්ව ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරම්භයේ පටන් ම එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවට විරුද්ධ වූ අතර රටට ඇතුලුවීමට හෝ ශී‍්‍ර ලංකාවේ මිලිටරි හා සෙසු නිලධාරින්ට කතා කිරීමට හෝ කමිටුවේ සාමාජිකයන්ට අවසර දීම ප‍්‍රතික්ෂේප කලේය. කමිටුවේ වාර්තාව සකසා අවසන් වීමෙන් පසුව මේ සතියේ එය ප‍්‍රසිද්ධ කිරීමට පෙර අපේ‍්‍රල් 14 දා එය රාජපක්ෂ ආන්ඩුවට භාර දුන්නේය.

2009 මැයි මස රටේ දිගු කාලීන සිවිල් යුද්ධය අවසන් වීමට පෙරාතු කාල පරිච්ඡේදය මත අවධානය යොමුව තිබුනු කමිටු වාර්තාව, අතිශය චෝදනාකාරී එකකි. එක්සත් ජාතීන්ගේ ඒජන්සි, ආන්ඩුවේ නොවන සංවිධාන හා පුද්ගලයන් වෙතින් ලද ලියවිලි, වාර්තා, වීඩියෝ පට හා ඡායාරූප පරෙස්සමින් විමර්ශනය කිරීමක් මත පාදක වූ කමිටු වාර්තාව, නිගමනය කලේ, ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අතර එම කි‍්‍රයාවන්ගෙන් සමහරක් "යුද අපරාධ හා මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ ගනයට වැටෙන” බවයි.

එකදු සිවිල් වැසියකු වත් ඝාතනයට ලක් නොවුන බවට ආන්ඩුව කරන කියාපෑම්වලට ප‍්‍රතිකූලව, එක්සත් ජාතීන්ගේ කමිටුව නිගමනය කලේ, 2008 සැප්තැම්බර් හා 2009 මැයි අතරතුර දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය විසින් පාලිත භූමි ප‍්‍රදේශවල කොටු වී සිටි දෙමල සිවිල් වැසියන් දස දහස් ගනනක් මරා දමා ඇති බවයි. එල්ටීටීඊය මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරන වාර්තාව, මරනයන්ගෙන් අති මහත් බහුතරය සිදුව ඇත්තේ, රෝහල් හා ආධාර මධ්‍යස්ථාන ලෙස නිල වසයෙන් වෙන් කෙරුනු ගොඩනැගිලි ද ඇතුලුව, "වෙඩි මුක්ත කලාපය” තුලට ශී‍්‍ර ලංකාවේ හමුදාව මගින් එල්ල කෙරුනු බෝම්බ හා ෂෙල් ප‍්‍රහාරවල ප‍්‍රතිඵලයක් ලෙස බව තීරනය කලේය.

කමිටු වාර්තාව නිදහස් කිරීමටත් කලින්, ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව එය හෙලා දුටුවේය. ආන්ඩුවේ ප‍්‍රකාශකයෝ වාර්තාව තුල අඩංගු සවිස්තර සාක්ෂි කිසිවක් ප‍්‍රතික්ෂේප කිරීමට මොනම ප‍්‍රයත්නයක් වත් දරා නැත. එහෙත් ඔවුහු එය පදනම් විරහිත හා පක්ෂපාතී එකක් ලෙස හෙලා දැක තිබේ. ශී‍්‍ර ලංකාවේ හා එහි මිලිටරියේ කීර්ති නාමයට හානි කිරීමේ එල්ලයෙන් යුක්ත "ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක” ඉලක්කය බවට ආන්ඩුව පත්ව ඇතැයි ඔවුහු කියාපෑහ.

රාජපක්ෂගේ උපදෙස් අනුව, පාලක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, ඉරිදා පැවැත්වෙන සිය මැයි දින රැලියේ දී දේශහිතෛෂී උමතුවක් රඟ දැක්වීමට සූදානම් වෙයි. "එම චෝදනාවලට එරෙහිව අපගේ සාමුහික ශක්තිය” ප‍්‍රදර්ශනය කිරීමට එදින යොදා ගත යුතු යයි පක්ෂ සංවිධායකයන්ට පවසමින් ජනාධිපති රාජපක්ෂ තානය සැකසීය. විරුවකුගේ ඉරියව්ව මවා ගනිමින්, ඔහු මෙසේ ප‍්‍රකාශ කලේය: "විදුලි පුටුවේ වාඩි වන ලෙස ඔවුන් මගෙන් ඉල්ලා සිටියොත්, රට වෙනුවෙන් මම සතුටින් එය භාර ගන්නෙමි.” මැයි දින රැලිය සහයෝගය බලමුලු ගැන්වීම පිනිස රට තුල රැඳී සිටින ලෙස ඔවුහු සියලු ඇමතිවරුන්ට අන කර තිබේ.

සන්ඩේ ටයිම්ස් පත‍්‍රය සිදු වන සූදානම විස්තර කලේය: "බැන් කි-මූන්ගේ අනුරූ දුසිම් ගනනක් සාදමින් නිෂ්පාදකයන්ට වැඩ අධික වී තිබේ. සමහරු ඔහුගේ නම විකෘත කරමින් ඔහු "බකමූනා” ලෙස හඳුන්වති. ඔහු ද ඔහුගේ සංවිධානය ද හෙලා දකින පුවරු මුද්‍රනාලවල සිය ගනනින් මුද්‍රනය වෙමින් ඇත. එක්සත් ජාතීන්ගේ මූලස්ථානය නිරූපනය කරන ප‍්‍රදර්ශන වාහන සැකසෙමින් තිබේ. පලාත් සභාවලින් හා පලාත් පාලන ආයතනවලින් යෝජනා සම්මත කරන ලෙස ඉල්ලා ඇත. (කමිටු වාර්තාව හෙලා දකින) මහජන පෙත්සම්වලට අත්සන් එකතු කිරීමෙහිලා ආන්ඩු-හිතැති කන්ඩායම් වෙහෙසෙමින් සිටිති.”

වාර්තාව වක‍්‍ර ලෙස "එල්ටීටීඊයේ හඬ” පිලිබිඹු කරන බව පවසමින්, මාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල, සෙසු ඇමතිවරු හා මන්තී‍්‍රන් සමග එක්ව, වාර්තාව සමච්චලයට ලක් කොට ඇත. පාලක සභාගයේ කොටස්කාර සිංහල අන්තවාදී පක්ෂයක් වන ජාතික හෙල උරුමය, ඉරිදා බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද යන්න පිලිබඳව යම් හැඟීමක් දුන්නේය. එය සඳුදා මහනුවර දී විරෝධතා දැක්මක් පැවැත්වූ අතර එහි දී බැන් කි-මූන්ගේ අනුරූවලට ගිනි තබන ලදි.

මිලිටරියේ යුද අපරාධවලට සෘජුව ම වගකිව යුතු වන, ජනාධිපතිගේ සොහොයුරු, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද පොරයට එක් වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය "සමහර රටවල් විසින් හයිජැක් කර” ඇතැයි සන්ඩේ ටයිම්ස් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප‍්‍රකාශ කලේය. ඔහුගේ සැඳහුම එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් වෙතය. වොෂිංටනයට කෙරෙන අනියම් අනතුරු ඇඟවීමක් ලෙස ඔහු මෙසේ ද පැවසීය: "මෙය අපගේ ආරක්ෂාව පිනිස (රුසියාව හා චීනය වැනි) සෙසු රටවල් වෙත අපව තල්ලු කරනු ඇත.”

එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් තමන්ගේ ම ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා ඉදිරියට ගෙන යනු වස් එක්සත් ජාතීන්ගේ කමිටුවට පිටුබලය දී ඇති බව නිසැකව ම සත්‍ය ය. වොෂිංටනය රාජපක්ෂගේ යලි ඇරඹූ යුද්ධයට නිහඬව සහයෝගය දුන් අතර ශී‍්‍ර ලංකා මිලිටරියේ ජන ඝාතන හා 2002 සටන් විරාමය උල්ලංඝනය කිරීම නොතකා හැරියේය. 2009 මැයි මස සටන් එහි උච්චම අවස්ථාවට ලඟා වූ කල, එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයෝ, සිය ප‍්‍රතිවාදී චීනය සමග රාජපක්ෂ ආන්ඩුවේ වැඩෙන සබඳතාවන්ට වල කපනු පිනිස මානව හිමිකම් පිලිබඳ කාරනය මතු කලහ.

ශී‍්‍ර ලංකාවේ සමස්ත දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය ම මෙම යුද අපරාධ වහංගු කිරීමෙහි ලා යෙදී සිටී. රජය සතු මාධ්‍ය හුදෙක් ආන්ඩුවේ හොරනෑ වීම මවිතයට කරුනක් නොවේ. ඔවුන්ගේ අසික්කිත ප‍්‍රචාරක ව්‍යාපාරය, එල්ටීටීඊය සාමාන්‍ය ජනයා ඝාතනය කිරීම පිලිබඳ ඡුායාරූප ද ආරක්ෂක හමුදා භටයන් කුඩා ලමුන්ගේ හිස අතගාන හා මහලු අයට උදව් කරන අයුරු දක්වන සකසන ලද වීඩියෝ දර්ශන හා ඡායාරූප ද ප‍්‍රදර්ශනය කරයි.

සියලු ප‍්‍රධාන පුවත්පත් එක්සත් ජාතීන්ගේ වාර්තාව ප‍්‍රතික්ෂේප කිරීමේ ආන්ඩුවේ පිලිවෙතට පිටුබලය දී ඇත. අපේ‍්‍රල් 19 දා පල කල කතුවැකියක් තුල ලංකාදීප පත‍්‍රය එල්ටීටීඊයේ මානව හිමිකම් උල්ලංඝනයන් අවධාරනය කොට ඒවාට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග නොගැනීම ගැන බැන් කි-මූන් හෙලා දුටුවේය. අප්‍රේල් 22 දා ලක්බිම, කමිටුවේ නිර්දේශ කි‍්‍රයාවට දැමිය යුතු නැතැයි ප‍්‍රකාශ කරමින්, එක්සත් ජාතීන්ගේ වාර්තාව හෙලා දකින පෙත්සමකට ජනතාව අත්සන් කරන අයුරු දක්වන ඡායාරූපයක් මුල් පිටුවේ පල කලේය.

ඊයේ ඩේලි මිරර් කතුවැකිය "(එක්සත් ජාතීන්ගේ) තර්ජනය පිටුපසින් පවතින සැබෑ න්‍යාය පත‍්‍රය ද ඒ සම්බන්ධ බරපතල ප‍්‍රතිවිපාක ද ගැන අවදි වන්න” රටෙන් ඉල්ලා සිටියේය. ආන්ඩුවේ උද්ඝෝෂනයට විරුද්ධ වන ඕනෑම අයෙකුට එය තර්ජනය කලේ මෙසේ සඳහන් කරමිනි: "තම එකම කාර්යය බටහිර න්‍යාය පත‍්‍රයන්ට යටත් වූ වහලුන් ලෙස කි‍්‍රයා කිරීම යයි විශ්වාස කරන අපේ මිනිස්සු මත අද රට මුහුන දී සිටින අවාසනාවන්ත දුෂ්කර තත්වය ගැන වගකීම පැටවිය යුතුය.”

මාධ්‍යවල කිසිවෙක් එක්සත් ජාතීන්ගේ වාර්තාවේ අන්තර්ගතය පරීක්ෂාවට ලක් කර හෝ එය ප‍්‍රතික්ෂේප කිරීමට උත්සාහ දරා නැත.

ප‍්‍රධාන විරුද්ධ පක්ෂ -- එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) -- එලෙස ම වාර්තාවට පහර ගසා ඇත. "මෙවැනි වාර්තාවක් පවා එලිදැක්වීමට අවශ්‍ය කරන වටපිටාවක් සැකසීම සම්බන්ධයෙන්” ආන්ඩුව විවේචනය කිරීමෙන් පසුව, එජාප නිවේදනයක් මෙසේ ප‍්‍රකාශ කලේය: "තම මව්බිමට ආදරය කරන වගකිව යුතු පක්ෂයක් ලෙස, අප රට සම්බන්ධයෙන් කෙරෙන ඕනෑම ආකාරයක බාහිර මැදිහත්වීම් අප පක්ෂය තරයේ හෙලා දකී.”

එජාප බලයේ සිටින කල, එවකට අගමැති වූ එහි නායක රනිල් වික‍්‍රමසිංහ, ජාත්‍යන්තර අපරාධ අධිකරනය පිලිබඳ රෝම ප‍්‍රඥප්තියට අත්සන් නොකල බවට, එම නිවේදනය පුරසාරම් දෙඩීය. එහි ප‍්‍රතිඵලයක් ලෙස, කිසිදු ශී‍්‍ර ලාංකිකයකු යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරනයක් ඉදිරියට ගෙන යා නොහැකි බව එය තව දුරටත් කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත්වීමට ඉඩ සැලසුවේ යයි ආන්ඩුවට බැන වදිමින් ද මැදිහත්වීම පරාජය කල යුතු බව ප‍්‍රකාශ කරමින් ද, ජවිපෙ ද ඊට සමාන ආස්ථානයක් ගෙන තිබේ. ජවිපෙ නිවේදනය මෙසේ අදහස් දැක්වීය: "ශී‍්‍ර ලංකාවට එරෙහි අධිරාජ්‍යවාදී මැදිහත්වීම පරාජය කල යුතු බවත් එවන් මැදිහත්වීමකට මාවත සැකසූ වත්මන් තන්ත‍්‍රයේ සමාජ-විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භූමිකාව ද පරාජය කල යුතු බවත් අපි අවධාරනය කරමු.”

එජාප හා ජවිපෙ ආස්ථාන, රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධික‍්‍රමයන්ට එරෙහි බවට ඔවුන් කරන කියාපෑම් විහිලුවක් බවට පත් කරයි. විරුද්ධ පාක්ෂික දේශපාලනඥයන්ට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී උල්ලංඝනයන්ට විරෝධය දක්වන අතර ම, එජාප සහ ජවිපෙ, දිවයිනේ දෙමල සුලුතරයට එරෙහි ආන්ඩුවේ හා මිලිටරියේ යුද අපරාධ ආරක්ෂා කරයි. මෙම පක්ෂ දෙකම දෙමල විරෝධී ස්වෝත්තමවාදයේ ගිලී සිටින අතර රාජපක්ෂගේ යුද්ධයට මුලුමනින්ම සහාය දුන්හ.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳ එජාපයේ ව්‍යාජ උද්ඝෝෂනයට එක් වූ නව සමසමාජ පක්ෂයේ (නසසප) හිටපු වම්මුන්ගේ ප‍්‍රතිචාරය විශේෂයෙන් ම එලිදරව් කරන සුලු ය. සිංහලෙන් ලියන ලද තීරු ලිපියක, නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න, ඉන්දියාව එක්සත් ජාතීන්ගේ වාර්තාව පිටුපසින් සිටින බවට ගොතන ලද තර්කයක් ගෙන ආවේය. ඔහු කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කොට නැත. එහෙත් එය ඔහුට ප‍්‍රශ්නයක් නොවේ. ලිපියේ ශීර්ෂ පාඨය, "දිල්ලියේ බමුනු උවමනාවට හදපු බැන් කි-මූන්ගේ වාර්තාව” යන්න, ආන්ඩුවේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රන න්‍යායේ තමන්ගේ ම රූපාකාරය ඉදිරිපත් කිරීමේ අවස්ථාව නසසපට ලබා දුන්නේය.

ආන්ඩුව, මාධ්‍ය හා කොලඹ සමස්ත දේශපාලන සංස්ථාපිතය විසින් අවුලුවනු ලබන ප‍්‍රතිගාමී උද්ඝෝෂනය මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. එය, මහා බලවතුන් විසින් තමන්ගේ ම අරමුනු සඳහා නිසැකව ම යොදා ගනු ලැබෙන එක්සත් ජාතීන්ගේ වාර්තාව හා එහි නිර්දේශ ආරක්ෂා කිරීම පිලිබඳ ප‍්‍රශ්නයක් නොවේ. කෙසේ වෙතත්, සියලු ම වැඩ කරන ජනතාවගේ -- සිංහල හා දෙමල යන දෙගොල්ලගේ ම -- ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමටත් රාජපක්ෂ හා ඔහුගේ සෙසු යුද අපරාධ සගයන් යුක්තිය ඉදිරියට පමුනුවන ලෙස ඉල්ලා සිටීමටත් දේශපාලන වගකීමක් කම්කරු පන්තියට පවතී.

කම්කරුවන් සම්ප‍්‍රදායිකව සිය ජාත්‍යන්තර සහයෝගිතාව ප‍්‍රකාශ කරන දිනය වන මැයි දිනය, රාජපක්ෂ හා ඔහුගේ පක්ෂය, ඔවුන්ගේ භේදකාරී, වාර්ගික දේශපාලනය සඳහා වේදිකාවක් ලෙස ගසාකෑම විශේෂයෙන් ම නින්දිතය. සිය යුද අපරාධ වෙතින් පමනක් නොව, මිල ගනන් දැවැන්ත ලෙස ඉහල දමා වැඩ කරන ජනතාව මත දරුනු ලෙස බලපා ඇති ඔහුගේ රුදුරු කප්පාදු පිලිවෙත් වෙතින් ද අවධානය ඉවතට යොමු කිරීමට රාජපක්ෂ මෙම උද්ඝෝෂනය යොදා ගනී. සසප කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටින්නේ, ශී‍්‍ර ලංකාවේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් හා ජීවන මට්ටම් ආරක්ෂා කිරීමේ සමාජවාදී විකල්පයක් සඳහා අරගලය ගැන සාකච්ඡා කරනු වස් මේ ඉරිදා සවස 3.00ට කොලඹ නව නගර ශාලවේ පැවැත්වෙන් අපගේ මැයි දින රැලියට සහභාගි වන ලෙසයි.